ගණේමුල්ල කියන්නේ ගම්පහ දිසාවේ තියෙන සැලකිය යුතු ජනගහණයක් ජීවත්වන මුල් පෙළේ උප නගරයක්. ඒත් මේ ගණේමුල්ල කියන ග්රාම නාමය හා සබැඳුණු ප්රකට පුරාවෘත්තයක් ඉස්මතු වී නැහැ. නමුත්, මේ
ගණේමුල්ල ග්රාමනාමය පිළිබඳව විමසද්දී අප්රකට ඓතිහාසික කරුණු රැසක් සපයා ගත හැකියි.
‘ගණේ’
එහෙමත් නැත්නම් ‘ගනේ’ යන
ශබ්දය මුල් කරගත් ග්රාම නාම කිහිපයක් අපේ රටේ තිබෙනවා. ඒවා අතුරින් සමරක ‘ගනේ’ යන
ශබ්දය යෙදී ඇත්තේ ග්රාම නාමයේ අගට,
දිවුල්ගනේ,කොබෙයිගනේ, මැටියගනේ
ඒ සඳහා පහසුවෙන් දැක්විය හැකි නිදසුන් කිහිපයක්. මෙහි එන ‘ගන’ යන
වදන ඝන හෙවත් අතුරු සිදුරු නැති යන අරුත දනවනවා. ඒ බවට දහවන සියවසේ ලියැවුණු දම්පියා අටුවා ගැටපදය ආදී ඉපැරණි කෘතීන් ගෙන් සෘජු සාක්ෂි ලබා ගන්න අපට පුළුවන්. ඒ ඔස්සේ බලනකොට දිවුල් බහුලව තිබූ ප්රදේශය දිවුල්ගනේ ලෙසත් කොබෙයියන් බහුලව සිටි ප්රදේශය කොබෙයිගනේ ලෙසත් මැටි සහිත පසක් තිබූ ප්රදේශය මැටියගනේ ලෙසත් ප්රසිද්ධ වූ බව පහසුවෙන් නිගමනය කරන්න පුළුවන්.
ඒත් ‘ගනේ’ යන්නෙහි
එන දන්නජ ‘න’ යන්න
වෙනුවට මුර්ධජ ‘ණ’ යන්න
සහිත ග්රාම නාම කිහිපයකුත් අපට අසන්නට ලැබෙනවා. ඒ වගේම මේවායේ ‘ගණේ’ යන්න
ග්රාම නාමයේ මුලට එක්වීමත් විශේෂතත්වයක්. අද අපේ මාතෘකාවට බඳුන්වන ගණේමුල්ලට අමතරව ගණේගොඩ, ගණේතැන්න,ගණේගොඩැල්ල තවත් එවැනි ග්රාම නාම කිහිපයක්. මේ විදිහට මුර්ධජ ‘ණ’ යන්න
සහිත ‘ගණ’ වාචකයෙන්
සමූහය, හමුදාව යන අරුත් පළවන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඒ වගේම භික්ෂුන් වහන්සේ, භික්ෂු
සංඝයා හෝ පස්නමකට අඩු භික්ෂු පිරිස හැඳින්වීම සඳහා මේ ‘ගණ’වාචකය යොදන බව පැරණි පොත පත පරිශීලනය කරන විට අපට පෙනෙනවා. දහතුන්
වන සියවසේ ලියැවුණු විසුද්ධි මාර්ග සන්නස දාහහතරවන සියවසේ ලියැවුණු නිකාය සංග්රහය පහළොස් වන සියවසේ ලියැවුණු පුරාණ නාමාවලිය යන කෘතීන් ඒවාට නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම විහාරය, සංඝාවාසය
වගේ අරුත් පළකිරීම සඳහාත් මේ ‘ගණ’ වාචකය
යෙදුණු අවස්ථා තිබෙනවා. ඊට උදාහරණ හැටියට දාහතරවන සියවසේ ලියැවුණු පන්සිය පනස් ජාතක පොත මෙන්ම දහතුන් වන සියවසේ ලියැවුණු සද්ධර්මරත්නාවලිය දක්වන්න පුළුවන්. ඒ වගේම අද වුණත් භික්ෂුන් වහන්සේලා සඳහා යොදන ‘ගණින්නාන්සේ’ කියන
උපහාසාත්මක වදන ඔබත් අහලා ඇති. ඒත්
මේ ගණින්නාන්සේ යනුවෙන් හඳුන්වා ඇත්තේ භික්ෂු උපසම්පදාව මෙරටින් තුරන්ව තිබූ කීර්ති ශ්රී රාජසිංහ සමය දක්වා වූ මහනුවර මුල්
යුගයේ අප රටේ භික්ෂුන් ලෙසින් පෙනී සිටි පැවිදි පරපුරයි. මුළුමනින්ම ශ්රමණයන් හෝ පැවිද්දන් හැටියට සැලකිය නොහැකි මේ ගණින්නාන්සේලා පැවිද්දටත්, ගිහිකමටත් නොමැති පූජක දිවියක් ගත කළ බවයි ඓතිහාසික තොරතුරුවලින් පෙනී යන්නේ. අපේ මාතෘකාවට සම්බන්ධ ‘ගණ’ යන
වචනය. මේ ගණින්නාන්සේලාටත් තරමක් සම්බන්ධ බව නොකියාම බැහැ. දිවුලපිටිය ආසන්නයේ ඇති ගණේකන්දේ අළුතෑපල රජමහා විහාරස්ථානය ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික වශයෙනුත් වැදගත් පුදබිමක්. මේ විහාරස්ථානයට ගණේකන්ද යන යෙදී ඇත්තේ මේ විහාරය ඉදිකොට ඇති ස්ථානයේ තිබෙන ගල්ලෙනක් ආශ්රිතව අතීතයේ ජීවත් වූ වේරගොඩ බ්රහ්මඝෝෂක නම් ගණින්නාන්සේ කෙනකු මුල් කරගෙන බව ඓතිහාසිකව සනාථ
වී තිබෙනවා.
ලක් ඉතිහාසයේ අසමසම නරපතියා වන දුටු ගැමුණු රජතුමා හැරුණු කොට ලක් ඉතිහාසයෙන් මතුවන ඊළඟ සුවිශේෂ රණශූර නරපතියා සීතාවක රාජසිංහයන් බවට සැක නැහැ. ජීවිතයේ නව යොවුන් වියේදීම ටිකිරි කුමාරයා නමින් මහත් සුරුවිරුකම්පෑ සීතාවක රාජසිංහයන් බලයට පත් වීම කෙරෙහි එවක සංඝ සමාජය දැඩිව විරුද්ධ වුණා. එවක සංඝ සමාජයේ අරමුණ වුණේ ටිකිරි කුමාරයාගේ වැඩිමල් සොයුරු තිඹිරිපොල කුමාරයා සීතාවක සිහසුනේ හිඳුවීමටයි. එහෙත්, තමන්
සතු අසීමිත බල පරාක්රමය නිසා එවක සංඝ සමාජයේ අභිමතයට ඉහළින් සීතාවක රාජසිංහ නමින් තුන් හෙළයේ ප්රතාපවත් නරපතියකු වීමට ටිකිරි කුමරුන්ට හැකිවුණා. මේ කාලය වන විට ලෝකයේ හිඳින විශිෂ්ටතම ප්රතාපවත් රණකාමී ජාතිය වුණේ පෘතුගීසීන්. එක්දහස්
පන්සිය පහේ අපේ රට ආක්රමණය කළ පෘතුගීසින්ගේ බලය මේ කාලය වන විට අපේ රට තුළ ඉහළම මට්ටමක තිබුණා. නමුත් ඒ පෘතුගීසි බලයට එරෙහිව සීතාවක රාජසිංහයන් මුල්ලේරියාව ආදී ප්රදේශවලදී එල්ල කළ දරුණු ප්රහාර ලෝක ඉතිහාසයට පවා එක්විය යුතු තරම් ප්රබලයි. ඒ ප්රහාර මොන තරම් බලවත් වුණාද කීවොත් රටේ ප්රදේශ ගණනාවක ව්යාප්තව තිබූ තමන්ගේ බලය ‘කොළඹ කොටුව’ තුළට
කොටු කර ගන්නට පෘතුගීසීන්ට සිදුවුණා. ඔන්න ඔය කාලේ තමයි කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා කියලා කියන්නේ.
කොහොම හරි සීතාවක රාජසිංහයන්ගේ මේ දැවැන්ත යුද ක්රියාදාමයට භික්ෂු සමාජයෙන් කිසිදු සහයක් නොලැබුණා වගේම රජතුමාට එරෙහි යම් යම් ක්රියාදාමයන්ට පෙළඹුණු භික්ෂුන් වහන්සේලාත් ඒ කාලයේ සිටි බව සමකාලීන පෘතුගීසි ලේඛන මගින් තහවුරු කර ගත හැකියි. ඒ අනුව තමයි සීතාවක රාජසිංහයන් තමන්ගේ රාජ්යත්වයට එරෙහිව කුමන්ත්රණය කරන බව සලකා එවකට සිටි සංඝ රාජ හිමියන් මරණ දඬුවමට යටත් කොට සංඝ සමාජයෙන් කෲර ලෙස පළිගන්න පටන් ගත්තේ. ඒ අනුව එම
යුගයේ සිටි සෙසු හිමිවරු තම ජීවිත බේරා ගැනීම සඳහා එවකට වනගතව පැවැති අහුමුළු බඳු ස්ථානවල සැඟවුණු බව ඓතිහාසිකව සනාථ වී තිබෙනවා. ගණේමුල්ල කියන්නෙත්, ඒ
කාලයේ භික්ෂුන් වහන්සේලා තම ජීවිතාරක්ෂාව ‘උදෙසා සැඟව සිටි’ මුල්ලක්
හෙවත් ආවරණය වුණු ස්ථානයක් බව මේ අනුව අපට වටහාගත හැකියි. මේ අතර සීතාවක රාජසිංහයන්ගේ උදහසට ලක්වූ තවත් භික්ෂු පිරිසක් හොර රහසේම සිවුරු හැර ගොස් තවත් මෙවැනිම
‘මුල්ලක’ සැඟවී
තිබෙනවා. ගම්පහ නැදුන්ගමුව ආසන්නයේ ඇති ඒ ප්රදේශය අදත් හැඳින්වෙන්නේ ‘හීරළුමුල්ල’ යනුවෙන්,
එසේ සිවුරු හැර සැඟවුණු පිරිසගේ ඊළඟ පරපුර විහාරස්ථානවල හේවිසි වැයීම ජීවන වෘත්තිය බවට පත් කරගත් බවකුත් පැවසෙනවා.
සමකාලීන සංඝ සමාජය සමග ඇති කරගත් ආරෝව නිසා සීතාවක රාජසිංහයන් පීතෘ ඝාතකයෙක් හා බෞද්ධ විරෝධියෙක් ය යන මතය අප සමාජයේ තවමත් පැතිර පවතිනවා. මීට හේතුව ක්රිස්තු වර්ෂ එක්දහස් පන්සිය අනූ දෙකේ සිදුවුණු සීතාවක රාජසිංහයන්ගේ මරණයෙන් අවුරුදු එකසිය
පනස් පහකට පසුව එළැඹි මහනුවර රජ කළ කීර්ති ශ්රී රාජසිංහ රජුගේ යුගයේ තිබ්බටුවාවේ සිද්ධාර්ථ හිමි ලියූ මහාවංශයේ අවසන් පරිච්ජේදවලින් සීතාවක රජතුමා බුදු සසුනේ පරම ද්රෝහියකු හා පීතෘ ඝාතකයෙකු ලෙස හඳුන්වා දී තිබීමයි. නමුත්
සීතාවක රජුගේ යුගයේ සීතාවක පුරයට අයත් දෙල්ගමු රජමහා විහාරයේ සඟවා තිබූ ශ්රී දන්ත ධාතුවට අසීමිත ගෞරවාදරයක් දැක්වූ රජතුමා දළදා වහන්සේ සම්බන්ධ සියලු චාරිත්ර එපරිද්දෙන්ම සිදු කිරීමට එවකට දළදා වහන්සේ භාරව සිටි හිරිපිටියේ රාළ දියවඩන නිලමේ තුමාට උපෙදස් දුන් බව ඓතිහාසික මූලාශ්ර කිහිපයක් මගින් මනාව තහවුරු කරගත හැකියි. ඒ වගේම සීතාවක රජතුමන්ගේ පියරජු වූ මායාදුන්නේ රජු වසර අසූ එකක් ජීවත් වී ‘උකුත් වූ’ හෙවත්
පරලෝකප්රාප්ත වූ බව දහසය වන සියවසේ අගභාගයට අයත් ‘රාජාවලිය’ කෘතියෙහි
ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා. ඒ වගේම සීතාවක යුගය පිළිබඳ නිරීක්ෂණ වාර්තා ලෙස සැලකෙන වැලන්ටයින්, කූතෝ
වැනි විදේශීය ලේඛකයන්ගේ කෘතිවල ද මායාදුන්නේ රජුගේ මරණය මිනී මැරුමක් බව හෝ සීතාවක රාජසිංහයන් පීතෘ ඝාතකයකු බව ඇඟවෙන කිසිම සාධකයක් නැහැ. ඒ අනුව සීතාවක රාජසිංහයන්ට එරෙහිව බුදු සසුනට ද්රෝහි වීම සහ පීතෘ ඝාතනය පිළිබඳ චෝදනා පදනම් විරහිත බව ඒ සම්බන්ධයෙන් කරන ස්වාධීන නිරික්ෂණයක දී ඉතා හොඳින් පැහැදිලි වෙනවා.
කෙසේ හෝ සීතාවක රාජසිංහයන් කළ භික්ෂු ඝාතන, විහාරාරාම ගිනි තැබීම් වැනි දරුණු ප්රචණ්ඩ ක්රියා එවකට පැවැති දේශපාලන කුමන්ත්රණයකට එරෙහිව රජතුමා ගත් දැඩි ක්රියාමාර්ග බව ඉඳුරාම පැහැදිලියි. ඒ වගේ වාතාවරණයක් යටතේ රාජ උදහසට ලක්වූ භික්ෂුන් කොටසක් මෙලෙස වන ගත අහුමුල්ලක සැඟවීම පුදුමයක් නොවෙයි. මාකිලංගමුව කියන්නේ ගණේමුල්ලට යාබද ගමක්. මාකිලංගමුව යන ග්රාම නාමය ඇතිවී ඇත්තේ මූකලන් ගොමුව යන වදන් දෙක එක්වීමෙන්. පැරණි
මූකලන් ගොමුවට එපිටින් වූ වෙල්යායට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති තවත් ගමක් තමයි අස්ගිරි වල්පොල. එයින්
හැඟවෙන්නේත් වනගත ප්රදේශයක්.
ගණේමුල්ල උප නගර සීමාවේ තියෙන තවත් ගමක් තමයි හොරගොල්ල. මින්
කියැවෙන්නේ ඒ ප්රදේශයේ හොර ගස් බහුලව තිබුණු බවයි. ගණේමුල්ල සහ ජාඇල කඳාන ප්රදේශ මායිම් වන බොල්ලත ප්රදේශයට නුදුරින් පිහිටි තවත් ගමක් තමයි පොල්පිතිමුකලාන. ඒ
වගේම ඉඹුල්ගොඩ, සූරියගම,කැන්දලියැද්ද පාළුව,නාරංගොඩ පාළුව, වගේ
ගණේමුල්ල උපනගරයට ආසන්නයේ පිහිටි ගම්මානවල ග්රාම නාම බොහොමයකට ගස්වල නම් සම්බන්ධව ඇති බව ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. ඒ අනුවත් වත්මන් ගණේමුල්ල අතීතයේ තුරුවදුලින් ගැවසුණු ඒ ප්රදේශවල අහුමුල්ලක් වූ බවට සැක නැහැ.
ඒ වගේම සීතාවක රාජසිංහ යුගය වන විට ගණේමුල්ල අවට ප්රදේශ කෘෂිකර්මයෙන් ඉහළම ප්රගතියක් ලබා තිබුණා. අනික ඒ අවට ගම් දනව්වල විසූ බෞද්ධ ජනතාව සීතාවක රාජසිංහයන්ගේ මේ භික්ෂු සංහාරයට දැඩිව අකමැතිවූ බවත් පැහැදිලියි. ඒ නිසාම සීතාවක රාජසිංහයන්ගේ උදහසට බියෙන් තම ජීවිත රැකගනු පිණිස තුරුවදුලුවලින් පිරීගත් මේ වන ගහනය තුළ සැඟව සිටි ප්රදේශයේ ප්රසිද්ධ විහාරාරාමවල භික්ෂු සංඝයාට ඒ අවට ගම්මානවල ගැමියන් ආරක්ෂාව සපයමින් සිව්පසයෙන් උපස්ථාන කළ බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියි. ඒ අනුව එවක සංඝ සමාජය
කෙරෙහි සීතාවක රාජසිංහ රජුගේ උදහස එල්ල වූ සමයේ භික්ෂුන් සැඟවී සිටි මුල්ල පසුව ගණේ මුල්ල වූ යනුවෙන් හැඳින්වුණාට සැක නැහැ.
අගය කරමි.
ReplyDelete