දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Sunday, November 20, 2016

කැලණියේ විභීෂණ දෙවිඳුන් ජාතිය පාවා දුන් කතාව බොරුවක්!

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන මෙම ලිපි පෙළ පාසල් සහ උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසු දරුවන්ට, ප්‍රදේශයේ ජන සංස්කෘතිය පිළිබඳව උනන්දුවක් පළ කරන්නවුන් හට සේම ඔබ සැමට අතිශයින් වැදගත් වනු ඇත. 


වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැලණිය බුදුන් දවස වන විට නාග ගෝත්‍රික රාජධානියක් බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වසරේ වෙසක් පුන් පෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරා කැලණි පුරයට වැඩම කළ බව අපගේ ශාසන ඉතිහාසය කියයි. ඒ මනිඅක්ඛික නම් නාග ගෝත්‍රික රජතුමන්ගේ ඇරැයුමකිනි. එහෙත් ඊට බොහෝ කලකට ඉහත එනම් රාවණා යුගයේදී කැලණියේ තිබී ඇත්තේ යක්ෂ රාජධානියකි. 

විධිමත් මූලාශ්‍ර මත නොව පුරාණෝක්ති මත පදනම් වන ලක් ඉතිහාසය තුළ රාවණා රජුට සුවිශේෂ තැනක් හිමිවන බව නොරහසකි. යක්ෂ ගෝත්‍රික ප්‍රබල නායකයකු වන එතුමන්ට සොයුරන් දෙදෙනකු හා සොයුරියක හිඳ තිබේ. කුම්භකරණ හා විභීෂණ එම සොයුරෝ වෙති. සොයුරිය සුපර්නඛාය. 

රාම-සීතා, රාවණා පුරාවෘත්තය පිළිබඳ ලොව පුරා පැතිර ගත් ප්‍රබලතම මූලාශ්‍රය වාල්මිකී ලියූ ‛රාමායනය’ නම් වීර කාව්‍යයයි. ඊට අමතරව පසුකාලීනව ලියැවුණු ‛ජානකීහරණය’ ඇතුළු තවත් පැරණි සංස්කෘත මූලාශ්‍ර කිහිපයකද මෙම පුරාණෝක්තිය දැකිය හැක. එහෙත් රාම-සීතා-රාවණා පුවත සම්බන්ධයෙන් බොහෝ දෙනකු නොදත් නැතහොත් සැලකිල්ලක් නොදක්වන කරුණක්ද තිබේ. එනම් කොහොඹා කංකාරිය ඇතුළු අප රටේ බලිතොවිල් ශාන්ති කර්ම කිහිපයක් සමගද මෙම පුරාවෘත්තය සම්බන්ධ වී තිබීමය. එහෙත් එමගින් මතුවන ඇතැම් පුරාණෝක්ති තුළ අප හොඳින් අසා ඇති රාම-සීතා-රාවණා පුවතට වඩා වෙනස් කරුණුද දක්නට ලැබේ. මෙය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන්නකි. 

කවුරුන් කුමන අදහසක්, අරමුණක් පෙරදැරිව කළ ද අන්සතු කාන්තාවක පැහැරගෙන ඒම අතිශය වැරදි සහගත ක්‍රියාවකි. වර්තමානයේ බලපවත්නා නීතියට අනුව වුව එය බරපතළ සාපරාධී වරදක් වෙයි. එහෙත් එවක අප රට පාලනය කළ රාවණා රජු ඉන්දියාවේ රාම කුමරුන්ගේ ප්‍රියම්බිකාව සීතා පැහැරගෙන ලංකා පුරයට ඒමෙන්  එම වරද සිදු කොට තිබේ. අප එය අකමැත්තෙන් වුව පිළිගත යුතුය. එහෙත් ඒ සඳහා බලපෑ එක් ප්‍රබල හේතුවක්ද එම පුරාණෝක්ති තුළම ගැබ්ව තිබේ. රාවණාගේ සොයුරිය සුපර්නඛා එවක ඉන්දියාවේ ප්‍රදේශයක යුවරජ පදවියක් දැරුවාය. එහිදී ඇගේ සිත තුළ රාම කුමරුන් පිළිබඳ ආදරයක් ඇති විය. එහෙත් සීතාව නිසා තමන්ට රාම කුමරුන් වෙත ළංවිය නොහැකි බව ඇයට වැටහිණි. එබැවින් සුපර්නඛා සීතාට වස දී ඝාතනය කිරීමට සැලසුම් කළාය. එහෙත් ඒ බව දැනගත් රාම කුමරුගේ බාල සොයුරු ලක්ෂ්මන සුපර්නඛාට හීයකින් විද ඇගේ කන් සහ නාසය සිඳ දැමුවේ රාම කුමරුන්ගේ සිත ඇය වෙත යොමු නොවනු පිණිසය. ඉන් මහත් අසරණ බවට පත් සුර්නඛා ඒ බව තම වැඩිමල් සොයුරු රාවණාට දන්වා සිටියාය. රාවණා සීතාව පැහැරගෙන ලංකා පුරයට රැගෙන එනුයේ ඒ සඳහා රාමගෙන් කරන බිහිසුණු පළිගැනීමක් ලෙසිනි. ඒ කෙසේ හෝ එවන් කරුණක් මත භාරතයට ගොස් රාම කුමරුන් හා යුද නොවැද තම වැඩිමල් සොයුරු රාවණ කළ මෙම අශිෂ්ට ක්‍රියාව කෙසේවත් පිළිනොගන්නා විභීෂණ මුල්වරට  රාවණා හා එරෙහි විය. පසුව ඔහු සීතාව නැවත ලබාගැනීම පිණිස ලංකා පුරයට වැද යුද වදින රාම කුමරුන්ට උපකාර කළේය. ඒ සිය හෘද සාක්ෂියට අනුව බව පැහැදිලිය. එමගින් ඔහු කරන ලද්දේ රාම කුමරුන්ට සීතා හිමිකර ගැනීමට උදව් කිරීම පමණි. එය විභීෂණ සතු මනා පෞරුෂය කදිමට නිරූපණය කරන්නකි. කෙසේ හෝ මෙම යුද්ධයෙන් රාවණ සහ ඔහුගේ බලසෙන් වනසා දමන රාම සීතාද යළි භාරතයට යාමට පෙර ලංකාපුරයේ පාලනය විභීෂණ හට භාර කරනුයේ තමන්ට කළ උපකාරයට කෘතවේදී වනු පිණිසය. එහෙත් විභීෂණ එම යුද්ධයෙන් පසු තවදුරටත් රාම කුමරුන්ට යටත් නොවීමට තීරණය කළ බව පෙනෙයි. ඒ තම මව්බිමේ ස්වාධීනත්වය රැකගනු පිණිසය. ඒ අනුව එතැන් සිට විභීෂණ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැලණි පුරයේ සිට ලංකා රාජ්‍යය පාලනය කරනුයේ මුළුමනින්ම අදීන ස්වාධීන පාලකයකු ලෙසිනි. එහෙත් ඉහත සඳහන් රාම-රාවණා පුරාණෝක්ති මත පදනම් වූ හෙළ වංශයක් පිළිබඳව කතා කරමින් අපගේ හෙළ ඉතිහාසය හුවා දක්වන විද්වතුන් බලි, තරු, රාවණාදී ඉපැරණි දේශීය රජවරුන් පිළිබඳ කතා කරන කිසිම තැනක විභීෂණ නාමය සඳහන් නොකිරීම ප්‍රබල අසාධාරණයකි. එමෙන්ම ජෝන් ද සිල්වා සූරීන්ගේ ‛රාමායනය’ නාටකයෙන්ද විභීෂණ ලංකා රාජ්‍යය පාවා දුන් අයකු බවක් පැවසෙයි. එය ද මුළුමනින්ම අසත්‍යයකි. 

වර්තමානයේ කිසියම් ආකාරයක පසුබෑමකට ලක්ව තිබුණද ලක් ඉතිහාසයේ මෑත යුගයක් දක්වා විභීෂණ දෙවියන්ට අප රටේ ප්‍රබල තැනක් හිමිව තිබිණ. විශේෂයෙන් කෝට්ටේ යුගයේ තොටගමුවේ රාහුල හිමිපාණන් විසින් රචිත සැලලිහිණි සංදේශය රචනා කොට ඇත්තේද කැලණියේ විභීෂණ සුරිඳුන් වෙත යැවෙන හසුනක් ලෙසිනි. කෝට්ටේ රජ කළ සයවන පැරකුම්බා රජු (ක්‍රි.ව. 1415 - 1467) ගේ කණිටු දියණිය වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට තම රාජ්‍යය විචාරීම සඳහා සුදුසු පුත් කුමරකු ලබාදෙන ලෙස කෝට්ටේ සිට කැලණිය දක්වා සැලලිහිණියකු අත එවන හස්නක ස්වරූපයෙන් ලියැවුණු එම සංදේශ කාව්‍යය පාසල් දරුවන් අතර පවා අදත් ප්‍රචලිතය. කතුවරයා එමගින් දෙවියන්ගේ ඔදවත් තෙදවත් බව සේම එතුමන් වෙත දක්වන අසීමිත භක්තියද පළ කොට තිබේ. 

රාම කුමරුන් යනු විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාරවලින් එකකි. එහෙත් මහනුවර මුල්  යුගයේදී පවා මෙම විෂ්ණු දෙවිඳුන්ගේ කීර්තිය විභීෂණ දෙවිඳුන්ගේ කීර්තිය තරම් ප්‍රබල නොවූ බව පැහැදිලිය. දඹදෙනි යුගයේ ලියැවුණු නිකාය සංග්‍රහයෙහි තුන් හෙළයේ සිව් මහ දෙවිවරුන් වශයෙන් කිහිරැලි, උපුල්වන්, සමන් සහ විභීෂණ  දෙවිඳුන් ප්‍රසිද්ධව සිටි බව පෙනේ. වර්තමානයේ උපුල්වන් සහ විෂ්ණු එකම දෙවියකු සේ සැළකුව ද උපුල්වන් යනු හුදු දේශීය සම්භවයේ දෙවියෙකි. එහෙත් 14 වන සහ 15 වන සියවස්වල ලියැවුණු කඩයිම් පොත්වල රුහුණු මායා පිහිටි රටවලට අධිගෘහිත දෙවිවරුන් ලෙස විභීෂණ, සමන් සහ විෂ්ණු දක්වා තිබේ. එහෙත් අදවන විට රුහුණු රටට අධිපති සේ සැළකෙනුයේ කතරගම දෙවිදුන්ය. පසුකාලීනව රාම කුමරුගේ දස අවතාරවලට අයත් විෂ්ණු දෙවිඳුන් අප රටේ ප්‍රධාන තැනට පත්වූ අතර විභීෂණ සුරිඳුන්ගේ තත්ත්වය ඊට සාපේක්ෂව පැහැදිලි පසුබෑමකට ලක්ව තිබේ. 

අද වන විට බෞද්ධ ස්වරූපයෙන් පෙනී සිටියද විභීෂණ සුරිඳුන් යක්ෂ සම්භවයකින් යුතු බව අදටත් ප්‍රකට කෙරෙන ලක්ෂණ කිහිපයකි. තද කාලවර්ණ ශරීරය, තද රත් පැහැති දෙනෙත් සහ මුව මඬල, ඒ තුළින් පිටතට නෙරා ගිය දළ යුවල ඉන් ප්‍රධාන වෙයි. විභීෂණ සුරිඳුන්ගේ වාහනය අශ්වයෙකි. නැතහොන් නිල් තුරඟෙකි. වර්තමානයේ අප රටේ අදහනු ලබන විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන්, දැඩිමුණ්ඩ ආදී ප්‍රමුඛ දෙවිවරුන් අතරට නොගැනෙන විභීෂණ සුරිඳුන් සතු දේවාලද ඉතා සීමිතය. කැලණි රජමහ විහාරයේ ඇති ප්‍රධාන විභීෂණ දේවාලය හැරුණු කොට මේ වන විට දිවයින පුරා විභීෂණ දේවාල ඉදිව ඇත්තේ ඉතා සීමිත ගණනකි. උඩුනුවර ලංකාතිලක විහාරයේ විභීෂණ දේවාලය ඒ අතර මුල් තැනක් ගනී. 

ඒ කෙසේ හෝ රාම-රාවණ යුද්ධයෙන් පසු රාම කුමරුන් ඇතිකර ගත් නොහොඳ නෝක්කඩුව තවමත් විභීෂණ සුරිඳුන්ගේ සිත තුළ ඒ අයුරින්ම පවතින බවට සියනෑ කෝරලයේ පැරණි ජන විශ්වාසයක් තිබේ. ඒ තත්ත්වය මුල් කොට විභීෂණ දෙවිඳුන් විෂ්ණු දෙවියන් පිළිබඳව දක්වන නොකැමැත්ත මනාව  පළ කෙරෙන වත්මන් සිද්ධීන් දෙකක්ද අපට මෙම ජනශ්‍රැති ගවේෂණයේදී අනාවරණය කරගත හැකි විය. 


3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ජනශැති සහ ජනකතා සම්බන්ධයෙන් ඇත්තද බොරුද මිත්‍යාවද යථාර්ථය ද යන්න පිලිබද අදාල වන්නේ නැත. අපට ඒවා වැදගත් වන්නේ ජනකතා සම්බන්ධයෙන් පමණි. මේ නිසා ජනකතාවල ඇති සත්‍ය අසත්‍යතාව, ප්‍රවෘත්තිමය වටිනාකම, යථාර්තය ආදිය සෙවීමෙන් පළක් නැත. මෙය මානව මිනිස් චිනතාවලියේ පවතින ඇතැමි ගතිලක්ෂණවල දර්පණයක් ලෙස සැළකේ. වැදගත් වන්නේ මේ ආකාරයෙන් හෝ මෙවැනි දේ සංරක්ෂණය කිරීම පමණි.

    ReplyDelete