දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Wednesday, June 4, 2014

පබුලිනා සහ නාග මාණික්‍යය - Pabulina and Cobra Emerald



පබුලිනා හාමි කියන්නේ තරුණියක්. හැබැයි අද කාලේ ජීවත් වුණු තරුණියක් නම් නෙවෙයි. පබුලිනා හාමි ජීවත් වෙලා තියෙන්නේ මීට අවුරුදු 120කට විතර ඉස්සර. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කන්නිමහර කියන ගමේ. පබුලිනා හාමි  උපතින්ම වංශවත්. ඇගේ නෑ පරපුර අලගියවන්න මුකවැටිතුමාටත් සම්බන්ධයක් තියෙන බවයි කියැවෙන්නේ. ඒ කියන්නේ අලගියවන්න මුකවැටි තුමා විවාහ වුණේ සියනෑ කෝරළේ සේනාරත්න කියන පරපුරකින්. පබුලිනා අයිතිත් ඒ පරම්පරාවට. 

කොහොම වුණත් තරුණ වියට පත්වුණු පබුලිනා හාමිගේ විවාහ ජීවිතය නම් එච්චර සාර්ථක වුණේ නෑ. ඒකට හේතුව ඇය යන්තම් හිරිමල් වයසෙදිම තමන්ගේ ගෙදර මෙහෙකරුවකු සමඟ රහසේ පැනයාමයි. ඒ පුරුෂයා දොම්පේ ප්‍රදේශයේ කෙනෙක් කියලයි කියවෙන්නේ. පබුලිනා හාමිව විවාහකරගත්තට මොකද ඒ පුරුෂයා ජීවිතයේ කිසිම වටිනාකමක් නොදත් කෙනෙක්. සුරාවටයි, සූදුවටයි, තව වෙන වෙන දේවල්වලටයි තමයි එයාගේ හිත මුළුමනින්ම ගිහින් තියෙන්නේ. මේ තත්වය යටතේ පබුලිනා හාමි දවසින් දවසම අසරණ වෙනවා. අන්තිමේ සැමියාගෙන් කිසිම පිළිසරණක් නැතිව ජීවත්වෙන්න ක්‍රමයකුත් නැතිවුණා. පස්සේ පබුලිනා හාමි අලුවා දෝසි වගේ තමන් දන්න කැවිලි වර්ග හදාගෙන කැලණි විහාරයට ළඟට එන්න පටන්ගත්තලු. ඒ කාරණා දෙකකට. පළමුවෙනි කාරණය තමයි හැකිතාක් දුරට පින්දහමින් පිරුණු ජීවිතයක් ගතකිරීම. දෙවැනි කාරණය තමයි ජීවත්වීම සඳහා අර කැවිලි විකුණාගැනීම. මේ විදිහට සෑහෙන කාලයක් ගතකරපු පබුලිනා හාමිට පවුල් ජීවිතේ කොහොම වුණත් ඉතාම සුපිරිසිදු ආධ්‍යාත්මික ජීවිතයකට එළැඹෙන්න පුළුවන් වුණා. 

එක්තරා දවසක පින්දහම් කටයුතු නිමාකරපු පබුලිනා හාමි කැලණි විහාරයේ ඉදිරිපිට තියෙන ‛විහාරයේ තොටුපළ’ කියන තැනින් දිය නාන්න ගඟට බැස්සා. ටික වේලාවකින් එහි එක දිය සුළියක් ඇවිත් පබුලිනා හාමිව ගහගෙන ගියා. අවට සිටින ඇය කෑකෝ ගහන්න පටන් ගත්තා. කොහොම හරි තමන් කොයි ලෝකෙක යනවද කියලවත් පබුලිනා හාමිට වැටහුණේ නැහැ. කොහෙම හරි ඊට යම් වෙලාවකට පස්සේ පබුලිනා හාමිට පුදුමාකාර විදිහකට තමන්ගේ ජීවිතය බේරාගන්න පුලුවන් වුණා. ඒ දියේ ගිළීමේදී යමක් අතට අහුවුණු නිසයි. ගොඩට ඇවිත් අත දිගහැරලා බලන කොට අත්ලේ තියෙන්නේ නිල්ම නිල් පාට මැණික් කැටයක්. මිනිස්සු කිව්වේ ඒක නාග මාණික්‍යයක් කියලයි. ඒකට පැහැදිලි හේතුවකුත් තිබුණා. ඒ කැලණි විහාරයේ ඉදිරිපිට ඇති ‛විහාරයේ තොටුපළ’ ළඟින් නාග විමානයට පාරක් ඇතැයි කියන ජන විශ්වාසයයි. ඒ විශ්වාසය අදත් මිනිසුන්ගෙන් ගිළිහිලා නැහැ. මේ විහාරයේ තොටුපළෙන් දියේ ගිලුණු අයගේ මළ සිරුරුවත් නැවත හමුනොවන බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ. 

කොහොම වුණත් මේ මාණික්‍යයත් කැවිලි වට්ටියේ දාගත්තු පබුලිනා හාමි ගෙදර ගියා. ගමන් මහන්සිය නිසා නිදාගෙන ඇහැරුණු පබුලිනා හාමි නැවතත් අර කැවිලි වට්ටිය බලන කොට අර නාග මාණික්‍යය තිබුණේ නැහැ. මොකද වෙලා තියෙන්නේ? පබුලිනා හාමිගේ සැමියා ඒ නාග මාණික්‍යයත් සූදු පොළට අරන් ගිහින්. මේක දැනගත්ත පබුලිනා හාමි සැමියා සොයා හනික සූදු පොළට දිව ගියා. සැමියා හමුවුණත් ඒ වනවිටත් නාග මාණික්‍යය කවුරුන් හෝ රැගෙන ගිහින්. කොහෙම හරි මේ කාරණය දැනගත්තු සැමියා ඒ මොහොතෙම නාග මාණික්‍යය හොයන්න පිටත් වුණා. නමුත් කිසිම දාක ඔහු නැවත ආපහු අවේ නැහැ. නාග මාණක්‍යය ගත් තැනැත්තා ඔහු මරා දමන්නට ඇතැයි කියා තමයි ගම්මුන් කිව්වේ. නමුත් මින් පසුවත් පබුලිනා හාමි තමන්ගේ ආධ්‍යාත්මික දිවිපෙවෙත අතහැරියේ නැහැ. නාගමාණික්‍යය නැති වුණත් නිති පතා කැළණි විහාරයට ඇවිත් අර සුපුරුදු පින් දහම් කටයුතුවල යෙදෙන්නටත් වෙළෙඳාම කරන්නටත් පටන් ගත්තා. 

ඔය අතරේ දවසක් හොරණ ගෝනපොළ සහ කුඹුක ගම්මානවල වැසියන් පිරිසක් කැලණි විහාරයට පෙරහැරකින් ආවා. ඒ කුමක් හෝ පූජා චාරිත්‍රයක් සඳහා. මේ අය අතරේ ඒ පෙරහැර සංවිධානය කරපු ජැන්ඩි පහේ ඉලන්දාරියෙක් හිටියා. පබුලිනා හාමිව දැකපු මේ ඉලන්දාරියාගේ හිත ඇය කෙරෙහි යොමු වුණා. ඒ අනුව තමන්ගේ විස්තර අහපු තරුණයාට පබුලිනා හාමිත් තමන්ගේ ජීවිත කතාව අකුරක් නෑරම කිව්වා. කොහොම වුණත් පබුලිනා හාමි ඉතා ගුණ යහපත් තරුණියක් බව දැනගත්තු ඒ තරුණයා ඇය කරකාර බඳින්න කැමති වුණා. කැලණි විහාරයට වන්දනාවේ ආපු ඒ පෙරහැර ආයෙමත් හොරණ බලා ගියේ මඟුල් පෙරහරක් හැටියට. ඒ පබුලිනා හාමි මනමාලියක් විදියට කැන්දාගෙන යාම නිසයි. හොරණ පළාතෙන් ආපු පෙරහැරේ හිටි තරුණයා ඒ පළාතේ ප්‍රභූ පරපුරකට අයත් කුඹුකගේ අප්පුහාමි නමැත්තෙක් බවයි පැවසෙන්නේ. අදත් හොරණ ප්‍රදේශයේ ජීවත් වන කුඹුකගේ පරපුරත් කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත් වන සේනාරත්න පරපුරත් මේ ජනකතාවට සම්බන්ධවන්නටත් හැකියාවක් තිබෙනවා. 

1 comment:

  1. ස්තුතියි, මෙය මා කලින් කයෙව්වා, ලඟදි fb වල මතුවුන නාග කතාවත් මෙයද...🤔

    ReplyDelete