උඩුගම්පොළ මාළිගාගොඩැල්ල රජමහා විහාරයේ
ඇති සකලකලාවල්ලභ (අස්වානේ දෙවි) ප්‍රතිමාව
ලක් ඉතිහාසයේ සුවිශේෂතම රණ ශූරයකු සහ
දක්ෂ වාරි ඉංජිනේරුවකු වගේම කෘෂිකර්මාන්තයෙහි මනා නිපුණත්වයක් පළ කළ උඩුගම්පොළ රජ
කළ සකලකලාවල්ලභ රජතුමා දැන් අපට අමුත්තෙක් නොවේ. නමුත් එතුමාගේ ජීවිතයේ එක්
අර්ධයක් ආලෝකවත් වෙත්දී අනෙක් අර්ධය අන්ධකාරයෙන් වැසී ගොස් තිබෙනවා. ඒ තමයි
එතුමාගේ ගෘහ ජීවිතය.
උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. |
සකලකලාවල්ලභ රජතුමාගේ සරණ මංගල්‍යයක් ගැන හෝ අග බිසවක් පිළිබඳව හෝ පිළිගත් කිසිදු මූලාශ්‍රයක සඳහන් වන්නේ නැහැ. නමුත් ජනකතා මූලාශ්‍ර අනුව එතුමා රජක කුල බිසවක සමඟ ජීවත් වූ බව සඳහන් වෙනවා. මෙහිදී සරණ පාවා ගැනීමකින් තොරව ඇය සමඟ රජතුමා යුග ජීවිතයක් ගත කළ බවයි පෙනෙන්නේ. මේ විවාහයෙන් මේ දෙපළට පුතුන් හත් දෙනෙකු සිටි බවත් ඔවුන් ‛භින්න මාතෘක’ හෙවත් මවගේ කුල නොගැළපීම නිසා ඔවුනට තමන්ගේ උඩුගම්පොළ රාජ්‍යය පවරා දීමට රජතුමා පසුබට වූ බවත් ජනමූලාශ්‍රවලින් හෙළිවෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි එම පුතුන් හත්දෙනා එක්වී රජතුමා මරා රජකම පැහැරගන්නට මාන බැලුවේ. ඒ පුත්තු හත් දෙනාගෙන් වැඩිමහල් පුතු වූ ‛කලුකුමාරයා’ හෙවත් ‛කලු බණ්ඩාර’, රජතුමා ඝාතනය කිරීමට මඟුල් පොකුණේ උල් සිටවූ කතාව අප කවුරුත් දන්නවා. ඉන්පසුව එම මව් බිසව තම පුතුන් හත් දෙනා රාජ උදහසින් වැළැක්වීම සඳහා අප්‍රකට ප්‍රදේශවලට පිටත් කොට හැරියා. ඉන්පසුව රජතුමාට විශාල නපුරු දසාවක් අත් වූ බවයි සියලු ජනකතා මූලාශ්‍රවලින් පෙනී යන්නේ. ඊට හේතුව රජතුමා මිනුවන්ගොඩ හරස්කොට බැඳි අමුණ හෙවත් වාන කිහිප වතාවක් බිඳී යාමයි. මෙම ප්‍රදේශය අදත් ‛වාන+කළ’ යන අතුරින් ‛කලවාන’ නමින් හැඳින්වෙනවා. එය බහිරව වැනි කිසියම් ගුප්ත අමනුෂ්‍යයකුගේ බලයක් යැයි සිතූ රජතුමා නව යොවුන් කුමාරිකාවන් හත් දෙනෙකු ඒ සඳහා බිළි දීමට කටයුතු යොදනවා. එහෙත් මේ බිලි පූජාවට බියෙන් තම පණ රැකගැනීම සඳහා මේ කුමාරිකාවන් පළා යනවා. කෙසේ හෝ මුල්ලේරියාවේදී මොවුන් රාජපුරුෂයන්ගේ අත්අඩංගුවට පත්වන අතර ඔවුන් හත් දෙනා මුල්ලේරියාව වැවේ බැම්මට තබා හිටුවා පස් ගැසීමට රජතුමා නියෝග කරනවා. මුල්ලේරියාව බැම්මේ එම ස්ථානය අදත් හඳුනාගත හැකි බවට මතයක් තිබෙනවා.
උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. |
ධර්මබන්දු අමරසේකර සූරීන් ලියූ ‛ඓතිහාසික ජනකතා’ කෘතියේ මේ පුවත සඳහන්. ඉන්පසුව කෙසේ හෝ මේ සිද්ධියත් සමඟ රජතුමාගේ ප්‍රතාපය ශීඝ්‍රයෙන් බිඳවැටුණු බවයි ජන මූලාශ්‍රවලින් හෙළිවන්නේ. ඔය අතරේ රජතුමා මිනුවන්ගොඩ ඔය හරස්කොට තැනූ සවිමත් වාන නැවත වතාවක් මහා වර්ෂාවකට හසුවූ බිඳී යනවා. මෙයින් ප්‍රදේශයේ ගම්බිම් ගංවතුරෙන් යටවී මහා විනාශයකට මුළ පිරෙනවා. එවිට රජතුමාගේ හිතවත් අමාත්‍යයන් පවසන්නේ මෙය දේව කෝපයක් නිසා සිදුවන ක්‍රියාවක් බැවින් රජතුමා සතු වටිනාම වස්තුව ඒ ගංවතුරට බිළිකළ යුතු බවයි. අවසානයේ මේ වටිනාම වස්තුව ලෙස කවුරුත් නම් කරන්නේ රජතුමාගේ රජක කුල බිසව. ප්‍රදේශයට සිදුවන මහත් ව්‍යසනය හමුවේ දුර්මුඛවන රජතුමා අවසානයේ ඇමතිවරුන්ගේ තීරණයට හිස නමනවා. ඒ අනුව රාජ පුරුෂයන් විසින් මේ රජක කුල බිසව, වාන කැඩී ගළාගෙන යන මහා දිය දහරට ඇද දමනවා. ඉන්පසුව කෙසේ හෝ මින් ඇතිවන අධික සිත්තැවුල නිසා රජතුමාත් ඒ රජක කුල බිසව බිළිදුන් ස්ථානයෙන්ම දියට පැන දිවි නසාගත් බවයි පැවසෙන්නේ. මෙම වාන බිඳදැමීම එම රජක කුල බිසව කෙරෙහි ඇති වෛරය නිසා ඇමතිවරුන් රජතුමාට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක් විදිහට අනුමාන කරන්නත් පුලුවන්.
උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. |
කෙසේ හෝ වර්ෂ 1521 වන විට නැවත උඩුගම්පොළ රජධානිය කෝට්ටේ රාජධානියේ රජකළ විජයබාහු කුමරුගේ පාලනයට නතුවෙනවා. ඒ බව ඒ කුමරුන් විසින් 1521 නිකුත් කළ ‛ඓතිහාසික උඩුගම්පොළ තඹ පතින්’ තහවුරු වෙනවා. ඒ තඹ පත මීගමුව කදිරාන ප්‍රදේශයෙන් මෑතකදී හමුවීමත් සමඟ මේ ඓතිහාසික පුරාවෘත්තයේ විශාල අඩුවක් සම්පූර්ණ වෙනවා. එම තඹ පත විජයබාහු රජතුමා උඩුගම්පොළ ‛අලුත් මාලිගාවේ වැඩ හිඳ’ නිකුත් කරන ලද්දක් බව එහිම සඳහන්.
උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. |
කෙසේ හෝ ඉන්පසුව රජතුමාගෙන් එතෙක් ඉටු වූ සේවය සළකා ප්‍රදේශයේ වැසියන් එතුමා දේවත්වයට පත්කරනවා. ඉන්පසුව උඩුගම්පොළ සකලකලාවල්ලභ රජතුමා හැඳින්වෙන්නේ ‛අස්වානේ දෙවියන්’ යනුවෙන්. ඒ ‛අස්වාන’ යන්නෙහි අරුත ‛වාන අස්වූ’, නොඑසේනම් ‛වාන කැඩී ගිය ස්ථානය’ යන්නයි. අද වනවිට ‛අස්වාන’ නමින් ගම් ප්‍රදේශයක් නොමැති වුවත් අස්වාන දෙවියන්ගේ දේවාලය පිහිටි මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් විහාරස්ථාන භූමිය පමණක් ‛අස්වාන’ යන නාමයෙන් හැඳින්වෙනවා.
උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. |
ගම්පහ දිසාවේ වැඩ සිටි ප්‍රතාපවත්ම නරපතියා වන සකලකලාවල්ලභ රජුගේ අවසානය සනිටුහන් වන්නේ ඔය ආකාරයටයි. කෙසේ හෝ අදවන විට අස්වාන දෙවියන් ඇදහීම ප්‍රදේශයේ ඇති නැති තරමට පසුගැන්වී තිබෙනවා. ඊට හේතු මොකක්ද? ලබන සතියේ ඒ ගැන විමසා බලමු.
ඡායාරූප - සහන් සංකල්ප සිල්වා
දිගට ම ලියන්න.
ReplyDelete