දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Friday, January 20, 2017

හත්මාළුව - බත් සහ ‛වෙරි පහ’ සමග යකුන්ට රාත්‍රී භෝජනයක්


ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක ොස්වැන්නයි මේ.
 

මියගිය ඥාතීන් සිහිපත් කොට ඔවුන් හට සඟමොක් සුව ප්‍රාර්ථනා කිරීම ලොව පුරා බොහෝ ආගමිකයන්ගේ සිරිතකි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධයන් අතර ප්‍රචලිත ආගමික චාරිත්‍රය වනුයේ මළවුන්ට පින්දීමය.

 මළවුන් සම්බන්ධ ලොව පුරා අභිචාර විධි එසේ වුවත් මළවුන් පුදා ඔවුන්ගෙන්  පිහිටාරක්‍ෂාව යැදීමේ චාරිත්‍රයක් ලොව ප්‍රාථමික ආගම්වල දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් අපේ රටින් ගත හැකි හොඳම නිදසුන නම්  ශ්‍රී ලාංකීය වැදි ජනතාව අතර පවත්නා නෑ යකුන් පිදීමය. එහෙත් වැදි ජනතාවට අමතරව වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ, අළුත්කුරු හා හාපිටිගම් යන කෝරළ වාසීන් දුරාතීතයේ සිට අද දක්වාම ‛යකුන් පිදුම’ නමින් චාරිත්‍රයක් ඉටු කරන බව තවමත් බොහෝ දෙනෙක් නොදනිති.

යකුන් පිදුම යනු ගම්පහ දිසාවේ අදටත් ඉඳහිට හෝ දැකිය හැකි චාරිත්‍ර විධියකි. එහෙත් මෙම චාරිත්‍රය පවතිනුයේ ගම්පහ දිසාවේ පාරම්පරික පදිංචිකරුවන් අතර බව පෙනෙයි. එමෙන්ම මෙලෙස නෑ යකුන් පිදුමට හවුල් වන සියලුම දෙනා පරම්පරාගතව කෘෂිකර්මාන්තයට; විශේෂයෙන් වී ගොවිතැනට සම්බන්ධ වූවන් බව ද කිව යුතුය. මෙය ගම්පහ දිසාවේ වැසියන්ගේ සිංහල අලුත් අවුරුද්දට පූර්වගාමී චාරිත්‍රයකි.

කිසියම් ගම්මානයක ප්‍රභූ නිවෙසක ‛යකුන් පිදුම සිදුකෙරෙන අතර එය බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයෙක යොදා ගැනෙයි. එහෙත්, ඒ දින නියම කරනු ලබන්නේ එම නිවසේ ගෘහමූලිකයා සමග කරනු ලබන කතාබහකට අනුව ඒ සඳහාම කැපවී හිඳින ‛යක් කපු මහතකු’ විසිනි. කෙසේ හෝ මෙම දින නියම කර ගැනීමත් සමග මෙම යකුන් පිදුම සිදුවන දිනය ගම පුරාම ප්‍රචාරය වෙයි. ඒ ගම්මුන් හට තම තමන්ගේ වී අස්වනුවලින් හිමිවන අග්‍ර භාගය, යකුන් පිදුම පැවැත්වෙන නිවසේ හිමිකරුවන්ට භාරදීම පිණිසය.

යකුන් පිදීමේ චාරිත්‍රයේ ප්‍රමුඛතමයා වන යක් කපු මහතා සහ ඔහුගේ ගෝල බාලයෝ කල්වේලා ඇතිවම එම නිවසට රොක් වෙති. ඒ වන විට ද අඩුම තරමින් ගම්මුන් තිහ-හතළිහක්වත් එහි රොක් වී හමාරය. සාමාන්‍යයෙන් ගැමියන්ගේ ඒකරාශීත්වයෙන් ගැමි නිවෙසක සිදුවන පොදු වැඩකදී කාන්තා පක්‍ෂයේ  සහභාගීත්වයෙන් වැඩි වශයෙන් හෝ හරි හරියට දක්නට ලැබේ. එහෙත් මෙම යකුන් පිදුමේදී එම තත්ත්වය බරපතළ ලෙස වෙනස් වනුයේ එම නිවසට කල්වේලා ඇතිව එක් රොක් වන්නවුන්ගෙන් වැඩි පිරිස පුරුෂ පක්‍ෂය වීම මතය. ඒ අනුව කාන්තාවන්ට වඩා පිරිමින් යකුන් හා සමීප බවක් පෙනේ.
ආධ්‍යාත්මික සහ අභිචාරාත්මක පක්‍ෂය පසෙක තැබූ විට මෙම යකුන් පිදුම යනු ව්‍යවහාරික අර්ථයෙන් බලන විට යකුන් සඳහා දෙනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයකි. එහෙත් එසේ යකුන් පිදීම වෙනුවෙන් සැකසෙන මල්පැළ (යකුන් පිදීමේදී මේවා හැඳින්වනුයේ මැහි යනුවෙනි) ඉදි කිරීමේ සිට ඒ සඳහා භෝජන සැකසීම සිදු කරනු ලබන්නේ හුදෙක් පුරුෂ පක්‍ෂය විසින් පමණි. මෙම පුරුෂ සහභාගීත්වය කොතෙක්ද යත් නිවෙස්වලින් ගෙන එනු ලබන වී කෙටීමට පවා කාන්තාවන් සහභාගී කර නොගැනීම මෙහි ඇති විශේෂත්වයකි.

සාමාන්‍ය ශාන්ති කර්මවලදී මෙන් මෙම යකුන් පිදුම පිණිස ආහාරපාන සැකසීම සහ වෙනත් සේවා සපයන්නවුන් හඳුන්වනු ලබනුයේ ‛කොට්ටෝරු උන්නැහෙලා’ යන නමිනි. මෙම කොට්ටෝරු යන වදන එනමින් යුතු කුරුල්ලාගේ නමින් නොව ධාන්‍ය ගබඩාව, කෝෂ්ඨාගාරය හෙවත් කොට්ටල, කොටුගෙය යන වදන මුල්කොට ව්‍යවහාරයට පැමිණි වදනක් බව පෙනෙයි.

මෙසේ වී කොටා සකසා ගත් සහලින් කොටසකින් කැවුම්, කොකිස් ද තව කොටසකින් හත් මාලුව සමග බතක් ද පිළියෙල කරනු ලබයි. ඒ ද පිරිමින් විසින්මය. වට්ටක්කා දලු, කහට දලු, කජු, කොස් ඇට, මෑ, අළු කෙසෙල් සහ බටුවලින් සමන්විත හත්මාළුව යකුන් පිදුමකදී නොවැරැදීම දක්නට ලැබෙන්නකි. දැන් නම් මේවාට සෝයා මීට් වැනි නවීන ආහාර ද එක් කරති.

පිරිමින් විසින් මුකවඩාම් බැඳ කරනු ලබන ඉහත සඳහන් කිසිදු ආහාර පිසිමේ කටයුත්තක් සඳහා කාන්තාවන් යොදා නොගැනීම ද විශේෂත්වයකි. ඊට හේතුව  අපගේ ජන විඥානයේ එන කාන්තාවන් ‛කිළි’ සහිත වීම ද විය හැකිය. එහෙත් ආහාර පිසීම පිණිස කාන්තාවන් සහභාගී කර නොගැනුණ ද මෙම යකුන් පිදුම සඳහා ‛ඇටි ඇට පහ’ නමින් හඳුන්වන ධාන්‍ය වර්ගවලට අමතරව පුළුටු වර්ග, දියමස් ගොඩමස් යොදා ගැනෙයි. මීට අමතරව මෙම යකුන් පිදීම සඳහා ඇතැම් කපු පරම්පරාවල් විසින් ‛වෙරි පහ’ නමින් හඳුන්වන රා, අරක්කු, කංසා, අබිං සහ දුම්කොළ ද යොදා ගනු ලැබේ. එම මෙම භෝජනයේ දී යකුන්ට ‛ඇඟ ටිකක් රත්කර ගැනීමට’ විය හැකිය.

මෙම යකුන් පිදුමේ කටයුත්තු සියල්ල සූදානම් වූ පසු සැන්ඳෑ ඇඳිරියත් සමග මෙම චාරිත්‍රාවලිය අරඹනු ලැබේ. මෙහිදී ප්‍රථමයෙන් දෙවියන් සඳහා වෙනම සකස්කොට ඇති මල්පැලවල පහන් දැල්වීමෙන් පසුව නිවසින් තරමක් දුර ස්ථානයක ඉදි කළ මැහි ආදියේ දී මෙම පූජාව ‛ගොටු’ වශයෙන් පූජා කිරීම සාමාන්‍ය පිළිවෙතයි. දෙවියන් සඳහා පුදනු ලබන පුද පඬුරු යකුන්ට දීමේදී ‛ගොටු’ වශයෙන් හැඳින්වෙන අතර, එම පිදීමෙන් පසුව ඇත්තේ බාරහාරවලින් නිදහස් වීමේ අවස්ථාවයි.
එහිදී යක් කපු මහතුන් විසින් මතු දැක්වෙන කන්නලව්ව කරනු ලැබේ.

“අවසර පස්වාන් දහසක්... පස්වාන් දහසක්... පස්වාන් දහසක් සිද්ධ මූල වීර මුණ්ඩ කලුකුමාර දේවතා බණ්ඩාර” යනුවෙන් ඇරැඹෙන දීර්ඝතම කන්නලව්ව නිමා වනුයේ “මේ ආතුරයින්ට ගහන සුළඟත්, පායන අව්වත් හැර අමුතු උවන්දිරමක් වැද්ද-සිද්ද දෙන්න, කියන්නේ නැතිව ලබන දොළොස් මහේ මෙවැනි අවදියට එන තුරු මේ ආතුරයින් රැකබලා ගන්නවයි, දුකට පිහිට වෙනයි, පින් ගන්නවයි, ආවඩා ආයුබොහෝ වේවා, ආයු බොහෝ වේවා... ආයු බොහෝ වේවා....” යනුවෙනි.

මෙසේ යකුන් පුදා අවසානයේ දෙවියන්ට පුද පඬුරු ද පිදීමක් සිදු කෙරෙන අතර, නිවැසියන් වෙනුවෙන් හා තමන් භාරයේ සිටින ගව මහිෂාදීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් පඬුරු පිදීම මෙහිදී සිදු කරති.

ඉන් පසුව නිවසේ සාලයේ හෝ ගෙමිදුලේ එළන ලද මාගල් මත රැස්වූ සියලු දෙනා වාඩිවන අතර, ඔවුන් ඉදිරියේ එළනු ලබන කෙසෙල් කොළ මතට මෙම හත්මාළුව සමග බත් බෙදනු ලැබේ. අනතුරුව යකුන් පිදුම සඳහා විශේෂයෙන් සැකසූ කැවුම්, කොකිස් සහ ඒ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි ආදියෙන් රැස්ව සිටි පිරිස සංග්‍රහ ලබති.

මෙසේ අනුභව කරනු ලබන ආහාර වීසි කිරීම සහ අපතේ යැවීම කිසි විටෙකත් සිදු නොවිය යුතු අතර, ඉතිරි වන සෑම බත් ඇටයක්ම සතෙකුගේ හෝ කුසට වැටිය යුතුය යන සම්ප්‍රදායක් මෙම යකුන් පිදුම තුළ තිබේ. ගම්පහ දිසාවේ ප්‍රදේශබදව සහ කපු පරම්පරාවල් අනුව මෙම චාරිත්‍රාවලිය යම් යම් වෙනස්කම්වලට ලක්වෙයි.

නමුදු ජාඇළ, නිවන්දම විසූ පාලම් මෙන්ඩිස් නමින් ප්‍රකට රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු මෙන්ඩිස් වීරසිංහ මහතාගේ නිවසේ පැවැත්වුණු යකුන් පිදුමකට මීට වසර විස්සකට පමණ සහභාගී වූ මට යකුන් උදෙසා පිළියෙළ වූ ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවිය. ඒ බව ඔහුගේ දූ දරුවන්ට වන සෝමචන්ද්‍ර වීරසිංහ සහ සුමිත්‍රා වීරසිංහ යන මහත්ම මහත්මීන් වෙත මම මොහොතේ අතිශය කෘතවේදීව සිහිපත් කරමි. 

පෙර ලිපිය

No comments:

Post a Comment