දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Friday, April 18, 2014

මණ්ඩාවල ‛ලෝක විනාශ’ සීල වැඩසටහන - Sil Campaign for the 'World's End" at Mandawala



ලෝක විනාශය කියන්නේ මේ ලෝකේ ඉන්න කාගේ වුණත් සිත් තුළ භීතිය කුතුහලය දනවන අහන්නවත් අකමැති මාතෘකාවක්. නමුත්, මේ ලෝක විනාශය මුල් කරගෙන මෑත ඉතිහාසයෙන් මතු වුණු ඉතාම රසවත් සත්‍ය කතා ප්‍රවෘත්තියක් හොයා ගන්න මට පහුගිය කාලයේ පුළුවන් වුණා. ඒ ගම්පහ දිසාවේ දොම්පේ ආසනයට අයිති මණ්ඩාවලින්. මණ්ඩාවල කියන්නේ ඓතිහාසික ජනප්‍රවාද කිහිපයකටම සෘජු සම්බන්ධතාවයක් ඇති සියනෑ කෝරළයට අයිති සුන්දර ගම් පියසක්. මේ ප්‍රදේශය අතීතයේ සමාජ, ආර්ථික සංස්කෘතික අතින් අතිශය දියුණු තත්ත්වයක තිබුණු බව සනාථ කෙරෙන සාධක බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් කෝට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක්ව පැවැති කෑරගල පද්මාවතී පිරිවෙන සහ මහනුවර යුගය තෙක් ආගමික වශයෙන් වගේම අධ්‍යාපනික වශයෙන් ද දියුණු තත්ත්වයක පැවතුණු අනුරාගොඩ ටැම්පිට විහාරය මේ මණ්ඩාවල ප්‍රදේශයේ අදටත් ශේෂව පවතින සංස්කෘතික ධන නිධාන විදිහට හඳුන්වන්න පුළුවන්. 

තත්ත්වය එහෙම වුණත් අපේ රට ඉංග්‍රීසි පාලනයට නතු වුණාට පස්සේ මණ්ඩාවල ප්‍රදේශයේ එතෙක් පැතිරී තිබුණු ආගමික සංස්කෘතික ආලෝකය ශීඝ්‍රයෙන් අඩුවෙන්න පටන් ගත්තා. ඒ වගේ තත්ත්වයක් තුළ එතෙක් ප්‍රදේශයේ තිබුණු සමාජ ආර්ථික දියුණුවත් හොඳටම පහළ බසින බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අන්න ඒ වගේ කාලයක් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. 

මම  ඔය  කියන කාලේ ඒ කියන්නේ දහනව වන සියවසේ අගභාගය විතර වෙන කොට මණ්ඩාවල ගැමියන්ගේ ජීවන රටාව මුළුමනින්ම ගොවිතැන් කටයුතු මතම රඳා පැවතුණා.  ප්‍රධාන වශයෙන්ම වී වගාව, ඊට අමතර පොල් වගාව ඊටත් අමතරව කෙසෙල්, බුලත් ඇතුලු ගෙවතු වගාවත් සත්ව පාලනයත් ප්‍රදේශයේ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් බවට පත් වී තිබුණා. ඔය අතරේ ප්‍රදේශයේ තියන නිසරු ඉඩම්වල කුරහන්, තල, උඳු, මුං, මෙනේරි වගේ කටුසර ධාන්‍ය වර්ගත් වපුරා තිබුණා. ඒ කියන්නේ ඒ කාලය වෙන කොට මුළු ප්‍රදේශයේම තිබුණේ කෘෂි ආර්ථිකයක්.  ඒ වගේම ඔය වගේ තත්වයක් යටතේ ඒ කාලේ මණ්ඩාවල ගම්මුන්ට ගමින් පිටව යාමේ විශේෂ අවශ්‍යතාවයක් පැන නැඟුණේ නැහැ. මොකද ගම්මුන්ට  අවශ්‍ය ආහාර කළමණා,  සිල්ලර බඩු,  ඇඳුම් කැඩුම් මෙකී නොකී හැම දෙයක්ම,  බර කරත්ත සහ  බර බාගවලින් පිටස්තරයන් ගමටම ගෙනාපු නිසා. ඒ බොහෝ වෙලාවට ගමින් ලැබෙන කෘෂි සහ සත්ව නිෂ්පාදනවලට හුවමාරු භාණ්ඩ හැටියට. ඒ වගේම කැලණි ගඟෙන් එපිට පරණ සීතාවක පුරයෙන් ආපු මුස්ලිම් නානලාත් ඉතාම උපායශීලී විදිහට මේ මණ්ඩාවල ගැමියන්ගේ ආර්ථික කළමනාකරණය කියන ඔර්ලෝසු දුන්න ගැන අවධානයෙන් හිටපු බවටත් සැක නැහැ. ඒ ගැනත් රසවත් ජනප්‍රවාද කීපයක්ම තියනවා. පස්සේ කියන්නම්. 

ඔන්න ඔය අතරේ ඒ කියන්නේ දහ නව වෙනි සියවසේ අන්තිම කාලය වෙනකොට මේ මණ්ඩාවල වැසියන්ට මහා පුදුමාකාර ආරංචියක් ලැබෙනවා. ඒ තමයි එක්දහස් අටසිය අනූ නවය අවුරුද්දේ දෙසැම්බර් තිස් එක් වෙනිදා, මේ ලෝකය විනාශ වෙනවය කියන ආරංචිය. මේ ආරංචිය ගමට ලැබෙන්නේ ඉන්දියාවෙන් ආ බව කියන අනාවැකි කියන්නකු හෝ පුරාණ සීතාවක පුරයෙන් පැමිණි සන්‍යාසියකු වෙතින් බවයි පැවසෙන්නේ. කොහොම හරි ආරංචියෙන් මුළු මණ්ඩාවලම කැළඹීමට පත් වුණාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම පිටස්තර ලෝකයත් එක්ක සෘජු සම්බන්ධතා නැති හින්දා ගැමියන්ට මේ ගැන සැක හැර දැන ගන්න ක්‍රමයකුත් නැහැ. ඒ අනුව තමයි මණ්ඩාවල සහ ඒ අවට ඇති අනුරාගොඩ සහ වෙරළුගම්පල යන ගම්මානවල ගම්මුන් එකතු වෙලා මේ ගැන පොදු කතිකාවකට පිවිසෙන්නේ. ‛‛ඔය ආරංචිය ඇත්තක් කියලා වගේම බොරුවක් කියලත් හිතන්න බැහැනේ. ඒ හින්දා කෝකටත් කියලා අපි ඔක්කොම එක තැනකට එකතු වෙලා එදාට සිල් සමාදන් වෙලා බණ දහම් කටයුතුවල යෙදෙමු. එතකොට ලෝක විනාසේ ඇවිත් අපි එක ගොඩේ මළත් අපි ඔක්කොටම එකටම හොඳ ලෝකෙකට හරි යන්නේ ලැබෙන්නේ නැතැයි.’’ ඒ කතිකාව අවසානයේ ගම්මුන් සේරම එන්නේ ඔන්න ඔය එකඟත්වයට. කොහොම වුණත් ඔය කාලෙ වෙනකොට මණ්ඩාවලට කියලා වෙනම පන්සලක් තිබුණෙත් නැහැ. ඒ හින්දා ගම්මු ඔක්කොම මේ ලෝක විනාශ ශීල වැඩසටහන පවත්වන්න තෝරා ගත්තේ මෙනේරිලන්ද කියන හිස් ඉඩම. ඒක ඒ වෙනකොට කනංගම ආරච්චි ගේ කියන ප්‍රභූ පරපුරට අයිති ඉඩමක්. නමුත් ඒ වෙනකොට උරුමක්කාරයෝ ඒ ඉඩම හරියකට භුක්ති නොවිඳ ඒ ගම්පළාත්වල ඉන්න අසරණ මිනිස්සුන්ට කාලයක ඉඳලා මෙනේරි වපුරන්න ඉඩදීලා තිබුණා. ඒකට ගමේ හැමෝම මෙනේරිලන්ද කිව්වෙ ඒ හින්දයි. කොහොම හරි ඒ වෙනකොට එක්තරා අන්දමක පොදු ස්ථානයක් බවට පත්වෙලා තිබුණු ඔය මෙනේරිලන්ද කෙලවරේ අත්තනගොඩ කංකානමලගේ ඊසන් නමැති අයකුට අයිති පුංචි කෝපි කඩයකුත් තිබුණා. ගමේ කුඹුරුවල බව බෝග කොරටුවල වැඩට යන එන ගැමියන් සාපිපාසාව නිවා ගන්න සතුටු සාමීචියේ යෙදෙන්න වගේම, විවේක ගන්නත් යොදා ගත්තු තැනක් මේක. 

කොහොම හරි අහිංසක මණ්ඩාවල ගැමියන්ගේ හදවත් මරණ බයෙන් සලිත කළ ඔය කියන ලෝක විනාශ දවසත් ආවය කියමුකෝ. ඔන්න එදා පාන්දර ඉඳලම මණ්ඩාවල, අනුරාගොඩ වෙරළුගම්පල කියන ගම්තුනේ ගම්මුන් සෑහෙන පිරිසක් සිල් රෙදි ඇඳ පෙරවා ගෙනම ඔය කියන මෙනේරිලන්දට සේන්දු වුණා. 

ඒ වගේම ඔය කාලේ වෙනකොට අපේ රටේ විශාල බෞද්ධ පුනර්ජීවනයකට මුල පිරී තිබුණා. ඒකට හේතු වුණේ එක්දහස් නවසිය අසූව අවුරුද්දේ සිද්ද වුණු සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ලංකා ගමන, ඒ ගමනේ ප්‍රතිඵලයක් හැටියට ඔය කාලය වෙනකොට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වගේ ජාතික වීරයන් සුවිසල් ජාතික ශාසනික පුනරුදයකට මුල පුරලා තිබුණා. 
ඔය හින්දම ඔය කාලය වෙනකොට කැලණි රජමහා විහාරය මුල් කරගෙනත් සුවිසල් ශාසනික පිබිදීමක් ඇති වුණු බවට සැක නැහැ. ඒ නිසාම ඒ පිබිදීමේ උණුසුම ලබපු මණ්ඩාවල, අනුරාගොඩ, වෙරළුගම්පල කියන ගම්මානවල කීප දෙනෙක් හරි කැලණි රජමහා විහාරයේ ශීල වැඩසටහන්වලට සහභාගී වෙන්නත් ඇති. එක අතකට මේකටත් සුවිශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි එක්දහස් අටසිය අසූ පහේ අප්‍රියෙල් විසි අටවෙනිදාට යෙදුණු වෙසක් පොහොය මුල් වරට රජයේ නිවාඩු 
දිනයක් බවට පත් කිරීම. ඒ සිදුවීම මුල් කරගෙන කැලණි විහාරයේ දී වෙසක් පෝය දවසේ විශේෂ ආගමික උත්සවයක් පැවැත් වුණා. ලෝක ප්‍රසිද්ධ පානදුරාවාදය නිසා ‛වාදිහසිංහ’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබපු පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ දම් දෙසුමක් සහ සෙන්පති ඕල්කට් තුමාගේ දේශනයක් මෙදා කැලණි රජ මහා විහාරයේ පැවැත්වුණා. දහස් ගණනක් මේ පින්කමට සහභාගී වෙලා තිබෙනවා. ඒ කාලේ හැටියට ඒක ලොකු ජනගහනයක්. ඒ  කාලයේ කැලණි රජමහා  විහාරාධිපති  පදවිය හෙබවූ  පූජ්‍ය  දොම්පේ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවොත් මේ මණ්ඩාවල ආශ්‍රිත ගම්මානත් එක්ක ගිහි ඥාති සම්බන්ධතාවයක් ද තිබුණු මහ තෙර නමක්. ඒ අනුවත් ඒ කාලයේ මණ්ඩාවල වැසියන් හා කැලණි විහාරය අතර තිබූ යාවජීව සම්බන්ධතාවය තවදුරටත් සවිමත් වෙන්න ඇති. ඒ කොහොම හරි ඔය කාලය වන විට සියනෑ කෝලරයේ වැසියන් පා ගමනින්, කරත්තවලින් වගේම කැලණි ගඟේ ඔරු පාරු මගිනුත් කැලණි වන්දනාවේ යෙදුණු බවට සාක්‍ෂි තිබෙනවා. 

මලේ මලේ ඔය නාමල නෙලා වරෙන් 
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් 
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන් 
සාදුකාර දී ඔරුවක නැඟී වරෙන් 

වගේ සියනෑ කෝරලයෙන් මතු වුණු ජන කවි මගින් මානව විද්‍යාත්මකව ඒ බව වඩාත් හොඳින් තහවුරු කර ගත හැකියි. ඒ කෙසේ හෝ ඔය කියන ලෝක විනාශ දවසේ මෙනේරිලන්දට රැස් වූ පිරිස සිල් සමාදන් කරවීමටත් ඒ අයට බණ කථා, වන්දනා ගාථා, පිරිත්  ආදිය කියා  දීමටත් ඒ  ගම්වල  ජීවත් වූ කැලණි රජමහා විහාරය හා සම්බන්ධ වෙලා හිටපු පුරෝගාමී උපාසක පිරිස ඉදිරිපත් වුණාට සැක නැහැ. 

කොහොම හරි ඉතින් එක්දහස් අටසිය අනූ නවයේ දෙසැම්බර් තිස් එක් වෙනිදා පාන්දර මෙනේරිලන්දේ දී ආරම්භ වුණු මේ ලෝක විනාශ සීල වැඩසටහන ඊට පහුවෙනිදා ඒ කියන්නේ එක්දහස් නවසීයේ ජනවාරි පළමු වෙනිදා පාන්දර දක්වාම ‛නිරුපද්‍රිතව’ පැවැත්වුණා. කොහොම හරි එක්දහස් නවසීය අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා නැවුම් හිරුඑළිය මෙනේරිලන්දේ පොළොව සිප ගන්නවාත් එක්කම අහිංසක ගම් වැසියන්ගේ සිත් තුළ තිබුණු ලෝක විනාශ භීතිකාව සුනු විසුණු වුණු බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින්, ඒ එක්කම ගම්මුන්ගේ සිත්වලට දැනුණු සතුට සැනසීම ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එතකොට තමයි ඒ කාට කාටත් තේරුණේ මොනවා වුණත් අපි දැන්වත් ඉස්සරට වඩා බණ දහම්වලට ළංවෙලා කටයුතු කරන්න ඕනේය කියන කාරණේ. ඒත් ඉතින් කෝ මණ්ඩාවලට පන්සලක්. ඒ හින්දා ඒ ගැන ගම්මුන් අතරේ මෙන්න මෙහෙම එකඟත්වයකුත් ඇති වුණා. ඒ තමයි ලෝක විනාශ භීතිය මුල් කරගත්තු තමන්ට අභය භූමියක් වුණු මෙනේරිලන්දෙන් කොටසක පන්සලක් හදන්න. ඒත් ඒ සේරටම කලින් ඒ ඉඩම ලබා ගන්නත් එපායැ. ඒ හින්දා ගම්මුන් ඒ ඉඩමේ උරුමක්කාරයෙක් වුණු කනංගම රාළත් එක්ක මේ ගැන කතා කළා. ‛පන්සලක් හදන්න හින්දා ඕකට ගාණක් කියන්න මට බැහැ. ඒ හින්දා උඹලට කැමති ගාණක් දීලා ඕක ගනිල්ලා. කනංගම රාළත් කිව්වා. කොහොම හරි අන්තිමේ මෙනේරිලන්දේ පන්සල හදන්න ඉඩම ගන්න මණ්ඩාවල, අනුරාගොඩ වෙරළුගම්පල කියන ගම් තුනේම සම්මාදම් කෙරුණා. අන්තිමේ මේ ගම් තුනෙන්ම එකතු වුණ ගාණ කීයද දන්නවද ? රුපියල් හතළිස් පහයි. නමුත් ඒ කාලේ හැටියට ගුරුවරයකුගේ ලිපිකරුවෙකුගේ මාසික වැටුප වුණෙත් රුපියල් දහයත්, පහළොවත් අතර ගාණක්. ඒ කියන්නේ ඒ කාලේ රුපියල් හතළිස් පහ කියන්නේ අද විදිහට බැලුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු ගාණක්. නමුත් ඒ වෙනකොටත් රුපියල් සීයක විතර වටිනාකමකින් යුක්ත තමන්ගේ ඉඩම් කොටස පන්සලක් වෙනුවෙන් හින්දා රුපියල් හතළිස් පහකට දෙන්න කනංගම රාළත් කැමති වුණා. 

ඊට පස්සෙත් හරිම රසවත් සිද්ධීන් කීපයක්ම වුණා. අපි ඒවා ගැන ලබන සතියේ කතා කරමු. 

No comments:

Post a Comment