දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්‍ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්‍රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන්‍ය ජනතාවට, අප්‍රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්‍රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට ද එකසේ ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා ද බලාපොරොත්තු වෙමු.

Saturday, December 10, 2016

කැලණියේ විෂ්ණු දේවාලයක් තැනීම මර්වින් සිල්වා අතින් සිදුවුණු බරපතළ අධ්‍යාත්මික වරදක්?

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක පස්වැන්නයි මේ.

කැලණිය විෂ්ණු දේවාලය


බුද්ධාභිවන්දනයට අමතර දේව වන්දනයක් ද වත්මන් සමාජයේ පවතින බව ප්‍රචලිත කරුණකි. මහින්දාගමනයට පෙර සිට පැවැති මෙම දේව වන්දනය මහින්දාගමනයෙන් පසු එළැඹි මුල් සියවස් කිහිපය තුළ එතරම් ප්‍රචලිත වූ බවක් නොපෙනෙයි. ඒ බුදු සමයේ ව්‍යාප්තියත් සමගිනි. එහෙත් එකොළොස්වන සියවසේදී අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසු අප රටට අසීමාන්තික ලෙස එල්ල වූ ද්‍රවිඩ හින්දු බලපෑම් නිසා මහින්දාගමනයෙන් පසු සියවස් කිහිපයක් අඛණ්ඩව පැවැති සිංහල බෞද්ධ සමාජයේ දේව වන්දනයට යළි නව පණක් ලැබුණු බව පැහැදිලිව පෙනේ.

මෙරට සිංහල ජන සමාජයේ අතිශය ප්‍රචලිත ලෙස නොතිබුණද මහින්දාගමනයට පෙර පූර්ව ඓතිහාසික අවදියේ සිට අප රටේ පැවැති විභීෂණ, උපුල්වන්, සමන්, මහාසේන යන මෙරට විසූ ප්‍රතාපවත් ජන ප්‍රධානීන් පිළිබඳ ගෞරවනීය ප්‍රතිරූපයන් පසුව දේව විශ්වාස බවට පත්ව තිබේ. නමුදු එම ඇදහීම්වල හුදු ආගමික ස්වරූපයක් දක්නට නොතිබුණි. එහෙත් පසුව එම දේශීය දේවත්වයන් තුළට දකුණු ඉන්දීය ද්‍රවිඩ දේව ඇදහීම් උරා ගැනීම හෙවත් අවශෝෂණය වීමත් සමග ඒවායේ ඇදහීම් රටා වඩාත් ව්‍යාප්ත සහ පුළුල් වූ බව පෙනෙයි. නමුදු එහිදී විභීෂණ සහ සමන් ආදී දේවත්වයන් තුළට භාරතීය දේවත්වයක් අවශෝෂණය වූ බවක් පෙනෙන්නට නැත. නමුදු අනාදිමත් කාලයක සිට අප රටේ පැවැති උපුල්වන් නම් දේවත්වය තුළට භාරතීය විෂ්ණු දේව සංකල්පය ඍජුවම රිංගා ගත්තේය. කතරගම විසූ මහාසේන නම් නරපතියා මුල්කොටගත් බෞද්ධ දේව සංකල්පය තුළට පසුකාලීනව ස්කන්ධ කුමාර, කදිරවේලු, මුරුගන්, සුබ්‍රාහ්මන්‍ය (සුබ්‍රමනියම්) ආදී උතුරු සහ දකුණු ඉන්දීය හින්දු දේව විශ්වාස එලෙස රිංගා ගත් බව පෙනෙයි. මේ මුසුවීම් වලින් දුරාතීතයේ සිට අප රටේ පැවැති දේශීය දේවත්වයන්හි අනන්‍යතාවයන් හට බරපතළ හානි සිදුවිය. මගේ විශ්වාසයට අනුව මෙම හානි අතුරින් දරුණුම හානිය සිදුව ඇත්තේ උත්පලවන්න හෙවත් උපුල්වන් නම් දේශීය බෞද්ධ දෙවිඳුන් හටය. ඒ එම දෙවිදුන්ගේ ශරීරය උපුල්වන් හෙවත් නිල් පැහැයෙන් යුතුවීම ආදී කරුණු මුල්කොට භාරතීය හින්දු ත්‍රිමූර්තියේ ප්‍රධානතම හා අප රටට කිසිදු සබැඳියාවක් නැති විෂ්ණු දේව විශ්වාසය අප කිසිවකුටත් නොදැනීම මෙහි පැමිණ උත්පලවන්න නම් දේශීය බෞද්ධ දෙවියන්ගේ අනන්‍යතාව කුරිරු ලෙස පැහැර ගත් බැවිනි.
එමෙන්ම කිසිදු ඉන්දීය සම්භවයක් නොමැති සුපිරිසිදු දේශීය දෙවි කෙනකු වන විභීෂණ සුරිඳුන්ගේ රාජධානිය සේ සැලකෙන කැලණිය තුළ එම දේශීය දේව කුලයටම අයත් උපුල්වන් දෙවිඳුන්ගේ දේවත්වය ආක්‍රමණය කළ විෂ්ණු දෙවිදුන් උදෙසා දැවැන්ත දෙවොලක් තැනීම සුළුපටු කරුණක් නොවන බව සියනෑවේ විභීෂණ භක්තිකයෝ තරයේම කියා සිටිති.


ඒ එම බරපතළ කාරියේ යෙදුණු මර්වින් සිල්වා මහතා දෙසට ඇඟිල්ල දිගු කරමිනි.

“කැලණිය කියන්නේ මහියංගනය, නාගදීපය, ශ්‍රීපාදස්ථානය වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වුණු පුදබිමක්. ඒ වගේම ශ්‍රීපාදස්ථානයට සමන් දෙවියන්, කතරගමට කතරගම දෙවියන්, දෙවුන්දරට උපුල්වන් (පසුව විෂ්ණු) දෙවියන්, මහනුවරට නාථ දෙවියන්, නවගමුවට පත්තිනි දෙවියන් වගේම කැලණියට විභීෂණ දෙවියන් අරක්ගෙන ඉන්න බව මේ රටේ හැමෝම දන්නා කරුණක්. ඒ වගේ තත්ත්වයක් යටතේ තමන්ගේ දේව භක්තිය මුල් කරගෙන විෂ්ණු දෙවියන් සඳහා සංහිඳක්, පහන්පැලක් හෝ පුංචි දේවාලයක් තැනීම වෙනුවට කැලණියේ විභීෂණ දේවාලයටත් වඩා විශාල විෂ්ණු දේවාලයක් විභීෂණ දෙවියන්ගේ රාජධානිය තුළම ඉදිකරවපු එක ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ අධ්‍යාත්මික භර පද්ධතිය ඉලක්ක කරගෙන කරපු සැලකිය යුතු අයහපත් බලපෑමක් විදිහට හඳුන්වන එකේ කිසිම වරදක් නැහැ.” 

මහාචාර්ය දයා අමරසේකර 

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආධ්‍යාත්මවේදය පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන පේරාදෙණිය විශ්ව  විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර ඒ සම්බන්ධයෙන් තම මතය මා හා දක්වන ලද්දේ එලෙසිනි.

“අපි ඕනෑම කෙනකුට ආධ්‍යාත්මික වශයෙන් ඕනෑම විශ්වාසයක් දැරීමේ නිදහස අයිතිය තියෙනවා. නමුත් ඒ නිදහස මුල්කරගෙන සෙසු ජන සමාජයේ ආධ්‍යාත්මික විශ්වාසයන්ට අනිසි බලපෑම් කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි” මහාචාර්යවරයා වැඩිදුරටත් එසේ කියා සිටියි.

ඒ කෙසේ හෝ විෂ්ණු උපුල්වන් යනු එකම දෙවි කෙනකු වශයෙන් සැලකීම මර්වින් සිල්වා මහතාගේ අතින් සිදුවූ වරදක් නොවේ. ඔහු සිදුකොට ඇත්තේ වසර සිය ගණනක් තිස්සේ අප සමාජය තුළ පැතිර පවත්නා එම වැරදි විශ්වාසය අනුව ශ්‍රී ලාංකීය ආධ්‍යාත්මයට බලපෑමක් වන අයුරින් කටයුතු කිරීම පමණි.

එමෙන්ම මෙම විෂ්ණු උත්පලවන්න දෙවිවරුන්ගේ අනන්‍යතා පටලැවීම ඓතිහාසික වශයෙන්ද මනාව තහවුරු කළ හැක. දීපවංශයේ 11 වන පරිච්ඡේදයේ විසි හතරවන ගාථාවෙන් හා මහාවංශයේ හත්වන පරිච්ඡේදයේ හත්වන ගාථාවෙන් උත්පලවන්න නම් දේශීය දෙවි කෙනකු පිළිබඳව පැවසෙයි. එමෙන්ම මෙම උත්පලවන්න දෙවිඳුන් සම්බන්ධ විශේෂත්වයක් වනුයේ බුදු රදුන් බුද්ධත්වයට පත්වීම පිණිස කළ මාර යුද්ධයේදී අන් සියලු දෙවිවරුන් පළා යද්දී බෝසතුන් සමීපයේ නොසෙල්වී හිඳීමෙන් බුදු සමය පිහිටුවීමට උපස්ථම්භක වීමය. එම කතා ප්‍රවෘත්තිය තිසර සංදේශයේ සිව්වන සහ කෝකිල සංදේශයේ තිස්වන කවියෙන් රසවත් ලෙස විස්තර කොට ඇති අයුරු ඔබට ද විමසා බැලිය හැක. එමෙන්ම මෙම පුවත මයුර සංදේශයේද සඳහන්ව තිබූ බවක් මට මතකය. එහෙත් මෙම පුරාවෘත්තයට හින්දු ආගමට අයත්  විෂ්ණු දෙවියන්ගේ කිසිම සබැඳියාවක් නැත. අතීතයේ අප රටේ බෞද්ධයන් තුළ පැවැති මෙම උත්පලවන්න දේව බැතිය කෝට්ටේ යුගය වනවිට පවා කෙතරම් ප්‍රබල ලෙස පැවැතියේද යත් එම යුගයේ ලියැවුණු තිසර, මයුර, පරෙවි සහ කෝකිල යන සංදේශ හතරම පුදදී ඇත්තේ උපුල්වන් සුරිඳුන් හටය. එම යුගයේ ලියැවුණු තවත් ප්‍රශස්ථ ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ ද එම දෙවිදුන් ගැන සඳහන් වෙයි. මෙහිදී මෙලෙස උපුල්වන් යනුවෙන් හඳුන්වා දී ඇත්තේ විෂ්ණු සුරිඳුන්ම බවට යමෙකුට තර්ක කළ හැක. එහෙත් කෝකිල සංදේශයේ විසිතුන්වන සහ පරෙවි සංදේශයේ විසි හයවන කවිය විමසන ඕනෑම අයකුට වැටහී යනුයේ උපුල්වන් යනු හුදු වෙනම දෙවි කෙනකු බවය. මෙහිදී මෙම උපුල්වන් නම් දේශීය බෞද්ධ දෙවියන් හුදෙක් ඉන්දීය හින්දු විෂ්ණු නොවන බවත් උත්පලවන්න යනු ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් විසින් අදහනු ලැබූ නීලවර්ණ රූපකායකින් යුතු වෙනම දෙවි කෙනකු බවත් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය සමාජ සහ මානව විද්‍යාඥයකු වන මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් විසින් රචිත The Cult of Goddess Pattini කෘතියෙහි ද පැහැදිලිවම දක්වා තිබේ. එමෙන්ම දේශීයත්වය පදනම් කරගත් අතීත හෙළ උරුමයක් පිළිබඳ භාෂා විද්‍යාත්මක සහ මානව දෘෂ්ඨිකෝණයකින් විමසූ මුනිදාස කුමාරතුංග සූරීන් විසින් 1936 එළිදක්වන ලද ‛තිසර සංදේශ දීපනිය’ නම් කෘතිය මගින් ද උපුල්වන් යනු හුදු දේශීය සම්භවයකින් යුතු දෙවි කෙනකු බව මනාව තහවුරු කොට තිබේ. ඒ අනුව කැලණියේ විෂ්ණු කෝවිලක් තැනූ මර්වින් සිල්වා මහතා එම කරුණු නොදැන සිටින බව සහතිකය.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර 

භාරතීය සංස්කෘතියේ විෂ්ණු දෙවියන් සම්බන්ධයෙන් ඇති තොරතුරු සම්භාරය අතිවිශාලය. අෂ්ටාදශ පුරාණය, රාමායනය, මහා භාරතය යන කෘතීන්හි විෂ්ණු දෙවියන් පිළිබඳ කොතෙකුත් විස්තර දැක්වෙයි. එහෙත් ඒ කිසිම තැනක උත්පලවන්න යන පර්යාය නමක් විෂ්ණු දෙවියන් හට ලබාදී නැත. එමෙන්ම විෂ්ණු දෙවියන් සම්බන්ධ පර්යාය නාම රාශියක් සහිත ශ්ලෝක ලක්‍ෂ ගණනක් එදා මෙදා බිහිව තිබේ. ඒවා අතරින් යම් ප්‍රමාණයක් අද ද ඉන්දියාවේ විෂ්ණු කෝවිල්වල දිනපතා ගයනු ලැබේ. එහෙත් ඒ කිසිදු ප්‍රශස්තියක විෂ්ණු දෙවියන් සඳහා වන උත්පලවන්න නම් පර්යාය නාමයක් පිළිබඳව සඳහන් නොවේ. මර්වින් සිල්වා මහතා තමන් තුළ පවතින පෞද්ගලික විෂ්ණු භක්තිය මුල්කොට කැලණියේ විභීෂණ රාජධානිය තුළ හිතුවක්කාර අයුරින් විෂ්ණු කෝවිලක් තැනීමෙන් බරපතළ වරදක් සිදුකොට ඇති බවට සියනෑකෝරළයේ විභීෂණ භක්තිකයන් සහතික කොට ප්‍රකාශ කරනුයේ ඉහත සඳහන් පසුබිම යටතේය.


එමෙන්ම ඔහුගේ මූලිකත්වයෙන් විභීෂණ දෙවිඳුන්ගේ පුරවරයේ තනා ඇති මෙම විෂ්ණු දෙවොල කිසිදා ජනානන්දනීය පුදබිමක් නොවන බව සහතික යැයි ප්‍රකාශ කරන සියනෑ වැසියන් වැඩිදුරටත් පවසා සිටිනුයේ හුදෙක් තම පෞද්ගලික ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් මුල්කොට මර්වින් සිල්වා මහතා විසින් සිදුකරනු ලැබූ මෙම ආධ්‍යාත්මික උඩු යටිකුරු කරවීම මුල්කොට විභීෂණ සුරිඳුන් විසින් ඉදිරියේදී කිනම් හෝ බැරෑරුම් ප්‍රතිඵලයක් ඔහු වෙත  උදා කළ හැකි බවය. 

පෙර ලිපිය

Saturday, December 3, 2016

විභීෂණ දෙවියන්ගේ රාජධානිය තුළ මර්වින් සිල්වාගෙන් විෂ්ණු කෝවිලක්

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක සිව්වැන්නයි මේ.  

කැලණිය බුළුගහ හන්දිය විෂ්ණු දේවාලය 


අද වන විට ලක් ජන සමාජයේ ජනප්‍රියතම දෙවිවරුන් වනුයේ විෂ්ණු, කතරගම, පත්තිනි, සමන් ආදීහුය. මෙම ජනප්‍රියතාවය මීට සියවස් කිහිපයක සිට උරුම වූවකි. එසේ නොමැතිව දුරාතීතයේ සිටම මෙම දෙවිවරුන්ට හිමි වුවක් නොවේ. ඊට හේතුව ඉතිහාසයේ යම් යම් යුගවල අප රටේ දෙවිවරුන්ගේ ජනප්‍රියතාව යම් යම් මට්ටම්වලින් ඉහළ පහළ යාමය. 

ගම්පහ දිසාවේ කැලණිය රාජධානිය කරගත් විභීෂණ සුරිඳුන් මීට වසර හයසිය හතරකට පෙර ඇරඹි කෝට්ටේ යුගයේදී අප රටේ ජනප්‍රියතම දෙවි කෙනකු ලෙස වැජඹුණු බවට ඓතිහාසික සහ සාහිත්‍යමය මූලාශ්‍ර තිබේ. එහෙත්, මීට වසර පන්සිය හතළිස් එකකට පෙර ඇරැඹි මහනුවර යුගය වන විට එම ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පසුබෑ බව පැහැදිලිවම පෙන්නුම් කරයි. මේ සම්බන්ධයෙන් සියනෑ කෝරළයේ ඇති ප්‍රබල විශ්වාසයක් නම් අප රට තුළ පැවැති රාවණා බලය අවප්‍රමාණ වී භාරතයේ රාම බලය අප රට කෙරෙහි තදින්ම බලපෑම මත විභීෂණ සුරිඳුන්ගේ ඔද තෙද ද අඩුවී ගිය බවය. 

එමෙන්ම ක්‍රි.ව. 1739දී දකුණු ඉන්දීය නායක්කර් වාංශික ශ්‍රී විජය රාජසිංහ රජු බලයට පත්වීමත් සමග අප රටේ සිංහල රජ පරපුර අභාවයට ගිය බව ඓතිහාසික සත්‍යයකි. ඒ අනුව එයද රාවණා බලයට එරෙහිව රාම බලය ඉස්මතුවීමක් ලෙස සියනෑ කෝරළයේ පවතින ජන විශ්වාසය ප්‍රබල දාර්ශනික පදනමකින් යුක්ත වූවක් බව මගේ අවංක හැඟීම ය. 

විශේෂයෙන් අනාදිමත් කාලයක සිට ලක් ජනතාවගේ අතිශය ගෞරවාදරයට පත් ‛උපුල්වන්’ නම් දේශීය බෞද්ධ දෙවියන්ගේ අනන්‍යතාව තුළට විෂ්ණු නම් භාරතීය හින්දු දෙවියා හීන් සීරුවේම පිවිසීම මේ යුගයේදී තවත් වර්ධනය වූ බව පෙනෙයි. මෙමගින්ද රාවණාට එරෙහි රාම බලය අප රට තුළ දැඩිව ක්‍රියාත්මක වීම වඩාත් තහවුරු වනුයේ රාම යනු විෂ්ණුගේ දස අවතාරවලින් එකක් බැවිනි. ඒ අනුවද කැලණිය රාජධානිය කරගත් විභීෂණ සුරිඳුන් හා භාරතයෙන් සපැමිණි විෂ්ණු දෙවියන් එකිනෙකට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් නියෝජනය කරන බව අතිශයින් පැහැදිලිය. 


වත්මන් දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක චරිතයක් වන ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයට පත්වනුයේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකව සිටි ශ්‍රීපති සූරියාරච්චි මහතාගේ අකල් මරණයත් සමගිනි. ඒ 2008 වසරේ ය. මතුපිටින් රළුපරළු චරිතයක් සේ පොදු සමාජය විසින් හඳුනාගනු ලැබුවද ඔහුගේ සමීපතම හිතවතුන් පවසන අන්දමට මර්වින් සිල්වා මහතා සංවේදී හදවතකින් යුතු දැඩි දේව භක්තිකයෙකි. එම දේව භක්තිය මුල්කොට ඔහු තම දේශපාලන බල ප්‍රදේශය වන කැලණියේ විෂ්ණු කෝවිලක් ඇරඹීමට මුල පුරනුයේ 2009 වසරේ සිටය. ඒ සම්බන්ධයෙන් ඔහු එවක තම හිතවතුන් හා ප්‍රකාශ කොට ඇත්තේ තම ගෞරව බහුමානයට ලක්වන ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි, තිරුමාලහි පිහිටි තිරුපති කෝවිල නමින් ප්‍රසිද්ධ ශ්‍රී වෙන්කතිෂ්වර කෝවිල ආදර්ශ කරගත් කෝවිලක් තම මැතිවරණ බලප්‍රදේශයේ ඉදිකරන බවය. වෙන්කතීෂ්වර ස්වාමී යනු විෂ්ණු දෙවියන්ගේ බල පරාක්‍රමය දක්වන මූර්තියක් හෙවත් අවතාරයක් බව ප්‍රසිද්ධ ය. 

පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ මන්ත්‍රීවරයකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි මර්වින් සිල්වා මහතා 2007 වසරේ කැබිනට් නොවන කම්කරු අමාත්‍ය පදවියට පත්වූ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයාගේ සමීපතම අන්තේවාසිකයකු ලෙසත් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඒ සමගම ඔහුගේ ඇතැම් ක්‍රියා සමාජයේ ප්‍රබල කතාබහකට සහ විවේචනවලට ලක්වූ බවද කිසිවකුටත් රහසක් නොවේ. ඒ කෙසේ වුවත් මර්වින් සිල්වා ඇමැතිවරයා විසින් විභීෂණ දෙවිදුන්ගේ ඔද තෙද බල සහිත කැලණි රාජධානියට මෙලෙස භාරතීය විෂ්ණු දෙවිදුන් වැඩමවීම පිළිබඳ  දැඩි විස්මයටත් කම්පාවටත් පත් පිරිසක් ද වූහ. ඒ අතීතයේ සිට කැලණියේ විභීෂණ සුරිදුන් කෙරෙහි බැතිමත්ව සිටි සියනෑ කෝරළයේ සාම්ප්‍රදායික ගැමියන්ය. 

විභීෂණ සුරිඳුන්ගේ ඔද තෙද සහිත කැලණි රාජධානි තුළ මෙලෙස භාරතීය සම්ප්‍රදායෙන් යුතු දැවැන්ත විෂ්ණු කෝවිලක් ඉදිකරවීම කවර හේතුවක්, පදනමක් මත සිදුවන්නක්දැයි සිතා ගැනීමටවත් නොහැකි වූ ප්‍රදේශවාසී විභීෂණ භක්තිකයෝ ඒ සම්බන්ධයෙන් මර්වින් සිල්වා අමාත්‍යවරයා හා සුහද කතාබහකට එළැඹීමට කිහිප වරක්ම වෙර දරා ඇති බව මෙම විමසුමේදී මට දැනගත හැකිවිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විභීෂණ දේවාලය පිහිටා ඇති කැලණි රජමහා විහාරයේ අධිපති පූජ්‍ය මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඇතැමුන් පෙළඹුණු බවද මට අසන්නට ලැබිණ. එහෙත් ඒවායේ ප්‍රතිඵල කවරාකාර වී දැයි දැනගන්නට නැත. අවසානයේ මෙම විෂ්ණු දේවාලය තැනීමට සූදානම් කොට ඇති භූමිය පිහිටි පොළොවෙන් පහත පිහිටි වගුරු බිමක් බැවින් මෙම දෙවොල වෙනත් තැනකට ගෙන යන ලෙසට පවා ඇමැතිවරයාට දැනුම් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසුමකදී සියනෑ කෝරළ වාසීහු මා හා කීය. 

එහෙත් ඒ සියලු ප්‍රයත්න නිශ්ඵල කරමින් කැලණිය, බුළුගහහන්දිය ප්‍රදේශයේ ගොඩ කරන ලද වගුරු බිමක් මුල්කොට අභිනවයෙන් තැනෙන නව විෂ්ණු කෝවිලේ වැඩ කටයුතු 2010 ජනවාරි 21 දින මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන ලදී. ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු නමින් පුවරු ආදිය මගින් හඳුන්වනු ලැබූවද  එය හුදෙක් ඉන්දීය හින්දු සම්භවයේ විෂ්ණු කෝවිලක් බව පසුව සැමට ඒත්තු යන ලද්දේ ඊට ප්‍රධානත්වය දැරූ පිරිස සම්බන්ධයෙන් එහි සමරු ඵලකයේ ඇති නාමාවලිය දැකීමෙනි. ඒ සඳහා එන්. සෝමානන්ද ෂර්මා පූජකතුමා හෙවත් මුන්නේෂ්වරම් සෝම ස්වාමි, ස්වාමි ගෝපාල් ෂර්මා, දකුණු ඉන්දියාවේ මහාබලිපුරම්හි මහාචාර්ය ලෝගනාදන් ආදී හින්දු අධ්‍යාත්මික නායකයන්ගේ සහභාගීත්වය හිමිවූ බව එම පුවරුවෙහි සඳහන් වන බව අද ද දැකබලා ගත හැක. 

“කැලණිය කියන විභීෂණ දෙවියන්ගේ රාජධානිය ඇතුළට ඉන්දියාවෙන් විෂ්ණු දෙවියන් වැඩම කරපු එක සුළුපටු කාරණයක් නොවෙයි. අනික විභීෂණ කියන්නේ යක්‍ෂ සම්භවයක  දෙවි කෙනෙක් ඒ හින්දා ඇතිවන තත්ත්වය වඩාත් නරක වෙන්න පුළුවන්. විශේෂයෙන් විභීෂණ දෙවියන්ට විරුද්ධව වෙන අයගේ සිහි විකල් වෙන්න පුළුවනි.“ මෙම කෝවිල තැනීමත් සමග කැලණියේ විභීෂණ භක්තිකයෝ එසේ කතා කරගත්හ. 
“අනුරුද්ධ රත්වත්තේ ඇමැතිතුමා මුතුරාජවෙල විෂ්ණු කෝවිල හදන්න සැලසුම් කරන කොටත් අපේ කීපදෙනෙක් ගිහින් එතුමව දැනුවත් කළා, කැලණි රාජධානිය ඇතුළේ ඔය වැඩේ නම් කීයටවත් කරන්න එපා කියලා. ඒත්, එතුමා ඒක ඇහුවේ නැහැ. ඒත් අන්තිමට චන්ද්‍රිකා මැඩම් පවා විරුද්ධවෙලා ඒක නතර කළා කියලා ආරංචියි. ඒ වගේම අනුරුද්ධ රත්වත්තේ ඇමැතිතුමාට අද මොකද වෙලා තියෙන්නේ? 

කැලණිය බුළුගහහන්දියේ අභිනවයෙන් ඉදිකෙරෙන විෂ්ණු කෝවිල තැනෙන මුල් අවදියේ විභීෂණ දෙවිදුන්ට බැතිමත් සියනෑ කෝරළවාසීහු එසේ කතාබහ කර ගත්හ. ඔවුන් එසේ පවසන ලද්දේ ඒ  වන විට අනුරුද්ධ රත්වත්තේ මහතා චරිතය දේශපාලන නිහැඬියාවක නිමග්නව තිබූ බැවිනි. එමෙන්ම මෙම කෝවිල මුල්කොට ඊට පුරෝගාමී වූ මර්වින් සිල්වා මහතාගේ ඉදිරි කල දසාව කුමක්වේදැයි ඒ කාලයේ සිටම ඔවුහු විමසිලිමත් වූහ. ඒ තම සිත් තුළ හටගත් ස්වභාවික කුතුහලය ද මුල්කර ගනිමිනි. 

පෙර ලිපිය‍

Thursday, December 1, 2016

රාම කුමරුගෙන් අරණායකට ප්‍රහාරයක් - රාම රාවණා යුද්ධය තවමත් නිමවී නැතිලු

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක තෙවැන්නයි මේ.       
රාමසර කන්ද ගැවිලිපිටියට පෙනෙන අයුරු

අප බොහෝ දෙනකු පිළිගන්නා අන්දමට රාම රාවණා යුද්ධය කිසිදු ඓතිහාසික පදනමක් නැති පුරාණෝක්තියකි. ඇතැමුන් පුන පුනාම පවසන අන්දමට එය හුදෙක් මිථ්‍යා ප්‍රබන්ධයකි. එහෙත්, සියනෑ කෝරළයේ පැරණි ගැමියන් අදටත් පවසා සිටිනුයේ අතීතයේ කිනම් හෝ යුගයක සිදුවූ රාම-රාවණා යුද්ධය තවමත් නිමාවී නැති බවය. ඔවුන් එසේ පවසනුයේ රාවණා රජුගේ බාල සොයුරු  කැලණි රාජධානියට අධිපති විභීෂණ දෙවිඳුන් වටා ගෙතී ඇති ජනප්‍රවාද මුල්කර ගනිමිනි. ඒ රසවත් පුවත අද සමාජයේ බොහෝ දෙනෙක්  නොදනිති.

රාම රාවණා යුද්ධයේදී රාවණ සොයුරු විභීෂණ රාම කුමරුන්ගේ පක්‍ෂය ගෙන ක්‍රියා කළ බව කවුරුත් දනිති.  ඔහු එසේ කරන ලද්දේ හුදෙක් අප මව්බිමේ අභිමානය සුරකිනු පිණිසය. රාවණා රජු භාරතයට ගොස් රාම කුමරුන්ගේ ප්‍රියම්බිකා සීතාව පැහැරගෙන එනුයේ එක් ප්‍රබල හේතුවක් මතය. එනම් රාමගේ සොයුරු ලක්ෂ්මන කුමරුන් රාවණාගේ සොයුරිය වන සුපර්නඛාට කළ කායික අඩන්තේට්ටමකට පළිගැනීමක් වශයෙනි. සුපර්නඛා යනු රාවණාගේ සේම විභීෂණගේ ද සොයුරියයි. එහිදී විභීෂණ රාවණාට පවසා සිටිනුයේ තම සොයුරියට භාරතයේදී සිදුවූ එම නොමනා ක්‍රියාවට දිය යුතු නිර්භීත පිළිතුර භාරතයට ගොස් ඔවුන් හා යුද වැදීම බවය. එසේ නොමැතිව භාරතයෙන් ගැහැනියක පැහැරගෙන ඒම නොවන බවය. මෙහිදී විභීෂණ කළ බව පැවසෙන එම ප්‍රකාශය සියනෑවේ වැසියන්ට සේම සමස්ත ශ්‍රී ලාංකිකයන්හටම අභිමානයකි.



වාල්මිකී ලියූ රාමායනය නිමා වන්නේ සීතාව තම මව වන පෘථිවිය විසින් සිය තුරුළට ගැනීමෙන් සහ රාම කුමරුන් තම පිරිස ද සමඟ සරභූ නදියේ ගිලී යාමෙනි. එසේ රාවණා විනාශ කළ රාම කුමරු ලංකාපුරයේ පාලනය ඔහුගේ සොයුරු විභීෂණට දුන් බව සඳහන්ය. එහෙත් රාමායනය කෘතියෙන් ඉඟි කෙරෙනුයේත් ඊට පසුකාලීනව ලියැවුණු වෙනත් සාහිත්‍ය කෘති මගින් පුන පුනාම පැවසෙනුයේත් රාම-රාවණා යුද්ධයේදී රාවණා මිය නොගිය බව හා දීර්ඝතම ‛කාල නිද්‍රාවකට’ පත් වූ බවය. අද වන විට මුද්‍රිත, විද්‍යුත් මාධ්‍යවලින් සේම සමාජ වෙබ් අඩවි තුළිනුත් ‛රාවණාගේ යළි ඉපදීම’ ලෙස හැඳින්වෙනුයේ මෙම ජන විශ්වාසය බව පෙනේ.

වර්තමානයේ රාවණා රජු හෙළයේ සුවිශිෂ්ට නරපතියකු සේ හඳුන්වන අවස්ථා කොතෙකුත් තිබේ. එහෙත් මෑතක් වනතුරුම අපගේ ජන සම්මතය වූයේ රාවණා යනු නපුරු අධර්මිෂ්ඨයකු බවය. ඒ පිළිබඳව තහවුරු කෙරෙන සාක්‍ෂි බොහොමයක් අපගේ සාහිත්‍ය මූලාශ්‍රවලින් ද සොයාගත හැක.

දහහත්වන සියවසේ ලියැවුණ බව පැවසෙන රාජාවලිය මගින් පැවසනුයේ රාවණාගේ දුෂ්ඨ නපුරු ක්‍රියාවන් නිසා අප රටේ මධ්‍ය කඳුකරය තෙක්ම මුහුද ගොඩගැලූ බවකි. එසේ රාවණා පිළිබඳ අයස අපකීර්තිය පැතිර යනුයේ අප රට තුළට රාමගේ බලය ප්‍රචලිතවීම නිසා බවට ජන විශ්වාසයක් සියනෑ කෝරළයේ පැරණි ගැමියන් තුළ තිබේ.

මෙසේ දිගු කලක් දැඩි අපකීර්තියකට පත්ව සිටි රාවණා රජු නැවත අප ජාතියේ වීරවරයකු බවට පත්වීම ඇරඹෙන ලද්දේ හෙළයේ විසූ මහා පඬිරුවනක වන කුමාරතුංග මුනිදාසයන් විසින් 1941 වසරේ ජනවාරි 11දා ‛හෙළ හවුල’ නම් දේශ සහ භාෂා ප්‍රේමී සංවිධානය ගොඩනංවා ගැනීමත් සමගිනි. එමගින් එවකට විජය කුමරුන්ගේ ඇරඹුණු බව පැවසෙන සිංහලයේ ඉතිහාසයට වඩා ඉපැරණි හෙළ ඉතිහාසයක් පිළිබඳව මුල් වරට අනාවරණය කෙරෙන ලදී. හෙළ නම් වන අපගේ ජාතික වංශ කතාව බලි, තරු රාවණාදී සම්මත ඉතිහාසයෙන් වසන් වූ නරපතියන් වෙත ප්‍රදානය කිරීමක් ද එහිදී සිදුවිය. ඒ අනුව පසුගිය දශක හයක කාලය තුළ අප රට තුළ රාම බලය අතික්‍රමණය කොට රාවණා බලය ස්ථාපිත වූ බවට ජන සම්මතයක් තිබේ.

අප රට තුළ මෙලෙස ස්වදේශිකත්වය මත පදනම් වන රාවණා බලය ක්‍රියාත්මක වත්ම ඊට එරෙහිව රාම බලය භාරතයෙන් පැන නගින බවට ජන විශ්වාසයක් තිබේ. පසුගිය කාලය තුළ, එනම් භාරතයේ රාම බලය අප රට කෙරෙහි දැඩිව බලපෑ සමයේ කැලණියේ විභීෂණ සුරිඳුන්ගේ බලය යටපත්ව භාරතීය විෂ්ණු දෙවියන්ගේ බලය මෙරට ආක්‍රමණය කිරීම මීට නිදසුනක් සේ දැක්විය හැකිය. වර්තමානයේ ශ්‍රී විෂ්ණු උපුල්වන් යන නමින් පොදු ව්‍යවහාරයකින් හැඳින්වුවද උපුල්වන් ශ්‍රී විෂ්ණු යනු අහස පොළාවටත් වඩා වෙනස් සම්භවයන්ගෙන් යුතු දෙවිවරුන් දෙදෙනෙකි. මහාවංශයේ දැක්වෙන අන්දමට බුදුන් පිරිනිවන් මංචකයේදී ලක්දිව බුදු සසුන සුරකින ලෙස ශක්‍ර දේවෙන්ද්‍රයාට කළ ඉල්ලීම අනුව මෙරට බුදු සසුන රැකීම භාරගනු ලබනුයේ තද නිල් පැහැති රූප කායකින් යුතු ‛උත්පලවන්න’ නම් දේශීය දෙවි කෙනෙකි. එහෙත් ඒ වන විට භාරතයේ  අතිශය ප්‍රබලව පැවැති විෂ්ණු ඇදහීම පසුකාලීනව අපට රටටද පැමිණීමත් සමඟ කෝට්ටේ යුගයෙන් පසු උපුල්වන් නම් දේශීය බෞද්ධ දෙවියා සහ විෂ්ණු නම් භාරතීය හින්දු දෙවියා එකම දෙවි කෙනෙක් සේ වරදවා වටහා ගැනීමට ලක් වැසියෝ පුරුදු වූහ.

උපුල්වන් දේශීය බෞද්ධ දෙවියාට හිමිව තිබූ ‛මතු බුදුවන’ යන හැඳින්වීම බුදු දහමට කිසිදු සබැඳියාවක් නැති හින්දු විෂ්ණු දෙවියන්ට ඉබේම ආරෝපණය වී ඇත්තේ මේ පටලැවීම නිසාය.

විභීෂණ සුරිදුන් අධිගෘහිත කැලණි පුරයට සිදුවූ බරපතළම විනාශයන් දෙකක් පිළිබඳව ලක් ඉතිහාසයේ දැක්වෙයි. එනම් ක්‍රි.ව. 1213දී පමණ විසි හතර දහසක පමණ කේරළ හමුදාවක් ද සමඟ අප රටට පැමිණි කාලිංගමාඝ නම් ආක්‍රමණිකයා කැලණියට කළ විනාශයයි. එමෙන්ම ක්‍රි.ව. 1505 අප රටට කඩා වැටුණු පෘතුගීසීන් විසින් ක්‍රි.ව. 1551 වසරේ කැලණි පුදබිමට කළ විනාශයද ඊට කෙසේවත් දෙවැනි නොවේ. මෙම සියලු ව්‍යසනයන් පිටුපස භාරතයේ අබෞද්ධ ‛රාම’ විසින් රාවණා සේම කැලණියේ විභීෂණ සුරිඳුන් මුල්කොට ගත් දේශීය බලවේගවලට බිහිසුණු ප්‍රහාර එල්ල කිරීමේ අධි යථාර්ථවාදී සත්‍යයක් පවතින බව සියනෑකෝරළ ජන විශ්වාසයන් අතර පවතී. එම බිහිසුණු ව්‍යසන හමුවේ තම පුරවරය රැක ගැනීමට විභීෂණ සුරිඳුන්ට නොහැකි වූ බවද එම ජන විශ්වාසයට අනුව පැවසෙයි.

මෙම වසරේ මැයි මස 17දා අප රට මහත් ස්වභාවික ව්‍යසනයකට පත් විය. එනම් අරනායක සාමසර කන්ද නායයාමෙන් නිවාස හැත්තෑ දෙකක් සහ මිනිස් ජිවිත එකසිය විසිහතක් අමු අමුවේ පස් යට වැළලී යාමය. එහෙත් මෙම කන්දට ‛සාමසර’ යන අමුතු නම යෙදුණු ආකාරය පිළිබඳව කිසිවෙක් විමසිලිමත් නොවූහ.

එම ඛේදවාචකයත් සමග ඒ සම්බන්ධ අප්‍රකට පුරාවෘත්තය මුලින්ම මාධ්‍ය වෙත හෙළිකරන ලද්දේ මා, විසිනි. ගැමියන් ඊට මුලින්ම යොදා තිබූ නම වූයේ ‛රාමසර’ යන්නය. රාමසර යන්නෙහි අරුත රාමගේ ඊතලය යන්නය. අප රටේ රාවණා බලය ඉස්මතු වන සෑම විටෙකම රාම කුමරුන් භාරතයේ සිට එවන ඊසර එල්ල වන ස්ථානයක් ලෙස හැඳින්වෙන මෙය මුලින් රාමසර වී පසුව සාමසර වූ බව ජන විශ්වාසයයි.

මෙලෙස වරින් වර ‛රාමසර’ වැදීම නිසා මෙම කන්ද මුදුනින් කොටසක් ගැලවී ගිය අයුූරු ඊට ආසන්න ගැවිලිපිටියේ සිට කදිමට නිරීක්‍ෂණය කළ හැකි බවද සතර කෝරළයේ පැරණි ගැමියෝ කියති. ඒ අනුව රාම රාවණා යුද්ධය හුදු අතීත පුරාණෝක්තියක් නොවන බවට සියනෑකෝරළයේ ගැමියන් තුළ ඇති විශ්වාසය කිසියම් දාර්ශනික අර්ථ නිරූපණයක් නොවන්නේ යැයි කිව හැක්කේ කාටද?

පෙර ලිපිය

Sunday, November 20, 2016

අනුරුද්ධ රත්වත්තේ සමග විභීෂණ දෙවියන් අමනාප වුණාද?

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක දෙවැන්නයි මේ.        


අප රටේ ඇතැම් දෙවිවරුන්ට වෙන්වූ අඩවි හෙවත් බලප්‍රදේශ තිබේ. එහෙත් සමහර දෙවිවරුන් සම්බන්ධ එවන් අඩවි නැත. කතරගම, සමන්, අයියනායක යන දෙවිවරුන් අඩවි හිමි දෙවිවරුන් වශයෙන් ප්‍රසිද්ධියක් ලැබුවද විෂ්ණු, පත්තිනි, නාථ, දැඩිමුණ්ඩ ආදී දෙවිවරුන් සම්බන්ධ එවන් විශේෂිත බලප්‍රදේශ හෙවත් අඩවි නැත. 

කැලණියේ විභීෂණ සුරිඳුන් සඳහා වෙන්වූ විශේෂිත අඩවියක් පිළිබඳවද අසන්නට නැත. ඒ වෙනුවට එතුමන්ට ඇත්තේ රාජධානියකි. එය කැලණියයි. අතීතයේ විභීෂණ සුරිඳුන් අප රට පාලනය කරන ලද්දේ එම කැලණි රාජධානියේ සිටය. වර්තමානයේ කැලණිය මැතිවරණ කොට්ඨාසයක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වශයෙන් සීමිත බිම් කඩක් තුළට ඇහිරී තිබේ. එහි මුලු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 21.97 හෙවත් හෙක්ටයාර් 2194.48කි. එහෙත් ඒ සම්බන්ධ ඓතිහාසික තොරතුරු විමසීමේදී අතීත කැලණි රාජධානිය වර්ග කිලෝමීටර් සිය ගණනක් වපසරියකින් යුතු විශාල භූමි  ප්‍රදේශයක් බව අනුමාන කිරීමට සාධාරණ හේතු තිබේ. විශේෂයෙන් වර්තමානයේ වත්තල, එඩේරමුල්ල, මහර ප්‍රදේශ සේම ගම්පහ, දොම්පේ, කිරිඳිවැල සහ හෙක්ටයාර් එක්දහස් හත්සියයක් පමණ වූ මුතුරාජවෙල වගුරු බිම ද අතීත කැලණි රාජධානියට අයත් ප්‍රදේශ බව සාධාරණ ලෙස අනුමාන කළ හැක. එසේම කොළඹ කෝට්ටේ, කොලොන්නාව, කඩුවෙල, බියගම, හංවැල්ල, බත්තරමුල්ල ආශ්‍රිත අතිවිශාල භූමි ප්‍රදේශයක් ද මෙම රාජධානියට අයත් වූ බව පෙනේ. 

කැලණියේ විභීෂණ සුරිඳුන්ගේ රාජධානිය  වුවද එම බල ප්‍රදේශය තුළ තවත් දෙවිවරු තිදෙනෙක් ඇදහීමට ලක්වෙති. ඒ නවගමුවේ පත්තිනි දේවතාවිය, බියගම සිට පුවක්පිටිය දක්වා කැලණි ගඟ දෙපස ඇදහීමට ලක්වන රංවල දෙවිදුන් සහ පුරාණ කැලණි රාජධානියට අයත් වත්මන් හේවාගම් සහ සියනෑ කෝරළයන්හි ඇදහීමට ලක්වන ගම්බාර සූනියම් දෙවිදුන් වශයෙනි. 

කැලණි ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර පවත්නා විශ්වාසයකට අනුව පැරණි කැලණි රාජධානිය තුළ අණසක පවත්වන මෙම දෙවිවරුන් තුන්දෙනා සහ විභීෂණ සුරිඳුන් අතරේ අපූරු සහජීවනයක් තිබේ. 

සියනේරිස් වෙද මහත්තයා යනු මීට දශක කිහිපයකට ඉහත කැලණි රජමහා විහාරය ආශ්‍රිතව ජීවත් වූ ප්‍රභූවරයෙකි. ඉතා පිරිසිදු දිවි පැවැත්මකින් යුතු ඔහු සතුව කිසියම් අධ්‍යාත්මික බලයක් තිබූ බව ද පැවසෙයි. එම බලය උපයෝගී කරගනිමින් ඔහු රෝගීන් සුවපත් කළ බවද පැරැන්නෝ කියති. එමෙන්ම විභීෂණ සුරිඳුන් සමඟ පත්තිනි, ගම්භාර සහ රංවල යන දෙවිවරුන් අතර පවත්නා සුසංයෝගය පිළිබඳ දැන සිටි ඔහු එම දෙවිවරුන් සඳහා ද පූජා චාරිත්‍ර සේම දේව දාන ආදිය සංවිධානය කළ බව කියනු ලැබේ. අද ද කැලණි විහාර තොටුපළට පවා රංවල දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බවට අදටත් ජන විශ්වාසයක් පවතී. 

දුරාතීතයේ විභීෂණ සුරිඳුන්ගේ සහාය ලැබ රාවණා රජු පරාජයට පත් කළ රාම කුමරු විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එකකි. එහෙත්, ඒ යුද්ධයෙන් පසු විභීෂණ සුරිඳුන් හා රාම කුමරු අතර පැවැති මිත්‍ර සන්ධවය මුළුමනින්ම බිඳ වැටුණි. ඒ ඔස්සේ විෂ්ණු දෙවියන් හා විභීෂණ දෙවියන් අතර ඇති සබැඳියාව ද බිඳවැටුණු බවක් කැලණි ප්‍රදේශයේ පැරණි ජන විශ්වාස අතර පවතී. මෙම විශ්වාසය සියනේරිස් වෙද මහතා තුළ ද තදින්ම පැවැති බව පැරැන්නෝ කියති. 


පැරණි කැලණි රාජධානියේ මුහුද ගොඩගැලීමට ලක්වූ ප්‍රදේශ අතරට වර්තමාන මුතුරාජවෙල ද අයත් බව අනුමාන කෙරේ. මෙම මුතුරාජවෙල වගුරුබිම තුළ ජලයෙන් වටවූ කෘත්‍රිම දූපතක් තනා ඒ මත රුපියල් මිලියන හයසියයක වියදමින් ශ්‍රී රංගනාථ ස්වාමි කෝවිලක් තැනීමේ මුල් පියවර ක්‍රියාත්මක වූයේ 1997 වසරේය. ඒ එවක ආරක්‍ෂක අමාත්‍යවරයාව සිටි අනුරුද්ධ රත්වත්තේ මහතාගේ ක්‍රියාත්මක භාවයෙනි. එවක රට පුරා පැතිර ගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වැළැක්වීම පිණිස ආධ්‍යාත්මික උපදෙස් ලබා ගැනීමට ඉන්දියාවේ තිරුචිරාපල්ලි හි ශ්‍රී රංගම් කෝවිලට ගිය ඔහුට එහි පූජකයන් විසින් ත්‍රස්තවාදය පැතිරීමට හේතුව ශ්‍රී ලංකාවට විෂ්ණු දෙවියන්ගේ අවධානය මඳවීම යැයි පවසා තිබේ. එම  හේතුව තවදුරටත් විස්තර කළ එම පූජකයන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ එම කෝවිලෙහි ඇති එක් ගෝපුරම් එකකින් හෙවත් වාහල්කඩකින් ශ්‍රී ලංකාව වැසී ඇති නිසා එහි වැඩ වෙසෙන විෂ්ණු දෙවිදුන්ට ශ්‍රී ලංකාව හරිහැටි නොපෙනන බවකි. ඒ නිසා එම දෘෂ්ඨි දෝෂය මගහැරීම පිණිස මුහුදු මට්ටමින් අඩි තිස්පහක් උසැති ප්‍රදේශයක සිව් දෙසින්ම ජලයෙන් යටවූ භූමියක විෂ්ණු දෙවිදුන් නමින් ශ්‍රී රංගනාථ ස්වාමි කෝවිලක් තනවන ලෙස ඉන්දියානු පූජකවරුන් රත්වත්තේ මහතාට උපදෙස් දී තිබේ. පසුව ඉන්දියාවේ එම පූජකවරුන්ගේ අධීක්‍ෂණය යටතේම පුරාණ කැලණි රාජධානියට අයත් මුතුරාජවෙල වගුරුබිම තුළ ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම කෝවිල තැනීම ආරම්භ කළ ඇමැතිවරයා 1998 පෙබරවාරි 09 දින එහි මුල්ගල තබන ලෙස එවක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ඇරැයුම් කොට තිබේ. එහෙත් විභීෂණ සුරිඳුන් සතු කැලණි රාජධානිය තුළ කැලණි රජමහා විහාරයේ ආගමික සංස්කෘතික අගය පසුබෑමට ලක්වන අයුරින් මෙවන් සුවිසල් කෝවිලක් තැනීමේ බැරෑරුම් බව අවසන් මොහොතේ හෝ වටහාගත් බණ්ඩාරනායක ජනාධිපතිවරිය එම ඵලක නිරාවරණය සඳහා එහි පැමිණ නැත. ඒ වෙනුවට එම ඵලකය නිරාවරණය කිරීමට අමාත්‍යවරයාටම සිදුවී තිබේ. 

තිරුචිලාපල්ලි කෝවිල

ඒ කෙසේ හෝ එම කෘතහස්ත දේශපාලනඥයාගේ ජීවිතය හමුවේ පැනනැගී අනේක විධ අවුල් වියවුල් නිසා ඉන්පසු ඔහුට තම දේශපාලන ගමන් මගෙහි එක් පියවරක්වත් ඉදිරියට තැබීමට නොහැකි වූ බව කැලණියේ විභීෂණ දේව භක්තිකයෝ කියති. එම කෝවිල ඉදිකිරීම පවා හුදෙක් සිහිනයක් පමණක් වූ අතර ඉන්පසුව දේශපාලනික සමාජයීය වශයෙන් නිරන්තර ගැටලු අර්බුද රැසකට මුහුණදුන් මෙම කෘතහස්ත දේශපාලනඥයාගේ ජීවිතයේ ඉදිරි ගමනට නොයෙක් බාධා එල්ල වූ බව පැවසෙයි. 2011 වසරේ නොවැම්බර් 26 දා ඔහු මෙලොවින් සදහටම සමුගන්නා ලද්දේ දිවි මගෙහි හැත්තෑ තුන්වැනි වියේ පසුවන අතරේය. 

මෙය හුදෙක් මෙම දේශපාලනඥයා විභීෂණ දෙවියන්ගේ රාජධානිය තුළට විෂ්ණු දෙවියන් වැඩමවීමට ගත් උත්සාහයක ඛේදනීය ප්‍රතිඵලයක් සේ පවසන කැලණි ප්‍රදේශයේ පැරැන්නෝ එමගින් විභීෂණ සුරිඳුන්ගේ ඔද තෙද බල තවදුරටත් අප හමුවේ පසක් වන බව කියති. මෙහි සත්‍යතාව කෙසේ හෝ 1998 පෙබරවාරි 09 දින ශ්‍රී රංගනාථ ස්වාමි කෝවිල සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුල්ගල් තැබූ බව පැවසෙන සමරු ඵලකයක්  එම පරිශ්‍රයේ වන ලැහැබක් තුළ සැඟව තිබෙනු අදත් ඔබට දැකගත හැක. 

පෙර ලිපිය

කැලණියේ විභීෂණ දෙවිඳුන් ජාතිය පාවා දුන් කතාව බොරුවක්!

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන මෙම ලිපි පෙළ පාසල් සහ උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසු දරුවන්ට, ප්‍රදේශයේ ජන සංස්කෘතිය පිළිබඳව උනන්දුවක් පළ කරන්නවුන් හට සේම ඔබ සැමට අතිශයින් වැදගත් වනු ඇත. 


වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැලණිය බුදුන් දවස වන විට නාග ගෝත්‍රික රාජධානියක් බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවෙනි වසරේ වෙසක් පුන් පෝ දින පන්සියයක් මහ රහතන් වහන්සේලා පිරිවරා කැලණි පුරයට වැඩම කළ බව අපගේ ශාසන ඉතිහාසය කියයි. ඒ මනිඅක්ඛික නම් නාග ගෝත්‍රික රජතුමන්ගේ ඇරැයුමකිනි. එහෙත් ඊට බොහෝ කලකට ඉහත එනම් රාවණා යුගයේදී කැලණියේ තිබී ඇත්තේ යක්ෂ රාජධානියකි. 

විධිමත් මූලාශ්‍ර මත නොව පුරාණෝක්ති මත පදනම් වන ලක් ඉතිහාසය තුළ රාවණා රජුට සුවිශේෂ තැනක් හිමිවන බව නොරහසකි. යක්ෂ ගෝත්‍රික ප්‍රබල නායකයකු වන එතුමන්ට සොයුරන් දෙදෙනකු හා සොයුරියක හිඳ තිබේ. කුම්භකරණ හා විභීෂණ එම සොයුරෝ වෙති. සොයුරිය සුපර්නඛාය. 

රාම-සීතා, රාවණා පුරාවෘත්තය පිළිබඳ ලොව පුරා පැතිර ගත් ප්‍රබලතම මූලාශ්‍රය වාල්මිකී ලියූ ‛රාමායනය’ නම් වීර කාව්‍යයයි. ඊට අමතරව පසුකාලීනව ලියැවුණු ‛ජානකීහරණය’ ඇතුළු තවත් පැරණි සංස්කෘත මූලාශ්‍ර කිහිපයකද මෙම පුරාණෝක්තිය දැකිය හැක. එහෙත් රාම-සීතා-රාවණා පුවත සම්බන්ධයෙන් බොහෝ දෙනකු නොදත් නැතහොත් සැලකිල්ලක් නොදක්වන කරුණක්ද තිබේ. එනම් කොහොඹා කංකාරිය ඇතුළු අප රටේ බලිතොවිල් ශාන්ති කර්ම කිහිපයක් සමගද මෙම පුරාවෘත්තය සම්බන්ධ වී තිබීමය. එහෙත් එමගින් මතුවන ඇතැම් පුරාණෝක්ති තුළ අප හොඳින් අසා ඇති රාම-සීතා-රාවණා පුවතට වඩා වෙනස් කරුණුද දක්නට ලැබේ. මෙය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවන්නකි. 

කවුරුන් කුමන අදහසක්, අරමුණක් පෙරදැරිව කළ ද අන්සතු කාන්තාවක පැහැරගෙන ඒම අතිශය වැරදි සහගත ක්‍රියාවකි. වර්තමානයේ බලපවත්නා නීතියට අනුව වුව එය බරපතළ සාපරාධී වරදක් වෙයි. එහෙත් එවක අප රට පාලනය කළ රාවණා රජු ඉන්දියාවේ රාම කුමරුන්ගේ ප්‍රියම්බිකාව සීතා පැහැරගෙන ලංකා පුරයට ඒමෙන්  එම වරද සිදු කොට තිබේ. අප එය අකමැත්තෙන් වුව පිළිගත යුතුය. එහෙත් ඒ සඳහා බලපෑ එක් ප්‍රබල හේතුවක්ද එම පුරාණෝක්ති තුළම ගැබ්ව තිබේ. රාවණාගේ සොයුරිය සුපර්නඛා එවක ඉන්දියාවේ ප්‍රදේශයක යුවරජ පදවියක් දැරුවාය. එහිදී ඇගේ සිත තුළ රාම කුමරුන් පිළිබඳ ආදරයක් ඇති විය. එහෙත් සීතාව නිසා තමන්ට රාම කුමරුන් වෙත ළංවිය නොහැකි බව ඇයට වැටහිණි. එබැවින් සුපර්නඛා සීතාට වස දී ඝාතනය කිරීමට සැලසුම් කළාය. එහෙත් ඒ බව දැනගත් රාම කුමරුගේ බාල සොයුරු ලක්ෂ්මන සුපර්නඛාට හීයකින් විද ඇගේ කන් සහ නාසය සිඳ දැමුවේ රාම කුමරුන්ගේ සිත ඇය වෙත යොමු නොවනු පිණිසය. ඉන් මහත් අසරණ බවට පත් සුර්නඛා ඒ බව තම වැඩිමල් සොයුරු රාවණාට දන්වා සිටියාය. රාවණා සීතාව පැහැරගෙන ලංකා පුරයට රැගෙන එනුයේ ඒ සඳහා රාමගෙන් කරන බිහිසුණු පළිගැනීමක් ලෙසිනි. ඒ කෙසේ හෝ එවන් කරුණක් මත භාරතයට ගොස් රාම කුමරුන් හා යුද නොවැද තම වැඩිමල් සොයුරු රාවණ කළ මෙම අශිෂ්ට ක්‍රියාව කෙසේවත් පිළිනොගන්නා විභීෂණ මුල්වරට  රාවණා හා එරෙහි විය. පසුව ඔහු සීතාව නැවත ලබාගැනීම පිණිස ලංකා පුරයට වැද යුද වදින රාම කුමරුන්ට උපකාර කළේය. ඒ සිය හෘද සාක්ෂියට අනුව බව පැහැදිලිය. එමගින් ඔහු කරන ලද්දේ රාම කුමරුන්ට සීතා හිමිකර ගැනීමට උදව් කිරීම පමණි. එය විභීෂණ සතු මනා පෞරුෂය කදිමට නිරූපණය කරන්නකි. කෙසේ හෝ මෙම යුද්ධයෙන් රාවණ සහ ඔහුගේ බලසෙන් වනසා දමන රාම සීතාද යළි භාරතයට යාමට පෙර ලංකාපුරයේ පාලනය විභීෂණ හට භාර කරනුයේ තමන්ට කළ උපකාරයට කෘතවේදී වනු පිණිසය. එහෙත් විභීෂණ එම යුද්ධයෙන් පසු තවදුරටත් රාම කුමරුන්ට යටත් නොවීමට තීරණය කළ බව පෙනෙයි. ඒ තම මව්බිමේ ස්වාධීනත්වය රැකගනු පිණිසය. ඒ අනුව එතැන් සිට විභීෂණ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කැලණි පුරයේ සිට ලංකා රාජ්‍යය පාලනය කරනුයේ මුළුමනින්ම අදීන ස්වාධීන පාලකයකු ලෙසිනි. එහෙත් ඉහත සඳහන් රාම-රාවණා පුරාණෝක්ති මත පදනම් වූ හෙළ වංශයක් පිළිබඳව කතා කරමින් අපගේ හෙළ ඉතිහාසය හුවා දක්වන විද්වතුන් බලි, තරු, රාවණාදී ඉපැරණි දේශීය රජවරුන් පිළිබඳ කතා කරන කිසිම තැනක විභීෂණ නාමය සඳහන් නොකිරීම ප්‍රබල අසාධාරණයකි. එමෙන්ම ජෝන් ද සිල්වා සූරීන්ගේ ‛රාමායනය’ නාටකයෙන්ද විභීෂණ ලංකා රාජ්‍යය පාවා දුන් අයකු බවක් පැවසෙයි. එය ද මුළුමනින්ම අසත්‍යයකි. 

වර්තමානයේ කිසියම් ආකාරයක පසුබෑමකට ලක්ව තිබුණද ලක් ඉතිහාසයේ මෑත යුගයක් දක්වා විභීෂණ දෙවියන්ට අප රටේ ප්‍රබල තැනක් හිමිව තිබිණ. විශේෂයෙන් කෝට්ටේ යුගයේ තොටගමුවේ රාහුල හිමිපාණන් විසින් රචිත සැලලිහිණි සංදේශය රචනා කොට ඇත්තේද කැලණියේ විභීෂණ සුරිඳුන් වෙත යැවෙන හසුනක් ලෙසිනි. කෝට්ටේ රජ කළ සයවන පැරකුම්බා රජු (ක්‍රි.ව. 1415 - 1467) ගේ කණිටු දියණිය වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට තම රාජ්‍යය විචාරීම සඳහා සුදුසු පුත් කුමරකු ලබාදෙන ලෙස කෝට්ටේ සිට කැලණිය දක්වා සැලලිහිණියකු අත එවන හස්නක ස්වරූපයෙන් ලියැවුණු එම සංදේශ කාව්‍යය පාසල් දරුවන් අතර පවා අදත් ප්‍රචලිතය. කතුවරයා එමගින් දෙවියන්ගේ ඔදවත් තෙදවත් බව සේම එතුමන් වෙත දක්වන අසීමිත භක්තියද පළ කොට තිබේ. 

රාම කුමරුන් යනු විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාරවලින් එකකි. එහෙත් මහනුවර මුල්  යුගයේදී පවා මෙම විෂ්ණු දෙවිඳුන්ගේ කීර්තිය විභීෂණ දෙවිඳුන්ගේ කීර්තිය තරම් ප්‍රබල නොවූ බව පැහැදිලිය. දඹදෙනි යුගයේ ලියැවුණු නිකාය සංග්‍රහයෙහි තුන් හෙළයේ සිව් මහ දෙවිවරුන් වශයෙන් කිහිරැලි, උපුල්වන්, සමන් සහ විභීෂණ  දෙවිඳුන් ප්‍රසිද්ධව සිටි බව පෙනේ. වර්තමානයේ උපුල්වන් සහ විෂ්ණු එකම දෙවියකු සේ සැළකුව ද උපුල්වන් යනු හුදු දේශීය සම්භවයේ දෙවියෙකි. එහෙත් 14 වන සහ 15 වන සියවස්වල ලියැවුණු කඩයිම් පොත්වල රුහුණු මායා පිහිටි රටවලට අධිගෘහිත දෙවිවරුන් ලෙස විභීෂණ, සමන් සහ විෂ්ණු දක්වා තිබේ. එහෙත් අදවන විට රුහුණු රටට අධිපති සේ සැළකෙනුයේ කතරගම දෙවිදුන්ය. පසුකාලීනව රාම කුමරුගේ දස අවතාරවලට අයත් විෂ්ණු දෙවිඳුන් අප රටේ ප්‍රධාන තැනට පත්වූ අතර විභීෂණ සුරිඳුන්ගේ තත්ත්වය ඊට සාපේක්ෂව පැහැදිලි පසුබෑමකට ලක්ව තිබේ. 

අද වන විට බෞද්ධ ස්වරූපයෙන් පෙනී සිටියද විභීෂණ සුරිඳුන් යක්ෂ සම්භවයකින් යුතු බව අදටත් ප්‍රකට කෙරෙන ලක්ෂණ කිහිපයකි. තද කාලවර්ණ ශරීරය, තද රත් පැහැති දෙනෙත් සහ මුව මඬල, ඒ තුළින් පිටතට නෙරා ගිය දළ යුවල ඉන් ප්‍රධාන වෙයි. විභීෂණ සුරිඳුන්ගේ වාහනය අශ්වයෙකි. නැතහොන් නිල් තුරඟෙකි. වර්තමානයේ අප රටේ අදහනු ලබන විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන්, දැඩිමුණ්ඩ ආදී ප්‍රමුඛ දෙවිවරුන් අතරට නොගැනෙන විභීෂණ සුරිඳුන් සතු දේවාලද ඉතා සීමිතය. කැලණි රජමහ විහාරයේ ඇති ප්‍රධාන විභීෂණ දේවාලය හැරුණු කොට මේ වන විට දිවයින පුරා විභීෂණ දේවාල ඉදිව ඇත්තේ ඉතා සීමිත ගණනකි. උඩුනුවර ලංකාතිලක විහාරයේ විභීෂණ දේවාලය ඒ අතර මුල් තැනක් ගනී. 

ඒ කෙසේ හෝ රාම-රාවණ යුද්ධයෙන් පසු රාම කුමරුන් ඇතිකර ගත් නොහොඳ නෝක්කඩුව තවමත් විභීෂණ සුරිඳුන්ගේ සිත තුළ ඒ අයුරින්ම පවතින බවට සියනෑ කෝරලයේ පැරණි ජන විශ්වාසයක් තිබේ. ඒ තත්ත්වය මුල් කොට විභීෂණ දෙවිඳුන් විෂ්ණු දෙවියන් පිළිබඳව දක්වන නොකැමැත්ත මනාව  පළ කෙරෙන වත්මන් සිද්ධීන් දෙකක්ද අපට මෙම ජනශ්‍රැති ගවේෂණයේදී අනාවරණය කරගත හැකි විය. 


Thursday, July 2, 2015

සකලකලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සඟවා ගත් දියවර - Water which hide the sword of the King Sakalakala Wallabha

පුරාණ ශ්‍රී සුගතාරාම විහාරය

දුටුගැමුණු රජුගේ මඟුල් කඩුව තවමත් නිරුපද්‍රිතව තිබෙන බවට විශාල හාහෝවක් පහුගිය කාලයේ රටපුරා පැතිරිණි. නමුත් දුටුගැමුණු රජතුමාට මඟුල් කඩුවක් තිබුණු බවට ඉතිහාසයෙන් කිසිම සාක්‍ෂියක් හමු නොවේ. ගැමුණු - එලාර යුද්ධය මහාවංශයේ එන පරමෝත්කෘෂ්ඨ අවස්ථාවන් කිහිපයකින් එකකි. මහාවංශයේ විසි පස් වන පරිච්ඡේදයේ හැට නවය හැත්තෑව ගාථා පාඨවලින් එය විචිත්‍රවත් අයුරින් විස්තර කෙරේ. නමුදු ඒ විස්තරයට අනුව දුටුගැමුණු කුමරා එලාර රජු නැසීම සඳහා යොදා ගන්නේ තෝමරයක් මිස කඩුවක් නොවේ. 

    නමුත්, අපේ රටේ ජීවත් වූ තවත් සුවිශේෂ රණකාමී රජ කෙනකුගේ මඟුල් කඩුවක් ඔයකට වැටී එය අද වන තුරුත් සොයාගත නොහැකි වී තිබේ. ඒ ගණේමුල්ල, තිබ්බටුගොඩ ගම්මානය ආශ්‍රිතව ගලා යන අත්තනගලු ඔයේ ශාඛාවක ඇති  ‛ඩිංගිරි කඩුව’ නම් ස්ථානය මුල් කර ගත් ජනප්‍රවාදයකට අනුව ය. මීට පාදක වන්නේ ක්‍රි.ව. පහළොස්වන සියවසත් දහසය වන සියවසත් සම්බන්ධ වන යුගයේ උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජතුමා ය. දැන් අපි ඒ රසවත් කතාන්දරයට යොමු වෙමු. 

ක්‍රි.ව. 1477 - 1496 අතර කෝට්ටේ රජ කළ අට වන වීර පරාක්‍රම බාහු රජු දෙවන වරට විවාහ කර ගෙන ඇත්තේ කීරවැල්ලේ පරපුරට අයත් සිය අග බිසවගේ බාල සොයුරියකි. සකල කලා වල්ලභ කුමරු රජුට දාව ඒ බිසවගේ කුසින් මෙලොව එළිය දුටු කුමාරවරුන් දෙදෙනාගෙන් කෙනෙකි. අතින් කුමරුවා ද ඉතිහාසයේ ප්‍රකට චරිතයකි. ඒ් මාදම්පේ ප්‍රාදේශීය රාජ්‍යයක් පිහිටුවා ගත් තනිය වල්ලභ හෙවත් තනිවැල්ලේ කුමරුන් ය. මාදම්පේ තනිවැල්ලේ දේවාලයේදී තනිවැල්ලේ දෙවියන් ලෙස පිදුම් ලබනුයේ ද මොහුම ය. 

සුගතාරාමයේ පැරණි බිතුසිතුවම් 

සකල කලා වල්ලභ රජුට පුත් කුමරුවන් සත් දෙනකු සිටි බව ඉතිහාසයේ සඳහන් ය. මේ ජනප්‍රවාදයට මුල්වන්නේ ඒ අතරේ සිටි ‛ඩිංගිරි’ නම් කුමාරයෙකි. දිනක් සකල කලා වල්ලභ රජතුමා තමන්ගේ ප්‍රියතම කුඹුරු යාය හෙවත් වත්මන් ගණේමුල්ලේ, තිබ්බටුගොඩ සහ හොරගොල්ල ආශ්‍රිත සම්බා කෙත නැරඹීමට ඇමැතිවරුන් ද සපරිවරාගෙන පැමිණෙයි. ඒ සංචාරයේදී රජතුමා නතර වන්නේ කුඹුරු යාය අන්තයේ පිහිටි ගිම්හාන උද්‍යානයක ය. රජතුමා එසේ වාඩිලාගත් ස්ථානය අදත් හැඳින්වෙන්නේ ‛වාඩිය වත්ත’ නමිනි. රජුගේ ගිම්හාන උද්‍යානය අද්දරින් ඒ කුඹුරු යායට සම්බන්ධ වන ජල මූලාශ්‍රය අදත් ‛වාඩි ඔය’ නමින් හැඳින්වීම විශේෂත්වයකි. ඉහත සඳහන් ජනප්‍රවාදයට අනුව රජතුමා වාඩි ඔයේ සිට පාරුවක් මත නැඟී ගොස් සම්බාකෙත පරීක්‍ෂා කරන අතරේ ඉණ පැළඳි තමන්ගේ මඟුල් කඩුව එහි සිටි තම හිතවත්ම අමාත්‍යවරයාට භාර දී තිබේ. ඒ එය ඉතා පරිස්සමින් තබා ගන්නා ලෙස පවසමිනි. ඊට හේතුව මඟුල් කඩුව හුදු රාජ්‍යත්වයේ සංකේතයක් නිසාම විය හැක. නමුත් පිය රජතුමා මඳක් ඈත් මෑත් වනතුරු බලා සිටි රජතුමාගේ සුරතල් පුත් ‛ඩිංගිරි’ කුමරු ඇමැතිවරයාගේ කැමැත්ත ද නොතකා එය සිය‛තට ගන්නේ ක්‍රීඩා කිරීමේ අදහසිනි. ඇමැතිවරයා ඊට කෙසේවත් කැමැති නොවන මුත් රජ කුමරුවාට එරෙහි වීමට ශක්තියක් ද ඔහු තුළ තිබී නැත. කෙසේ හෝ කුමරුවා ඉහත සඳහන් අත්තනගලු ඔයේ ශාඛාව  සමීපයේ මඟුල් කඩුව ලෙලවමින් ක්‍රීඩා කරන අතරේ සිදුව ඇත්තේ ඉතා අනපේක්‍ෂිත සිදුවීමකි. එනම්, එක්වරම ඔහු අතින් ගිලිහී යන පිය රජතුමාගේ මඟුල් කඩුව දියඹ මත පතිත වී දිය තුළ ගිලී යාම ය. මේ සිද්ධිය දැක සිහිවිකල් කර ගන්නා ඇමැතිවරයා ද කඩුව ගැනීම සඳහා එසැනින් දියට පනිනුයේ දිවි පරදුවට තබමිනි. ඒ තමන් භාරයට පත් රජුගේ මඟුල් කඩුව නැතිවීම රාජ උදහසට ලක්ව හිස් ගැසුම් කෑමට ප්‍රමාණවත් වරදක් බව හොඳින් දන්නා බැවිනි. එනමුත් ඒ කඩුව ගැනීමට දියට පැන්න ඇමැතිවරයා පිළිබඳව ඉන්පසු කිසිදු තොරතුරක් දැනගත නොහැකි වී තිබේ. ඊට පසුව රජතුමා තම මඟුල් කඩුව ගැනීම පිණිස රාජ පුරුෂයන් යෙදවූ අතර ඔවුන් ද දියේ ගිලී මියගොස් ඇත්තේ ගුප්ත අබිරහස් අයුරකිනි. ඉන්පසු රජතුමා ඒ උත්සාහය අත්හළ පසු එම කඩුවට ආශාවෙන් එම දිය යට කිමිදුණු තවත් සෑහෙන සංඛ්‍යාවක් ද දියේ ගිලී මරණයට පත් වූ බව ද එම ජනප්‍රවාදයෙන් පැවසෙයි. කෙසේ හෝ එදා මෙදා තුර කිසිවකුටත් දියට වැටුණු උඩුගම්පොළ සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව සොයා ගැනීමට හැකි වී නැත. ඒ කඩුව සෙවීමට පළමුව දියට පැන්න ඇමැතිවරයා මියගොස් බහිරවයකු වී අදත් ඒ කඩුව සුරකින නිසා යැයි පැරණි ගැමියන් තුළ විශ්වාසයක් තිබේ. 

මෙම ඩිංගිරි කඩුවට අරක් ගත් බහිරවයා විසින් අතීතයේ මෙම දියඹ මුල්කොට මිනිස් බිලි රාශියක් ගෙන තිබේ. නමුත් මෙම ගම්මානය ආශ්‍රිත, තිබ්බටුගොඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ නිරතුරු සති පිරිත් දෙසුම් පවත්වා ඩිංගිරි කඩුව ප්‍රදේශයට පිරිත් පැන් ඉසීම මගින් එම බහිරවයාගේ බල බිඳීමට අතීත ගැමියන්ට හැකි වු බවක් පැවසෙයි. එම යුගයේ තනවන ලදැයි සැලකෙන බිතු සිතුවමින් සපිරි පුරාණ විහාර මන්දිරය අද වන විට පුරා විද්‍යා රක්‍ෂිතයකි. 

ඩිංගිරි කඩුව නම් ස්ථානය 

අට වන වීර පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් අග බිසව ගේ පුතුන් සිව් දෙනා අතුරින් වැඩිමල් පුතු වන ධර්ම පරාක්‍රමබාහු කුමරුට කෝට්ටේ සිහසුන භාර කළ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන කුමරුවෝ උඩුගම්පොළ සහ මාදම්පේ යන ප්‍රදේශවල උප රාජධානි පිහිටවූ පුවත අලකේශ්වර යුද්ධය සහ රාජාවලිය යන ග්‍රන්ථයන් හි ද සඳහන් ය. සුවිශිෂ්ට රණශූරත්වයකින් යුත් සකල කලා වල්ලභයන්ට එනම් ලැබී ඇත්තේ ඔහු සටන් කලාවන් ඇතුළු සකල විධ කලාවන් හි කෙළ පැමිණි නිසා යැයි කියනු ලැබේ. එමෙන්ම මෙම රජු චක්‍රායුධ කුමරු නමින් ද හැඳින්වුණු බව ඕලන්ද ජාතික පූජකතුමකු සහ ඉතිහාසඥයකු වන වැලන්ටයින් විසින් 1724 වසරේදී එළිදැක්වූ ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් ය. ඒ අනුව එම කුමරු චක්‍රායුධය නම් අවිය හැසිරවීමේ සූරයකු නිසා එනම පට බැඳුණා ද විය හැක. 

සකල කලා වල්ලභ, තනිය වල්ලභ රජවරුන් දෙදෙනා යුද ශිල්පයෙහි සේම කෘෂි කර්මාන්තයෙහි ද අති දක්ෂ වූහ. වත්මන් පුත්තලම දිස්ත්‍රික්කයට අයත් අති විශාල භූමි ප්‍රදේශයක් අස්වද්දා රට සමෘද්ධිමත් කිරීමට මාදම්පේ රජකම් කළ තනියවල්ලභ කුමරු සමත් විය. සියලු කලාවන්හි කෙළ පැමිණි උඩුගම්පොළ රජකළ සකල කලා වල්ලභයන් කෘෂි කර්මාන්තයෙහි අති දක්‍ෂයෙකු සේම සුවිශිෂ්ඨ වාරි ඉංජිනේරුවෙකු ද බව සනාථ කරන සාක්‍ෂි බොහොමයකි. ශ්‍රී ලංකාවේ නරපතියකු විසින් පරිහරණය කරනු ලැබූ ලොකුම පිහිනුම් තටාකය මෙම නරපතියාණන් විසින් ජල ක්‍රීඩා සඳහා යොදාගත් බව මේ වන විට තහවුරු වී ඇත. මෑතකදී පුරා විද්‍යාත්මක කැනීම්වලට හා සංරක්‍ෂණයට ලක් වූ මෙම විස්මිත නිමැවුම අදටත් උඩුගම්පොළ ප්‍රදේශයේ දී ඔබට දැකබලා ගත හැක. එහෙත් එම සුවිසල් පිහිනුම් තටාකය තුළ මහජනයා සඳහා ව්‍යයාම මංපෙතක් සකසා තිබීම එහි පුරා විද්‍යාත්මක අගය හීනකරවන්නක් සේ පෙනේ. 

එමෙන්ම කෝට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කුඹුරු යායක්ව පැවැති මුතුරාජවෙල සංවර්ධනයේ පුරෝගාමියාණන් ද මේ රජුම බව කියති. මුතුවන් සහල් ලබා දුන් රාජකීය වෙල් යාය යන අදහස කෙටි වී ඊට ‛මුතුරාජවෙල’ යන නම පටබැඳුණු බව ඒ සම්බන්ධ පැතිර ඇති ප්‍රධානතම ජනප්‍රවාදයයි. 

මුතුරාජවෙලට අමතරව උඩුගම්පොළ රාජධානියට අයත්ව තිබූ අක්කර දස දහස් ගණනක් පුරා පැතිරගත් තවත් භූමි ප්‍රදේශයක එවක සාර්ථක ලෙස වී වගාව පැවැති බවට අදත් ගම්පහ ආශ්‍රිතව ඇති ‛‛විට’’ යන්නෙන් නිමා වන ග්‍රාම නාමවලින් පැහැදිලි ය. රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට (තම්මිට) අක්කරවිට, උදම්විට (උදම්මිට) ආදී වශයෙන් හැඳින්වෙන මෙම සියලු ප්‍රදේශ ඒ හරහා ගලා යන ජල මූලාශ්‍රාධාරයෙන් කුඹුරු අස්වැද්දවීමට සකල කලා වල්ලභ රජතුමා සමත් වී තිබේ. 

පුරාණ පත්තිනිපිටිය දේවාලය


ඒ අතුරින් රජතුමා විශේෂයෙන් ඇලුම් කළ කෙත් යාය වී ඇත්තේ ඉහත සඳහන් ප්‍රවාදයට කේන්ද්‍ර වූ සම්බාකෙත ය. අප රටේ ග්‍රාම නාම බොහොමයක අගට ‛වෙල’ යන්න සඳහන්ව තිබේ. ගොඩකවෙල, පොල්ගහවෙල, මාදිවෙල, කදුරුවෙල, උකුවෙල ආදී එබඳු ග්‍රාම නාම සිය දහස් ගණනකි. එහෙත් යම් ග්‍රාම නාමයක් අගට ‛කෙත’ යනුවෙන් යෙදෙනුයේ හුදෙක් එය රජ කෙනකුට අයත් භූමියක් නම් පමණි. එලෙස කෙත යනුවෙන් හැඳින්වෙන ග්‍රාම නාම අප රටේ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ සඳහා ගත හැකි හොඳම නිදසුන ‛හඟුරන්කෙත’ ය. ‛වෙල’ සහ ‛කෙත’ සම්බන්ධ මෙම විස්තරය ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරා විද්‍යාත්මක වාර්තාව වන එච්.සී.පී. බෙල් සූරීන් ගේ කෑගලු වාර්තාවේ ද සඳහන් ය. 

කෙසේ හෝ එම සම්බා කෙත ආශ්‍රිත ප්‍රදේශය සම්බාගම නමින් හැඳින්වී පසුව එය හම්බාගම ලෙසින් හඳුන්වා ඇත. නමුත් මෑතක සිට මෙම ග්‍රාම නාමය ද ව්‍යවහාරයෙන් බැහැරව ගොස් තිබේ. සකල කලා වල්ලභ රජතුමා  සම්බාකෙත කෙරෙහි වඩාත් ලොල්වීමට තවත් හේතුවක් තිබී ඇත. ඒ එහි තිබූ පත්තිනි දේවාලයයි. සන්‍යාසි වේශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා දේශයේ සිට මෙහි පැමිණි බ්‍රාහ්මණ ගිහි පූජකයන් කිහිප දෙනකු පත්තිනි දෙවියනට පුද පූජා කිරීම පිණිස ඉදිකර ගෙන තිබූ මෙම පත්තිනි දෙවොල සකල කලා වල්ලභයන්ගේ විශේෂ ගෞරවාදරයට ලක්වූ තැනක් වූ බව පැරණි ජනප්‍රවාදවලින් හෙළිවේ. ඒ අනුව ඌරුවල් ඔය නම් නදිය ඔස්සේ පැමිණි එම පූජකවරුන් හෙවත් තීර්ථකයන් ගොඩ බට ස්ථානය තිත්ූබටූගොඩ වී පසුව තිබ්බටුගොඩ වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ සිට පැමිණි නිසා ආඬින් වශයෙන් ශ්‍රී ලාංකිකයන් විසින් හඳුන්වනු ලැබූ මෙම ගිහි පූජකයන්ගේ මව් භාෂාව වී ඇත්තේ ද්‍රාවිඩ භාෂා අතුරින් එකක් වූ ‛පර්ධාන්’ බස ය. මෙය එවකට ශ්‍රී ලාංකාවේ පැතිර තිබූ දෙමළ බසට වඩා ඉඳුරාම වෙනස් බසකි. එනිසාම මෙම අමුතු පර්ධාන් භාෂාව එවක ජනතාවට කෙසේ වත් නොවැටහිණ. එබැවින් ඔව්හු ඊට ‛අණ්ඩර දෙමළ’ යන නම ලබා දුන්හ. ඉන්පසු අද දක්වාම කෙසේ වත් නොතේරෙන යන අරුත පළකරනු පිණිස මෙම ‛අණ්ඩර දෙමළ’ යන වදන සිංහල  බසට එක්ව තිබේ. මෙම අණ්ඩර දෙමළ යන්න ‛ආන්ද්‍රා ද්‍රවිඩ’ යන්නෙන් උපන් සිංහල වදනක් බව පෙනේ. එහෙත් මෙම භාෂාව හඳුන්වන ‛පර්ධාන්’ යන්න ඔක්ස්ෆර්ඩ් හින්දි ඉංග්‍රීසි ශබ්ද කෝෂවල අරුත් ගන්වා ඇත්තේ ක්‍යසැලෙ කැ්ාැර යනුවෙනි. ඒ අනුව මෙහි අරුත ‛ප්‍රධානියා’ ලෙසින් හැඳින්විය හැක. අන්ද්‍රා දේශයෙන් පැමිණි බ්‍රාහ්මණ පූජකවරුන් හා සම්බන්ධ එම දෙවොල සහ එම ප්‍රදේශය අදත් ‛‛පත්තිනිපිටිය’’ යනුවෙන් හැඳින්වේ. නමුදු ඉංග්‍රීසි පාලන සමයේ සිදුවූ පරිපාලනමය බෙදීම්වල දී එම පුරාණ පත්තිනිපිටිය දේවාලය පිහිටි බිම් කඩ තිබ්බටුගොඩින් ඉවත්ව කුඩාබොල්ලත නම් යාබද ගම්මානයට කැඩී වෙන්ව ගොස් තිබේ. එමෙන්ම එම ඉන්දීය ගිහි පූජකවරුන් ද මෙම ගම්මානවල වෙසෙන සිංහල බෞද්ධ කතුන් හා විවාහ වී තම පාරම්පරික ආගමික වත් පිළිවෙත් අතැ’ර කන්ද උඩරට සමයේ දී බුදු දහම වැළඳ සිංහල ජන සමාජයට අවශෝෂණය වී ඇත. එමෙන්ම සන්‍යාසි වේශයෙන් අන්ද්‍රා දේශයෙන් මෙහි පැමිණි ගිහි පූජකයන් ගේ මුහුණ පුරා වැඩුණු රැවුල, හිස මුදුන්කොට බැඳගත් කෙස් කළඹ, නිරාවරණ උඩුකය, එක් අතක රැඳි සෙම්බුව අනික් අතෙහි රැඳි යෂ්ටිය සහ උරෙහි එල්ලා ගත් පොට්ටනිය එකල බොහෝ දෙනකුට සුලබ දසුනක් විය. එනිසාම එවක සිංහල සමාජයේ මව්වරුන් තම කුඩා දරුවන්ට මෙම පූජකයන් දරුවන් ඇල්ලීමට එන ‛සන්නාසි බිල්ලන්’ ලෙස ද හඳුන්වා දෙමින් දරුවන් බිය ගැන්වූ බව පෙනෙයි. 

එමෙන්ම මෙම ආන්ද්‍රා පූජකයන් ගත කළ සංචාරක ජීවිතය ‛ආඬි හත් දෙනාගේ කැඳ හැලිය’ වැනි උපහාසාත්මක ප්‍රවාද මගින් ද තහවුරු වෙයි. තවද මෙම තිබ්බටුගොඩ, හොරගොල්ල ප්‍රදේශවල මුල් පදිංචි කරුවන් අදටත්  ‛ආඬිගේ’ සහ ‛සේනාසිගේ’ (සන්‍යාසිගේ) යන පෙලපත් නාම වලින් යුතු වීම ද මේ සැඟවුණු අතීතය මානව විද්‍යාත්මකව ද මනාව කළ එළි දක්වන්නකි. ඒ කෙසේ හෝ මෙම ඓතිහාසික සහ මානව විද්‍යාත්මක පසුබිම විමසීමට කැමති ඕනෑම අයකුට ඒ සඳහා මෙම ගම් පියසින්  තවත් බොහෝ දේ උපයා සපයා ගත හැක. 

සටහන සහ ඡායාරූප 
සචිත්‍රා ලක්මාලි රාමනායක