දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Sunday, November 20, 2016

අනුරුද්ධ රත්වත්තේ සමග විභීෂණ දෙවියන් අමනාප වුණාද?

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක දෙවැන්නයි මේ.        


අප රටේ ඇතැම් දෙවිවරුන්ට වෙන්වූ අඩවි හෙවත් බලප්‍රදේශ තිබේ. එහෙත් සමහර දෙවිවරුන් සම්බන්ධ එවන් අඩවි නැත. කතරගම, සමන්, අයියනායක යන දෙවිවරුන් අඩවි හිමි දෙවිවරුන් වශයෙන් ප්‍රසිද්ධියක් ලැබුවද විෂ්ණු, පත්තිනි, නාථ, දැඩිමුණ්ඩ ආදී දෙවිවරුන් සම්බන්ධ එවන් විශේෂිත බලප්‍රදේශ හෙවත් අඩවි නැත. 

කැලණියේ විභීෂණ සුරිඳුන් සඳහා වෙන්වූ විශේෂිත අඩවියක් පිළිබඳවද අසන්නට නැත. ඒ වෙනුවට එතුමන්ට ඇත්තේ රාජධානියකි. එය කැලණියයි. අතීතයේ විභීෂණ සුරිඳුන් අප රට පාලනය කරන ලද්දේ එම කැලණි රාජධානියේ සිටය. වර්තමානයේ කැලණිය මැතිවරණ කොට්ඨාසයක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වශයෙන් සීමිත බිම් කඩක් තුළට ඇහිරී තිබේ. එහි මුලු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 21.97 හෙවත් හෙක්ටයාර් 2194.48කි. එහෙත් ඒ සම්බන්ධ ඓතිහාසික තොරතුරු විමසීමේදී අතීත කැලණි රාජධානිය වර්ග කිලෝමීටර් සිය ගණනක් වපසරියකින් යුතු විශාල භූමි  ප්‍රදේශයක් බව අනුමාන කිරීමට සාධාරණ හේතු තිබේ. විශේෂයෙන් වර්තමානයේ වත්තල, එඩේරමුල්ල, මහර ප්‍රදේශ සේම ගම්පහ, දොම්පේ, කිරිඳිවැල සහ හෙක්ටයාර් එක්දහස් හත්සියයක් පමණ වූ මුතුරාජවෙල වගුරු බිම ද අතීත කැලණි රාජධානියට අයත් ප්‍රදේශ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. එසේම කොළඹ කෝට්ටේ, කොලොන්නාව, කඩුවෙල, බියගම, හංවැල්ල, බත්තරමුල්ල ආශ්‍රිත අතිවිශාල භූමි ප්‍රදේශයක් ද මෙම රාජධානියට අයත් වූ බව පෙනේ. 

කැලණියේ විභීෂණ සුරිඳුන්ගේ රාජධානිය  වුවද එම බල ප්‍රදේශය තුළ තවත් දෙවිවරු තිදෙනෙක් ඇදහීමට ලක්වෙති. ඒ නවගමුවේ පත්තිනි දේවතාවිය, බියගම සිට පුවක්පිටිය දක්වා කැලණි ගඟ දෙපස ඇදහීමට ලක්වන රංවල දෙවිදුන් සහ පුරාණ කැලණි රාජධානියට අයත් වත්මන් හේවාගම් සහ සියනෑ කෝරළයන්හි ඇදහීමට ලක්වන ගම්බාර සූනියම් දෙවිදුන් වශයෙනි. 

කැලණි ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර පවත්නා විශ්වාසයකට අනුව පැරණි කැලණි රාජධානිය තුළ අණසක පවත්වන මෙම දෙවිවරුන් තුන්දෙනා සහ විභීෂණ සුරිඳුන් අතරේ අපූරු සහජීවනයක් තිබේ. 

සියනේරිස් වෙද මහත්තයා යනු මීට දශක කිහිපයකට ඉහත කැලණි රජමහා විහාරය ආශ්‍රිතව ජීවත් වූ ප්‍රභූවරයෙකි. ඉතා පිරිසිදු දිවි පැවැත්මකින් යුතු ඔහු සතුව කිසියම් අධ්‍යාත්මික බලයක් තිබූ බව ද පැවසෙයි. එම බලය උපයෝගී කරගනිමින් ඔහු රෝගීන් සුවපත් කළ බවද පැරැන්නෝ කියති. එමෙන්ම විභීෂණ සුරිඳුන් සමඟ පත්තිනි, ගම්භාර සහ රංවල යන දෙවිවරුන් අතර පවත්නා සුසංයෝගය පිළිබඳ දැන සිටි ඔහු එම දෙවිවරුන් සඳහා ද පූජා චාරිත්‍ර සේම දේව දාන ආදිය සංවිධානය කළ බව කියනු ලැබේ. අද ද කැලණි විහාර තොටුපළට පවා රංවල දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බවට අදටත් ජන විශ්වාසයක් පවතී. 

දුරාතීතයේ විභීෂණ සුරිඳුන්ගේ සහාය ලැබ රාවණා රජු පරාජයට පත් කළ රාම කුමරු විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකකි. එහෙත්, ඒ යුද්ධයෙන් පසු විභීෂණ සුරිඳුන් හා රාම කුමරු අතර පැවැති මිත්‍ර සන්ධවය මුළුමනින්ම බිඳ වැටුණි. ඒ ඔස්සේ විෂ්ණු දෙවියන් හා විභීෂණ දෙවියන් අතර ඇති සබැඳියාව ද බිඳවැටුණු බවක් කැලණි ප්‍රදේශයේ පැරණි ජන විශ්වාස අතර පවතී. මෙම විශ්වාසය සියනේරිස් වෙද මහතා තුළ ද තදින්ම පැවැති බව පැරැන්නෝ කියති. 


පැරණි කැලණි රාජධානියේ මුහුද ගොඩගැලීමට ලක්වූ ප්‍රදේශ අතරට වර්තමාන මුතුරාජවෙල ද අයත් බව අනුමාන කෙරේ. මෙම මුතුරාජවෙල වගුරුබිම තුළ ජලයෙන් වටවූ කෘත්‍රිම දූපතක් තනා ඒ මත රුපියල් මිලියන හයසියයක වියදමින් ශ්‍රී රංගනාථ ස්වාමි කෝවිලක් තැනීමේ මුල් පියවර ක්‍රියාත්මක වූයේ 1997 වසරේය. ඒ එවක ආරක්‍ෂක අමාත්‍යවරයාව සිටි අනුරුද්ධ රත්වත්තේ මහතාගේ ක්‍රියාත්මක භාවයෙනි. එවක රට පුරා පැතිර ගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වැළැක්වීම පිණිස ආධ්‍යාත්මික උපදෙස් ලබා ගැනීමට ඉන්දියාවේ තිරුචිරාපල්ලි හි ශ්‍රී රංගම් කෝවිලට ගිය ඔහුට එහි පූජකයන් විසින් ත්‍රස්තවාදය පැතිරීමට හේතුව ශ්‍රී ලංකාවට විෂ්ණු දෙවියන්ගේ අවධානය මඳවීම යැයි පවසා තිබේ. එම  හේතුව තවදුරටත් විස්තර කළ එම පූජකයන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ එම කෝවිලෙහි ඇති එක් ගෝපුරම් එකකින් හෙවත් වාහල්කඩකින් ශ්‍රී ලංකාව වැසී ඇති නිසා එහි වැඩ වෙසෙන විෂ්ණු දෙවිදුන්ට ශ්‍රී ලංකාව හරිහැටි නොපෙනන බවකි. ඒ නිසා එම දෘෂ්ඨි දෝෂය මගහැරීම පිණිස මුහුදු මට්ටමින් අඩි තිස්පහක් උසැති ප්‍රදේශයක සිව් දෙසින්ම ජලයෙන් යටවූ භූමියක විෂ්ණු දෙවිදුන් නමින් ශ්‍රී රංගනාථ ස්වාමි කෝවිලක් තනවන ලෙස ඉන්දියානු පූජකවරුන් රත්වත්තේ මහතාට උපදෙස් දී තිබේ. පසුව ඉන්දියාවේ එම පූජකවරුන්ගේ අධීක්‍ෂණය යටතේම පුරාණ කැලණි රාජධානියට අයත් මුතුරාජවෙල වගුරුබිම තුළ ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම කෝවිල තැනීම ආරම්භ කළ ඇමැතිවරයා 1998 පෙබරවාරි 09 දින එහි මුල්ගල තබන ලෙස එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ඇරැයුම් කොට තිබේ. එහෙත් විභීෂණ සුරිඳුන් සතු කැලණි රාජධානිය තුළ කැලණි රජමහා විහාරයේ ආගමික සංස්කෘතික අගය පසුබෑමට ලක්වන අයුරින් මෙවන් සුවිසල් කෝවිලක් තැනීමේ බැරෑරුම් බව අවසන් මොහොතේ හෝ වටහාගත් බණ්ඩාරනායක ජනාධිපතිවරිය එම ඵලක නිරාවරණය සඳහා එහි පැමිණ නැත. ඒ වෙනුවට එම ඵලකය නිරාවරණය කිරීමට අමාත්‍යවරයාටම සිදුවී තිබේ. 

තිරුචිලාපල්ලි කෝවිල

ඒ කෙසේ හෝ එම කෘතහස්ත දේශපාලනඥයාගේ ජීවිතය හමුවේ පැනනැගී අනේක විධ අවුල් වියවුල් නිසා ඉන්පසු ඔහුට තම දේශපාලන ගමන් මගෙහි එක් පියවරක්වත් ඉදිරියට තැබීමට නොහැකි වූ බව කැලණියේ විභීෂණ දේව භක්තිකයෝ කියති. එම කෝවිල ඉදිකිරීම පවා හුදෙක් සිහිනයක් පමණක් වූ අතර ඉන්පසුව දේශපාලනික සමාජයීය වශයෙන් නිරන්තර ගැටලු අර්බුද රැසකට මුහුණදුන් මෙම කෘතහස්ත දේශපාලනඥයාගේ ජීවිතයේ ඉදිරි ගමනට නොයෙක් බාධා එල්ල වූ බව පැවසෙයි. 2011 වසරේ නොවැම්බර් 26 දා ඔහු මෙලොවින් සදහටම සමුගන්නා ලද්දේ දිවි මගෙහි හැත්තෑ තුන්වැනි වියේ පසුවන අතරේය. 

මෙය හුදෙක් මෙම දේශපාලනඥයා විභීෂණ දෙවියන්ගේ රාජධානිය තුළට විෂ්ණු දෙවියන් වැඩමවීමට ගත් උත්සාහයක ඛේදනීය ප්‍රතිඵලයක් සේ පවසන කැලණි ප්‍රදේශයේ පැරැන්නෝ එමගින් විභීෂණ සුරිඳුන්ගේ ඔද තෙද බල තවදුරටත් අප හමුවේ පසක් වන බව කියති. මෙහි සත්‍යතාව කෙසේ හෝ 1998 පෙබරවාරි 09 දින ශ්‍රී රංගනාථ ස්වාමි කෝවිල සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුල්ගල් තැබූ බව පැවසෙන සමරු ඵලකයක්  එම පරිශ්‍රයේ වන ලැහැබක් තුළ සැඟව තිබෙනු අදත් ඔබට දැකගත හැක. 

පෙර ලිපිය

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete