දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Monday, January 9, 2017

ගම්පහ දිසාවේ අදටත් නොනැසී පවතින ‛යක් ආණ්ඩුව’

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක නවවැන්නයි මේ.




අපේ රට දුරාතීතයේ යක්‍ෂ රජ දහනක්ව තිබූ බවට සපයා ගත හැකි සාක්‍ෂි බොහොමයකි. මෙහි යක්‍ෂ යනු ප්‍රකෘති ලොව හා කිසිදු සබැඳියාවක් නොමැති අද්භූත ජීවීන් කොටසකැයි සමහරු සිතති. එහෙත් එම උපකල්පනය ඉඳුරාම වැරදිය. අතීතයේ අප රටේ යක්‍ෂ නමින් ජීවත් වී ඇත්තේ ද එක්තරා මනුෂ්‍ය වර්ගයකි. එමෙන්ම මොවුන් හුදු නොදියුණු ආදිවාසීන් නොවන බවත්, කිසියම් දියුණු ශිෂ්ටාචාරයක හිමිකරුවන් බවත් පැහැදිලිවම පෙනෙයි. එමෙන්ම ඔවුන් ලබා ඇති එම දියුණුව විද්‍යා තාක්‍ෂණික දියුණුව මත පදනම් වූවක් නොවේ. මේ වනවිට හරි හැටි තේරුම්ගත නොහැකි කිනම් හෝ ගුප්ත ශාස්ත්‍රීය පදනමක් මත ඇති වූවකි. ලෝක ඉතිහාසයේ ආදී යුගයක මැක්සිකෝව සහ මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව අතර පැවැති ඉන්කා - මායා ශිෂ්ටාචාරය ද නූතනයේ විද්‍යා තාක්‍ෂණික වශයෙන් හැඳින්වෙන විෂය පථයෙන් තොරව ප්‍රබල දියුණුවක් ලබා ඇති බව අද වනවිට මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. 

එමෙන්ම විද්‍යා තාක්‍ෂණික වශයෙන් හඳුන්වන නවීන විද්‍යාවෙන් පරිබාහිර කිසියම් දියුණු තත්ත්වයට පත්ව ඇති මානව ශිෂ්ඨාචාරයන් අද ද ලොව ඉදහිට හෝ දක්නට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් එය ප්‍රසිද්ධ වුවත් රහසක් ලෙස පවතින්නේ විද්‍යා තාක්‍ෂණය දේවත්වයෙන් සලකන නූතන සමාජය විසින් එම කරුණු නොසළකා හැරීම වසන් කොට තිබීම නිසාය. 

දූරාතීතයේ අප රටේ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ගොඩනගා ගත් ශිෂ්ටාචාරය ද එබඳු කිසියම් ප්‍රබල තත්ත්වයක පැවැතුණු බව සාධාරණ ලෙස අනුමාන කළ හැකි ය. මහාවංශය ඇතුළු වංශකතා මූලාශ්‍ර මගින් පැවසෙන අන්දමට විජයාවතරණයට පෙර අප රටේ ජීවත් වූ යකුන් හට අන්‍යයන්ට නොපෙනී හිදීමේ සහ විවිධ අයුරින් වෙස් මාරුකර ගැනීමේ අධි මානුෂික ශක්තීන් තිබී ඇත. මේවා බොහෝ විට සාහිත්‍යකරුවන් විසින් ගොඩනගන ලද කාව්‍යාත්මක අර්ථ නිරූපණ වීමට බැරි කමක් නැත. එහෙත් මෙම ප්‍රකාශයන්හි කිනම් හෝ සැඟවුණු යටි අරුතක් ඇත්තේම නැතැයි කිව හැක්කේ කාටද? එනිසා මේ මත ඉඳුරාම බැහැර කිරීමට පෙර මේවා තුළ ඇති සාධනීය කරුණු අපගේ විමර්ශනයට ලක්විය යුතුය. 

දුරාතීතයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමි පැවැති බවට විවිධ අයුරින් අනුමාන කළ හැකි ප්‍රදේශ බොහොමයක් අප රට තුළ තිබේ. ඒ අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පූර්ව ඓතිහාසික සහ ප්‍රාග් ඓතිහාසික නටබුන් ගහණත්වය මත ශ්‍රී ලංකාවෙන් ප්‍රමුඛත්වයක් හිමිකර ගන්නා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මතු කරගත හැකි යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ මානව විද්‍යාත්මක සාක්‍ෂි ප්‍රමාණය ද සුළුපටු නැත. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් යක්කඩුව (යක්‍ෂයන්ගේ අසිපත පිහිටි තැන), බෙම්මුල්ල (භීම හෙවත් බිය ගෙන දෙන මුල්ල), යක්කල (යක් ූ වල හෙවත් යකුන් සිටි කැලය), යකුන්කෙළිය (යක්‍ෂයන් ක්‍රීඩා කළ ස්ථානය), යකහටුව (යක් ූ අටුව හෙවත් යක්‍ෂයන්ගේ ධන්‍යාගාරය) ඒ සම්බන්ධ ග්‍රාමනාම වශයෙන් ගත හැකි සාක්‍ෂි කිහිපයකි. 

දෙවියන්ට කන්නලව් කිරීම, දෙවියන් පිදීම, බාරහාර වීම සහ ඔප්පු කිරීම කපු මහතුන් සතු කාරියක් බව අපි කවුරුත් දනිමු. යකැදුරන් හෙවත් කට්ටඬියන් යනු යකුන් පළවාහරින හෝ යකුන් බැඳගන්නා එමෙන්ම කපු මහතුන්ට ඉඳුරාම වෙනස් වෘත්තිකයන් පිරිසකි. එහෙත් දෙවියන් වෙනුවෙන් කැපවූ කපු මහතුන් හෝ යකුන් පළවා හැරීම නැතහොත් බැඳ ගැනීම වෙනුවෙන් කැපවූ යකැදුරු මහතුන් නොවන තවත් විශේෂ වෘත්තිකයෝ පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙති. ඔවුන් හඳුන්වනුයේ ‛යක් කපු මහතුන්’ ලෙසිනි. මෙම යක් කපු වෘත්තිය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලත් බලපැවැත්වෙන්නක්ද යනුවෙන් විමැසීමට මම බොහෝ උත්සාහ දරා ඇත්තෙමි. එහෙත් ගම්පහ දිසාව රයිගම් කෝරළය සහ හේවාගම් කෝරළය ආදී ප්‍රදේශවල යකුන් උදෙසා පුද පිළිවෙත් කිරීමට කැපවූ කපු වෘත්තියක් ලංකාවේ සෙසු ප්‍රදේශව එතරම් ව්‍යාපෘතියක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි සපයා ගැනීමට මට නොහැකි විය. 

ශ්‍රී ලාංකීය ජන සමාජයේ අදහනු ලබන දෙවිවරුන් අතර යක්‍ෂ සම්භවයේ දෙවිවරු ද වෙති. ඒ අතුරින් සූනියම් ගම්බාර දෙවියන්ට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි. දේවාලවලදී ශුද්ධ සූනියම් ගම්බාර නමින් පුද පිළිවෙත්වලට ලක්වන මෙම සුරිඳුන් බලිතොවිල් ශාන්තිකර්මවලදී හැඳින්වෙනුයේ ඔඩ්ඩි සූනියම් යක්ෂයා ලෙසිනි. මෙය තවදුරටත් විස්තර කළහොත් සූනියම් ගම්බාර දේවාලවලදි කපු මහතුන්ගේ ගෞරව සම්ප්‍රයුක්ත ආමන්ත්‍රණවලට, කන්නලව්වලට හිමිකම් කියන මෙම සුරිඳුන් තොවිල්පලවලදි ‛ඔඩ්ඩි මස්සිනේ’ යනුවෙන් තොවිල් ඇදුරන්ගේ හෘදයාංගම ආමන්ත්‍රණයට ලක්වන බව නොරහසකි. එහෙත් මා මේ කියන ගම්පහ දිසාවේ අදටත් ජීවත්වන යක් කපු මහතුන් යනු ඊට වඩා වෙනස් වෘත්තිකයන් පිරිසකි. ඔවුන් මෙලෙස භක්ත්‍යාදරයෙන් යුතුව පුද පිළිවෙත් පවත්වනුයේ ‛යක් ආණ්ඩුව’ නමින් හඳුන්වනු ලබන යක්‍ෂ සමූහයකටය. 

සාමාන්‍යයෙන් රටේ ජනතාව පීඩාවට පත් කරන රජයක් හැඳින්වීම උදෙසා ද සමහරු මෙම යක් ආණ්ඩුව යන නම යොදති. එහෙත් මෙම යකුන් පිදීමේ යාතු කර්මවලදී ‛යක් ආණ්ඩුව’ ලෙස හඳුන්වනුයේ දුරාතීතයේ සිට ගම්පහ දිසාව පාලනය කළ යක්ෂ නායකයන් පිරිසක් විය යුතුය යන්න මගේ වැටහීමය. ඒ බව මනාව තහවුරුවනුයේ මෙම යක් කපුමහතුන් යක් ආණ්ඩුව සඳහා සිදුකරනු ලබන පුද පිළිවෙත් සියුම් ලෙස විශ්ලේෂණය කරන විටය. ඒ මොනවාදැයි අපි ලබන සතියේ විමසා බලමු. 

පෙර ලිපිය

Tuesday, January 3, 2017

යක්කු අප හිතන තරම් කළු නැති කතාව සහතික ඇත්තක්

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක අටවැන්නයි මේ.



යකා කියන තරම් කළු නැහැයි යනුවෙන් කියමනක් අප ජන සමාජයේ තිබේ. මෙහි කළුයන්නෙන් හැඟවෙනුයේ හුදෙක් එම පැහැයම නොවේ. දුෂ්ඨ, නපුරු, අයහපත් ආදිය හැඟවීම පිණිස ද ලොව පුරා කළු යන වචනය යොදා ගැනේ.

කිසියම් කරුණක් මුල්කොට යමකුගේ ආත්ම ගෞරවයට හානි වන පරිදි බිය වද්දවන බවට අනතුරු ඇඟවීම (Black mail) හොර කඩය හෙවත් කළු කඩය (Black market) අපකීර්තිය හෙවත් කළුපැල්ලම (Black mark)  නොමනා අයුරින් උපයන මුදල් (Black mark)  ආදිය ඉංග්‍රීසි බසින් ඒ සඳහා දැක්විය හැකි නිදසුන් කිහිපයකි.

අප ජන වහරෙහි යකා කියන තරම් කළු නැතැයි පැවසුණද බටහිර සංස්කෘතියෙහි දැක්වෙන අන්දමට යක්‍ෂයා අතිශයින් කළුය. බයිබලයෙහි එන සාතන් (Satan)  යන්න හීබෲ බසින් උකහා ගැනුණු වදනකි. ඒ සඳහා සතුරා, පසමිතුරා, එදිරිවාදිකාරයා යන සිංහල අරුත් ලබා දිය හැක. බයිබලයේ එන සාතන් යන කුරාණයෙහි දැක්වෙනුයේ ෂයිතාන් (Shitan)  යනුවෙනි. වැරදීම, දුරස්තර බව ආදී වශයෙන් සිංහලයෙන් අරුත් ගැන්විය හැකි ෂයිතාන්යන්න අරාබි බසෙහි වදනකි.
යක්‍ෂයා යන්න හැඳින්වීම පිණිස Demon යන්න ද යෙදෙයි. එය ග්‍රීක බසින් ඉංගිරිසියට ආ වදනකි. බටහිර සංස්කෘතියේ යක්‍ෂයන්න එසේ පිටුදැකිය යුතු, දුරලිය යුතු තත්ත්වයක් සේ සැලකුණද පෙරදිග සංස්කෘතියේ යක්‍ෂ යන්නෙහි අර්ථකථනය ඊට ඉඳුරාම වෙනස්ය.

ප්‍රාකෘත භාෂාවේ යක්‍ෂ යන්න ව්‍යවහාර වනුයේ යජ්ජයනුවෙනි. එහි නිරුක්තිය දක්වා ඇත්තේ යැදිය යුතු තැනැත්තාවශයෙනි. ඉන්පසු එය සංස්කෘතික බසෙහි යක්‍ෂවශයෙන් හා පාලි බසෙහි යක්ඛ’  යනුවෙන් ව්‍යවහාර වෙයි. යක්යනු එහි සිංහල ස්වරූපයයි.

ත්‍රිපිටක සාහිත්‍යයෙහි යක්ඛයන්න කිහිප අයුරකින් විස්තර කෙරේ. ආටානාටිය ආදී සූත්‍ර දේශනාවන්ට අනුව යකුන් යනු අකුසලමය පක්ෂය පදනම් කරගත් ප්‍රබල ජීවීන් කොටසකි. එහෙත් සූත්‍රයේ මතුපිට අරුත එය වුවද දාර්ශනික අරුත වශයෙන් එය ලෝභ, දෝෂ, මෝහ යන කෙලෙස් සාහිත්‍යමය සහ කාව්‍යාත්මක ස්වරූපයෙන් විස්තර කෙරෙන අවස්ථාවකැයි මට සිතෙයි.



මහාවංශයේ පැවසෙන අන්මට බුද්ධත්වයෙන් පසු එළැඹි මුල්ම දුරුතු පුන් පෝදා මහියංගණයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් ගිරි දිවයිනට පළවා හරිති.  එහෙත් පුරිස ධම්ම සාරථීනම් ගුණය සහිත බුදුන් වහන්සේ තමන් වහන්සේ හට හමුවූ ආලවක ආදී යක්‍ෂයන් දමනය කරනු වෙනුවට ඔවුන් පළවා හැර අවස්ථාවක් පිළිබඳව ත්‍රිපිටකයෙහි කිසිදු තැනෙක සඳහන්ව නැත. එනිසා මෙම මහාවංශ සඳහන බුදුන්ගේ මහා කාරුණික ගුණය උල්ලංඝනය කරන්නක් ලෙස ද යමකුට හැඟී යා හැක.

අප කවුරුත් දන්නා පරිදි අප රට අතීතයේ යක්‍ෂ, නාග, දේව යන ගෝත්‍රිකයන්ගෙන් යුක්ත දේශයකි. ඔවුන්ගෙන් දේව සහ නාග යන ගෝත්‍රිකයෝ විවිධ අයුරින් බුදු සසුන සමඟ සහසම්බන්ධතා පළ කළහ.

ආකාශට්ඨාච භුම්මට්ඨා දේවා - නාගා - මහිද්ධිකායනුවෙන් අප ජන සමාජයේ අතිශය ප්‍රචලිත දෙවියන්ට පිං දෙන ගාථාවෙන් පැවසෙනුයේ අතීතයේ රටේ ජීවත් වූ දේව සහ නාග ගෝත්‍රිකයන් බව පෙනේ. එහෙත් එම ගාථාවෙහි මහිද්ධිකානැතහොත් මහා සෘද්ධිමතුන්යනුවෙන් සඳහන් වනුයේ එම දේව සහ නාග ගෝත්‍රිකයන් පිළිබඳවමද නැතහොත් දේව සහ නාග යන ගෝත්‍රවලින් බැහැර වෙතත් මහා සෘද්ධිමතුන් කොට්ඨාසයක් පිළිබඳව ද යන්න පැහැදිළි නැත. එසේ නම් එම ගාථාවෙහි මහිද්ධිකායනුවෙන් සඳහන් වනුයේ නියත ලෙසම යකුන් පිළිබඳව විය යුතුය.


වන්නි හත්පත්තුව මුල්කොටගත් වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අඹන්පොළ, ගල්ගමුව, ඇහැටුවැව, ගිරිබාව යන ප්‍රදේශ ඇසුරු කර ගනිමින් ගත වූ වසර දහ අටක පමණ කලක් තිස්සේ වරින් වර කරනු ලැබූ ගවේෂණ මුල්කොට පසුගියදා මම වන්නිහත්පත්තුවේ ජනකතා - යක්‍ෂ දේව ප්‍රවාදනමින් කෘතියක් එළිදැක්වීමි. එහි එන යක්‍ෂ දේව ප්‍රවාද පිළිබඳ විමසීමේදී ප්‍රධාන වශයෙන් පෙනී ගිය කරුණක් තිබේ. එනම් මිනිසුන්ට වඩා නරක, ප්‍රබල යකුන් සේම යකුන්ටත් වඩා ප්‍රබල, නරක මිනිසුන්  අප සමාජයේ කොතෙකුත් සිටින බවකි. එමෙන්ම පහතරට බලි තොවිල් ශාන්ති කර්ම ආදියේදී දැකිය හැකි ගුරුන්නාන්සේ සහ යකැදුරා අතර සංවාදවල රසවත්  බව අනුව යකුන් වරෙක අපට කොතරම් සමීපදැයි වටහා ගත හැකිවනු ඇත.

මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ගරා යකුම හෙවත් ගරා යක් ශාන්තිකර්මය නරඹන්නවුන්ට මෙලෙස විනෝදාස්වාදය නොමඳවම හිමි කෙරෙන අවස්ථාවකි.

එම ශාන්තිකර්මය මෙහෙයවන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේ සමග අතිශය විනෝදමත් සංවාදයක යෙදෙන ගරා යකු ලෙස සමාරෝපණය වන නළුවා අනියමින් ලිංගිකත්වය හුවා දැක්වෙන වාගාලාප ඉදිරිපත් කිරීම මෙම ගරා යකුම ශාන්ති කර්මවල සාමාන්‍ය සංසිද්ධියකි. මීට කලකට ඉහත ගණේමුල්ල ප්‍රදේශයේදී මා දුටු ගරා යකුමකින් මතුවූ මෙම දෙබස් ඛණ්ඩය ඒ සඳහා ගත හැකි කදිම සාක්ෂියක් වනු ඇත.

ගුරුන්නාන්සේ: දැන් ඔක්කෝම බලාගෙන ඉන්න හින්දා මෙතන වැදගත් විදිහට හැසිරෙන්ඩ ඕනෑ තේරුණාද?

ගරා යකු: (දුකින් මෙන්) ඔක්කොම කටබලියං හිටියට මට ඉතින් ඔක්කොම පේන්නේ නැහැනේ ගුරුන්නාන්සේ.

ගුරුන්නාන්සේ: ඒ මොකද ඔක්කොම පේන්නේ නැත්තේ? ඇස් කණ වෙලාද?

ගරා යකු: (සිනාසී) ඇස් කොහොමද තන වෙන්නේ? ඇස් තියෙන්නේ මෙහේ. (අනතුරුව පපුව  දක්වා) තන තියෙන්නේ මෙහේ.

ගුරුන්නාන්සේ: මම ඇහුවේ ඇස් තනවෙලාද කියලා නෙවෙයි, ඇස් කණවෙලාද කියලා. එහෙම නැත්තම් ඉතින් මේ ඔක්කොම හොඳට පේන්න එපායැ.

ගරා යකු: (ලජ්ජාවෙන් සිනාසී) ඔක්කොම පේන්නේ කොහොමද ගුරුන්නාන්සේ, මේ හැමෝම ඇඳුම් ඇඳලනේ ඉන්නේ.

ගුරුන්නාන්සේ: එහෙම නම් දැන් තමුන්ට ඕනේ ඇඳුම් ඇඳලා නැති කෙනෙක් ද? එහෙම අය යක්කු අතරේ මිසක් මේ මනුස්ස ලෝකේ නෑ තේරුණා ද?

ගරා යකු: ගුරුන්නාන්සේ දන්න ඉටිගෙඩිය තමයි. මොකද නැත්තේ? ඕනේ තරම් ඉන්නවා. හැබැයි සමහර වෙලාවල්වලදී (කාන්තාවන් දෙසට හැරී) නැද්ද මෙයා?

ගුරුන්නාන්සේ: තමුන්ටත් ගෑනු පරානයක් දැක්කම ඉන්නම බැහැ වගේ. ඉබේටම ඇඟ නලියනවා නේද?

ගරා යකු: ඇඟ කිව්වේ මොන ඇඟ ද ගුරුන්නාන්සේ? නලියනවා විතරක් නෙවෙයි මට එක එක ඒවා හිතෙනවා.

ගුරුන්නාන්සේ: මොනවද ඔය කියන එක එක ඒවා?

ගරා යකු: (ලජ්ජාවෙන් මුහුණ සඟවා ගනී.) කියන්න ලජ්ජයි.

ගුරුන්නාන්සේ: එහෙනම් ලජ්ජා හිතෙන කොටහ අයින් කරලා අනික් කොටහා විතරක් කියනවා හොඳයි. මොකද මෙතන ඉන්නේ බොහොම වැදගත් අය.

ගරා යකු: එහෙනම් මං කවියෙන් කියන්න ද?

ගුරුන්නාන්සේ: එහෙනම් කියමු බලන්න.

ගරා යකු:     කොස්සින්නේ ඉඳන් ගණෙමුල්ලට         පැමිණි
                   බස් එකේ උන්නු ඒ සුදු නාඹර                 තරුණි
(ලජ්ජාවෙන් ඇඹරෙයි.)

ගුරුන්නාන්සේ: ඔය යන අගේට කියවෙන්නේ. හා... හා... කමක් නෑ කියමු ඉතුරු ටිකත්.

ගරා යකු:     ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ           ගිලිණි
                   බස් එක පිටිං උස්සන් යන්නට                 සිතුණි

මා විසින් මෙතෙක් කරන ලද ගවේෂණ අනුව මෙරට ජන ආගම සහ ජන සංස්කෘතිය හා යකුන් සමඟ ඇති අවියෝජනීය බැඳීම ගම්පහ දිස්ත්‍රික්කය තුළ වඩාත් මස්තකප්‍රාප්ත වී තිබේ. ඒ අනුව අතීතයේ සිට වර්තමානය දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ තරම් යකුන් අදහනු ලබන ජන කොටසක් දිවයිනේ අන් කිසිදු ප්‍රදේශයකින් සොයා ගැනීම අසීරු යැයි කිවහොත් එය ද කිසි ලෙසකින් අතිශයෝක්තියක් නොවනු ඇත.

පෙර ලිපිය
බොහෝ දෙනෙක් නොදත් විභීෂණ / විෂ්ණු විරසකයේ යටගියාව 

ඊළඟ ලිපිය