දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, December 3, 2016

විභීෂණ දෙවියන්ගේ රාජධානිය තුළ මර්වින් සිල්වාගෙන් විෂ්ණු කෝවිලක්

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක සිව්වැන්නයි මේ.  

කැලණිය බුළුගහ හන්දිය විෂ්ණු දේවාලය 


අද වන විට ලක් ජන සමාජයේ ජනප්‍රියතම දෙවිවරුන් වනුයේ විෂ්ණු, කතරගම, පත්තිනි, සමන් ආදීහුය. මෙම ජනප්‍රියතාවය මීට සියවස් කිහිපයක සිට උරුම වූවකි. එසේ නොමැතිව දුරාතීතයේ සිටම මෙම දෙවිවරුන්ට හිමි වුවක් නොවේ. ඊට හේතුව ඉතිහාසයේ යම් යම් යුගවල අප රටේ දෙවිවරුන්ගේ ජනප්‍රියතාව යම් යම් මට්ටම්වලින් ඉහළ පහළ යාමය. 

ගම්පහ දිසාවේ කැලණිය රාජධානිය කරගත් විභීෂණ සුරිඳුන් මීට වසර හයසිය හතරකට පෙර ඇරඹි කෝට්ටේ යුගයේදී අප රටේ ජනප්‍රියතම දෙවි කෙනකු ලෙස වැජඹුණු බවට ඓතිහාසික සහ සාහිත්‍යමය මූලාශ්‍ර තිබේ. එහෙත්, මීට වසර පන්සිය හතළිස් එකකට පෙර ඇරැඹි මහනුවර යුගය වන විට එම ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පසුබෑ බව පැහැදිලිවම පෙන්නුම් කරයි. මේ සම්බන්ධයෙන් සියනෑ කෝරළයේ ඇති ප්‍රබල විශ්වාසයක් නම් අප රට තුළ පැවැති රාවණා බලය අවප්‍රමාණ වී භාරතයේ රාම බලය අප රට කෙරෙහි තදින්ම බලපෑම මත විභීෂණ සුරිඳුන්ගේ ඔද තෙද ද අඩුවී ගිය බවය. 

එමෙන්ම ක්‍රි.ව. 1739දී දකුණු ඉන්දීය නායක්කර් වාංශික ශ්‍රී විජය රාජසිංහ රජු බලයට පත්වීමත් සමග අප රටේ සිංහල රජ පරපුර අභාවයට ගිය බව ඓතිහාසික සත්‍යයකි. ඒ අනුව එයද රාවණා බලයට එරෙහිව රාම බලය ඉස්මතුවීමක් ලෙස සියනෑ කෝරළයේ පවතින ජන විශ්වාසය ප්‍රබල දාර්ශනික පදනමකින් යුක්ත වූවක් බව මගේ අවංක හැඟීම ය. 

විශේෂයෙන් අනාදිමත් කාලයක සිට ලක් ජනතාවගේ අතිශය ගෞරවාදරයට පත් ‛උපුල්වන්’ නම් දේශීය බෞද්ධ දෙවියන්ගේ අනන්‍යතාව තුළට විෂ්ණු නම් භාරතීය හින්දු දෙවියා හීන් සීරුවේම පිවිසීම මේ යුගයේදී තවත් වර්ධනය වූ බව පෙනෙයි. මෙමගින්ද රාවණාට එරෙහි රාම බලය අප රට තුළ දැඩිව ක්‍රියාත්මක වීම වඩාත් තහවුරු වනුයේ රාම යනු විෂ්ණුගේ දස අවතාරවලින් එකක් බැවිනි. ඒ අනුවද කැලණිය රාජධානිය කරගත් විභීෂණ සුරිඳුන් හා භාරතයෙන් සපැමිණි විෂ්ණු දෙවියන් එකිනෙකට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් නියෝජනය කරන බව අතිශයින් පැහැදිලිය. 


වත්මන් දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක චරිතයක් වන ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයට පත්වනුයේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකව සිටි ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ අකල් මරණයත් සමගිනි. ඒ 2008 වසරේ ය. මතුපිටින් රළුපරළු චරිතයක් සේ පොදු සමාජය විසින් හඳුනාගනු ලැබුවද ඔහුගේ සමීපතම හිතවතුන් පවසන අන්දමට මර්වින් සිල්වා මහතා සංවේදී හදවතකින් යුතු දැඩි දේව භක්තිකයෙකි. එම දේව භක්තිය මුල්කොට ඔහු තම දේශපාලන බල ප්‍රදේශය වන කැලණියේ විෂ්ණු කෝවිලක් ඇරඹීමට මුල පුරනුයේ 2009 වසරේ සිටය. ඒ සම්බන්ධයෙන් ඔහු එවක තම හිතවතුන් හා ප්‍රකාශ කොට ඇත්තේ තම ගෞරව බහුමානයට ලක්වන ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි, තිරුමාලහි පිහිටි තිරුපති කෝවිල නමින් ප්‍රසිද්ධ ශ්‍රී වෙන්කතිෂ්වර කෝවිල ආදර්ශ කරගත් කෝවිලක් තම මැතිවරණ බලප්‍රදේශයේ ඉදිකරන බවය. වෙන්කතීෂ්වර ස්වාමී යනු විෂ්ණු දෙවියන්ගේ බල පරාක්‍රමය දක්වන මූර්තියක් හෙවත් අවතාරයක් බව ප්‍රසිද්ධ ය. 

පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ මන්ත්‍රීවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි මර්වින් සිල්වා මහතා 2007 වසරේ කැබිනට් නොවන කම්කරු අමාත්‍ය පදවියට පත්වූ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයාගේ සමීපතම අන්තේවාසිකයකු ලෙසත් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඒ සමගම ඔහුගේ ඇතැම් ක්‍රියා සමාජයේ ප්‍රබල කතාබහකට සහ විවේචනවලට ලක්වූ බවද කිසිවකුටත් රහසක් නොවේ. ඒ කෙසේ වුවත් මර්වින් සිල්වා ඇමැතිවරයා විසින් විභීෂණ දෙවිදුන්ගේ ඔද තෙද බල සහිත කැලණි රාජධානියට මෙලෙස භාරතීය විෂ්ණු දෙවිදුන් වැඩමවීම පිළිබඳ  දැඩි විස්මයටත් කම්පාවටත් පත් පිරිසක් ද වූහ. ඒ අතීතයේ සිට කැලණියේ විභීෂණ සුරිදුන් කෙරෙහි බැතිමත්ව සිටි සියනෑ කෝරළයේ සාම්ප්‍රදායික ගැමියන්ය. 

විභීෂණ සුරිඳුන්ගේ ඔද තෙද සහිත කැලණි රාජධානි තුළ මෙලෙස භාරතීය සම්ප්‍රදායෙන් යුතු දැවැන්ත විෂ්ණු කෝවිලක් ඉදිකරවීම කවර හේතුවක්, පදනමක් මත සිදුවන්නක්දැයි සිතා ගැනීමටවත් නොහැකි වූ ප්‍රදේශවාසී විභීෂණ භක්තිකයෝ ඒ සම්බන්ධයෙන් මර්වින් සිල්වා අමාත්‍යවරයා හා සුහද කතාබහකට එළැඹීමට කිහිප වරක්ම වෙර දරා ඇති බව මෙම විමසුමේදී මට දැනගත හැකිවිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විභීෂණ දේවාලය පිහිටා ඇති කැලණි රජමහා විහාරයේ අධිපති පූජ්‍ය මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඇතැමුන් පෙළඹුණු බවද මට අසන්නට ලැබිණ. එහෙත් ඒවායේ ප්‍රතිඵල කවරාකාර වී දැයි දැනගන්නට නැත. අවසානයේ මෙම විෂ්ණු දේවාලය තැනීමට සූදානම් කොට ඇති භූමිය පිහිටි පොළොවෙන් පහත පිහිටි වගුරු බිමක් බැවින් මෙම දෙවොල වෙනත් තැනකට ගෙන යන ලෙසට පවා ඇමැතිවරයාට දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකදී සියනෑ කෝරළ වාසීහු මා හා කීය. 

එහෙත් ඒ සියලු ප්‍රයත්න නිශ්ඵල කරමින් කැලණිය, බුළුගහහන්දිය ප්‍රදේශයේ ගොඩ කරන ලද වගුරු බිමක් මුල්කොට අභිනවයෙන් තැනෙන නව විෂ්ණු කෝවිලේ වැඩ කටයුතු 2010 ජනවාරි 21 දින මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන ලදී. ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු නමින් පුවරු ආදිය මගින් හඳුන්වනු ලැබූවද  එය හුදෙක් ඉන්දීය හින්දු සම්භවයේ විෂ්ණු කෝවිලක් බව පසුව සැමට ඒත්තු යන ලද්දේ ඊට ප්‍රධානත්වය දැරූ පිරිස සම්බන්ධයෙන් එහි සමරු ඵලකයේ ඇති නාමාවලිය දැකීමෙනි. ඒ සඳහා එන්. සෝමානන්ද ෂර්මා පූජකතුමා හෙවත් මුන්නේෂ්වරම් සෝම ස්වාමි, ස්වාමි ගෝපාල් ෂර්මා, දකුණු ඉන්දියාවේ මහාබලිපුරම්හි මහාචාර්ය ලෝගනාදන් ආදී හින්දු අධ්‍යාත්මික නායකයන්ගේ සහභාගීත්වය හිමිවූ බව එම පුවරුවෙහි සඳහන් වන බව අද ද දැකබලා ගත හැක. 

“කැලණිය කියන විභීෂණ දෙවියන්ගේ රාජධානිය ඇතුළට ඉන්දියාවෙන් විෂ්ණු දෙවියන් වැඩම කරපු එක සුළුපටු කාරණයක් නොවෙයි. අනික විභීෂණ කියන්නේ යක්‍ෂ සම්භවයක  දෙවි කෙනෙක් ඒ හින්දා ඇතිවන තත්ත්වය වඩාත් නරක වෙන්න පුළුවන්. විශේෂයෙන් විභීෂණ දෙවියන්ට විරුද්ධව වෙන අයගේ සිහි විකල් වෙන්න පුළුවනි.“ මෙම කෝවිල තැනීමත් සමග කැලණියේ විභීෂණ භක්තිකයෝ එසේ කතා කරගත්හ. 
“අනුරුද්ධ රත්වත්තේ ඇමැතිතුමා මුතුරාජවෙල විෂ්ණු කෝවිල හදන්න සැලසුම් කරන කොටත් අපේ කීපදෙනෙක් ගිහින් එතුමව දැනුවත් කළා, කැලණි රාජධානිය ඇතුළේ ඔය වැඩේ නම් කීයටවත් කරන්න එපා කියලා. ඒත්, එතුමා ඒක ඇහුවේ නැහැ. ඒත් අන්තිමට චන්ද්‍රිකා මැඩම් පවා විරුද්ධවෙලා ඒක නතර කළා කියලා ආරංචියි. ඒ වගේම අනුරුද්ධ රත්වත්තේ ඇමැතිතුමාට අද මොකද වෙලා තියෙන්නේ? 

කැලණිය බුළුගහහන්දියේ අභිනවයෙන් ඉදිකෙරෙන විෂ්ණු කෝවිල තැනෙන මුල් අවදියේ විභීෂණ දෙවිදුන්ට බැතිමත් සියනෑ කෝරළවාසීහු එසේ කතාබහ කර ගත්හ. ඔවුන් එසේ පවසන ලද්දේ ඒ  වන විට අනුරුද්ධ රත්වත්තේ මහතා චරිතය දේශපාලන නිහැඬියාවක නිමග්නව තිබූ බැවිනි. එමෙන්ම මෙම කෝවිල මුල්කොට ඊට පුරෝගාමී වූ මර්වින් සිල්වා මහතාගේ ඉදිරි කල දසාව කුමක්වේදැයි ඒ කාලයේ සිටම ඔවුහු විමසිලිමත් වූහ. ඒ තම සිත් තුළ හටගත් ස්වභාවික කුතුහලය ද මුල්කර ගනිමිනි. 

පෙර ලිපිය‍

3 comments:

  1. තිලක් තමුසෙත් මැරවියාගේ ගෝලයෙක්ද? මැරවියට ලක්ෂ හතරහමාරක් ගෙවන්න වෙලා නේද අර තාප්පේ කඩපු කේස් එකට. තමුසෙටත් මොනවා වෙයිද දන්නේ නෑ ඌත් එක්ක කරපු වැඩ වලට.

    රාගම ලොකු සීයා මරපු කේස් එකට තමුසෙත් සම්බන්ධද? තමුසේ ගෝටාටත් සෑහෙන්න ගොට්ට ඇල්ලුවනේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි. ලබන 10 වැනි සෙනසුරාදා මේ පිළිබඳ පළවන ඉතිරි විස්තරයෙන් ඔබට මේ ගැන තවත් තොරතුරු දැනගත හැකි වේවි.

      Delete
  2. Thilak Senasinghe mahaththaya habatama dheviyanwa dhakala thiyanawadha? Ei wagema obathuma Thenuwara Perumalwaru ha Galle Trilingual rock edict eka gana dhanne monawadha?

    ReplyDelete