දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Tuesday, February 14, 2017

යක්කුන්ට ගල් අරක්කු සමඟ බීඩි සුරුට්ටු


ගම්පහ යක්කු සහ දෙවිවරු ආධ්‍යාත්මික කටයුත්තක් වුවද එක්තරා අතකින් බලන විට යක්මඩුව නව නළු රසයෙන් පිරි විනෝද මේලාවකි. සෙසු බොහෝ ප්‍රදේශවල තරුණ තරුණියන් මෙන් එළිමහන් සංගීත ප්‍රසංගවලට වහවැටී සිටින ගම්පහ දිසාවේ තරුණ තරුණියන් ඉදිරියේ අපට පමණක් ආවේණික මෙම යක් මඩුවක අසිරිය දිගහැර දැක්වුවහොත් තම සංගීත සංදර්ශනවල ජනප්‍රියත්වය දිගටම රැක ගැනීම සඳහා ලොකු සටනක යෙදෙන්නට ඒවායේ සංවිධායකයන්ට සිදුවනු ඇත. 


යක්මඩුව ශාන්ති කර්ම සඳහා ඉදි කෙරෙන මණ්ඩපය තුළට ඊට සම්බන්ධ නැති කිසිවකුටත් ඇතුළු වීම සපුරාම තහනම්ය. ඒ යකුන් සිටින ස්ථානයකට මිනිසුන් ඇතුළු වීම කොහොමටත් නුවණට හුරු නොවන නිසා විය හැක. එමෙන්ම යකුන් සඳහා අය බදුගෙවීම ද ප්‍රධාන අරමුණක් කරගත් යක් මඩුව තුළට අප රටේ මහේශාක්‍ය දෙවිවරුන්වත් වැද්දා නොගැනීම හෙවත් වැඩමවා නොගැනීම ද මෙහි ඇති සුවිශේෂත්වයයි. 


ඒ අනුව යක් මඩුව ශාන්ති කර්මයේ දෙවියන් සඳහා වන පහන් පැල් මඩුවෙන් පිටත ඉදි කරනු ලැබේ. එමෙන්ම මෙහි තවත් සුවිශේෂත්වයක් ඇත. එනම් යකුන්ට ඇවැසි සියළු දේ නොඅඩුවම සැපැයෙන යක් මඩුව ශාන්ති කර්මයේ දී අප රටේ ජනතාව නිරතුරු අදහනු ලබන මහේශාක්‍ය දෙවිවරුන්ට පහන් පූජාවක් පමණක් ලබා දීමයි. 


ගම්මඩුකදී මඩු ශාන්ති කර්ම බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිතව සිදු කෙරුණ ද යක් මඩුව පන්සලක පැත්ත පළාතම වද්දා නොගන්නා බවත් කලින් සඳහන් කළෙමි. ඒ අප සමාජයේ නිරතුරු සිදු කෙරෙන පංච දුෂ්චර්යයන් එකක් දෙකක් හැරුණු කොට යක්මඩුව තුළ සිදු කෙරෙන බැවිනි. එහෙත් එය මිනිසුන් විසින් යකුන්ට, ඔවුන්ගේ ඕනෑ එපාකම් මත පදනම් ව දෙනු ලබන ප්‍රදානයක් බැවින් යක් මඩුව ශාන්ති කර්මයේ සිදු කෙරෙන පස් පව් සම්බන්ධයෙන් ගම්පහ දිසාවේ ජනතාව වැඩි තැකීමක් නොකරති. එමෙන්ම බෞද්ධ ත්‍රිපිටකයෙන් යකුන් සම්බන්ධයෙන් විශාල වශයෙන් විස්තර කෙරෙන ආටානාටිය ආදී සූත්‍රවල ද පස්පව්, දස අකුසල් කෙරෙහි යකුන් ස්වභාවයෙන්ම ලොල්වන පැහැදිලිවම සඳහන් වෙයි. එහෙත් එලෙස යකුන් අනුව යමින් අප ද පස් පව් සහ දස අකුසල්වල ගැලී කටයුතු කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක උපදෙස් දී නැත. 


යක් මඩුව ඇරඹෙන සැන්දෑ සමයේ එහි කාර්ය මණ්ඩලයට අයත් කොට්ටෝරු උන්නැහේලා යකුන්ට පිදීම පිණිස උන්ගේ රුචිය මහ පදනම් කොට ගත් බතක් පිසිති. එහිදී හත් මාලුවට අමතරව එළු මස් ව්‍යංජනයක් ද බොහෝ විට පිසෙයි. යක්මඩුව ශාන්ති කර්මයේ දී පළමුව භෝජනය යකුන්ට පිදෙන අතර ඒ වන විට යක් මඩුවට සම්බන්ධ හුදී ජනතා උදෙසා මඩුවෙන් පිටත වෙනම බතක් පිසෙයි. ඇතැම් ප්‍රදේශවල ඒ සඳහා එළු මස් ද සැකසෙන අතර යකුන්ටත් මිනිසුන්ටත් සෑහෙන පරිදි මස් ලබා ගැනීම පිණිස යක් මඩුවට මුල් කොට ප්‍රාණඝාතයක් ද සිදුවෙයි. එමෙන්ම යක් මඩුවේ යකුන් උදෙසා දෙන පිදේනි අතරට වෙරි පහනමින් හැඳින්වෙන මත්පැන් සහ මත්ද්‍රව්‍ය ද අනිවාර්යෙන්ම එක් කෙරෙයි. මීට ඉහත ද විස්තර කළ අන්දමට මෙහිදී වෙරි පහ යනුවෙන් හැඳින්වෙනුයේ රා, ගල් අරක්කු, ගංජා, අබිං සහ දුම්කොළය. යක් මඩුව යාතු කර්මයේ ම ගෘහස්ථ මට්ටමේ ශාන්ති කර්මය වන යකුන් පිදුම ශාන්ති කර්මයේ දී ද යකුන් සඳහා මෙම වෙරි පහ ප්‍රදානය කෙරෙයි. ඒ ඉතා සුළු වශයෙනි. නිදසුන් ලෙස යකුන් පිදුවේ ශාන්ති කර්මයේ දී රා සහ ගල් අරක්කු පිදෙනුයේ කුඩා ඉන්ජෙක්ෂන් කුප්පි ප්‍රමාණයෙනි. ඒ සඳහා ගංජා ලබා ගැනෙනුයේ ද යන්තම් ඇඟිලි කුඩුවලට හසුවන ප්‍රමාණයක් පමණි. මේ දිනවල අබිං සේවීම අතිශය අසීරු බැවින් ඒ සඳහා ඇතැම් පාසල් සිසුන් අතර පවා භාවිත වන බව පැවසෙන මෝදකනම් මත්ද්‍රව්‍යය ලබා ගැනෙන බව පැවැසෙයි. 


යකුන් පිදුම පිළිබඳ විමසීමට ගිය අවස්ථාවක දී මා ලත් රසවත් අත්දැකීමක් මෙසේය. වරක් යක් කපු මහතෙකු හමු වූ මට යකුන් සඳහා පුදනු ලබන කිසියම් මත් ද්‍රව්‍යයක් නීති විරෝධී බැවින් යකුන් පිදුම පොලිස් වැටලීමකට ලක් විය නොහැකි දැයි අසා සිටියෙමි. මගේ එම කතාව අසා සිටි යක් කපු මහතාගේ මුවගට එක්වරම සාඩම්බර සිනාවක් නැගිණි 


‛‛යකුන් පිදුමකට පොලිසියෙන් පැනලා එහෙම අත්අඩංගුවට ගැනීමක් කළොත් ඒ වැටලීමට සම්බන්ධ වුණු වූ අයට යහතින් ඉන්න ලැබෙන්නේ නැහැ ඒක ඉර හඳ වගේ විශ්වාසයි.’’ හෙතෙම කීය. එමෙන්ම යකුන් පිදුම සඳහා වන වෙරි පහසොයා ගැනීමට පෙර තිබූ අසීරුව දැන් නොමැති බව කී ඒ කපු මහතා දැන් ගම්පහ දිසාවේ සමහර සිංහල බෙහෙත් බඩු කඩවල මේ වෙරිපහ පැකට්ටු වශයෙන් අලෙවියට තබා ඇති බව ද කීය. එමෙන්ම ඒ සඳහා රුපියල් එකසිය අසූවකට දෙසීයකට වඩා මුදලක් වැය නොවන බව ද හෙතෙම කීය. ඒ කෙසේ හෝ යකුන් පිදුමේ දී ඉතා සුළු මාත්‍රාවකින් පිදෙන මේ වෙරි පහ යක් මඩුවේ දී ලොකුවටම ප්‍රදානය කෙරෙන බව ද යක් කපු මහතා වැඩිදුරටත් කීය. 


‛‛යක් මඩුවේ දී යකුන් පිදුමේ දී වගේ එහෙම සුළුවට දීලා බෑ, ගල් අරක්කු දෙනකොට අඩුම තරමින් බෝතලයක්වත් තියෙන්න ඕනෙ.’’ හෙතෙම කීවේ බැරෑරුම් හඬිනි. එහෙත් ඒ සමඟම ‛‛ඒ කී දෙනකුටද?’’ යනුවෙන් ඇසීමට සිත්වුවද මම මහත් ආයාසයෙන් එම පැනය ගිල ගතිමි. ඒ එමගින් මා යක් මඩුවනම් ශාන්ති කර්මයට අපහාස කරන බවක් ඔහුට හැඟී යා හැකි බැවිනි. ‛‛අනික ඔය යකුන් පිදුව වෙරි පහට දුම්කොළ කෑල්ලක් වුණත් ගන්නේ නැහැ. ඒ වෙනුවට අඩුම තරමින් බීඩි මිටියක්, සුරුට්ටු මිටියක් වත් තියන්න ඕනේ.’’ එම කපු මහතා ඉන් අනතුරුව කීය. ‛‛එහෙත් බීඩි, සුරුට්ටු බීම අවම වන අතරේ ඒ තැන සිගරට්ටුවට ලැබෙමින් තිබී, දැන් සිගරට්ටුව ද සමාජයෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යන අවදියක යක් මඩුවේ දී යකුන්ට බීඩි, සුරුට්ටු සෙවීමට දරන උත්සාහය පිළිබඳව මගේ යටි සිත තුළ උතුරන්නට වූයේ හාස්‍යයකි. එහෙත් මීට සියවසකට හමාරකට පෙර සමාජ තත්ත්වය නිරූපනය කෙරෙන මේ ශාන්ති කර්මවලින් මැදින් මෙබඳු තත්කාලීන සංකේත ඉදිරිපත් වීමේ අරුමයක් නැතැයි සිතිණ.

No comments:

Post a Comment