දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, October 18, 2014

රන්වල දෙවියන්ගේ මාලිගයට ගිය ගැමියා - Villager who visited the Palace of God Ranwala


රන්වල දෙවියන් සම්බන්ධ රහස් හෙළිකිරීම ගැන එතුමන්ගේ් එතරම් සතුටක් නැති බවට කැලණි ගඟ දෙපස රන්වල දෙවියන් අදහන ප්‍රදේශවල ජනතාව තුළ විශ්වාසයක් පවතිනවා. සාමාන්‍යයෙන් යහපත් අරමුණක් ඇතිව දෙවිකෙනෙකුගේ හාස්කම් මිනිසුන් අතර පැතිරවීම හා පැතිර යාම සුබ දෙයක් බව කවුරුත් දන්නා දෙයක්. නමුත් රන්වල දෙවියන් තමන්ගේ රහස් හෙළිකිරීම ගැන සතුටට පත්වන්නේ නැහැ. මෙයට හේතුව සොයාගිය මට මේ ගැන අපූරු ජනකතාවක් අසන්නට ලැබුණා. ඒ කතාව මෙහෙමයි. 

අතීතයේ ජීවත් වූ එක් ගැමියෙක් රන්වල දෙවියන්ගේ මාලිගාව බලන්නට ආසාවෙන් ඉඳලා තියෙනවා. එතුමා දේවත්වයට පත්වීමෙන් පසු කැලණි ගං පතුලේ ඇති දිව්‍යමය මාලිගාවක ජීවත්වන බවයි ගැමියන්ගේ විශ්වාසය වුණේ. මේ විදිහට මාලිගාව බලන්නට ආසාවෙන් සිටි පුද්ගලයාගේ නමත් අමුතු එකක්. ඔහුව හැඳින්වූයේ ‛කිඹුල් කොටාගේ බරා’ කියන නමින්. ඔහු එසේ හැඳින්වූයේ ඇයි ද කියන එක ගැන විස්තරයක් සොයාගන්නට නැහැ. මෙය සමහරවිට ඔහුගේ සැබෑ නම වන්නටත් පුලුවන්. එසේත් නැත්නම් ඔහු ගැමියන් අතර ජනප්‍රියව සිටියේ මේ නමින් වන්නටත් පුලුවන්. දවසක් ඔහු කැලණි ගඟේ දියනෑමට ගියා. ඔහු දිය නෑමට තෝරාගත්තේ  රන්වල තොටුපොලයි. දිය නාන්නට කැලණි ගඟට පැන්න ඔහු ඉන් ගොඩ ආවේ නැහැ. ගැමියන් ඔහු ව කැලණි ගඟත් ඒ අවට ප්‍රදේශවලත් පීරමින් සෙව්වත්, අඩුම තරමේ ඔහුගේ මළසිරුරවත් හමුවුණේ නැහැ. ඔහු මිය යන්නට ඇති බවත් මළසිරුර කැලණි ගඟේ ඈතකට ගසාගෙන යන්නට ඇති බවත් අවසානයේ ගැමියන් සිතුවා. ගැමියන් ඔහු වෙනුවෙන් හත් දවසේ පින්කමක් ද  පැවැත්වූවා. එදා සිදුවූණේ පුදුම දෙයක්. මිය ගියා සේ සැළකූ කිඹුල් කොටාගේ බරා මේ පින්කමට පැමිණ සිටියා. බැලූබැල්මට නම් ඔහුට අබමල් රේණුවක් තරම්වත් කරදරයක් සිදු වූ බවත් පෙනෙන්නට තිබුණේ නැහැ.  මේක ගැමියන්ටත් ලොකු ප්‍රශ්නයක්. සිද්ධවුණේ මොකක්ද කියන එක ගැන ඔවුන්ට කිසිම දෙයක් සිතාගන්නට පුලුවන් වුණේ නැහැ. කැලණි ගඟට පැනලා අතුරුදහන් වුණු ‛බරා’ මේ තරම් දවසක් කිසිම කරදරයක් නැතිව හිටියේ කොහේද කියන එක දැනගන්නට ගැමියන් තුළ තිබුණේ ලොකු කුතුහලයක්. තමන්ට  මුහුණපාන්නට සිදුවුණු අත්දැකීම ගැන විස්තර පවසන්නට මුලදී අකමැති බව පෙන්නුවත්,  අහිංසක ගැමියකු වූ බරාට ගැමියන්ගේ දැඩි පෙරැත්තය නිසා මෙය නොකියා සිටීමට බැරිවුණා. අවසානයේ ඔහු තමන්ගේ අත්දැකීම ගැමියන්ට හෙළිකරන්නට පටන් ගත්තා. 

මම රන්වල දෙවියන්ගේ මාලිගාව බලන්න හරි ආසාවෙන් හිටියේ. මම එදා වතුර ටිකක් නාගන්න කියලා හිතලා රන්වල තොටුපොළෙන් ගඟට පැන්නා. මම වතුරට පැන්නා විතරයි, මාව ගඟ මැද තියෙන කොග්ගල පැත්තට ඇදිලා යනවා වගේ දැනුණා” 

බරා පැවසූ මේ කොග්ගල වර්තමානයේත් දක්නට ලැබෙන ගඟ මැද පිහිටි තරමක් විශාල ගල්පර්වතයක්. ගඟේ ජලය වැඩිකාලයට එහි උසින් වැඩිම කොටස් පමණක් දර්ශනය වෙනවා. ගඟ පිටාර ගලන්නට තරම් ජලය වැඩිවුණු කාලයට ගල නොපෙනී යනවා. සාමාන්‍යයෙන් මේ කොග්ගලේ උඩ කොටස ඈතට දිස්වන්නේ ගඟ මැද දණගසා හිඳින හස්ති රාජයෙක් වගේ. රන්වල දෙවියන් ජීවමානව සිටි කාලයේ එතුමා මේ කොග්ගල උඩත් පුහුල් පහන් දල්වා තිබෙනවා. මෙය ගඟ මැද තියෙන විශාල පර්වතයක් නිසා රන්වල දෙවියන්ගේ මාලිගාව මේ පර්වතයට යටින් පිහිටා තිබෙනවා කියා විශ්වාසයක් ගැමියන් අතර තිබෙන්නට ඇති. 

බරා කතාව කියන්නට පටන් ගත්තා. 

මාව කොග්ගල පැත්තට ඇදිලා ගිහින් අන්තිමේදී ඒ ගල යට තියෙන රන්වල දෙවියන්ගේ මාලිගාවට ගිහින් තමයි නතර වුණේ. ඒක ඇතුලේ දෝනා විදිහට හදපු පාරවල් ගොඩක් තිබුණා. හැමතැනම පුහුල් පහන් පත්තු කරලා තිබුණා. ඒවායෙන් විහිදුණේ රත්තරන් පාට ආලෝකයක්. මට මේ මාලිගාව ඇතුළෙදි රන්වල දෙවියන්ව හමු වුණා. මම ජීවිතේටවත් කාලා නැති හරිම රසවත් කෑමක් එතුමා මට කන්න දුන්නා. ඒක කොයි තරම් රසවත් වුණත් අඟුරු පාටට තමයි මම දැක්කේ. මම ඒවායේ නම කියන්න දන්නේ නැහැ. මම මාලිගාවේ නතර වෙලා ඉඳලා ආපහු එන්න පිටත් වුණා. රන්වල දෙවියන් මාව පිටත් කර හරින්න කලින් කිව්වා මේ සිද්ධිය කිසිම කෙනෙක් එක්ක කියන්න එපා කියලා.

මේ කතාව කියලා මොහොතක්වත් ගියේ නැහැ. එකවර උණගැනුණු බරා වරු තුනකින්  මිය ගියා. රන්වල දෙවියන්ගේ රහස් කිසිම කෙනෙකු එක්ක කියන්න එපා කියන කතාව පැතිරිලා ගියේ මෙයින් පසුව විය යුතුයි. ධර්මබන්ධු අමරසේකරගේ ‛ඓතිහාසික නව කතා’ කෘතියේත්, ආර්.ඒ. පියදාසයන් ලියූ ‛රන්වල දෙවියෝ’ කෘතියේත් මේ කතාව යම් යම් වෙනස්කම් සහිතව තියෙනවා. 

රන්වල දෙවියන් නිතර දර්ශනය වන බවට බොහෝ කතා එතුමාව අදහන ප්‍රදේශවල සිටින ගැමියන් අතර විශ්වාස පැතිර තිබෙනවා. මෙසේ දර්ශනය වන සෑම ස්ථානයක්ම පිහිටා තිබෙන්නේ කැලණි ගඟ අසබඩයි. මේ ස්ථාන අතරින් හිඟුරල, ඇස්වත්ත, පුවක්පිටිය, කනම්පැල්ල, කොස්ගම, රන්වල ඇල්ල, දුම්බුකඩුව, රන්වල තොටුපොළ, කපුගොඩ තොටුපොළ, පල්ලියවත්තේ තොටුපොළ, මල්වානේ රාස්සගල තොටුපොළ සහ රන්වල පහන කියන ස්ථානවල නිතරම වාගේ රන්වල දෙවියන් දර්ශනය බව බවයි විශ්වාස කරන්නේ. 

මම මේ පිළිබඳ තොරතුරු නිවැරදි විදිහට ගොනුකරගත්තේ ඉතා පරිස්සමින්. එයට සෑහෙන වෙහෙසක් දරන්නටත් සිදුවුණා. මට ඒ සඳහා අවුරුදු දහඅටක් තරම් කාලයක් ගතවුණා. එහිදී මට එම පළාත්වල සිටින වැඩිහිටි ගැමියන් රැසක්ම මුණ ගැහුණා. ඔවුන් සියලු දෙනාම පැවසූයේ රන්වල දෙවියන් ගඟ අයිනේ දර්ශනය වන්නේ උපාසක ස්වරූපයෙන් බවයි. ඒ වෙලාවට ඉතා දැඩි පිච්චමල් සුවඳක් හමාගෙන යන බවත් ඔවුන් පැවසුවා. ඒ වගේම සුදු ජටාවක් පැළඳ, නිරාවරණය වූ උඩුකයේ එක් උරයක් වැසෙන සේ සුදු පාට උතුරු සළුවක් දමාගෙන සිටින ආකාරයෙනුත් රන්වල දෙවියන් දර්ශනය වී තිබෙනවා. රන්වල දෙවියන් මෙසේ දර්ශනය වී එක්වරම නොපෙනී යනවා. බොහෝ වෙලාවට රන්වල දෙවියන් දර්ශනය වන්නේ සැන්දෑ කාලයේදී සහ රාත්‍රි කාලයේදී බවයි පැවසෙන්නේ. රන්වල දෙවියන් දර්ශනය වූ පසු සිතට මහත් සැහැල්ලුවක්, ශාන්ත ස්වභාවයක් දැනෙන බවත් ගැමියන් විශ්වාස කරනවා. මේ රන්වල දෙවියන් යැයි හඳුනානොගත් ඇතැම් අය බියට පත්වූ අවස්ථාවන් ද අසන්නට ලැබෙනවා. බොහෝ විට මෙවැනි අත්දැකීම්වලට මුහුණපාන්නේ පිටපලාත්වලින් පැමිණ සිටින අයයි. මේ රන්වල දෙවියන් යැයි හඳුනාගත් කිසිම කෙනෙකුට මෙතෙක් යහපතක් මිසක් කිසිම අයහපතක් සිදුවී නැහැ.

මෙසේ දර්ශනය වන දෙවිවරුන් මානව විද්‍යාවේදී හැඳින්වෙන්නේ ‛මනුෂ්‍යත්වාරෝපිත දෙවිවරුන්’ (Anthropomorphic God) විදිහටයි. මා මේ බව සඳහන් කළේ මේ සම්බන්ධව ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්නවුන්ගේ පහසුව තකායි.

රන්වල දෙවියන් වෙනුවෙන් නිසිපරිදි, නිසි පිළිවෙලට, එතුමන්ගේ උපදෙස් අනුව සකස්කොට උදෑසන, දහවල් හෝ සැන්දෑවේ දේව දානයක් (දේවදානය පිළිබඳ මෙතැනින්  කියවන්න පුලුවන්.) පිරිනැමුවේ නම්, එවැන්නකට සහභාගී වුණු අයට කලබලකාරී නොමැති ස්ථානයකදී ඇතැම් අවස්ථාවල රන්වල දෙවියන් දර්ශනය වන බවට  කතා අසන්නට ලැබෙනවා. ඒක ප්‍රදේශය පුරා පැතිර ගිය අසිරිමත් කතාවක්. නමුත් මේවා ගැන බොහෝ දෙනෙකු කතාබහ නොකරන්නේ එය ආධ්‍යත්මික වශයෙන් තමන් ලැබූ පෞද්ගලික අත්දැකීමක් ලෙස සළකන්නට ගැමියන් හුරුපුරුදුව සිටීමත්, එය සියලු දෙනා සමග පැවසීම සුදුසු නැති දෙයක් බවට විශ්වාසයක් ඔවුන් අතර පැතිර තිබීමත් වන්නට පුලුවන්. 


පෙර ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න
කැලණි නදිය ඔස්සේ ඉහළ පහළ වඩින රන්වල දෙවියෝ 

No comments:

Post a Comment