දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Tuesday, May 20, 2014

සියනෑ කෝරළේ ගැමියන්ගෙන් ‛එලොව පොල් පෙන්වන’ සැරසිල්ලක් - A bemazed decoration by Siyana Korale peasants

ජෙරනිමෝ අසවේදු

ගම්පහ දිසාව ප්‍රධාන වශයෙන් කෝරල තුනකට බෙදෙනවා. ඒ තමයි සියනෑ කෝරලය, හාපිටිගම් කෝරලය සහ අළුත්කූරු කෝරලය. නමුත් මේ කෝරල තුනෙන් ගම්පහ දිසාව එක්ක වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ සියනෑ කෝරලේ. ගම්පහ ප්‍රදේශයේ සමහරු අපි ඉතින් සියනෑ කෝරලේ මිනිස්සුනේකියලා ඒ තුළින් තමන් සතු අනන්‍යතාවයක් විදහා දක්වන්න උත්සාහ කරපු අවස්ථාත් මං දැකලා තියනවා.

නමුත් ඇත්තෙන්ම  කියනවා නම් අතීතයේ මේ සියනෑ කෝරලයේ මිනිස්සු ගැන වෙනත් ප්‍රදේශවල ජනතාව අතරේ එක එක මතිමතාන්තර ඇති වුණා. විශේෂයෙන් සියනෑ කෝරලයට මායිම් වන කැලණි ගඟෙන්  එහා පැත්තේ තියන වර්තමාන කඩුවෙල, නවගමුව වගේ ප්‍රදේශ ආශ්‍රිත හේවාගම් කෝරලයේ ජනතාව සියනෑ කෝරලයේ මිනිස්සුන්ව එක්තරා විදිහකට හෙළා දකින ගතියකුත් තිබුණා. එක් දහස් පන්සිය පනස් නවයේ  දී සිද්ද වුණු සීතාවක රාජසිංහයන්ට සුවිශේෂ ජයක් අත් කරලා දුන්නු ඓතිහාසික මුල්ලේරියා සටනට නොමඳ දායකත්වයක් දක්වපු හේවාගම් කෝරලයේ රණකාමී ජනතාව සියනෑ කෝරලයේ වැසියන්ගේ නිහඬ අහිංසක චාම් දිවි පැවැත්ම දැක්කේ මෝඩ , නිවට බියසුළු කමක් විදිහට.
කොහොම හරි අපේ රටට පරංගීන් ඒ කියන්නේ පෘතුගීසීන් ගොඩ බැස්සට පස්සේ පෘතුගීසි රූකඩයක් විදිහට ජීවත් වුණු කෝට්ටේ අන්තිමට රජකම් කරපු  දොන් ජුවන් ධර්මපාල රජතුමාත් එක් දහස් පන්සිය අනූ හතේ අවුරුද්දේ මිය ගියා. ඒ  නිකම් නෙවෙයි, මුළු රටම පෘතුගාලයට අයිති යටත් විජිතයක් විදිහට පෘතුගීසීන්ට ලියලා දීලා. ලංකාවේ රජකම් කරපු දුර්වලම හා නිවටම පාලකයා විදිහට හඳුන්වන්න පුළුවන් දොන් ජුවන් ධර්මපාල රජතුමා එක් දහස් පන්සිය අසූව අවුරුද්දේ අගෝස්තු දෙලොස්වනදා අපේ රට පෘතුගීසීන්ට ලියලා දීපු ඒ ඔප්පුව හඳුන්වන්නේ මල්වානේ ගිවිසුමනමින්.

කොහොම හරි මේ කාලේ වෙනකොට සියවස් ගණනක් ලංකාවේ අගනුවර වෙලා තිබුණු කෝට්ටේ රාජධානිය පරංගීන් අතට පත් වුණාට, කාලයක් පෘතුගීසීන්ගේ භාරයේ හිටපු  කොණප්පු බණ්ඩාර එක් දහස් පන්සිය අනූතුන අවුරුද්දේ  පළමුවෙනි විමලධර්මසූරිය නමින් කන්ද උඩරට සෙංකඩගල රජකමට පත් වෙනවා.  මේ හින්දා තමයි දොන් ජුවන් ධර්මපාල රජතුමා තෑගි ඔප්පුවකින් ලියලා දීපු ලංකා රාජ්‍යය අත්පත්  කර ගන්න අමුතුවෙන් සටන් වදින්න පරංගීන්ට සිද්ද වෙන්නේ. ඔය කාලේ වෙනකොට පෘතුගීසීන් තමයි මුළු ලෝකේම හිටපු බලවත්ම රණකාමී ජාතිය. ඒ රණකාමිත්වය හින්දා තමයි 1505 අවුරුද්දේ අපේ රටට ගොඩ බැහැපු ඔවුන් අපේ රටත් ආක්‍රමණය කරන්න මුල පිරුවේ.

බලන කොටුව

බලන කොටුව

දොන් ජෙරනිමෝ අසවේදු කියන්නේ ඔය කාලේ පෘතුගීසී හමුදාවේ  හිටපු බල සම්පන්න ජනරාල් වරයෙක්. ලංකාවේ පෘතුගීසී බලය දුබල වේගෙන එනකොට පෘතුගාලයෙන් ජනරාල් අසවේදුව එවන්නේ මිනිහා හොඳින් නැත්නම් නරකින් හරි ජය ටැඹ වෙත ළං වෙන්න දන්න රණශූරයෙක් හින්දා. කොහොම හරි එක් දහස් පන්සිය අනූ හතර අවුරුද්දේ ලංකාවට ගොඩබැස්ස අසවේදු තමන්ගේ වාසස්ථානය බවට පත් කර ගන්නේ සියනෑ කෝරලයේ මල්වාන. මේ හින්දා ඒ කාලේ සිංහලයන් අසවේදුව මල්වානේ රජ්ජුරුවෝ  නමින් හඳුන්වන්නත් පුරුදු වෙලා හිටියා. ඔය අතරේ කන්ද උඩරට රජකම් කරපු  පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින් කවද හරි කන්ද උඩරට රාජ්‍යයට අභියෝගයක් වෙන්න පුළුවන් හින්දා පරංගි කෝට්ටේට එරෙහිවත් යුද මෙහෙයුම් කීපයක්ම ක්‍රියාත්මක කළා. කන්ද උඩරටින් එල්ල වුණු මේ ප්‍රහාරය කොච්චර බලවත්ව කියනවා නම් පෘතුගීසි හමුදාවේ සේනාධිනායක ගස්පාර් කොරයාත් මේ සටනේ දී මිය ගියා. ඊට පස්සේ තමයි මේ යුද නායකත්වය ජනරාල් අසවේදුට පැවරුණේ.

අසවේදු යුද සේනාධිපතියෙක් වගේම එක්තරා අන්දමක ලේ පිපාසිතයෙක්. අපේ රටේ ජනතාව බියෙන් ත්‍රස්තකරලා , මානසිකව වට්ටලා  තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගන්න  අතිශය කෲර නොමිනිස් ක්‍රියාමාර්ග අසවේදු අනුගමනය කළා. තමන්ගේ යුද සේනාංකය සමඟ ගම් වදින ජනරාල් අසවේදු කුඩා බිළිඳුන් උඩ වීසි කොට ඒ මතට කඩු මූනත ඇල්ලීමගැබිණි  මව්වරුන්ගේ උදරය පැළීම රෝගීන් සහ මහල්ලන් සහිත නිවාස ඔවුන් පිටින්ම ගිනිබත් කිරීම ඒ කෲර ක්‍රියා අතරින් කිහිපයක්. ජනරාල් අසවේදු කරන මේ කෲර ක්‍රියාවන් ගෙන් සියනෑ කෝරලයේ අහිංසක ගැමියන්ගේ මනැස් භීතියෙන් හා කම්පාවෙන් කීරි ගැසුණාට සැකක් නැහැ.

කොහොම හරි මේ කාලේ වෙනකොට පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා මේ පරංගි උවදුර නැති කරන්න ලන්දේසීන්ගෙනුත් උදව් ඉල්ලා සිටියා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලපු ලන්දේසිනුත්, එක් දහස් හයසිය දෙකේ ජෝරිස්ෆන් ස්පිල්බර්ජන් සහ සීබෝල්ට් ද චාට් කියන නාවුක සේනාධිපතීන් දෙන්නා නාවුක සේනාංක ද සමඟ ලංකාවට පිටත් කළා. ඒ මුහුදු ප්‍රහාර එල්ල කර පරංගීන් වනසා දමන්න. 

කොහොම හරි එළැඹෙන තත්ත්වය යටතේ හැකිතාක් ඉක්මනින් කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගත යුතුය කියලා අසවේදු  තීරණය කරන්නේ පළමුවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවනුත් යුදමය වශයෙන් සෑහෙන ප්‍රබල තත්ත්වයක ඉන්න බව ඒත්තු ගිය නිසයි. ඒ හින්දම තුන්සියයක පෘතුගීසි හමුදාවක් සහ විසි පන් දහසක ලස්කිරිඤ්ඤ ඒ කියන්නේ කුලී හේවා බල ඇණියකුත් එක්ක අසවේදු කන්ද උඩරට ආක්‍රමණයකට මුල පුරනවා. මේ කුලී හේවා බල ඇනියට නායකත්වය දෙන්නේ සීමන් සිඤ්ඤෝ සහ සමරකෝන් මුදලි  කියන ශ්‍රී ලාංකිකයන් දෙදෙනායි. කන්ද උඩරට රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක පලිහ තමයි බලන කොටුව. පහත රටින් සහ හත් කෝරළය, පැත්තෙන් එන සතුරු බල ඇණි මේ බලන කොටුවෙ සිට කදිමට නිරීක්ෂණය කළ හැකිව තිබුණා. ඒ හින්දා කන්ද  උඩරට අත්පත් කර ගන්න නම් මේ මරු නිලයට පහර දිය යුතුය යන්නයි යුද විශේෂඥයකු වුණු අසවේදු ගේ නිගමනය වුණේ. ඒ සඳහා ඔහු මුලින්ම බලන කොටුවේ පරිවාර බල කොටු වන බුද්දස්ගොඩ , අලුත් නුවර , අට්ටාපිටිය, ගණේතැන්න කියන බලකොටුවලට පහර හෙලන්න පටන් ගත්තා. ඒත් ඒ වැඩෙත් අසවේදු හිතපු තරම්ම පහසු වුණේ නැහැ. ඒ ඔය කියන සටන්වලින් තම සේනාවෙ බර ගණනක් මිය පරලොව ගිය හින්දා. කොහොම හරි තමන්ගේ උපරිම බලය යොදවපු අසවේදු එක් දහස් හයසිය තුනේ ජනවාරි දහ අට වැනිදා තමන්ගේ සේනාවන් එක්ක බලන දුර්ගය වෙත ළඟා වුණාය කියමුකෝ. ඒත් බලන කැළයේ තිබුණු රූස්ස ගස් එකික සෙබලුන් ගේ හිස් මතට පතිත වෙන්නත් ඉහළ කඳු මුදුන් වල තිබුණු යෝධ ගල් පර්වත පහළට පෙරලී ඇවිත් සෙබලුන් පණ පිටින් වැළලෙන්නත් පටන් ගන්න කොට තමයි අසවේදුට වැටහුණේ සිංහල හමුදාව  වන සටන්වල මොන තරම් දක්ෂයොද කියලා. කොහොම හරි ඔය අතරේ අසවේදුට ආරංචි වුණා, විමලධර්මසූරිය රජතුමා සටන අතහැරලා බලන කොටුවෙන් සෙංකඩගලට පැනලා ගියා කියලා. මේ ආරංචිය ගෙනාපු සිංහල මිනිස්සු කීප දෙනෙක් අසවේදුට බලන කොටුවට ඇතුල් වෙන පාරත් පෙන්නනවා. කොහොම හරි සිංහලයන්ගෙන් ලැබෙන ඒ මසුරන් වටින ඔත්තුව මත එක් දහස් නවසිය තුනේ පෙබරවාරි දෙවෙනිදා බලන කොටුවට ඇතුල් වෙන අසවේදුට දකින්න ලැබෙන්නේ යකුන් නැටූ පිට්ටනියක් වගේ පාළුවට ගිහින් තියන බලන කොටුවයි. ඉතින් තවත් මොනවද කතා? බලන කොටුවේ පෘතුගාල යුද ජයග්‍රහණ කාහලය වාදනය කරවන අසවේදු එහි සිට මධුපැන් සාදයකුත් පවත්වනවා. ඒත් උන්නැහේ දවස් තුන හතරක් බලන කොටුවට වෙලා  බාල් නටන අතරේ විමලධර්මසූරිය රජතුමා බලන කොටුව වටා සිංහල සේනා රඳවනවා. පරංගීන්ට එළියට එන්න බැරි විදිහට.  පස්සෙයි අසවේදුට වැටහෙන්නේ රජතුමා මේ විදිහට පසු බැහැලා තියෙන්නේ යුද උපායක් විදිහට කියලා. මෙතනදී  බලන කොටුව වට කරගෙන ඉන්න සිංහල සේනා සහ පරංගීන් අතර යුද්දේ දී පරංගී ලේවලින් බලන කොටුවෙන් ගලා බසින දිය  පාරවල් පවා රතුපාට වුණාය කියලා කියනවා. මේ සටනින්  පෘතුගීසි භටයන් තුන්සියයකුත් කුලී හේවායන් විශාල පිරිසකුත් මිය ගිය පුවත රිබියරෝ කියන පෘතුගීසි කපිතාන් වරයා ගේ ඉතිහාස වාර්තාවකින්ම තහවුරු  වෙනවා. කොහොම හරි මේ විදිහට ගියොත් තමන්ටත් මේ බලන කොටුවේ දීම කෲර මරණයක් අත්පත් වෙන බව දැන ගත්තු වීර සිංහයෙක් වගේ කන්ද උඩරට ජයගන්න  ගිය අසවේදු නිවට සිඟාලයෙක් වගේ ආයිමත් මල්වානේ තමන්ගේ මන්දිරයට පසු  බසිනවා. නමුත් ඒ වෙන කොටත් එතෙක් මෝඩ නිවට , නියාලු පිරිසක් විදිහට අනික් පළාත්වල වැසියන් ගෙන් ආඩපාලි අහපු අහිංසක සියනෑ කෝරලේ වැසියන් අසවේදු පිළිගන්න මල්වානේ මාලිගාවේ ගස්වල  අපූරු සැරසිල්ලක් යොදලා  ඉවරයි. ඒ සැරසිල්ල සකස් කරලා තිබුණේ මාලිගාවෙ ආරක්ෂාවට රඳවලා හිටිය නිලධාරීන්ගේ සහ හේවායන්ගේ මිනී ඔළු වලින්. මේක දකින ඕනෑම කෙනෙකුගේ ඉහ මොළ රත් කරවන ත්‍රාස ජනක දර්ශනයක්.


මුළු රටටම බියෙන් සලිත කළ  මේ මහා ත්‍රස්තවාදියා සියනෑ කෝරලේ වැසියන්ගේ මේ හපන් කමින් මොන තරම්  භ්‍රාන්ත වුණා ද කිව්වොත් ඒ මොහොතෙම මල්වානෙ තමන්ගේ මාලිගාව අත හැරලා ගිහින් කෙළින්ම නතර වෙන්නේ ඒ වෙනකොට පෘතුගීසීන් යටතේ තිබුණු කොළඹ කොටුව ඇතුලේ. කොහොමද මෝඩ නිවට නියාලූ සියනෑ කෝරලේ ගැමියන්ගේ අහිංසක වැඩ.

No comments:

Post a Comment