දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Sunday, October 26, 2014

රන්වල දෙවියන් එක්ක ‛සෙල්ලම්’ එපාලු - No Jokes with God Ranwala


රන්වල දෙවියන් ගැන පවතින මතිමතාන්තරවලට අනුව එතුමා උපාසක ස්වරූපයකින් පෙනී සිටියත් තරමක් සැර පරුෂ දෙවි කෙනෙකු හැටියට තමයි සාමාන්‍ය ජනතාව විශ්වාස කරන්නේ. එතුමන්ගේ මෙම සැරපරුෂ ස්වභාවය එතුමා ජීවමානව සිටි කාලයේ පැවති චරිත ස්වභාවය අනුව සකස් වී තිබෙනවා වන්නට පුලුවන්. අදත් ගැමියන් විශ්වාස කරන්නේ රන්වල දෙවියන් එක්ක අනවශ්‍ය සෙල්ලම්’, ‛අනවශ්‍ය විහිලුආදිය කිරීම සුදුසු නැති බවයි. ඒ විශ්වාසයන් තවමත් පවතිනවාදැයි සොයා බලන්නට මම මෑත දවසක රන්වල දෙවියන් අදහන ප්‍රදේශ කිහිපයක සංචාරය කළා. මේ සංචාරයේ දී හරි අපූරු තොරතුරක් දැනගන්නට ලැබුණා. මේක කිව්වේ එක් ත්‍රිරෝද රථ රියැදුරෙක්. 

දැනට ටික කාලෙකට කලින් මේ ත්‍රිරෝද රථ ගාලේ රියැදුරන් ඇතුළු ගම්මුන් පිරිසක් එකතුවෙලා රන්වල දෙවියන්ගේ ප්‍රතිමාවක් නිම කරන්නට මුදල් එකතුකරන්න පටන් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රන්වල දෙවියන් අදහන්නේ බෞද්ධයන්. වෙනත් ආගමිකයන් බොහෝ විට රන්වල දෙවියන්ව අදහන්නේ නැහැ. නමුත් එතුමා සම්බන්ධව කරන කටයුතුවලදී ඒ ප්‍රදේශවල සිටින කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් විරුද්ධත්වය නොපෑම සාමාන්‍ය දෙයක්. ඇතැම් විට ඔවුන් යම් යම් ආකාරවලින් එවැනි වැඩකටයුතුවලට ආධාර උපකාර කරන අවස්ථාවන් ද තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පූගොඩ වගේ ප්‍රදේශවල කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් රන්වල දෙවියන් වෙනුවෙන් පවත්වන දේවදාන වැනි කටයුතුවලදී ද්‍රව්‍යමය සහ මුදල් ආධාර ආදිය ලබාදෙන බව අසන්නට ලැබෙනවා. මෙහිදී දැනගන්නට ලැබුණු කතාවට අනුව පිළිමය ගොඩනැගීමට සූදානම් වුණු සංවිධායක පිරිස ජාති ආගම් භේදයක් බලන්නේ නැතිව ගෙයින් ගෙට යමින්  ආධාර එකතුකරන්න පටන්ගත්තා. මේ අවස්ථාවේදී එක් ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් මේ කාරණය අහලා ඒ පිරිසට මෙහෙම කියා තියෙනවා. 

මැරුණු මිනිස්සුන්ගේ පිළිම අඹලා තේරුමක් තියෙනවද?” 

ඉස්ලාම් භක්තියට අනුව ප්‍රතිමා වන්දනාව සපුරා තහනම් දෙයක්. ඔවුන් කිසිවිටෙකවත් ප්‍රතිමා වන්දනා කරන්නේ නැහැ. එවැනි වන්දනාවලට ඔවුන්ගේ සිත් තුළ යම් විරෝධයක් ද තිබෙනවා වන්නට පුලුවන්. අන්තගාමී ලෙස ඉස්ලාම් ආගම අදහන්නවුන් තුළ මේ සිතිවිල්ල තදින් පැළපදියම් වෙලා තියෙනවා  කියන එක ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාව විනාශ කළ සිදුවීමෙන් වටහාගන්න පුලුවන්. අපේ රටේ සිටින මුස්ලිම් ජනතාව මෙවැනි ක්‍රියා කරන බවට මෙයින් අදහස්වන්නේ නැහැ. ඔවුන්ගෙන් වැඩි පිරිස ඉතා ගුණයහපත් පිරිසක් බවයි අපගේ විශ්වාසය. නමුත් ඔවුන් අතරත් අන්තගාමීන් සිටිනවා. කෙසේ හෝ මේ ධනවත් මුස්ලිම් ව්‍යාපාරිකයාගේ කතාවට සංවිධායක කමිටුවේ පිරිසගේ සිත් රිදී තිබෙනවා. කෙසේ නමුත් සතියකට පමණ පසු මේ ව්‍යාපාරිකයා සංවිධායක කමිටුවේ ප්‍රධානියා මුණගැසෙන්න ඇවිත්  මෙහෙම කිව්වලු. 

මගේ අතින් ලොකු කට වැරදීමක් වුණේ. ඒ නිසා මේක කතාව ප්‍රසිද්ධ කරන්න එපා. රන්වල දෙවියන්ගේ පිළිමය හැදීම වෙනුවෙන් මේ මුදල තියාගන්න.” 

එසේ කී ඔහු සංවිධායකට  විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කොට තිබෙනවා. මේ තොරතුරු දුන් පුද්ගලයා අපෙන් ඉල්ලා සිටියේ අදාළ ව්‍යාපාරිකයාගේ නම හෝ ඔහු ජීවත්වන ප්‍රදේශය හෝ සඳහන් නොකරන ලෙසයි. 

අනෙක් දෙවිවරුන් සමඟ සැසඳීමේදී රන්වල දෙවියන්ගේ ගතිගුණ තරමක් වෙනස් ආකාරයක් පෙන්නුම් කරනවා. මේ බව දකින්නට ලැබෙන එක් අවස්ථාවක් තමයි නානුමුර මංගල්‍යය. නානුමුර මංගල්‍යය කියන්නේ ඕනෑම දෙවි කෙනෙකු වෙනුවෙන් පවත්වන පොදු චාරිත්‍රයක්. දෙවිවරුන් වෙනුවෙන් පවත්වන මේ නානුමුර මංගල්‍යය අප රටට ලැබී ඇත්තේ ඉන්දියාවෙන්. හින්දු භක්තිකයන් තම දෙවිවරුන් වෙනුවෙන් අභිෂේකම්යනුවෙන් උත්සවයක් පවත්වනවා. එහිදී සිදුවන්නේ දේවරූප ස්නානය කරවීමයි. ඔවුන් එම ප්‍රතිමා කිරිවලින්, පලතුරු හා ඖෂධීය ඉස්මෙන් ස්නානය කරවනවා. මෙය දේවාශීර්වාදය සහ සෞභාග්‍යය මුල්කොට ඉටුකරන චාරිත්‍රයක්. නානුමුර කියන්නේ මෙයින් බිඳී ආ චාරිත්‍රයක් හැටියටයි සැළකෙන්නේ. අපේ රටේ මේ ආකාරයට දේවරූප ස්නානය කරවන්නේ නැහැ. මෙහිදී කරන්නේ දේවරූපය ඉදිරියේ කන්නාඩියක් තබා කන්නාඩිය ජලයෙන් තෙමීමයි. මෙයට හේතුව ඉන්දියාවේ දේව ප්‍රතිමා ගලින් හෝ ලෝහවලින් නිර්මාණය කළ  ඒවා වුණත් අපේ රටේ ප්‍රතිමා මැටිවලින් නිර්මාණය කළ ඒවා වීමයි.  ඒ නිසා අපේ රටේ කරන්නේ ස්නානය කරවීම සංකේතනය කිරීමක් පමණයි. නමුත් රන්වල දේවාලයේ චාරිත්‍රවලට අනුව නානුමුර මංගල්‍යයක් පැවැත්වෙන්නේ නැහැ. අඩුම තරමේ දියකැපීමක් හෝ සිදුකරන්නේ නැහැ. කැලණි ගඟ අවට පවතින දේවාලයක දියකැපීමක් හෝ සිදුවන්නේ නැත්නම් එය පුදුමයට කරුණක්. කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේත්, නවගමුවේ පත්තිනි මහා දේවාලයේත්, මැදගොඩ පත්තිනි දේවාලයේත් දියකැපීම සඳහා කැලණි නදිය යොදාගන්නා බව ප්‍රකට කරුණක්.  නමුත් රන්වල  දෙවියන් මෙවැනි දෙයට කැමති නැති බවයි කියැවෙන්නේ. මෙසේ වීමට හේතුවක් තිබෙනවා.  එක්දහස් නවසිය පනස් ගණන්වලදී එක්තරා පිරිසක් රන්වල දෙවියන් වෙනුවෙන් දියැකැපීමේ උත්සවයක් සංවිධානය කරන්නට සූදානම් වෙලා තියෙනවා. ඔවුන් දියකැපීම සඳහා පෙරහරකින් ගඟට ගමන් කරන අතරේ එහි ගමන් කළ ඇතා වලක වැටිලා මිය ගියා. දියකැපීම වැනි සුබ මංගල්‍යයක් අතරතුරදී මෙසේ මරණයක් සිදුවීම අසුබ ලකූණක් ලෙසයි සැළකෙන්නේ. එනිසා බොහෝ දෙනෙකු සිතුවේ දෙවියන් මෙම ක්‍රියාවට තම අප්‍රසාදය පළ කළා කියායි. ඒ නිසා එවැනි උත්සව පැවැත්වීම එතැනින්ම නතර කළා. 

පොල් ගැසීම ගැන කියන්න තියෙන්නේත් මේ වගේ කතාවක්. රන්වල දෙවියන් ගැන නොදන්න අය පුවක්පිටිය පහන ළඟ දේවාලය අසළ පොල්ගැසීම් සිදුකරන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් රන්වල දෙවියන් වෙනුවෙන් පොල්ගැසීම හෝ පූජාවට්ටි තැබීම සාම්ප්‍රදායිකව සිදුකරන්නේ නැහැ. පොල් ගැසීම වෙනුවට සිදුකරන්නේ පොල් වෙන්කිරීමයි. උදාහරණයක් ලෙස මෙම පළාත්වල පොල් ගසකින් කඩාගන්නා මුල්ම පොල් ගෙඩිය රන්වල දෙවියන් වෙනුවෙන් වෙන්කිරීම සිදුවෙනවා.  ලොකු පොල් වතුවල නම් ගස් පේලිවලින් පොල් ගෙඩිය බැගින් වෙන්කළ යුතු වෙනවා. මේවා රන්වල දෙවියන්ට පූජාකිරීම සිදුවෙනවා. මෙහි ඇති තවත් අසිරිමත් සිදුවීමක් මෙහිදී මතකයට නැගෙනවා. රන්වල දෙවියන් ජීවමානව සිටි සමයේ එතුමා ජීවත් වූ අසපුව ළඟට ඔරු පාරුකරුවන් පොල් ගෙනැත් දැමූ කතාව ගැන ඔබට මතක ඇති. රන්වල දෙවියන් පුහුල් පහන් පත්තු කළේ මේවායෙන් ලබාගත් තෙල්වලින්. වර්තමානයේ පොල් ගැසීම වෙනුවට මේ ආකාරයට පොල් වෙන්කිරීමෙන් සංකේතනය කරන්නේ ඒ පැරණි සිරිතයි. නමුත් මේ වෙන්කළ පොල් කිසිම කෙනෙකුට කෑමට ඉඩක් නැහැ. ඒවා කෑවොත් යම්කිසි විපතක් සිදුවන බවට මිනිසුන්ගේ විශ්වාසයක් පවතිනවා. නමුත් ඇතැම් දෙවිවරුන් සම්බන්ධව පවතින චාරිත්‍රවල ඇත්තේ මෙහි අනෙක් පැත්ත. උදාහරණයක් විදිහට කතරගම දෙවියන්ට පොල්ගැසීමෙන් පසු එම පොල් කැබලි කෑමෙන් දේවාශීර්වාදය ලැබෙන බවයි බැතිමතුන්ගේ විශ්වාසය. තමන් වෙනුවෙන් නොව වෙනත් කෙනෙකු වෙනුවෙන් ගසන ලද පොල්වලින් ද කැබලි කෑම එහිදී දක්නට ලැබෙනවා. නමුත් රන්වල දෙවියටන්ගේ පොල් කෑවොත් සිදුවන්නේ නස්පැත්තියක්. ඒ නිසා රන්වල දෙවියන් වෙනුවෙන් වෙන්කළ පොල් භාවිතයට නොගෙන පැලවී තිබෙන ආකාරය ද දකින්නට පුලුවන්. 

රන්වල දෙවියන් උපාසක වේශයෙන් සිටියත්, යම් යම් කට වැරදීම් වැනි අවස්ථවලදී ලබාදෙන දඬුවම් ඉතාමත් බරපතල බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම රන්වල දෙවියන්ට අපහාස උපහාස සිදුකොට ගඟට පැන්නොත් යළිත් ගොඩ ඒමක් නැති බවට ද විශ්වාසයක් පවතිනවා. අතීතයෙන් එවැනි සිදුවීම් රාශියක් අසන්නට ලැබෙනවා.  මෑතකාලයේ සිදුවුණු මෙවැනි එක සිදුවීමක් මෙලෙස සඳහන් කරන්නට පුලුවන්. 

මීට මද කලකට පෙර පූගොඩ ප්‍රදේශයට ආශ්‍රිතව කැලණි ගඟෙන් රත්තරන් මතුවූ සිදුවීම කාටත් මතක ඇති. ඒ ගම් ප්‍රදේශවල වැසියන් විශ්වාස කළේ එය තමන්ට රන්වල දෙවියන්ගෙන් ලැබුණු දිව්‍යමය තිළිණයක් බවයි. මේ කාලයේ පුවක්පිටියේ ඇස්වත්ත ප්‍රදේශයේ අවමඟුලකට ඥාති පිරිසක් පානදුර, අලුබෝමුල්ලේ සිට පැමිණියා.  ඒ ආපු කෙනෙකුට මේ කතාව අහන්න ලැබුණා. ඒ පුද්ගලයා ගඟට දිය නෑමට යන ගමන් මෙහෙම කතාවක් කිව්වා. 

රන්වල දෙවියෝ නම් මේ රත්තරන් දෙන්නේ, දෙවියෝ මේ ගඟේ ඇතිනේ. මම මේ නාන්න යන ගමන් දෙවියන්වත් හොයාගෙන එන්නම්.” 

ඔහු එය කියා ඇත්තේ අපහාසාත්මක ස්වරයෙන්. එහෙම කියපු ඔහු ගඟට පැන්නා. ඒ මොහොතේම ඔහු ජලයේ ගසාගෙන යන්න පටන් ගත්තා. ඔහු බේරාගැනීමට එක් තරුණයෙක් ද ගඟට පැන්නා. නමුත් ඒ ගසාගෙන ගිය පුද්ගලයාව බේරාගන්නට තරුණයාට හැකි වුණේ නැහැ. තරුණයාගේ ජීවිතය ගැළවුණෙත් අනූ නවයෙන්. ජලයේ ගසාගෙන ගිය පුද්ගලයාගේ මළ සිරුර මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු හමු වුණා. මේ කතා ප්‍රවෘත්තිය රන්වල දෙවියන්ගේ ස්වරපය මැනවින් කියාපාන්නක් බවයි ගැමියන්ගේ විශ්වාසය. 

මෙවැනි බොහෝ සිදුවීම් නිසා   රන්වල දෙවියන් සමඟ අනවශ්‍ය කවටකම්සුදුසු නැති බව මෙම ප්‍රදේශවල ජනතාව අතර විශ්වාසයක් පැතිර පවතිනවා. මේ නිසා ඇතැම් අය රන්වල දෙවියන්ගේ පිහිට අයැද නොසිටියත්, එතුමා ගැන කිසිවක් කතා නොකර සිටීම වඩා හොඳ යැයි විශ්වාස කරනවා.

No comments:

Post a Comment