දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්‍ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්‍රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන්‍ය ජනතාවට, අප්‍රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්‍රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට ද එකසේ ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා ද බලාපොරොත්තු වෙමු.

Monday, June 9, 2014

පිය රජු මරන්නට මඟුල් පොකුණේ උල් සිටවූ උඩුගම්පොළ කලු කුමාරයා - Udugampola 'Black Prince' (Kalu Kumaraya) who mounted iron spikes to kill his father, King Sakalakalawallabha



අපේ රටේ රණකාමීත්වයෙන් ඉහළම තලයක වැජඹුණු රජවරුන් අතරින් උඩුගම්පොළ රජ කළ සකලකලාවල්ලභ රජතුමාට හිමිවන්නේ මුල්පෙළේ තැනක්. මේ රජතුමා බෞද්ධ සම්ප්‍රදායට වඩා සීගිරි කාශ්‍යප රජතුමා වගේ කාමභෝගී කුවේර දිවිපෙවෙතකට ඇලුම් කළ නරපතියකු බවයි පැවසෙන්නේ. 

ලංකාවට පෘතුගීසි උවදුර පැමිණි 15 වැනි සියවසත් 16 වැනි සියවසත් අතර කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ රජ කළ මේ සකලකලාවල්ලභ රජතුමාගේ වීරත්වය පිළිබඳව අලකේශ්වර යුද්ධය, රාජාවලිය, වැනි දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල වගේම වැලන්ටයින් වැනි අපරදිග ඉතිහාසඥයින්ගේ වාර්තාවලත් සඳහන් වෙනවා. මේ රජතුමා ‛චක්‍රායුධ කුමාරයා’ ලෙසත් හැඳින්වුණු බව සඳහන්. 

ජනප්‍රවාදවල සඳහන් වන විදිහට සකලකලාවල්ලභ රජතුමාට පුත්තුම හත් දෙනෙක් ඉඳලා තියෙනවා. නමුත් මේ රජතුමාගේ අග බිසවක් ගැන කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. ජනප්‍රවාදවල එන හැටියට රජතුමා විවාහ කරගෙන ඇත්තේ නොසම කුළ බිසවක්. ඒ කියන්නේ ඇය රජක කුළයේ කාන්තාවක්. මේ නිසා රජතුමා තමන්ගෙන් පසුව තමන්ගේ පුතුන් හත් දෙනාට රාජ්‍යය පැවරීමට පසුබට වී තිබෙනවා. ඊට හේතුව මවගේ කුළය මුල්කරගෙන ඔවුන් ‛භින්න මාතෘක’ දරුවන් ලෙස සමාජ සම්මත වුණු නිසා වෙන්න පුලුවන්. ‛භින්න මාතෘක’ යනු මව රජ කුමරුකු වැදීමට සමාජමය වශයෙන් නුසුදුසු වීමයි.  මේ හේතුව නිසා මේ පුතුන් හත් දෙනා තමන්ගේ පියාව මරා රජකම ගැනීමට කුමන්ත්‍රණයක් කළා.  ඒ කුමන්ත්‍රණයට මුල පුරන්නේ ‛මැණික් සාමි’ හෙවත් ‛කලු බණ්ඩාර’ කියන ලොකු පුතා. මේ පුතුන්ගේ කුමන්ත්‍රණය රජතුමා ජල ක්‍රීඩා කිරීම සඳහා මඟුල් පොකුණට පනින විට ඒ පොකුණු දිය යට යකඩ උල් සිටුවා තැබීමයි. එවිට ඒ උල්වල ඇමිණී රජතුමා මරණයට පත්වන ලෙසයි මෙම පුතුන් කටයුතු කොට තිබුණේ. කෙසේ හෝ එක්තරා දිනයක රජතුමා මඟුල් පොකුණේ ජල ක්‍රීඩා සඳහා දියට පැනීමට සැරසෙන විට දිය මත වසා සිටි මී මැස්සකු රජතුමාට දක්නට ලැබෙනවා. දක්ෂ රණශූරයකු නිසා තියුණු විමසුම් ඇසක් ඇති රජතුමා ඊට හේතුව විමසන විට වැටහෙන්නේ එම දියයට ‛යවුල්’ (යකඩ උල්) සිටුවා ඇති බවයි. මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක් බව වටහාගන්නා රජතුමා ඒ් පිළිබඳව සෙවීමට කටයුතු කරනවා. මෙහිදී එම රජක කුළ බිසව කරන්නේ මේ වරදට තම පුතුන් හසු වුවහොත් නිසැක ලෙසම රාජ උදහසට ලක්වී හිස්ගැසුම් කන්නට සිදුවන නිසා ඔවුන් විවිධ පළාත්වලට පිටත්කොට හැරීමයි. මේ දරුවන් අතරින් වැඩිමහල් පුතා ‛මැණික් සාමි’ හෙවත් ‛කලු බණ්ඩාර කුමාරයා’, වීරා නම් තමන්ගේ සමීප ඇමතියකු සමඟ සබරගමු පළාතේ ශ්‍රී පාද අඩවියේ ඇති ‛කුණුදිය පර්වතයට’ පළා යනවා. එහෙත් උඩුගම්පොළ රාජධානිය තුළ රජ සැප විඳිමින් සිටි කුමාරයාටත් වීරා නම් ඇමතියාටත් ඒ නුහුරු දුෂ්කර,සීතාධික පරිසරය පරිසරය ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ් නිසා වෙන කරකියා ගන්නට දෙයක් නොහැකිව ඔවුන් කරන්නේ කුණුදිය පර්වතයෙන් පහළට පැන දිවි නසාගැනීමයි. ඉන්පසු ඒ රජකුමරා ‛උඩුගම්පොළ කලු කුමාර’ නමිනුත් වීරා ‛වීර මුණ්ඩ’ නමිනුත් දේවත්වයට පත් වෙනවා. 

මේ ඓතිහාසික ප්‍රවෘත්තියට අදාළ සකලකලාවල්ලභ රජතුමා දියනෑ පොකුණ අදත් උඩුගම්පොළ ප්‍රදේශයේදී දැකගන්නට පුලුවන්. එපමණක් නොවෙයි රජතුමා දියනෑම පිණිස වතුරට පැන්න බව කියන ‛පැණුම් ගල’ අදත් එලෙසම දකින්නට පුලුවන්. 


පසුගිය කාලයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ මඟුල් පොකුණ කැණීම්වලට ලක්කොට සංරක්ෂණය කොට තහවුරුකොට තිබෙනවා. එම කැණීම් භාරව කටයුතු කරපු හිටපු පුරා විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ රජතුමකු පරිහරණය කළ සුවිසල්ම මඟුල් පොකුණ මෙය බවයි. එමෙන්ම ආසියාවේ රජකෙනෙකු පරිහරණය කළ සුවිසල්ම මඟුල් පොකුණත් මෙය බවට අනුමාන කළ හැකි බවකුත් ආචාර්ය නිමල් පෙරේරා පවසා තිබෙනවා. ඒ අනුව මේ වටිනා වටිනා පුරා විද්‍යා උරුමය ගම්පහ දිසාවේ අභිමානය තහවුරු කිරීමට කෙතරම් දුරට සමත් වේ දැයි අමුතුවෙන් කිවයුතු නැහැ. 

කෙසේ හෝ අදවන විට මේ  පුරා විද්‍යා පරිශ්‍රයේ ඇති මඟුල් පොකුණේ ඇතුළත මායිම තුළ සක්මන් හා ව්‍යයායම මංපෙතක් සකසා තිබෙනවා. බැලූ බැල්මටම එය යහපත් දෙයක් වුණත් මෙවැනි වටිනා පුරා විද්‍යා උරුමයක මූලික අරමුණ හා එය කොතෙක් ගැළපේදැයි නැවතත් සිතා බැලිය යුතුයි. කෙනෙකුට සක්මන් කිරීමට සහ ව්‍යයාම කිරීමට සමතලා මතුපිටක් ඇති ඕනෑම තැනක පුළුවන්. නමුත් මුළු රටටම සුවිශේෂ වූ ඒ වගේම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු ගම්පහ දිසාවේ අභිමානය තහවුරු කරන මේ පුරා විද්‍යා පරිශ්‍රය වෙනත් අරමුණු සඳහා යොදාගැනීම එක්තරා අන්දමක අවභාවිතාවක් බවත් නොකියාම බැහැ. පුරා විද්‍යා ආඥාපණතට අනුව මෙම පරිශ්‍රය මුළුමනින්ම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නෛතික බලතලවලට යටත් රක්ෂිතයක්. ඒ පිළිබඳවත් මෙම සක්මන් මංපෙත ඉදිකළ බලධාරීන් නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. 

කෙසේ හෝ මේ කලුකුමාර දේව ඇදහිල්ල වගේම වීර මුණ්ඩ දේව ඇදහිල්ලත් අදත් බස්නාහිර පළාතේ ප්‍රදේශ ගණනාවක පැතිර තිබෙනවා. එහි එන කලු කුමාර දේව කන්නලව්වේ කලු කුමාරයාගේ පළායාම සඳහන් වන්නේ අපූරු ආකාරයකටයි. 

‛පිය රජ්ජුරුවන්ට හදිකම් කරවා 
පතහේ උල් සිටෝලා 
සළු  අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත්ගව්ව බලා වදාරා 
කුණුදිය පර්වතය පල්ලේ 
මිය යක් වී වදාරළා’ 

මෙහිදී ඉතා වැදගත් කතා දෙකක්ම අපට තේරුම්ගත හැකියි. එනම් මේ සළු අපුල්ලන ඇමැත්තා තමන්ගේ මවගේ වංශයේ කෙනෙකු වීම. දෙවැනි කරුණ තමයි වඩාත් රසවත්. එනම් අද වගේම එදත් ‛සලු අපුල්ලන’ ඇමතිවරුන් මෙරට දේශපාලනයේ සිටි බවයි. 

සකලකලාවල්ලභ රජු පිළිබඳව තවත් කතාවක් ලබන සතියේ දැනගනිමු. 

Wednesday, June 4, 2014

පබුලිනා සහ නාග මාණික්‍යය - Pabulina and Cobra Emerald



පබුලිනා හාමි කියන්නේ තරුණියක්. හැබැයි අද කාලේ ජීවත් වුණු තරුණියක් නම් නෙවෙයි. පබුලිනා හාමි ජීවත් වෙලා තියෙන්නේ මීට අවුරුදු 120කට විතර ඉස්සර. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කන්නිමහර කියන ගමේ. පබුලිනා හාමි  උපතින්ම වංශවත්. ඇගේ නෑ පරපුර අලගියවන්න මුකවැටිතුමාටත් සම්බන්ධයක් තියෙන බවයි කියැවෙන්නේ. ඒ කියන්නේ අලගියවන්න මුකවැටි තුමා විවාහ වුණේ සියනෑ කෝරළේ සේනාරත්න කියන පරපුරකින්. පබුලිනා අයිතිත් ඒ පරම්පරාවට. 

කොහොම වුණත් තරුණ වියට පත්වුණු පබුලිනා හාමිගේ විවාහ ජීවිතය නම් එච්චර සාර්ථක වුණේ නෑ. ඒකට හේතුව ඇය යන්තම් හිරිමල් වයසෙදිම තමන්ගේ ගෙදර මෙහෙකරුවකු සමඟ රහසේ පැනයාමයි. ඒ පුරුෂයා දොම්පේ ප්‍රදේශයේ කෙනෙක් කියලයි කියවෙන්නේ. පබුලිනා හාමිව විවාහකරගත්තට මොකද ඒ පුරුෂයා ජීවිතයේ කිසිම වටිනාකමක් නොදත් කෙනෙක්. සුරාවටයි, සූදුවටයි, තව වෙන වෙන දේවල්වලටයි තමයි එයාගේ හිත මුළුමනින්ම ගිහින් තියෙන්නේ. මේ තත්වය යටතේ පබුලිනා හාමි දවසින් දවසම අසරණ වෙනවා. අන්තිමේ සැමියාගෙන් කිසිම පිළිසරණක් නැතිව ජීවත්වෙන්න ක්‍රමයකුත් නැතිවුණා. පස්සේ පබුලිනා හාමි අලුවා දෝසි වගේ තමන් දන්න කැවිලි වර්ග හදාගෙන කැලණි විහාරයට ළඟට එන්න පටන්ගත්තලු. ඒ කාරණා දෙකකට. පළමුවෙනි කාරණය තමයි හැකිතාක් දුරට පින්දහමින් පිරුණු ජීවිතයක් ගතකිරීම. දෙවැනි කාරණය තමයි ජීවත්වීම සඳහා අර කැවිලි විකුණාගැනීම. මේ විදිහට සෑහෙන කාලයක් ගතකරපු පබුලිනා හාමිට පවුල් ජීවිතේ කොහොම වුණත් ඉතාම සුපිරිසිදු ආධ්‍යාත්මික ජීවිතයකට එළැඹෙන්න පුළුවන් වුණා. 

එක්තරා දවසක පින්දහම් කටයුතු නිමාකරපු පබුලිනා හාමි කැලණි විහාරයේ ඉදිරිපිට තියෙන ‛විහාරයේ තොටුපළ’ කියන තැනින් දිය නාන්න ගඟට බැස්සා. ටික වේලාවකින් එහි එක දිය සුළියක් ඇවිත් පබුලිනා හාමිව ගහගෙන ගියා. අවට සිටින ඇය කෑකෝ ගහන්න පටන් ගත්තා. කොහොම හරි තමන් කොයි ලෝකෙක යනවද කියලවත් පබුලිනා හාමිට වැටහුණේ නැහැ. කොහෙම හරි ඊට යම් වෙලාවකට පස්සේ පබුලිනා හාමිට පුදුමාකාර විදිහකට තමන්ගේ ජීවිතය බේරාගන්න පුලුවන් වුණා. ඒ දියේ ගිළීමේදී යමක් අතට අහුවුණු නිසයි. ගොඩට ඇවිත් අත දිගහැරලා බලන කොට අත්ලේ තියෙන්නේ නිල්ම නිල් පාට මැණික් කැටයක්. මිනිස්සු කිව්වේ ඒක නාග මාණික්‍යයක් කියලයි. ඒකට පැහැදිලි හේතුවකුත් තිබුණා. ඒ කැලණි විහාරයේ ඉදිරිපිට ඇති ‛විහාරයේ තොටුපළ’ ළඟින් නාග විමානයට පාරක් ඇතැයි කියන ජන විශ්වාසයයි. ඒ විශ්වාසය අදත් මිනිසුන්ගෙන් ගිළිහිලා නැහැ. මේ විහාරයේ තොටුපළෙන් දියේ ගිලුණු අයගේ මළ සිරුරුවත් නැවත හමුනොවන බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ. 

කොහොම වුණත් මේ මාණික්‍යයත් කැවිලි වට්ටියේ දාගත්තු පබුලිනා හාමි ගෙදර ගියා. ගමන් මහන්සිය නිසා නිදාගෙන ඇහැරුණු පබුලිනා හාමි නැවතත් අර කැවිලි වට්ටිය බලන කොට අර නාග මාණික්‍යය තිබුණේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? පබුලිනා හාමිගේ සැමියා ඒ නාග මාණික්‍යයත් සූදු පොළට අරන් ගිහින්. මේක දැනගත්ත පබුලිනා හාමි සැමියා සොයා හනික සූදු පොළට දිව ගියා. සැමියා හමුවුණත් ඒ වනවිටත් නාග මාණික්‍යය කවුරුන් හෝ රැගෙන ගිහින්. කොහෙම හරි මේ කාරණය දැනගත්තු සැමියා ඒ මොහොතෙම නාග මාණික්‍යය හොයන්න පිටත් වුණා. නමුත් කිසිම දාක ඔහු නැවත ආපහු අවේ නැහැ. නාග මාණක්‍යය ගත් තැනැත්තා ඔහු මරා දමන්නට ඇතැයි කියා තමයි ගම්මුන් කිව්වේ. නමුත් මින් පසුවත් පබුලිනා හාමි තමන්ගේ ආධ්‍යාත්මික දිවිපෙවෙත අතහැරියේ නැහැ. නාගමාණික්‍යය නැති වුණත් නිති පතා කැළණි විහාරයට ඇවිත් අර සුපුරුදු පින් දහම් කටයුතුවල යෙදෙන්නටත් වෙළෙඳාම කරන්නටත් පටන් ගත්තා. 

ඔය අතරේ දවසක් හොරණ ගෝනපොළ සහ කුඹුක ගම්මානවල වැසියන් පිරිසක් කැලණි විහාරයට පෙරහැරකින් ආවා. ඒ කුමක් හෝ පූජා චාරිත්‍රයක් සඳහා. මේ අය අතරේ ඒ පෙරහැර සංවිධානය කරපු ජැන්ඩි පහේ ඉලන්දාරියෙක් හිටියා. පබුලිනා හාමිව දැකපු මේ ඉලන්දාරියාගේ හිත ඇය කෙරෙහි යොමු වුණා. ඒ අනුව තමන්ගේ විස්තර අහපු තරුණයාට පබුලිනා හාමිත් තමන්ගේ ජීවිත කතාව අකුරක් නෑරම කිව්වා. කොහොම වුණත් පබුලිනා හාමි ඉතා ගුණ යහපත් තරුණියක් බව දැනගත්තු ඒ තරුණයා ඇය කරකාර බඳින්න කැමති වුණා. කැලණි විහාරයට වන්දනාවේ ආපු ඒ පෙරහැර ආයෙමත් හොරණ බලා ගියේ මඟුල් පෙරහරක් හැටියට. ඒ පබුලිනා හාමි මනමාලියක් විදියට කැන්දාගෙන යාම නිසයි. හොරණ පළාතෙන් ආපු පෙරහැරේ හිටි තරුණයා ඒ පළාතේ ප්‍රභූ පරපුරකට අයත් කුඹුකගේ අප්පුහාමි නමැත්තෙක් බවයි පැවසෙන්නේ. අදත් හොරණ ප්‍රදේශයේ ජීවත් වන කුඹුකගේ පරපුරත් කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත් වන සේනාරත්න පරපුරත් මේ ජනකතාවට සම්බන්ධවන්නටත් හැකියාවක් තිබෙනවා. 

Tuesday, May 20, 2014

සියනෑ කෝරළේ ගැමියන්ගෙන් ‛එලොව පොල් පෙන්වන’ සැරසිල්ලක් - A bemazed decoration by Siyana Korale peasants

ජෙරනිමෝ අසවේදු

ගම්පහ දිසාව ප්‍රධාන වශයෙන් කෝරල තුනකට බෙදෙනවා. ඒ තමයි සියනෑ කෝරලය, හාපිටිගම් කෝරලය සහ අළුත්කූරු කෝරලය. නමුත් මේ කෝරල තුනෙන් ගම්පහ දිසාව එක්ක වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ සියනෑ කෝරලේ. ගම්පහ ප්‍රදේශයේ සමහරු “අපි ඉතින් සියනෑ කෝරලේ මිනිස්සුනේ’ කියලා ඒ තුළින් තමන් සතු අනන්‍යතාවයක් විදහා දක්වන්න උත්සාහ කරපු අවස්ථාත් මං දැකලා තියනවා.

නමුත් ඇත්තෙන්ම  කියනවා නම් අතීතයේ මේ සියනෑ කෝරලයේ මිනිස්සු ගැන වෙනත් ප්‍රදේශවල ජනතාව අතරේ එක එක මතිමතාන්තර ඇති වුණා. විශේෂයෙන් සියනෑ කෝරලයට මායිම් වන කැලණි ගඟෙන්  එහා පැත්තේ තියන වර්තමාන කඩුවෙල, නවගමුව වගේ ප්‍රදේශ ආශ්‍රිත හේවාගම් කෝරලයේ ජනතාව සියනෑ කෝරලයේ මිනිස්සුන්ව එක්තරා විදිහකට හෙළා දකින ගතියකුත් තිබුණා. එක් දහස් පන්සිය පනස් නවයේ  දී සිද්ද වුණු සීතාවක රාජසිංහයන්ට සුවිශේෂ ජයක් අත් කරලා දුන්නු ඓතිහාසික මුල්ලේරියා සටනට නොමඳ දායකත්වයක් දක්වපු හේවාගම් කෝරලයේ රණකාමී ජනතාව සියනෑ කෝරලයේ වැසියන්ගේ නිහඬ අහිංසක චාම් දිවි පැවැත්ම දැක්කේ මෝඩ , නිවට බියසුළු කමක් විදිහට.
කොහොම හරි අපේ රටට පරංගීන් ඒ කියන්නේ පෘතුගීසීන් ගොඩ බැස්සට පස්සේ පෘතුගීසි රූකඩයක් විදිහට ජීවත් වුණු කෝට්ටේ අන්තිමට රජකම් කරපු  දොන් ජුවන් ධර්මපාල රජතුමාත් එක් දහස් පන්සිය අනූ හතේ අවුරුද්දේ මිය ගියා. ඒ  නිකම් නෙවෙයි, මුළු රටම පෘතුගාලයට අයිති යටත් විජිතයක් විදිහට පෘතුගීසීන්ට ලියලා දීලා. ලංකාවේ රජකම් කරපු දුර්වලම හා නිවටම පාලකයා විදිහට හඳුන්වන්න පුළුවන් දොන් ජුවන් ධර්මපාල රජතුමා එක් දහස් පන්සිය අසූව අවුරුද්දේ අගෝස්තු දෙලොස්වනදා අපේ රට පෘතුගීසීන්ට ලියලා දීපු ඒ ඔප්පුව හඳුන්වන්නේ ‛මල්වානේ ගිවිසුම’ නමින්.

කොහොම හරි මේ කාලේ වෙනකොට සියවස් ගණනක් ලංකාවේ අගනුවර වෙලා තිබුණු කෝට්ටේ රාජධානිය පරංගීන් අතට පත් වුණාට, කාලයක් පෘතුගීසීන්ගේ භාරයේ හිටපු  කොණප්පු බණ්ඩාර එක් දහස් පන්සිය අනූතුන අවුරුද්දේ  පළමුවෙනි විමලධර්මසූරිය නමින් කන්ද උඩරට සෙංකඩගල රජකමට පත් වෙනවා.  මේ හින්දා තමයි දොන් ජුවන් ධර්මපාල රජතුමා තෑගි ඔප්පුවකින් ලියලා දීපු ලංකා රාජ්‍යය අත්පත්  කර ගන්න අමුතුවෙන් සටන් වදින්න පරංගීන්ට සිද්ද වෙන්නේ. ඔය කාලේ වෙනකොට පෘතුගීසීන් තමයි මුළු ලෝකේම හිටපු බලවත්ම රණකාමී ජාතිය. ඒ රණකාමිත්වය හින්දා තමයි 1505 අවුරුද්දේ අපේ රටට ගොඩ බැහැපු ඔවුන් අපේ රටත් ආක්‍රමණය කරන්න මුල පිරුවේ.

බලන කොටුව

බලන කොටුව

දොන් ජෙරනිමෝ අසවේදු කියන්නේ ඔය කාලේ පෘතුගීසී හමුදාවේ  හිටපු බල සම්පන්න ජනරාල් වරයෙක්. ලංකාවේ පෘතුගීසී බලය දුබල වේගෙන එනකොට පෘතුගාලයෙන් ජනරාල් අසවේදුව එවන්නේ මිනිහා හොඳින් නැත්නම් නරකින් හරි ජය ටැඹ වෙත ළං වෙන්න දන්න රණශූරයෙක් හින්දා. කොහොම හරි එක් දහස් පන්සිය අනූ හතර අවුරුද්දේ ලංකාවට ගොඩබැස්ස අසවේදු තමන්ගේ වාසස්ථානය බවට පත් කර ගන්නේ සියනෑ කෝරලයේ මල්වාන. මේ හින්දා ඒ කාලේ සිංහලයන් අසවේදුව මල්වානේ රජ්ජුරුවෝ  නමින් හඳුන්වන්නත් පුරුදු වෙලා හිටියා. ඔය අතරේ කන්ද උඩරට රජකම් කරපු  පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින් කවද හරි කන්ද උඩරට රාජ්‍යයට අභියෝගයක් වෙන්න පුළුවන් හින්දා ‛පරංගි කෝට්ටේ’ ට එරෙහිවත් යුද මෙහෙයුම් කීපයක්ම ක්‍රියාත්මක කළා. කන්ද උඩරටින් එල්ල වුණු මේ ප්‍රහාරය කොච්චර බලවත්ව කියනවා නම් පෘතුගීසි හමුදාවේ සේනාධිනායක ගස්පාර් කොරයාත් මේ සටනේ දී මිය ගියා. ඊට පස්සේ තමයි මේ යුද නායකත්වය ජනරාල් අසවේදුට පැවරුණේ.

අසවේදු යුද සේනාධිපතියෙක් වගේම එක්තරා අන්දමක ලේ පිපාසිතයෙක්. අපේ රටේ ජනතාව බියෙන් ත්‍රස්තකරලා , මානසිකව වට්ටලා  තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගන්න  අතිශය කෲර නොමිනිස් ක්‍රියාමාර්ග අසවේදු අනුගමනය කළා. තමන්ගේ යුද සේනාංකය සමඟ ගම් වදින ජනරාල් අසවේදු කුඩා බිළිඳුන් උඩ වීසි කොට ඒ මතට කඩු මූනත ඇල්ලීම,  ගැබිණි  මව්වරුන්ගේ උදරය පැළීම රෝගීන් සහ මහල්ලන් සහිත නිවාස ඔවුන් පිටින්ම ගිනිබත් කිරීම ඒ කෲර ක්‍රියා අතරින් කිහිපයක්. ජනරාල් අසවේදු කරන මේ කෲර ක්‍රියාවන් ගෙන් සියනෑ කෝරලයේ අහිංසක ගැමියන්ගේ මනැස් භීතියෙන් හා කම්පාවෙන් කීරි ගැසුණාට සැකක් නැහැ.

කොහොම හරි මේ කාලේ වෙනකොට පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා මේ පරංගි උවදුර නැති කරන්න ලන්දේසීන්ගෙනුත් උදව් ඉල්ලා සිටියා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලපු ලන්දේසිනුත්, එක් දහස් හයසිය දෙකේ ජෝරිස්ෆන් ස්පිල්බර්ජන් සහ සීබෝල්ට් ද චාට් කියන නාවුක සේනාධිපතීන් දෙන්නා නාවුක සේනාංක ද සමඟ ලංකාවට පිටත් කළා. ඒ මුහුදු ප්‍රහාර එල්ල කර පරංගීන් වනසා දමන්න. 

කොහොම හරි එළැඹෙන තත්ත්වය යටතේ හැකිතාක් ඉක්මනින් කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගත යුතුය කියලා අසවේදු  තීරණය කරන්නේ පළමුවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවනුත් යුදමය වශයෙන් සෑහෙන ප්‍රබල තත්ත්වයක ඉන්න බව ඒත්තු ගිය නිසයි. ඒ හින්දම තුන්සියයක පෘතුගීසි හමුදාවක් සහ විසි පන් දහසක ලස්කිරිඤ්ඤ ඒ කියන්නේ කුලී හේවා බල ඇණියකුත් එක්ක අසවේදු කන්ද උඩරට ආක්‍රමණයකට මුල පුරනවා. මේ කුලී හේවා බල ඇනියට නායකත්වය දෙන්නේ සීමන් සිඤ්ඤෝ සහ සමරකෝන් මුදලි  කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනායි. කන්ද උඩරට රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක පලිහ තමයි බලන කොටුව. පහත රටින් සහ හත් කෝරළය, පැත්තෙන් එන සතුරු බල ඇණි මේ බලන කොටුවෙ සිට කදිමට නිරීක්ෂණය කළ හැකිව තිබුණා. ඒ හින්දා කන්ද  උඩරට අත්පත් කර ගන්න නම් මේ ‛මරු නිලයට‛ පහර දිය යුතුය යන්නයි යුද විශේෂඥයකු වුණු අසවේදු ගේ නිගමනය වුණේ. ඒ සඳහා ඔහු මුලින්ම බලන කොටුවේ පරිවාර බල කොටු වන බුද්දස්ගොඩ , අලුත් නුවර , අට්ටාපිටිය, ගණේතැන්න කියන බලකොටුවලට පහර හෙලන්න පටන් ගත්තා. ඒත් ඒ වැඩෙත් අසවේදු හිතපු තරම්ම පහසු වුණේ නැහැ. ඒ ඔය කියන සටන්වලින් තම සේනාවෙ බර ගණනක් මිය පරලොව ගිය හින්දා. කොහොම හරි තමන්ගේ උපරිම බලය යොදවපු අසවේදු එක් දහස් හයසිය තුනේ ජනවාරි දහ අට වැනිදා තමන්ගේ සේනාවන් එක්ක බලන දුර්ගය වෙත ළඟා වුණාය කියමුකෝ. ඒත් බලන කැළයේ තිබුණු රූස්ස ගස් එකි‛ක සෙබලුන් ගේ හිස් මතට පතිත වෙන්නත් ඉහළ කඳු මුදුන් වල තිබුණු යෝධ ගල් පර්වත පහළට පෙරලී ඇවිත් සෙබලුන් පණ පිටින් වැළලෙන්නත් පටන් ගන්න කොට තමයි අසවේදුට වැටහුණේ සිංහල හමුදාව  වන සටන්වල මොන තරම් දක්ෂයොද කියලා. කොහොම හරි ඔය අතරේ අසවේදුට ආරංචි වුණා, විමලධර්මසූරිය රජතුමා සටන අතහැරලා බලන කොටුවෙන් සෙංකඩගලට පැනලා ගියා කියලා. මේ ආරංචිය ගෙනාපු සිංහල මිනිස්සු කීප දෙනෙක් අසවේදුට බලන කොටුවට ඇතුල් වෙන පාරත් පෙන්නනවා. කොහොම හරි සිංහලයන්ගෙන් ලැබෙන ඒ මසුරන් වටින ඔත්තුව මත එක් දහස් නවසිය තුනේ පෙබරවාරි දෙවෙනිදා බලන කොටුවට ඇතුල් වෙන අසවේදුට දකින්න ලැබෙන්නේ යකුන් නැටූ පිට්ටනියක් වගේ පාළුවට ගිහින් තියන බලන කොටුවයි. ඉතින් තවත් මොනවද කතා? බලන කොටුවේ පෘතුගාල යුද ජයග්‍රහණ කාහලය වාදනය කරවන අසවේදු එහි සිට මධුපැන් සාදයකුත් පවත්වනවා. ඒත් උන්නැහේ දවස් තුන හතරක් බලන කොටුවට වෙලා  බාල් නටන අතරේ විමලධර්මසූරිය රජතුමා බලන කොටුව වටා සිංහල සේනා රඳවනවා. පරංගීන්ට එළියට එන්න බැරි විදිහට.  පස්සෙයි අසවේදුට වැටහෙන්නේ රජතුමා මේ විදිහට පසු බැහැලා තියෙන්නේ යුද උපායක් විදිහට කියලා. මෙතනදී  බලන කොටුව වට කරගෙන ඉන්න සිංහල සේනා සහ පරංගීන් අතර යුද්දේ දී පරංගී ලේවලින් බලන කොටුවෙන් ගලා බසින දිය  පාරවල් පවා රතුපාට වුණාය කියලා කියනවා. මේ සටනින්  පෘතුගීසි භටයන් තුන්සියයකුත් කුලී හේවායන් විශාල පිරිසකුත් මිය ගිය පුවත රිබියරෝ කියන පෘතුගීසි කපිතාන් වරයා ගේ ඉතිහාස වාර්තාවකින්ම තහවුරු  වෙනවා. කොහොම හරි මේ විදිහට ගියොත් තමන්ටත් මේ බලන කොටුවේ දීම කෲර මරණයක් අත්පත් වෙන බව දැන ගත්තු වීර සිංහයෙක් වගේ කන්ද උඩරට ජයගන්න  ගිය අසවේදු නිවට සිඟාලයෙක් වගේ ආයිමත් මල්වානේ තමන්ගේ මන්දිරයට පසු  බසිනවා. නමුත් ඒ වෙන කොටත් එතෙක් මෝඩ නිවට , නියාලු පිරිසක් විදිහට අනික් පළාත්වල වැසියන් ගෙන් ආඩපාලි අහපු අහිංසක සියනෑ කෝරලේ වැසියන් අසවේදු පිළිගන්න මල්වානේ මාලිගාවේ ගස්වල  අපූරු සැරසිල්ලක් යොදලා  ඉවරයි. ඒ සැරසිල්ල සකස් කරලා තිබුණේ මාලිගාවෙ ආරක්ෂාවට රඳවලා හිටිය නිලධාරීන්ගේ සහ හේවායන්ගේ මිනී ඔළු වලින්. මේක දකින ඕනෑම කෙනෙකුගේ ඉහ මොළ රත් කරවන ත්‍රාස ජනක දර්ශනයක්.


මුළු රටටම බියෙන් සලිත කළ  මේ මහා ත්‍රස්තවාදියා සියනෑ කෝරලේ වැසියන්ගේ මේ හපන් කමින් මොන තරම්  භ්‍රාන්ත වුණා ද කිව්වොත් ඒ මොහොතෙම මල්වානෙ තමන්ගේ මාලිගාව අත හැරලා ගිහින් කෙළින්ම නතර වෙන්නේ ඒ වෙනකොට පෘතුගීසීන් යටතේ තිබුණු කොළඹ කොටුව ඇතුලේ. කොහොමද මෝඩ නිවට නියාලූ සියනෑ කෝරලේ ගැමියන්ගේ අහිංසක වැඩ.

Monday, May 12, 2014

’නන්ද’ හිමිවරුන් වැඩ සිටි නිසා නන්දාරාමය වුණු මණ්ඩාවල පන්සල - Mandawala Temple which named after Nandaramaya because it was the residence for Nanda Theros

නන්දාරාමය
එක්දහස් අටසිය අනූ නවයේ දෙසැම්බර් තිස් එක් වෙනිදා ලෝක විනාශයක් සිද්ධ වෙනවය කියන ආරංචියෙන් බයෙන් තැතිගත්තු මණ්ඩාවල වැසියෝ එදා දවසම ශීල සමාදානයෙන් ගත කරපු ‛මෙනේරිලන්ද’ කියන ඉඩම රුපියල් හතළිස් පහකට මිලදී ගත්තු ප්‍රවෘත්තිය අපි පහුගිය සතිවල දැනගත්තානේ. ඊට පස්සේ ඒ ඉඩමේ පන්සලක් හදවලා වැඩ වාසය කරවන්න හාමුදුරු නමක්’ හොයා ගන්න තමයි මණ්ඩාවල ගැමියන් එකතුවෙලා පොකුණුවිට විනයාලංකාරාමයට ගියේ. ඒ අනුරාධපුර රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන්න දාඩිය මුගුරු හෙළමින් වෙහෙස මහන්සි වුණු බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන් ගැන ඇතිවුණු පැහැදීම හින්දා. තමන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු පොකුණුවිට විනයාලංකාරාමයට අමතරව බුරුම පන්සල් නමින් ප්‍රසිද්ධියට පත්වුණු තවත් වෙහෙර විහාර දෙක තුනක්ම පහු කාලේ වෙනකොට අගනුවර සහ ඒ ආශ්‍රිතව ගොඩනැඟුණා. 

ඒ වගේම විනයාලංකාර හාමුදුරුවන්ගේ ශිෂ්‍ය රත්නයක් වුණු පස්සේ කාලෙක අපගේ ශාසනාම්බරයේ පුන් සඳක් විදිහට බැබලුණු රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවෝ එකොළොස් හැවිරිදි සාමණේර හිමිනමක් හැටියට 1908 අවුරුද්දේ ධර්ම අධ්‍යාපනය සඳහා බුරුම රටට වැඩම කළා. 

කොහොම නමුත් මෙනේරිලන්දේ පන්සලක් තනලා විනයාලංකාර හාමුදුරුවන්ව ඒකේ වැඩ වාසය කරවා ගන්න මණ්ඩාවල වැසියන් කරපු ඉල්ලීම උන්වහන්සේ එක් වරම ප්‍රතික්‍ෂේප කළෙත් නැහැ. 

‛‛හොඳයි එහෙම නම් අපි ඔය වැඩේ හෙමිහිට පටන් ගනිමු. මට ඔය පන්සලේ වැඩ වාසය කරන්න බැරි වුණාට මම මගේ ගෝල නමක්ව එවන්නම්කෝ’’ තමන් වහන්සේ බැහැදකින්න විනයාලංකාරාමයට පැමිණි මණ්ඩාවල පිරිසට විනයාලංකාර හාමුදුරුවෝ එහෙම කිව්වා. දැන් මණ්ඩාවල ගැමියන්ට හරිම සතුටුයි. 

ඒ වගේම ඒ පන්සලට යොදන්න අපූරු නමකුත් උන්වහන්සේ යෝජනා කළා. ඒ නම තමයි සුජන ඛන්තාරාමය, සත්පුරුෂයන් ගේ සිත් ගත්තු ආරමය කියන එක තමයි ඒකේ තේරුම. 

ඔය වෙනකොට විනයාලංකාර හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයකුත් අපේ රටේ වැඩ වාසය කළා. විනයාලංකාර හාමුදුරුවෝ වගේම සුපේක්‍ෂල ශික්ෂාකාමී දිවි පෙවෙතක් ගත කරපු උන්වහන්සේ ගේ නම ‛නන්දග්‍රාහී’, බුරුම ජාතික වුණත් සිංහලයෙන් බණ කීමේ අපූරු හැකියාවක් තිබුණු මේ හාමුදුරුවන් ඒ කාලේ රටපුරාම ප්‍රසිද්ධ වුණේ තල්ගස්මොටේ හාමුදුරුවෝ නමින්. 

කොහොම හරි සුජන ඛන්තාරාමය නමින් ආරම්භ වුණු මේ මණ්ඩාවල අලුත් පන්සල භාර වුණේ ඒ නන්දග්‍රාහී හාමුදුරුවන්ට. පන්සලේ ආරම්භයේ දීම වගේ ඒ ගම්වලින් තෝරා ගත් කුල දරුවන් එකොළොස් දෙනෙක් පැවිදි බිමට පත් වුණා. ඒ නන්දග්‍රාහී හාමුදුරුවන්ගේ උපධ්‍යායකත්වයෙන්. ඒ සාමනේරවරුන්ගේ විශේෂත්වය තමයි හැම සාමණේර නමකගේම නම අගට ‛නන්ද’ කියලා කොටසකුත් තිබීම, ඒ කියන්නේ බුද්ධානන්ද, මේධානන්ද, සීලානන්ද, සද්ධානන්ද වගේ. 

ඔය කාලේ වෙනකොට වැඩිදුර ධර්ම අධ්‍යාපනය සඳහා බුරුම රටට වැඩම කරපු රේරුකානේ චන්දවිමල සාමණේර හිමියනුත්  1917 අවුරුද්දේ දී උපසම්පදා සම්පන්න හිමි නමක් හැටියට ආයිමත් ලංකාවට වැඩම කරලා හිටියා. ඒ වගේම බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් ගෙන් ආරම්භ වුණු මේ ශිෂ්‍ය පරපුර ස්වේජින් නිකාය හැටියටත් ප්‍රසිද්ධ වුණා. මේ නව නිකාය නිසා මේ කාලය වෙනකොට මොන තරම් ශාසන ප්‍රබෝධයක් ඇතිවෙලා තිබුණ ද කිව්වොත් ඒ වෙනකොට වෙනත් නිකායන්වල පැවිදි වෙලා හිටපු තරුණ හාමුදුරුවරු නැවතත් මේ නව නිකායේ පැවිදි බව ලබන්නත් පුරුදු වෙලා හිටියා. අරංගල සිරිධම්ම කියන්නේ කලින් ඒ විදිහට වෙන නිකායක මහණ වෙලා පස්සේ ස්වේජින් නිකායට ඇතුල් වුණු හිමිනමක්. ඒ වෙනකොට බුරුම රටට වැඩම කරලා ගැඹුරු ධර්ම අධ්‍යාපනයක් ලබාගෙන මව්බිමට වැඩම කරලා හිටපු අරංගල සිරිධම්ම හාමුදුරුවෝ සුවිසල් ජනප්‍රසාදයකටත් පත් වෙලා හිටියා. සිරිධම්ම හිමියන්ට, කොහොම හරි පහුවෙනකොට සිරිධම්ම හාමුදුරුවන් වරින් වර ගිලන් වුණු හින්දා නන්දාරාමයේ අධිපති පදවිය දෙවිනුවර ඥානාවාස සහ උඩුවේ විමලරංසි කියන හාමුදුරුවරුන්ට පැවරෙනවා. මේ අතර නන්දාරාම විහාරස්ථානයේ මහණ වී වැඩ සිටිය ‛නන්ද’ නමින් හැඳින්වුණු හාමුදුරුවරුන් අතුරින් මණ්ඩාවල සද්ධානන්ද හාමුදුරුවෝ ධර්ම විනය ධර මහා පඬි රුවනක් විදිහට කැපී පෙනෙන්න පටන් ගත්තා. ඒ වගේම තමන් වහන්සේ සතු ධර්ම ඥානය ලෝකයට දායාද කරවීම පිණිස 1959 අවුරුද්දේ උන්වහන්සේ ඒ විහාරස්ථාන භූමියේම ශ්‍රී නන්දාරාම පිරුවන ආරම්භ කළා. ඒ ඊට අවුරුදු පනස් තුනකට කලින් කජු වැටියේ පෑලිස් සිංඤ්ඤෝ ගේ අකුරු මඩුව තිබුණු තැනමයි. මේ අතර රූපසිංහ ජයවර්ධන මුහන්දිරම් රුවිතන් පෙරේරා ගම් සැරියන් රාළහාමිගේ ඉඩමේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් හැටියට ස්ථාපිත වුණු ඒ අකුරු මඩුව පස්සේ මණ්ඩාවල නගරයට නොදුරු වෙනත් ස්ථානයකට රැගෙන ගියා. ඒක තමයි අද මණ්ඩාවල මහා විද්‍යාලය නමින් හැඳින්වෙන්නේ. ඉතින් මදැයි ලෝක විනාශයක් හින්දා මණ්ඩාවල ගැමියන්ට අත්වුණු සෙත ශාන්තිය ෟ සියනෑ කෝරලේ ගැමියන් කරපු අපූරු හපන් කමක් ගැන ලබන සතියේ කතා කරමු. 

Tuesday, May 6, 2014

මණ්ඩාවල වැසියන්ට අනුරපුරදී හමු වූ අපූරු හිමි නම - The Strange Buddhist Monk Encountered by Mandawala Villagers at Anuradhapura

එක්දහස් අටසිය අනූ නවය අවුරුද්දේ ලෝක විනාශය සිද්ද වෙනවා කියලා පැතිරුණු ආරංචියකින් බය වුණු සියනෑ කෝරලේ මණ්ඩාවල, අනුරාගොඩ, වෙරළුගම්පල කියන ගම් තුනේ වැසියෝ සේරම වැඩකටයුතු අතහැරලා එදා මෙනේරිලන්ද කියන ඉඩමට වෙලා සිල් සමාදන් වුණු කතාව ඔය කාටත් මතක ඇතිනේ. ඒ වගේම ඒ ආරංචියේ හැටියට එදා ලෝක විනාශය සිද්ද නොවුණු හින්දා සතුටින් ඉපිලී ගිය ඒ ගැමියෝ පන්සලක් හදන්න කියලා රුපියල් හතළිස් පහකට ඒ ඉඩමින් කොටසක් මිලට ගත්තු හැටිත් මං කීවා, මතකයිනේ. නමුත් මුලදී පන්සලක් විදිහට පුංචි පොල් අතු මඩුවක් හදාගෙන ඒකේ හාමුදුරු නමක් ස්ථිරව නතර කරගන්න ගම්මු කීප සැරයක්ම උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. 

නමුත් ඔය කාලය වෙනකොට ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ලංකාගමනය හින්දා රටපුරා නව ජාතික, ශාසනික ප්‍රබෝධයක් ඇතිවෙලා තිබුණා. ඉංග්‍රීසීන් රටපුරා ව්‍යාප්ත කරමින් තිබුණු බටහිරට ගැති මිෂනාරී අධ්‍යාපනයට ඉඳුරාම වෙනස් ජාතික ආගමික වශයෙන් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නව අධ්‍යාපන ප්‍රබෝධයක් ඒ වෙනකොට රට පුරා පැතිරෙමින් තිබුණ. ඒ ප්‍රබෝධයට මුල් වී ක්‍රියාකළේ ඕල්කට් තුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු ‛බී.ටී.ඇස්. එක’ කියලා ගැමියන් අතරේ ප්‍රසිද්ධ වුණු ‛පරම විඥානාර්ථ බෞද්ධ සංගමය’. ඔය කාලේ වෙන කොට මේ නව ජාතික සාමාජික පුනර්ජීවනය මගින් කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද වැනි දේශීයත්වයට මුල් තැන දෙන ප්‍රධාන පාසල් පවා පටන් අරන් තිබුණා. 

විසි වෙනි සියවසේ ආරම්භය වෙන කොට රටපුරාම පැතිරිලා තිබුණු මේ නව අධ්‍යාපන ප්‍රබෝධය කොහොම හරි මණ්ඩාවල ගැමියන්ටත් දැනිලා තිබුණා. ඒ හින්දම මණ්ඩාවල තරුණයන්ටත් හෝඩිපොත කියාදීමේ වැඩපිළිවෙළක් ගැන ගැමියන් හිතන්නට වුණා. මොකද ඒ වෙනකොට මණ්ඩාවල සහ ඒ අවට ගම්මුන් ගේ අධ්‍යාපන මට්ටම හොඳටම දුර්වලයි. ඔය කාලේ මණ්ඩාවල හිටපු ලොකුම උගතා තමයි කජුවැටියේ පීරිස් සිඤ්ඤෝ. එතුමා සිංහල හයවැනි කැලෑසිය දක්වා ඉගෙන ගත්තු උගතෙක්. ඒ කාලේ සිංහල අධ්‍යාපනයේදී කැලෑසිය කියලා හැඳින්වුණේ පන්තිය කියන එක. ක්ලාස් කියන ඉංගිරිසි වචනේ තමයි සිංහලෙන් කැලෑසිය වුණේ. පස්සේ තමයි ඒවා හඳුන්වන්න ඔය පන්තිය, ශ්‍රේණිය, වසර වගේ අළුත් වචන එකතු වුණේ. 

කොහොම හරි කජුවැටියේ පීරිස් සිංඤ්ඤෝ ගුරුතුමා ගේ මේ පාසල හැඳින්වුණේ ‛අකුරු මඩුව’ කියලා මේ අකුරු මඩුව ආරම්භ වුණේ මෙනේරිලන්දේ තියන පන්සලක් සඳහා වෙන්කරපු ඉඩමේ. පන්සලක් බැරි නම් මෙතන පාසලක් හරි පටන් ගන්න මණ්ඩාවල ගැමියන් හිතපු එක නම් විශිෂ්ටයි. කොහොම හරි මේ අකුරු මඩුවට ආවේ දැන් පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ඇතුල් වෙනවා වගේ පුංචි කිරි සප්පයෝ එහෙම නෙවෙයි. හොඳට කර දඬු උස්වෙලා දැලි රැවුල් ආපු පංකාදු පහේ ඉලන්දාරි. 

අපේ රටේ උතුරු දිග දුම්රිය මාර්ගය එක්දහස් නවසිය තුනේ නොවැම්බර් පළමුවෙනිදා වෙන කොට අනරාධපුරය දක්වාම දීර්ඝ කරලා තිබුණා. මේ හින්දා බණ කතා, රජකතාවලින් අහලා විතරක් තිබුණු අනුරාධපුරට වන්දනාවේ යන්න හීන මවපු සියනෑ කෝරලයේ ගැමියන්ට මේක හතර මහා නිධානයක් පහළ වුණා වගේ වැඩක්. අනුරාධපුරේට දුම්රිය ගමන පටන් ගත්තාට පස්සේ මණ්ඩාවල ඇතුළු සියනෑ කෝරලයේ ගැමියෝ මොකද කළේ ආහාරපාන, ඉවුම් පිහුම් කළමනා, ඇඳුම් කැඩුම් වගේ ගමන් උපකරණ සේරම පටවා ගෙන බර කරත්ත සහ බර බාගවලින් ඒ කාලේ ‛හෙනරත්ගොඩ’ නමින් හැඳින්වුණු ගම්පහ දුම්රිය පළට සේන්දු වුණා. එතැන ඉඳලා ඒ අය අනුරාධපුරේට ගියේ යකඩ යකා ගේ පිහිටෙන්. 
කොහොම හරි මේ කාලේ වෙනකොට අනුරාධපුර රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණ සමිතිය මගින් රුවන්වැලි සෑ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹලා තිබුණා. වන්දනාකාරයොත් ඒකට මිල මුදලින් වගේම කායික ශ්‍රමයෙනුත් සෑහෙන්න දායක වුණා. ඔය විදිහට අනුරාධපුර අටමස්ථානය වැඳ ගන්න ගමන් රුවන්වැලි සෑ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට කායික ශ්‍රමයෙන් දායක වෙන්න හිතාගෙන අනුරාධපුර වන්දනාවේ ගිය මණ්ඩාවල පැත්තේ ගැමියන් පිරිසකට රුවන්වැලි සෑ මළුමේදී එක් සුවිශේෂ අමුත්තෙක් මුණ ගැහුණා. ඒ බුරුම ජාතික හාමුදුරු නමක්. හැබැයි ඒ හාමුදුරුවොත් රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී දහඩිය මුගුරු හෙළමින් නොසෑහෙන්න මහන්සි වෙන හැටි දැක්ක මණ්ඩාවල වන්දනා නඩය පුදුම වුණා. ඒ වගේමයි උන් වහන්සේ ගැන ඇතිවුණු පැහැදීමත්. 

රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට පෙර


රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට පෙර

බුරුම හාමුදුරුවන්ගේ මේ අධිශ්ඨානය, උත්සාහය කැපවීම දැක්ක මණ්ඩාවල වැසියෝ උන්වහන්සේව මෙනේරිලන්දට වැඩම කරවා ගත්තොත් නම් අහල ගම් හතකටම වශාල සෙතක් ශාන්තියක් වෙන බව හොඳාකාරව තේරුම් ගත්තා. ඊට පස්සේ මේ වන්දනා නඩය හාමුදුරුවන්ට බොහොම ගෞරවයෙන් තමන්ගේ ගමේ වැඩවාසය කරන්න ආරාධනා කළා. 

‛‛ආරාධනාව නම් බොහොම අගෙයි. ඒත් මම ලංකාවට වැඩම කළේ වන්දනා ගමනකට නොවැ. දැන් මෙතනින් සිරිපාදෙට වැඩම කරලා ආපහු ගම රටට යන්න කොලොම්තොටින් නැව් නගින්නයි මගේ කල්පනාව.’’ ඒ බුරුම හාමුදුරුවෝ එහෙම කිව්වා. උන්වහන්සේගේ නම තමයි යූ. විනයාලංකාර. 


බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමි

කොහොම හරි ඉතින් අපේ වන්දනා නඩෙත් අනුරාධපුරේ අටමස්ථාන වන්දනා කරගෙන කිසිම දුකක් කරදරයක් නැතුව ආපහු මණ්ඩාවලටම සේන්දු වුණාය කියමුකෝ. 

ඒ වගේම අර බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවොත් අනුරාධපුරයේ ඉඳලා ශ්‍රීපාදස්ථානයට වැඩම කරලා ශ්‍රී පාදයත් වන්දනාමාන කරගෙන රත්නපුර පානදුර පාර ඔස්සේ පාගමනින් කොළඹට වැඩම කරමින් හිටියා. ඔය අතරේ හොරණ කිට්ටුව තියන කුළුපණ කන්ද කියන පර්වතය දැකලා දවසක් හමාරක් විතර විවේක සුවයෙන් පසුවෙන්න හිතාගෙන උන්වහන්සේ ඒකේ නතර වුණා. ඒත් එක්කම බුරුම රටින් ලංකාවට වැඩම කරපු හාමුදුරු නමක් කුළුපණ කන්දේ වැඩ ඉන්නවා කියන ආරංචිය ගම පුරාම පැතිරුණා. මුළු ගම්මානෙම ඉන්න මිනිස්සු මොකද කරන්නේ, දාන මාන පිළියෙල කරයෙල කරගෙන උන්වහන්සේව බැහැදකින්න ආවා. එක දිගටම ගලා ගෙන මේ ජන ගංගාව හින්දා විනයාලංකාර හාමුදුරුවන්ට කුළුපණ කන්දෙන් පිටතට එක අඩියක් වත් වඩින්න ඉඩක් ලැබුණේ නෑ. ඒ වගේම ගම්මු හැමෝම විනයාලංකාර හාමුදුරුවන්ගෙන් එකම ඉල්ලීමක් කළා. ඒ තමයි අනේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු හරිම අඩුයි. ඒ හින්දා අපිට අනුකම්පා කරලා මේ ගමේ දිගටම වැඩ වාසය කරගෙන අපිට බණක් දහමක් කියලා දෙන්න කියලා. ගම්වැසියන්ගේ මේ පෙරැත්තය කායිතරම් බලවත් වුණාද කියනවා නම් ආපහු තමන් වහන්සේ ගේ උපන් රට වුණු බුරුමයට වඩින ගමන ගැන නැවත හිතන්න විනයාලංකාර හාමුදුරුවන්ට සිද්ද වුණා. ඔය අතරේ වැලිගම්පිටියේ බී.එල්. ගුණවර්ධන අප්පුහාමි කියන දාන පති ප්‍රභූවරයා ඉතසිතින්ම කැමති වුණා, තමන් සතු ඉඩමක විනයාලංකාර හාමුදුරුවන් සඳහා අරාමයක් තනවලා දෙන්නා. 
පොකුණුවිට විනයාලංකාරාමය

ඩී.එල්. ගුණවර්ධන අප්පුහාමි ප්‍රමුඛ හොරණ බෞද්ධ ජනතාව එක්ව තැනූ විහාරස්ථානය තමයි හොරණ පොකුණුවිට විනයාලංකාරාමය. කොහොම නමුත් විනයාලංකාර හාමුදුරුවෝ ධර්මධර විනයධර වගේම බොහොම ක්‍රියාශීලී හිමිනමක් නේ. ඒ අනුව උන්වහන්සේ විහාරස්ථානය ඉදිකළ අළුතම වගේ තමන් වහන්සේගේ උපාධ්‍යායකත්වය යටතේ 1906 වසරේ කුල දරුවන් විසිහත් දෙනෙක්ම පැවිදි කර ගත්තා. ඉන් එක් ශිෂ්‍ය හිමිනමක් තමයි පසුගිය කාලයේ අපවත් වී වදාළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නා හිමිපාණෝ. 

රේරුකානේ චන්දවිමල නාහිමි


විනයාලංකාර හිමියන්ගේ මේ ශාසනික සේවය අපේ රට තුළ මොන තරම්  ප්‍රබල විදිහට ක්‍රියාත්මක වුණාද කියනවා නම් වසර කිහිපයක් තුළ උන්වහන්සේ ගේ ශිෂ්‍ය පරපුරට සමාජයේ ඉහළම පිළිගැනීමක් ලැබුණා. ‛අලි දෙන්නා පන්සල‛ නමින් ප්‍රසිද්ධ දෙමටගොඩ මහ විශුද්ධාරාමය සහ බුරුම පන්සල නමින් ප්‍රකට මකුටාරාමය උන්වහන්සේ ගේ ශිෂ්‍ය පරපුර වැඩවෙසෙන විහාර අතරින් දෙකක්. කොහොම හරි එදා අනුරාධපුරයේ දී තමන්ට මුණ ගැසුණු බුරුම ජාතික හාමුදුරුවන් ගේ මේ උතුම් ශාසනික මෙහෙවර ගැන මේ වෙනකොට මණ්ඩාවල ගැමියන්ටත් දැන ගන්න ලැබුණා. ඒ හින්දා කොහොම හරි උන්වහන්සේව මෙනේරිලන්දට වැඩම කරවලා එතැන විහාරස්ථානයක් තනවන්නයි කාගේත් එකම අරමුණ වුණේ. ඊට පස්සේ මණ්ඩාවල වැසියන් මොකද කරන්නේ නැකත් ඇදුරෙක් ලවා හොඳ වෙලාවක් එහෙමත් බලාගෙන විනයාලංකාර හාමුදුරුවන්ව බැහැ දකින්න පොකුණුවිටටත් ගියා කියමුකෝ. 

ඒ වගේම මේ වෙනකොට මෙනේරිලන්දේ තිබුණු කජුවැටියේ පීරිස් සිඤ්ඤෝගේ අකුරු මඩුවත් සෑහෙන ප්‍රගතියකට ලක්වෙලා තිබුණා. ඒ කාලයේ මණ්ඩාවල විසූ ප්‍රභූවරයෙක් වුණු රූපසිංහ ජයවර්ධන මුහන්දිරම් රුවිතන් පෙරේරා හෙවත් ගම් සැරියන් රාළාහාමි ගේ අනුග්‍රහය යටතේ ඒ අකුරු මඩුව එතුමන් සතු ඉඩමකට ගෙන ගිහින් බී.ටී.ඇස්. පාසලක් බවට පත් කර ගෙන තිබුණා. ඒ හින්දා මේ කාලේ වෙනකොට මෙනේරිලන්දේ අකුරු මඩුව කරපු ගොඩනැගිල්ලත් නැවතත් පාළුවට ගිහිල්ලයි තිබුණේ. 

මේ කතාවේ ඉතුරු කොටසත් හරිම රසවත්. ඒක අපි ලබන සතියේ දැන ගනිමු 

Friday, April 18, 2014

මණ්ඩාවල ‛ලෝක විනාශ’ සීල වැඩසටහන - Sil Campaign for the 'World's End" at Mandawala



ලෝක විනාශය කියන්නේ මේ ලෝකේ ඉන්න කාගේ වුණත් සිත් තුළ භීතිය කුතුහලය දනවන අහන්නවත් අකමැති මාතෘකාවක්. නමුත්, මේ ලෝක විනාශය මුල් කරගෙන මෑත ඉතිහාසයෙන් මතු වුණු ඉතාම රසවත් සත්‍ය කතා ප්‍රවෘත්තියක් හොයා ගන්න මට පහුගිය කාලයේ පුළුවන් වුණා. ඒ ගම්පහ දිසාවේ දොම්පේ ආසනයට අයිති මණ්ඩාවලින්. මණ්ඩාවල කියන්නේ ඓතිහාසික ජනප්‍රවාද කිහිපයකටම සෘජු සම්බන්ධතාවයක් ඇති සියනෑ කෝරළයට අයිති සුන්දර ගම් පියසක්. මේ ප්‍රදේශය අතීතයේ සමාජ, ආර්ථික සංස්කෘතික අතින් අතිශය දියුණු තත්ත්වයක තිබුණු බව සනාථ කෙරෙන සාධක බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් කෝට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක්ව පැවැති කෑරගල පද්මාවතී පිරිවෙන සහ මහනුවර යුගය තෙක් ආගමික වශයෙන් වගේම අධ්‍යාපනික වශයෙන් ද දියුණු තත්ත්වයක පැවතුණු අනුරාගොඩ ටැම්පිට විහාරය මේ මණ්ඩාවල ප්‍රදේශයේ අදටත් ශේෂව පවතින සංස්කෘතික ධන නිධාන විදිහට හඳුන්වන්න පුළුවන්. 

තත්ත්වය එහෙම වුණත් අපේ රට ඉංග්‍රීසි පාලනයට නතු වුණාට පස්සේ මණ්ඩාවල ප්‍රදේශයේ එතෙක් පැතිරී තිබුණු ආගමික සංස්කෘතික ආලෝකය ශීඝ්‍රයෙන් අඩුවෙන්න පටන් ගත්තා. ඒ වගේ තත්ත්වයක් තුළ එතෙක් ප්‍රදේශයේ තිබුණු සමාජ ආර්ථික දියුණුවත් හොඳටම පහළ බසින බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අන්න ඒ වගේ කාලයක් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. 

මම  ඔය  කියන කාලේ ඒ කියන්නේ දහනව වන සියවසේ අගභාගය විතර වෙන කොට මණ්ඩාවල ගැමියන්ගේ ජීවන රටාව මුළුමනින්ම ගොවිතැන් කටයුතු මතම රඳා පැවතුණා.  ප්‍රධාන වශයෙන්ම වී වගාව, ඊට අමතර පොල් වගාව ඊටත් අමතරව කෙසෙල්, බුලත් ඇතුලු ගෙවතු වගාවත් සත්ව පාලනයත් ප්‍රදේශයේ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් බවට පත් වී තිබුණා. ඔය අතරේ ප්‍රදේශයේ තියන නිසරු ඉඩම්වල කුරහන්, තල, උඳු, මුං, මෙනේරි වගේ කටුසර ධාන්‍ය වර්ගත් වපුරා තිබුණා. ඒ කියන්නේ ඒ කාලය වෙන කොට මුළු ප්‍රදේශයේම තිබුණේ කෘෂි ආර්ථිකයක්.  ඒ වගේම ඔය වගේ තත්වයක් යටතේ ඒ කාලේ මණ්ඩාවල ගම්මුන්ට ගමින් පිටව යාමේ විශේෂ අවශ්‍යතාවයක් පැන නැඟුණේ නැහැ. මොකද ගම්මුන්ට  අවශ්‍ය ආහාර කළමණා,  සිල්ලර බඩු,  ඇඳුම් කැඩුම් මෙකී නොකී හැම දෙයක්ම,  බර කරත්ත සහ  බර බාගවලින් පිටස්තරයන් ගමටම ගෙනාපු නිසා. ඒ බොහෝ වෙලාවට ගමින් ලැබෙන කෘෂි සහ සත්ව නිෂ්පාදනවලට හුවමාරු භාණ්ඩ හැටියට. ඒ වගේම කැලණි ගඟෙන් එපිට පරණ සීතාවක පුරයෙන් ආපු මුස්ලිම් නානලාත් ඉතාම උපායශීලී විදිහට මේ මණ්ඩාවල ගැමියන්ගේ ආර්ථික කළමනාකරණය කියන ඔර්ලෝසු දුන්න ගැන අවධානයෙන් හිටපු බවටත් සැක නැහැ. ඒ ගැනත් රසවත් ජනප්‍රවාද කීපයක්ම තියනවා. පස්සේ කියන්නම්. 

ඔන්න ඔය අතරේ ඒ කියන්නේ දහ නව වෙනි සියවසේ අන්තිම කාලය වෙනකොට මේ මණ්ඩාවල වැසියන්ට මහා පුදුමාකාර ආරංචියක් ලැබෙනවා. ඒ තමයි එක්දහස් අටසිය අනූ නවය අවුරුද්දේ දෙසැම්බර් තිස් එක් වෙනිදා, මේ ලෝකය විනාශ වෙනවය කියන ආරංචිය. මේ ආරංචිය ගමට ලැබෙන්නේ ඉන්දියාවෙන් ආ බව කියන අනාවැකි කියන්නකු හෝ පුරාණ සීතාවක පුරයෙන් පැමිණි සන්‍යාසියකු වෙතින් බවයි පැවසෙන්නේ. කොහොම හරි ආරංචියෙන් මුළු මණ්ඩාවලම කැළඹීමට පත් වුණාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම පිටස්තර ලෝකයත් එක්ක සෘජු සම්බන්ධතා නැති හින්දා ගැමියන්ට මේ ගැන සැක හැර දැන ගන්න ක්‍රමයකුත් නැහැ. ඒ අනුව තමයි මණ්ඩාවල සහ ඒ අවට ඇති අනුරාගොඩ සහ වෙරළුගම්පල යන ගම්මානවල ගම්මුන් එකතු වෙලා මේ ගැන පොදු කතිකාවකට පිවිසෙන්නේ. ‛‛ඔය ආරංචිය ඇත්තක් කියලා වගේම බොරුවක් කියලත් හිතන්න බැහැනේ. ඒ හින්දා කෝකටත් කියලා අපි ඔක්කොම එක තැනකට එකතු වෙලා එදාට සිල් සමාදන් වෙලා බණ දහම් කටයුතුවල යෙදෙමු. එතකොට ලෝක විනාසේ ඇවිත් අපි එක ගොඩේ මළත් අපි ඔක්කොටම එකටම හොඳ ලෝකෙකට හරි යන්නේ ලැබෙන්නේ නැතැයි.’’ ඒ කතිකාව අවසානයේ ගම්මුන් සේරම එන්නේ ඔන්න ඔය එකඟත්වයට. කොහොම වුණත් ඔය කාලෙ වෙනකොට මණ්ඩාවලට කියලා වෙනම පන්සලක් තිබුණෙත් නැහැ. ඒ හින්දා ගම්මු ඔක්කොම මේ ලෝක විනාශ ශීල වැඩසටහන පවත්වන්න තෝරා ගත්තේ මෙනේරිලන්ද කියන හිස් ඉඩම. ඒක ඒ වෙනකොට කනංගම ආරච්චි ගේ කියන ප්‍රභූ පරපුරට අයිති ඉඩමක්. නමුත් ඒ වෙනකොට උරුමක්කාරයෝ ඒ ඉඩම හරියකට භුක්ති නොවිඳ ඒ ගම්පළාත්වල ඉන්න අසරණ මිනිස්සුන්ට කාලයක ඉඳලා මෙනේරි වපුරන්න ඉඩදීලා තිබුණා. ඒකට ගමේ හැමෝම මෙනේරිලන්ද කිව්වෙ ඒ හින්දයි. කොහොම හරි ඒ වෙනකොට එක්තරා අන්දමක පොදු ස්ථානයක් බවට පත්වෙලා තිබුණු ඔය මෙනේරිලන්ද කෙලවරේ අත්තනගොඩ කංකානමලගේ ඊසන් නමැති අයකුට අයිති පුංචි කෝපි කඩයකුත් තිබුණා. ගමේ කුඹුරුවල බව බෝග කොරටුවල වැඩට යන එන ගැමියන් සාපිපාසාව නිවා ගන්න සතුටු සාමීචියේ යෙදෙන්න වගේම, විවේක ගන්නත් යොදා ගත්තු තැනක් මේක. 

කොහොම හරි අහිංසක මණ්ඩාවල ගැමියන්ගේ හදවත් මරණ බයෙන් සලිත කළ ඔය කියන ලෝක විනාශ දවසත් ආවය කියමුකෝ. ඔන්න එදා පාන්දර ඉඳලම මණ්ඩාවල, අනුරාගොඩ වෙරළුගම්පල කියන ගම්තුනේ ගම්මුන් සෑහෙන පිරිසක් සිල් රෙදි ඇඳ පෙරවා ගෙනම ඔය කියන මෙනේරිලන්දට සේන්දු වුණා. 

ඒ වගේම ඔය කාලේ වෙනකොට අපේ රටේ විශාල බෞද්ධ පුනර්ජීවනයකට මුල පිරී තිබුණා. ඒකට හේතු වුණේ එක්දහස් නවසිය අසූව අවුරුද්දේ සිද්ද වුණු සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ලංකා ගමන, ඒ ගමනේ ප්‍රතිඵලයක් හැටියට ඔය කාලය වෙනකොට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වගේ ජාතික වීරයන් සුවිසල් ජාතික ශාසනික පුනරුදයකට මුල පුරලා තිබුණා. 
ඔය හින්දම ඔය කාලය වෙනකොට කැලණි රජමහා විහාරය මුල් කරගෙනත් සුවිසල් ශාසනික පිබිදීමක් ඇති වුණු බවට සැක නැහැ. ඒ නිසාම ඒ පිබිදීමේ උණුසුම ලබපු මණ්ඩාවල, අනුරාගොඩ, වෙරළුගම්පල කියන ගම්මානවල කීප දෙනෙක් හරි කැලණි රජමහා විහාරයේ ශීල වැඩසටහන්වලට සහභාගී වෙන්නත් ඇති. එක අතකට මේකටත් සුවිශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි එක්දහස් අටසිය අසූ පහේ අප්‍රියෙල් විසි අටවෙනිදාට යෙදුණු වෙසක් පොහොය මුල් වරට රජයේ නිවාඩු 
දිනයක් බවට පත් කිරීම. ඒ සිදුවීම මුල් කරගෙන කැලණි විහාරයේ දී වෙසක් පෝය දවසේ විශේෂ ආගමික උත්සවයක් පැවැත් වුණා. ලෝක ප්‍රසිද්ධ පානදුරාවාදය නිසා ‛වාදිහසිංහ’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබපු පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ දම් දෙසුමක් සහ සෙන්පති ඕල්කට් තුමාගේ දේශනයක් මෙදා කැලණි රජ මහා විහාරයේ පැවැත්වුණා. දහස් ගණනක් මේ පින්කමට සහභාගී වෙලා තිබෙනවා. ඒ කාලේ හැටියට ඒක ලොකු ජනගහනයක්. ඒ  කාලයේ කැලණි රජමහා  විහාරාධිපති  පදවිය හෙබවූ  පූජ්‍ය  දොම්පේ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවොත් මේ මණ්ඩාවල ආශ්‍රිත ගම්මානත් එක්ක ගිහි ඥාති සම්බන්ධතාවයක් ද තිබුණු මහ තෙර නමක්. ඒ අනුවත් ඒ කාලයේ මණ්ඩාවල වැසියන් හා කැලණි විහාරය අතර තිබූ යාවජීව සම්බන්ධතාවය තවදුරටත් සවිමත් වෙන්න ඇති. ඒ කොහොම හරි ඔය කාලය වන විට සියනෑ කෝලරයේ වැසියන් පා ගමනින්, කරත්තවලින් වගේම කැලණි ගඟේ ඔරු පාරු මගිනුත් කැලණි වන්දනාවේ යෙදුණු බවට සාක්‍ෂි තිබෙනවා. 

මලේ මලේ ඔය නාමල නෙලා වරෙන් 
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් 
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන් 
සාදුකාර දී ඔරුවක නැඟී වරෙන් 

වගේ සියනෑ කෝරලයෙන් මතු වුණු ජන කවි මගින් මානව විද්‍යාත්මකව ඒ බව වඩාත් හොඳින් තහවුරු කර ගත හැකියි. ඒ කෙසේ හෝ ඔය කියන ලෝක විනාශ දවසේ මෙනේරිලන්දට රැස් වූ පිරිස සිල් සමාදන් කරවීමටත් ඒ අයට බණ කථා, වන්දනා ගාථා, පිරිත්  ආදිය කියා  දීමටත් ඒ  ගම්වල  ජීවත් වූ කැලණි රජමහා විහාරය හා සම්බන්ධ වෙලා හිටපු පුරෝගාමී උපාසක පිරිස ඉදිරිපත් වුණාට සැක නැහැ. 

කොහොම හරි ඉතින් එක්දහස් අටසිය අනූ නවයේ දෙසැම්බර් තිස් එක් වෙනිදා පාන්දර මෙනේරිලන්දේ දී ආරම්භ වුණු මේ ලෝක විනාශ සීල වැඩසටහන ඊට පහුවෙනිදා ඒ කියන්නේ එක්දහස් නවසීයේ ජනවාරි පළමු වෙනිදා පාන්දර දක්වාම ‛නිරුපද්‍රිතව’ පැවැත්වුණා. කොහොම හරි එක්දහස් නවසීය අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා නැවුම් හිරුඑළිය මෙනේරිලන්දේ පොළොව සිප ගන්නවාත් එක්කම අහිංසක ගම් වැසියන්ගේ සිත් තුළ තිබුණු ලෝක විනාශ භීතිකාව සුනු විසුණු වුණු බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින්, ඒ එක්කම ගම්මුන්ගේ සිත්වලට දැනුණු සතුට සැනසීම ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එතකොට තමයි ඒ කාට කාටත් තේරුණේ මොනවා වුණත් අපි දැන්වත් ඉස්සරට වඩා බණ දහම්වලට ළංවෙලා කටයුතු කරන්න ඕනේය කියන කාරණේ. ඒත් ඉතින් කෝ මණ්ඩාවලට පන්සලක්. ඒ හින්දා ඒ ගැන ගම්මුන් අතරේ මෙන්න මෙහෙම එකඟත්වයකුත් ඇති වුණා. ඒ තමයි ලෝක විනාශ භීතිය මුල් කරගත්තු තමන්ට අභය භූමියක් වුණු මෙනේරිලන්දෙන් කොටසක පන්සලක් හදන්න. ඒත් ඒ සේරටම කලින් ඒ ඉඩම ලබා ගන්නත් එපායැ. ඒ හින්දා ගම්මුන් ඒ ඉඩමේ උරුමක්කාරයෙක් වුණු කනංගම රාළත් එක්ක මේ ගැන කතා කළා. ‛පන්සලක් හදන්න හින්දා ඕකට ගාණක් කියන්න මට බැහැ. ඒ හින්දා උඹලට කැමති ගාණක් දීලා ඕක ගනිල්ලා. කනංගම රාළත් කිව්වා. කොහොම හරි අන්තිමේ මෙනේරිලන්දේ පන්සල හදන්න ඉඩම ගන්න මණ්ඩාවල, අනුරාගොඩ වෙරළුගම්පල කියන ගම් තුනේම සම්මාදම් කෙරුණා. අන්තිමේ මේ ගම් තුනෙන්ම එකතු වුණ ගාණ කීයද දන්නවද ? රුපියල් හතළිස් පහයි. නමුත් ඒ කාලේ හැටියට ගුරුවරයකුගේ ලිපිකරුවෙකුගේ මාසික වැටුප වුණෙත් රුපියල් දහයත්, පහළොවත් අතර ගාණක්. ඒ කියන්නේ ඒ කාලේ රුපියල් හතළිස් පහ කියන්නේ අද විදිහට බැලුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු ගාණක්. නමුත් ඒ වෙනකොටත් රුපියල් සීයක විතර වටිනාකමකින් යුක්ත තමන්ගේ ඉඩම් කොටස පන්සලක් වෙනුවෙන් හින්දා රුපියල් හතළිස් පහකට දෙන්න කනංගම රාළත් කැමති වුණා. 

ඊට පස්සෙත් හරිම රසවත් සිද්ධීන් කීපයක්ම වුණා. අපි ඒවා ගැන ලබන සතියේ කතා කරමු. 

Thursday, April 10, 2014

වසර දෙසීයකටත් වඩා පැරණි ගණේකන්දේ ‛පෞද්ගලික පන්තිය’ - Ganekanda Tution Class goes back over two Hundred Years


අපේ රටේ නූතන අධ්‍යාපනය දිහා බලන කොට ගම්පහ දිසාවට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. ඒ වගේම අපේ රටේ උපකාරක පන්ති අතින් බැලුවත් ගම්පහ තමයි මුළු ශ්‍රී ලංකාවෙන් සුපිරිම නගරය. වර්තමානයේ වගේම අතීතයේත් ගම්පහ දිසාව අපේ රටේ මුල් පෙළේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වූ බවට සාක්‍ෂි ඕනෑ තරම් තියනවා. ඒකට හොඳම නිදසුන තමයි, කෑරගල පද්මාවතී පිරුවන, කෝට්ටේ යුගයේ අපේ රටේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක් බවට පත්වෙලා තිබුණු කෑරගල පද්මාවතී පිරුවන සහ එහි අධිපති පදවිය හෙබ වූ කෑරගල වනරතන නාහිමියන් අදත් ගම්පහ දිසාවට සුවිසල් අභිමානයක්. කෝට්ටේ රජ කළ හය වෙනි පරාක්‍රමබාහු රජතුමා ගේ අභිවෘද්ධිය තකා පිරිත් දේශනාවක් පවත්වන ලෙස වනරතන නාහිමියන් ගෙන් අයැදුමක් කරමින් හංසයකු අතේ යවන සංදේශයක ස්වරූපයෙන් ලියැවුණු හංස සංදේශය අපගේ සාහිත්‍ය වංශ කතාවේ මුදුන් මල්කඩක්. ඒක රචනා කරලා තියෙන්නේ තවමත් සිරිලක පරසිදු වීදාගම මෛත්‍රිය හිමියන් විසින්. 



නමුත් අද මම කියන්න යන්නේ කෑරගල පද්මාවතී පිරුවන වගේ ප්‍රකට අධ්‍යාපන නිකේතනයක් ගැන නෙවෙයි. අනික මේක අධ්‍යාපන නිකේතනයකටත් වඩා අතීතයේ පැවැති පෞද්ගලික පන්තියක් කීවොත් තමයි වඩාත් නිවැරදි. මේ පෞද්ගලික පන්තිය පවත්වාගෙන ගිහින් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති  අළුතැපොල පුරාණ ගණේකන්ද රජමහා විහාරයේ. 
මේ විහාරයට ආසන්නම නගරය තමයි මිනුවන්ගොඩ. වේරගොඩ බ්‍රහ්මඝෝෂක කියන ගණින්නාන්සේ තමයි මේ පන්තිය පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඒ මීට අවුරුදු දෙසීයකටත් කලින්. අපි මීට කලින් ගණේමුල්ල යන කතා කරද්දීත් ගණින්නාන්සේලා ගැන කතා කළා. ගණින්නාන්සේලා කියන්නේ අපේ රටේ බුදු සමය බරපතල විදිහට පිරිහුණු මහනුවර මුල් රාජධානි සමයේ භික්‍ෂුන් වහන්සේලා වෙනුවට පෙනී සිටි බෞද්ධ පූජක පිරිස. විශේෂයෙන් දෙවැනි රාජසිංහ  (ක්‍රි.ව. 1635-1687) වගේ රජවරු බුද්ධ ශාසනය රැකීමට කිසිම ඇප උපකාරයක් නොකිරීම මත භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි තිබුණු සමාජමය පිළිගැනීම අඩු වුණා. ඒ හින්දා භික්‍ෂු උපසම්පදාව වගේ විනය කර්ම කිරීමට වුවමනා මහ සඟරුවනණගෙන් යුත් ගණ පූරණය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය යටතේ තමයි මේ ගණින්නාන්සේලා කියන භික්‍ෂුප්‍රතිරූපකයන් සමාජයේ බහුල වුණේ. මුලදී ගිහි බවටත් පැවිද්දටත් අතරමැදි ජීවිතයක් ගත කරපු මේ ගණින්නාන්සේලා පහුවෙනකොට කාන්තාවන් සරණ පාවාගෙන පන්සල් ගෙවල් බවට පත් කරගෙන පවුල් ජීවිත කරන්න පටන් ගත්තා. ඒ අතර තුර බෞද්ධ ජන ජීවිතයේ ආගමික කටයුතුවලටත් පූජකයන් හැටියට සම්බන්ධ වුණා. ඒ ලාබ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන්. දෙවැනි රාජසිංහ රජු සමයේ බෞද්ධ භික්‍ෂුව තෙරුන්නාන්සේ සහ ගණින්නාන්සේ යනුවෙන් දෙකොටසකට බෙදී සිටි බව ඒ කාලයේ අපේ රටේ අවුරුදු දහනවයකුත් මාස හයක් එළිමහන් සිරකරුවකු හැටියට ජීවත් වී තම මව්රට වන එංගලන්තයට පලා ගිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එහිදී නොක්ස් පවසන්නේ මේ ගණින්නාන්සේලා සිවුරට උඩින් බඳ පටියක් බැඳ සිටි බවයි. නමුත් එකල ගණින්නාන්සේලා විවාහ වී සිටි බවක් නම් රොබට් නොක්ස්ගේ කෘතියේ සඳහන්ව නැහැ. ඒ වගේම ඒ කාලයේ සමහර ගණින්නාන්සේලා ගිහි ජීවිතයේ දී තමන්ට උරුමව තිබූ ගොවිතැන්, සත්ව පාලනය, කම්මල් වැඩ, රෙදි ඇපිල්ලීම් වගේ සුපුරුදු ජීවනෝපායන්හි යෙදුණු බවත් පැහැදිලියි. නමුත් සමහර ගණින්නාන්සේලා සමාජයේ ප්‍රභූන් වශයෙන් වැජඹෙමින් රාජතාන්ත්‍රික කටයුතුවලට පවා සම්බන්ධ වී තිබෙනවා. දෙවන රාජයසිංහ රජතුමාගේ රාජ තාන්ත්‍රික නියෝජිතයෙක් හැටියට 1668 වසරේ ගණේබණ්ඩාර ගණින්නාන්සේ ඕලන්ද ආණ්ඩුකාරයා හමුවීමට යාම ඊට එක් නිදසුනක් විතරයි. කොහොම හරි මුලදී අර්ධ ගිහි අර්ධ පැවිදි ජීවිතයක් ගත කළ සමහර ගණින්නාන්සේලා දහඅට වන සියවසේ මුල් භාගය විතර වෙන කොට තමන් විසූ පන්සල් පවුල් කන ගෙවල් බවට පත් කරගත්තු බව පේනවා. ඒ හින්දම ඒ නිවාස හැඳින්වීම සඳහා ඒ කාලේ ගණේගෙදර, විහාරේ ගෙදර ආදී නම් පවා යෙදී තිබෙනවා. 


    නමුත් ඒ කාලේ සිටි හැම ගණින්නාන්සේ කෙනෙක්ම එහෙම පවුල් ජීවිත ගත කොට නැහැ.  ඒ අතරේ සිල්වත් අයත් ඉඳලා තියනවා. ඉතින් දැන් අපි නැවතත් ගම්පහ දිසාවේ තිබුණු පරණ පෞද්ගලික පන්තියට එමු. අළුතැපොල ගණේකන්ද පුරාණ විහාරය ලෙන් විහාරයක්. මේ පර්වතාශ්‍රිත පරිසරයේ ආදී මානව ජනාවාස තිබූ බවට සාධක තිබෙනවා. ඒ වගේම මේ පර්වතාශ්‍රිතවත් වාරණ, මාලිගාතැන්න, පිළිකුත්තුව, දංගල්ල, සමනබැද්ද, වෑබඩ, මැද්දේගම, අලවල,මඩබාවිට, අස්ගිරිය, කොස්කඳවල යන පර්වතාශ්‍රිතව වගේ අනුරාධපුර යුගයේ සිට භාවනානුයෝගී භික්‍ෂුන් සිටි බවට සාධක තිබෙනවා. ඒ අනුව මෙම පුදබිමට වසර දහස් ගණනක ශාසනික සැබැඳියාවක් තිබුණු බව පැහැදිලියි. ඒත් මේ ස්ථානය ගණේකන්ද යනුවෙන් හැඳින්වීම තුළ යම් විශේෂත්වයක් තිබෙනවා. ‛ගණේ’ යනුවෙන් ඇරඹෙන ග්‍රාම නාම බොහොමයකට භික්‍ෂුන් වහන්සේලා හෝ ඉහත සඳහන් කළ ගණින්නාන්සේලා සම්බන්ධ බව මා මීට කලිනුත් සඳහන් කළා මතක ඇතිනේ. සීතාවක රාජසිංහ රාජ උදහසට බියෙන් භික්‍ෂුන් සැඟව සිටි ගණේමුල්ලට ඉතා ආසන්න ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ ප්‍රදේශයේත් ගණේකන්ද නමින් පැරණි විහාරස්ථානයක් තිබෙනවා. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කන්නන්තොට පිහිටි ගණේකන්ද වලගම්බා පුරාණ රජ මහා විහාරය එනමින් යුතු තවත්  පුදබිමක්. ඒ වගේම තමයි කළුතර දිස්ත්‍රික්කයට අයත් කළුතර හොරණ මාර්ගයේ දොඹගොඩ පිහිටි පුරාණ ගණේකන්ද රජමහා විහාරය. මම මේ කියන්නේ ගණේකන්ද නමින් මගේ විමසුමට ලක් වූ විහාරස්ථාන කිහිපයක් විතරයි. මීට අමතරව ගණේකන්ද නමින් තවත් පැරණි බෞද්ධ විහාරස්ථාන සෑහෙන ගණනක් තියෙන්න පුළුවන්. අද අපි මේ කතා කරන අළුතැපොල ගණේකන්දේ කෝට්ටේ යුගය පමණ තෙක් බෞද්ධ විහාරයක් තිබුණු බවට සාක්‍ෂි තිබෙනවා. නමුත් මහනුවර මුල් යුගයේ බුදු දහම සම්බන්ධයෙන් එළැඹුණු දුර්දාන්ත සමයේදී මෙවන් ස්ථානවල ගණින්නාන්සේලා බවට පත් වුණු තෙරුන්නාන්සේලා ජීවත් වුණා වෙන්නට පුළුවන්. නමුත් අද අපි සොයා ගෙන යන අප්‍රකට ඓතිහාසික ජනශ්‍රුතියේ එන පෞද්ගලික පන්තිය පවත්වා ගෙන ගිය බ්‍රහ්මඝෝෂ ගණින්නාන්සේ නම් ගිහි ජීවිතයට නොපිවිස තමන්ගේ ශීලය ඉතා හොඳින් ආරක්‍ෂා කළ කෙනෙක් බව පැහැදිලිවම පෙනෙනවා. ඒ වගේම එතුමන් මේ ගණේකන්දේ වෙසෙමින් ප්‍රදේශයේ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමෙන් කළ සේවයත් අති උදාරයි. ඒ වගේම එතුමන් මේ සේවාව සිදු කොට ඇත්තේ කිසිම ලාභාපේක්‍ෂාවකින් තොරව බවත් අතිශයින් පැහැදිලියි. නමුත් බ්‍රහ්මඝෝෂ ගණින්නාන්සේගෙන් ශිල්ප හැදෑරීමට දරුවන් එවන ප්‍රදේශයේ දෙමාපියන් තම දරුවන්ගේ අතේ එතුමාට ආහාර පාන එවා ඇති බව ජනප්‍රවාදයේ සඳහන්. 


     ඒ කෙසේ හෝ මහනුවර රජ කළ  කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව. 1747-1782) එතෙක් සිය වසකටත් මඳක් වැඩි කාලයක් රට පුරා පැවැති ශාසනික අඳුර දුරු වී නැවත අප රටේ භික්‍ෂු උපසම්පදාව පිහිට වූ පුවත ඓතිහාසිකව ප්‍රසිද්ධ කාරණයක්. සියම් රටින් මෙරටට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලාගේ උපාධ්‍යායකත්වයෙන් ඒ භික්‍ෂු උපසම්පදාව සිදු කොට ඇත්තේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, 1753 වර්ෂයේ ඇසල පුන් පෝදා බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. කෙසේ හෝ ඊට ආසන්න සමයක සිට ගණේකන්දේ පවත්වාගෙන ගිය මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේගේ අධ්‍යාපනික මෙහෙවර පුරා හතළිස් වසරකටත් වැඩිකාලයක් අඛණ්ඩව පැවැති බවට සැක නැහැ. කෙසේ හෝ පිරුවනක් හෝ වෙනයම් විද්‍යායතනයක් වශයෙන් ප්‍රකට නොවූවද බ්‍රහ්මඝෝෂක ගණින්නාසේගේ මේ පෞද්ගලික පන්තිය ඒ වන විටත් සමාජයට උගතුත් නැණවතුන් බිහිකිරීමට සමත් වී තිබෙනවා. එතුමන්ගේ අධ්‍යාපනය කෙතරම් ඉහළ මට්ටමක තිබුණා ද යන්නට එයම කදිම නිදසුනක්. මේ කාලය වන විට අප රට පාලනය කළ ලන්දේසීන් ද තමන්ට බලය හිමිව තිබූ මුහුදු බඩ පළාත්වල ‛පල්ලි’ නමින් දේවස්ථාන මුල් කොට ගත් විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට තිබුණා. තමන්ගේ ආගමික සංස්කෘතික බලව්‍යාප්තිය තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වුණේ. පැරණි සිංහලේ පල්ලි නමින් හැඳින්වුණේ මේ අධ්‍යාපනික ආයතන හෙවත් ශාස්ත්‍ර ශාලා බවට පූජාවලිය වැනි කෘතීන්ගෙන්ද තහවුරු වෙනව.  ඕලන්ද සමයේ ඒවායේ ගුරුවරුන් ‛පල්ලියගුරු’ යන නම් වලින් හඳුන්වා තිබුණා. පස්සේ ඒ ආශ්‍රිතව පැවැති දේවස්ථාන තනිව හැඳින්වීමට ද ඒ ‛පල්ලි’ කියන වදන යොදා ගෙන තිබෙනවා. 

      කෙසේ හෝ මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේගෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරා උගතුන් බවට පත් තරුණයන් කිහිප දෙනකු පසුව ලන්දේසි රජයේ සේවයට එක්වීමට පවා සුදුසුකම් ලබා තිබුණා. ඔවුන්ගේ ශාස්ත්‍රීය දැනුම පිළිබඳ අතිශයින් පැහැදුණු ලන්දේසි ප්‍රධානීන් ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන් මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේට උපහාරයක් පිදීමට සැලසුම් කර තිබෙනවා. ඒ වී අමුණු දහයක ඉඩමක් ප්‍රදානය කිරීමෙන්. ඒ අනුව මේස්ත්‍ර අන්ද්රිස් කෝයාර උන්නාන්සේ නම් ඕලන්ද ප්‍රධානියකු ගේ අණ පරිදි අළුත් කූරු කෝරලය කරවන මුදියන්සේ හෙවත් දොන් සීමන් ද සිල්වා සමරනායක මුදලිඳු විසින් සන්නස් පත්‍රයක් මගින් බ්‍රහ්මඝෝෂක හිමියන්ට මේ ප්‍රදානය කර තිබෙනවා. ඒ අපේ රට ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන් අතට පත් වීමට දෙවසරකට කලින්. ඒ කියන්නේ 1796 අවුරුද්දේ  ඒ පැවරුම පිළිබඳ ඓතිහාසික ලේඛනය තවමත් අළුතැපොල, පුරාණ ගණේකන්ද රජ මහා විහාරයේ සුරැකිව තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම මේ පුරාවෘත්තය සම්බන්ධ තවත් වැදගත් දේකුත් කිව යුතුයි. එනම් ඒ සන්නසේ බ්‍රහ්මෂෝෂක යන නම සමග සඳහන් වන්නේ ගණින්නාන්සේ වෙනුවට තෙරුන්නාන්සේ ලෙසිනුයි. ඊට හේතුව කලින් පැවිදි උපසම්පදාව අහිමි වීම නිසා සාමණේර දම් පුරමින් සිටි ගණින්නාන්සේ කෙනෙකු වුණු බ්‍රහ්මඝෝෂ හිමියෝ 1753 වසරේ අප රටේ යළි ස්ථාපිත වූ සංඝ ශාසනය තුළ පැවිදි උපසම්පදාව ලැබීම නිසා තෙරුන්නාන්සේ කෙනකු බවට පත් වූ හින්දා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අළුතැපොල පුරාණ ගණේකන්ද රජ මහා විහාරය අදටත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් විහාරස්ථානයක්.