දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Tuesday, February 14, 2017

පිලිකුත්තුව මැදි කරගත් පැරැණි යක්ෂ පුරයක්


ගම්පහ දිස්ත්‍රික්කය පුරාතන යක්ෂ ජනාවාසයක්ව පැවැති බවට මතුකර ගත හැකි සාක්ෂි බොහොමයකි. රාම, රාවණ යුධ සමයේ කැලණිපුරය යක්ෂ ගෝත්‍රික විභීෂණ පාලනය කළ බව නොරහසකි. එමෙන්ම පන්සිය පනස් ජාතක පොතෙහි එන වලාහක හෙවත් වලාහස්ස ජාතකයේ ද නාගදීපයේ සිට කැලණිය දක්වා යක්ෂ ගෝත්‍රික සමාජයක් පැවැති බවට කරුණු ඉදිරිපත් වෙයි. නමුදු බුද්ධ කාලය වනවිට කැලණිපුරය නාග ගෝත්‍රිකයන් අතට පත්ව තිබූ බව මහාවංශය ඇතුළු අපගේ වංශ කතා මූලාශ්‍ර බොහොමයකින් තහවුරු කර ගත හැකිය. ඒ අනුව දුරාතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් සතුව තිබූ නාගදීපයේ සිට කැලණිය දක්වා මුහුදුකරය පසුව නාග ගෝත්‍රිකයන් අතට පත්වූ බව පෙනෙයි. දුරාතීතයේ මෙහි විසූ යක්ෂ ගෝත්‍රිකයන් භාරතය සමග සම්බන්ධතා ගොඩනැඟූ බවට මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. එහෙත් ඉන්පසු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ඇතුළු ප්‍රදේශ රාශියක් සිය ආධිපත්‍යයට නතු කරගත් නාගයන් ජාත්‍යන්තර තලය හා ඊට වඩා පුළුල් සම්බන්ධතා පැවැත්වූ බවට ලබාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි රාශියකි. එමෙන්ම ආසියාවේත් ඉන් බැහැරවත් සමුද්‍රාසන්නයේ රාජධානි ගොඩනඟා ගත් නාග ගෝත්‍රිකයෝ එම තොටුපල ආශ්‍රිත රාජධානිය ‛කල්‍යාණි’ නමින් හැඳින්වූ බවට සාක්ෂි තිබේ. නාග ගෝත්‍රිකයන් මෙලෙස අප රටේ සමුද්‍රාසන්නයේ සිය බලය තහවුරු කරගන්නා විට යක්ෂ ගෝත්‍රිකයන් මධ්‍ය කඳුකරය ඇතුළු අප රටේ මැද කොටසේ සිය බලය තහවුරු කර ගත් බව පෙනෙයි. බුදුරජාණන් වහන්සේ යකුන් දමනය කිරීම පිණිස වත්මන් ඌව පළාතට අයත් මහියංගණයට වැඩම කළ පුවතත්, එහිදී යක්ෂ සමභවයකට හිමිකම් කියන සුමන සමන් දෙවිඳූන් බුදු බණ අසා සෝවාන් ඵලයට පත්වූ පුවතත්, අතීතයේ යක්ෂ බලය අප රටේ මධ්‍ය ප්‍රදේශවල පැතිර පැවැති බවට අපගේ වංශ කතා මූලාශ්‍රවලින් ලද හැකි ප්‍රබලතම සාක්ෂියකි. 

වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබෙන පූර්ව ඓතිහාසික සහ ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාත්මක සාක්ෂි රාශියකි. සමස්ත ගම්පහ දිස්ත්‍රික්කය පුරාම පැතිර තිබූ එම පුරාවිද්‍යාත්මක සාක්ෂි බොහොමයක් දැනට එහි සිදුවෙමින් පවත්නා ශීඝ්‍ර මානව ජනාවාස නිසා අහිමිව ගොසිනි. 

එහෙත් තවමත් එතරම් ජනාවාස නොවූ අත්තනගල්ල, අලවල ආදී ප්‍රදේශ ආශ්‍රිතව සිදු කෙරුණු පුරාවිද්‍යාත්මක කැනීම්වලදී ඒවා ආශ්‍රිතව ජීවත් වූ අතීත මානවයා පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. ඊට අමතරව දැනට ජනාවාසකරණය වෙමින් පවතින ස්ථානයන් මුල්කොට ද ආදී මානවයන් විසින් තනවන ලද සුසාන භූමි කිහිපයක නටඹුන් හමුවී ඇත. මෑතක දී මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයෙන් මතු කර ගත හැකිවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඊට කදිම නිදසුනකි. 

මා විසින් කරනු ලැබූ විමර්ශනයකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළ යක්ෂ ජනාවාස බහුලව පැවැති ඉසව්වක් වශයෙන් නම් කළ හැකි විශේෂ කලාපයක් තිබේ. එනම් බුත්පිටිය, යොන්ගම්මුල්ල, කොස්කඳවල, අඹගස්පිටිය, මාලිගාතැන්න සහ කඳුමුල්ල යන ගම්මානවලට මායිම් වූ පර්වතාශ්‍රිත ප්‍රදේශයයි.  මේ අතරින් ගල් ලෙන් සිය ගණනක් සහිත අදටත් ස්වාභාවික වන ගහනයක් දැකිය හැකි පිළිකුත්තුවට ප්‍රධාන තැනක් හිමිවෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව පළමු සියවස දක්වා ලියැවුණු බ්‍රාහ්මී ලෙන් කීපයක් මෙම ගල්ලෙන්වල දැකිය හැකිය. භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම් පිළිබඳව සඳහන් එම ලෙන් ලිපි සහිත ගල්ලෙන් බොහොමයක් වැසි ජලය ඇතුළට කාන්දු නොවන අයුරින් කටාරම් කොටා තිබීම ද විශේෂත්වයකි. ඒ අතුරින් පිළිකුත්තුව පුරාණ විහාර භූමියේ දක්නට ලැබෙන ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපියක සිංහල අදහස මෙසේය. 

අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අග්නිභූත ගේ පරිත්‍යාගයකි. සිව් දෙසින් වඩින සංඝයා වහන්සේ සඳහා පූජා කරන ලදී. එමෙන්ම මෙම පිළිකුත්තුවේ ඇති තවත් ගල්ලෙනක කටාරමට ඉහළින් බ්‍රාහ්මී අක්ෂරවලින් ‛මනොරබ’ යන වදන කොටා තිබෙනු දැකිය හැක. මෙහි ‛මනොරමෙ’ යන්නෙහි අරුත සිත් අදනා සුළු බව රහසක් නොවේ. ඉන් අපට පැහැදිලි වනුයේ නූතනයේ නිවෙස්වල නොයෙක් නම් යොදන්නාක් මෙන් දුරාතීතයේ ගල්ලෙන් සඳහා ද නම් යොදා ඇති බවකි.
ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂිත කරුණක් ද තිබේ. එනම් මේ සියල්ල අපගේ මාතෘකාවට අදාල යක්ෂ යුගයට පසු සිදුව ඇති මානව ක්‍රියාකාරකම් බවය. 

අතීතයේ තතු කෙසේ වුවද ඉහත සඳහන් ප්‍රදේශය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලට වඩා ජන ආගමික ගුණ විශ්වාස කෙරෙහි වැඩි නැඹුරුවක් පවතින බව  මෙම නිරීක්ෂණයේදී නිගමනයකට ඒමට මට හැකිවිය. මීට දශක කිහිපයක් දක්වා ග්‍රාමීය ලක්ෂණවලින් යුතු මෙම කලාපය මේ වනවිට ශීඝ්‍ර ලෙස නාගරීකරණයට නතුවෙමින් පවතී. නිරතුරුවම සිදුවන ඉඩකඩම් අලෙවිය මුල් කරගෙන පිටපළාත්වල බොහෝ දෙනෙක් මෙහි පදිංචියට පැමිණෙමින් සිටිති. එමෙන්ම මෙම ප්‍රදේශයේ පාරම්පරික ජනතාව අවාහ - විවාහ සම්බන්ධතාවයන් ඔස්සේ බාහිර සමාජයත් සමඟ මිශ්‍රවීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරයි. එහෙත් ඉහත සඳහන් කලාපය තුළ වෙසෙන වයස අවුරුදු හැත්තෑව - අසූව ඉක්මවූ ගැමියෙකු සොයා ගත හොත් මෑතක් වනතුරුම එම ප්‍රදේශයේ ප්‍රබලව පැවැති යක්ෂ විශ්වාස පිළිබඳ කරුණු විමසා දැනගැනීමේ කිසිදු අසීරුවක් පැන නොනඟිනු ඇත.

යක්කුන්ට ගල් අරක්කු සමඟ බීඩි සුරුට්ටු


ගම්පහ යක්කු සහ දෙවිවරු ආධ්‍යාත්මික කටයුත්තක් වුවද එක්තරා අතකින් බලන විට යක්මඩුව නව නළු රසයෙන් පිරි විනෝද මේලාවකි. සෙසු බොහෝ ප්‍රදේශවල තරුණ තරුණියන් මෙන් එළිමහන් සංගීත ප්‍රසංගවලට වහවැටී සිටින ගම්පහ දිසාවේ තරුණ තරුණියන් ඉදිරියේ අපට පමණක් ආවේණික මෙම යක් මඩුවක අසිරිය දිගහැර දැක්වුවහොත් තම සංගීත සංදර්ශනවල ජනප්‍රියත්වය දිගටම රැක ගැනීම සඳහා ලොකු සටනක යෙදෙන්නට ඒවායේ සංවිධායකයන්ට සිදුවනු ඇත. 


යක්මඩුව ශාන්ති කර්ම සඳහා ඉදි කෙරෙන මණ්ඩපය තුළට ඊට සම්බන්ධ නැති කිසිවකුටත් ඇතුළු වීම සපුරාම තහනම්ය. ඒ යකුන් සිටින ස්ථානයකට මිනිසුන් ඇතුළු වීම කොහොමටත් නුවණට හුරු නොවන නිසා විය හැක. එමෙන්ම යකුන් සඳහා අය බදුගෙවීම ද ප්‍රධාන අරමුණක් කරගත් යක් මඩුව තුළට අප රටේ මහේශාක්‍ය දෙවිවරුන්වත් වැද්දා නොගැනීම හෙවත් වැඩමවා නොගැනීම ද මෙහි ඇති සුවිශේෂත්වයයි. 


ඒ අනුව යක් මඩුව ශාන්ති කර්මයේ දෙවියන් සඳහා වන පහන් පැල් මඩුවෙන් පිටත ඉදි කරනු ලැබේ. එමෙන්ම මෙහි තවත් සුවිශේෂත්වයක් ඇත. එනම් යකුන්ට ඇවැසි සියළු දේ නොඅඩුවම සැපැයෙන යක් මඩුව ශාන්ති කර්මයේ දී අප රටේ ජනතාව නිරතුරු අදහනු ලබන මහේශාක්‍ය දෙවිවරුන්ට පහන් පූජාවක් පමණක් ලබා දීමයි. 


ගම්මඩුකදී මඩු ශාන්ති කර්ම බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිතව සිදු කෙරුණ ද යක් මඩුව පන්සලක පැත්ත පළාතම වද්දා නොගන්නා බවත් කලින් සඳහන් කළෙමි. ඒ අප සමාජයේ නිරතුරු සිදු කෙරෙන පංච දුෂ්චර්යයන් එකක් දෙකක් හැරුණු කොට යක්මඩුව තුළ සිදු කෙරෙන බැවිනි. එහෙත් එය මිනිසුන් විසින් යකුන්ට, ඔවුන්ගේ ඕනෑ එපාකම් මත පදනම් ව දෙනු ලබන ප්‍රදානයක් බැවින් යක් මඩුව ශාන්ති කර්මයේ සිදු කෙරෙන පස් පව් සම්බන්ධයෙන් ගම්පහ දිසාවේ ජනතාව වැඩි තැකීමක් නොකරති. එමෙන්ම බෞද්ධ ත්‍රිපිටකයෙන් යකුන් සම්බන්ධයෙන් විශාල වශයෙන් විස්තර කෙරෙන ආටානාටිය ආදී සූත්‍රවල ද පස්පව්, දස අකුසල් කෙරෙහි යකුන් ස්වභාවයෙන්ම ලොල්වන පැහැදිලිවම සඳහන් වෙයි. එහෙත් එලෙස යකුන් අනුව යමින් අප ද පස් පව් සහ දස අකුසල්වල ගැලී කටයුතු කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක උපදෙස් දී නැත. 


යක් මඩුව ඇරඹෙන සැන්දෑ සමයේ එහි කාර්ය මණ්ඩලයට අයත් කොට්ටෝරු උන්නැහේලා යකුන්ට පිදීම පිණිස උන්ගේ රුචිය මහ පදනම් කොට ගත් බතක් පිසිති. එහිදී හත් මාලුවට අමතරව එළු මස් ව්‍යංජනයක් ද බොහෝ විට පිසෙයි. යක්මඩුව ශාන්ති කර්මයේ දී පළමුව භෝජනය යකුන්ට පිදෙන අතර ඒ වන විට යක් මඩුවට සම්බන්ධ හුදී ජනතා උදෙසා මඩුවෙන් පිටත වෙනම බතක් පිසෙයි. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා එළු මස් ද සැකසෙන අතර යකුන්ටත් මිනිසුන්ටත් සෑහෙන පරිදි මස් ලබා ගැනීම පිණිස යක් මඩුවට මුල් කොට ප්‍රාණඝාතයක් ද සිදුවෙයි. එමෙන්ම යක් මඩුවේ යකුන් උදෙසා දෙන පිදේනි අතරට වෙරි පහනමින් හැඳින්වෙන මත්පැන් සහ මත්ද්‍රව්‍ය ද අනිවාර්යෙන්ම එක් කෙරෙයි. මීට ඉහත ද විස්තර කළ අන්දමට මෙහිදී වෙරි පහ යනුවෙන් හැඳින්වෙනුයේ රා, ගල් අරක්කු, ගංජා, අබිං සහ දුම්කොළය. යක් මඩුව යාතු කර්මයේ ම ගෘහස්ථ මට්ටමේ ශාන්ති කර්මය වන යකුන් පිදුම ශාන්ති කර්මයේ දී ද යකුන් සඳහා මෙම වෙරි පහ ප්‍රදානය කෙරෙයි. ඒ ඉතා සුළු වශයෙනි. නිදසුන් ලෙස යකුන් පිදුවේ ශාන්ති කර්මයේ දී රා සහ ගල් අරක්කු පිදෙනුයේ කුඩා ඉන්ජෙක්ෂන් කුප්පි ප්‍රමාණයෙනි. ඒ සඳහා ගංජා ලබා ගැනෙනුයේ ද යන්තම් ඇඟිලි කුඩුවලට හසුවන ප්‍රමාණයක් පමණි. මේ දිනවල අබිං සේවීම අතිශය අසීරු බැවින් ඒ සඳහා ඇතැම් පාසල් සිසුන් අතර පවා භාවිත වන බව පැවසෙන මෝදකනම් මත්ද්‍රව්‍යය ලබා ගැනෙන බව පැවැසෙයි. 


යකුන් පිදුම පිළිබඳ විමසීමට ගිය අවස්ථාවක දී මා ලත් රසවත් අත්දැකීමක් මෙසේය. වරක් යක් කපු මහතෙකු හමු වූ මට යකුන් සඳහා පුදනු ලබන කිසියම් මත් ද්‍රව්‍යයක් නීති විරෝධී බැවින් යකුන් පිදුම පොලිස් වැටලීමකට ලක් විය නොහැකි දැයි අසා සිටියෙමි. මගේ එම කතාව අසා සිටි යක් කපු මහතාගේ මුවගට එක්වරම සාඩම්බර සිනාවක් නැගිණි 


‛‛යකුන් පිදුමකට පොලිසියෙන් පැනලා එහෙම අත්අඩංගුවට ගැනීමක් කළොත් ඒ වැටලීමට සම්බන්ධ වුණු වූ අයට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ ඒක ඉර හඳ වගේ විශ්වාසයි.’’ හෙතෙම කීය. එමෙන්ම යකුන් පිදුම සඳහා වන වෙරි පහසොයා ගැනීමට පෙර තිබූ අසීරුව දැන් නොමැති බව කී ඒ කපු මහතා දැන් ගම්පහ දිසාවේ සමහර සිංහල බෙහෙත් බඩු කඩවල මේ වෙරිපහ පැකට්ටු වශයෙන් අලෙවියට තබා ඇති බව ද කීය. එමෙන්ම ඒ සඳහා රුපියල් එකසිය අසූවකට දෙසීයකට වඩා මුදලක් වැය නොවන බව ද හෙතෙම කීය. ඒ කෙසේ හෝ යකුන් පිදුමේ දී ඉතා සුළු මාත්‍රාවකින් පිදෙන මේ වෙරි පහ යක් මඩුවේ දී ලොකුවටම ප්‍රදානය කෙරෙන බව ද යක් කපු මහතා වැඩිදුරටත් කීය. 


‛‛යක් මඩුවේ දී යකුන් පිදුමේ දී වගේ එහෙම සුළුවට දීලා බෑ, ගල් අරක්කු දෙනකොට අඩුම තරමින් බෝතලයක්වත් තියෙන්න ඕනෙ.’’ හෙතෙම කීවේ බැරෑරුම් හඬිනි. එහෙත් ඒ සමඟම ‛‛ඒ කී දෙනකුටද?’’ යනුවෙන් ඇසීමට සිත්වුවද මම මහත් ආයාසයෙන් එම පැනය ගිල ගතිමි. ඒ එමගින් මා යක් මඩුවනම් ශාන්ති කර්මයට අපහාස කරන බවක් ඔහුට හැඟී යා හැකි බැවිනි. ‛‛අනික ඔය යකුන් පිදුව වෙරි පහට දුම්කොළ කෑල්ලක් වුණත් ගන්නේ නැහැ. ඒ වෙනුවට අඩුම තරමින් බීඩි මිටියක්, සුරුට්ටු මිටියක් වත් තියන්න ඕනේ.’’ එම කපු මහතා ඉන් අනතුරුව කීය. ‛‛එහෙත් බීඩි, සුරුට්ටු බීම අවම වන අතරේ ඒ තැන සිගරට්ටුවට ලැබෙමින් තිබී, දැන් සිගරට්ටුව ද සමාජයෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යන අවදියක යක් මඩුවේ දී යකුන්ට බීඩි, සුරුට්ටු සෙවීමට දරන උත්සාහය පිළිබඳව මගේ යටි සිත තුළ උතුරන්නට වූයේ හාස්‍යයකි. එහෙත් මීට සියවසකට හමාරකට පෙර සමාජ තත්ත්වය නිරූපනය කෙරෙන මේ ශාන්ති කර්මවලින් මැදින් මෙබඳු තත්කාලීන සංකේත ඉදිරිපත් වීමේ අරුමයක් නැතැයි සිතිණ.

Thursday, February 2, 2017

දෙවිවරුන් පිටත තබා යකුන් ඇතුළට ගන්නා ‛යක් මඩුව’

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක දොළොස්වැන්නයි මේ.



ලොව පුරා පවතින බොහෝ යාතු කර්මවලින් සිදු කෙරනුයේ යකුන් පිටමං කොට දෙවියන් මිනිසුන් සමීපයට ගැනීමය. මෙහිදී යකුන් යන්න අප ජීවත් වන සමාජයේ සේම අප අවට විශ්වයේ ඇති නපුරු, දුෂ්ඨ, අයහපත් බලවේග ලෙස නම් කළ හැකිය. ඒ අනුව යකුන්ට එරෙහි දෙවියන් යනු ගුණයහපත්, දැහැමි, කාරුණික බලවේග බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත්, ලොව පුරා එවන් තත්ත්වයක් තිබියදී දෙවිවරුන් එළියේ තබා යකුන්  ඇතුළට ගෙන සිදුකරන අපූරු යාතු කර්මයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබේ. එය හැඳින්වෙනුයේ ‛යක් මඩුව’ යනුවෙනි. 

ගම් මඩු, දෙවොල් මඩු, පුනාමඩු, කිරිමඩු ආදී වශයෙන් පවත්වනු ලබන ‛මඩු ශාන්ති කර්ම’ ප්‍රධාන වශයෙන් පහතරට ශාන්තිකර්ම අතරට ගැනෙයි. කිරිමඩුව නම් ශාන්ති කර්මය සබරගමු පළාත තුළ ද යම් ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නකි. මෙම සියලු ‛මඩු’ ශාන්ති කර්ම ප්‍රධාන වශයෙන් පත්තිනි සහ දෙවොල් දෙවිවරුන් උදෙසා පැවැත්වෙයි. කිරිමඩුව ශාන්ති කර්මය පත්තිනි සහ ගව කර්මාන්තයට අධිපති මංගර දෙවියන් උදෙසා පැවැත්වෙන යාතු කර්මයකි. වාර්ෂිකව පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් යම් යහපතක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් අපේක්‍ෂා කිරීම මෙම මඩු යාතු කර්මය මගින් සිදුවෙයි. 

මෙහි එන ‛මඩුව’ භාරතීය වෛදික යාග හෝම හා සම්බන්ධ යාග මණ්ඩපය පදනම් කරගත් වදනකි. නිසැක ලෙසම එය ශුද්ධ ස්ථානයකි. මඩුව පිළියෙළ කිරීම වුව නිකම් ආවාට ගියාට කළ නොහැක. භූමී පරීක්‍ෂාව, නැකත් බැලීම ඇතුළු ඒ සඳහා වන අභිචාර විධි රාශියකි. එමෙන්ම එම යාතු කර්මය නිමාවන තුරු එම මඩුව තුළට පිවිසිය හැක්කේද ඒ සඳහා වූ විශේෂ කාර්යභාර්යයක් ඇත්තවුන්ට පමණි. 

වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ, අළුත්කූරු සහ හාපිටිගම යන කෝරළ තුනේත් වත්මන් කළුතර දිස්ත්‍රික්කයට අයත් රයිගම් කෝරළයේත්, කොළඹ දිස්ත්‍රික්කයට අයත් හේවාගම් කෝරළයේ පමණක් දක්නට ඇති මෙම යක්මඩුව ද එක්තරා අන්දමකින් මඩු ශාන්තිකර්මයකි. මුත් යක් මඩුව යනු මඩු අතර ‛අමුතුම ජාතියේ මඩුව’කි. 

එය පැවැත්වනුයේ තමන් පාලනය කරන යක් ආණ්ඩුවට අය බදු ගෙවා ඔවුන්ගෙන් අත්වන විපත්වලින් මිදී පිහිටාරක්‍ෂාව පැතීම උදෙසාය. වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජනතාව අතර පැවැති සාම්ප්‍රදායික යාතු කර්මයක් වන යකුන් පිදුම යනු ‛යක් ආණ්ඩුව’ උදෙසා කරනු ලබන ගෘහස්ථ මට්ටමේ පුද පිළිවෙතකි. නමුත් මෙම යක් මඩුව යනු එම යකුන් පිදුමේ මහා පරිමාණයේ ශාන්තිකර්මයකි. 

මෙම යක් මඩුව පිළිබඳ කරුණු දැක ගැනීමේදී එහිදී පුද පිළිවෙත්වලට ලක්වන යකුන් පිළිබඳව අන් සියල්ලට පෙර අප දැනගත යුතුය. මහසෝනා, රීරියකා ආදී අප ජන සමාජයේ අතිශයින් ප්‍රසිද්ධියට පත්ව හිඳින යකුන්ට  වඩා ‛කට්ටු’ හෙවත් කණ්ඩායම් වශයෙන් හඳුනා ගත් යක්‍ෂ පිරිවරක් සඳහා මෙම යාතුකර්මය සැකසී තිබීම විශේෂත්වයකි. මොවුන් බොහෝවිට දුරාතීතයේ මෙහි ජීවත් වූ නායකයන් බව පෙනෙයි.
එහිදී ප්‍රධාන වශයෙන් යකුන් තුන් කට්ටුවක්, විසිහතර කට්ටුවක් සහ හැටහත් කට්ටුවක් ගැන කියැවේ. මෙම යක් මඩුවේදී පුද පිළිවෙත්වලට ලක්වන සියළු යකුන් යක්‍ෂ සම්භවයක් සහිත වුවද එක්තරා අයුරකින් දේවත්වයෙන් අදහනු ලබන්නවුන් වීම ද විශේෂත්වයකි. 

එහෙත් එලෙස යක්‍ෂ සම්භවයක් සහිත සූනියම් දැඩිමුණ්ඩ ආදී දෙවිවරුන්ට මෙහි විශේෂත්වයක් හිමි නොවේ. යක් මඩුවේ ප්‍රධානත්වයට පත්වන තුන්කට්ටුව කළු කුමාර, වීරමුණ්ඩ සහ කීර්ති බණ්ඩාර යනුවෙනි. ඉන්පසුව ප්‍රධානත්වයට පත්වන විසිහතර කට්ටුවට ඒ තිදෙනා ද අයත් වන අතර එය මොරටු දෙවියන් සතු විසිහතර කට්ටුව ලෙස හැඳින්වනු ලැබේ. සියනෑ අලුත්කූරු සහ හාපිටිගම් කෝරළවල යක් මඩුව සඳහා මොරටු දෙවියන් එක්කර ගැනුණද එතුමන් සම්බන්ධ බොහෝ පැරණි යාදිනිවලින් පැවසෙන්නේ මොරටු දෙවියන්ගේ බලය රයිගම් සහ හේවාගම් කෝරළවලට පමණක් බලපැවැත්වෙන බවකි. නමුත් වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියෝ ද තමන් පාලනය වන ‛යක් ආණ්ඩුව’ට මොරටු දෙවියෝද ඇතුළත් කරගෙන සිටිති. ඊට හේතු අපැහැදිළිය. 

එමෙන්ම යක්මඩුව යාතුකර්මයේදී සඳහන් වන හැටහත් කට්ටුව හැඳින්වනුයේ දුනුමාලේ දෙවියන්ගේ පිරිවර ලෙසිනි. එමෙන්ම ඉහත සඳහන් කළ තුන් කට්ටුව සහ විසිහතර කට්ටුවද මෙම දුනුමාලේ හැටහත් කට්ටුවට අන්තර්ග්‍රහණය කොට තිබේ. 

සාමාන්‍යයෙන් ගම්මඩු දෙවොල් මඩු ආදිය අපගේ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව ද දැකිය හැකිමුත් මෙම යක්මඩුව බෞද්ධ වෙහෙර විහාරයක් පැත්ත පළාතට වැද්ද ගන්නේ නැත. ඊට හේතුව ඉදිරියේදී ඔබට පැහැදිලිවනු ඇත. යක් මඩුව බොහෝ විට සංවිධානය වනුයේ ගම්මැද්දකය. එසේත් නැතිනම් කිසියම් ප්‍රභූවරයකුගේ නිවෙසකය. 

ඉදිකිරීමක් වශයෙන් සඳහන් කළහොත් ‛යක්මඩුව’ සාමාන්‍යයෙන් අඩි හතළිහයි, හතළිහේ පමණ පොල්අතු මඩුවකි. එය ඉදිකිරීම සාමාන්‍ය අයෙකුට කළ නොහැක. ඒ එම කටයුත්තට සම්බන්ධ අභිචාර විධි රාශියක් ඇති බැවිනි. නිශ්චිත යාග ආකෘතියකට අනුව සැකසෙන මෙම මඩුවේ කෙළවරක ඉන් පුද ලබන යකුන් සඳහා වන ‛මැහි’ පිළියෙළ කෙරේ. ශාන්තිකර්මවලදී දෙවියන් සඳහා ඉදිවන මල් යහන්, මල්පැළ වශයෙන් සැලකෙන මෙය යක් මඩුවේදී හැඳින්වනුයේ ‛මැහි’ යනුවෙනි. ඉන්පසුව නියමිත චාරිත්‍රාවලියකට අනුව කපාගෙන එනු ලබන පුවක් ගසක් මුල සහ උඩ කොටස ඉවත් කොට මෙම යක් මඩුවේ ‛කප’ ලෙස එම ‛මැහි’ ඉදිරියේ සිටුවනු ලැබේ. ‛විළිකඹය’ නමින් හඳුන්වනු ලබන ‛කඹය’ට මෙම යක් මඩුව ශාන්තිකර්මයේදී හිමිවනුයේ ප්‍රධාන තැනකි.  එම විළිකඹය දරු ප්‍රසුතියේදී ඇතිවන විළි වේදනාව හා සම්බන්ධ වූවකි. 

කල්වේලා ඇතිව සපයා ගත් සවිමත් කඹයක් වන එය යක් මඩුවේ තනාගත් මැහි මත තැන්පත් කෙරේ. පසුව නියමිත චාරිත්‍රාවලියකින් පසු යක් මඩුව පැවැත්වෙන දිනයේ අළුයම කපුටා හැඬීමට පෙර එහි පැමිණෙන ප්‍රධාන කපු මහතා එම විළිකඹය ද ගෙන කිසියම් ජලාශයක දිය කපන තොටුපළක් වෙත ගොස් එය දියෙන් පොඟවා ගනී. ඒ මෙම යක් මඩුව හා විළිකඹය අතර සවිමත් සබැඳියාවක් පවතින බැවිනි. මෙම විළිකඹය දිය කපන තොට වෙත ගෙන ගොස් අදාළ චාරිත්‍ර විධි අනුගමනය කොට එය සෝදන අතරේ එම කපු මහතා ආරූඪයට පත්විය යුතු බව පාරම්පරික නියමයකි. ඔහුගේ මෙම ආරූඪවීම මත එදින පැවැත්වෙන යක් මඩුවේ සාර්ථකත්වය කල් ඇතිව නිශ්චය කෙරේ. එමෙන්ම මෙම විළිකඹය සෝදා හරින ස්ථානය දිය කපන තොටක් නැතහොත් පුන්‍ය තීර්ථයක් බව කපු මහතා කලින් තහවුරු කරගෙන සිටිය යුතුය. මෙවන් යක් මඩුවලට සහභාගී වන යක් කපු මහතුන්ද එවන් ස්ථාන පිළිබඳව හොඳින් දැන සිටියි. එමෙන්ම මිට සියවසකට හමාරකට ඉහත මෙම විළිකඹය සේදීම පිණිස එක්තරා ඔයක රජකයන් රෙදි සේදීමට යොදා ගන්නා ස්ථානයක් හෙවත් ‛රදාතොටක්’ වෙත ගිය කපු මහතකු එම විළිකඹය එම ස්ථානයෙන් දියට හෙලත්ම එම ස්ථානයේම මැරී වැටුණු බවට ප්‍රවාදයක් ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ යක් කපු පරපුරක සාමාජිකයකු අප හා කීය. ඔහු ඒ කී ස්ථානය පිහිටා ඇත්තේ ගණේමුල්ල කිරිඳිවිට ප්‍රධාන මාර්ගය අද්දරය. 

යකුන් සමග සෙල්ලම් කිරීම අතිශය  බියකරු යැයි බොහෝ දෙනක් කියති. ඒ මෙබඳු දේවල් නිසාද විය හැකිය. 

පෙර ලිපිය