පුවක්පිටියේ පහන ළඟ දේවාලය
|
කොළඹ - රත්නපුර මහා මාර්ගයේ
අවිස්සාවේල්ලට මෙපිටින් පුවක්පිටිය නගරයට පෙරාතුව අපට හමුවන විශේෂ ස්ථානයක්
තිබෙනවා. ඒ පාරේ ගමන් කරන රථ වාහනවලින් සෑහෙන ප්‍රමාණක් මේ ස්ථානයේ නතර වන්නේ එය
පඬුරු දමන ස්ථානයක් හැටියට ප්‍රසිද්ධ නිසයි. ලංකාවේ කොතැනක ජීවත් වුණත් මේ පාරේ ගමන්
කරන බොහෝ දෙනෙකු මේ ස්ථානයේ මඳක් නතර වී එහි ඇති පඬුරු පෙට්ටියට පඬුරක් දමා ඒ
දේවාලයේ වැඩවෙසෙන දෙවියන්ට හිස නවා දෑත් එක්කොට වඳින සිරිතක් තිබෙනවා. නමුත් මේ
දේවාලය සහ දෙවියා පිළිබඳව පොදු සමාජය කරුණු දන්නේ ඉතාමත් අල්ප වශයෙන්. මේ දේවාලය
හැඳින්වෙන්නේ ‛පුවක්පිටියේ පහන ළඟ දේවාලය’ නමින්. මේ පහන ළඟ දේවාලයට අධිගෘහිතව වැඩවාසය
කරන දෙවියන් හඳුන්වන්නේ ‛රන්වල දෙවියෝ’ නමින්.
අපේ රටේ විෂ්ණු, කතරගම, නාථ, පත්තනි, සමන් හා ගම්බාර වැනි ප්‍රධාන දෙවිවරුන්ට අමතරව කිසියම් ප්‍රාදේශීය
ස්වරූපයක් උසුලන තවත් දේව මණ්ඩලයක් සිටිනවා. ඒ දෙවිවරුන්ගේ බලය බොහෝ දුරට අඩවිවලට
පමණක් සීමා වන බවයි ජන සම්මතයේ තිබෙන්නේ. මින්නේරි දෙවියෝ, මොරටු දෙවියෝ, අයියනායක දෙවියෝ වැනි දෙවිවරුන් ඒ ගණයේ ලා සැළකිය හැකියි. නමුත් සමන්
දෙවියන් ශ්‍රී පාද අඩවිය මුල්කොටගත් සබරගමුවත්, කතරගම දෙවියන් රුහුණු රටත්, නාථ දෙවියන් මහනුවරත් වශයෙන් ඒ ඒ දෙවිවරුන්ගේ අඩවි වෙන්කොට
හැඳින්වීමට ලක්වුවත්, ඔවුන්ගේ බලය හා අණසක ලංකාව පුරාම පැතිර
පවතින බවට විශ්වාසයක් තිබෙනවා. නමුත් ඊටත් අමතරව, හුදෙක් ප්‍රාදේශීය වශයෙන් පමණක් අදහනු ලබන තවත් දෙවිවරුන් පිරිසක්
හිඳිනවා. ගම් ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ ඒ දෙවිවරුන්ගේ බලය, ඉන් ඔබ්බට පැතිර යන්නේ නැහැ. නමුත් අද සිට අප
කීමට සැරසෙන මේ රන්වල දෙවියන් එබන්දකු වුණත් එතුමන්ගේ තත්වය ඊට වඩා බෙහෙවින්
වෙනස්. ඒ කියන්නේ බලසම්පන්නයි.
පුවක්පිටියේ පහන ළඟ දේවාලය
|
ශ්‍රී ලාංකීය ජනසමාජයේ දේව විශ්වාසවලට
මහින්දාගමනයෙන් පසුව විශේෂ තැනක් හිමිවුණේ නැහැ. අනුරාධපුර යුගයේ පිරිසිදු බුදු
දහමේ ආධිපත්‍යය පැවති නිසා එම යුගයේ දේව විශ්වාස එතරම් පැතිර ගියේ නැහැ. නමුත්
පොළොන්නරු යුගය වනවිට අප රටට එල්ල වූ දකුණු ඉන්දියානු සොලී ආක්‍රමණ නිසා ඔවුන් සමඟ
ආ දේව විශ්වාස යම් ආකාරයකින් අප රට තුළ පැළපදියම් වුණා. ඊට පසුව එළැඹුණු දඹදෙනිය
යුගයේ මේ තත්වය තවත් වර්ධණය වුණා. දඹදෙනි යුගයෙන් පසුව පැමිණි අපේ රටේ එතරම්
දියුණු නොවුණු යාපහුව, කුරුණෑගල සහ ගම්පොළ යන යුගයන් තුළ අප
රටට ඉන්දියානු දේව විශ්වාස රාශියක් සංක්‍රමණය වුණා. ඒ අතරේ අපේ රටේ දේශීය
දෙවිවවරුන් ඇදහීමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඉන් පසුව එළැඹි කෝට්ටේ සහ සීතාවක යන
යුගයන් තුළ මෙම දේව විශ්වාස තවත් ව්‍යාප්තියට පත් වුණා. අපේ රටේ දේශීය දෙවිවරුන්ට
වුණත් ඉන්දියානු හෙවත් භාරතීය සම්භවයක් ඇති කිරීමට මේ යුගයේ බොහෝ දෙනෙක් පෙළඹී
තිබුණා. ඉන්පසුව එළැඹුණු අපේ රටේ අවසන් රාජධානි යුගය, එනම් මහනුවර යුගයේ දේව විශ්වාස ඉතා පුළුල්, සංකීර්ණ මුහුණුවරකින් පැවතුණා. ඒ දේව විශ්වාස සම්බන්ධව ඇති පදනම තමයි
අදත් අපේ රටේ ක්‍රියාත්මක වන්නේ. නමුත් අපේ රටේ ඇදහෙන ප්‍රාදේශීය දෙවිවරුන් අතරින්
මේ රන්වල දෙවියන් අතිශයින්ම සුවිශේෂයි.
මූලික වශයෙන් ‛දෙගම්බඩ දෙවියන්’, ‛රන්වල මුත්තා’, ‛රන්වල හාමුදුරුවෝ’ වැනි නම්වලින් පවා හැඳින්වෙන මේ දෙවියන් පිළිබඳ
විශ්වාසය දැනට අප රටේ බස්නාහිර පළාතේ නැගෙනහිර කොටසේ කැලණි ගඟ දෙපස ඇති ප්‍රදේශවලත්,
කෑගලු දිස්ත්‍රික්කයේ බටහිර අන්තයේ සුළු ප්‍රදේශයකත්
පැතිරී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ, දෙකටන, දොම්පේ, පූගොඩ, කිරිඳිවැල, රදාවාන, හේනේගම, බියගම, මල්වාන යන ප්‍රදේශවලත්, බස්නාහිර
පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, නවගමුව,
හංවැල්ල, කොස්ගම, පුවක්පිටිය, වග, කලුඅග්ගල යන ප්‍රදේශවලත් සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අමිතිරිගල
ප්‍රදේශයේත් පැතිර පවතිනවා.
සාමාන්‍යයෙන් අපේ රටේ දේව ඇදහීම් කලින්
කලට විචල්‍ය, ඒ කියන්නේ වෙනස්වන ස්වරූපයක් ගන්නවා.
උදාහරණයක් විදියට මහනුවර යුගය දක්වාම අපේ රටේ ජනප්‍රියතම දෙවියා ලෙස සැළකුණේ
විෂ්ණු දෙවියන්. නමුත් දහනමවැනි සියවසේ අවසාන කාලයේදී විෂ්ණු දෙවියන් අභිබවා කතරගම
දෙවියන්ගේ ජනප්‍රියත්වය වැඩි වුණා. ඊට හේතුව විෂ්ණු දෙවියන් ක්ෂාන්තිවාදී දෙවියකු
වීමත් කතරගම දෙවියන් ‛හොඳින් හෝ නරකින්’ ප්‍රශ්න විසඳිය හැකි දෙවියකු ලෙසත් ජන
සම්මතයෙහි පැවතීමයි. අද සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේත් තමන්ගේ ප්‍රශ්නය
හොඳින් නැත්නම් නරකින් විසඳාගැනීමටයි. ඒ
නිසා අද ද කතරගම දෙවියන්ගේ බලය දිනෙන් දින ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා.
රන්වල දෙවියන්ගේ ඉතිහාස කතා ප්‍රවෘත්තිය
දහහත්වැනි සියවස දක්වා අතීතයට දිවයන්නක්. ඒ අනුව අපේ දේව මණ්ඩලයට එක් වූ ‛ළාබාලතම’ දෙවියකු ලෙස මේ රන්වල දෙවියන් හඳුන්වන්නට පුළුවන්. නමුත් දහහත්වැනි
සියවසේදී ආරම්භ වූ රන්වල දේව විශ්වාසය ඒකාකාරී බවකින් පැතිර පැවතුණු අතර,
60 දශකයේ යම් පිබිදුමකට ලක්ව 80 දශකයේ මුල් භාගයේ සිට ශීඝ්‍ර ජනප්‍රියත්වයකට
පත් වී තිබෙනවා. අද වන විට මෙම දෙවියන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවන බවකුයි
පෙනෙන්නේ. මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් කිරීම පසෙක ලා මේ ප්‍රදේශවල
ගැමියන්ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් දෙන්නේ අපූරු පිළිතුරක්. එනම් රන්වල
දෙවියන්, නැතහොත් රන්වල හාමුදුරුවන් සැමට
ක්ෂණිකව පිහිටවෙන බව දැන් ප්‍රදේශයේ කාටත් මනාව පැහැදිලි වෙමින් පවතින නිසා
උන්වහන්සේ කෙරෙහි ප්‍රදේශවාසීන්ගේ භක්තිය දිනෙන් දින වැඩිවන බවයි.
‛දෙගම්බඩ දෙවියන්’ නමින් හැඳින්වෙන රන්වල දෙවින්ගේ බලය කැලණි ගං
දෑලේ පිහිටි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක ව්‍යාප්ත වී ඇති ආකාරය
විමසා බලන්නට පුලුවන්. මේ සීමාව කැලණි විහාරය ආසන්නයේ සිට අවිස්සාවේල්ලට මඳක්
මෙපිටින් කැලණි ගඟේ පිහිටි ‛දුම්බුකඩුව’ නම් ස්ථානය දක්වා පැතිර පවතින බවට පොදු විශ්වාසයක් පවතිනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකම රන්වල
දෙවියන්ගේ අඩවියට අයත් වුණත්, රන්වල දෙවියන් සමඟ වැඩිපුරම
සම්බන්ධතාවයක් තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලේ. රන්වල දෙවියන් මිනිසත්
වෙසින් ජීවත් වී තිබෙන්නේත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලේමයි. ඔහු දේවත්වයට
පත්වී ඇත්තේ ද ඒ ප්‍රදේශයේදීමයි. ඒ නිසා තමයි අපි උන්වහන්සේගේ උත්පත්තියේ සිට මේ
සියලු කාරණා විශේෂයෙන් හොයා බලන්නට කල්පනා කළේ. ඇත්තෙන්ම රන්වල දෙවියන්ගේ කතාව
අතිශයින්ම රසවත්. වර්තමානයේ අප දකින ටෙලිනාට්‍ය කතා, චිත්‍රපට කතා, නවකතා බොහොමයකට වඩා මේ කතාව රසයෙන්
අනූනයි. ඒ වගේම ඒ කතා පුවතේ කිසියම් ආධ්‍යාත්මික ගුණ සුවඳක් ද ගැබ්ව තිබෙනවා. ඒ
නිසා එය කාටත් උනන්දුවෙන්, ආසාවෙන් ඇසිය හැකි කතාවක් බවයි අපේ විශ්වාසය.
රන්වල දෙවියන් පිළිබඳ ලියැවුණු මෙම කෙටි ලිපිය ඉතාම වැචගත්. මේ පිළිබඳ තවත් තොරතුරු තිබේ නම් ඉදිරිපත් කරන්න. විශේෂයෙන් පොතපත ගැන සඳහනක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දන්වන්න. පිං..
ReplyDeleteතිලක් මහත්මට බොහොම ස්තූතියි.
ReplyDeleteමෙය රන්වල දෙවි පුවත පිළිබදව වසර දහඅටක් තිස්සේ අප විසින් කරනු ලැබූ කරුණු හැදෑරීම් සහ ක්ෂේත්‍ර අධ්‍යයන දාමයක ප්‍රතිඵලයකි. ඒ අනුව රන්වල දෙවි පුවත පිළිබදව අදාළ මූලාශ්‍ර ද සහිතව සියලු විස්තර ඉදිරි සති කිහිපය තුළ මෙමගින් ඔබ හමුවේ අනාවරණය කෙරෙණු ඇත. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නවුන් අතර මෙය පතුරුවා හරින්නේ නම් මැනවි.
Deleteකියවන්නට එමි.
ReplyDeleteමේක Follow කරන්න තැනක් නැද්ද.. කාලෙකින් බ්ලොග් පැත්තෙ එන නිසා ඔය අලුත් තාක්ෂන තියන එව්වා ගැන වැටහීමක් නැතුවා...
ReplyDelete