දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, December 17, 2016

අතීතයේ කැලණිය මිනී කන කාමුක යකින්නන්ගේ පුරයක්?

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක හයවැන්නයි මේ.


වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට සහ සියනෑ කෝරළයට අයත් කැලණිය අතීතයේ සිට ප්‍රසිද්ධව ඇත්තේ නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක් ලෙසිනි. එවක කැලණියේ රජකම් කළ මණිඅක්ඛික නම් නාග ගෝත්‍රික රජතුමන්ගේ ඇරයුමින් බුද්ධත්වයෙන් අටවන වර්ෂයේදී බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ බව වංශකතාවන්හි දැක්වෙයි. එවක කැලණියේ රජකම් කළ චූලෝදර-මහෝදර යන නාරජුන් දෙදෙන මණිඅක්ඛික නා රජුගේ මාමා සහ බෑණා වශයෙන් ඇතැම් දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වෙයි.

අපගේ  වංශකතා ඇතුළු පැරණි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකම සඳහන් වන මෙම මණිඅක්ඛික නාමයේ සිංහල අරුත මැණික් වන් ඇස්” (මණි - අක්ඛික) යන්නය. මෙහි මැණික් වන්යන්නෙන් අදහස් වනුයේ දීප්තිමත් නිල් පැහැයෙන් යුතු බව නිසැකය. සාමාන්‍යයෙන් දීප්තිමත් නිල් පැහැ දෙනෙත් පිහිටනුයේ කාලවර්ණ පුරුෂයන්ට නොව සුදු පැහැති සමක් සහිත පුද්ගලයන්ට බව අපි අත්දැකීමෙන්ම දැන හිඳිමු. ඒ අනුව මෙම මණිඅක්ඛික නාරජු ද සුදු සමකින් යුතු අයකු වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. විජයාවතරණයට පෙර අප රටේ යක්‍ෂ, නාග, දේව යන මිනිස් කොට්ඨාස තුනක් විසූ බව ප්‍රකට කරුණකි.

එමෙන්ම මෙම මිනිස් වර්ග තුනේ ශාරීරික ලක්‍ෂණවලද යම් යම් වෙනස්කම් තිබෙන්නට ඇත. ඒ අනුව දුරාතීතයේ අප රටේ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් කළු පැහැති ශරීර වර්ණයන්ගෙන් යුතු අතර නාග ගෝත්‍රිකයන් බොහෝ විට සුදු පැහැයෙන් යුතු ශරීරවලින් යුතු වූ බව උපකල්පනය කළ හැක. දැනට අනාවරණය වී ඇති පරිදි නාග ගෝත්‍රිකයන් යනු දක්‍ෂ සමුද්‍ර යාන්ත්‍රික පිරිසකි. එමෙන්ම මොවුන් සුළං බලයෙන් ක්‍රියාකරන රුවල් නැව් මගින් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල පවා යෙදුණු බවට සාධක තිබේ. අතීතයේ සිට කැලණිය ඔවුන්ගේ දේශපාලන මධ්‍යස්ථානය වී ඇත්තේ එය අප රටේ ප්‍රධාන ගංමුවදොරක පිහිටි නිසා විය යුතුය. මේ හැරුණු කොට නාග ගෝත්‍රිකයන් සම්බන්ධ සෙසු වැදගත් ප්‍රදේශයක්ව පැවැතියේ නාගදීපයයි. දුරාතීතයේදී වඩුන්නාගලයනුවෙන් හැඳින්වුණු මෙය වත්මන් යාපනය අර්ධද්වීපය ලෙස ද ඇතැම්හු දක්වති. බෙංගාල බොක්ක ආසන්නයේ පිහිටි නාගදීපය සිය මධ්‍යස්ථානයක් බවට පත්කර ගත් නාග ගෝත්‍රිකයන් එහි සිට මුහුදු මාර්ගයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල යෙදෙන්නට ඇත.

බුද්ධ කාලය වන විට නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක් බවට පත් කැලණිය ඊට බොහෝ කලෙකට පෙර යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ රාජධානියක්ව පැවැති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. නමුත් පසුකාලීනව නාගයන්ගේ බලය මෙලෙස අප රටේ මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වත්ම යක්‍ෂයන්ගේ බලය කෙමෙන් රට තුළ කේන්ද්‍රගත වූ බව පෙනෙයි. බුද්ධ කාලයට වසර දහස් ගණනකට පෙර එනම් රාම-රාවණා යුගයේදී කැලණිය යක්‍ෂ රජදහනක්ව පැවැති බව රාවණාගේ සොයුරු විභීෂණ එහි වාසය කිරීමෙන්ම පැහැදිලි වෙයි. මුලදී එසේ යක්‍ෂ රජදහනක්ව පැවැති කැලණිය පසුව නාගයන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත්වීමට තුඩු දෙන හේතූන් පැහැදිලිව සොයාගත නොහැක. එහෙත් දුරාතීතයේ මෙම කැලණිය යක්‍ෂයන්ගේ පාලන ප්‍රදේශයක්ව තිබූ සේම එහි ඇති කාමාශාවෙන් යුක්ත මිනී කන යකින්නන් විසූ බව පැවැසෙන රසවත් පුරාණෝක්තියක් පන්සිය පනස් ජාතකයෙහි තිබේ. බුදුන් දවස ස්ත්‍රියක කෙරෙහි ලොල් වූ භික්‍ෂුන් වහන්සේ නමක මුල්කොට බුදුන් විසින් දේශනා කරන ලදැයි පැවසෙන වලාහක හෙවත් වලාහස්ස ජාතකයෙහි සඳහන් එම රසවත් පුරාණෝක්තිය මෙලෙසිනි.


අතීතයේ තම්බපන්නි නම් දිවයිනක තම්මැන්නා නුවර මිනී කන යක්‍ෂනීන් පිරිසක් වාසය කළහ. මොවුන් සිදුකරනුයේ වෙළඳාම පිණිස නැව් මගින් තම්බපන්නියට පැමිණෙන වෙළෙඳුන් උපායශීලීව රවටා තමන් සමග සහවාසයේ යෙදීමට පොළඹවා ගැනීමය. එහිදී එම වෙළඳුන් රවටා ගැනීම පිණිස ඔවුහු වී  වගාකිරීම් ගෘහාශ්‍රිත සතුන් ඇති කිරීම් ආදී මිනිස් ශිෂ්ටාචාරයක ලකුණු තම මායා බලයෙන් මවාපාති. එහිදී එලෙස නැවකින් පැමිණෙන වෙළෙඳුන් වෙත යන එම යකින්නෝ මෙසේ කියති. අපේ ස්වාමි පුරුෂයෝ ද ඔබ වැනිම වෙළඳුන්ය. එහෙත් මීට වසර තුනකට ඉහත වෙළෙඳාම පිණිස නැව් නැගී මුහුදු ගිය ඔවුන් පිළිබඳ කිසිම තොරතුරක් නැත. එනිසා අපි මහත් සේ අසරණව හිඳිමු. ඔබද අපගේ ස්වාමිවරුන් මෙන් වෙළෙඳුන් බැවින් හැකිනම් අප අඹු තනතුරුවල තබා ගනිමින් අප හා මෙහි විසුව මැනව

මෙසේ එම වෙළෙඳුන් හමුවේ ඉච්චා බස් දොඩමින් ඔවුන් තමන් හා සහවාසයට ගන්නා එම යකින්නන් කරනුයේ එවැනි තවත් වෙළඳ නැවක් පැමිණි සැනින් මුල් නැවෙන් පැමිණි සියලු වෙළෙඳුන් රහසේ සඟවා තබාගෙන අලුත් නැවෙන් පැමිණි වෙළෙඳුන් හමුවේද ඉහත සඳහන් රඟපෑම ඉදිරිපත් කිරීමය. එසේ පැරණි වෙළෙඳුන් සඟවා තබාගෙන හිඳින යකින්නියෝ අලුත් වෙළෙඳුන් හමුවේ සුවච කීකරු පතිනියන් මෙන් පෙනී සිටිමින් පැරණි වෙළෙඳුන් එකිනෙකා රහසේ මරා කති. වලාහක ජාතිකයෙහි එන පුරාණෝක්තියට අනුව අතීතයේ අප රටේ විසූ බව පැවසෙන මෙම යකින්නෝ මිනී මසට සේම ලිංගික රසයට එකසේ ලොල් වූවෝ වෙති. එමෙන්ම තම්බපන්නියට එසේ නැවක් පැමිණෙන තුරු ඔවුන් නාගදීපයේ සිට කැලණිපුරය දක්වා මුහුදු තීරය දෙස විපරමින් පසුවන බවද එම ජාතක කතාවෙහි දැක්වෙයි. මගේ වැටහීම අනුව අප ත්‍රිපිටක සාහිත්‍යයෙහි කැලණියපිළිබඳව සඳහන් වන එකම අවස්ථාවද එයම වෙයි.

එම ජාතික කතාවේ සඳහන් අන්දමට දුරාතීතයේ එක්තරා යුගයක අප රටේ මිනී කන යක්‍ෂනියන් සිටි බව එක් වරම පිළිගත නොහැක්කකි. එහෙත් ඒ සම්බන්ධයෙන් මානව විද්‍යාත්මකව විමසීමේදී ඒ පිළිබඳ අනුමානයන් දෙකකට පිවිසීමට අපට පුළුවන. ඉන් පළමු අනුමානය වන්නේ දුරාතීතයේ අප රටේ ජීවත් වූ කිනම් හෝ ජනවර්ගයක් මෙම දිවයිනට නැව් මගින් පැමිණෙන වෙළෙඳුන් රවටා ගැනීම පිණිස මෙරට සිටි රූමත් කතුන් යෙදවූ බවය. මෙසේ විවිධ කරුණු මුල්කොට පිරිමින් දඩයම් කර ගැනීම පිණිස ස්ත්‍රී උපාය දූතිකාවන්යෙදවීම අද පවා ලොව පුරා සිදුකෙරෙන්නකි. මෙය හැඳින්වීම පිණිස ලෝකයේ වඩාත්ම ප්‍රචලිත වදන වනුයේ පැණි උගුල  (Honey trap)  යන්නය. එසේ නොමැති නම් ඉහත සඳහන් පුරාණෝක්තිය පිළිබඳව අපට කිව හැක්කේ දුරාතීතයේ සිට මෙරට පැවැති මාතෘ මූලිකත්වය (matriarchy) කෙරෙහි දක්වන කුරිරු උපහාසයක් වශයෙන් පැරණි ඉන්දීය පීතෘ මූලික භාරත සමාජය මගින් මෙම හිතාමතා ප්‍රබන්ධය කරන ලද්දක් බවය. එම පුරාණෝක්තියට අනුව එම යකින්නන් අනුභව කරනුයේ පිරිමින්ගේ මස් පමණි. සැබැවින්ම මාංශ අනුභවයකදී එසේ මස් බවට පෙරැලෙන සත්වයාගේ ලිංග භේදය පිළිබඳ තැකීමක් නොකෙරේ. එහෙත් මෙහිදී පිරිමින්ගේ මස් කන යකින්නන්යනුවෙන් හැඳින්වීමෙන් එම කතාව ප්‍රබන්ධය කළවුන් පිරිමින් අභිබවා නැගී සිටී කාන්තා පිරිසක්  පිළිබඳ අනියමින් පැවසෙන අපහාසාත්මක අර්ථකථනයක් දී ඇතැයි මට සිතේ.

පන්සිය පනස් ජාතකය යනු බුද්ධ භාෂිතයක් සේ මූලිකව සැලකුණද එහිදී දැක්වෙන පුරාණෝක්ති ත්‍රිිපිටකයේ එන ඛුද්ධක නිකායට අයත් ජාතක පාලියෙහි එන ගාථා මුල්කොට පසුකාලීනව ලියැවුණු අර්ථකථන මත පදනම් වූ ඒවාය. ජාතකට්ඨ කතායනුවෙන් ත්‍රිපිටක සාහිත්‍යයෙහි දැක්වෙන එම පුරාණෝක්ති මුල්කොට ලියැවුණු පන්සිය පනස් ජාතකය හුදෙක් පුරාණොක්ති සංග්‍රහයක් සේ මතුපිටින් පෙණුණද එය ඉතා ගැඹුරු මනෝවිද්‍යාත්මක සහ දාර්ශනික ලේඛනාවලියකි.

ඒ කෙසේ හෝ මහාවංශයෙහි සඳහන් විජය කුමරුන්ගේ කතා ප්‍රවෘත්තිය හා එන කුවේණියගේ චරිතය ද අතීතයේ මෙහි පැවැති මාතෘ මූලික සමාජයක තතු නිහඬව අප හමුවේ ගෙනහැර දක්වයි. එසේම මෙහිදී ඇය පාලියෙන් කුවණ්ණාහෙවත් අයහපත් වර්ණයකින් යුතු තැනැත්තියයනුවෙන් වංශ කතාකරුවා හඳුන්වා ඇත්තේ ද ඇගේ සැබෑ නමින් නොවන බව ඉඳුරාම පැහැදිලිය. නමුදු මහාවංශයේ සඳහන් කුවේණියන උපහාසාත්මක යෙදුම මුල්කොට අපි තවමත් ඇය එනමින්ම හඳුන්වමු. 

පෙර ලිපිය

2 comments:

  1. අයිසේ තිලක්, මිනීකන යක්කු දෙන්නෙකුයි යකින්නකුයි මෑතකදීත් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටියා. එක යකෙක් තමයි මර්වින් සිල්වා. අනික් යකා බැසිල් රාජපක්ෂ. යකින්නි බැසිල්ගේ ගෑනි. මුන් කාපුවා කියන්න මේ වගේ පෝස්ට් දහයක් විතර ලියන්න වෙනවා.

    ReplyDelete