දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, December 10, 2016

කැලණියේ විෂ්ණු දේවාලයක් තැනීම මර්වින් සිල්වා අතින් සිදුවුණු බරපතළ අධ්‍යාත්මික වරදක්?

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක පස්වැන්නයි මේ.

කැලණිය විෂ්ණු දේවාලය


බුද්ධාභිවන්දනයට අමතර දේව වන්දනයක් ද වත්මන් සමාජයේ පවතින බව ප්‍රචලිත කරුණකි. මහින්දාගමනයට පෙර සිට පැවැති මෙම දේව වන්දනය මහින්දාගමනයෙන් පසු එළැඹි මුල් සියවස් කිහිපය තුළ එතරම් ප්‍රචලිත වූ බවක් නොපෙනෙයි. ඒ බුදු සමයේ ව්‍යාප්තියත් සමගිනි. එහෙත් එකොළොස්වන සියවසේදී අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසු අප රටට අසීමාන්තික ලෙස එල්ල වූ ද්‍රවිඩ හින්දු බලපෑම් නිසා මහින්දාගමනයෙන් පසු සියවස් කිහිපයක් අඛණ්ඩව පැවැති සිංහල බෞද්ධ සමාජයේ දේව වන්දනයට යළි නව පණක් ලැබුණු බව පැහැදිලිව පෙනේ.

මෙරට සිංහල ජන සමාජයේ අතිශය ප්‍රචලිත ලෙස නොතිබුණද මහින්දාගමනයට පෙර පූර්ව ඓතිහාසික අවදියේ සිට අප රටේ පැවැති විභීෂණ, උපුල්වන්, සමන්, මහාසේන යන මෙරට විසූ ප්‍රතාපවත් ජන ප්‍රධානීන් පිළිබඳ ගෞරවනීය ප්‍රතිරූපයන් පසුව දේව විශ්වාස බවට පත්ව තිබේ. නමුදු එම ඇදහීම්වල හුදු ආගමික ස්වරූපයක් දක්නට නොතිබුණි. එහෙත් පසුව එම දේශීය දේවත්වයන් තුළට දකුණු ඉන්දීය ද්‍රවිඩ දේව ඇදහීම් උරා ගැනීම හෙවත් අවශෝෂණය වීමත් සමග ඒවායේ ඇදහීම් රටා වඩාත් ව්‍යාප්ත සහ පුළුල් වූ බව පෙනෙයි. නමුදු එහිදී විභීෂණ සහ සමන් ආදී දේවත්වයන් තුළට භාරතීය දේවත්වයක් අවශෝෂණය වූ බවක් පෙනෙන්නට නැත. නමුදු අනාදිමත් කාලයක සිට අප රටේ පැවැති උපුල්වන් නම් දේවත්වය තුළට භාරතීය විෂ්ණු දේව සංකල්පය ඍජුවම රිංගා ගත්තේය. කතරගම විසූ මහාසේන නම් නරපතියා මුල්කොටගත් බෞද්ධ දේව සංකල්පය තුළට පසුකාලීනව ස්කන්ධ කුමාර, කදිරවේලු, මුරුගන්, සුබ්‍රාහ්මන්‍ය (සුබ්‍රමනියම්) ආදී උතුරු සහ දකුණු ඉන්දීය හින්දු දේව විශ්වාස එලෙස රිංගා ගත් බව පෙනෙයි. මේ මුසුවීම් වලින් දුරාතීතයේ සිට අප රටේ පැවැති දේශීය දේවත්වයන්හි අනන්‍යතාවයන් හට බරපතළ හානි සිදුවිය. මගේ විශ්වාසයට අනුව මෙම හානි අතුරින් දරුණුම හානිය සිදුව ඇත්තේ උත්පලවන්න හෙවත් උපුල්වන් නම් දේශීය බෞද්ධ දෙවිඳුන් හටය. ඒ එම දෙවිදුන්ගේ ශරීරය උපුල්වන් හෙවත් නිල් පැහැයෙන් යුතුවීම ආදී කරුණු මුල්කොට භාරතීය හින්දු ත්‍රිමූර්තියේ ප්‍රධානතම හා අප රටට කිසිදු සබැඳියාවක් නැති විෂ්ණු දේව විශ්වාසය අප කිසිවකුටත් නොදැනීම මෙහි පැමිණ උත්පලවන්න නම් දේශීය බෞද්ධ දෙවියන්ගේ අනන්‍යතාව කුරිරු ලෙස පැහැර ගත් බැවිනි.
එමෙන්ම කිසිදු ඉන්දීය සම්භවයක් නොමැති සුපිරිසිදු දේශීය දෙවි කෙනකු වන විභීෂණ සුරිඳුන්ගේ රාජධානිය සේ සැලකෙන කැලණිය තුළ එම දේශීය දේව කුලයටම අයත් උපුල්වන් දෙවිඳුන්ගේ දේවත්වය ආක්‍රමණය කළ විෂ්ණු දෙවිදුන් උදෙසා දැවැන්ත දෙවොලක් තැනීම සුළුපටු කරුණක් නොවන බව සියනෑවේ විභීෂණ භක්තිකයෝ තරයේම කියා සිටිති.


ඒ එම බරපතළ කාරියේ යෙදුණු මර්වින් සිල්වා මහතා දෙසට ඇඟිල්ල දිගු කරමිනි.

කැලණිය කියන්නේ මහියංගනය, නාගදීපය, ශ්‍රීපාදස්ථානය වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වුණු පුදබිමක්. ඒ වගේම ශ්‍රීපාදස්ථානයට සමන් දෙවියන්, කතරගමට කතරගම දෙවියන්, දෙවුන්දරට උපුල්වන් (පසුව විෂ්ණු) දෙවියන්, මහනුවරට නාථ දෙවියන්, නවගමුවට පත්තිනි දෙවියන් වගේම කැලණියට විභීෂණ දෙවියන් අරක්ගෙන ඉන්න බව මේ රටේ හැමෝම දන්නා කරුණක්. ඒ වගේ තත්ත්වයක් යටතේ තමන්ගේ දේව භක්තිය මුල් කරගෙන විෂ්ණු දෙවියන් සඳහා සංහිඳක්, පහන්පැලක් හෝ පුංචි දේවාලයක් තැනීම වෙනුවට කැලණියේ විභීෂණ දේවාලයටත් වඩා විශාල විෂ්ණු දේවාලයක් විභීෂණ දෙවියන්ගේ රාජධානිය තුළම ඉදිකරවපු එක ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ අධ්‍යාත්මික භර පද්ධතිය ඉලක්ක කරගෙන කරපු සැලකිය යුතු අයහපත් බලපෑමක් විදිහට හඳුන්වන එකේ කිසිම වරදක් නැහැ. 

මහාචාර්ය දයා අමරසේකර 

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආධ්‍යාත්මවේදය පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන පේරාදෙණිය විශ්ව  විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර ඒ සම්බන්ධයෙන් තම මතය මා හා දක්වන ලද්දේ එලෙසිනි.

අපි ඕනෑම කෙනකුට ආධ්‍යාත්මික වශයෙන් ඕනෑම විශ්වාසයක් දැරීමේ නිදහස අයිතිය තියෙනවා. නමුත් ඒ නිදහස මුල්කරගෙන සෙසු ජන සමාජයේ ආධ්‍යාත්මික විශ්වාසයන්ට අනිසි බලපෑම් කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයිමහාචාර්යවරයා වැඩිදුරටත් එසේ කියා සිටියි.

ඒ කෙසේ හෝ විෂ්ණු උපුල්වන් යනු එකම දෙවි කෙනකු වශයෙන් සැලකීම මර්වින් සිල්වා මහතාගේ අතින් සිදුවූ වරදක් නොවේ. ඔහු සිදුකොට ඇත්තේ වසර සිය ගණනක් තිස්සේ අප සමාජය තුළ පැතිර පවත්නා එම වැරදි විශ්වාසය අනුව ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මයට බලපෑමක් වන අයුරින් කටයුතු කිරීම පමණි.

එමෙන්ම මෙම විෂ්ණු උත්පලවන්න දෙවිවරුන්ගේ අනන්‍යතා පටලැවීම ඓතිහාසික වශයෙන්ද මනාව තහවුරු කළ හැක. දීපවංශයේ 11 වන පරිච්ඡේදයේ විසි හතරවන ගාථාවෙන් හා මහාවංශයේ හත්වන පරිච්ඡේදයේ හත්වන ගාථාවෙන් උත්පලවන්න නම් දේශීය දෙවි කෙනකු පිළිබඳව පැවසෙයි. එමෙන්ම මෙම උත්පලවන්න දෙවිඳුන් සම්බන්ධ විශේෂත්වයක් වනුයේ බුදු රදුන් බුද්ධත්වයට පත්වීම පිණිස කළ මාර යුද්ධයේදී අන් සියලු දෙවිවරුන් පළා යද්දී බෝසතුන් සමීපයේ නොසෙල්වී හිඳීමෙන් බුදු සමය පිහිටුවීමට උපස්ථම්භක වීමය. එම කතා ප්‍රවෘත්තිය තිසර සංදේශයේ සිව්වන සහ කෝකිල සංදේශයේ තිස්වන කවියෙන් රසවත් ලෙස විස්තර කොට ඇති අයුරු ඔබට ද විමසා බැලිය හැක. එමෙන්ම මෙම පුවත මයුර සංදේශයේද සඳහන්ව තිබූ බවක් මට මතකය. එහෙත් මෙම පුරාවෘත්තයට හින්දු ආගමට අයත්  විෂ්ණු දෙවියන්ගේ කිසිම සබැඳියාවක් නැත. අතීතයේ අප රටේ බෞද්ධයන් තුළ පැවැති මෙම උත්පලවන්න දේව බැතිය කෝට්ටේ යුගය වනවිට පවා කෙතරම් ප්‍රබල ලෙස පැවැතියේද යත් එම යුගයේ ලියැවුණු තිසර, මයුර, පරෙවි සහ කෝකිල යන සංදේශ හතරම පුදදී ඇත්තේ උපුල්වන් සුරිඳුන් හටය. එම යුගයේ ලියැවුණු තවත් ප්‍රශස්ථ ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ ද එම දෙවිදුන් ගැන සඳහන් වෙයි. මෙහිදී මෙලෙස උපුල්වන් යනුවෙන් හඳුන්වා දී ඇත්තේ විෂ්ණු සුරිඳුන්ම බවට යමෙකුට තර්ක කළ හැක. එහෙත් කෝකිල සංදේශයේ විසිතුන්වන සහ පරෙවි සංදේශයේ විසි හයවන කවිය විමසන ඕනෑම අයකුට වැටහී යනුයේ උපුල්වන් යනු හුදු වෙනම දෙවි කෙනකු බවය. මෙහිදී මෙම උපුල්වන් නම් දේශීය බෞද්ධ දෙවියන් හුදෙක් ඉන්දීය හින්දු විෂ්ණු නොවන බවත් උත්පලවන්න යනු ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් විසින් අදහනු ලැබූ නීලවර්ණ රූපකායකින් යුතු වෙනම දෙවි කෙනකු බවත් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය සමාජ සහ මානව විද්‍යාඥයකු වන මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් විසින් රචිත The Cult of Goddess Pattini කෘතියෙහි ද පැහැදිලිවම දක්වා තිබේ. එමෙන්ම දේශීයත්වය පදනම් කරගත් අතීත හෙළ උරුමයක් පිළිබඳ භාෂා විද්‍යාත්මක සහ මානව දෘෂ්ඨිකෝණයකින් විමසූ මුනිදාස කුමාරතුංග සූරීන් විසින් 1936 එළිදක්වන ලද තිසර සංදේශ දීපනියනම් කෘතිය මගින් ද උපුල්වන් යනු හුදු දේශීය සම්භවයකින් යුතු දෙවි කෙනකු බව මනාව තහවුරු කොට තිබේ. ඒ අනුව කැලණියේ විෂ්ණු කෝවිලක් තැනූ මර්වින් සිල්වා මහතා එම කරුණු නොදැන සිටින බව සහතිකය.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර 

භාරතීය සංස්කෘතියේ විෂ්ණු දෙවියන් සම්බන්ධයෙන් ඇති තොරතුරු සම්භාරය අතිවිශාලය. අෂ්ටාදශ පුරාණය, රාමායනය, මහා භාරතය යන කෘතීන්හි විෂ්ණු දෙවියන් පිළිබඳ කොතෙකුත් විස්තර දැක්වෙයි. එහෙත් ඒ කිසිම තැනක උත්පලවන්න යන පර්යාය නමක් විෂ්ණු දෙවියන් හට ලබාදී නැත. එමෙන්ම විෂ්ණු දෙවියන් සම්බන්ධ පර්යාය නාම රාශියක් සහිත ශ්ලෝක ලක්‍ෂ ගණනක් එදා මෙදා බිහිව තිබේ. ඒවා අතරින් යම් ප්‍රමාණයක් අද ද ඉන්දියාවේ විෂ්ණු කෝවිල්වල දිනපතා ගයනු ලැබේ. එහෙත් ඒ කිසිදු ප්‍රශස්තියක විෂ්ණු දෙවියන් සඳහා වන උත්පලවන්න නම් පර්යාය නාමයක් පිළිබඳව සඳහන් නොවේ. මර්වින් සිල්වා මහතා තමන් තුළ පවතින පෞද්ගලික විෂ්ණු භක්තිය මුල්කොට කැලණියේ විභීෂණ රාජධානිය තුළ හිතුවක්කාර අයුරින් විෂ්ණු කෝවිලක් තැනීමෙන් බරපතළ වරදක් සිදුකොට ඇති බවට සියනෑකෝරළයේ විභීෂණ භක්තිකයන් සහතික කොට ප්‍රකාශ කරනුයේ ඉහත සඳහන් පසුබිම යටතේය.


එමෙන්ම ඔහුගේ මූලිකත්වයෙන් විභීෂණ දෙවිඳුන්ගේ පුරවරයේ තනා ඇති මෙම විෂ්ණු දෙවොල කිසිදා ජනානන්දනීය පුදබිමක් නොවන බව සහතික යැයි ප්‍රකාශ කරන සියනෑ වැසියන් වැඩිදුරටත් පවසා සිටිනුයේ හුදෙක් තම පෞද්ගලික ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් මුල්කොට මර්වින් සිල්වා මහතා විසින් සිදුකරනු ලැබූ මෙම ආධ්‍යාත්මික උඩු යටිකුරු කරවීම මුල්කොට විභීෂණ සුරිඳුන් විසින් ඉදිරියේදී කිනම් හෝ බැරෑරුම් ප්‍රතිඵලයක් ඔහු වෙත  උදා කළ හැකි බවය. 

පෙර ලිපිය

No comments:

Post a Comment