දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, August 23, 2014

රන්වල මුත්තා සීතාවක රජවාසල නිලධාරියෙක්ද? - Was God Ranwala, a Royal Officer of Seetawaka


රන්වල දෙවියන්ගේ රුව දැක්වෙන සිතුවමක්

රන්වල දෙවියන් අතීතයේ අපේ රටේ ජීවත් වූ උතුම්, ගුණ යහපත් මිනිසකු බවත්, එනිසාම මරණින් පසු එතුමා දේවත්වයට පත් වූ බවත්, ජීවිත කාලය තුළ මහජනතාවට හිතසුව පිණිස  විවිධාකාරයෙන් පිහිට වූ එතුමා මරණයට පත්වීමෙන් පසු අද දක්වාම තමන්ගෙන් පිහිට යදින්නන්ට ඇප උපකාර කරන බවත්, පිහිටාරක්ෂාව සළසන බවත් ජන සම්මතයේ පවතින දෙයක්. 


රන්වල මුත්තා’, ‛රන්වල හාමුදුරුවන්වැනි නම්වලින් හඳුන්වනු ලබන රන්වල දෙවියන් අතීතයේ අපේ රටේ සිටි ජන ප්‍රධානියකු බව මූලික වශයෙන් අනුමාන කළ හැකියි. මන්ද හාමුදුරුවන්යනුවෙන් ඇමතුම් ලබන්නේ අතීතයේ විසූ ජනප්‍රධානීන් බව විවිධ මූලාශ්‍ර අනුව තහවුරු වෙනවා. විශේෂයෙන් අතීතයේ ගමක පොදුවේ ගරු බුහුමන් ලබන වැඩිහිටියන් මුත්තායනුවෙන් හැඳින්වුණා. හාමුදුරුවන්යන්න වර්තමානයේ භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට යොදන ලද්දක් වුණත්, වංශවත් ගිහි ප්‍රභූන් හැඳැින්වීම පිණිසත් හාමුදුරුවන්යන නම අතීතයේ යෙදී තිබෙනවා. එයට හොඳම නිදසුනක් තමයි අපේ රටේ අදහන දෙවිවරුන් අතර මුත්තා හාමුදුරුවෝනම් ප්‍රාදේශීය දෙවි කෙනෙකු   සිටීම. මුත්තා හාමුදුරුවන් යනුවෙන් හඳුන්වන්නේ පෘතුගීසි සමයේදී බලපිටිය, වැලිතර, වැලිවත්තේ විසූ පිනෙස් ප්‍රේරා ආරච්චිනම් ජන ප්‍රධානියායි. දේසේයනුවෙන් එකල හැඳින්වුණු මාලදිවයිනට ගොස් රටදෙල් ගෙනැවුත් ඒවා අප රටට හඳුන්වාදී ඇත්තේ ඔහු බව සඳහන් වෙනවා. මරණින් මතු ඔහුව මුත්තා හාමුදුරුවෝයන නමකින් හඳුන්වන්නට පටන්ගන්නවා. මීට අමතරව ආඬිඅම්බලම ප්‍රදේශයේ විසූ ජන ප්‍රධානියකු මුල්කොට ඇති වූ උඩවල මුත්තාදේව සංකල්පය අද වන විට නැත්තටම නැතිවී යන තත්වයකට පත්ව තිබෙනවා.   නමුත් අපි ඒ ගැනත් ඉදිරියේදී කතා කරමු. 


රන්වල දෙවියන්ගේ ඓතිහාසික පසුබිම පිළිබඳ විමසා බැලීමේදී කතා ප්‍රවෘත්තීන් කිහිපයක්ම ඉස්මතු කරගන්නට පුලුවන්. ඉන් පැරණිම කතාව වන්නේ රන්වල දෙවියන් සීතාවක රාජසිංහ රජ සමයේ ජීවත් වූ අයකු බවයි. කාල වකවානුව ලෙස සලකා බලන විට එය ක්‍රි.ව. 1578 සහ 1592 සමයයි. සීතාවක රාජසිංහ රජතුමා සමකාලීන භික්ෂූ සමාජය සමඟ ගැටුම් ඇතිකරගත් අයකු බව පෙනෙන්නට තිබෙනවා. ඊට පෙර හා පසු ජීවත් වූ සියලුම රජවරුන් රාජ්‍ය පාලනය සඳහා තමන් තෝරාගත් භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් අවවාද අනුශාසනා ලබාගැනීමට පෙළඹුණු බව ඓතිහාසිකව සනාථ වන්නක්. නමුත් සීතාවක රාජසිංහ රජතුමා මේ මග ගමන් කරන්නට කැමති වූයේ නැහැ. ඔහු ටිකිරි කුමාරයානමින් සිටි කුඩා සමයේදීත් භික්ෂූන් වහන්සේලාව එතරම් සැළකිල්ලකට ගත් බවක් සඳහන්ව නැහැ. එනිසාම එවකට සිටි ස්වාමීන් වහන්සේලා ඔහුගේ වැඩිමහල් සොයුරා වූ තිඹිරිපොළ කුමාරයාටරාජ්‍ය බලය ලබාදීමට රහසින් සැළසුම් කළා. සීතාවක රාජසිංහයන් හෙවත් ටිකිරි කුමාරයා සමකාලීන සංඝ සමාජය සමඟ ගැටුමකට අවතීර්ණවීමට මුල්ම හේතුව  මෙයයි. 


කෙසේ හෝ සීතාවක රාජසිංහ රජතුමා බුදු දහමට එරෙහිව කටයුතු කළ බව මහනුවර යුගයේ ලියැවුණු චූලවංශයේ ද සඳහන් වෙනවා. තිබ්බොටුවාවේ සිද්ධාර්ථ නම් ස්වාමීන් වහන්සේ නමක විසින් ලියන ලද චූලවංශයට මෙවැන්නත් ඇතුළත් කොට ඇත්තේ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කටින් කට පැවත ආ අසත්‍ය ප්‍රචාර නිසා බව පැහැදිලියි. මක්නිසාද සීතාවක රාජසිහ රජතුමා සමකාලීන භික්ෂු සමාජයේ කුමන්ත්‍රණයක් මැඬලීමට එක්තරා අන්දමක භික්ෂු මර්දනයක යෙදුණත් සියලුම භික්ෂූන් වහන්සේලාට එසේ නොකළ බව පෙනෙන්නට තිබෙන නිසයි. මෙයට හොඳම නිදසුනක් නම්  එවක දළදා වහන්සේ වැඩසිටි කුරුවිට දෙල්ගමු රජ මහා විහාරයේ දළදා වහන්සේ වෙනුවෙන් සියලු වතාවත් කිරීමට අනුග්‍රහය දීම සහ තමන්ගේ මාලිගාවට අතපොවන මානයේපිහිටි මානියම්ගම රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කිරීමට කටයුතු කිරීමයි. 
 
රන්වල තොටුපොළ

අපේ කතා නායක රන්වල දෙවිඳුන් මේ කාලයේ සීතාවක රාජසිංහයන්ගේ භාණ්ඩාගාරය භාරව සිටි නිලධාරියකු ලෙසයි හැඳින්වෙන්නේ. එකල ඔහු සම්පත් රාළනමින් හැඳින්වී තිබෙනවා. කෙසේ හෝ සීතාවක රාජසිංහ රජුගෙන් භික්ෂු සමාජයට සිදුවූ ඇතැම් කෲර ක්‍රියා නිසා කළකිරුණු සම්පත් රාළ තවත් අතවැසියන් දෙදෙනෙකු සමඟ රාජ සේවයෙන් ඉවත්ව තමන්ගේ උපන් ගමට පැමිණි බවත්, ඉන් පසු එහි දැහැමි ජීවිතයක් ගත කළ බවත් එක ජනප්‍රවාදයක සඳහන් වෙනවා. ඔහු සමග පැමිණි එක් පුද්ගලයකු රන්කිරි රාළලෙසින් හැඳින්වෙන බවත්, ඔහුගේ පරපුර අද ද රන්කිරි පතිරැන්නහැලාගේලෙසින් හැඳින්වෙන බවත් පැවසෙනවා. නමුත් සම්පත් රාළගේ ගම රන්වලබවයි එම ජනප්‍රවාදයේ සඳහන්වන්නේ. අතීතයේ මෙම ප්‍රදේශයේ රත්රන් පිරුණු වලක් තිබූ නිසා එම ප්‍රදේශය රන්වලවූ බව ජනප්‍රවාදවලින් තහවුරු වෙනවා. මෑත කාලයේදීත් පූගොඩ නගරය ආශ්‍රිතව කැලණි ගඟ දෙපසේ කුමාරිමුල්ලඇතුලු ස්ථාන කිහිපයකින්ම රත්රන් හමුවුණා. ඒ අනුව අතීතයේ රන්වලනම් ගම් ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිතව රත්රන් ලැබෙන ස්ථානයක් හෙවත් වලක් තිබූ බවට අනුමාන කරන්නට පුලුවන්. 


කෙසේ හෝ සීතාවක රජුගේ රාජ සේවයෙන් නික්ම අවුත් ඉතා දැහැමි සිල්වත් දිවිපවෙතක් ගත කරමින් ජීවත්වුණු ඔහු  රාජ්‍ය සේවයේ උසස් තනතුරක් දැරීම නිසා රාළයන ගෞරවාන්විත නාමයෙන් හැඳැින්වී තිබෙනවා. එවකට රාළයන නම යෙදුණේ නිලමක්කාරයකු, එසේත් නැත්නම් උසස් නිලයක් දැරූවකු හැඳින්වීම සඳහා පමණයි. එකල ගමේ ප්‍රධානියා ගමරාළවූයේ ඔහු ගමේ නායකයා වූ නිසයි. රන්වල රාළයනුවෙන් එවකට හැඳින්වුණු මේ තැනැත්තා සාමාන්‍ය ජනතාව විසින් රන්වල හාමුදුරුවන්ලෙසින් හඳුන්වන්නට ඇත්තේ ඔහුගේ ප්‍රභූත්වය, වංශය ආදී කරුණු සළකා බලා විය හැකියි. නමුත් ඇතැමුන් පවසන පරිදි රන්වල දෙවියන්’ ‛රන්වල හාමුදුරුවන්ලෙස හැඳින්වෙන්නේ ඔහු තම ජීවිතයේ අවසාන කාලයේ ශ්‍රමණ හෙවත් තාපස ජීවිතයක් ගත කළ නිසයි. ඒ රන්වල මුත්තා මරණින් මතු අද වනතුරුත් ජීවමානව කැලණි ගඟ දෙපස ජනතාවට පිහිටාරක්ෂාව සළසන බව ප්‍රසිද්ධ කරුණක්. නමුත් මේ රන්වල දෙවියන් පිළිබඳව එක්තරා අප්‍රකට මූලාශ්‍රයක් පමණයි. රන්වල දෙවියන්ගේ උත්පත්ති කතාව පිළිබඳ මීට වඩා ප්‍රබල තවත් මූලාශ්‍ර කිහිපයක්ම තිබෙනවා. ඒවා අපි ඉදිරි සතියේදී විමසා බලමු. 

ඊළග ලිපිය - රන්වල දෙවියන් අතීතයේ විසූ ‛පොඩි මිනිහාගේ’ වීරයෙක්ද?

Friday, August 15, 2014

රන්වල දෙවියන් මිනිස් වෙසින් පෙනී සිටින්නේ ඇයි? - Why God Ranwala Appears in a human Trance?


පුවක්පිටිය ඇස්වත්ත විහාරස්ථානය ඉදිරිපිට ඇති රන්වල දේව ප්‍රතිමාව


ගම්පහ දිසාවෙන් මතු වූ රන්වල දේව ඇදහීම ලංකාවේ සෙසු සියලුම දේව ඇදහිලිවලට වඩා සුවිශේෂත්වයක් ගන්නවාය කීවොත් එය නිවැරදියි. එයට හේතු රාශියක් තිබෙනවා. රන්වල දෙවියන් අපේ රටේ ප්‍රමුඛ පෙළේ දෙවි කෙනෙක් ලෙස සැළකෙන්නේ නැති බව ඇත්ත. රන්වල දෙවිඳුන් අයත්වන්නේ ප්‍රාදේශීය, ගම්හිමි, ගම්බාර දේවතා ගණයට. නමුත් මෙහිදී ගම්බාරයනුවෙන් මා සඳහන් කරන්නේ සුද්ධ සූනියම් ගම්බාර දෙවියන්නොවේ.   සුද්ධ සූනියම් ගම්බාර දේව සංකල්පය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුලුවන්. නමුත් රන්වල දේව ඇදහීම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළේ ප්‍රදේශ කිහිපයකටත්, කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් ප්‍රදේශ කිහිපයකටත් සීමා වූ දෙයක්. නමුත් මේ ප්‍රාදේශීය දෙවියා පිළිබඳ විශ්වාසය වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එයට හේතුව මාර්ග අංක ඒ 4 (A4) ට අයත් කොළඹ - රත්නපුර මහා මාර්ගය අබියස ඇති පහන ළඟ දෙවොලවිය හැකි බවයි අපට ආසන්න වශයෙන් නිගමනය කළ හැක්කේ. නමුත් ඒ 3 (A3) කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගය අද්දරත් මෙවැනි ප්‍රදේශීය දෙවිකෙනෙකුගේ දේවාලයක් තිබෙනවා. ඒ තමයි හලාවතට නුදුරු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි තනිවැල්ලේ දේවාලය’. මෙහි ඇදහෙන්නේ කෝට්ටේ යුගයේ අප රටේ ප්‍රාදේශීය පාලකයකුව සිටි තනිය වල්ලභකුමාරයායි. නමුත් ප්‍රධාන පාරක් අද්දර පිහිටි නිසාම තනිවැල්ලේ දෙවියන් පිළිබඳ විශ්වාසය රන්වල දේව විශ්වාසය තරම් ප්‍රබල ලෙස පැතිර ගොස් නැහැ. රන්වල දෙවියන් සහ තනිවැල්ලේ දෙවියන් අප රටේ කිසියම් කාලයක ජීවත් වූ සැබෑ චරිත දෙකක්. තනිවැල්ලේ දෙවියන් කෝට්ටේ යුගයේ ජීවත් වූ ප්‍රාදේශීය නරපතියකු වගේම රන්වල දෙවියන් ඊට පසු යුගයක ජීවත් වූ සාමාන්‍ය ගැමියෙක්. නමුත් මේ දෙදෙනාම මුත්තායන නමින් හැඳින්වෙනවා. රන්වල දෙවියන් රන්වල මුත්තායනුවෙනුත් තනිවැල්ලේ දෙවියන් තනිවැල්ලේ මුත්තා යනුවෙනුත් හැඳින්වෙනවා.

අපේ රටේ ප්‍රාදේශීය දෙවිවරුන්ට, උප දෙවිවරුන්ට භාරතීය සම්භවයක් ඈඳීම බොහෝ විට සිදුවන්නක්. ඒ වගේම තනිවැල්ලේ දෙවියන් භාරතීය සම්භවයක් සහිත ප්‍රධාන දෙවිවරුන්ගෙන් වරම් ගත් උපදේවතාවකු බව ඒ දෙවියන්ට සම්බන්ධ යාදිනි සහ කෝල්මුරවලින් පැහැදිලියි. එතැනදී තනිවැල්ලේ දෙවියන් අපි සමාජ විද්‍යාත්මකව හඳුන්වන්නේ උප දේවතාවකු’ (Sub Deity) හැටියටයි. මෙසේ භාරතීය සම්භවයක් ඇති ප්‍රධාන දෙවිවරුන්ගෙන් වරම් ගත් බව පැවසෙන ඇතැම් දේශීය දෙවිවරුන් පිළිබඳ විශ්වාස පසුව එම ප්‍රධාන දේව විශ්වාස තුළටම අවශෝෂණය වූ බව නැතහොත් කිඳා බැසගත් බව පැහැදිලියි. අපේ රටේ කාලාන්තරයක් තිස්සේ පැවති සිරියා දේවියපිළිබඳ විශ්වාසය භාරතීය ලක්ෂ්මී දේව සංකල්පය තුළට කිඳා බැසීම නිසා අදවන විට නැත්තටම නැතිව ගිය දේව විශ්වාසයක්. 






මහගමසේකරයන්ගේ ගීත රචනයක් ලෙසින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මුවින් ගැයෙන මේ ගී පද සිරියා දේවියගේ කවිනම් ජනශ්‍රුතියෙන් උපුටාගන්නා ලද්දක්. 


ඒ වගේම තනිවැල්ලේ දෙවියන්ගේ නමට අවසානයේ බණ්ඩාරයන නමකුත් යෙදී ඇති බව ඒ දෙවියන් සම්බන්ධ යාදිනි හා කෝල්මුර ආදියෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම තනිවැල්ලේ දෙවියන්ගේ පුත් ගලගත් බණ්ඩාරත්එසේ බණ්ඩාර නාමය ලැබූ තවත් දෙවිකෙනෙක්. නමුත් රන්වල මුත්තායනුවෙන් හැඳින්වෙන ගම්හිමි දෙවියකු වන රන්වල දෙවියන්ට එසේ උප දේවත්වයක් ආරෝපණය වී නැහැ. එසේම රන්වල දෙවියන්ගේ අඩවිය  නවගමුවේ පත්තිනි දේවාලයත්, කැලණියේ විභීෂණ දේවාලයත්, සමන් දෙවියන්ගේ අඩවියත් අතරමැද පිහිටා තිබුණත් රන්වල දෙවියන් සමන් දෙවියන්ගෙන් හෝ විභීෂණ දෙවියන්ගෙන් හෝ පත්තිනි දේවතාවියගෙන් වරම්ගත් බව උප දේවතාවකු බව  කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. ඒ වගේම එම දෙවියන් බණ්ඩාරනමින් හැඳින්වෙන්නේත් නැහැ. ඉන් මනාව පැහැදිලිවන්නේ රන්වල දෙවියන් අපේ ඇදහිලි අනුව ප්‍රාදේශීය දෙවියකු වුවත් විදේශ සම්භවයක් ඇත්තකු හෝ උප දේවතාවකු හෝ නොවන බවයි. 


පුවක්පිටිය ඇස්වත්ත විහාරස්ථානය ඉදිරිපිට ඇති රන්වල දේව ප්‍රතිමාව



රන්වල දෙවියන්ගේ කීර්තිය දසත පැතිර යාමට එක් හේතුවක් වශයෙන් කිවහැක්කේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගයක් වන කොළඹ - රත්නපුර මහා මාර්ගය අද්දර පුවක්පිටිය පහන ළඟ දේවාලයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් විසින් විවිධ අරමුණු මුල්කරගෙන සිදුකෙරෙන බාර හාරවලින් බලාපොරොත්තු වූ දේ ඉටුවීම බවයි පැවසෙන්නේ. ඒ නිසා ඒ් දෙවියන් තමන්ගේ පැතුම් ඉටුකරන දෙවියකු ලෙස පිටස්තර පුද්ගලයන් තුළ පවා විශ්වාසයක් පැතිර ගොස් තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතට අයත් අවිස්සාවේල්ල සහ සබරගමුවට අයත් ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර වැනි ප්‍රදේශවල මැණික් වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ සෙසු බොහෝ ව්‍යාපාරිකයන් පවා මෙම රන්වල දෙවියන් හමුවේ විවිධ බාර හාර වී මැණික් හිමි කරගන්නා බවත්, ඒ වෙනුවෙන් බාර හාර ඔප්පු කොට පුද පඬුරු පූජා කරන බවත් බොහෝ දෙනෙක් පවසනවා. නමුත් ඔවුන් සමන් දෙවියන් කෙරෙහි ඇති සාම්ප්‍රදායික අචල භක්ත්‍යාදරය නිසා රන්වල දෙවියන්ට ප්‍රමුඛත්වයක් නොදෙන බවත්, සමන් දෙවියන්ට එම ප්‍රමුඛත්වය ලබා දී ක්‍රිියාකරන බවත් සඳහන් කරන්නට පුලුවන්. සමන් දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ  බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ සමනල කන්දේ ශ්‍රී පාදස්ථානය පිහිටුවීමට ආරාධනය කළ යක්ෂ ගෝත්‍රිකයකු වුවත්, එතුමන් අද පරිපූර්ණ දේවත්වයක් ලත් අයෙක්. නමුත් රන්වල දෙවියන් එසේ ප්‍රමුඛ ලෙස සම්මුති දේවත්වයකට පත් වූ අයෙක් නොවේ. එයට හේතුව අපට ඇස් පනාපිටම දැකගත හැකි අවස්ථාවක් තිබෙනවා. එනම් රන්වල දෙවියන්ගේ රූපය හුදෙක් සාමාන්‍ය මිනිස් රූපයක් ලෙස නිර්මාණය කොට තිබීමයි. ප්‍රතිමා නිර්මාණය පිළිබඳ ලියැවුණු බිම්බමානනම් කෘතියෙහි සඳහන් වන අන්දමට දේවරූපයක නළලත, දෙනෙත, නැහැය නිකට වැනි ශරීරාංග ඉතා සමතුලිත ආකාරයෙන් පිහිටිය යුතු බව කියවෙනවා. නමුත් රන්වල දෙවියන්ගේ ප්‍රතිමා හැඩතල අතින් දේවරූපයකට වඩා සමීපවන්නේ මිනිසත් රූපයකට. රන්වල දෙවියන්, එසේත් නැත්නම් රන්වල මුත්තා තමන්ගේ ප්‍රදේශයේ ජීවත් වූ ගෞරවනීය ආදිතමයකු ලෙසයි ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ. ඒ අනුව එතුමන්ගේ රුව මිනිස් ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කළා වන්නටත් පුලුවන්. 


රන්වල දෙවියන් සම්බන්ධ උත්පත්ති කතා කිහිපයක්ම තිබෙනවා. ඒවා විමසීමෙන් සැබවින්ම රන්වල දෙවියන් කවුද කියා අපට හඳුනාගන්නට පුලුවන්. ඒ වගේම අපේ රටේ බොහෝ දෙවිවරුන් මෙන් ඉන්දියාවේ මලල රටේ හෙවත්  මල්වරාදේශයේ (වර්තමාන කේරලය) ඉපදුණු කෙනෙකු ලෙස රන්වල දෙවියන් හඳුන්වා නැහැ. එතුමන්ගේ උපත මෙරටදීම සිදු වූ බවයි ජන විඥානයේ පැවතෙන්නේ. තවමත් ජීවමානව වැඩවසන බවට විශ්වාස කරන රන්වල මුත්තාගේ යටගියාව අපි ඉදිරි සතියේ විමසා බලමු.