දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, August 30, 2014

රන්වල දෙවියන් අතීතයේ විසූ ‛පොඩි මිනිහාගේ’ වීරයෙක්ද? - Was the God Ranwala a peoples' Hero


පුවක්පිටියේ පහන ළඟ දේවාලයඉදිරිපිට ඇති රන්වල දේව ප්‍රතිමාව

රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාව විවිධ ආකාරයෙන් විස්තර වුණත් ඒ කතා ප්‍රවෘත්තීන් අතරින් වැඩිපුරම ප්‍රසිද්ධියට පත් වී තිබෙන්නේ එතුමන් දෙවැනි රාජසිංහ රජුගේ සමයේ, එනම් ක්‍රි.ව. 1635 - 1687 කාලයේ විසූ ප්‍රතාපවත් පුරුෂයකු බවයි. අපේ රටේ ඇදැහෙන ප්‍රාදේශීය දෙවිවරුන් ගතහොත් එතුමන්ලාගේ උත්පත්ති කතා බොහොමයකට සියවස් හතරකට වඩා ඉතිහාසයක් නැහැ. ඒ අනුව රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාවත් මහනුවර යුගයට සීමා වී ඇති බව පෙනෙනවා. 


රන්වල දෙවියන් දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ ජීවත් වූ අයකු බවයි පුරාවෘත්ත බොහොමයක සඳහන් වන්නේ. ඒ කාලයේ කෑගල්ලට නුදුරු රන්වල ගමේ රජුට අයත් වී අටුවක් හෙවත් පත්තායමක්තිබූ බව පැවසෙනවා. ඒ ගමේ අලවතුරේ රාළසහ ගනේගොඩ රාළනමින් ප්‍රබල පෞරුෂයකින් යුක්ත තරුණයන් දෙදෙනෙක් ජීවත් වී තිබෙනවා. පොදු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා බොහෝ කැපවීමෙන් කටයුතු කළ මොවුන් දුක්විඳින ජනතාවගේ හෙවත්  පොඩි මිනිහාගේවීරයන් දෙදෙනෙකු ලෙස ද  කටයුතු කරන්නට ඇති බවත් සිතන්නට පුළුවන්. 


දිනක් ඒ ගමේ තිබූ රජුට අයත් පත්තායම බිඳ කිසියම් පිරිසක් විසින් එහි තිබූ වී රැගෙන ගොස් තිබෙනවා. ඒ කාලයේ සාමාන්‍යයෙන් පැරණි ගම් සැලැස්ම අනුව එක ගමකට පිට ගමකින් පැමිණෙන කෙනෙකුට කිසිසේත්ම පහසුවෙන් පිවිසිය නොහැකියි. ඒ කාලයේ මාර්ග පහසුකම් අද වාගේ විවෘතව තිබුණේ නැහැ. ඒ වගේම ඒ ගම්වල පිහිටීම අනුව ස්වභාවික ස්වාරක්ෂක පද්ධතියක් දකින්නට තිබුණා. එයින් අදහස් කළේ ගමට ඇතුලුවන්නවුන් සහ පිටවන්නවුන් පිළිබඳව සියලු ගැමියන් ඉතා සැළකිල්ලෙන් සිටි බවයි. ඒ නිසා යම් ගමකට පිටගම්කාරයකු පැමිණියහොත්, ඔහු පැමිණෙන්නේ කුමකටද, ඔහු ගමන් කරන්නේ ගමේ කිනම් ස්ථානයකටද, ඔහු පිටව යන්නේ කවදාද වැනි දේවල් ගැමියන් දැන සිටියා. අදත් පිටිසර පළාත්වල ගම්වලට යම් පිටස්තර පුද්ගලයකු ඇතුළු වුවහොත් ඒ පිළිබඳව සියලු දෙනාම දැනුවත්ව සිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයක්. ඒ අනුව මේ වී අටුව කැඩීම පිටස්තරයකුට කළ නොහැක්කක් බව ගම්මුන් තේරුම් ගත්තා. ඒ වගේම මෙවැනි ක්‍රියාවක් කරන්නට විශාල නිර්භීත කමක් ද අවශ්‍යයි. ඒ කාලයේ පැවැති නීතියට අනුව කිසියම් ගමක බරපතල සොරකමක්, අපරාධයක් වැනි යමක් සිදුවුවහොත් ඒ අපරාධය රජුට හෙළිකිරීම මුළු ගමේම සාමූහික වගකීමක්. එසේ නොවුනහොත් එකල තිබුණු නීතියට අනුව ගමේ සියලු දෙනාම මෙයට සාමුහිකව වගකිවයුතු වෙනවා. මේ සොරකමත් සමඟම මුළු ගමම රාජ උදහසට ලක්වේ යැයි කියන බිය නිසා මුළු ගමම තැති ගත්තා. අවසානයේ මේ පිළිබඳව විමර්ශනය කළ වී අටුව භාර රාජ්‍ය නිලධාරියා හෙවත් පත්තායමේ ලේකම් රජවාසලට දන්වා සිටියේ මේ වී අටුව බිඳීම සම්බන්ධයෙන් ගනේගොඩ රාළත්, අලවතුරේ රාළත් සැක කළ හැකි බවයි. මෙයින් බරපතල ලෙස කෝපයට පත්වන දෙවැනි රාජසිංහ රජතුමා ඒ දෙදෙනා අල්ලා මහවාසලට ඉදිරිපත් කිරීමට කටුපුල්ලේ ආරච්චිහෙවත් දඬුවම් පැනවීමේ නිලධාරියාරජවාසලින් පිටත් කළා.



ඔහු සුදු පිරුවටයකින් එතූ ආඥා වේවැල’, එනම් රාජ ආඥාව පිළිබිඹුවන වේවැලත් අරගෙන තවත් දස දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකුත් එක්ක ගැටඹේ තොටින් මහවැලි ගඟින් එතෙරව ගමන පිටත් වුණා. මේ ආඥා වේවැල කටුපුල්ලේ තැන විසින් කිසිවකුගේ ශරීරයේ ස්පර්ශ කළ සැනින් ඔහු රාජ ආඥාවට යටත්ව අත්අඩංගුවට පත්වූවකු ලෙස සැළකෙනවා. ඒ අනුව ගම්වාසීන් සියලු දෙනා ද ඒ තැනැත්තා රජවාසලට ඉදිරිපත් කිරීමට සහාය දැක්විය යුතුමයි. නැතහොත් ඒ ගම්වැසියන් ද වරදකරුවන් බවට පත්වෙනවා. 


මේ රාජදූත පිරිසේ සැළසුම වී තිබුණේ ගන්නොරුව පසුකොට දන්තුරේවතුර මැදින් බලන කඩවතට පැමිණීමයි. බලන කඩවතට රාජ්‍ය නිලධාරීන් පිරිස පැමිණි බව දැනගන්නා ගනේගොඩ රාළ සහ අලවතුරේ රාළ, සිදුවන්නට යන දේ එතරම් හොඳ නැති බව තේරුම් ගෙන හොර රහසේම රන්වලින් පිටත් වුණා. දෙවැනි රාජසිංහ රජු මනා පෞරුෂයකින් යුක්ත, නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කළ තරුණයන් කෙරෙහි එතරම් ප්‍රසාදයක් දැක්වූ අයෙකු නොවන බවට සාධක කිහිපයක්ම දකින්නට ලැබෙනවා. අලවතුරේ රාළට සහ ගනේගොඩ රාළට මෙම ප්‍රදේශය අතහැර යන්නට එයත් හේතුවක් වන්නට ඇති. රජු තරුණයන් කෙරෙහි දැක්වූ අප්‍රසාදජනක ආකල්පයට එක් උදාහරණයක් ද අපට ඉතිහාසයෙන් සොයාගත හැකියි. 


දෙවෙනි රාජසිංහ රජුට විරුද්ධව කන්ද උඩරට 1664දී කැරැල්ලක් ඇති වුණා. රජතුමාගේ කෲර පාලනයට විරුද්ධට ඇතිවුණු මෙහි අරමුණ වූයේ රජුගේ දහතුන් හැවිරිදි පුතු බලයට පත්කිරීමයි. මෙහිදී රජුට සැඟවී සිටින්නට ද සිදුවුණා. මෙයින් පසුව රජු අතිශය සිත්පිත් නැති අයකු ලෙස කටයුතු කරනු දක්නට පුලුවන්. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයෙහි සඳහන් එක්තරා පුවතක් මෙසේයි. 


දිනක් දිය ක්‍රීඩාවේ යෙදී සිටින විට රජතුමා එකවරම දියේ ගිළෙන්නට පටන් ගන්නවා. නමුත් මෙය බොරු රඟපෑමක් බව දන්නේ රජු පමණයි. මේ අවස්ථාවේ දියට පනින ශක්තිවන්ත තරුණයන් දෙදෙනෙක් රජතුමාව බේරාගෙන ගොඩට පැමිණෙනවා. රජතුමා දියෙහි ගිළෙන්නට යද්දී තරුණයන් දෙදෙනෙකු ඔහුව බේරාගැනීමේ සිද්ධිය රාජධානිය පුරා ඉතා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වෙනවා. මේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඉදිරියට පැමිණෙන රජතුමා වධකයන් භාරව සිටින නිලධාරියට කතා කරනවා. මෙයින් සියලු දෙනාම අන්දමන්ද වෙනවා. රජු පවසන්නේ මෙවැන්නක්. 


මා වතුරේ ගිළෙන්නට යන වෙලාවේ මට නුඹලාගේ ශරීර අල්ලාගෙන ගොඩට ඒමට ඉඩ නොදී, මාගේ අවසරයක් නොමැතිව නුඹලා මාගේ රාජකීය ශරීරය ඇල්ලුවේ ඇයි?” 


එසේ අසා ඔවුන් දෙදෙනාගේ හිස සුන් කරදමන්නැයි රජු වධකයන්ට නියම කරනවා. පෞරුෂයක් ඇති තරුණයන්ට රජු අකැමැත්ත පෙන්වූ එක් අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකියි. මේ පිළිබඳව අවබෝධයෙන් සිටි අලවතුරේ රාළ සහ ගනේගොඩ රාළගේ අරමුණ වන්නේ කන්ද උඩරට රාජ්‍ය සීමාවෙන් පිටවීමයි. යටියන්තොට මිටියාවත ඔස්සේ අවිස්සාවේල්ලට එන ඔවුන් උණගස් කිහිපයක් කපා එයින් පහුරක් තනා කැලණි ගඟ ඔස්සේ පහළට පැමිණෙන්නට පටන් ගන්නවා. මේ කාලයේ කැලණි ගඟේ පහුරු ගමන් කිරීම ඉතාමත් සුලබ දෙයක්. ඔවුන් මේ ආකාරයෙන් කන්ද උඩරට රාජධානි සීමාව පසුකළා. මෙම සීමාව වැටී තිබුණේ කැලණි ගඟේ දුම්බුකඩුවනම් ස්ථානයෙන්.  මෙම ස්ථානය පසු කොට පහළට පැමිණියාට පසු අලවතුරේ රාළ, “මට දැන් මේ ආවා ඇතියැයි කියා ගං ඉවුරේ තැනක පහුර නතර කරගත්තා. ගනේගොඩ රාළ ඒ පහුරෙන් තව ටිකක් පහළට ගමන් කොට දංගල්ල කියන ස්ථානයේ නතරවුණා. පසුව ඔහු එම ගමෙන් විවාහයක් ද කරගත්තා. 


කෙසේ නමුත් අලවතුරේ රාළ ගොඩබැස්සේ කැලෑබදව තිබුණු ප්‍රදේශයකටයි. එය කිසිදු දියුණුවක් තිබූ ස්ථානයක් නෙවෙයි. අලවතුරේ රාළ තමන්ගේ නායකත්ව හැකියාවත් උපයෝගී කරගනිමින්, මෙම කැලෑ ප්‍රදේශය එළිපෙහෙළි කරලා එතැන ගම්මානයක් ගොඩ නැගුවා. එසේ ගොඩනගපු ගම්මානය තමයි රන්වලනමින් ප්‍රකට වන්නේ. ටික කාලයක් යද්දී මේ තැනැත්තා රන්වල රාළනමින් ඒ ගමේ ප්‍රධානත්වයට පත්වුණා. මානව දයාව, පරෝපකාරය, ඉවසීම, සමානත්මතාවය වගේ උසස් ගුණාංග ගණනාවක්ම මේ රන්වල රාළගෙන් දකින්නට ලැබුණා. මේ නිසා මේ ගමේ වැසියන් ඔහු ජීවත් සිටි කාලයේ සිටම ඔහුට දෙවියකටු වගේ සළකන්නට පටන් ගත්තා. ඔහු මියගියාට පසුව ඔහු ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව ඔහු දේවත්වයට පත් කරලා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත් බවයි ඒ ජනප්‍රවාදයේ සඳහන් වන්නේ රන්වල දෙවියන් පිළිබඳ මේ කතා ප්‍රවෘත්තිය ධර්මබන්ධු අමරසේකර ලියූ ඓතිහාසික ජනකතා’, සුසන්ත ජයමාන්න ලියූ අසිරිමත් කැලණිය’, ආර්. ඒ පියදාස ලියූ රන්වල දෙවියෝ’, වේරහැර අරියවංශ නාහිමියන් සංස්කරණය කළ සීතාවක පුරයසහ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙනිය ලියූ සිංහල දේව පුරාණයකෘතියේත් සඳහන් වෙනවා. 


මේ කතාවල තිබෙන ආකාරයට අලවතුරේ රාළ කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ කෙනෙක්. රන්වල දෙවියන් පිළිබඳ මේ ජනප්‍රවාදයට වඩා තරමක් වෙනස් ජනප්‍රවාදයකුත් අප හමුවේ තිබෙනවා. එහි රන්වල දෙවියන්ගේ ප්‍රේම කතාවක් පිළිබඳවත් සඳහන්. ඒ ජනප්‍රවාදයට අනුව පෙනෙන්නේ ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ අයෙක් නොවෙන බවයි. රන්වල දෙවියන්ගේ ඒ ප්‍රේම කතාවගැන අපි ලබන සතියේ කතා කරමු. 

ඊළග ලිපිය - ගල් ලෙනක් තුළ යුග දිවිය ගෙවූ රන්වල දෙවියෝ

Saturday, August 23, 2014

රන්වල මුත්තා සීතාවක රජවාසල නිලධාරියෙක්ද? - Was God Ranwala, a Royal Officer of Seetawaka


රන්වල දෙවියන්ගේ රුව දැක්වෙන සිතුවමක්

රන්වල දෙවියන් අතීතයේ අපේ රටේ ජීවත් වූ උතුම්, ගුණ යහපත් මිනිසකු බවත්, එනිසාම මරණින් පසු එතුමා දේවත්වයට පත් වූ බවත්, ජීවිත කාලය තුළ මහජනතාවට හිතසුව පිණිස  විවිධාකාරයෙන් පිහිට වූ එතුමා මරණයට පත්වීමෙන් පසු අද දක්වාම තමන්ගෙන් පිහිට යදින්නන්ට ඇප උපකාර කරන බවත්, පිහිටාරක්ෂාව සළසන බවත් ජන සම්මතයේ පවතින දෙයක්. 


රන්වල මුත්තා’, ‛රන්වල හාමුදුරුවන්වැනි නම්වලින් හඳුන්වනු ලබන රන්වල දෙවියන් අතීතයේ අපේ රටේ සිටි ජන ප්‍රධානියකු බව මූලික වශයෙන් අනුමාන කළ හැකියි. මන්ද හාමුදුරුවන්යනුවෙන් ඇමතුම් ලබන්නේ අතීතයේ විසූ ජනප්‍රධානීන් බව විවිධ මූලාශ්‍ර අනුව තහවුරු වෙනවා. විශේෂයෙන් අතීතයේ ගමක පොදුවේ ගරු බුහුමන් ලබන වැඩිහිටියන් මුත්තායනුවෙන් හැඳින්වුණා. හාමුදුරුවන්යන්න වර්තමානයේ භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට යොදන ලද්දක් වුණත්, වංශවත් ගිහි ප්‍රභූන් හැඳැින්වීම පිණිසත් හාමුදුරුවන්යන නම අතීතයේ යෙදී තිබෙනවා. එයට හොඳම නිදසුනක් තමයි අපේ රටේ අදහන දෙවිවරුන් අතර මුත්තා හාමුදුරුවෝනම් ප්‍රාදේශීය දෙවි කෙනෙකු   සිටීම. මුත්තා හාමුදුරුවන් යනුවෙන් හඳුන්වන්නේ පෘතුගීසි සමයේදී බලපිටිය, වැලිතර, වැලිවත්තේ විසූ පිනෙස් ප්‍රේරා ආරච්චිනම් ජන ප්‍රධානියායි. දේසේයනුවෙන් එකල හැඳින්වුණු මාලදිවයිනට ගොස් රටදෙල් ගෙනැවුත් ඒවා අප රටට හඳුන්වාදී ඇත්තේ ඔහු බව සඳහන් වෙනවා. මරණින් මතු ඔහුව මුත්තා හාමුදුරුවෝයන නමකින් හඳුන්වන්නට පටන්ගන්නවා. මීට අමතරව ආඬිඅම්බලම ප්‍රදේශයේ විසූ ජන ප්‍රධානියකු මුල්කොට ඇති වූ උඩවල මුත්තාදේව සංකල්පය අද වන විට නැත්තටම නැතිවී යන තත්වයකට පත්ව තිබෙනවා.   නමුත් අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරමු. 


රන්වල දෙවියන්ගේ ඓතිහාසික පසුබිම පිළිබඳ විමසා බැලීමේදී කතා ප්‍රවෘත්තීන් කිහිපයක්ම ඉස්මතු කරගන්නට පුලුවන්. ඉන් පැරණිම කතාව වන්නේ රන්වල දෙවියන් සීතාවක රාජසිංහ රජ සමයේ ජීවත් වූ අයකු බවයි. කාල වකවානුව ලෙස සලකා බලන විට එය ක්‍රි.ව. 1578 සහ 1592 සමයයි. සීතාවක රාජසිංහ රජතුමා සමකාලීන භික්ෂූ සමාජය සමඟ ගැටුම් ඇතිකරගත් අයකු බව පෙනෙන්නට තිබෙනවා. ඊට පෙර හා පසු ජීවත් වූ සියලුම රජවරුන් රාජ්‍ය පාලනය සඳහා තමන් තෝරාගත් භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් අවවාද අනුශාසනා ලබාගැනීමට පෙළඹුණු බව ඓතිහාසිකව සනාථ වන්නක්. නමුත් සීතාවක රාජසිංහ රජතුමා මේ මග ගමන් කරන්නට කැමති වූයේ නැහැ. ඔහු ටිකිරි කුමාරයානමින් සිටි කුඩා සමයේදීත් භික්ෂූන් වහන්සේලාව එතරම් සැළකිල්ලකට ගත් බවක් සඳහන්ව නැහැ. එනිසාම එවකට සිටි ස්වාමීන් වහන්සේලා ඔහුගේ වැඩිමහල් සොයුරා වූ තිඹිරිපොළ කුමාරයාටරාජ්‍ය බලය ලබාදීමට රහසින් සැළසුම් කළා. සීතාවක රාජසිංහයන් හෙවත් ටිකිරි කුමාරයා සමකාලීන සංඝ සමාජය සමඟ ගැටුමකට අවතීර්ණවීමට මුල්ම හේතුව  මෙයයි. 


කෙසේ හෝ සීතාවක රාජසිංහ රජතුමා බුදු දහමට එරෙහිව කටයුතු කළ බව මහනුවර යුගයේ ලියැවුණු චූලවංශයේ ද සඳහන් වෙනවා. තිබ්බොටුවාවේ සිද්ධාර්ථ නම් ස්වාමීන් වහන්සේ නමක විසින් ලියන ලද චූලවංශයට මෙවැන්නත් ඇතුළත් කොට ඇත්තේ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කටින් කට පැවත ආ අසත්‍ය ප්‍රචාර නිසා බව පැහැදිලියි. මක්නිසාද සීතාවක රාජසිහ රජතුමා සමකාලීන භික්ෂු සමාජයේ කුමන්ත්‍රණයක් මැඬලීමට එක්තරා අන්දමක භික්ෂු මර්දනයක යෙදුණත් සියලුම භික්ෂූන් වහන්සේලාට එසේ නොකළ බව පෙනෙන්නට තිබෙන නිසයි. මෙයට හොඳම නිදසුනක් නම්  එවක දළදා වහන්සේ වැඩසිටි කුරුවිට දෙල්ගමු රජ මහා විහාරයේ දළදා වහන්සේ වෙනුවෙන් සියලු වතාවත් කිරීමට අනුග්‍රහය දීම සහ තමන්ගේ මාලිගාවට අතපොවන මානයේපිහිටි මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කිරීමට කටයුතු කිරීමයි. 
 
රන්වල තොටුපොළ

අපේ කතා නායක රන්වල දෙවිඳුන් මේ කාලයේ සීතාවක රාජසිංහයන්ගේ භාණ්ඩාගාරය භාරව සිටි නිලධාරියකු ලෙසයි හැඳින්වෙන්නේ. එකල ඔහු සම්පත් රාළනමින් හැඳින්වී තිබෙනවා. කෙසේ හෝ සීතාවක රාජසිංහ රජුගෙන් භික්ෂු සමාජයට සිදුවූ ඇතැම් කෲර ක්‍රියා නිසා කළකිරුණු සම්පත් රාළ තවත් අතවැසියන් දෙදෙනෙකු සමඟ රාජ සේවයෙන් ඉවත්ව තමන්ගේ උපන් ගමට පැමිණි බවත්, ඉන් පසු එහි දැහැමි ජීවිතයක් ගත කළ බවත් එක ජනප්‍රවාදයක සඳහන් වෙනවා. ඔහු සමග පැමිණි එක් පුද්ගලයකු රන්කිරි රාළලෙසින් හැඳින්වෙන බවත්, ඔහුගේ පරපුර අද ද රන්කිරි පතිරැන්නහැලාගේලෙසින් හැඳින්වෙන බවත් පැවසෙනවා. නමුත් සම්පත් රාළගේ ගම රන්වලබවයි එම ජනප්‍රවාදයේ සඳහන්වන්නේ. අතීතයේ මෙම ප්‍රදේශයේ රත්රන් පිරුණු වලක් තිබූ නිසා එම ප්‍රදේශය රන්වලවූ බව ජනප්‍රවාදවලින් තහවුරු වෙනවා. මෑත කාලයේදීත් පූගොඩ නගරය ආශ්‍රිතව කැලණි ගඟ දෙපසේ කුමාරිමුල්ලඇතුලු ස්ථාන කිහිපයකින්ම රත්රන් හමුවුණා. ඒ අනුව අතීතයේ රන්වලනම් ගම් ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිතව රත්රන් ලැබෙන ස්ථානයක් හෙවත් වලක් තිබූ බවට අනුමාන කරන්නට පුලුවන්. 


කෙසේ හෝ සීතාවක රජුගේ රාජ සේවයෙන් නික්ම අවුත් ඉතා දැහැමි සිල්වත් දිවිපවෙතක් ගත කරමින් ජීවත්වුණු ඔහු  රාජ්‍ය සේවයේ උසස් තනතුරක් දැරීම නිසා රාළයන ගෞරවාන්විත නාමයෙන් හැඳැින්වී තිබෙනවා. එවකට රාළයන නම යෙදුණේ නිලමක්කාරයකු, එසේත් නැත්නම් උසස් නිලයක් දැරූවකු හැඳින්වීම සඳහා පමණයි. එකල ගමේ ප්‍රධානියා ගමරාළවූයේ ඔහු ගමේ නායකයා වූ නිසයි. රන්වල රාළයනුවෙන් එවකට හැඳින්වුණු මේ තැනැත්තා සාමාන්‍ය ජනතාව විසින් රන්වල හාමුදුරුවන්ලෙසින් හඳුන්වන්නට ඇත්තේ ඔහුගේ ප්‍රභූත්වය, වංශය ආදී කරුණු සළකා බලා විය හැකියි. නමුත් ඇතැමුන් පවසන පරිදි රන්වල දෙවියන්’ ‛රන්වල හාමුදුරුවන්ලෙස හැඳින්වෙන්නේ ඔහු තම ජීවිතයේ අවසාන කාලයේ ශ්‍රමණ හෙවත් තාපස ජීවිතයක් ගත කළ නිසයි. ඒ රන්වල මුත්තා මරණින් මතු අද වනතුරුත් ජීවමානව කැලණි ගඟ දෙපස ජනතාවට පිහිටාරක්ෂාව සළසන බව ප්‍රසිද්ධ කරුණක්. නමුත් මේ රන්වල දෙවියන් පිළිබඳව එක්තරා අප්‍රකට මූලාශ්‍රයක් පමණයි. රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාව පිළිබඳ මීට වඩා ප්‍රබල තවත් මූලාශ්‍ර කිහිපයක්ම තිබෙනවා. ඒවා අපි ඉදිරි සතියේදී විමසා බලමු. 

ඊළග ලිපිය - රන්වල දෙවියන් අතීතයේ විසූ ‛පොඩි මිනිහාගේ’ වීරයෙක්ද?

Friday, August 15, 2014

රන්වල දෙවියන් මිනිස් වෙසින් පෙනී සිටින්නේ ඇයි? - Why God Ranwala Appears in a human Trance?


පුවක්පිටිය ඇස්වත්ත විහාරස්ථානය ඉදිරිපිට ඇති රන්වල දේව ප්‍රතිමාව


ගම්පහ දිසාවෙන් මතු වූ රන්වල දේව ඇදහීම ලංකාවේ සෙසු සියලුම දේව ඇදහිලිවලට වඩා සුවිශේෂත්වයක් ගන්නවාය කීවොත් එය නිවැරදියි. එයට හේතු රාශියක් තිබෙනවා. රන්වල දෙවියන් අපේ රටේ ප්‍රමුඛ පෙළේ දෙවි කෙනෙක් ලෙස සැළකෙන්නේ නැති බව ඇත්ත. රන්වල දෙවිඳුන් අයත්වන්නේ ප්‍රාදේශීය, ගම්හිමි, ගම්බාර දේවතා ගණයට. නමුත් මෙහිදී ගම්බාරයනුවෙන් මා සඳහන් කරන්නේ සුද්ධ සූනියම් ගම්බාර දෙවියන්නොවේ.   සුද්ධ සූනියම් ගම්බාර දේව සංකල්පය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුලුවන්. නමුත් රන්වල දේව ඇදහීම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළේ ප්‍රදේශ කිහිපයකටත්, කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් ප්‍රදේශ කිහිපයකටත් සීමා වූ දෙයක්. නමුත් මේ ප්‍රාදේශීය දෙවියා පිළිබඳ විශ්වාසය වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එයට හේතුව මාර්ග අංක ඒ 4 (A4) ට අයත් කොළඹ - රත්නපුර මහා මාර්ගය අබියස ඇති පහන ළඟ දෙවොලවිය හැකි බවයි අපට ආසන්න වශයෙන් නිගමනය කළ හැක්කේ. නමුත් ඒ 3 (A3) කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය අද්දරත් මෙවැනි ප්‍රදේශීය දෙවිකෙනෙකුගේ දේවාලයක් තිබෙනවා. ඒ තමයි හලාවතට නුදුරු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි තනිවැල්ලේ දේවාලය’. මෙහි ඇදහෙන්නේ කෝට්ටේ යුගයේ අප රටේ ප්‍රාදේශීය පාලකයකුව සිටි තනිය වල්ලභකුමාරයායි. නමුත් ප්‍රධාන පාරක් අද්දර පිහිටි නිසාම තනිවැල්ලේ දෙවියන් පිළිබඳ විශ්වාසය රන්වල දේව විශ්වාසය තරම් ප්‍රබල ලෙස පැතිර ගොස් නැහැ. රන්වල දෙවියන් සහ තනිවැල්ලේ දෙවියන් අප රටේ කිසියම් කාලයක ජීවත් වූ සැබෑ චරිත දෙකක්. තනිවැල්ලේ දෙවියන් කෝට්ටේ යුගයේ ජීවත් වූ ප්‍රාදේශීය නරපතියකු වගේම රන්වල දෙවියන් ඊට පසු යුගයක ජීවත් වූ සාමාන්‍ය ගැමියෙක්. නමුත් මේ දෙදෙනාම මුත්තායන නමින් හැඳින්වෙනවා. රන්වල දෙවියන් රන්වල මුත්තායනුවෙනුත් තනිවැල්ලේ දෙවියන් තනිවැල්ලේ මුත්තා යනුවෙනුත් හැඳින්වෙනවා.

අපේ රටේ ප්‍රාදේශීය දෙවිවරුන්ට, උප දෙවිවරුන්ට භාරතීය සම්භවයක් ඈඳීම බොහෝ විට සිදුවන්නක්. ඒ වගේම තනිවැල්ලේ දෙවියන් භාරතීය සම්භවයක් සහිත ප්‍රධාන දෙවිවරුන්ගෙන් වරම් ගත් උපදේවතාවකු බව ඒ දෙවියන්ට සම්බන්ධ යාදිනි සහ කෝල්මුරවලින් පැහැදිලියි. එතැනදී තනිවැල්ලේ දෙවියන් අපි සමාජ විද්‍යාත්මකව හඳුන්වන්නේ උප දේවතාවකු’ (Sub Deity) හැටියටයි. මෙසේ භාරතීය සම්භවයක් ඇති ප්‍රධාන දෙවිවරුන්ගෙන් වරම් ගත් බව පැවසෙන ඇතැම් දේශීය දෙවිවරුන් පිළිබඳ විශ්වාස පසුව එම ප්‍රධාන දේව විශ්වාස තුළටම අවශෝෂණය වූ බව නැතහොත් කිඳා බැසගත් බව පැහැදිලියි. අපේ රටේ කාලාන්තරයක් තිස්සේ පැවති සිරියා දේවියපිළිබඳ විශ්වාසය භාරතීය ලක්ෂ්මී දේව සංකල්පය තුළට කිඳා බැසීම නිසා අදවන විට නැත්තටම නැතිව ගිය දේව විශ්වාසයක්. 






මහගමසේකරයන්ගේ ගීත රචනයක් ලෙසින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මුවින් ගැයෙන මේ ගී පද සිරියා දේවියගේ කවිනම් ජනශ්‍රුතියෙන් උපුටාගන්නා ලද්දක්. 


ඒ වගේම තනිවැල්ලේ දෙවියන්ගේ නමට අවසානයේ බණ්ඩාරයන නමකුත් යෙදී ඇති බව ඒ දෙවියන් සම්බන්ධ යාදිනි හා කෝල්මුර ආදියෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම තනිවැල්ලේ දෙවියන්ගේ පුත් ගලගත් බණ්ඩාරත්එසේ බණ්ඩාර නාමය ලැබූ තවත් දෙවිකෙනෙක්. නමුත් රන්වල මුත්තායනුවෙන් හැඳින්වෙන ගම්හිමි දෙවියකු වන රන්වල දෙවියන්ට එසේ උප දේවත්වයක් ආරෝපණය වී නැහැ. එසේම රන්වල දෙවියන්ගේ අඩවිය  නවගමුවේ පත්තිනි දේවාලයත්, කැලණියේ විභීෂණ දේවාලයත්, සමන් දෙවියන්ගේ අඩවියත් අතරමැද පිහිටා තිබුණත් රන්වල දෙවියන් සමන් දෙවියන්ගෙන් හෝ විභීෂණ දෙවියන්ගෙන් හෝ පත්තිනි දේවතාවියගෙන් වරම්ගත් බව උප දේවතාවකු බව  කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. ඒ වගේම එම දෙවියන් බණ්ඩාරනමින් හැඳින්වෙන්නේත් නැහැ. ඉන් මනාව පැහැදිලිවන්නේ රන්වල දෙවියන් අපේ ඇදහිලි අනුව ප්‍රාදේශීය දෙවියකු වුවත් විදේශ සම්භවයක් ඇත්තකු හෝ උප දේවතාවකු හෝ නොවන බවයි. 


පුවක්පිටිය ඇස්වත්ත විහාරස්ථානය ඉදිරිපිට ඇති රන්වල දේව ප්‍රතිමාව



රන්වල දෙවියන්ගේ කීර්තිය දසත පැතිර යාමට එක් හේතුවක් වශයෙන් කිවහැක්කේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගයක් වන කොළඹ - රත්නපුර මහා මාර්ගය අද්දර පුවක්පිටිය පහන ළඟ දේවාලයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විසින් විවිධ අරමුණු මුල්කරගෙන සිදුකෙරෙන බාර හාරවලින් බලාපොරොත්තු වූ දේ ඉටුවීම බවයි පැවසෙන්නේ. ඒ නිසා ඒ් දෙවියන් තමන්ගේ පැතුම් ඉටුකරන දෙවියකු ලෙස පිටස්තර පුද්ගලයන් තුළ පවා විශ්වාසයක් පැතිර ගොස් තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතට අයත් අවිස්සාවේල්ල සහ සබරගමුවට අයත් ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර වැනි ප්‍රදේශවල මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ සෙසු බොහෝ ව්‍යාපාරිකයන් පවා මෙම රන්වල දෙවියන් හමුවේ විවිධ බාර හාර වී මැණික් හිමි කරගන්නා බවත්, ඒ වෙනුවෙන් බාර හාර ඔප්පු කොට පුද පඬුරු පූජා කරන බවත් බොහෝ දෙනෙක් පවසනවා. නමුත් ඔවුන් සමන් දෙවියන් කෙරෙහි ඇති සාම්ප්‍රදායික අචල භක්ත්‍යාදරය නිසා රන්වල දෙවියන්ට ප්‍රමුඛත්වයක් නොදෙන බවත්, සමන් දෙවියන්ට එම ප්‍රමුඛත්වය ලබා දී ක්‍රිියාකරන බවත් සඳහන් කරන්නට පුලුවන්. සමන් දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ  බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ සමනල කන්දේ ශ්‍රී පාදස්ථානය පිහිටුවීමට ආරාධනය කළ යක්ෂ ගෝත්‍රිකයකු වුවත්, එතුමන් අද පරිපූර්ණ දේවත්වයක් ලත් අයෙක්. නමුත් රන්වල දෙවියන් එසේ ප්‍රමුඛ ලෙස සම්මුති දේවත්වයකට පත් වූ අයෙක් නොවේ. එයට හේතුව අපට ඇස් පනාපිටම දැකගත හැකි අවස්ථාවක් තිබෙනවා. එනම් රන්වල දෙවියන්ගේ රූපය හුදෙක් සාමාන්‍ය මිනිස් රූපයක් ලෙස නිර්මාණය කොට තිබීමයි. ප්‍රතිමා නිර්මාණය පිළිබඳ ලියැවුණු බිම්බමානනම් කෘතියෙහි සඳහන් වන අන්දමට දේවරූපයක නළලත, දෙනෙත, නැහැය නිකට වැනි ශරීරාංග ඉතා සමතුලිත ආකාරයෙන් පිහිටිය යුතු බව කියවෙනවා. නමුත් රන්වල දෙවියන්ගේ ප්‍රතිමා හැඩතල අතින් දේවරූපයකට වඩා සමීපවන්නේ මිනිසත් රූපයකට. රන්වල දෙවියන්, එසේත් නැත්නම් රන්වල මුත්තා තමන්ගේ ප්‍රදේශයේ ජීවත් වූ ගෞරවනීය ආදිතමයකු ලෙසයි ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ. ඒ අනුව එතුමන්ගේ රුව මිනිස් ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කළා වන්නටත් පුලුවන්. 


රන්වල දෙවියන් සම්බන්ධ උත්පත්ති කතා කිහිපයක්ම තිබෙනවා. ඒවා විමසීමෙන් සැබවින්ම රන්වල දෙවියන් කවුද කියා අපට හඳුනාගන්නට පුලුවන්. ඒ වගේම අපේ රටේ බොහෝ දෙවිවරුන් මෙන් ඉන්දියාවේ මලල රටේ හෙවත්  මල්වරාදේශයේ (වර්තමාන කේරලය) ඉපදුණු කෙනෙකු ලෙස රන්වල දෙවියන් හඳුන්වා නැහැ. එතුමන්ගේ උපත මෙරටදීම සිදු වූ බවයි ජන විඥානයේ පැවතෙන්නේ. තවමත් ජීවමානව වැඩවසන බවට විශ්වාස කරන රන්වල මුත්තාගේ යටගියාව අපි ඉදිරි සතියේ විමසා බලමු.