දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Thursday, April 10, 2014

වසර දෙසීයකටත් වඩා පැරණි ගණේකන්දේ ‛පෞද්ගලික පන්තිය’ - Ganekanda Tution Class goes back over two Hundred Years


අපේ රටේ නූතන අධ්‍යාපනය දිහා බලන කොට ගම්පහ දිසාවට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. ඒ වගේම අපේ රටේ උපකාරක පන්ති අතින් බැලුවත් ගම්පහ තමයි මුළු ශ්‍රී ලංකාවෙන් සුපිරිම නගරය. වර්තමානයේ වගේම අතීතයේත් ගම්පහ දිසාව අපේ රටේ මුල් පෙළේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වූ බවට සාක්‍ෂි ඕනෑ තරම් තියනවා. ඒකට හොඳම නිදසුන තමයි, කෑරගල පද්මාවතී පිරුවන, කෝට්ටේ යුගයේ අපේ රටේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක් බවට පත්වෙලා තිබුණු කෑරගල පද්මාවතී පිරුවන සහ එහි අධිපති පදවිය හෙබ වූ කෑරගල වනරතන නාහිමියන් අදත් ගම්පහ දිසාවට සුවිසල් අභිමානයක්. කෝට්ටේ රජ කළ හය වෙනි පරාක්‍රමබාහු රජතුමා ගේ අභිවෘද්ධිය තකා පිරිත් දේශනාවක් පවත්වන ලෙස වනරතන නාහිමියන් ගෙන් අයැදුමක් කරමින් හංසයකු අතේ යවන සංදේශයක ස්වරූපයෙන් ලියැවුණු හංස සංදේශය අපගේ සාහිත්‍ය වංශ කතාවේ මුදුන් මල්කඩක්. ඒක රචනා කරලා තියෙන්නේ තවමත් සිරිලක පරසිදු වීදාගම මෛත්‍රිය හිමියන් විසින්. 



නමුත් අද මම කියන්න යන්නේ කෑරගල පද්මාවතී පිරුවන වගේ ප්‍රකට අධ්‍යාපන නිකේතනයක් ගැන නෙවෙයි. අනික මේක අධ්‍යාපන නිකේතනයකටත් වඩා අතීතයේ පැවැති පෞද්ගලික පන්තියක් කීවොත් තමයි වඩාත් නිවැරදි. මේ පෞද්ගලික පන්තිය පවත්වාගෙන ගිහින් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති  අළුතැපොල පුරාණ ගණේකන්ද රජමහා විහාරයේ. 
මේ විහාරයට ආසන්නම නගරය තමයි මිනුවන්ගොඩ. වේරගොඩ බ්‍රහ්මඝෝෂක කියන ගණින්නාන්සේ තමයි මේ පන්තිය පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඒ මීට අවුරුදු දෙසීයකටත් කලින්. අපි මීට කලින් ගණේමුල්ල යන කතා කරද්දීත් ගණින්නාන්සේලා ගැන කතා කළා. ගණින්නාන්සේලා කියන්නේ අපේ රටේ බුදු සමය බරපතල විදිහට පිරිහුණු මහනුවර මුල් රාජධානි සමයේ භික්‍ෂුන් වහන්සේලා වෙනුවට පෙනී සිටි බෞද්ධ පූජක පිරිස. විශේෂයෙන් දෙවැනි රාජසිංහ  (ක්‍රි.ව. 1635-1687) වගේ රජවරු බුද්ධ ශාසනය රැකීමට කිසිම ඇප උපකාරයක් නොකිරීම මත භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි තිබුණු සමාජමය පිළිගැනීම අඩු වුණා. ඒ හින්දා භික්‍ෂු උපසම්පදාව වගේ විනය කර්ම කිරීමට වුවමනා මහ සඟරුවනණගෙන් යුත් ගණ පූරණය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය යටතේ තමයි මේ ගණින්නාන්සේලා කියන භික්‍ෂුප්‍රතිරූපකයන් සමාජයේ බහුල වුණේ. මුලදී ගිහි බවටත් පැවිද්දටත් අතරමැදි ජීවිතයක් ගත කරපු මේ ගණින්නාන්සේලා පහුවෙනකොට කාන්තාවන් සරණ පාවාගෙන පන්සල් ගෙවල් බවට පත් කරගෙන පවුල් ජීවිත කරන්න පටන් ගත්තා. ඒ අතර තුර බෞද්ධ ජන ජීවිතයේ ආගමික කටයුතුවලටත් පූජකයන් හැටියට සම්බන්ධ වුණා. ඒ ලාබ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන්. දෙවැනි රාජසිංහ රජු සමයේ බෞද්ධ භික්‍ෂුව තෙරුන්නාන්සේ සහ ගණින්නාන්සේ යනුවෙන් දෙකොටසකට බෙදී සිටි බව ඒ කාලයේ අපේ රටේ අවුරුදු දහනවයකුත් මාස හයක් එළිමහන් සිරකරුවකු හැටියට ජීවත් වී තම මව්රට වන එංගලන්තයට පලා ගිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එහිදී නොක්ස් පවසන්නේ මේ ගණින්නාන්සේලා සිවුරට උඩින් බඳ පටියක් බැඳ සිටි බවයි. නමුත් එකල ගණින්නාන්සේලා විවාහ වී සිටි බවක් නම් රොබට් නොක්ස්ගේ කෘතියේ සඳහන්ව නැහැ. ඒ වගේම ඒ කාලයේ සමහර ගණින්නාන්සේලා ගිහි ජීවිතයේ දී තමන්ට උරුමව තිබූ ගොවිතැන්, සත්ව පාලනය, කම්මල් වැඩ, රෙදි ඇපිල්ලීම් වගේ සුපුරුදු ජීවනෝපායන්හි යෙදුණු බවත් පැහැදිලියි. නමුත් සමහර ගණින්නාන්සේලා සමාජයේ ප්‍රභූන් වශයෙන් වැජඹෙමින් රාජතාන්ත්‍රික කටයුතුවලට පවා සම්බන්ධ වී තිබෙනවා. දෙවන රාජයසිංහ රජතුමාගේ රාජ තාන්ත්‍රික නියෝජිතයෙක් හැටියට 1668 වසරේ ගණේබණ්ඩාර ගණින්නාන්සේ ඕලන්ද ආණ්ඩුකාරයා හමුවීමට යාම ඊට එක් නිදසුනක් විතරයි. කොහොම හරි මුලදී අර්ධ ගිහි අර්ධ පැවිදි ජීවිතයක් ගත කළ සමහර ගණින්නාන්සේලා දහඅට වන සියවසේ මුල් භාගය විතර වෙන කොට තමන් විසූ පන්සල් පවුල් කන ගෙවල් බවට පත් කරගත්තු බව පේනවා. ඒ හින්දම ඒ නිවාස හැඳින්වීම සඳහා ඒ කාලේ ගණේගෙදර, විහාරේ ගෙදර ආදී නම් පවා යෙදී තිබෙනවා. 


    නමුත් ඒ කාලේ සිටි හැම ගණින්නාන්සේ කෙනෙක්ම එහෙම පවුල් ජීවිත ගත කොට නැහැ.  ඒ අතරේ සිල්වත් අයත් ඉඳලා තියනවා. ඉතින් දැන් අපි නැවතත් ගම්පහ දිසාවේ තිබුණු පරණ පෞද්ගලික පන්තියට එමු. අළුතැපොල ගණේකන්ද පුරාණ විහාරය ලෙන් විහාරයක්. මේ පර්වතාශ්‍රිත පරිසරයේ ආදී මානව ජනාවාස තිබූ බවට සාධක තිබෙනවා. ඒ වගේම මේ පර්වතාශ්‍රිතවත් වාරණ, මාලිගාතැන්න, පිළිකුත්තුව, දංගල්ල, සමනබැද්ද, වෑබඩ, මැද්දේගම, අලවල,මඩබාවිට, අස්ගිරිය, කොස්කඳවල යන පර්වතාශ්‍රිතව වගේ අනුරාධපුර යුගයේ සිට භාවනානුයෝගී භික්‍ෂුන් සිටි බවට සාධක තිබෙනවා. ඒ අනුව මෙම පුදබිමට වසර දහස් ගණනක ශාසනික සැබැඳියාවක් තිබුණු බව පැහැදිලියි. ඒත් මේ ස්ථානය ගණේකන්ද යනුවෙන් හැඳින්වීම තුළ යම් විශේෂත්වයක් තිබෙනවා. ‛ගණේ’ යනුවෙන් ඇරඹෙන ග්‍රාම නාම බොහොමයකට භික්‍ෂුන් වහන්සේලා හෝ ඉහත සඳහන් කළ ගණින්නාන්සේලා සම්බන්ධ බව මා මීට කලිනුත් සඳහන් කළා මතක ඇතිනේ. සීතාවක රාජසිංහ රාජ උදහසට බියෙන් භික්‍ෂුන් සැඟව සිටි ගණේමුල්ලට ඉතා ආසන්න ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ ප්‍රදේශයේත් ගණේකන්ද නමින් පැරණි විහාරස්ථානයක් තිබෙනවා. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කන්නන්තොට පිහිටි ගණේකන්ද වලගම්බා පුරාණ රජ මහා විහාරය එනමින් යුතු තවත්  පුදබිමක්. ඒ වගේම තමයි කළුතර දිස්ත්‍රික්කයට අයත් කළුතර හොරණ මාර්ගයේ දොඹගොඩ පිහිටි පුරාණ ගණේකන්ද රජමහා විහාරය. මම මේ කියන්නේ ගණේකන්ද නමින් මගේ විමසුමට ලක් වූ විහාරස්ථාන කිහිපයක් විතරයි. මීට අමතරව ගණේකන්ද නමින් තවත් පැරණි බෞද්ධ විහාරස්ථාන සෑහෙන ගණනක් තියෙන්න පුළුවන්. අද අපි මේ කතා කරන අළුතැපොල ගණේකන්දේ කෝට්ටේ යුගය පමණ තෙක් බෞද්ධ විහාරයක් තිබුණු බවට සාක්‍ෂි තිබෙනවා. නමුත් මහනුවර මුල් යුගයේ බුදු දහම සම්බන්ධයෙන් එළැඹුණු දුර්දාන්ත සමයේදී මෙවන් ස්ථානවල ගණින්නාන්සේලා බවට පත් වුණු තෙරුන්නාන්සේලා ජීවත් වුණා වෙන්නට පුළුවන්. නමුත් අද අපි සොයා ගෙන යන අප්‍රකට ඓතිහාසික ජනශ්‍රුතියේ එන පෞද්ගලික පන්තිය පවත්වා ගෙන ගිය බ්‍රහ්මඝෝෂ ගණින්නාන්සේ නම් ගිහි ජීවිතයට නොපිවිස තමන්ගේ ශීලය ඉතා හොඳින් ආරක්‍ෂා කළ කෙනෙක් බව පැහැදිලිවම පෙනෙනවා. ඒ වගේම එතුමන් මේ ගණේකන්දේ වෙසෙමින් ප්‍රදේශයේ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමෙන් කළ සේවයත් අති උදාරයි. ඒ වගේම එතුමන් මේ සේවාව සිදු කොට ඇත්තේ කිසිම ලාභාපේක්‍ෂාවකින් තොරව බවත් අතිශයින් පැහැදිලියි. නමුත් බ්‍රහ්මඝෝෂ ගණින්නාන්සේගෙන් ශිල්ප හැදෑරීමට දරුවන් එවන ප්‍රදේශයේ දෙමාපියන් තම දරුවන්ගේ අතේ එතුමාට ආහාර පාන එවා ඇති බව ජනප්‍රවාදයේ සඳහන්. 


     ඒ කෙසේ හෝ මහනුවර රජ කළ  කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව. 1747-1782) එතෙක් සිය වසකටත් මඳක් වැඩි කාලයක් රට පුරා පැවැති ශාසනික අඳුර දුරු වී නැවත අප රටේ භික්‍ෂු උපසම්පදාව පිහිට වූ පුවත ඓතිහාසිකව ප්‍රසිද්ධ කාරණයක්. සියම් රටින් මෙරටට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලාගේ උපාධ්‍යායකත්වයෙන් ඒ භික්‍ෂු උපසම්පදාව සිදු කොට ඇත්තේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, 1753 වර්ෂයේ ඇසල පුන් පෝදා බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. කෙසේ හෝ ඊට ආසන්න සමයක සිට ගණේකන්දේ පවත්වාගෙන ගිය මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේගේ අධ්‍යාපනික මෙහෙවර පුරා හතළිස් වසරකටත් වැඩිකාලයක් අඛණ්ඩව පැවැති බවට සැක නැහැ. කෙසේ හෝ පිරුවනක් හෝ වෙනයම් විද්‍යායතනයක් වශයෙන් ප්‍රකට නොවූවද බ්‍රහ්මඝෝෂක ගණින්නාසේගේ මේ පෞද්ගලික පන්තිය ඒ වන විටත් සමාජයට උගතුත් නැණවතුන් බිහිකිරීමට සමත් වී තිබෙනවා. එතුමන්ගේ අධ්‍යාපනය කෙතරම් ඉහළ මට්ටමක තිබුණා ද යන්නට එයම කදිම නිදසුනක්. මේ කාලය වන විට අප රට පාලනය කළ ලන්දේසීන් ද තමන්ට බලය හිමිව තිබූ මුහුදු බඩ පළාත්වල ‛පල්ලි’ නමින් දේවස්ථාන මුල් කොට ගත් විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට තිබුණා. තමන්ගේ ආගමික සංස්කෘතික බලව්‍යාප්තිය තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වුණේ. පැරණි සිංහලේ පල්ලි නමින් හැඳින්වුණේ මේ අධ්‍යාපනික ආයතන හෙවත් ශාස්ත්‍ර ශාලා බවට පූජාවලිය වැනි කෘතීන්ගෙන්ද තහවුරු වෙනව.  ඕලන්ද සමයේ ඒවායේ ගුරුවරුන් ‛පල්ලියගුරු’ යන නම් වලින් හඳුන්වා තිබුණා. පස්සේ ඒ ආශ්‍රිතව පැවැති දේවස්ථාන තනිව හැඳින්වීමට ද ඒ ‛පල්ලි’ කියන වදන යොදා ගෙන තිබෙනවා. 

      කෙසේ හෝ මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේගෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරා උගතුන් බවට පත් තරුණයන් කිහිප දෙනකු පසුව ලන්දේසි රජයේ සේවයට එක්වීමට පවා සුදුසුකම් ලබා තිබුණා. ඔවුන්ගේ ශාස්ත්‍රීය දැනුම පිළිබඳ අතිශයින් පැහැදුණු ලන්දේසි ප්‍රධානීන් ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන් මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේට උපහාරයක් පිදීමට සැලසුම් කර තිබෙනවා. ඒ වී අමුණු දහයක ඉඩමක් ප්‍රදානය කිරීමෙන්. ඒ අනුව මේස්ත්‍ර අන්ද්රිස් කෝයාර උන්නාන්සේ නම් ඕලන්ද ප්‍රධානියකු ගේ අණ පරිදි අළුත් කූරු කෝරලය කරවන මුදියන්සේ හෙවත් දොන් සීමන් ද සිල්වා සමරනායක මුදලිඳු විසින් සන්නස් පත්‍රයක් මගින් බ්‍රහ්මඝෝෂක හිමියන්ට මේ ප්‍රදානය කර තිබෙනවා. ඒ අපේ රට ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන් අතට පත් වීමට දෙවසරකට කලින්. ඒ කියන්නේ 1796 අවුරුද්දේ  ඒ පැවරුම පිළිබඳ ඓතිහාසික ලේඛනය තවමත් අළුතැපොල, පුරාණ ගණේකන්ද රජ මහා විහාරයේ සුරැකිව තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම මේ පුරාවෘත්තය සම්බන්ධ තවත් වැදගත් දේකුත් කිව යුතුයි. එනම් ඒ සන්නසේ බ්‍රහ්මෂෝෂක යන නම සමග සඳහන් වන්නේ ගණින්නාන්සේ වෙනුවට තෙරුන්නාන්සේ ලෙසිනුයි. ඊට හේතුව කලින් පැවිදි උපසම්පදාව අහිමි වීම නිසා සාමණේර දම් පුරමින් සිටි ගණින්නාන්සේ කෙනෙකු වුණු බ්‍රහ්මඝෝෂ හිමියෝ 1753 වසරේ අප රටේ යළි ස්ථාපිත වූ සංඝ ශාසනය තුළ පැවිදි උපසම්පදාව ලැබීම නිසා තෙරුන්නාන්සේ කෙනකු බවට පත් වූ හින්දා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අළුතැපොල පුරාණ ගණේකන්ද රජ මහා විහාරය අදටත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් විහාරස්ථානයක්. 

1 comment: