දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Wednesday, April 5, 2017

ගම්පහ දිසාවේ සැඟවුණු දෙවියෝ උඩවල මුත්තා


වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම පැරණි  රාජධානිය කැලණියයි. ඒ කාලයේ මෙන්ම පසුකාලීන කෝට්ටේ  යුගයේ දී පවා ගම්පහ දිසාවේ පැවති උප රාජධානියක් වශයෙන් උඩුගම්පොල මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙහි විශේෂත්වය වනුයේ කැලණි රාජධානියෙන් වි‍භීෂණ සුරිඳුන් පහළ වූ අතර උඩුගම්පොළ රාජධානියෙන් දෙවිවරුන් සිවු දෙනෙකුම පහළ වී තිබීමය. එනම් සකල කලා වල්ලභ රජතුමා ( අස්වානේ දෙවියෝ) මැණික් සාමි කුමරු ( කළු කුමාරයා) සකල කලා වල්ලභ රජුගේ බාල පුත් කිරිබොන ඈපා, සකල කලා වල්ලභ රජුගේ ප්‍රධාන සේනාධිපති යකු වූ උඩවල මුත්තා ආදියයි.


ප්‍රදේශවාසීන්ට නිති රැකවරණ සලසන බව පැවසෙන සුදු පැහැති උස් තුඹසක වෙසෙන නාගයකු පදනම් කොටගත් මෙම උඩවල මුත්තා  දෙවොලට අපි පසුගියදා පිවිසුණෙමු. මෙය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ,මිනුවන්ගොඩහීනටියන නම් සුන්දර ගම්පියස අද්දරයි. පුජ්‍ය හීනටියන  ධම්මාලෝක  මහ නාහිමියන්ගේ උපන්ගම සහ උන්වහන්සේ වැඩිම කාලයක් වැඩ වාසය කළ විහාරය පිහිටි නිසා මෙම හීනටියන යන නාමයට දෙස් විදෙස් කිර්තියක් හිමිව තිබේ.



මේ දෙවොලට අධිපති උඩවල මුත්තා අතීතයේ ඒ ගමෙහි විසු ජනප්‍රධානියෙකි. එවක ඔහු බොහෝ සැර පරුෂ අයෙක් බවත් පැවසෙයි.

කෝට්ටේ රාජධානියේ රජකළ ධර්ම පරාක්‍රමබාහු රජ සමයේ උඩුගම්පළ රජ කළ සකලකලා වල්ලභ රජු පිළිබඳව අලකේශ්වර යුද්ධය,රාජාවලිය ආදී කෘතිවල බොහෝ විස්තර සඳහන් වෙයි.මෙම රජතුමාට ප්‍රධාන යුදසේනාධිපතිවරු දෙදෙනෙකු සිටි බව ජනවහරේ සඳහන්ය. ඉන්දියාවේ කායල්පට්ටනම් සිට හලාවත මුතු කිමිදීමටත් ඇතුන් ඇල්ලීමටත් යෝනක සේනාවක් සමඟ පැමිණ හලාවත ආක්‍රමණය කළ අධිරාස රායන් නම් විජාතිකයා පැරදවීම  සඳහා කෝට්ටේ රජ කළ ධර්ම පරාක්‍රමබාහු රජු තම සොයුරන් වන උඩුගම්පළ රජ කළ සකලකලා වල්ලභ රජුට සහ මාදම්පේ රජ කළ තනිය වල්ලභ කුමරුන් හට පවරණු ලදැයි කියවෙයි. මෙහිදී  තම සේනාවන් සමඟ හලාවතට ගිය මෙම දෙබෑයන් එම සතුරු සේනාව වෙතට දරුණු ප්‍රහාර එල්ලකොට ඔවුන් පරාජය කළ බව අලකේශ්වර යුද්ධය සහ රාජාවලිය කෘතිවල සඳහන්ය.

මෙහිදී  සකලකලා වල්ලභ රජු තමන් සමඟ එම සංග්‍රාමයේදී පෙරමුණ ගෙන ක්‍රියාකිරීම නිසා මෙම උඩවලමුත්තාට ගම්වරයක් ප්‍රදානය කළ බව ජනවහරේ පැවසෙයි.  



ඉන්පසු කලක් අවෑමෙන් මරණයට පත්වන මෙම උඩවල මුත්තා ගම්මුන්ට ආරක්ෂාව සලසනු පිණිස කැපවී ක්‍රියා කළ බවත් එදා මෙදා තුර පැවතීම සඳහා ගම ආශ්‍රිතව සුදු නාග පරපුරක් බිහි කළ බවත්  ගම්මුන් පවසති. අදත් එම පරපුරේ  සුදු නාගයකු  එම ගම්මානයට අරක්ගෙන සිටින බවත් ගැමි විශ්වාසයයි. විශේෂයෙන් ගම්මානයේ කුඹුරු පැසෙන කාලයට එම නාගයා වරින් වර දර්ශනය වන බවත් ගම්මු අප හා කීහ. එනිසා අතීතයේ සිට අද දක්වාම එම සුදු නාග පරපුර වාසය කරන බව පැවසෙන වෙල්යාය අද්දර පිහිටි තුඹස අබියස පිහිටි පුජාගල මත කෙම්මුර දිනයන් හි සැන්දෑවල  උඩවලමුත්තා සිහිකොට පහන් තැබීමට පැරණි ගම්මු පුරුදුව සිටියහ. එමගින් තම ලෙඩදුක් අපල උපද්‍රව සතුරු කරදර දුරුවී ගොවිතැන් බත් සරුසාර වී ගෙදර දොර සතුට සාමදානය උදාවන බව ගම්මුන්ගේ විස්වාශය විය. අද මෙම දේවාලය ඉදිකොට ඇත්තේ එම සුදු තුඹස සහ පුජා ගලමැදි කර ගනිමි.




අදත් මේ ප්‍රදේශයේ ගැමියයෝ තමන්ගේ වී අස්වැන්නෙත් ලබාගන්නා මුල්ම කොටස මෙම දේවාලයට ගෙනවුත් ඉන් කිරිබතක් පිස මේ උඩවල මුත්තාට පුජාකරනු දකින්න පුළුවන . ගැමියන්ට එදිනෙදා ජිවිතයේ දී මුහුණපෑමට සිදුවන ඕනෑම ගැටළුවකදී මේ උඩවල මුත්තා පිහිටට එන බවත් කාන්තාවන් හා කුඩා දරුවන් සම්බන්ධ ගැටළු වලදී එතුමන්ගේ දේව බැල්ම වැඩිපුර යොමුවන බවත් විශ්වාස කරන ගැමියන් එම ප්‍රදේශයේ සිදුවන සිද්ධීන් මුල්කොට හෝ එම දේව විශ්වාසය ගැරහීමට ලක් කරනවිට එම නාගයා වැඩිපුර දර්ශනය වන බව කියති.



එමෙන්ම කිනම් හෝ හේතුවක් මත ආහාර අරුචියෙන් පෙළෙන්නවුන්ගේ එම අරුචිය සැනින් දුරුකිරීමට මේ උඩවල මුත්තාට විශේෂ හැකියාවක් ඇතැයි ද පැවසෙයි. ඒ අනුව රෝගපීඩා නිසා සතිමාස ගණන් ආහාර අරුචියෙන් පෙළෙන රෝගීන් විශාල පිරිසක් මේ උඩවලමුත්තාගේ පිහිටෙන් සහනය ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

හීනටියන පොත්ගුල් විහාරය මගින් පාලනය වන වන මෙහි සතියේ සෙනසුරාදා හා බදාදා යන කෙම්මුර දින වලදී පුජා පැවැත්වෙන අතර දැනට එහි සේවය කරන්නේ දෘෂ්‍යාබාධිත කපුමහතෙකි.



කොළඹ කුරුණැගල අංක 5 මාර්ගය ඔස්සේ ජා-ඇල කොටුගොඩ පසුකොට යනවිට හමුවන  යාගොඩමුල්ල හන්දියෙන් වමට හැරී පැමිණ හෝ කටුනායක ඇවරිවත්ත හරහා යාගොඩමුල්ල දෙසට පැමිණ  හීනටියන ගම්මානය  අසබඩින් වෙල් යායක් අද්දර පිහිටි මෙම අපුරු පුදබිමට පිවිසෙන්නට ඔබටත් පුළුවන. එමෙන්ම ගම්පහ දිසාවේ සැඟවුණු මෙම අපූරු දෙවියන් පිළිබඳ විස්තර මේදක්වා කිසිදු සාහිත්‍යා මූලාශ්‍රයකට එක්වී නොතිබීම විශ්මයට කරුණකි.


1 comment: