දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Wednesday, April 5, 2017

දෙවඟනක වූ පැතිගොඩ ආච්චි




ආච්චි නමින් ඇමතුම් ලැබීමට අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්තය. තත්වය එසේ තිබියදී ආච්චියන නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ පැතිගොඩ ආච්චියන නමිනි. පැතිගොඩ යනු බඩල්ගම ආසන්නයේ බස්නාහිර - වයඹ පළාත් මායිමේ පිහිටි කුඩා ගම්මානයකි. මෙම පැතිගොඩ ආච්චිඑහි ගැමියන් ගේ ගරු බුහුමන්වලට සහ වන්දනාමාන වලට ලක්වනුයේ පැති‍ගොඩ පුරාණ දේවාල බිමක පිහිටි සුවිසල් නා රුකක් මුල් කරගනිමිනි. එබැවින් බොහෝ දෙනෙකු නමින් වත් නොදන්නා මෙම අප්‍රකට දෙවඟන; පැතිගොඩ ආච්චිගේ සුවදුක් විමසීම පිණිස අපි පසුගිය දි‍නයෙක තකහනියේම බඩල්ගම ගියෙමු.

ඵෙතිහාසික වශයෙන් බලන විට මේ පැතිගොඩ ආච්චි කෝට්ටේ යුගයේ මෙරට ජීවත් වූ මිනිස් දුවකි. කෝට්ටේ රජ කළ අටවන වීරපරාක්‍රමබාහු හෙවත් අම්බුළුගල කුමාරයා (ක්‍රි.ව 1484-1508) සහ ඔහුගේ පුත් ධර්ම පරාක්‍රමබාහු (ක්‍රි.ව 1508 – 1528) රජ දවස උඩුගම්පල රාජධානිය පාලනය කරන ලද්දේ අටවන වීරපරාක්‍රමබාහු රජුට දාව ඔහුගේ බිසවගේ නැගණියගේ කුසින් මෙලොව එළිය දුටු සකල කලා වල්ලභ රජතුමාය. ආසියාවේ බිහිවූ විශිෂ්ටතම වාරි ඉංජිනේරුවකු සහ කෘෂිකර්ම විශේෂඥයකු වන මේ රජතුමන් ගේ මඟුල් පොකුණ දකුණු ආසියාවේ නරපතියකු භාවිතා කළ සුවිසල්ම මඟුල් පොකුණ ලෙස වාර්තා වී ඇත. නැවත ප්‍රතිසංස්කරණය කොට අළුතින් ඉදිකොට ඇති සක්මන් මංතීරුවකට මැදිවු එම මාහැඟි පුරා විද්‍යා උරුමය අදටත් උඩුගම්පොළදී ඔබට දැක බලා ගත හැක.
මෙම සකල කලා වල්ලභයන්ට සෙන්පතිවරු දෙදෙනකු වූ අතර ඒ කෙහෙළිබැඳි රාළ සහ උඩවල රාළ යනුවෙනි.රාජ්‍ය සේවයෙන් පසු උඩවල මුත්තා ලෙසින් ගැමියන් අතර ප්‍රචලිත වූ ඔහු මරණින් මතු ද උඩවල මුත්තා ලෙසින්ම දේවත්වයට පත් වී ඇත.
මෙම උඩවලමුත්තා සඳහා තැනවුණු දේවාලයක් අද ද මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ ඇති අතර එම ප්‍රදේශයේ ගැමියෝ අදත් බැති සිතින් එම උඩවල මුත්තා පුදති. මෙම උඩවල මුත්තා ගේ බිරිඳ එම ප්‍රදේශයේ ගැමියන් විසින් හඳුන්වනු ලබන්නේ මුත්තම්මා ලෙසිනි. එමෙන්ම ඇගේ උපන් ගම පැතිගොඩ බවද උඩවල මුත්තා පිළිබඳ පුරාණෝක්තිවල සඳහන්ය. කෙසේ හෝ උඩවල මුත්තා ගේ මරණයෙන් පසු මෙම මුත්තම්මා නැවත තම උපන්ගම වන පැතිගොඩට පැමිණි බවට සාක්ෂි තිබේ. ඒ වනවිට සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබූ ඇය එම ප්‍රදේශයේ දී පැතිගොඩ අම්මා සහ පැතිගොඩ ආච්චි ලෙසින් ගැමියන් ගේ ගරු බුහුමන්වලට ලක්ව තිබේ. පැතිගොඩ ආච්චි පිළිබඳ පුරාණෝක්ති වලට අනුව ඇය ඉතා ප්‍රෞඩ ගති ගුණ සහිත කාන්තාවකි. එනිසා එවක එම ප්‍රදේශයේ  ගැමියන් තම හේන් කුඹුරුවලින් ලබා ගන්නා අස්වැන්නෙන් කොටසක් ඇයට ප්‍රදානය කළ බව පැවසෙයි.

එවක ඇය ජීවත් වී ඇත්තේ බස්නාහිර සහ වයඹ පළාත් මායිම් වන මා ඔයට‍ මායිම් වූ මහවට්ටාරම නම් වත්තේය. වට්ටාරම යන්නෙහි අදහස වටවූ භූමි ප්‍රදේශය යන්නය.

කෙසේ හෝ කලක් ඇවෑමෙන් වියපත්ව මිය ගිය මෙම ප්‍රභූවරිය  පසුව එම වත්තේම පිහිටි සුවිසල් නුග රුකකට අධිගෘහිතව රුක් දෙවඟනක් ලෙසින් උපත ලබා ඇත. එහි දී ඇගේ සහ එම නුග රුකේ ආරක්ෂාව පිණිස එම ප්‍රදේශය පුරා සුදු නාගයන් සැරිසැරූ බවත් උන්ගෙන් කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවූ බවත් ගම්මු කියති. කෙසේ හෝ මේ මහා නුගයේ එක් අත්තක් මා  ඔයට නැඹුරුවී තිබූ අතර එය කපා දැමීමට එම වත්ත හිමිකරුට අවශ්‍ය විය. එහෙත් ඔහු කී අන්දමට පැතිගොඩ ආච්චි වැඩ වාසය කරන එම නුගරුක කපා හෙළීමට කිසිම ගැමියෙක් කැමති නොවීය. අවසානයේ පැතිගොඩ ආච්චිගේ තේජස ගැන නොදත් දෙමළ කම්කරුවන් යොදා එම නුග අත්ත කපා දැමීමට වතුහිමියා කටයුතු කළේය. එහෙත් ඒ සමගම ඉන් කිපුණු නාගයන් ප්‍රදේශය පුරා විසිර යන්නට වූ බවත් ඉන් උදහස් වූ පැතිගොඩ ආච්චි ගස කැපීමට සම්බන්ධ වූ සියළු දෙනා වනසා දැමූ බවත් ජනවහරෙහි සඳහන්ය. එසේ වැඩිපුරම නයින් ගැවසුණු මාඔයෙක් එපිට ප්‍රදේශය මුලදි නාගවලාන ලෙස හැදින්වි අද වනවිට නාලවලාන ලෙසින් හැඳින් වෙයි.  

වත්මන් පැතිගොඩ ආච්චි දේවාලය පිහිටි ස්ථානය පුරාණයේ සිට මලල වීරමුණ්ඩ දේවාලයක් තිබී ඇත. එම පැරණි දේවාලයේ නටබුන් තවමත් දැකිය හැක. ඒ කෙසේ හෝ මහවට්ටාරම වත්තේ නුග ගසට හානි සිදු කිරීමත් සමඟ එම මලලවීරමුණ්ඩ දේවාලයට දින පතා රාත්‍රී කාලයන් හි විසිතුරු ආලෝකධාරා පැමිණෙනු බොහෝ දෙනකු දැක තිබේ. පසුව මලලවීරමුණ්ඩ දේවාලයේ පැවැති වාර්ෂික මංගල්‍යයේ දී ආරූඪ වූ කපුවන් මගින් පැතිගොඩ ආච්චි මෙම නුගරුකය වෙත තමන් ගේ සපැමිණීම දන්වා ඇත. එමෙන්ම එතුමියගේ සපැමිණීම හඟවන තවත් අද්භූත සිදුවීම් කිහිපයක් ද එහි සිදුව ඇති බවට ජනප්‍රවාද තිබේ.

එදා මෙදා තුර මෙම පැතිගොඩ ආච්චි දෙවඟන මෙම නුගරුකයට අරක් ගනිමින් ප්‍රදේශයේ ජනී ජනයාට පිහිටාරක්ෂාව සලසන බව ගැමියන්ගේ විශ්වාසයයි.

අතීතයේ ඇය ජීවත් වූ සමයේ සිදුවූ ලෙසින්ම තමන් විසින් වගා කරනු ලබන බව බෝගවල අස්වැන්න ලබා ගන්නා ගැමියෝ ඉන් අග්‍ර භාගය මෙම පැතිගොඩ ආච්චි දෙවඟනට පුද දෙති. එහෙත් ඒ සියලු පූජාවන් අතරින් ඇය කුරහන් රොටී සමඟ අල කොළ මාළුව ප්‍රිය කරන බව ගැමි විශ්වාසයයි.එනිසා එය ඇයට පුජා කිරීමට බොහෝ දෙනෙක් රුචිවේ.


තම සැමියා වන උඩවලමුත්තා සේම නාගයන් සමඟ දැඩි සබැඳියාවක් පවත්වන පැතිගොඩ ආච්චි තම ගංකොටුවතුළ තුඹස් කැඩීමට දැඩිව විරුද්ධ බවද පැරණි ගැමියෝ කියති. එමෙන්ම මලලවීරමුණ්ඩ දෙවියන් සඳහා වෙන් කෙරුණු දේවාලයට ද ඇල්ම බැල්ම හෙළා හිඳින නාගයන් නිසා එම දෙවොල ඇතුලත සිමෙන්ති දැමීමට ඇගෙන් අවසරයක් නැති බවද කියනු ලැබේ. ඒ සිමෙන්ති පොළව මත නාගයන්ට ගමන් කළ නොහැකි බැවිනි.

මෙම පැරණි දෙවොල් බිම මුල් කොට නිරෝධාරාමය නම් බෞද්ධ විහාරයක් ඇත. එහෙත් දැනට එහි වැඩ වෙසෙන පූජ්‍ය හොරකඳවිල පඤ්ඤාසේකර හිමිපාණන් ගේ වයෝවෘද්ධ භාවය සහ ගිලන් බවත් වෙනත් කිසිවකු එම විහාරස්ථානයේ නොමැතිවීමත්  ඉන් සිදු කෙරෙන ශාසනික කටයුතු වලට බාධාවක්ව පවතින බව පෙනේ.

ඒ කෙසේ හෝ අදත් පැතිගොඩ ප්‍රදේශයේ ගැමියෝ සිංහල අලුත් අවුරුද්දට පෙරොතුව එළඹෙන මාර්තු මාසයේ දිනයක මෙම පැතිගොඩ දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය සිදු කරති. එමෙන්ම ඇගේ සැමියා වන උඩවලමුත්තා මුල්කොට මිනුවන්ගොඩ හීනටියන තනා ඇති උඩවල මුත්තා දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යයද බොහෝ විට ඒ දිනවලම යෙදී තිබීම සුවිශේෂ සංසිද්ධියකි.







No comments:

Post a Comment