දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Monday, May 12, 2014

’නන්ද’ හිමිවරුන් වැඩ සිටි නිසා නන්දාරාමය වුණු මණ්ඩාවල පන්සල - Mandawala Temple which named after Nandaramaya because it was the residence for Nanda Theros

නන්දාරාමය
එක්දහස් අටසිය අනූ නවයේ දෙසැම්බර් තිස් එක් වෙනිදා ලෝක විනාශයක් සිද්ධ වෙනවය කියන ආරංචියෙන් බයෙන් තැතිගත්තු මණ්ඩාවල වැසියෝ එදා දවසම ශීල සමාදානයෙන් ගත කරපු ‛මෙනේරිලන්ද’ කියන ඉඩම රුපියල් හතළිස් පහකට මිලදී ගත්තු ප්‍රවෘත්තිය අපි පහුගිය සතිවල දැනගත්තානේ. ඊට පස්සේ ඒ ඉඩමේ පන්සලක් හදවලා වැඩ වාසය කරවන්න හාමුදුරු නමක්’ හොයා ගන්න තමයි මණ්ඩාවල ගැමියන් එකතුවෙලා පොකුණුවිට විනයාලංකාරාමයට ගියේ. ඒ අනුරාධපුර රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන්න දාඩිය මුගුරු හෙළමින් වෙහෙස මහන්සි වුණු බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන් ගැන ඇතිවුණු පැහැදීම හින්දා. තමන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු පොකුණුවිට විනයාලංකාරාමයට අමතරව බුරුම පන්සල් නමින් ප්‍රසිද්ධියට පත්වුණු තවත් වෙහෙර විහාර දෙක තුනක්ම පහු කාලේ වෙනකොට අගනුවර සහ ඒ ආශ්‍රිතව ගොඩනැඟුණා. 

ඒ වගේම විනයාලංකාර හාමුදුරුවන්ගේ ශිෂ්‍ය රත්නයක් වුණු පස්සේ කාලෙක අපගේ ශාසනාම්බරයේ පුන් සඳක් විදිහට බැබලුණු රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවෝ එකොළොස් හැවිරිදි සාමණේර හිමිනමක් හැටියට 1908 අවුරුද්දේ ධර්ම අධ්‍යාපනය සඳහා බුරුම රටට වැඩම කළා. 

කොහොම නමුත් මෙනේරිලන්දේ පන්සලක් තනලා විනයාලංකාර හාමුදුරුවන්ව ඒකේ වැඩ වාසය කරවා ගන්න මණ්ඩාවල වැසියන් කරපු ඉල්ලීම උන්වහන්සේ එක් වරම ප්‍රතික්‍ෂේප කළෙත් නැහැ. 

‛‛හොඳයි එහෙම නම් අපි ඔය වැඩේ හෙමිහිට පටන් ගනිමු. මට ඔය පන්සලේ වැඩ වාසය කරන්න බැරි වුණාට මම මගේ ගෝල නමක්ව එවන්නම්කෝ’’ තමන් වහන්සේ බැහැදකින්න විනයාලංකාරාමයට පැමිණි මණ්ඩාවල පිරිසට විනයාලංකාර හාමුදුරුවෝ එහෙම කිව්වා. දැන් මණ්ඩාවල ගැමියන්ට හරිම සතුටුයි. 

ඒ වගේම ඒ පන්සලට යොදන්න අපූරු නමකුත් උන්වහන්සේ යෝජනා කළා. ඒ නම තමයි සුජන ඛන්තාරාමය, සත්පුරුෂයන් ගේ සිත් ගත්තු ආරමය කියන එක තමයි ඒකේ තේරුම. 

ඔය වෙනකොට විනයාලංකාර හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයකුත් අපේ රටේ වැඩ වාසය කළා. විනයාලංකාර හාමුදුරුවෝ වගේම සුපේක්‍ෂල ශික්ෂාකාමී දිවි පෙවෙතක් ගත කරපු උන්වහන්සේ ගේ නම ‛නන්දග්‍රාහී’, බුරුම ජාතික වුණත් සිංහලයෙන් බණ කීමේ අපූරු හැකියාවක් තිබුණු මේ හාමුදුරුවන් ඒ කාලේ රටපුරාම ප්‍රසිද්ධ වුණේ තල්ගස්මොටේ හාමුදුරුවෝ නමින්. 

කොහොම හරි සුජන ඛන්තාරාමය නමින් ආරම්භ වුණු මේ මණ්ඩාවල අලුත් පන්සල භාර වුණේ ඒ නන්දග්‍රාහී හාමුදුරුවන්ට. පන්සලේ ආරම්භයේ දීම වගේ ඒ ගම්වලින් තෝරා ගත් කුල දරුවන් එකොළොස් දෙනෙක් පැවිදි බිමට පත් වුණා. ඒ නන්දග්‍රාහී හාමුදුරුවන්ගේ උපධ්‍යායකත්වයෙන්. ඒ සාමනේරවරුන්ගේ විශේෂත්වය තමයි හැම සාමණේර නමකගේම නම අගට ‛නන්ද’ කියලා කොටසකුත් තිබීම, ඒ කියන්නේ බුද්ධානන්ද, මේධානන්ද, සීලානන්ද, සද්ධානන්ද වගේ. 

ඔය කාලේ වෙනකොට වැඩිදුර ධර්ම අධ්‍යාපනය සඳහා බුරුම රටට වැඩම කරපු රේරුකානේ චන්දවිමල සාමණේර හිමියනුත්  1917 අවුරුද්දේ දී උපසම්පදා සම්පන්න හිමි නමක් හැටියට ආයිමත් ලංකාවට වැඩම කරලා හිටියා. ඒ වගේම බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් ගෙන් ආරම්භ වුණු මේ ශිෂ්‍ය පරපුර ස්වේජින් නිකාය හැටියටත් ප්‍රසිද්ධ වුණා. මේ නව නිකාය නිසා මේ කාලය වෙනකොට මොන තරම් ශාසන ප්‍රබෝධයක් ඇතිවෙලා තිබුණ ද කිව්වොත් ඒ වෙනකොට වෙනත් නිකායන්වල පැවිදි වෙලා හිටපු තරුණ හාමුදුරුවරු නැවතත් මේ නව නිකායේ පැවිදි බව ලබන්නත් පුරුදු වෙලා හිටියා. අරංගල සිරිධම්ම කියන්නේ කලින් ඒ විදිහට වෙන නිකායක මහණ වෙලා පස්සේ ස්වේජින් නිකායට ඇතුල් වුණු හිමිනමක්. ඒ වෙනකොට බුරුම රටට වැඩම කරලා ගැඹුරු ධර්ම අධ්‍යාපනයක් ලබාගෙන මව්බිමට වැඩම කරලා හිටපු අරංගල සිරිධම්ම හාමුදුරුවෝ සුවිසල් ජනප්‍රසාදයකටත් පත් වෙලා හිටියා. සිරිධම්ම හිමියන්ට, කොහොම හරි පහුවෙනකොට සිරිධම්ම හාමුදුරුවන් වරින් වර ගිලන් වුණු හින්දා නන්දාරාමයේ අධිපති පදවිය දෙවිනුවර ඥානාවාස සහ උඩුවේ විමලරංසි කියන හාමුදුරුවරුන්ට පැවරෙනවා. මේ අතර නන්දාරාම විහාරස්ථානයේ මහණ වී වැඩ සිටිය ‛නන්ද’ නමින් හැඳින්වුණු හාමුදුරුවරුන් අතුරින් මණ්ඩාවල සද්ධානන්ද හාමුදුරුවෝ ධර්ම විනය ධර මහා පඬි රුවනක් විදිහට කැපී පෙනෙන්න පටන් ගත්තා. ඒ වගේම තමන් වහන්සේ සතු ධර්ම ඥානය ලෝකයට දායාද කරවීම පිණිස 1959 අවුරුද්දේ උන්වහන්සේ ඒ විහාරස්ථාන භූමියේම ශ්‍රී නන්දාරාම පිරුවන ආරම්භ කළා. ඒ ඊට අවුරුදු පනස් තුනකට කලින් කජු වැටියේ පෑලිස් සිංඤ්ඤෝ ගේ අකුරු මඩුව තිබුණු තැනමයි. මේ අතර රූපසිංහ ජයවර්ධන මුහන්දිරම් රුවිතන් පෙරේරා ගම් සැරියන් රාළහාමිගේ ඉඩමේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් හැටියට ස්ථාපිත වුණු ඒ අකුරු මඩුව පස්සේ මණ්ඩාවල නගරයට නොදුරු වෙනත් ස්ථානයකට රැගෙන ගියා. ඒක තමයි අද මණ්ඩාවල මහා විද්‍යාලය නමින් හැඳින්වෙන්නේ. ඉතින් මදැයි ලෝක විනාශයක් හින්දා මණ්ඩාවල ගැමියන්ට අත්වුණු සෙත ශාන්තිය ෟ සියනෑ කෝරලේ ගැමියන් කරපු අපූරු හපන් කමක් ගැන ලබන සතියේ කතා කරමු. 

No comments:

Post a Comment