මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය |
උඩුගම්පොළ සකලකලාවල්ලභ රජුගේ මරණයෙන් පසුව එවකට කෝට්ටේ රජකම් කළ එතුමන්ගේ ඥාති සොයුරු විජබා කුමරුන් උඩුගම්පොළ ප්‍රාදේශීය රාජධානියේ ද භාරකාරත්වයට පත්වුණා. ඔය අතරේ සකලකලාවල්ලභයන්ගේ අභාවයෙන් පසුව උඩුගම්පොළ ප්‍රදේශයට බලපෑ දුර්දසාවක් නිසා වැසියන් මහත් භීතියට පත් වුණා. ප්‍රදේශයට වැසි නොලැබ නියඟයක්, ආහාර අහේනියක් සහ රෝග පීඩා පැතිර යාමක් සිදු වුණා. එය සකලකලාවල්ලභ රජතුමාගේ ආත්මය විසින් එල්ල කරනු ලබන අදෘශ්‍යමාන බලපෑමක් නිසා සිදුවන්නක් බව වැසියන් විශ්වාස කළා. එහි ප්‍රතිඵලයක් වුණේ රජතුමා දිවිනසාගත් බවට සැළකෙන ‛අස්වූ’ හෙවත් ‛බිඳීගිය වාන සහිත ස්ථානයේ’, එනම් ‛අස්වානේ’ එතුමන් වෙනුවෙන් දේවාලයක් ඉදිකොට තමන්ගේ ගමටත් ජීවිතවලටත් එලැඹෙන අතුරු ආන්තරාවලින් වැළකීම සඳහා ගම්මුන් අස්වානේ දෙවියන්ට කන්නලව් කිරීමයි. ඒ නිසා තමයි එතුමන් පසුකාලීනව ‛අස්වානේ දෙවියන්’ යනුවෙන් ප්‍රසිද්ධියට පත්වුණේ. නමුත් අදවන විට මේ අස්වානේ දේව සංකල්පයේ කිසිම ව්‍යාප්තියක් දකින්නට නැහැ. දැනට අස්වානේ දේවාලයක් ලෙස ස්ථාපිත වී ඇත්තේ මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති කුඩා දේවාලය පමණයි. ඒ වගේම අස්වානේ දෙවියන් වෙනුවෙන් සිදුකෙරෙන යාතිකාවක් හෙවත් කන්නළව්වක් සොයාගැනීමට අප බොහෝ වෙහෙස මහන්සි වුණත් ඒ උත්සාහයත් ව්‍යර්ථ වුණා. මේ සඳහා බලපෑ හේතුව කුමක්ද කියා විමසා බැලීමේදී අපට පෙනී ගියේ මේ අස්වානේ දේව සංකල්පය සියනෑ කෝරලය පුරා පැතිර පවතින ගම්භාර දේව සංකල්පය තුළට අවශෝෂණය වීම නිසා මෙවැන්නක් සිදුවූ බවයි.
මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය |
අප කවුරුත් දන්නා පරිදි සකලකලාවල්ලභයන්ගේ සොයුරු තනියවල්ලභ කුමරු තනිවැල්ලේ දෙවියන් යනුවෙන් මාදම්පේ ප්‍රදේශයේදී දේවත්වයට පත්වුණා. සුදු අශ්වයකු පිට නැගි තනිවැල්ලේ දෙවියන් සම්බන්ධව ස්වාධීන ලක්ෂණ රැසක් ජන විඥානයට පිවිසී තිබෙනවා. ඒ නිසා තමයි අදත් තනිවැල්ලේ දේව සංකල්පය වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක ව්‍යාප්ත වී තිබෙන්නේ. නමුත් අස්වානේ දෙවියන් සම්බන්ධ එවැනි ස්වාධීන ලක්ෂණ කිසිවක් නැහැ. ඒ අතරේ සමහරුන් අස්වානේ දෙවියන් යනු දැනට දැදුරු ඔය නිම්නයේ් වැසියන් අදහන කුලියාපිටිය ආසන්නයේ දේවාලයකදී පිදුම් ලබන ‛කබලෑවේ දෙවියන්’ කියාත් ප්‍රකාශ කරනවා. ඒ වගේම කබලෑවේ දෙවියන්, ගම්භාර දෙවියන්, සූනියම් දෙවියන් යන මේ සියලුම දේවත්වයන් එකම දෙවියකු බවට විශ්වාසයකුත් පවතිනවා. අද අප රටපුරා ප්‍රචලිත ‛ගම්භාර සුද්ධ සූනියම්’ දේව සංකල්පය ඇතිවී ඇත්තේ එහි සම්මිශ්‍රණයෙන්. ගැමි සමාජයේ ඇති යහගුණ ගම්භාර දෙවියන් තුළිනුත් දුර්ගුණ සූනියම් දෙවියන් තුලිනුත් සංකේතනය වීම නිසා මේ ගම්භාර සූනියම් දේව සංකල්පය ඒකීය දේවත්වයක් වශයෙන් රටපුරා ව්‍යාප්ත වුණා වන්නට පුලුවන්. නමුත් මේ ගම්භාර, සූනියම් දේව සංකල්පය තුළට අවශෝෂණය වූ ගම්පහ උඩුගම්පොල අස්වානේ දේව සංකල්පයේ අනන්‍යතාවය මේ වන විට ශීඝ්‍රයෙන් ගිළහෙමින් පවතිනවා. ගනේමුල්ලේ තිබ්බටුගොඩ හා හොරගොල්ල ආශ්‍රිතව ඇති ‛පැරණි සම්බාගම’ උඩුගම්පොල සකලකලාවල්ලභ රජුගේ රජුගේ ප්‍රියතම කුඹුරුයාය වශයෙන් සැළකෙනවා. ගනේමුල්ලේ තිබ්බටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරයේ පැරණි ගම්භාර දේවාලයක් තිබූ බව පැවසෙනවා. එහි පැරණි ගැමියන් ‛ගම්භාර දෙවියන්’ නමින් දේවත්වයට පත්කොට ඇත්තේ සකලකලාවල්ලභ රජු බව නිසැකයි.
මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය |
ගම්භාර සූනියම් දෙවිඳුන් පිච්ච මල් සුවඳ හමන සිරුරක් ඇති අයකු බවත් කෙම්මුර දිනවල රාත්‍රී පෙරයම ගමින් ගමට සංචාරය කරනු ඇති බවත් ගැමියන් තුළ විශ්වාසයක් පවතිනවා. මේ දෙවිඳුන් අපිරිසිදු ස්ථානවලින් ගමන් නොකරන බවත් මිනිසුන්ට කෙසේ වෙතත් සුනඛයන්ට මේ දෙවිඳුන් දර්ශනය වන බවත් ජන විශ්වාසයේ පවතිනවා. එවිට දෙවියන් කරන්නේ තමන් අත වූ ‛සෝලු ලීයෙන්’ ඒ සුනඛයන්ට පහර දීමලු. එවිට ඒ සුනඛයන් කොන්ද පණ නැතිවී මිය යන බවට පැරණි ගැමියන් තුළ විශ්වාසයක් තිබුණා. නමුත් මේ ප්‍රදේශවල අදහනු ලබන ‛ගම්භාර’ හෙවත් ‛ගම් හිමි දේවතාවා’ අස්වාන දෙවියන් බවත්, පසුව ඒ දේව සංකල්පය අපේ රට පුරා ව්‍යාප්තව ඇති ගම්භාර සූනියම් දේව සංකල්පය තුළ ගිලීගිය බවත් සාධාරණ ලෙස අනුමාන කරන්න පුලුවන්.
මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය |
ඒ වගේම මේ අස්වානේ දෙවියන්, සූනියම් දෙවියන් ගම්භාර දෙවියන්, කබලෑවේ දෙවියන් තුළින් නිරූපණය වනුයේ එකම දේවත්වයක් බවත් එය ජන විඥානයේ පටළැවිලි සහගත බවක් නිසා සිදුවූ බවත් ශ්‍රී ලාංකීය සමාජයේ දේව විශ්වාසයන් පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කළ මහචාර්ය කේ.එන්.ඕ, ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙනිය යන වියතුන් තමන්ගේ ‛සිංහල දේව පුරාණය’ නම් පර්යේෂණාත්මක ග්‍රන්ථය මගින් පවසා සිටිනවා.
කෙසේ හෝ ඒ අනුව ගම්භාර දේව සංකල්පය තුළට අවශෝෂණය වූ අස්වානේ දේව සංකල්පය අද වන විට සමාජයෙන් ගිළිහී යන බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි. නමුත් ඒ දේව සංකල්පය පසෙක තිබියදී සකලකලාවල්ලභ රජතුමා ජීවත්ව සිටි කාලයේ එතුමාගේ මාලිගාව ආශ්‍රිතව තනන ලද ආසියාවේ විශාලතම මඟුල් පොකුණ බවට අනුමාන කෙරෙන, සිංහල රජදරුවකු විසින් පරිහරණය කළ ලක් ඉතිහාසයේ ලොකුම මඟුල් පොකුණ ද අද සක්මන් මංපෙතක් බවට පත්කොට තිබීම සකලකලාවල්ලභ රජතුමාට සිදුකරන සුවිසල් අනර්ථයක්. ඒ නිසා දෙපා ඇති ඕනෑම කෙනෙකුට සමතලා මතුපිටක් මත සක්මන් කිරීමට ඇති හැකියාව වෙනුවෙන් අපේ ශ්‍රී ලාංකීය ඉතිහාසය පිළිබඳ හයක් හතරක් නොදත් දේශපාලඥයන් විසින් හුදු සක්මන් මංපෙතක් බවට පර්වර්තනය කොට ඇති ඒ අගනා ඓතිහාසික, පුරා විද්‍යාත්මක, සංස්කෘතික උරුමය තුළින් සකලකලාවල්ලභ නරපතියානන්ට අහිමි වූ ස්වකීය අභිමානවත් උරුමය නැවත ලබාදීමේ යුගය දැන් එලැඹී ඇති බව නැවතත් අවධාරණය කළ යුතු වෙනවා. එසේ නොමැති නම් මේ රට තව දුරටත් අඳ බාලයන්ගේ රාජ්‍යයක් දෙසට ගමන් කරන පියවර තවත් ඉක්මන්වනවාට කිසිම සැකයක් නැහැ.
ඡායාරූප - සහන් සංකල්ප සිල්වා
No comments:
Post a Comment