රන්වල දෙවියන්ගේ රුව දැක්වෙන සිතුවමක් |
රන්වල දෙවියන් අතීතයේ අපේ රටේ ජීවත් වූ
උතුම්, ගුණ යහපත් මිනිසකු බවත්, එනිසාම මරණින් පසු එතුමා දේවත්වයට පත් වූ බවත්,
ජීවිත කාලය තුළ මහජනතාවට හිතසුව පිණිස විවිධාකාරයෙන් පිහිට වූ එතුමා මරණයට පත්වීමෙන්
පසු අද දක්වාම තමන්ගෙන් පිහිට යදින්නන්ට ඇප උපකාර කරන බවත්, පිහිටාරක්ෂාව සළසන බවත් ජන සම්මතයේ පවතින
දෙයක්.
‛රන්වල මුත්තා’, ‛රන්වල හාමුදුරුවන්’ වැනි නම්වලින් හඳුන්වනු ලබන රන්වල දෙවියන් අතීතයේ අපේ රටේ සිටි ජන ප්‍රධානියකු
බව මූලික වශයෙන් අනුමාන කළ හැකියි. මන්ද ‛හාමුදුරුවන්’ යනුවෙන් ඇමතුම් ලබන්නේ අතීතයේ විසූ
ජනප්‍රධානීන් බව විවිධ මූලාශ්‍ර අනුව තහවුරු වෙනවා. විශේෂයෙන් අතීතයේ ගමක පොදුවේ
ගරු බුහුමන් ලබන වැඩිහිටියන් ‛මුත්තා‛ යනුවෙන් හැඳින්වුණා. ‛හාමුදුරුවන්’
යන්න වර්තමානයේ භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට
යොදන ලද්දක් වුණත්, වංශවත් ගිහි ප්‍රභූන් හැඳැින්වීම
පිණිසත් ‛හාමුදුරුවන්’ යන නම අතීතයේ යෙදී තිබෙනවා. එයට හොඳම නිදසුනක් තමයි අපේ රටේ අදහන
දෙවිවරුන් අතර ‛මුත්තා හාමුදුරුවෝ’ නම් ප්‍රාදේශීය දෙවි කෙනෙකු සිටීම. මුත්තා හාමුදුරුවන් යනුවෙන් හඳුන්වන්නේ
පෘතුගීසි සමයේදී බලපිටිය, වැලිතර, වැලිවත්තේ විසූ ‛පිනෙස් ප්‍රේරා ආරච්චි’ නම් ජන ප්‍රධානියායි. ‛දේසේ’ යනුවෙන් එකල හැඳින්වුණු මාලදිවයිනට ගොස් රටදෙල් ගෙනැවුත් ඒවා අප රටට
හඳුන්වාදී ඇත්තේ ඔහු බව සඳහන් වෙනවා. මරණින් මතු ඔහුව ‛මුත්තා හාමුදුරුවෝ’ යන
නමකින් හඳුන්වන්නට පටන්ගන්නවා. මීට අමතරව ආඬිඅම්බලම ප්‍රදේශයේ විසූ ජන ප්‍රධානියකු
මුල්කොට ඇති වූ ‛උඩවල මුත්තා’ දේව සංකල්පය අද වන විට නැත්තටම නැතිවී යන තත්වයකට පත්ව තිබෙනවා. නමුත් අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරමු.
රන්වල දෙවියන්ගේ ඓතිහාසික පසුබිම
පිළිබඳ විමසා බැලීමේදී කතා ප්‍රවෘත්තීන් කිහිපයක්ම ඉස්මතු කරගන්නට පුලුවන්. ඉන්
පැරණිම කතාව වන්නේ රන්වල දෙවියන් සීතාවක රාජසිංහ රජ සමයේ ජීවත් වූ අයකු බවයි. කාල
වකවානුව ලෙස සලකා බලන විට එය ක්‍රි.ව. 1578 සහ 1592 සමයයි. සීතාවක රාජසිංහ රජතුමා සමකාලීන
භික්ෂූ සමාජය සමඟ ගැටුම් ඇතිකරගත් අයකු බව පෙනෙන්නට තිබෙනවා. ඊට පෙර හා පසු ජීවත්
වූ සියලුම රජවරුන් රාජ්‍ය පාලනය සඳහා තමන් තෝරාගත් භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන්
අවවාද අනුශාසනා ලබාගැනීමට පෙළඹුණු බව ඓතිහාසිකව සනාථ වන්නක්. නමුත් සීතාවක රාජසිංහ
රජතුමා මේ මග ගමන් කරන්නට කැමති වූයේ නැහැ. ඔහු ‛ටිකිරි කුමාරයා’ නමින් සිටි කුඩා සමයේදීත් භික්ෂූන්
වහන්සේලාව එතරම් සැළකිල්ලකට ගත් බවක් සඳහන්ව නැහැ. එනිසාම එවකට සිටි ස්වාමීන්
වහන්සේලා ඔහුගේ වැඩිමහල් සොයුරා වූ ‛තිඹිරිපොළ
කුමාරයාට’ රාජ්‍ය බලය ලබාදීමට රහසින් සැළසුම්
කළා. සීතාවක රාජසිංහයන් හෙවත් ටිකිරි කුමාරයා සමකාලීන සංඝ සමාජය සමඟ ගැටුමකට
අවතීර්ණවීමට මුල්ම හේතුව මෙයයි.
කෙසේ හෝ සීතාවක රාජසිංහ රජතුමා බුදු
දහමට එරෙහිව කටයුතු කළ බව මහනුවර යුගයේ ලියැවුණු චූලවංශයේ ද සඳහන් වෙනවා.
තිබ්බොටුවාවේ සිද්ධාර්ථ නම් ස්වාමීන් වහන්සේ නමක විසින් ලියන ලද චූලවංශයට
මෙවැන්නත් ඇතුළත් කොට ඇත්තේ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කටින් කට පැවත ආ අසත්‍ය
ප්‍රචාර නිසා බව පැහැදිලියි. මක්නිසාද සීතාවක රාජසිහ රජතුමා සමකාලීන භික්ෂු සමාජයේ
කුමන්ත්‍රණයක් මැඬලීමට එක්තරා අන්දමක භික්ෂු මර්දනයක යෙදුණත් සියලුම භික්ෂූන්
වහන්සේලාට එසේ නොකළ බව පෙනෙන්නට තිබෙන නිසයි. මෙයට හොඳම නිදසුනක් නම් එවක දළදා වහන්සේ වැඩසිටි කුරුවිට දෙල්ගමු රජ
මහා විහාරයේ දළදා වහන්සේ වෙනුවෙන් සියලු වතාවත් කිරීමට අනුග්‍රහය දීම සහ තමන්ගේ
මාලිගාවට ‛අතපොවන මානයේ’ පිහිටි මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන්
වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කිරීමට කටයුතු කිරීමයි.
අපේ කතා නායක රන්වල දෙවිඳුන් මේ කාලයේ
සීතාවක රාජසිංහයන්ගේ භාණ්ඩාගාරය භාරව සිටි නිලධාරියකු ලෙසයි හැඳින්වෙන්නේ. එකල ඔහු
‛සම්පත් රාළ’ නමින් හැඳින්වී තිබෙනවා. කෙසේ හෝ සීතාවක රාජසිංහ රජුගෙන් භික්ෂු
සමාජයට සිදුවූ ඇතැම් කෲර ක්‍රියා නිසා කළකිරුණු සම්පත් රාළ තවත් අතවැසියන්
දෙදෙනෙකු සමඟ රාජ සේවයෙන් ඉවත්ව තමන්ගේ උපන් ගමට පැමිණි බවත්, ඉන් පසු එහි දැහැමි ජීවිතයක් ගත කළ බවත් එක
ජනප්‍රවාදයක සඳහන් වෙනවා. ඔහු සමග පැමිණි එක් පුද්ගලයකු ‛රන්කිරි රාළ’ ලෙසින් හැඳින්වෙන බවත්, ඔහුගේ පරපුර අද ද ‛රන්කිරි පතිරැන්නහැලාගේ’ ලෙසින්
හැඳින්වෙන බවත් පැවසෙනවා. නමුත් සම්පත් රාළගේ ගම ‛රන්වල’ බවයි එම ජනප්‍රවාදයේ සඳහන්වන්නේ.
අතීතයේ මෙම ප්‍රදේශයේ රත්රන් පිරුණු වලක් තිබූ නිසා එම ප්‍රදේශය ‛රන්වල’ වූ බව ජනප්‍රවාදවලින් තහවුරු වෙනවා. මෑත කාලයේදීත් පූගොඩ නගරය ආශ්‍රිතව
කැලණි ගඟ දෙපසේ ‛කුමාරිමුල්ල’ ඇතුලු ස්ථාන කිහිපයකින්ම රත්රන් හමුවුණා. ඒ අනුව අතීතයේ ‛රන්වල’ නම් ගම් ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිතව රත්රන් ලැබෙන ස්ථානයක් හෙවත්
වලක් තිබූ බවට අනුමාන කරන්නට පුලුවන්.
කෙසේ හෝ සීතාවක රජුගේ රාජ සේවයෙන්
නික්ම අවුත් ඉතා දැහැමි සිල්වත් දිවිපවෙතක් ගත කරමින් ජීවත්වුණු ඔහු රාජ්‍ය සේවයේ උසස් තනතුරක් දැරීම නිසා ‛රාළ’ යන ගෞරවාන්විත නාමයෙන් හැඳැින්වී තිබෙනවා. එවකට ‛රාළ’ යන නම යෙදුණේ නිලමක්කාරයකු, එසේත් නැත්නම් උසස් නිලයක් දැරූවකු හැඳින්වීම සඳහා පමණයි. එකල ගමේ ප්‍රධානියා
‛ගමරාළ’ වූයේ ඔහු ගමේ නායකයා වූ නිසයි. ‛රන්වල රාළ’ යනුවෙන් එවකට හැඳින්වුණු මේ තැනැත්තා
සාමාන්‍ය ජනතාව විසින් ‛රන්වල හාමුදුරුවන්’ ලෙසින් හඳුන්වන්නට ඇත්තේ ඔහුගේ ප්‍රභූත්වය,
වංශය ආදී කරුණු සළකා බලා විය හැකියි. නමුත්
ඇතැමුන් පවසන පරිදි ‛රන්වල දෙවියන්’ ‛රන්වල හාමුදුරුවන්’ ලෙස හැඳින්වෙන්නේ ඔහු තම ජීවිතයේ අවසාන කාලයේ ශ්‍රමණ හෙවත් තාපස
ජීවිතයක් ගත කළ නිසයි. ඒ රන්වල මුත්තා මරණින් මතු අද වනතුරුත් ජීවමානව කැලණි ගඟ
දෙපස ජනතාවට පිහිටාරක්ෂාව සළසන බව ප්‍රසිද්ධ කරුණක්. නමුත් මේ රන්වල දෙවියන්
පිළිබඳව එක්තරා අප්‍රකට මූලාශ්‍රයක් පමණයි. රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාව පිළිබඳ
මීට වඩා ප්‍රබල තවත් මූලාශ්‍ර කිහිපයක්ම තිබෙනවා. ඒවා අපි ඉදිරි සතියේදී විමසා
බලමු.
ඊළග ලිපිය - රන්වල දෙවියන් අතීතයේ විසූ ‛පොඩි මිනිහාගේ’ වීරයෙක්ද?
ඊළග ලිපිය - රන්වල දෙවියන් අතීතයේ විසූ ‛පොඩි මිනිහාගේ’ වීරයෙක්ද?
No comments:
Post a Comment