දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Monday, December 19, 2016

බොහෝ දෙනෙක් නොදත් විභීෂණ / විෂ්ණු විරසකයේ යටගියාව

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක හත්වැන්නයි මේ.
 
 විභීෂණ සුරිඳු




කැලණි පුරවරයට අධිපති විභීෂණ දෙවියන් සහ සමස්ත ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පත් විෂ්ණු දෙවියන් පිළිබඳව පවත්නා යම් විරසකයක්පිළිබඳව ඔබ ලියූ ගම්පහ දෙවිවරු සහ යක්කුලිපි පෙළ මගින් පසුගිය සති කිහිපය තුළ විස්තර කෙරිණ. එහෙත්, මා දන්නා තරමින් එවන් පුවතකට තුඩුදෙන ඓතිහාසික සාහිත්‍ය හෝ ජනප්‍රවාද ගත මූලාශ්‍ර කිසිවක් නැත. ඒ අනුව මට පෙනී යන්නේ ඔබ පසුගිය සති කිහිපය තුළ පැවසූ විභීෂණ - විෂ්ණු දෙවිවරුන් අතර පවතින විරසකය හුදෙක් ඔබේ හිතළුවක් මිස විධිමත් මූලාශ්‍ර මත පදනම් වූ මතයක් නොවන බවය. එබැවින් එවන් විරසකයක් පිළිබඳව ජන විශ්වාස පවතී නම් එය විධිමත් මූලාශ්‍ර ඔස්සේ ඒ බව තහවුරු කරවීම ද ඔබ සතු යුතුකමක් හා වගකීමකි.

ඉහත සඳහන්ව ඇත්තේ වේයන්ගොඩ ආර්.එන්. රණසිංහ මහතා විසින් පසුගිය සතියේ මා වෙත එවා තිබූ ලිපියකින් කොටසකි. 

ගම්පොළ රජකම් කළ සතරවන බුවනෙකබාහු රජ දවස (ක්‍රි.ව. 1341-1351) සම්පාදනය වූ බව පැවසෙන ‛ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම්පොත’ අනුව වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කය අතීතයේ පරිපාලන ඒකක හෙවත් ‛රටවල්’ තුනකට බෙදා තිබේ. ඒ කැලණි දෙගම්බඩ, අත්තනගල්ල සහ කුරුරට වශයෙනි. එම කඩඉම්පොතට අනුව කැලණි දෙගම්බඩ යනු විභීෂණ දෙව් රජ හට වාසස්ථාන වූ මහ පටුන්ගම් දහසක්, නියම්ගම් දස දහසක් ඇතුළත් බෝ රුක්, නාරුක් සිටුවා නයිපෙන, පැතලි රූකඩ (රූප කොටස්) මගින් මායිම් ලකුණු වශයෙන් දක්වා ඇති ප්‍රදේශයකි. එම කඩඉම්පොතෙහිම අත්තනගල්ල ‛රට’ හඳුන්වා ඇත්තේ ඊට තරමක් වෙනස් අයුරකිනි. ඒ රාවණා යුද්ධයෙන් ජයගත් රාම කුමරුන්  විභීෂණ සුරිඳුන් හට අත්කර දුන් ප්‍රදේශයක් ලෙසිනි. වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළය ද පැරණි අත්තනගල්ල රටටම අයත් වූවක් බව දක්වන එම කඩඉම් පොත ‛රජ මඟුලකදී සියක් නෑයන් එක්ව වැළදගත් හෙයින්’ එම ප්‍රදේශය ‛සියනෑ’ වූ බවද දක්වා තිබේ. මෙය සියනෑ කෝරළයට ඒ නම පටබැදීම සම්බන්ධයෙන් අදත් බොහෝ දෙනෙකු නොදත් පුරාවෘත්තයකි. 

තම සොයුරිය සුපර්නඛා හට රාමගේ සොයුරු ලක්‍ෂ්මන දුන්නෙන් විද නාසය සහ මුවට හානි සිදුකිරීම වෙනුවෙන් තම සොයුරු රාවණා රජු ඉන්දියාවට ගොස් රාම හා ලක්ෂ්මන සමග යුද වදිනු වෙනුවට ඔහුගේ ප්‍රියංගිකාව පැහැරගෙන ලංකා පුරයට රැගෙන ඒම සම්බන්ධයෙන් විභීෂණ රජු බලවත් සේ කෝප ගැන්වුණු පුවත මම පසුගිය සතිවල කීවෙමි. එහිදී ඔහු කරන ලද්දේ තම සොයුරු රාවණා කළ එම අකටයුත්තට එරෙහිවීමක් වශයෙන් ඔහු විසින් ලංකා පුරයට පැහැරගෙන පැමිණි සීතා යළි ඉන්දියාවට රැගෙන යාමට රාම කුමරුට උදව් කිරීම පමණි. ඒ හැරුණු කොට ලංකා පුරයේ රාවණා රජු ජයගත් රාමකුමරුන්ට ලංකා පුරය සිය යටත් විජිතයක් බවට පත්කර ගැනීමට ඉඩ සැලසීම නොවේ. නමුදු ශ්‍රී ලංකාද්වීපයේ කඩඉම් පොතෙහි දැක්වෙන තොරතුරුවලට අනුව වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් රටවල් අතරින් ‛කුරු රට’ සම්බන්ධ විශේෂ ප්‍රවෘත්තියක් තිබේ. එනම් රාම රාවණා යුද්ධයෙන් පසු රාම කුමරුගේ නියෝගය පරිදි කුරු රටින් පැමිණි බිසවක හා පුරෝහිත බමුණකු පදිංචි වූ බැවින් එය කුරු රට නම් වූ බවය. එසේම ඉන්පසුව ඉන්දියාවේ කාවේරි පටුන ආක්‍රමණය කළ ගජබා රජතුමා ඉන්දියාවෙන් මෙහි ගෙනා දහසය දහසක පිරිසක් මෙහි පදිංචි කරවූ බැවින් පසුව එය ‛අලුත් කුරු’ ලෙස නම් ලත් බව ද පැවසෙයි. ඒ කෙසේ හෝ රාවණා රජු පරදවා විභීෂණ රජුට අප රට භාරදී නැවත ඉන්දියාවට ගිය රාම කුමරු යළි එහි සිට කුරුරටේ බිසවකට හා පුරෝහිතයකුට මෙහි පැමිණ පදිංචි වීමට ‛නියෝග කිරීම’ අපගේ දේශයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කෙරෙන අනවශ්‍ය ‛හොස්ස පෙවීමක්’ සේ කාට වුව වැටහෙනු ඇත. ඒ අනුව ඔහුගේ එම අනවශ්‍ය ක්‍රියාව කෙරෙහි විභීෂණ රජු දැඩිව විරෝධය පළ කළ බවත්, එයින්ම විභීෂණ - රාම විරසකය ඇතිවන්නට ඇති බවත් සාධාරණ ලෙස අනුමාන කළ හැක. රාමගේ අණින් මෙසේ පැමිණි පිරිස අතර බිසවක, පුරෝහිත බමුණකු සේම කුමරුවකුද සිටි බවත් රාම කුමරුගේ නියෝගය මත ඔවුන් මුලින්ම නවාතැන් ගත් ප්‍රදේශය වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කයට අලුත් කූරු කෝරළයේ රාගම් පත්තුවට අයත් ‛කුරුකුලාව’ විය හැකි බවත් අනුමාන කෙරේ. මෙහිදී මෙම රාගම ප්‍රදේශය ‛රාගං නුවර’ යනුවෙන් මහනුවර යුගයේ ලියැවුණු ත්‍රිසිංහලේ කඩඉම් පොතෙහි සඳහන් වීම ද විශේෂත්වයකි. ඒ අනුව වත්මන් ගම්පහ දිසත්‍රික්කයට අයත් උපනගරයක් වන රාගම යන්නෙහි මූල රූපය ‛රාජ ග්‍රාම’ හෙවත් රජුගේ ගම විය යුතුය. 


අප රටේ සිදුකෙරෙන බොහෝ පහතරට ශාන්ති කර්මවලදී දෙවිවරුන් සඳහා මල් යහන් තැනීම ප්‍රධානම කටයුත්තකි. එහිදී මෙරට ඇදහීමට ලක්වන ප්‍රධානතම දෙවිවරුන් සඳහා එම මල් යහනේ ඉහළ ස්ථානයක් නම්කර දීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ අනුව සියනෑකෝරළයේ සිදුකෙරෙන ශාන්තිකර්මවල විෂ්ණු, කතරගම, පත්තිනි ආදී ප්‍රධාන දෙවිවරුන් සඳහා මල් යහනේ ප්‍රමුඛත්වයක් හිමිකර දෙන බව පෙනේ. එහෙත් මෙහිදී බොහෝ දෙනකු නොදන්නා සුවිශේෂත්වයක් තිබේ. එනම් කැලණිය මාපිටිගම මල්වාන ආදී ප්‍රදේශවල සිදුකෙරෙන ශාන්තිකර්මවලදී ඇතැම් ඇදුරු පරම්පරාවල් එම මල් යහන් සඳහා විෂ්ණු දෙවියන් වැඩම නොකොට ඒ වෙනුවට විභීෂණ දෙවියන් වැඩම කරවීමය. එමෙන්ම සියනෑවේ සෙසු ප්‍රදේශවල කිසිදු ලෙසකින් විෂ්ණු දෙවියන් සමඟ විභීෂණ දෙවියන් එකම මල්යහනකට වැඩම නොකිරීමද මගේ විමර්ශනයකට ලක්ව තිබේ. රාම කුමරුන් සිය දස අවතාරවලින් එකක් කරගත් විෂ්ණු දෙවියන්ටත්, කැලණියේ  විභීෂණ දෙවියන්ටත් එකම මල්යහනේ වැඩ සිටීමට බැරි තත්වයක් පැවතීම ඒ දෙදෙනා තුළ පවතින විරසකය, ආරෝව ඉතා පැහැදිලි ලෙසම මූර්තිමත් කරවන්නක් නොවේද? 

වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කය කෝරළ වශයෙන් තුනකි. එනම් සියනෑ, අලුත් කූරු සහ හාපිටිගම් වශයෙනි. මෙහිදී මුලින් ‛කුරුරට’ ලෙස හැඳින්වුණු ප්‍රදේශය පසුව ගජබා රජු විසින් සොලී රටින් ගෙන්වූ දහසය දහසක පිරිසක් පදිංචි වීම මත එය පසුව අලුත්කූරුව, අළුත්කූරු කෝරළය වශයෙන් පරිපාලනමය වශයෙන් බෙදා වෙන්වුණු බවත්, එසේ මුලින්ම දහසය දහසක් සොලී ජනයා පදිංචි කළ ප්‍රදේශය ‛දාසිය පත්තුව’ ලෙස නම් ලත් බවත් පැවසෙයි. එසේ පැමිණි සොලී ජනතාව පසුව සිංහල සමාජයට අවශෝෂණයවී මුලදී කුරු රටින් පැමිණි පිරිස යන හැඳින්වුම සහිත ‛කුරුකුලය’ යන ගෝත්‍ර නාමය ඔස්සේ පසුව “කුරුකුලසූරිය” යන වාසගම ඇති වූ බවද ජනප්‍රවාදවල සඳහන් වෙයි. 


පෙර ලිපිය

No comments:

Post a Comment