දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, August 30, 2014

රන්වල දෙවියන් අතීතයේ විසූ ‛පොඩි මිනිහාගේ’ වීරයෙක්ද? - Was the God Ranwala a peoples' Hero


පුවක්පිටියේ පහන ළඟ දේවාලයඉදිරිපිට ඇති රන්වල දේව ප්‍රතිමාව

රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාව විවිධ ආකාරයෙන් විස්තර වුණත් ඒ කතා ප්‍රවෘත්තීන් අතරින් වැඩිපුරම ප්‍රසිද්ධියට පත් වී තිබෙන්නේ එතුමන් දෙවැනි රාජසිංහ රජුගේ සමයේ, එනම් ක්‍රි.ව. 1635 - 1687 කාලයේ විසූ ප්‍රතාපවත් පුරුෂයකු බවයි. අපේ රටේ ඇදැහෙන ප්‍රාදේශීය දෙවිවරුන් ගතහොත් එතුමන්ලාගේ උත්පත්ති කතා බොහොමයකට සියවස් හතරකට වඩා ඉතිහාසයක් නැහැ. ඒ අනුව රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාවත් මහනුවර යුගයට සීමා වී ඇති බව පෙනෙනවා. 


රන්වල දෙවියන් දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ ජීවත් වූ අයකු බවයි පුරාවෘත්ත බොහොමයක සඳහන් වන්නේ. ඒ කාලයේ කෑගල්ලට නුදුරු රන්වල ගමේ රජුට අයත් වී අටුවක් හෙවත් පත්තායමක්තිබූ බව පැවසෙනවා. ඒ ගමේ අලවතුරේ රාළසහ ගනේගොඩ රාළනමින් ප්‍රබල පෞරුෂයකින් යුක්ත තරුණයන් දෙදෙනෙක් ජීවත් වී තිබෙනවා. පොදු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා බොහෝ කැපවීමෙන් කටයුතු කළ මොවුන් දුක්විඳින ජනතාවගේ හෙවත්  පොඩි මිනිහාගේවීරයන් දෙදෙනෙකු ලෙස ද  කටයුතු කරන්නට ඇති බවත් සිතන්නට පුළුවන්. 


දිනක් ඒ ගමේ තිබූ රජුට අයත් පත්තායම බිඳ කිසියම් පිරිසක් විසින් එහි තිබූ වී රැගෙන ගොස් තිබෙනවා. ඒ කාලයේ සාමාන්‍යයෙන් පැරණි ගම් සැලැස්ම අනුව එක ගමකට පිට ගමකින් පැමිණෙන කෙනෙකුට කිසිසේත්ම පහසුවෙන් පිවිසිය නොහැකියි. ඒ කාලයේ මාර්ග පහසුකම් අද වාගේ විවෘතව තිබුණේ නැහැ. ඒ වගේම ඒ ගම්වල පිහිටීම අනුව ස්වභාවික ස්වාරක්ෂක පද්ධතියක් දකින්නට තිබුණා. එයින් අදහස් කළේ ගමට ඇතුලුවන්නවුන් සහ පිටවන්නවුන් පිළිබඳව සියලු ගැමියන් ඉතා සැළකිල්ලෙන් සිටි බවයි. ඒ නිසා යම් ගමකට පිටගම්කාරයකු පැමිණියහොත්, ඔහු පැමිණෙන්නේ කුමකටද, ඔහු ගමන් කරන්නේ ගමේ කිනම් ස්ථානයකටද, ඔහු පිටව යන්නේ කවදාද වැනි දේවල් ගැමියන් දැන සිටියා. අදත් පිටිසර පළාත්වල ගම්වලට යම් පිටස්තර පුද්ගලයකු ඇතුළු වුවහොත් ඒ පිළිබඳව සියලු දෙනාම දැනුවත්ව සිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇති දෙයක්. ඒ අනුව මේ වී අටුව කැඩීම පිටස්තරයකුට කළ නොහැක්කක් බව ගම්මුන් තේරුම් ගත්තා. ඒ වගේම මෙවැනි ක්‍රියාවක් කරන්නට විශාල නිර්භීත කමක් ද අවශ්‍යයි. ඒ කාලයේ පැවැති නීතියට අනුව කිසියම් ගමක බරපතල සොරකමක්, අපරාධයක් වැනි යමක් සිදුවුවහොත් ඒ අපරාධය රජුට හෙළිකිරීම මුළු ගමේම සාමූහික වගකීමක්. එසේ නොවුනහොත් එකල තිබුණු නීතියට අනුව ගමේ සියලු දෙනාම මෙයට සාමුහිකව වගකිවයුතු වෙනවා. මේ සොරකමත් සමඟම මුළු ගමම රාජ උදහසට ලක්වේ යැයි කියන බිය නිසා මුළු ගමම තැති ගත්තා. අවසානයේ මේ පිළිබඳව විමර්ශනය කළ වී අටුව භාර රාජ්‍ය නිලධාරියා හෙවත් පත්තායමේ ලේකම් රජවාසලට දන්වා සිටියේ මේ වී අටුව බිඳීම සම්බන්ධයෙන් ගනේගොඩ රාළත්, අලවතුරේ රාළත් සැක කළ හැකි බවයි. මෙයින් බරපතල ලෙස කෝපයට පත්වන දෙවැනි රාජසිංහ රජතුමා ඒ දෙදෙනා අල්ලා මහවාසලට ඉදිරිපත් කිරීමට කටුපුල්ලේ ආරච්චිහෙවත් දඬුවම් පැනවීමේ නිලධාරියාරජවාසලින් පිටත් කළා.



ඔහු සුදු පිරුවටයකින් එතූ ආඥා වේවැල’, එනම් රාජ ආඥාව පිළිබිඹුවන වේවැලත් අරගෙන තවත් දස දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකුත් එක්ක ගැටඹේ තොටින් මහවැලි ගඟින් එතෙරව ගමන පිටත් වුණා. මේ ආඥා වේවැල කටුපුල්ලේ තැන විසින් කිසිවකුගේ ශරීරයේ ස්පර්ශ කළ සැනින් ඔහු රාජ ආඥාවට යටත්ව අත්අඩංගුවට පත්වූවකු ලෙස සැළකෙනවා. ඒ අනුව ගම්වාසීන් සියලු දෙනා ද ඒ තැනැත්තා රජවාසලට ඉදිරිපත් කිරීමට සහාය දැක්විය යුතුමයි. නැතහොත් ඒ ගම්වැසියන් ද වරදකරුවන් බවට පත්වෙනවා. 


මේ රාජදූත පිරිසේ සැළසුම වී තිබුණේ ගන්නොරුව පසුකොට දන්තුරේවතුර මැදින් බලන කඩවතට පැමිණීමයි. බලන කඩවතට රාජ්‍ය නිලධාරීන් පිරිස පැමිණි බව දැනගන්නා ගනේගොඩ රාළ සහ අලවතුරේ රාළ, සිදුවන්නට යන දේ එතරම් හොඳ නැති බව තේරුම් ගෙන හොර රහසේම රන්වලින් පිටත් වුණා. දෙවැනි රාජසිංහ රජු මනා පෞරුෂයකින් යුක්ත, නායකත්ව ගති ලක්ෂණ පෙන්නුම් කළ තරුණයන් කෙරෙහි එතරම් ප්‍රසාදයක් දැක්වූ අයෙකු නොවන බවට සාධක කිහිපයක්ම දකින්නට ලැබෙනවා. අලවතුරේ රාළට සහ ගනේගොඩ රාළට මෙම ප්‍රදේශය අතහැර යන්නට එයත් හේතුවක් වන්නට ඇති. රජු තරුණයන් කෙරෙහි දැක්වූ අප්‍රසාදජනක ආකල්පයට එක් උදාහරණයක් ද අපට ඉතිහාසයෙන් සොයාගත හැකියි. 


දෙවෙනි රාජසිංහ රජුට විරුද්ධව කන්ද උඩරට 1664දී කැරැල්ලක් ඇති වුණා. රජතුමාගේ කෲර පාලනයට විරුද්ධට ඇතිවුණු මෙහි අරමුණ වූයේ රජුගේ දහතුන් හැවිරිදි පුතු බලයට පත්කිරීමයි. මෙහිදී රජුට සැඟවී සිටින්නට ද සිදුවුණා. මෙයින් පසුව රජු අතිශය සිත්පිත් නැති අයකු ලෙස කටයුතු කරනු දක්නට පුලුවන්. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයෙහි සඳහන් එක්තරා පුවතක් මෙසේයි. 


දිනක් දිය ක්‍රීඩාවේ යෙදී සිටින විට රජතුමා එකවරම දියේ ගිළෙන්නට පටන් ගන්නවා. නමුත් මෙය බොරු රඟපෑමක් බව දන්නේ රජු පමණයි. මේ අවස්ථාවේ දියට පනින ශක්තිවන්ත තරුණයන් දෙදෙනෙක් රජතුමාව බේරාගෙන ගොඩට පැමිණෙනවා. රජතුමා දියෙහි ගිළෙන්නට යද්දී තරුණයන් දෙදෙනෙකු ඔහුව බේරාගැනීමේ සිද්ධිය රාජධානිය පුරා ඉතා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වෙනවා. මේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඉදිරියට පැමිණෙන රජතුමා වධකයන් භාරව සිටින නිලධාරියට කතා කරනවා. මෙයින් සියලු දෙනාම අන්දමන්ද වෙනවා. රජු පවසන්නේ මෙවැන්නක්. 


මා වතුරේ ගිළෙන්නට යන වෙලාවේ මට නුඹලාගේ ශරීර අල්ලාගෙන ගොඩට ඒමට ඉඩ නොදී, මාගේ අවසරයක් නොමැතිව නුඹලා මාගේ රාජකීය ශරීරය ඇල්ලුවේ ඇයි?” 


එසේ අසා ඔවුන් දෙදෙනාගේ හිස සුන් කරදමන්නැයි රජු වධකයන්ට නියම කරනවා. පෞරුෂයක් ඇති තරුණයන්ට රජු අකැමැත්ත පෙන්වූ එක් අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකියි. මේ පිළිබඳව අවබෝධයෙන් සිටි අලවතුරේ රාළ සහ ගනේගොඩ රාළගේ අරමුණ වන්නේ කන්ද උඩරට රාජ්‍ය සීමාවෙන් පිටවීමයි. යටියන්තොට මිටියාවත ඔස්සේ අවිස්සාවේල්ලට එන ඔවුන් උණගස් කිහිපයක් කපා එයින් පහුරක් තනා කැලණි ගඟ ඔස්සේ පහළට පැමිණෙන්නට පටන් ගන්නවා. මේ කාලයේ කැලණි ගඟේ පහුරු ගමන් කිරීම ඉතාමත් සුලබ දෙයක්. ඔවුන් මේ ආකාරයෙන් කන්ද උඩරට රාජධානි සීමාව පසුකළා. මෙම සීමාව වැටී තිබුණේ කැලණි ගඟේ දුම්බුකඩුවනම් ස්ථානයෙන්.  මෙම ස්ථානය පසු කොට පහළට පැමිණියාට පසු අලවතුරේ රාළ, “මට දැන් මේ ආවා ඇතියැයි කියා ගං ඉවුරේ තැනක පහුර නතර කරගත්තා. ගනේගොඩ රාළ ඒ පහුරෙන් තව ටිකක් පහළට ගමන් කොට දංගල්ල කියන ස්ථානයේ නතරවුණා. පසුව ඔහු එම ගමෙන් විවාහයක් ද කරගත්තා. 


කෙසේ නමුත් අලවතුරේ රාළ ගොඩබැස්සේ කැලෑබදව තිබුණු ප්‍රදේශයකටයි. එය කිසිදු දියුණුවක් තිබූ ස්ථානයක් නෙවෙයි. අලවතුරේ රාළ තමන්ගේ නායකත්ව හැකියාවත් උපයෝගී කරගනිමින්, මෙම කැලෑ ප්‍රදේශය එළිපෙහෙළි කරලා එතැන ගම්මානයක් ගොඩ නැගුවා. එසේ ගොඩනගපු ගම්මානය තමයි රන්වලනමින් ප්‍රකට වන්නේ. ටික කාලයක් යද්දී මේ තැනැත්තා රන්වල රාළනමින් ඒ ගමේ ප්‍රධානත්වයට පත්වුණා. මානව දයාව, පරෝපකාරය, ඉවසීම, සමානත්මතාවය වගේ උසස් ගුණාංග ගණනාවක්ම මේ රන්වල රාළගෙන් දකින්නට ලැබුණා. මේ නිසා මේ ගමේ වැසියන් ඔහු ජීවත් සිටි කාලයේ සිටම ඔහුට දෙවියකටු වගේ සළකන්නට පටන් ගත්තා. ඔහු මියගියාට පසුව ඔහු ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාව ඔහු දේවත්වයට පත් කරලා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත් බවයි ඒ ජනප්‍රවාදයේ සඳහන් වන්නේ රන්වල දෙවියන් පිළිබඳ මේ කතා ප්‍රවෘත්තිය ධර්මබන්ධු අමරසේකර ලියූ ඓතිහාසික ජනකතා’, සුසන්ත ජයමාන්න ලියූ අසිරිමත් කැලණිය’, ආර්. ඒ පියදාස ලියූ රන්වල දෙවියෝ’, වේරහැර අරියවංශ නාහිමියන් සංස්කරණය කළ සීතාවක පුරයසහ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙනිය ලියූ සිංහල දේව පුරාණයකෘතියේත් සඳහන් වෙනවා. 


මේ කතාවල තිබෙන ආකාරයට අලවතුරේ රාළ කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ කෙනෙක්. රන්වල දෙවියන් පිළිබඳ මේ ජනප්‍රවාදයට වඩා තරමක් වෙනස් ජනප්‍රවාදයකුත් අප හමුවේ තිබෙනවා. එහි රන්වල දෙවියන්ගේ ප්‍රේම කතාවක් පිළිබඳවත් සඳහන්. ඒ ජනප්‍රවාදයට අනුව පෙනෙන්නේ ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකළ අයෙක් නොවෙන බවයි. රන්වල දෙවියන්ගේ ඒ ප්‍රේම කතාවගැන අපි ලබන සතියේ කතා කරමු. 

ඊළග ලිපිය - ගල් ලෙනක් තුළ යුග දිවිය ගෙවූ රන්වල දෙවියෝ

1 comment:

  1. රසවත් තොරතුරු. මමත් මේ ලඟදී විස්කම් දෙයියෝ ගැන ලීවා
    ඔබට ස්තූතියි මේ තොරතුරු බෙදාගන්නවට

    ReplyDelete