දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Monday, June 9, 2014

පිය රජු මරන්නට මඟුල් පොකුණේ උල් සිටවූ උඩුගම්පොළ කලු කුමාරයා - Udugampola 'Black Prince' (Kalu Kumaraya) who mounted iron spikes to kill his father, King Sakalakalawallabha



අපේ රටේ රණකාමීත්වයෙන් ඉහළම තලයක වැජඹුණු රජවරුන් අතරින් උඩුගම්පොළ රජ කළ සකලකලාවල්ලභ රජතුමාට හිමිවන්නේ මුල්පෙළේ තැනක්. මේ රජතුමා බෞද්ධ සම්ප්‍රදායට වඩා සීගිරි කාශ්‍යප රජතුමා වගේ කාමභෝගී කුවේර දිවිපෙවෙතකට ඇලුම් කළ නරපතියකු බවයි පැවසෙන්නේ. 

ලංකාවට පෘතුගීසි උවදුර පැමිණි 15 වැනි සියවසත් 16 වැනි සියවසත් අතර කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ රජ කළ මේ සකලකලාවල්ලභ රජතුමාගේ වීරත්වය පිළිබඳව අලකේශ්වර යුද්ධය, රාජාවලිය, වැනි දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල වගේම වැලන්ටයින් වැනි අපරදිග ඉතිහාසඥයින්ගේ වාර්තාවලත් සඳහන් වෙනවා. මේ රජතුමා ‛චක්‍රායුධ කුමාරයා’ ලෙසත් හැඳින්වුණු බව සඳහන්. 

ජනප්‍රවාදවල සඳහන් වන විදිහට සකලකලාවල්ලභ රජතුමාට පුත්තුම හත් දෙනෙක් ඉඳලා තියෙනවා. නමුත් මේ රජතුමාගේ අග බිසවක් ගැන කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. ජනප්‍රවාදවල එන හැටියට රජතුමා විවාහ කරගෙන ඇත්තේ නොසම කුළ බිසවක්. ඒ කියන්නේ ඇය රජක කුළයේ කාන්තාවක්. මේ නිසා රජතුමා තමන්ගෙන් පසුව තමන්ගේ පුතුන් හත් දෙනාට රාජ්‍යය පැවරීමට පසුබට වී තිබෙනවා. ඊට හේතුව මවගේ කුළය මුල්කරගෙන ඔවුන් ‛භින්න මාතෘක’ දරුවන් ලෙස සමාජ සම්මත වුණු නිසා වෙන්න පුලුවන්. ‛භින්න මාතෘක’ යනු මව රජ කුමරුකු වැදීමට සමාජමය වශයෙන් නුසුදුසු වීමයි.  මේ හේතුව නිසා මේ පුතුන් හත් දෙනා තමන්ගේ පියාව මරා රජකම ගැනීමට කුමන්ත්‍රණයක් කළා.  ඒ කුමන්ත්‍රණයට මුල පුරන්නේ ‛මැණික් සාමි’ හෙවත් ‛කලු බණ්ඩාර’ කියන ලොකු පුතා. මේ පුතුන්ගේ කුමන්ත්‍රණය රජතුමා ජල ක්‍රීඩා කිරීම සඳහා මඟුල් පොකුණට පනින විට ඒ පොකුණු දිය යට යකඩ උල් සිටුවා තැබීමයි. එවිට ඒ උල්වල ඇමිණී රජතුමා මරණයට පත්වන ලෙසයි මෙම පුතුන් කටයුතු කොට තිබුණේ. කෙසේ හෝ එක්තරා දිනයක රජතුමා මඟුල් පොකුණේ ජල ක්‍රීඩා සඳහා දියට පැනීමට සැරසෙන විට දිය මත වසා සිටි මී මැස්සකු රජතුමාට දක්නට ලැබෙනවා. දක්ෂ රණශූරයකු නිසා තියුණු විමසුම් ඇසක් ඇති රජතුමා ඊට හේතුව විමසන විට වැටහෙන්නේ එම දියයට ‛යවුල්’ (යකඩ උල්) සිටුවා ඇති බවයි. මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක් බව වටහාගන්නා රජතුමා ඒ් පිළිබඳව සෙවීමට කටයුතු කරනවා. මෙහිදී එම රජක කුළ බිසව කරන්නේ මේ වරදට තම පුතුන් හසු වුවහොත් නිසැක ලෙසම රාජ උදහසට ලක්වී හිස්ගැසුම් කන්නට සිදුවන නිසා ඔවුන් විවිධ පළාත්වලට පිටත්කොට හැරීමයි. මේ දරුවන් අතරින් වැඩිමහල් පුතා ‛මැණික් සාමි’ හෙවත් ‛කලු බණ්ඩාර කුමාරයා’, වීරා නම් තමන්ගේ සමීප ඇමතියකු සමඟ සබරගමු පළාතේ ශ්‍රී පාද අඩවියේ ඇති ‛කුණුදිය පර්වතයට’ පළා යනවා. එහෙත් උඩුගම්පොළ රාජධානිය තුළ රජ සැප විඳිමින් සිටි කුමාරයාටත් වීරා නම් ඇමතියාටත් ඒ නුහුරු දුෂ්කර,සීතාධික පරිසරය පරිසරය ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ් නිසා වෙන කරකියා ගන්නට දෙයක් නොහැකිව ඔවුන් කරන්නේ කුණුදිය පර්වතයෙන් පහළට පැන දිවි නසාගැනීමයි. ඉන්පසු ඒ රජකුමරා ‛උඩුගම්පොළ කලු කුමාර’ නමිනුත් වීරා ‛වීර මුණ්ඩ’ නමිනුත් දේවත්වයට පත් වෙනවා. 

මේ ඓතිහාසික ප්‍රවෘත්තියට අදාළ සකලකලාවල්ලභ රජතුමා දියනෑ පොකුණ අදත් උඩුගම්පොළ ප්‍රදේශයේදී දැකගන්නට පුලුවන්. එපමණක් නොවෙයි රජතුමා දියනෑම පිණිස වතුරට පැන්න බව කියන ‛පැණුම් ගල’ අදත් එලෙසම දකින්නට පුලුවන්. 


පසුගිය කාලයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ මඟුල් පොකුණ කැණීම්වලට ලක්කොට සංරක්ෂණය කොට තහවුරුකොට තිබෙනවා. එම කැණීම් භාරව කටයුතු කරපු හිටපු පුරා විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ රජතුමකු පරිහරණය කළ සුවිසල්ම මඟුල් පොකුණ මෙය බවයි. එමෙන්ම ආසියාවේ රජකෙනෙකු පරිහරණය කළ සුවිසල්ම මඟුල් පොකුණත් මෙය බවට අනුමාන කළ හැකි බවකුත් ආචාර්ය නිමල් පෙරේරා පවසා තිබෙනවා. ඒ අනුව මේ වටිනා වටිනා පුරා විද්‍යා උරුමය ගම්පහ දිසාවේ අභිමානය තහවුරු කිරීමට කෙතරම් දුරට සමත් වේ දැයි අමුතුවෙන් කිවයුතු නැහැ. 

කෙසේ හෝ අදවන විට මේ  පුරා විද්‍යා පරිශ්‍රයේ ඇති මඟුල් පොකුණේ ඇතුළත මායිම තුළ සක්මන් හා ව්‍යයායම මංපෙතක් සකසා තිබෙනවා. බැලූ බැල්මටම එය යහපත් දෙයක් වුණත් මෙවැනි වටිනා පුරා විද්‍යා උරුමයක මූලික අරමුණ හා එය කොතෙක් ගැළපේදැයි නැවතත් සිතා බැලිය යුතුයි. කෙනෙකුට සක්මන් කිරීමට සහ ව්‍යයාම කිරීමට සමතලා මතුපිටක් ඇති ඕනෑම තැනක පුළුවන්. නමුත් මුළු රටටම සුවිශේෂ වූ ඒ වගේම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු ගම්පහ දිසාවේ අභිමානය තහවුරු කරන මේ පුරා විද්‍යා පරිශ්‍රය වෙනත් අරමුණු සඳහා යොදාගැනීම එක්තරා අන්දමක අවභාවිතාවක් බවත් නොකියාම බැහැ. පුරා විද්‍යා ආඥාපණතට අනුව මෙම පරිශ්‍රය මුළුමනින්ම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නෛතික බලතලවලට යටත් රක්ෂිතයක්. ඒ පිළිබඳවත් මෙම සක්මන් මංපෙත ඉදිකළ බලධාරීන් නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. 

කෙසේ හෝ මේ කලුකුමාර දේව ඇදහිල්ල වගේම වීර මුණ්ඩ දේව ඇදහිල්ලත් අදත් බස්නාහිර පළාතේ ප්‍රදේශ ගණනාවක පැතිර තිබෙනවා. එහි එන කලු කුමාර දේව කන්නලව්වේ කලු කුමාරයාගේ පළායාම සඳහන් වන්නේ අපූරු ආකාරයකටයි. 

‛පිය රජ්ජුරුවන්ට හදිකම් කරවා 
පතහේ උල් සිටෝලා 
සළු  අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත්ගව්ව බලා වදාරා 
කුණුදිය පර්වතය පල්ලේ 
මිය යක් වී වදාරළා’ 

මෙහිදී ඉතා වැදගත් කතා දෙකක්ම අපට තේරුම්ගත හැකියි. එනම් මේ සළු අපුල්ලන ඇමැත්තා තමන්ගේ මවගේ වංශයේ කෙනෙකු වීම. දෙවැනි කරුණ තමයි වඩාත් රසවත්. එනම් අද වගේම එදත් ‛සලු අපුල්ලන’ ඇමතිවරුන් මෙරට දේශපාලනයේ සිටි බවයි. 

සකලකලාවල්ලභ රජු පිළිබඳව තවත් කතාවක් ලබන සතියේ දැනගනිමු. 

5 comments:

  1. වටිනා පුරා විද්‍යා උරුමයක වටිනා කම නොදන්න උදවිය ඒවා බලාගන්න පැවරුවාම වෙන්නේ ඉතින් නරින්ට කුකුල්ලු බාරදුන්නාම වෙන දේ තමයි . ඇවිදින්න ව්‍යායාම කරන්න ඉතින් තැන් නැතුවද ? වසර ගණනාවක් පැරණි උරුමයන් මේ විදිහට විනාශ කරලා දන්නේ ..

    ReplyDelete
  2. පුරා විද්‍යා වටිනාකමක් තියෙන ස්ථාන වටේට මේ විදියට ව්‍යයාම මංපෙත් ගොඩනගන්න පටන් ගත්තොත් තව ඉස්සරහට හොද හොද දේවල් සිද්ධ වෙයි. රුවන්වැලි සෑය වටේට මීටත් වඩා ඉඩ තියෙනවානේ ව්‍යයාම කරන්න. කොහොමද එතනත් මේ වගේ ව්‍යයාම කරන්න පුල්වන විදියට හැදුවොත් එහෙම. අනේ හැබෑටම අපේ රටේ ජාතික උරුයමය් පිළිබ්‍රද අමාත්‍යාංශයක් කියලා එකක් තියෙනවා නේද? මේ ගොල්ලෝ නිදි ද කියලා හිතෙනවා මේ වගේ දේවල් දකින කොට.

    ReplyDelete
  3. කළු ගලින් ප්‍රතිමාවක් හදලා මැටි වලින් වහලා දැම්මා වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ

    ReplyDelete
  4. කවුද ඒක කරල තියෙන්නෙ, අද මම ගියා අර කගුල් කඩුව තියනව කියන තැන බලබල, ඒකටත් පහර දීල වගේ...😬

    ReplyDelete