දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්‍ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්‍රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන්‍ය ජනතාවට, අප්‍රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්‍රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට ද එකසේ ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා ද බලාපොරොත්තු වෙමු.

Saturday, January 14, 2017

අවුරුදු කෑමට පෙර ‛යක් ආණ්ඩුව’ට අයබදු ගෙවන ගම්පහ ජනතාව

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක දසවැන්නයි මේ.



 මිනිසුන් සහ දෙවිවරුන් අතර ඇත්තේ හුදෙක් අධ්‍යාත්මික සහසම්බන්ධතාවයකි. දේවබැල්ම, දේවාශීර්වාදය ඔස්සේ ජීවිතාරක්‍ෂාව, සතුට, සොම්නස සහ සෞභාග්‍යය අපේක්‍ෂා කරන්නකු හට දෙවියන් පිදීමෙන් සහ යැදීමෙන් එය අත්පත් කරගත හැකි බව ජන විශ්වාසයයි. එමෙන්ම දෙවියන් නොහඳුනන සහ නොඅදහන අදේවවාදියකුට එය නොකර සිටීමේ ඉඩක් ඇත.  ඊට හේතුව මිනිසුන්ට පිහිටවනු සහ රැකබලාගනු විනා මිනිසුන් ආණ්ඩු කිරීමට දෙවියන් නොඑන බැවිනි. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේත්, අළුත්කූරු සහ හාපිටිගම් යන කෝරළ දෙකේත් සාම්ප්‍රදායික ජනතාව තම පෞද්ගලික, පවුල්, ප්‍රජා සහ සමාජගත ජීවිත පාලනය කරන ලෞකික නොවූ පාර භෞතික බලයක් පිළිබඳව විශ්වාස කළහ. එම බලවේගය ඔවුන් විසින් හඳුන්වන ලද්දේ ‛යක් ආණ්ඩුව’ යනුවෙනි.

දෙවියන් සතුටු කිරීමෙන් ලෞකික වරප්‍රසාද ලද හැකිමුත් දෙවියන් සතුටු නොකොට සිටීමෙන් සිදුවන විශේෂ අයහපතක් පිළිබඳව ජන විඥානයේ සඳහන් නොවේ. එහෙත් වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියන් දුරාතීතයේ සිට අදහනු ලබන යක් ආණ්ඩුවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අඩුම තරමින් වාර්ෂිකව හෝ යක් ආණ්ඩුව සතුටු නොකිරීම වැසියන්ට නොයෙකුත් රෝග පීඩා, දුර්භික්‍ෂ ඇති වීමට හේතුවන බවට සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන් තුළ අතීතයේ සිට යම් විශ්වාසයක් තිබිණ. අද වන විට ආකල්පමය වශයෙන් සමාජයෙන් මෙබඳු සම්ප්‍රදායික විශ්වාස ඉවත්වීම සාමාන්‍ය සංසිද්ධියයකි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ආවාහ විවාහ සම්බන්ධතා ආදිය මගින් දිවයිනේ සෙසු ප්‍රදේශවල ජන කොටස් හා සම්බන්ධවීමත්, දිනෙන් දින වේගවත් ලෙසින් නාගරීකරණයට ලක්වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනතාව ශීඝ්‍රයෙන් වැඩිවීමත් මෙම දිස්ත්‍රික්කයට ආවේණික මෙවන් සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ක්ෂය වී යාමට හේතු වී ඇති බව පෙනෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියන් ‛යක් ආණ්ඩුව’ වශයෙන් සලකනුයේ යක්‍ෂ “කට්ටු” තුනකි. අප ජන සමාජයේ දෙවියන් ඇදහීම්වලදී දේව සමූහ හැඳින්වීම පිණිස ‛දේව මණ්ඩල’ යන වදන යෙදෙන බව අපි දනිමු. එහෙත් යකුන් පිදීමේදී ඒ සඳහා මණ්ඩල යන වචනය නොයෙදෙන අතර ඊට භාවිතා කෙරෙන වදන වනුයේ ‛කට්ටුව’ යන්නය. මෙය කට්ටු යන වදන සඳහා රාජාවලිය ග්‍රන්ථයෙහි පක්‍ෂය, කොටස යන අරුත් ලබාදී ඇති අතර ශිලා ලේඛන සංග්‍රහයට (Epigraphia Zeylanika) අනුව ඒ සඳහා ආණ්ඩුව යන අරුත ද පළවන බවක් පෙනෙයි. සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන්ගේ පිළිගැනීමට අනුව මෙහි බලපැවැත්වෙන යක් ආණ්ඩුව ‛කට්ටු’ තුනකින් සමන්විතය. එනම් තුන් කට්ටුව, විසිහතර කට්ටුව සහ හැටහත් කට්ටුව වශයෙනි. මෙම කට්ටු පිළිබඳව ඉදිරි කලාපයකින් විස්තර කෙරෙනු ඇත.



සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන් කෙරෙහි මෙම යක් ආණ්ඩුවේ බලපෑම කෙතරම් තදින් එල්ල වන්නේද යත් සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව එළැඹෙන මාස් කන්නයෙන් ලැබෙන අස්වැන්නෙන් අග්‍ර භාගය හෙවත් මුල් කොටස මෙම ‛යක් ආණ්ඩුවට’ පිදිය යුතුය. සාමාන්‍යයෙන් දෙවියන්ට පුදන දේ ‛පුද පඬුරු’ ලෙස ද යකුන්ට පුද දේ ‛දොළ පිදේනි’ ලෙසද හැඳින්වෙන බව අපි දනිමු. එහෙත් මෙලෙස ‛යක් ආණ්ඩුව’ට පිදෙන දේ හැඳින්වනුයේ ‛අය බද්ද’ වශයෙනි. එම ප්‍රකාශය තුළින්ම මෙය හුදෙක් දෙවියන්ට පුද දීමක් හෝ යකුන්ට දොළ දීමක් නොව යක් ආණ්ඩුවට නතුවීමක්, අවනත වීමක් ලෙස අපට හැඟී යනු ඇත. එමෙන්ම මේ අයබදු ප්‍රදානය කෙතරම් තීරණාත්මක ලෙස කළ යුතුද කිවහොත් ‛සිංහල අලුත් අවුරුද්දට තෙල් වළං ලිප තැබීමට පෙර’ යක් ආණ්ඩුවට මෙලෙස අය බදු ගෙවා නිදහස් විය යුතු යැයි වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැරණි ගැමියෝ සිතූහ. දුරාතීතයේ සිට සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන් එම යක් ආණ්ඩුවට දෙන අයබදු ලෙස ‛යකුන් පිදුම’ සහ ‛යක් මඩුව’ යන ශාන්තිකර්ම පවත්වන ලද්දේ එබැවිනි. මෙම යකුන් පිදුම ගෘහස්ථ සාමාන්‍ය ශාන්ති කර්මයක් වන අතර ‛යක් මඩුව’ ඊට වඩා පුළුල් ශාන්තිකර්මයකි.

යකුන් පිදුම ශාන්ති කර්මය බොහෝ විට පැවැත්වනුයේ එම ගමේ වැඩිපුර වී අස්වැන්නක් හිමිකර ගන්නා ධනවතාගේ, ප්‍රභූවරයාගේ නිවසේය. එහෙත් එය බොහෝ විට ජන සම්මතයෙන් එළඹ ගන්නා තීරණයකි. නමුදු එම නිවසේ පැවැත්වෙන යකුන් පිදුම සඳහා ගමේ සියලුදෙනා කිනම් හෝ අයුරකින් සහභාගීත්වය පළ කළ යුතුමය. ගැමියෝ ඊට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉදිරිපත් වූහ. ඒ එය කොතැනක සිට හෝ යක් ආණ්ඩුවට අය බදු ගෙවීමක් බැවිනි. මෙසේ යක් ආණ්ඩුවට අයබදු නොගෙවන ගැමියන් ඒ වසර තුළ නොයෙක් රෝග පීඩාවන්ට සහ අතුරුඅන්තරාවන්ට ලක්වන බවට අතීත ගැමියෝ තදින්ම විශ්වාස කළහ. දෙවියන්ගේ ලෙඩ නමින් හැඳින්වෙන පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී රෝග වැළඳීම ඒ අතරින් ප්‍රමුඛ විය.

වසරේ වගා කන්න දෙකේ ප්‍රධාන කන්නය වන මාස් කන්නය නිම වූ සැනින් කපා, පාගා බොල් ආදිය ඉවත් කොට ගත් අස්වැන්නෙන් මුල්ම කොටස ලාහක්, දෙලාහක් වශයෙන් කමතේදීම වෙන් කොට තැබිය යුතුය. ඒ යකුන් පිදීම උදෙසා ය. කමතේදී සිදුකෙරෙන සියලු වී බෙදීම් සිදුකළ යුත්තේ ඉන් පසුවය. මෙසේ කමතේදීම වෙන් කර ගන්නා වී ප්‍රමාණය කල් වේලා ඇතිවම එම යකුන් පිදීම සිදු කෙරෙන නිවසේ ගෘහමූලිකයාට භාර දීම ගම්මුන් විසින් නොවරදවාම කරන ලද්දකි. ඒ යම් හෙයකින් යක් ආණ්ඩුවට අයබදු ගෙවීමට ඇති වී කොටස බැරිවීමකින් හෝ අන් කටයුත්තකට යෙදවුවහොත් අත්වන ප්‍රතිඵලය අතිශයින් ඛේදනීය විය හැකි යැයි ගම්මුන් සිතන බැවිනි.

මෙම යකුන් පිදීමේ කටයුත්ත සඳහා කැපවූ වෙනම කපු මහත්වරු විශේෂයක් ගම්පහ දිසාවේ සිටිති. දේවාලවල කපු මහතුන්ගේ හෝ යකැදුරන් නොවන මොවුන් හැඳින්වෙනුයේ ‛යක් කපු මහත්වරුන්’ වශයෙනි. අතීතයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් කිහිපයක් ආවරණය වන පරිදි එක් යක් කපුමහතකු සිටි අතර අද ද ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් තුන හතරකින් විමසන විට එවැන්නකු සොයා ගැනීම අසීරු නොවේ. එහෙත් වසර සිය ගණනක් තිස්සේ පැවත ආ එම යකුන් පිදීමේ චාරිත්‍රාවලිය අතීතයේ තරම් විධිමත්ව කිරීමට වත්මන් යක් කපු පරපුරට නොහැකි බව සමහරෙක් කියති. ඒ කෙසේ හෝ මෙම යකුන් පිදීමේ චාරිත්‍රය පිළිබඳව උනන්දු වන ඔබ හට ඉදිරියේ එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර එවන් අවස්ථාවක් දැකබලා ගැනීමේ වැඩි අසීරුවක් පැන නොනගිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. 

පෙර ලිපිය

No comments:

Post a Comment