දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Sunday, October 26, 2014

රන්වල දෙවියන් එක්ක ‛සෙල්ලම්’ එපාලු - No Jokes with God Ranwala


රන්වල දෙවියන් ගැන පවතින මතිමතාන්තරවලට අනුව එතුමා උපාසක ස්වරූපයකින් පෙනී සිටියත් තරමක් සැර පරුෂ දෙවි කෙනෙකු හැටියට තමයි සාමාන්‍ය ජනතාව විශ්වාස කරන්නේ. එතුමන්ගේ මෙම සැරපරුෂ ස්වභාවය එතුමා ජීවමානව සිටි කාලයේ පැවති චරිත ස්වභාවය අනුව සකස් වී තිබෙනවා වන්නට පුලුවන්. අදත් ගැමියන් විශ්වාස කරන්නේ රන්වල දෙවියන් එක්ක අනවශ්‍ය සෙල්ලම්’, ‛අනවශ්‍ය විහිලුආදිය කිරීම සුදුසු නැති බවයි. ඒ විශ්වාසයන් තවමත් පවතිනවාදැයි සොයා බලන්නට මම මෑත දවසක රන්වල දෙවියන් අදහන ප්‍රදේශ කිහිපයක සංචාරය කළා. මේ සංචාරයේ දී හරි අපූරු තොරතුරක් දැනගන්නට ලැබුණා. මේක කිව්වේ එක් ත්‍රිරෝද රථ රියැදුරෙක්. 

දැනට ටික කාලෙකට කලින් මේ ත්‍රිරෝද රථ ගාලේ රියැදුරන් ඇතුළු ගම්මුන් පිරිසක් එකතුවෙලා රන්වල දෙවියන්ගේ ප්‍රතිමාවක් නිම කරන්නට මුදල් එකතුකරන්න පටන් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රන්වල දෙවියන් අදහන්නේ බෞද්ධයන්. වෙනත් ආගමිකයන් බොහෝ විට රන්වල දෙවියන්ව අදහන්නේ නැහැ. නමුත් එතුමා සම්බන්ධව කරන කටයුතුවලදී ඒ ප්‍රදේශවල සිටින කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් විරුද්ධත්වය නොපෑම සාමාන්‍ය දෙයක්. ඇතැම් විට ඔවුන් යම් යම් ආකාරවලින් එවැනි වැඩකටයුතුවලට ආධාර උපකාර කරන අවස්ථාවන් ද තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පූගොඩ වගේ ප්‍රදේශවල කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් රන්වල දෙවියන් වෙනුවෙන් පවත්වන දේවදාන වැනි කටයුතුවලදී ද්‍රව්‍යමය සහ මුදල් ආධාර ආදිය ලබාදෙන බව අසන්නට ලැබෙනවා. මෙහිදී දැනගන්නට ලැබුණු කතාවට අනුව පිළිමය ගොඩනැගීමට සූදානම් වුණු සංවිධායක පිරිස ජාති ආගම් භේදයක් බලන්නේ නැතිව ගෙයින් ගෙට යමින්  ආධාර එකතුකරන්න පටන්ගත්තා. මේ අවස්ථාවේදී එක් ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් මේ කාරණය අහලා ඒ පිරිසට මෙහෙම කියා තියෙනවා. 

මැරුණු මිනිස්සුන්ගේ පිළිම අඹලා තේරුමක් තියෙනවද?” 

ඉස්ලාම් භක්තියට අනුව ප්‍රතිමා වන්දනාව සපුරා තහනම් දෙයක්. ඔවුන් කිසිවිටෙකවත් ප්‍රතිමා වන්දනා කරන්නේ නැහැ. එවැනි වන්දනාවලට ඔවුන්ගේ සිත් තුළ යම් විරෝධයක් ද තිබෙනවා වන්නට පුලුවන්. අන්තගාමී ලෙස ඉස්ලාම් ආගම අදහන්නවුන් තුළ මේ සිතිවිල්ල තදින් පැළපදියම් වෙලා තියෙනවා  කියන එක ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාශ කළ සිදුවීමෙන් වටහාගන්න පුලුවන්. අපේ රටේ සිටින මුස්ලිම් ජනතාව මෙවැනි ක්‍රියා කරන බවට මෙයින් අදහස්වන්නේ නැහැ. ඔවුන්ගෙන් වැඩි පිරිස ඉතා ගුණයහපත් පිරිසක් බවයි අපගේ විශ්වාසය. නමුත් ඔවුන් අතරත් අන්තගාමීන් සිටිනවා. කෙසේ හෝ මේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයාගේ කතාවට සංවිධායක කමිටුවේ පිරිසගේ සිත් රිදී තිබෙනවා. කෙසේ නමුත් සතියකට පමණ පසු මේ ව්‍යාපාරිකයා සංවිධායක කමිටුවේ ප්‍රධානියා මුණගැසෙන්න ඇවිත්  මෙහෙම කිව්වලු. 

මගේ අතින් ලොකු කට වැරදීමක් වුණේ. ඒ නිසා මේක කතාව ප්‍රසිද්ධ කරන්න එපා. රන්වල දෙවියන්ගේ පිළිමය හැදීම වෙනුවෙන් මේ මුදල තියාගන්න.” 

එසේ කී ඔහු සංවිධායකට  විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කොට තිබෙනවා. මේ තොරතුරු දුන් පුද්ගලයා අපෙන් ඉල්ලා සිටියේ අදාළ ව්‍යාපාරිකයාගේ නම හෝ ඔහු ජීවත්වන ප්‍රදේශය හෝ සඳහන් නොකරන ලෙසයි. 

අනෙක් දෙවිවරුන් සමඟ සැසඳීමේදී රන්වල දෙවියන්ගේ ගතිගුණ තරමක් වෙනස් ආකාරයක් පෙන්නුම් කරනවා. මේ බව දකින්නට ලැබෙන එක් අවස්ථාවක් තමයි නානුමුර මංගල්‍යය. නානුමුර මංගල්‍යය කියන්නේ ඕනෑම දෙවි කෙනෙකු වෙනුවෙන් පවත්වන පොදු චාරිත්‍රයක්. දෙවිවරුන් වෙනුවෙන් පවත්වන මේ නානුමුර මංගල්‍යය අප රටට ලැබී ඇත්තේ ඉන්දියාවෙන්. හින්දු භක්තිකයන් තම දෙවිවරුන් වෙනුවෙන් අභිෂේකම්යනුවෙන් උත්සවයක් පවත්වනවා. එහිදී සිදුවන්නේ දේවරූප ස්නානය කරවීමයි. ඔවුන් එම ප්‍රතිමා කිරිවලින්, පලතුරු හා ඖෂධීය ඉස්මෙන් ස්නානය කරවනවා. මෙය දේවාශීර්වාදය සහ සෞභාග්‍යය මුල්කොට ඉටුකරන චාරිත්‍රයක්. නානුමුර කියන්නේ මෙයින් බිඳී ආ චාරිත්‍රයක් හැටියටයි සැළකෙන්නේ. අපේ රටේ මේ ආකාරයට දේවරූප ස්නානය කරවන්නේ නැහැ. මෙහිදී කරන්නේ දේවරූපය ඉදිරියේ කන්නාඩියක් තබා කන්නාඩිය ජලයෙන් තෙමීමයි. මෙයට හේතුව ඉන්දියාවේ දේව ප්‍රතිමා ගලින් හෝ ලෝහවලින් නිර්මාණය කළ  ඒවා වුණත් අපේ රටේ ප්‍රතිමා මැටිවලින් නිර්මාණය කළ ඒවා වීමයි.  ඒ නිසා අපේ රටේ කරන්නේ ස්නානය කරවීම සංකේතනය කිරීමක් පමණයි. නමුත් රන්වල දේවාලයේ චාරිත්‍රවලට අනුව නානුමුර මංගල්‍යයක් පැවැත්වෙන්නේ නැහැ. අඩුම තරමේ දියකැපීමක් හෝ සිදුකරන්නේ නැහැ. කැලණි ගඟ අවට පවතින දේවාලයක දියකැපීමක් හෝ සිදුවන්නේ නැත්නම් එය පුදුමයට කරුණක්. කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේත්, නවගමුවේ පත්තිනි මහා දේවාලයේත්, මැදගොඩ පත්තිනි දේවාලයේත් දියකැපීම සඳහා කැලණි නදිය යොදාගන්නා බව ප්‍රකට කරුණක්.  නමුත් රන්වල  දෙවියන් මෙවැනි දෙයට කැමති නැති බවයි කියැවෙන්නේ. මෙසේ වීමට හේතුවක් තිබෙනවා.  එක්දහස් නවසිය පනස් ගණන්වලදී එක්තරා පිරිසක් රන්වල දෙවියන් වෙනුවෙන් දියැකැපීමේ උත්සවයක් සංවිධානය කරන්නට සූදානම් වෙලා තියෙනවා. ඔවුන් දියකැපීම සඳහා පෙරහරකින් ගඟට ගමන් කරන අතරේ එහි ගමන් කළ ඇතා වලක වැටිලා මිය ගියා. දියකැපීම වැනි සුබ මංගල්‍යයක් අතරතුරදී මෙසේ මරණයක් සිදුවීම අසුබ ලකූණක් ලෙසයි සැළකෙන්නේ. එනිසා බොහෝ දෙනෙකු සිතුවේ දෙවියන් මෙම ක්‍රියාවට තම අප්‍රසාදය පළ කළා කියායි. ඒ නිසා එවැනි උත්සව පැවැත්වීම එතැනින්ම නතර කළා. 

පොල් ගැසීම ගැන කියන්න තියෙන්නේත් මේ වගේ කතාවක්. රන්වල දෙවියන් ගැන නොදන්න අය පුවක්පිටිය පහන ළඟ දේවාලය අසළ පොල්ගැසීම් සිදුකරන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් රන්වල දෙවියන් වෙනුවෙන් පොල්ගැසීම හෝ පූජාවට්ටි තැබීම සාම්ප්‍රදායිකව සිදුකරන්නේ නැහැ. පොල් ගැසීම වෙනුවට සිදුකරන්නේ පොල් වෙන්කිරීමයි. උදාහරණයක් ලෙස මෙම පළාත්වල පොල් ගසකින් කඩාගන්නා මුල්ම පොල් ගෙඩිය රන්වල දෙවියන් වෙනුවෙන් වෙන්කිරීම සිදුවෙනවා.  ලොකු පොල් වතුවල නම් ගස් පේලිවලින් පොල් ගෙඩිය බැගින් වෙන්කළ යුතු වෙනවා. මේවා රන්වල දෙවියන්ට පූජාකිරීම සිදුවෙනවා. මෙහි ඇති තවත් අසිරිමත් සිදුවීමක් මෙහිදී මතකයට නැගෙනවා. රන්වල දෙවියන් ජීවමානව සිටි සමයේ එතුමා ජීවත් වූ අසපුව ළඟට ඔරු පාරුකරුවන් පොල් ගෙනැත් දැමූ කතාව ගැන ඔබට මතක ඇති. රන්වල දෙවියන් පුහුල් පහන් පත්තු කළේ මේවායෙන් ලබාගත් තෙල්වලින්. වර්තමානයේ පොල් ගැසීම වෙනුවට මේ ආකාරයට පොල් වෙන්කිරීමෙන් සංකේතනය කරන්නේ ඒ පැරණි සිරිතයි. නමුත් මේ වෙන්කළ පොල් කිසිම කෙනෙකුට කෑමට ඉඩක් නැහැ. ඒවා කෑවොත් යම්කිසි විපතක් සිදුවන බවට මිනිසුන්ගේ විශ්වාසයක් පවතිනවා. නමුත් ඇතැම් දෙවිවරුන් සම්බන්ධව පවතින චාරිත්‍රවල ඇත්තේ මෙහි අනෙක් පැත්ත. උදාහරණයක් විදිහට කතරගම දෙවියන්ට පොල්ගැසීමෙන් පසු එම පොල් කැබලි කෑමෙන් දේවාශීර්වාදය ලැබෙන බවයි බැතිමතුන්ගේ විශ්වාසය. තමන් වෙනුවෙන් නොව වෙනත් කෙනෙකු වෙනුවෙන් ගසන ලද පොල්වලින් ද කැබලි කෑම එහිදී දක්නට ලැබෙනවා. නමුත් රන්වල දෙවියටන්ගේ පොල් කෑවොත් සිදුවන්නේ නස්පැත්තියක්. ඒ නිසා රන්වල දෙවියන් වෙනුවෙන් වෙන්කළ පොල් භාවිතයට නොගෙන පැලවී තිබෙන ආකාරය ද දකින්නට පුලුවන්. 

රන්වල දෙවියන් උපාසක වේශයෙන් සිටියත්, යම් යම් කට වැරදීම් වැනි අවස්ථවලදී ලබාදෙන දඬුවම් ඉතාමත් බරපතල බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම රන්වල දෙවියන්ට අපහාස උපහාස සිදුකොට ගඟට පැන්නොත් යළිත් ගොඩ ඒමක් නැති බවට ද විශ්වාසයක් පවතිනවා. අතීතයෙන් එවැනි සිදුවීම් රාශියක් අසන්නට ලැබෙනවා.  මෑතකාලයේ සිදුවුණු මෙවැනි එක සිදුවීමක් මෙලෙස සඳහන් කරන්නට පුලුවන්. 

මීට මද කලකට පෙර පූගොඩ ප්‍රදේශයට ආශ්‍රිතව කැලණි ගඟෙන් රත්තරන් මතුවූ සිදුවීම කාටත් මතක ඇති. ඒ ගම් ප්‍රදේශවල වැසියන් විශ්වාස කළේ එය තමන්ට රන්වල දෙවියන්ගෙන් ලැබුණු දිව්‍යමය තිළිණයක් බවයි. මේ කාලයේ පුවක්පිටියේ ඇස්වත්ත ප්‍රදේශයේ අවමඟුලකට ඥාති පිරිසක් පානදුර, අලුබෝමුල්ලේ සිට පැමිණියා.  ඒ ආපු කෙනෙකුට මේ කතාව අහන්න ලැබුණා. ඒ පුද්ගලයා ගඟට දිය නෑමට යන ගමන් මෙහෙම කතාවක් කිව්වා. 

රන්වල දෙවියෝ නම් මේ රත්තරන් දෙන්නේ, දෙවියෝ මේ ගඟේ ඇතිනේ. මම මේ නාන්න යන ගමන් දෙවියන්වත් හොයාගෙන එන්නම්.” 

ඔහු එය කියා ඇත්තේ අපහාසාත්මක ස්වරයෙන්. එහෙම කියපු ඔහු ගඟට පැන්නා. ඒ මොහොතේම ඔහු ජලයේ ගසාගෙන යන්න පටන් ගත්තා. ඔහු බේරාගැනීමට එක් තරුණයෙක් ද ගඟට පැන්නා. නමුත් ඒ ගසාගෙන ගිය පුද්ගලයාව බේරාගන්නට තරුණයාට හැකි වුණේ නැහැ. තරුණයාගේ ජීවිතය ගැළවුණෙත් අනූ නවයෙන්. ජලයේ ගසාගෙන ගිය පුද්ගලයාගේ මළ සිරුර මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු හමු වුණා. මේ කතා ප්‍රවෘත්තිය රන්වල දෙවියන්ගේ ස්වරපය මැනවින් කියාපාන්නක් බවයි ගැමියන්ගේ විශ්වාසය. 

මෙවැනි බොහෝ සිදුවීම් නිසා   රන්වල දෙවියන් සමඟ අනවශ්‍ය කවටකම්සුදුසු නැති බව මෙම ප්‍රදේශවල ජනතාව අතර විශ්වාසයක් පැතිර පවතිනවා. මේ නිසා ඇතැම් අය රන්වල දෙවියන්ගේ පිහිට අයැද නොසිටියත්, එතුමා ගැන කිසිවක් කතා නොකර සිටීම වඩා හොඳ යැයි විශ්වාස කරනවා.

Saturday, October 18, 2014

රන්වල දෙවියන්ගේ මාලිගයට ගිය ගැමියා - Villager who visited the Palace of God Ranwala


රන්වල දෙවියන් සම්බන්ධ රහස් හෙළිකිරීම ගැන එතුමන්ගේ් එතරම් සතුටක් නැති බවට කැලණි ගඟ දෙපස රන්වල දෙවියන් අදහන ප්‍රදේශවල ජනතාව තුළ විශ්වාසයක් පවතිනවා. සාමාන්‍යයෙන් යහපත් අරමුණක් ඇතිව දෙවිකෙනෙකුගේ හාස්කම් මිනිසුන් අතර පැතිරවීම හා පැතිර යාම සුබ දෙයක් බව කවුරුත් දන්නා දෙයක්. නමුත් රන්වල දෙවියන් තමන්ගේ රහස් හෙළිකිරීම ගැන සතුටට පත්වන්නේ නැහැ. මෙයට හේතුව සොයාගිය මට මේ ගැන අපූරු ජනකතාවක් අසන්නට ලැබුණා. ඒ කතාව මෙහෙමයි. 

අතීතයේ ජීවත් වූ එක් ගැමියෙක් රන්වල දෙවියන්ගේ මාලිගාව බලන්නට ආසාවෙන් ඉඳලා තියෙනවා. එතුමා දේවත්වයට පත්වීමෙන් පසු කැලණි ගං පතුලේ ඇති දිව්‍යමය මාලිගාවක ජීවත්වන බවයි ගැමියන්ගේ විශ්වාසය වුණේ. මේ විදිහට මාලිගාව බලන්නට ආසාවෙන් සිටි පුද්ගලයාගේ නමත් අමුතු එකක්. ඔහුව හැඳින්වූයේ ‛කිඹුල් කොටාගේ බරා’ කියන නමින්. ඔහු එසේ හැඳින්වූයේ ඇයි ද කියන එක ගැන විස්තරයක් සොයාගන්නට නැහැ. මෙය සමහරවිට ඔහුගේ සැබෑ නම වන්නටත් පුලුවන්. එසේත් නැත්නම් ඔහු ගැමියන් අතර ජනප්‍රියව සිටියේ මේ නමින් වන්නටත් පුලුවන්. දවසක් ඔහු කැලණි ගඟේ දියනෑමට ගියා. ඔහු දිය නෑමට තෝරාගත්තේ  රන්වල තොටුපොලයි. දිය නාන්නට කැලණි ගඟට පැන්න ඔහු ඉන් ගොඩ ආවේ නැහැ. ගැමියන් ඔහු ව කැලණි ගඟත් ඒ අවට ප්‍රදේශවලත් පීරමින් සෙව්වත්, අඩුම තරමේ ඔහුගේ මළසිරුරවත් හමුවුණේ නැහැ. ඔහු මිය යන්නට ඇති බවත් මළසිරුර කැලණි ගඟේ ඈතකට ගසාගෙන යන්නට ඇති බවත් අවසානයේ ගැමියන් සිතුවා. ගැමියන් ඔහු වෙනුවෙන් හත් දවසේ පින්කමක් ද  පැවැත්වූවා. එදා සිදුවූණේ පුදුම දෙයක්. මිය ගියා සේ සැළකූ කිඹුල් කොටාගේ බරා මේ පින්කමට පැමිණ සිටියා. බැලූබැල්මට නම් ඔහුට අබමල් රේණුවක් තරම්වත් කරදරයක් සිදු වූ බවත් පෙනෙන්නට තිබුණේ නැහැ.  මේක ගැමියන්ටත් ලොකු ප්‍රශ්නයක්. සිද්ධවුණේ මොකක්ද කියන එක ගැන ඔවුන්ට කිසිම දෙයක් සිතාගන්නට පුලුවන් වුණේ නැහැ. කැලණි ගඟට පැනලා අතුරුදහන් වුණු ‛බරා’ මේ තරම් දවසක් කිසිම කරදරයක් නැතිව හිටියේ කොහේද කියන එක දැනගන්නට ගැමියන් තුළ තිබුණේ ලොකු කුතුහලයක්. තමන්ට  මුහුණපාන්නට සිදුවුණු අත්දැකීම ගැන විස්තර පවසන්නට මුලදී අකමැති බව පෙන්නුවත්,  අහිංසක ගැමියකු වූ බරාට ගැමියන්ගේ දැඩි පෙරැත්තය නිසා මෙය නොකියා සිටීමට බැරිවුණා. අවසානයේ ඔහු තමන්ගේ අත්දැකීම ගැමියන්ට හෙළිකරන්නට පටන් ගත්තා. 

මම රන්වල දෙවියන්ගේ මාලිගාව බලන්න හරි ආසාවෙන් හිටියේ. මම එදා වතුර ටිකක් නාගන්න කියලා හිතලා රන්වල තොටුපොළෙන් ගඟට පැන්නා. මම වතුරට පැන්නා විතරයි, මාව ගඟ මැද තියෙන කොග්ගල පැත්තට ඇදිලා යනවා වගේ දැනුණා” 

බරා පැවසූ මේ කොග්ගල වර්තමානයේත් දක්නට ලැබෙන ගඟ මැද පිහිටි තරමක් විශාල ගල්පර්වතයක්. ගඟේ ජලය වැඩිකාලයට එහි උසින් වැඩිම කොටස් පමණක් දර්ශනය වෙනවා. ගඟ පිටාර ගලන්නට තරම් ජලය වැඩිවුණු කාලයට ගල නොපෙනී යනවා. සාමාන්‍යයෙන් මේ කොග්ගලේ උඩ කොටස ඈතට දිස්වන්නේ ගඟ මැද දණගසා හිඳින හස්ති රාජයෙක් වගේ. රන්වල දෙවියන් ජීවමානව සිටි කාලයේ එතුමා මේ කොග්ගල උඩත් පුහුල් පහන් දල්වා තිබෙනවා. මෙය ගඟ මැද තියෙන විශාල පර්වතයක් නිසා රන්වල දෙවියන්ගේ මාලිගාව මේ පර්වතයට යටින් පිහිටා තිබෙනවා කියා විශ්වාසයක් ගැමියන් අතර තිබෙන්නට ඇති. 

බරා කතාව කියන්නට පටන් ගත්තා. 

මාව කොග්ගල පැත්තට ඇදිලා ගිහින් අන්තිමේදී ඒ ගල යට තියෙන රන්වල දෙවියන්ගේ මාලිගාවට ගිහින් තමයි නතර වුණේ. ඒක ඇතුලේ දෝනා විදිහට හදපු පාරවල් ගොඩක් තිබුණා. හැමතැනම පුහුල් පහන් පත්තු කරලා තිබුණා. ඒවායෙන් විහිදුණේ රත්තරන් පාට ආලෝකයක්. මට මේ මාලිගාව ඇතුළෙදි රන්වල දෙවියන්ව හමු වුණා. මම ජීවිතේටවත් කාලා නැති හරිම රසවත් කෑමක් එතුමා මට කන්න දුන්නා. ඒක කොයි තරම් රසවත් වුණත් අඟුරු පාටට තමයි මම දැක්කේ. මම ඒවායේ නම කියන්න දන්නේ නැහැ. මම මාලිගාවේ නතර වෙලා ඉඳලා ආපහු එන්න පිටත් වුණා. රන්වල දෙවියන් මාව පිටත් කර හරින්න කලින් කිව්වා මේ සිද්ධිය කිසිම කෙනෙක් එක්ක කියන්න එපා කියලා.

මේ කතාව කියලා මොහොතක්වත් ගියේ නැහැ. එකවර උණගැනුණු බරා වරු තුනකින්  මිය ගියා. රන්වල දෙවියන්ගේ රහස් කිසිම කෙනෙකු එක්ක කියන්න එපා කියන කතාව පැතිරිලා ගියේ මෙයින් පසුව විය යුතුයි. ධර්මබන්ධු අමරසේකරගේ ‛ඓතිහාසික නව කතා’ කෘතියේත්, ආර්.ඒ. පියදාසයන් ලියූ ‛රන්වල දෙවියෝ’ කෘතියේත් මේ කතාව යම් යම් වෙනස්කම් සහිතව තියෙනවා. 

රන්වල දෙවියන් නිතර දර්ශනය වන බවට බොහෝ කතා එතුමාව අදහන ප්‍රදේශවල සිටින ගැමියන් අතර විශ්වාස පැතිර තිබෙනවා. මෙසේ දර්ශනය වන සෑම ස්ථානයක්ම පිහිටා තිබෙන්නේ කැලණි ගඟ අසබඩයි. මේ ස්ථාන අතරින් හිඟුරල, ඇස්වත්ත, පුවක්පිටිය, කනම්පැල්ල, කොස්ගම, රන්වල ඇල්ල, දුම්බුකඩුව, රන්වල තොටුපොළ, කපුගොඩ තොටුපොළ, පල්ලියවත්තේ තොටුපොළ, මල්වානේ රාස්සගල තොටුපොළ සහ රන්වල පහන කියන ස්ථානවල නිතරම වාගේ රන්වල දෙවියන් දර්ශනය බව බවයි විශ්වාස කරන්නේ. 

මම මේ පිළිබඳ තොරතුරු නිවැරදි විදිහට ගොනුකරගත්තේ ඉතා පරිස්සමින්. එයට සෑහෙන වෙහෙසක් දරන්නටත් සිදුවුණා. මට ඒ සඳහා අවුරුදු දහඅටක් තරම් කාලයක් ගතවුණා. එහිදී මට එම පළාත්වල සිටින වැඩිහිටි ගැමියන් රැසක්ම මුණ ගැහුණා. ඔවුන් සියලු දෙනාම පැවසූයේ රන්වල දෙවියන් ගඟ අයිනේ දර්ශනය වන්නේ උපාසක ස්වරූපයෙන් බවයි. ඒ වෙලාවට ඉතා දැඩි පිච්චමල් සුවඳක් හමාගෙන යන බවත් ඔවුන් පැවසුවා. ඒ වගේම සුදු ජටාවක් පැළඳ, නිරාවරණය වූ උඩුකයේ එක් උරයක් වැසෙන සේ සුදු පාට උතුරු සළුවක් දමාගෙන සිටින ආකාරයෙනුත් රන්වල දෙවියන් දර්ශනය වී තිබෙනවා. රන්වල දෙවියන් මෙසේ දර්ශනය වී එක්වරම නොපෙනී යනවා. බොහෝ වෙලාවට රන්වල දෙවියන් දර්ශනය වන්නේ සැන්දෑ කාලයේදී සහ රාත්‍රි කාලයේදී බවයි පැවසෙන්නේ. රන්වල දෙවියන් දර්ශනය වූ පසු සිතට මහත් සැහැල්ලුවක්, ශාන්ත ස්වභාවයක් දැනෙන බවත් ගැමියන් විශ්වාස කරනවා. මේ රන්වල දෙවියන් යැයි හඳුනානොගත් ඇතැම් අය බියට පත්වූ අවස්ථාවන් ද අසන්නට ලැබෙනවා. බොහෝ විට මෙවැනි අත්දැකීම්වලට මුහුණපාන්නේ පිටපලාත්වලින් පැමිණ සිටින අයයි. මේ රන්වල දෙවියන් යැයි හඳුනාගත් කිසිම කෙනෙකුට මෙතෙක් යහපතක් මිසක් කිසිම අයහපතක් සිදුවී නැහැ.

මෙසේ දර්ශනය වන දෙවිවරුන් මානව විද්‍යාවේදී හැඳින්වෙන්නේ ‛මනුෂ්‍යත්වාරෝපිත දෙවිවරුන්’ (Anthropomorphic God) විදිහටයි. මා මේ බව සඳහන් කළේ මේ සම්බන්ධව ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්නවුන්ගේ පහසුව තකායි.

රන්වල දෙවියන් වෙනුවෙන් නිසිපරිදි, නිසි පිළිවෙලට, එතුමන්ගේ උපදෙස් අනුව සකස්කොට උදෑසන, දහවල් හෝ සැන්දෑවේ දේව දානයක් (දේවදානය පිළිබඳ මෙතැනින්  කියවන්න පුලුවන්.) පිරිනැමුවේ නම්, එවැන්නකට සහභාගී වුණු අයට කලබලකාරී නොමැති ස්ථානයකදී ඇතැම් අවස්ථාවල රන්වල දෙවියන් දර්ශනය වන බවට  කතා අසන්නට ලැබෙනවා. ඒක ප්‍රදේශය පුරා පැතිර ගිය අසිරිමත් කතාවක්. නමුත් මේවා ගැන බොහෝ දෙනෙකු කතාබහ නොකරන්නේ එය ආධ්‍යත්මික වශයෙන් තමන් ලැබූ පෞද්ගලික අත්දැකීමක් ලෙස සළකන්නට ගැමියන් හුරුපුරුදුව සිටීමත්, එය සියලු දෙනා සමග පැවසීම සුදුසු නැති දෙයක් බවට විශ්වාසයක් ඔවුන් අතර පැතිර තිබීමත් වන්නට පුලුවන්. 


පෙර ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න
කැලණි නදිය ඔස්සේ ඉහළ පහළ වඩින රන්වල දෙවියෝ 

Sunday, October 5, 2014

කැලණි නදිය ඔස්සේ ඉහළ පහළ වඩින රන්වල දෙවියෝ - Ranwala God who travells via Kelani River

 පුවක්පිටියේ පහන ළඟ දේවාලයේ දිව්‍ය ස්වරූපයෙන් ඇති රන්වල දේව ප්‍රතිමාව

රන්වල දෙවියන්ගේ විවිධ ප්‍රමාණවල ප්‍රතිමා සිය ගණනක් කැලණි ගඟ දෙපස පිහිටි සියනෑ කෝරළයේත් හාපිටිගම් කෝරළයේත් දැකගන්නට පුලුවන්. ඒවා පිහිටි ස්ථාන සහ ඒවා පිළිබඳව වැඩි විස්තර අපි ඉදිරියේදී කතා කරමු. නමුත් පොදුවේ ගත් කල රන්වල දේව ප්‍රතිමා ස්වරූප දෙකකින් නිර්මාණය වී තිබෙනවා. ඉන් එකක් නම්  නම් දිව්‍යමය ස්වරූපයයි. එම රුව දකින ඕනෑම අයෙකුට මෙය කිනම් හෝ දෙවිකෙනෙකුගේ යැයි වැටහීමක් ලැබෙනවා. අනෙක  මනුෂ්‍ය ස්වරූපයයි. මනුෂ්‍ය ස්වරූපයෙන් පෙනී සිටින රන්වල දෙවියන්ගේ රූපය දකින අයෙකුට සිතෙන්නේ මෙය ගම්බදව ජීවත් වූ යම්කිසි ප්‍රභූවරයකුගේ ප්‍රතිමාවක් විය හැකි බවයි. රන්වල දේව ප්‍රතිමාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ මෙම මනුෂ්‍ය ස්වරූපයෙන්. එම ප්‍රතිමාවල විශේෂයෙන් දක්නට ලැබෙන දෙය වන්නේ නිරාවරණය වුණු උඩුකය උතුරු සළුවකින් වසාගෙන සිටීම සහ අතේ ‛සෝලු ලීයක්’ හෙවත් සැරයටියක් තබාගෙන සිටීමයි. ඊට අමතරව නවගුණ වැලක් අතින් ගත් ස්වරූපයක් මෙන්ම පුස්තකයක් අතේ තිබෙන ස්වරූපය වැනි විවිධාංගීකරණයට ලක්වුණු ප්‍රතිමාවන් ද දකින්නට පුලුවන්. නමුත් රන්වල දෙවියන්ගේ අනන්‍යතාව පැහැදිලි වන ප්‍රතිමා ස්වරූපය වන්නේ නිරාවරණය වූ උඩුකය උතුරු සළුවකින් වසාගෙන තිබීමයි. එයින් පැහැදිලි වන්නේ එතුමන් උපාසක ස්වරූපයකින් පෙනී සිටින බවයි.

රන්වල දෙවියන්ගේ උපාසක ස්වරූපය පිළිබඳව බොහෝ පුරාවෘත්ත අසන්නට ලැබෙනවා. එවැනි පුරාවෘත්ත සිය ගණනක් වුවත් සොයාගන්නට පුලුවන්. මේ අතුරින් ප්‍රකටම පුරාවෘත්තයක් වන්නේ දෙවැනි ලෝක යුද සමයේදී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සිටි ඉන්දියානු සෙබලකු මුහුණ දුන් අත්දැකීමක්. ඒ සිද්ධිය මෙසේයි. 

ඒ කාලයේ වර්තමාන හංවැල්ල සහ සමනබැද්ද අතර කැලණි ගඟ හරහා පාළමක් ඉදිවී තිබුණේ නැහැ. එතැන තිබුණේ තොටුපොළක් පමණයි. එය එකල හැඳින්වූයේ ‛හංවැල්ල තොටුපළ’ ලෙසිනුයි. ඊට ‛ගුරුබැවිල’ යන නම ද යොදා තිබෙනවා. නමුත් දෙවැනි ලෝක යුධ සමයේදී මෙහි පාරු පාළමක් තනා තිබුණා. ඒ පාරු පාළම යොදාගෙන තිබුණේ හේවාගම් කෝරළයේ සිටි හමුදා සෙබලුන් සියනෑ කෝරළය කරා ප්‍රවිෂ්ට කිරීම සඳහායි. එතැන මුර සේවයේ යොදවා තිබුණේ ඉන්දීය ජාතික සෙබලෙක්. කැලණි ගඟ ඔස්සේ නිතර ඔරු පාරු ගමන් කරන නිසා මෙතැන පාරු පාළමක් ඉදිකොට තිබුණත් එය ප්‍රයෝජනයට නොගන්නා අවස්ථාවලදී පාළමේ පාරු කීිපයක් තාවකාලිකව ඉවත්කොට සාමාන්‍ය ඔරු ගමන් කරන්නට ඉඩකඩ සලසා දී තිබුණා. 

දිනක් මෙහි මුර කටයුත්තේ යෙදී සිටි ඉන්දීය සෙබලා ගඟේ ඉහළ පැත්තේ සිට පහනක් දල්වාගෙන පැමිණෙන ඔරුවක් දුටුවා. මධ්‍යම රාත්‍රි යාමය වූ එය පාරු පාළමින්  කැලණි ගඟ  සම්පූර්ණයෙන්ම වැසී තිබුණු අවස්ථාවක්.  එබැවින් සාමාන්‍ය ඔරු පාරු ගමන් කිරීම සඳහා ඉඩ සළසා තිබුණේ නැහැ. කිසියම් පුද්ගලයකු එම ඔරුවේ සිටගෙන සිටින බවත් එහි පහනක් දැල්වෙන බවත් මේ සෙබලා දුරදීම දුටුවා. නමුත් මධ්‍යම රාත්‍රියේදී එවැනි ඔරුවකට ගමන් කිරීමට අවසර තිබුණේ නැහැ. එබැවින් මෙම සෙබලා ‛හෝල්ට්’ යනුවෙන් මහ හඬින් මොර දුන්නා. නමුත් ඔරුවේ පැමිණි තැනැත්තා ඒ පිළිබඳව තැකීමක් කළේ නැහැ. මේ අවස්ථාවේදී සෙබලා කළේ තම අණ නොතැකීමේ වරදට එම ඔරුවේ එන පුද්ගලයාට වෙඩි තැබීමයි. වෙඩි හඬත් සමග එම ආලෝකය නැතිවී යන අයුරු සෙබලා දුටුවා. වෙඩි වැදුණු තැනැත්තා ගං දියඹට ඇද වැටෙන්නට ඇතැයි සෙබලා සිතන්නට ඇති. නමුත් ඊළඟ මොහොතේ ඔහු දුටුවේ නැවතත් එම ආලෝකය දැල්වී ගඟ අවහිර කරමින් වැටී තිබූ පාරු පාළම අතරින් එම ඔරුව සහ පුද්ගලයා ගඟේ පහළට නිරුපද්‍රිතව යාත්‍රා කරන අන්දමයි. මෙය දැකීමත් සමඟ සෙබළාට මර උණ ගැනුණා. එම උණ රෝගය  සහිතවම ඇඹුල්ගම හමුදා මුරපොළට ගිය ඔහු  රාත්‍රියේ තමා දුටු එම අද්භූත සිදුවීම එහි සිටි බොහෝ දෙනෙකු හා පැවසුවා. ඒ සමගම උණ රෝගය උත්සන්නවීම නිසා ඔහු එහිදී  මිය ගියා. 

මේ සිද්ධිය සියනෑ කෝළයේත් හේවාගම් කෝරළයේත් ජනතාවගේ මුවින් මුව තුඩුදුන් කතාවක්. ආර්.ඒ. පියදාසයන් ලියූ ‛රන්වල දෙවියෝ’, සුසන්ත ජයමාන්න ලියූ ‛අසිරිමත් කැලණිය’ යන කෘතීන්වලත් මෙම ජනප්‍රවාදය සඳහන් වෙනවා. 

ඇස්වත්ත විහාරස්ථාන ඉදිරියේ ඇති මිනිස් ස්වරූපයේ රන්වල දේව ප්‍රතිමාව

රන්වල මුත්තාගේ මරණයෙන් පසු රාත්‍රී කාලයට කැලණි ගඟේ ඉහළට පහළට වරින් වර ගමන් කරන ආලෝකයක් බොහෝ දෙනෙකු දැක තිබෙනවා. ඇතැමුන් පවසන්නේ එම ආලෝකය අද ද  ඉඳහිට දක්නට ලැබෙන බවයි. නමුත් බොහෝ දෙනෙකු තමන් මෙම ආලෝකය දුටු බව කිසිවකු හා පවසන්නට මැළිකමක් දක්වනවා. එයට හේතුව තමන්ගේ රහස් අන් අය හා පවසනවාට රන්වල දෙවියන් කැමැත්තක් නොදක්වන බව ගැමියන් විශ්වාස කිරීමයි. කෙසේ හෝ අතීතයේ සිටම මෙසේ වරින් වර කැලණි ගඟේ ඉහළ පහළ යන ආලෝකය දැක තිබූ ගැමියන්, එය රන්වල දෙවියන් කැලණි විහාරය වැදුම් පිදුම්කිරීමට යන ගමනක් ලෙස හඳුන්වන්නට පටන් ගත්තා. 

අතීතයේ කැලණි ගඟ දිගේ පහළට ප්‍රවාහනය කරන ලී පහුරු එක්තරා ස්ථානයකදී පරීක්ෂාවට ලක්කෙරුණා. ඒ ස්ථානය හැඳින්වූයේ ‛මුරපොළේ තොටුපල’ නමින්. ඒ තොටුපළේ රේන්දය ලබාගෙන තිබුණේ කැලණියේ ධනවත් ව්‍යාපාරිකයකු සහ වෙද මහතෙකු වූ ‛සියනේරිස් වෙද මහත්තයා’ යි. මේ මුරපොළේ තොටුපොල සියනේරිස් වෙදමහතාගේ ඉඩමට යාබදව පිහිටීමත් ඔහු මේ රේන්දය ගැනීමට හේතුවන්නට වන්නට ඇති. ඉතා කාර්ය බහුල දිවියක් ගත කළ සියනේරිස් වෙදමහතා බොහෝවිට මේ තොටුපළේ රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ වී සිටියා. බොහෝ විට කැලණි ගඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය සිදුවූයේ රාත්‍රී කාලයේදීයි. කෙසේ නමුත් රාත්‍රී කාලයේදී ගඟ දිගේ ගමන් කරන රන්වල දෙවියන්ගේ ආලෝකය ඔහු බොහෝ අවස්ථාවල දැක ඇති බවත්, එය තව බොහෝ දෙනෙකුට පවසා තිබූ බවත්, ජනප්‍රවාදයේ පැවසෙනවා. මේ ප්‍රවෘත්තිය ද ‛අසිරිමත් කැලණිය’ කෘතියේ සඳහන්. 

ඒ අනුව වර්තමානයේ වුවත් රන්වල දෙවියන්ගේ මෙම ආලෝකය තව බොහෝ දෙනෙකු දැක තිබුණත් එය වෙතත් අයකුට නොපැවසීමේ හේතුවත්  අපට සිතා ගන්නට පුලුවන්. 

ඒ කෙසේ වෙතත් තමන් පිළිබඳ රහස් හෙළිකරන පුද්ගලයන්ට රන්වල දෙවියන් දැඩි දඬුවම් දුන් අවස්ථාවන් ද අසන්නට තිබෙනවා. අපි ඒවා පිළිබඳව තවත් ලිපියකින් කරමු. 





ඊළග ලිපිය පහළ ලින්ක් එකෙන් කියවන්න
රන්වල දෙවියන්ගේ මාලිගයට ගිය ගැමියා


ඡායාරූප - සහන් සංකල්ප සිල්වා