ගම්පහ දිසාවෙන් මතු වූ දේව විශ්වාස අතුරින් කළු කුමාරයාට හිමිවන්නේ ප්‍රධාන තැනක්. අප කවුරුත් දන්නා පරිදි කළු කුමාරයා කියන්නේ උඩුගම්පොල රජ කළ සකලකලාවල්ලභ රජුගේ වැඩිමහල් පුතු වූ ‛කලු බණ්ඩාර’ හෙවත් ‛මැණික් සාමි’ කුමාරයායි. ඔහු පිය රජු ඝාතනය කරන්නට මඟුල් පොකුණේ උල් සිටුවා ඒ කුමන්ත්‍රණය හෙළිවීමෙන් පසු ‛වීරා’ නම් තම සගයා සමග ශ්‍රී පාද අඩවියේ කුණුදිය පර්වතයට පළා ගිය බවත් එහි ජීවත්වීමට නොහැකිව අවසානයේ කුණුදිය පර්වතයෙන් බිමට පැන දිවි නසාගත් බවත් අප දැන් හොඳින් දන්නවා. ඒ අනුව මේ කුමාරයා මරණයෙන් පසු ‛කළු කුමාරයා’ ලෙසින් හැඳින්වුණු බවයි මූලිකව කිව හැක්කේ. එහෙත් අපේ රටේ පවතින මේ කළුකුමාර ඇදහීමට මේ ජනප්‍රවාදයට අමතරව තවත් ජනප්‍රවාද රාශියක් පාදක වී තිබෙනවා. ඒ අනුව මේ කළුකුමාර සංකල්පය විස්තර කිරීමේදී පහත දැක්වෙන පුරාණෝක්ති ගැනත් අපට සිතන්නට සිදුවෙනවා.
1. කළුකුමාරයා කියන්නේ විජය කුමරුට දාව
කුවේණියගේ කුසින් උපන් ජීවහත්ත කුමාරයායි. පිය රජු විසින් නෙරපනු ලදුව තම සොයුරිය
වූ දිසාලා සමඟ වනයට පිවිසි මේ කුමරුවා කෙරෙහි ස්ත්‍රීන් බලවත් සේ ලොල් වූ බවත්
එනිසාම කුමරුවා ද දැඩි ස්ත්‍රී ලෝලියකු වූ බවත් ඒ ජනප්‍රවාදයන්හි සඳහන්. එහි ප්‍රතිපලය
වුණේ ස්ත්‍රීන්ගේ පෙරැත්තය මුල්කොට ගෙන ඔවුන් සමග අධික ලෙස කාම සම්භෝගයේ යෙදීමේ
හේතුවෙන්ම කුමරා අකාලයේම මියගිය බවයි. ඉන්පසුව කාන්තාවන් කෙරෙහි හටගත් වෛරය
මුල්කොට මොහු ‛කළුකුමාර’ නමින් යක්ෂ ආත්මයක් ලබා කාන්තාවන්ට වින
කරන බවයි මුල් පුරාවෘත්තයෙහි පැවසෙන්නේ.
2. දෙවැනි පුරාවෘතත්යට අනුව කළු
කුමාරයා යනු ඉන්දියානු සම්භවයක් ඇති කුමරුවෙක්. නිරතුරුවම බවුන් වැඩීම නිසා ඍද්ධි
බලයක් හිමි කරගත් මේ කුමරුවා අහසින් ගමන් කිරීම වැනි හාස්කම් පෑමට සමත්ව තිබෙනවා.
කෙසේ හෝ දිනක් ඍද්ධි බලයෙන් අහසින් යන අතර ඒ රටේ රජුගේ අතිශය රූමත් දියණිය දැකීම
නිසා හටගත් කාමාශාව මුල්කොට කුමරුගේ ඍද්ධි බලය නොමැති වී ඔහු බිමට පතිත වී මිය
ගොස් තිබෙනවා. ඉන්පසුවයි ස්ත්‍රීන් පිළිබඳ හටගන්නා වෛරය මුල්කොටගෙන ඔවුන්ට වින
කිරීමට කුමරා පෙළෙඹෙන්නේ. ආර්. එල්. බ්‍රෝහියර් ලියූ ‛ඩිස්කවරින් සිලෝන්’ (Discovering
Ceylon) නම් කෘතියේ මේ ජනප්‍රවාදය දකින්න
පුළුවන්.
3. මේ තුන්වන කළු කුමාර වෘතාන්තයට අනුව
කළු කුමාරයා යනු එක්තරා කුමරියක් කෙරෙහි දැඩි ආලයෙන් පසුවූ රජ කුමරෙක්. කෙසේ හෝ
අකල් මරණයකට පත්වන මේ කුමරා පසුව මේ කුමරියට ආවේශවීමට පටන් ගෙන තිබෙනවා. ඉන්පසු ඒ
හේතුවෙන් කුමරිය ද මරණයට පත් වෙනවා. කෙසේ හෝ චිතකයේ එම කුමරියගේ මළ සිරුර දැවෙද්දී
කළුකුමාරයා ඇයට නැවත පණදී ඇය තමාගේ බිසව බවට පත්කරගන්නවා. පෙරදිග භාෂා විශාරද
එල්.ඩී. බානට් පඬිවරයා ලියූ ‛සැහැළි මූලාශ්‍ර මගින් සිංහල ජනශ්‍රුති
සඳහා අකාරාදී මගපෙන්වීමක්’ (Alphabetical
Guide to Sinhalese Folklore from Ballad Sources) නම් කෘතියෙහි ඒ පුවත සඳහන්.
4. ඊළඟ කළුකුමාර උපත පිළිබඳ සඳහන්
වන්නේ මහනුවර යුගයේ සිදුවීමක් ලෙසින්. එහි කළුකුමාරයා වශයෙන් උපත ලබන්නේ පළමුවන
විමලධර්මසූරිය රජුට දාව කුසුමාසන දේවි හෙවත් දෝන කතරිනා බිසවගේ කුසින් උපන් ‛මහා අස්තාන කුමාරයා’යි. ‛දිය කෙළියට මහවැලි ගඟට ඇරලා කුමාරයාගේ
මව් බිසවට නොදන්වා එක්කගිය වුන් ලවා දියේ ඔබා මරා දැමූහ.‛ කියා තමයි මේ මහා අස්තාන කුමාරයාගේ මරණය පිළිබඳ
රාජාවලියේ සඳහන් වන්නේ.
නමුත් ‛සෙංකඩගල කළු කුමාර කවි’ නම්
ජනකාව්‍යයෙහි එන විස්තරයකට අනුව ඒ මරණය සිදුවන්නේ වෙනත් ආකාරයකට. මේ කතා ප්‍රවෘත්තියට
අනුව කුමරුවා කොණ්ඩ කුරුල්ලන් කෙටවීමෙහි
දක්ෂයෙක්. දිනක් කුමරුවා තමන්ගේ බාප්පා වූ සෙනරත් රජුගෙන් ඔහුට අයිති කොණ්ඩ
කුරුල්ලෙක් කෙටවීම සඳහා ඉල්ලා සිටිනවා. නමුත් රජතුමාගෙන් එය ලැබෙන්නේ නැහැ. මින් කෝපයට පත් කුමරා කරන්නේ ඒ කොණ්ඩ කුරුල්ලා
මරා දැමීමයි. එවිට කෝපයට පත් රජතුමා, කුමාරයා
මහවැලි ගඟෙහි ගිල්වා මරා දමනවා.
ඒ පිළිබඳව විස්තරය ‛කළුකුමාර කවි’ නම් පද්‍ය සංග්‍රයෙහි ඇතුළත් වෙනවා. මීට අමතරව කළු කුමාරයාගේ
උත්පත්තිය පිළිබඳව තවත් තොරතුරුත් දැනගන්නට පුලුවන්. නමුත් අප මේ කතා කරන්නේ උඩුගම්පොල
කළු කුමාරයා ගැනයි.
මේ කළු කුමාරයා ජීවත්ව සිටි කාලයේ පිය
උදහසට බියෙන් කුණුදිය පර්වතයට පළාගිය වීර මුණ්ඩ දෙවියන් හා ඍජු සම්බන්ධයක් පැවැති
අයකු ලෙස සැළකෙනවා. ඒ වගේම මහනුවර ඇදැහෙන කළුකුමාර දේව ඇදහිල්ලේත් තරුණියන්ට වින
කිරීම පිණිස කළුකුමාරයාට බලය දෙන්නේ වීරමුණ්ඩ දෙවියන් බවට සඳහනක් තිබෙනවා. ඒ අනුව
මේ කළුකුමාර වීරමුණ්ඩ සංකල්පය උඩුගම්පොල පුරාවෘත්තයට පමණක් සීමා වූවක් නොවේ.
කෙසේ හෝ පොදුවේ ගත් විට මේ කළුකුමාරයා යනු අවිවාහක, නැතහොත් තනිව හිඳින කතුන්ට වින පමුණුවන,
ඔවුන් බිය ගන්වන, ඔවුන් කෙසඟ බවට පත්කරන ඒ වගේම ඔවුන් රෝගී කරවන, ඇතැම් විට ජීවිතය අවාසනාවන්ත කරවන යක්ෂ ගණයේ දේවතාවකු ලෙසයි
සැළකෙන්නේ. මෙහිදී කළු කුමාරයා යනු යක්ෂ ගණයේ දේවතාවෙක් වුවත් මේ කළුකුමාරයා
වෙනුවෙන් කිසිම දෙවොලක් ඉදි නොවීමත් විශේෂත්වයක්. නමුත් කළු කුමාර දෝෂයට අපේ රටේ
ප්‍රදේශවල කළුකුමාර යාගය, කළුකුමාර නැටුම, කළුකුමාර ගොටු දීම ආදී වශයෙන් ශාන්ති කර්ම
කරනවා. ඒ හැරුණු කොට සියනෑ කෝරලේ පවතින ‛යකුන් ඇදහීම’ නම් පැරණි චාරිත්‍රවලියේත් වීරමුණ්ඩ
කළුකුමාර යන දෙවියන් දෙදෙනා වෙනුවෙන් විශේෂ වත්පිළිවෙත් අනුගමනය කරනවා. එහිදී
කියවෙන යාතිකාවේ මෙවැන්නක් සඳහන්.
‛කළුකුමාර දෙවියන් වහන්සේගෙන් වන්නා
වූ යක්ෂ උපද්‍රාවල් දුරුකර බලා ආයෙත් එන
අවුරුද්දේ අඟුරු දුම්මල අතක් අල්ලන තුරා කිසියම් යක් දෝෂයක්, දිවි දෝෂයක් තියෙන්න ඉඩක් තියන්නේ නැතිව සකල
ශරීර පංචස්කන්දවල් දේවාරක්ෂ බන්ධවා දෙන්ඩ කළු කුමාර දේවතාවහන්සේගේ අවසර
කප්පාන්තිරයකටම ආයුබෝ වේවා අයුබෝවේවා’.
මෙම යාදින්න වාර්ෂිකව සියනෑ කොර්ලේ
පැවැත්වෙන යකුන් පිදුම හෙවත් ‛යක්කාණ්ඩුව’ උදෙසා පවත්වන ශාන්තිකර්මයේම කොටසක්. කෙසේ හෝ එම ශාන්තිකර්මයේදී ඉහත
සඳහන් කළුකුමාර වෘතාන්තවලින් උඩුගම්පොල වෘතාන්තය පමණක් මුල්කරගැනීම මෙහි
විශේෂත්වයක්. ඒ අතරේ කළුකුමාරයාගේ අනුහස් පිළිබඳ කියවෙන ජනකවියකුත් අපට සොයාගත
හැකිවී තිබෙනවා.
ඒ මෙසේයි
‛එතෙර කරදිය වළල්ලේ සිටගෙනයි ගමරට
බලන්නේ
මෙකල කුණුදිය පර්වතේමයි නිතර දෙවියෝ
වසන්නේ
නොකී ලෙඩකට අයැද සිටියොත් සැනින් ගුණ
කර දමන්නේ
මෙකළු කුමරුගේ අනුහසින් තම දෝෂ දුරුකර
හරින්නේ’
මේ කවිය දැනට පොදු ජන භාවිතයෙන්
බැහැරවෙමින් තිබුණත් උඩුගම්පොළ කළු කුමාර ඇදහීම පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නෙකුට
තවත් මෙබඳු අප්‍රකට කවි ආදිය සොයා ගත හැකිවනවාට කිසිදු සැකයක් නැහැ.
අර ඩී අයි ජී උඩුගම්පොල බඩු කිං. ඌට මේ කලුකුමාරයා කියන එකා පරාදයි.
ReplyDelete