දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Thursday, December 1, 2016

රාම කුමරුගෙන් අරණායකට ප්‍රහාරයක් - රාම රාවණා යුද්ධය තවමත් නිමවී නැතිලු

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.       
රාමසර කන්ද ගැවිලිපිටියට පෙනෙන අයුරු

අප බොහෝ දෙනකු පිළිගන්නා අන්දමට රාම රාවණා යුද්ධය කිසිදු ඓතිහාසික පදනමක් නැති පුරාණෝක්තියකි. ඇතැමුන් පුන පුනාම පවසන අන්දමට එය හුදෙක් මිථ්‍යා ප්‍රබන්ධයකි. එහෙත්, සියනෑ කෝරළයේ පැරණි ගැමියන් අදටත් පවසා සිටිනුයේ අතීතයේ කිනම් හෝ යුගයක සිදුවූ රාම-රාවණා යුද්ධය තවමත් නිමාවී නැති බවය. ඔවුන් එසේ පවසනුයේ රාවණා රජුගේ බාල සොයුරු  කැලණි රාජධානියට අධිපති විභීෂණ දෙවිඳුන් වටා ගෙතී ඇති ජනප්‍රවාද මුල්කර ගනිමිනි. ඒ රසවත් පුවත අද සමාජයේ බොහෝ දෙනෙක්  නොදනිති.

රාම රාවණා යුද්ධයේදී රාවණ සොයුරු විභීෂණ රාම කුමරුන්ගේ පක්‍ෂය ගෙන ක්‍රියා කළ බව කවුරුත් දනිති.  ඔහු එසේ කරන ලද්දේ හුදෙක් අප මව්බිමේ අභිමානය සුරකිනු පිණිසය. රාවණා රජු භාරතයට ගොස් රාම කුමරුන්ගේ ප්‍රියම්බිකා සීතාව පැහැරගෙන එනුයේ එක් ප්‍රබල හේතුවක් මතය. එනම් රාමගේ සොයුරු ලක්ෂ්මන කුමරුන් රාවණාගේ සොයුරිය වන සුපර්නඛාට කළ කායික අඩන්තේට්ටමකට පළිගැනීමක් වශයෙනි. සුපර්නඛා යනු රාවණාගේ සේම විභීෂණගේ ද සොයුරියයි. එහිදී විභීෂණ රාවණාට පවසා සිටිනුයේ තම සොයුරියට භාරතයේදී සිදුවූ එම නොමනා ක්‍රියාවට දිය යුතු නිර්භීත පිළිතුර භාරතයට ගොස් ඔවුන් හා යුද වැදීම බවය. එසේ නොමැතිව භාරතයෙන් ගැහැනියක පැහැරගෙන ඒම නොවන බවය. මෙහිදී විභීෂණ කළ බව පැවසෙන එම ප්‍රකාශය සියනෑවේ වැසියන්ට සේම සමස්ත ශ්‍රී ලාංකිකයන්හටම අභිමානයකි.



වාල්මිකී ලියූ රාමායනය නිමා වන්නේ සීතාව තම මව වන පෘථිවිය විසින් සිය තුරුළට ගැනීමෙන් සහ රාම කුමරුන් තම පිරිස ද සමඟ සරභූ නදියේ ගිලී යාමෙනි. එසේ රාවණා විනාශ කළ රාම කුමරු ලංකාපුරයේ පාලනය ඔහුගේ සොයුරු විභීෂණට දුන් බව සඳහන්ය. එහෙත් රාමායනය කෘතියෙන් ඉඟි කෙරෙනුයේත් ඊට පසුකාලීනව ලියැවුණු වෙනත් සාහිත්‍ය කෘති මගින් පුන පුනාම පැවසෙනුයේත් රාම-රාවණා යුද්ධයේදී රාවණා මිය නොගිය බව හා දීර්ඝතම කාල නිද්‍රාවකටපත් වූ බවය. අද වන විට මුද්‍රිත, විද්‍යුත් මාධ්‍යවලින් සේම සමාජ වෙබ් අඩවි තුළිනුත් රාවණාගේ යළි ඉපදීමලෙස හැඳින්වෙනුයේ මෙම ජන විශ්වාසය බව පෙනේ.

වර්තමානයේ රාවණා රජු හෙළයේ සුවිශිෂ්ට නරපතියකු සේ හඳුන්වන අවස්ථා කොතෙකුත් තිබේ. එහෙත් මෑතක් වනතුරුම අපගේ ජන සම්මතය වූයේ රාවණා යනු නපුරු අධර්මිෂ්ඨයකු බවය. ඒ පිළිබඳව තහවුරු කෙරෙන සාක්‍ෂි බොහොමයක් අපගේ සාහිත්‍ය මූලාශ්‍රවලින් ද සොයාගත හැක.

දහහත්වන සියවසේ ලියැවුණ බව පැවසෙන රාජාවලිය මගින් පැවසනුයේ රාවණාගේ දුෂ්ඨ නපුරු ක්‍රියාවන් නිසා අප රටේ මධ්‍ය කඳුකරය තෙක්ම මුහුද ගොඩගැලූ බවකි. එසේ රාවණා පිළිබඳ අයස අපකීර්තිය පැතිර යනුයේ අප රට තුළට රාමගේ බලය ප්‍රචලිතවීම නිසා බවට ජන විශ්වාසයක් සියනෑ කෝරළයේ පැරණි ගැමියන් තුළ තිබේ.

මෙසේ දිගු කලක් දැඩි අපකීර්තියකට පත්ව සිටි රාවණා රජු නැවත අප ජාතියේ වීරවරයකු බවට පත්වීම ඇරඹෙන ලද්දේ හෙළයේ විසූ මහා පඬිරුවනක වන කුමාරතුංග මුනිදාසයන් විසින් 1941 වසරේ ජනවාරි 11දා හෙළ හවුලනම් දේශ සහ භාෂා ප්‍රේමී සංවිධානය ගොඩනංවා ගැනීමත් සමගිනි. එමගින් එවකට විජය කුමරුන්ගේ ඇරඹුණු බව පැවසෙන සිංහලයේ ඉතිහාසයට වඩා ඉපැරණි හෙළ ඉතිහාසයක් පිළිබඳව මුල් වරට අනාවරණය කෙරෙන ලදී. හෙළ නම් වන අපගේ ජාතික වංශ කතාව බලි, තරු රාවණාදී සම්මත ඉතිහාසයෙන් වසන් වූ නරපතියන් වෙත ප්‍රදානය කිරීමක් ද එහිදී සිදුවිය. ඒ අනුව පසුගිය දශක හයක කාලය තුළ අප රට තුළ රාම බලය අතික්‍රමණය කොට රාවණා බලය ස්ථාපිත වූ බවට ජන සම්මතයක් තිබේ.

අප රට තුළ මෙලෙස ස්වදේශිකත්වය මත පදනම් වන රාවණා බලය ක්‍රියාත්මක වත්ම ඊට එරෙහිව රාම බලය භාරතයෙන් පැන නගින බවට ජන විශ්වාසයක් තිබේ. පසුගිය කාලය තුළ, එනම් භාරතයේ රාම බලය අප රට කෙරෙහි දැඩිව බලපෑ සමයේ කැලණියේ විභීෂණ සුරිඳුන්ගේ බලය යටපත්ව භාරතීය විෂ්ණු දෙවියන්ගේ බලය මෙරට ආක්‍රමණය කිරීම මීට නිදසුනක් සේ දැක්විය හැකිය. වර්තමානයේ ශ්‍රී විෂ්ණු උපුල්වන් යන නමින් පොදු ව්‍යවහාරයකින් හැඳින්වුවද උපුල්වන් ශ්‍රී විෂ්ණු යනු අහස පොළාවටත් වඩා වෙනස් සම්භවයන්ගෙන් යුතු දෙවිවරුන් දෙදෙනෙකි. මහාවංශයේ දැක්වෙන අන්දමට බුදුන් පිරිනිවන් මංචකයේදී ලක්දිව බුදු සසුන සුරකින ලෙස ශක්‍ර දේවෙන්ද්‍රයාට කළ ඉල්ලීම අනුව මෙරට බුදු සසුන රැකීම භාරගනු ලබනුයේ තද නිල් පැහැති රූප කායකින් යුතු උත්පලවන්නනම් දේශීය දෙවි කෙනෙකි. එහෙත් ඒ වන විට භාරතයේ  අතිශය ප්‍රබලව පැවැති විෂ්ණු ඇදහීම පසුකාලීනව අපට රටටද පැමිණීමත් සමඟ කෝට්ටේ යුගයෙන් පසු උපුල්වන් නම් දේශීය බෞද්ධ දෙවියා සහ විෂ්ණු නම් භාරතීය හින්දු දෙවියා එකම දෙවි කෙනෙක් සේ වරදවා වටහා ගැනීමට ලක් වැසියෝ පුරුදු වූහ.

උපුල්වන් දේශීය බෞද්ධ දෙවියාට හිමිව තිබූ මතු බුදුවනයන හැඳින්වීම බුදු දහමට කිසිදු සබැඳියාවක් නැති හින්දු විෂ්ණු දෙවියන්ට ඉබේම ආරෝපණය වී ඇත්තේ මේ පටලැවීම නිසාය.

විභීෂණ සුරිදුන් අධිගෘහිත කැලණි පුරයට සිදුවූ බරපතළම විනාශයන් දෙකක් පිළිබඳව ලක් ඉතිහාසයේ දැක්වෙයි. එනම් ක්‍රි.ව. 1213දී පමණ විසි හතර දහසක පමණ කේරළ හමුදාවක් ද සමඟ අප රටට පැමිණි කාලිංගමාඝ නම් ආක්‍රමණිකයා කැලණියට කළ විනාශයයි. එමෙන්ම ක්‍රි.ව. 1505 අප රටට කඩා වැටුණු පෘතුගීසීන් විසින් ක්‍රි.ව. 1551 වසරේ කැලණි පුදබිමට කළ විනාශයද ඊට කෙසේවත් දෙවැනි නොවේ. මෙම සියලු ව්‍යසනයන් පිටුපස භාරතයේ අබෞද්ධ රාමවිසින් රාවණා සේම කැලණියේ විභීෂණ සුරිඳුන් මුල්කොට ගත් දේශීය බලවේගවලට බිහිසුණු ප්‍රහාර එල්ල කිරීමේ අධි යථාර්ථවාදී සත්‍යයක් පවතින බව සියනෑකෝරළ ජන විශ්වාසයන් අතර පවතී. එම බිහිසුණු ව්‍යසන හමුවේ තම පුරවරය රැක ගැනීමට විභීෂණ සුරිඳුන්ට නොහැකි වූ බවද එම ජන විශ්වාසයට අනුව පැවසෙයි.

මෙම වසරේ මැයි මස 17දා අප රට මහත් ස්වභාවික ව්‍යසනයකට පත් විය. එනම් අරනායක සාමසර කන්ද නායයාමෙන් නිවාස හැත්තෑ දෙකක් සහ මිනිස් ජිවිත එකසිය විසිහතක් අමු අමුවේ පස් යට වැළලී යාමය. එහෙත් මෙම කන්දට සාමසරයන අමුතු නම යෙදුණු ආකාරය පිළිබඳව කිසිවෙක් විමසිලිමත් නොවූහ.

එම ඛේදවාචකයත් සමග ඒ සම්බන්ධ අප්‍රකට පුරාවෘත්තය මුලින්ම මාධ්‍ය වෙත හෙළිකරන ලද්දේ මා, විසිනි. ගැමියන් ඊට මුලින්ම යොදා තිබූ නම වූයේ රාමසරයන්නය. රාමසර යන්නෙහි අරුත රාමගේ ඊතලය යන්නය. අප රටේ රාවණා බලය ඉස්මතු වන සෑම විටෙකම රාම කුමරුන් භාරතයේ සිට එවන ඊසර එල්ල වන ස්ථානයක් ලෙස හැඳින්වෙන මෙය මුලින් රාමසර වී පසුව සාමසර වූ බව ජන විශ්වාසයයි.

මෙලෙස වරින් වර රාමසරවැදීම නිසා මෙම කන්ද මුදුනින් කොටසක් ගැලවී ගිය අයුූරු ඊට ආසන්න ගැවිලිපිටියේ සිට කදිමට නිරීක්‍ෂණය කළ හැකි බවද සතර කෝරළයේ පැරණි ගැමියෝ කියති. ඒ අනුව රාම රාවණා යුද්ධය හුදු අතීත පුරාණෝක්තියක් නොවන බවට සියනෑකෝරළයේ ගැමියන් තුළ ඇති විශ්වාසය කිසියම් දාර්ශනික අර්ථ නිරූපණයක් නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?

පෙර ලිපිය

1 comment:

  1. සාහිත්‍යය විද්‍යාත්මක නොවන සේ ම විද්‍යාත්මක විය යුතු නැති වුව ද, අවිද්‍යාත්මක ද විය යුතු නැත.
    අවාසනාවකට මේ අප අතර ප්‍රචලිත සාහිත්‍යය ප්‍රබන්ධ විද්‍යාත්මක සත්‍ය කතා සේ ගැනීම අප අත්විඳින අභාගයයකි.
    බොහෝ ම ස්තූතියි තිලක් ශක්ති පමණින් ඔබ කරන මේ මෙහෙවරට..!

    ReplyDelete