දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Monday, January 9, 2017

ගම්පහ දිසාවේ අදටත් නොනැසී පවතින ‛යක් ආණ්ඩුව’

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක නවවැන්නයි මේ.




අපේ රට දුරාතීතයේ යක්‍ෂ රජ දහනක්ව තිබූ බවට සපයා ගත හැකි සාක්‍ෂි බොහොමයකි. මෙහි යක්‍ෂ යනු ප්‍රකෘති ලොව හා කිසිදු සබැඳියාවක් නොමැති අද්භූත ජීවීන් කොටසකැයි සමහරු සිතති. එහෙත් එම උපකල්පනය ඉඳුරාම වැරදිය. අතීතයේ අප රටේ යක්‍ෂ නමින් ජීවත් වී ඇත්තේ ද එක්තරා මනුෂ්‍ය වර්ගයකි. එමෙන්ම මොවුන් හුදු නොදියුණු ආදිවාසීන් නොවන බවත්, කිසියම් දියුණු ශිෂ්ටාචාරයක හිමිකරුවන් බවත් පැහැදිලිවම පෙනෙයි. එමෙන්ම ඔවුන් ලබා ඇති එම දියුණුව විද්‍යා තාක්‍ෂණික දියුණුව මත පදනම් වූවක් නොවේ. මේ වනවිට හරි හැටි තේරුම්ගත නොහැකි කිනම් හෝ ගුප්ත ශාස්ත්‍රීය පදනමක් මත ඇති වූවකි. ලෝක ඉතිහාසයේ ආදී යුගයක මැක්සිකෝව සහ මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව අතර පැවැති ඉන්කා - මායා ශිෂ්ටාචාරය ද නූතනයේ විද්‍යා තාක්‍ෂණික වශයෙන් හැඳින්වෙන විෂය පථයෙන් තොරව ප්‍රබල දියුණුවක් ලබා ඇති බව අද වනවිට මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. 

එමෙන්ම විද්‍යා තාක්‍ෂණික වශයෙන් හඳුන්වන නවීන විද්‍යාවෙන් පරිබාහිර කිසියම් දියුණු තත්ත්වයට පත්ව ඇති මානව ශිෂ්ඨාචාරයන් අද ද ලොව ඉදහිට හෝ දක්නට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් එය ප්‍රසිද්ධ වුවත් රහසක් ලෙස පවතින්නේ විද්‍යා තාක්‍ෂණය දේවත්වයෙන් සලකන නූතන සමාජය විසින් එම කරුණු නොසළකා හැරීම වසන් කොට තිබීම නිසාය. 

දූරාතීතයේ අප රටේ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ගොඩනගා ගත් ශිෂ්ටාචාරය ද එබඳු කිසියම් ප්‍රබල තත්ත්වයක පැවැතුණු බව සාධාරණ ලෙස අනුමාන කළ හැකි ය. මහාවංශය ඇතුළු වංශකතා මූලාශ්‍ර මගින් පැවසෙන අන්දමට විජයාවතරණයට පෙර අප රටේ ජීවත් වූ යකුන් හට අන්‍යයන්ට නොපෙනී හිදීමේ සහ විවිධ අයුරින් වෙස් මාරුකර ගැනීමේ අධි මානුෂික ශක්තීන් තිබී ඇත. මේවා බොහෝ විට සාහිත්‍යකරුවන් විසින් ගොඩනගන ලද කාව්‍යාත්මක අර්ථ නිරූපණ වීමට බැරි කමක් නැත. එහෙත් මෙම ප්‍රකාශයන්හි කිනම් හෝ සැඟවුණු යටි අරුතක් ඇත්තේම නැතැයි කිව හැක්කේ කාටද? එනිසා මේ මත ඉඳුරාම බැහැර කිරීමට පෙර මේවා තුළ ඇති සාධනීය කරුණු අපගේ විමර්ශනයට ලක්විය යුතුය. 

දුරාතීතයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමි පැවැති බවට විවිධ අයුරින් අනුමාන කළ හැකි ප්‍රදේශ බොහොමයක් අප රට තුළ තිබේ. ඒ අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පූර්ව ඓතිහාසික සහ ප්‍රාග් ඓතිහාසික නටබුන් ගහණත්වය මත ශ්‍රී ලංකාවෙන් ප්‍රමුඛත්වයක් හිමිකර ගන්නා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මතු කරගත හැකි යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ මානව විද්‍යාත්මක සාක්‍ෂි ප්‍රමාණය ද සුළුපටු නැත. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් යක්කඩුව (යක්‍ෂයන්ගේ අසිපත පිහිටි තැන), බෙම්මුල්ල (භීම හෙවත් බිය ගෙන දෙන මුල්ල), යක්කල (යක් ූ වල හෙවත් යකුන් සිටි කැලය), යකුන්කෙළිය (යක්‍ෂයන් ක්‍රීඩා කළ ස්ථානය), යකහටුව (යක් ූ අටුව හෙවත් යක්‍ෂයන්ගේ ධන්‍යාගාරය) ඒ සම්බන්ධ ග්‍රාමනාම වශයෙන් ගත හැකි සාක්‍ෂි කිහිපයකි. 

දෙවියන්ට කන්නලව් කිරීම, දෙවියන් පිදීම, බාරහාර වීම සහ ඔප්පු කිරීම කපු මහතුන් සතු කාරියක් බව අපි කවුරුත් දනිමු. යකැදුරන් හෙවත් කට්ටඬියන් යනු යකුන් පළවාහරින හෝ යකුන් බැඳගන්නා එමෙන්ම කපු මහතුන්ට ඉඳුරාම වෙනස් වෘත්තිකයන් පිරිසකි. එහෙත් දෙවියන් වෙනුවෙන් කැපවූ කපු මහතුන් හෝ යකුන් පළවා හැරීම නැතහොත් බැඳ ගැනීම වෙනුවෙන් කැපවූ යකැදුරු මහතුන් නොවන තවත් විශේෂ වෘත්තිකයෝ පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙති. ඔවුන් හඳුන්වනුයේ ‛යක් කපු මහතුන්’ ලෙසිනි. මෙම යක් කපු වෘත්තිය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලත් බලපැවැත්වෙන්නක්ද යනුවෙන් විමැසීමට මම බොහෝ උත්සාහ දරා ඇත්තෙමි. එහෙත් ගම්පහ දිසාව රයිගම් කෝරළය සහ හේවාගම් කෝරළය ආදී ප්‍රදේශවල යකුන් උදෙසා පුද පිළිවෙත් කිරීමට කැපවූ කපු වෘත්තියක් ලංකාවේ සෙසු ප්‍රදේශව එතරම් ව්‍යාපෘතියක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි සපයා ගැනීමට මට නොහැකි විය. 

ශ්‍රී ලාංකීය ජන සමාජයේ අදහනු ලබන දෙවිවරුන් අතර යක්‍ෂ සම්භවයේ දෙවිවරු ද වෙති. ඒ අතුරින් සූනියම් ගම්බාර දෙවියන්ට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි. දේවාලවලදී ශුද්ධ සූනියම් ගම්බාර නමින් පුද පිළිවෙත්වලට ලක්වන මෙම සුරිඳුන් බලිතොවිල් ශාන්තිකර්මවලදී හැඳින්වෙනුයේ ඔඩ්ඩි සූනියම් යක්ෂයා ලෙසිනි. මෙය තවදුරටත් විස්තර කළහොත් සූනියම් ගම්බාර දේවාලවලදි කපු මහතුන්ගේ ගෞරව සම්ප්‍රයුක්ත ආමන්ත්‍රණවලට, කන්නලව්වලට හිමිකම් කියන මෙම සුරිඳුන් තොවිල්පලවලදි ‛ඔඩ්ඩි මස්සිනේ’ යනුවෙන් තොවිල් ඇදුරන්ගේ හෘදයාංගම ආමන්ත්‍රණයට ලක්වන බව නොරහසකි. එහෙත් මා මේ කියන ගම්පහ දිසාවේ අදටත් ජීවත්වන යක් කපු මහතුන් යනු ඊට වඩා වෙනස් වෘත්තිකයන් පිරිසකි. ඔවුන් මෙලෙස භක්ත්‍යාදරයෙන් යුතුව පුද පිළිවෙත් පවත්වනුයේ ‛යක් ආණ්ඩුව’ නමින් හඳුන්වනු ලබන යක්‍ෂ සමූහයකටය. 

සාමාන්‍යයෙන් රටේ ජනතාව පීඩාවට පත් කරන රජයක් හැඳින්වීම උදෙසා ද සමහරු මෙම යක් ආණ්ඩුව යන නම යොදති. එහෙත් මෙම යකුන් පිදීමේ යාතු කර්මවලදී ‛යක් ආණ්ඩුව’ ලෙස හඳුන්වනුයේ දුරාතීතයේ සිට ගම්පහ දිසාව පාලනය කළ යක්ෂ නායකයන් පිරිසක් විය යුතුය යන්න මගේ වැටහීමය. ඒ බව මනාව තහවුරුවනුයේ මෙම යක් කපුමහතුන් යක් ආණ්ඩුව සඳහා සිදුකරනු ලබන පුද පිළිවෙත් සියුම් ලෙස විශ්ලේෂණය කරන විටය. ඒ මොනවාදැයි අපි ලබන සතියේ විමසා බලමු. 

පෙර ලිපිය

No comments:

Post a Comment