දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Tuesday, May 6, 2014

මණ්ඩාවල වැසියන්ට අනුරපුරදී හමු වූ අපූරු හිමි නම - The Strange Buddhist Monk Encountered by Mandawala Villagers at Anuradhapura

එක්දහස් අටසිය අනූ නවය අවුරුද්දේ ලෝක විනාශය සිද්ද වෙනවා කියලා පැතිරුණු ආරංචියකින් බය වුණු සියනෑ කෝරලේ මණ්ඩාවල, අනුරාගොඩ, වෙරළුගම්පල කියන ගම් තුනේ වැසියෝ සේරම වැඩකටයුතු අතහැරලා එදා මෙනේරිලන්ද කියන ඉඩමට වෙලා සිල් සමාදන් වුණු කතාව ඔය කාටත් මතක ඇතිනේ. ඒ වගේම ඒ ආරංචියේ හැටියට එදා ලෝක විනාශය සිද්ද නොවුණු හින්දා සතුටින් ඉපිලී ගිය ඒ ගැමියෝ පන්සලක් හදන්න කියලා රුපියල් හතළිස් පහකට ඒ ඉඩමින් කොටසක් මිලට ගත්තු හැටිත් මං කීවා, මතකයිනේ. නමුත් මුලදී පන්සලක් විදිහට පුංචි පොල් අතු මඩුවක් හදාගෙන ඒකේ හාමුදුරු නමක් ස්ථිරව නතර කරගන්න ගම්මු කීප සැරයක්ම උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. 

නමුත් ඔය කාලය වෙනකොට ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ලංකාගමනය හින්දා රටපුරා නව ජාතික, ශාසනික ප්‍රබෝධයක් ඇතිවෙලා තිබුණා. ඉංග්‍රීසීන් රටපුරා ව්‍යාප්ත කරමින් තිබුණු බටහිරට ගැති මිෂනාරී අධ්‍යාපනයට ඉඳුරාම වෙනස් ජාතික ආගමික වශයෙන් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ නව අධ්‍යාපන ප්‍රබෝධයක් ඒ වෙනකොට රට පුරා පැතිරෙමින් තිබුණ. ඒ ප්‍රබෝධයට මුල් වී ක්‍රියාකළේ ඕල්කට් තුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු ‛බී.ටී.ඇස්. එක’ කියලා ගැමියන් අතරේ ප්‍රසිද්ධ වුණු ‛පරම විඥානාර්ථ බෞද්ධ සංගමය’. ඔය කාලේ වෙන කොට මේ නව ජාතික සාමාජික පුනර්ජීවනය මගින් කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද වැනි දේශීයත්වයට මුල් තැන දෙන ප්‍රධාන පාසල් පවා පටන් අරන් තිබුණා. 

විසි වෙනි සියවසේ ආරම්භය වෙන කොට රටපුරාම පැතිරිලා තිබුණු මේ නව අධ්‍යාපන ප්‍රබෝධය කොහොම හරි මණ්ඩාවල ගැමියන්ටත් දැනිලා තිබුණා. ඒ හින්දම මණ්ඩාවල තරුණයන්ටත් හෝඩිපොත කියාදීමේ වැඩපිළිවෙළක් ගැන ගැමියන් හිතන්නට වුණා. මොකද ඒ වෙනකොට මණ්ඩාවල සහ ඒ අවට ගම්මුන් ගේ අධ්‍යාපන මට්ටම හොඳටම දුර්වලයි. ඔය කාලේ මණ්ඩාවල හිටපු ලොකුම උගතා තමයි කජුවැටියේ පීරිස් සිඤ්ඤෝ. එතුමා සිංහල හයවැනි කැලෑසිය දක්වා ඉගෙන ගත්තු උගතෙක්. ඒ කාලේ සිංහල අධ්‍යාපනයේදී කැලෑසිය කියලා හැඳින්වුණේ පන්තිය කියන එක. ක්ලාස් කියන ඉංගිරිසි වචනේ තමයි සිංහලෙන් කැලෑසිය වුණේ. පස්සේ තමයි ඒවා හඳුන්වන්න ඔය පන්තිය, ශ්‍රේණිය, වසර වගේ අළුත් වචන එකතු වුණේ. 

කොහොම හරි කජුවැටියේ පීරිස් සිංඤ්ඤෝ ගුරුතුමා ගේ මේ පාසල හැඳින්වුණේ ‛අකුරු මඩුව’ කියලා මේ අකුරු මඩුව ආරම්භ වුණේ මෙනේරිලන්දේ තියන පන්සලක් සඳහා වෙන්කරපු ඉඩමේ. පන්සලක් බැරි නම් මෙතන පාසලක් හරි පටන් ගන්න මණ්ඩාවල ගැමියන් හිතපු එක නම් විශිෂ්ටයි. කොහොම හරි මේ අකුරු මඩුවට ආවේ දැන් පාසල්වල පළමුවෙනි ශ්‍රේණියට ඇතුල් වෙනවා වගේ පුංචි කිරි සප්පයෝ එහෙම නෙවෙයි. හොඳට කර දඬු උස්වෙලා දැලි රැවුල් ආපු පංකාදු පහේ ඉලන්දාරි. 

අපේ රටේ උතුරු දිග දුම්රිය මාර්ගය එක්දහස් නවසිය තුනේ නොවැම්බර් පළමුවෙනිදා වෙන කොට අනරාධපුරය දක්වාම දීර්ඝ කරලා තිබුණා. මේ හින්දා බණ කතා, රජකතාවලින් අහලා විතරක් තිබුණු අනුරාධපුරට වන්දනාවේ යන්න හීන මවපු සියනෑ කෝරලයේ ගැමියන්ට මේක හතර මහා නිධානයක් පහළ වුණා වගේ වැඩක්. අනුරාධපුරේට දුම්රිය ගමන පටන් ගත්තාට පස්සේ මණ්ඩාවල ඇතුළු සියනෑ කෝරලයේ ගැමියෝ මොකද කළේ ආහාරපාන, ඉවුම් පිහුම් කළමනා, ඇඳුම් කැඩුම් වගේ ගමන් උපකරණ සේරම පටවා ගෙන බර කරත්ත සහ බර බාගවලින් ඒ කාලේ ‛හෙනරත්ගොඩ’ නමින් හැඳින්වුණු ගම්පහ දුම්රිය පළට සේන්දු වුණා. එතැන ඉඳලා ඒ අය අනුරාධපුරේට ගියේ යකඩ යකා ගේ පිහිටෙන්. 
කොහොම හරි මේ කාලේ වෙනකොට අනුරාධපුර රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණ සමිතිය මගින් රුවන්වැලි සෑ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹලා තිබුණා. වන්දනාකාරයොත් ඒකට මිල මුදලින් වගේම කායික ශ්‍රමයෙනුත් සෑහෙන්න දායක වුණා. ඔය විදිහට අනුරාධපුර අටමස්ථානය වැඳ ගන්න ගමන් රුවන්වැලි සෑ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට කායික ශ්‍රමයෙන් දායක වෙන්න හිතාගෙන අනුරාධපුර වන්දනාවේ ගිය මණ්ඩාවල පැත්තේ ගැමියන් පිරිසකට රුවන්වැලි සෑ මළුමේදී එක් සුවිශේෂ අමුත්තෙක් මුණ ගැහුණා. ඒ බුරුම ජාතික හාමුදුරු නමක්. හැබැයි ඒ හාමුදුරුවොත් රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී දහඩිය මුගුරු හෙළමින් නොසෑහෙන්න මහන්සි වෙන හැටි දැක්ක මණ්ඩාවල වන්දනා නඩය පුදුම වුණා. ඒ වගේමයි උන් වහන්සේ ගැන ඇතිවුණු පැහැදීමත්. 

රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට පෙර


රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට පෙර

බුරුම හාමුදුරුවන්ගේ මේ අධිශ්ඨානය, උත්සාහය කැපවීම දැක්ක මණ්ඩාවල වැසියෝ උන්වහන්සේව මෙනේරිලන්දට වැඩම කරවා ගත්තොත් නම් අහල ගම් හතකටම වශාල සෙතක් ශාන්තියක් වෙන බව හොඳාකාරව තේරුම් ගත්තා. ඊට පස්සේ මේ වන්දනා නඩය හාමුදුරුවන්ට බොහොම ගෞරවයෙන් තමන්ගේ ගමේ වැඩවාසය කරන්න ආරාධනා කළා. 

‛‛ආරාධනාව නම් බොහොම අගෙයි. ඒත් මම ලංකාවට වැඩම කළේ වන්දනා ගමනකට නොවැ. දැන් මෙතනින් සිරිපාදෙට වැඩම කරලා ආපහු ගම රටට යන්න කොලොම්තොටින් නැව් නගින්නයි මගේ කල්පනාව.’’ ඒ බුරුම හාමුදුරුවෝ එහෙම කිව්වා. උන්වහන්සේගේ නම තමයි යූ. විනයාලංකාර. 


බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමි

කොහොම හරි ඉතින් අපේ වන්දනා නඩෙත් අනුරාධපුරේ අටමස්ථාන වන්දනා කරගෙන කිසිම දුකක් කරදරයක් නැතුව ආපහු මණ්ඩාවලටම සේන්දු වුණාය කියමුකෝ. 

ඒ වගේම අර බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවොත් අනුරාධපුරයේ ඉඳලා ශ්‍රීපාදස්ථානයට වැඩම කරලා ශ්‍රී පාදයත් වන්දනාමාන කරගෙන රත්නපුර පානදුර පාර ඔස්සේ පාගමනින් කොළඹට වැඩම කරමින් හිටියා. ඔය අතරේ හොරණ කිට්ටුව තියන කුළුපණ කන්ද කියන පර්වතය දැකලා දවසක් හමාරක් විතර විවේක සුවයෙන් පසුවෙන්න හිතාගෙන උන්වහන්සේ ඒකේ නතර වුණා. ඒත් එක්කම බුරුම රටින් ලංකාවට වැඩම කරපු හාමුදුරු නමක් කුළුපණ කන්දේ වැඩ ඉන්නවා කියන ආරංචිය ගම පුරාම පැතිරුණා. මුළු ගම්මානෙම ඉන්න මිනිස්සු මොකද කරන්නේ, දාන මාන පිළියෙල කරයෙල කරගෙන උන්වහන්සේව බැහැදකින්න ආවා. එක දිගටම ගලා ගෙන මේ ජන ගංගාව හින්දා විනයාලංකාර හාමුදුරුවන්ට කුළුපණ කන්දෙන් පිටතට එක අඩියක් වත් වඩින්න ඉඩක් ලැබුණේ නෑ. ඒ වගේම ගම්මු හැමෝම විනයාලංකාර හාමුදුරුවන්ගෙන් එකම ඉල්ලීමක් කළා. ඒ තමයි අනේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු හරිම අඩුයි. ඒ හින්දා අපිට අනුකම්පා කරලා මේ ගමේ දිගටම වැඩ වාසය කරගෙන අපිට බණක් දහමක් කියලා දෙන්න කියලා. ගම්වැසියන්ගේ මේ පෙරැත්තය කායිතරම් බලවත් වුණාද කියනවා නම් ආපහු තමන් වහන්සේ ගේ උපන් රට වුණු බුරුමයට වඩින ගමන ගැන නැවත හිතන්න විනයාලංකාර හාමුදුරුවන්ට සිද්ද වුණා. ඔය අතරේ වැලිගම්පිටියේ බී.එල්. ගුණවර්ධන අප්පුහාමි කියන දාන පති ප්‍රභූවරයා ඉතසිතින්ම කැමති වුණා, තමන් සතු ඉඩමක විනයාලංකාර හාමුදුරුවන් සඳහා අරාමයක් තනවලා දෙන්නා. 
පොකුණුවිට විනයාලංකාරාමය

ඩී.එල්. ගුණවර්ධන අප්පුහාමි ප්‍රමුඛ හොරණ බෞද්ධ ජනතාව එක්ව තැනූ විහාරස්ථානය තමයි හොරණ පොකුණුවිට විනයාලංකාරාමය. කොහොම නමුත් විනයාලංකාර හාමුදුරුවෝ ධර්මධර විනයධර වගේම බොහොම ක්‍රියාශීලී හිමිනමක් නේ. ඒ අනුව උන්වහන්සේ විහාරස්ථානය ඉදිකළ අළුතම වගේ තමන් වහන්සේගේ උපාධ්‍යායකත්වය යටතේ 1906 වසරේ කුල දරුවන් විසිහත් දෙනෙක්ම පැවිදි කර ගත්තා. ඉන් එක් ශිෂ්‍ය හිමිනමක් තමයි පසුගිය කාලයේ අපවත් වී වදාළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නා හිමිපාණෝ. 

රේරුකානේ චන්දවිමල නාහිමි


විනයාලංකාර හිමියන්ගේ මේ ශාසනික සේවය අපේ රට තුළ මොන තරම්  ප්‍රබල විදිහට ක්‍රියාත්මක වුණාද කියනවා නම් වසර කිහිපයක් තුළ උන්වහන්සේ ගේ ශිෂ්‍ය පරපුරට සමාජයේ ඉහළම පිළිගැනීමක් ලැබුණා. ‛අලි දෙන්නා පන්සල‛ නමින් ප්‍රසිද්ධ දෙමටගොඩ මහ විශුද්ධාරාමය සහ බුරුම පන්සල නමින් ප්‍රකට මකුටාරාමය උන්වහන්සේ ගේ ශිෂ්‍ය පරපුර වැඩවෙසෙන විහාර අතරින් දෙකක්. කොහොම හරි එදා අනුරාධපුරයේ දී තමන්ට මුණ ගැසුණු බුරුම ජාතික හාමුදුරුවන් ගේ මේ උතුම් ශාසනික මෙහෙවර ගැන මේ වෙනකොට මණ්ඩාවල ගැමියන්ටත් දැන ගන්න ලැබුණා. ඒ හින්දා කොහොම හරි උන්වහන්සේව මෙනේරිලන්දට වැඩම කරවලා එතැන විහාරස්ථානයක් තනවන්නයි කාගේත් එකම අරමුණ වුණේ. ඊට පස්සේ මණ්ඩාවල වැසියන් මොකද කරන්නේ නැකත් ඇදුරෙක් ලවා හොඳ වෙලාවක් එහෙමත් බලාගෙන විනයාලංකාර හාමුදුරුවන්ව බැහැ දකින්න පොකුණුවිටටත් ගියා කියමුකෝ. 

ඒ වගේම මේ වෙනකොට මෙනේරිලන්දේ තිබුණු කජුවැටියේ පීරිස් සිඤ්ඤෝගේ අකුරු මඩුවත් සෑහෙන ප්‍රගතියකට ලක්වෙලා තිබුණා. ඒ කාලයේ මණ්ඩාවල විසූ ප්‍රභූවරයෙක් වුණු රූපසිංහ ජයවර්ධන මුහන්දිරම් රුවිතන් පෙරේරා හෙවත් ගම් සැරියන් රාළාහාමි ගේ අනුග්‍රහය යටතේ ඒ අකුරු මඩුව එතුමන් සතු ඉඩමකට ගෙන ගිහින් බී.ටී.ඇස්. පාසලක් බවට පත් කර ගෙන තිබුණා. ඒ හින්දා මේ කාලේ වෙනකොට මෙනේරිලන්දේ අකුරු මඩුව කරපු ගොඩනැගිල්ලත් නැවතත් පාළුවට ගිහිල්ලයි තිබුණේ. 

මේ කතාවේ ඉතුරු කොටසත් හරිම රසවත්. ඒක අපි ලබන සතියේ දැන ගනිමු 

No comments:

Post a Comment