උඩුගම්පොළ මාළිගාගොඩැල්ල රජමහා විහාරයේ ඇති සකලකලාවල්ලභ (අස්වානේ දෙවි) ප්‍රතිමාව |
ප්‍රාදේශීය පාලකයකු විදිහට ඉතිහාසයට එක් වුණත් උඩුගම්පොළ සකලකලාවල්ලභ රජතුමා ලක් ඉතිහාසයේ සුවිශේෂ නරපතියෙක්. අලකේශ්වර යුද්ධය, රාජාවලිය වගේ දේශීය මූලාශ්‍රවලත් වැලන්ටයින් වගේ බටහිර ඉතිහාසඥයන්ගේ වාර්තාවලත් ජනකතා, කංකාරි පුවත් වැනි චූල සම්ප්‍රදායේ මූලාශ්‍රවලත් විස්තර කෙරෙන මේ සකලකලාවල්ලභ චරිතය ලක් ඉතිහාසයෙන් පැන නගින සුවිශේෂතම රාජ චරිතයක් බව නොකියාම බැහැ. ගම්පහ දිසාවේ අභිමානයක් බවට පත්විය යුතු මේ සකලකලාවල්ලභ රාජ චරිතය පිළිබඳව ගම්පහ දිසාවේ වර්තමාන ජනතාව ප්‍රමාණවත් අයුරින් දැනුවත් වී නොතිබීම කණගාටුවට කාරණයක්. මෑතකදී පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කළ එතුමා පරිහරණය කළ මඟුල් පොකුණ සමස්ත ආසියාවේම ඇති සුවිසල් ඓතිහාසික මඟුල් පොකුණ වශයෙන් සාධාරණ ලෙස අනුමාන කළ හැකිව තිබෙනවා. නමුත් අද ඒ පොකුණ පිළිබඳ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අගය යටපත් වන ලෙස එහි අභ්‍යන්තර මායිම තුළ සක්මන් මංතීරුවක් විවෘත කිරීම ඉහත සඳහන් කරුණ මනාව සනාථ කරවන්නක්.
ලක් ඉතිහාසයේ විශිෂ්ටතම රණ ශූරයකු වන සකලකලාවල්ලභ රජතුමාගේ සරණ මංගල්‍යයක් පිළිබඳව කිසිදු මූලාශ්‍රයක සඳහන් වන්නේ නැහැ. ජනකතා, කංකාරි පුවත් ආදියෙන් විස්තර වන අන්දමට රජතුමා සරණ පාවාගෙන ඇත්තේ නොසම කුල, එනම් රජක කුලයේ කාන්තාවක්. මේ බිසව ඉතා ආන්දෝලනාත්මක චරිතයක් වූ බවට සාධාරණ ලෙස පිළිගත හැකි සාක්ෂි අප හමුවේ තිබෙනවා. මේ නිසා සකලකලාවල්ලභ රජුගේ චරිතය උඩුයටිකුරු වී ගිය බවට පිළිගතහැකි සාක්ෂිත් අප හමුවට පැමිණ තිබෙනවා. නමුත් ඒවා ගවේෂණාත්මකව සොයාගත යුතු, හෙළිදරව් කළ යුතු දේවල්.
කෝට්ටේ රජ කළ අටවැනි වීර පරාක්‍රමබාහු හෙවත් අම්බුලුගල කුමාරයාගේ කීරවැල්ලේ බිසවගේ නැගණියගේ කුසින් උපන් දරු දෙදෙනාගෙන් කෙනෙකු ලෙස තමයි සකලකලාවල්ලභ රජතුමා හැඳින්වෙන්නේ. ඔහුගේ අනෙක් සහෝදරයා තමයි තනියවල්ලභ කුමාරයා. ඒ නිසා අටවැනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය හිමිවන්නේ රජතුමාගේ අගබිසවගේ පුතකු වන නවවැනි ධර්ම පරාක්‍රමබාහු රජතුමාට. මේ කාලයේ උඩුගම්පොළ රජ කළ සකලකලාවල්ලභ රජතුමාත් මාදම්පේ රජකළ තනියවල්ලභ කුමාරයාත් ධර්ම පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලනයට අති විශිෂ්ට සහයෝගයක් ලබාදෙනවා. ඒ නිසාම 1513 අවුරුද්දේ ධර්ම පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසුව කෝට්ටේ රාජසභාව තීරණය කරන්නේ කෝට්ටේ මීළඟ මහරජ පදවිය සඳහා සකලකලාවල්ලභ රජතුමා සුදුසු බවයි. ඒ අනුව ධර්ම පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසුව කෝට්ටේ රාජ සභාවේ නියෝජිතයන් උඩුගම්පොළට පැමිණ රජ පෙරහරකින් සකලකලාවල්ලභ රජුව කෝට්ටේ රාජධානියට රැගෙන යනවා. ඒ කෝට්ටේ රාජධානියේ මහරජකම පැවරීමට. එහෙත් එසේ රජකම භාරගැනීමට සපිරිවරින් කෝට්ටේට ගිය සකලකලාවල්ලභ රජතුමා කිනම් හෝ හේතුවක් මත රජකම භාරගන්නේ නැහැ. ඒ හදිසියේ ගන්නා තීරණයක් බවයි ඇඟවෙන්නේ. එහිදී රජතුමා එසේ මහරජකම භාර නොගන්නේ ‛කාරණා කිහිපයක් මුල්කොට’ බව අලකේශ්වර යුද්ධයේ 29 වන පිටුවේත්, රාජාවලිය කෘතියේ 215 වැනි පිටුවේත් සඳහන් වෙනවා. නමුත් මේ ‛කාරණා කිහිපය’ කුමක් ද යන්න කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. ඒ අනුව සකලකලාවල්ලභ රජතුමා කරන්නේ ඒ වනවිට මැණික්කඩවර ප්‍රාදේශීය පාලකයකුව සිටි අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ අගබිසවගේ පුතකු වූ විජයබාහු කුමරාට කෝට්ටේ රාජධානිය භාර දී නැවත උඩුගම්පොලට පැමිණීමයි. මෙය ලක් ඉතිහාසයේ අසාමාන්‍ය සිදුවීමක්. කෝට්ටේ රාජධානිය භාරගැනීමට සපිරිවරින් ගිය සකලකලාවල්ලභ රජතුමා හදිසියේ එය ප්‍රතික්ෂේප කොට නැවත උඩුගම්පොළට පැමිණියේ කුමන හේතු නිසාද යන්න ඉතිහාසඥයන්ගේ විවාදයට තුඩුදෙන්නක්. ඊට ආසන්නතම හේතුව ලෙස බොහෝ ඉතිහාසඥයන් දකින්නේ ඒ වන විට මැණික්කඩවර ප්‍රාදේශීය පාලකයකු වූ විජයබාහු කුමරු යම් හෙයකින් සකලකලාවල්ලභ රජු කෝට්ටේ රාජධානියට පත්වුවහොත් ඔහු පරාජය කිරීමට ඒ වන විට කොචින් නුවර සිටි පෘතුගීසි පාලකයන්ගෙන් උදව් ඉල්ලා සිටි බව සකලකලාවල්ලභ රජතුමාට දැනගන්නට ලැබීමයි. එසේ වූවා නම් අපේ රට තුළ තවත් මහා විශාල දේශපාලන අර්බුදයක් සහ විදේශීය මැදිහත්වීමක් සිදුවන බව තේරුම්ගත් සකලකලාවල්ලභ රජතුමා තම මවගේ වැඩිමල් සොයුරිය වූ අගබිසවගේ පුත් විජයබාහු කුමරුට කෝට්ටේ රාජධානිය පවරා නැවත උඩුගම්පොළට පැමිණියා වන්නට පුලුවන්.
නමුත් ජනකතා සහ කංකාරි පුවත් මූලාශ්‍රවලින් කියන්නේ සකලකලාවල්ලභ රජතුමාගේ මේ පෙරළියට මුළ ඔහු විවාහ කරගෙන සිටි රජක කුල බිසව බවයි. රජක කුල බිසවක විවාහ කරගෙන සිටි රජ කෙනෙකුට කෝට්ටේ මහරජ පදවිය නුසුදුසු බවට එල්ල වූ යම් විරෝධතාවයක් මුල්කොට සකලකලාවල්ලභයන් තුළ මේ පසුබෑම ඇතිවුණා වන්නටත් පුලුවන්. මෙතරම් රණශූර, ප්‍රතාපවත් සකලකලාවල්ලභ රජතුමා තම විවාහය නිසා රාජකීයත්වය සහ පෞද්ගලික දිවිපෙවෙත අවුල් කරගත් නරපතියකු බවයි මින් අනුමාන කළ හැක්කේ. රජතුමාගේ ජීවිතයට වගේම රාජසභාවේ කටයුතුවලටත් මේ බිසවගෙන් ඇතිවූ බලපෑම පිළිබඳව ඉඟිකෙරෙන කතා ප්‍රවෘත්තීන් කිහිපයක් අපට උකහාගත හැකියි. ඒවා අපි ලබන සතියේ කතා කරමු.
ඡායාරූපය - සහන් සංකල්ප ද සිල්වා
අතිරේක කියැවීම්
No comments:
Post a Comment