ශ්‍රී ලාංකේය
ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක්
සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ
සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප
දන්නා සේම නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද
රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක
දොළොස්වැන්නයි මේ.
ලොව පුරා පවතින බොහෝ යාතු කර්මවලින් සිදු කෙරනුයේ යකුන් පිටමං කොට දෙවියන් මිනිසුන් සමීපයට ගැනීමය. මෙහිදී යකුන් යන්න අප ජීවත් වන සමාජයේ සේම අප අවට විශ්වයේ ඇති නපුරු, දුෂ්ඨ, අයහපත් බලවේග ලෙස නම් කළ හැකිය. ඒ අනුව යකුන්ට එරෙහි දෙවියන් යනු ගුණයහපත්, දැහැමි, කාරුණික බලවේග බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත්, ලොව පුරා එවන් තත්ත්වයක් තිබියදී දෙවිවරුන් එළියේ තබා යකුන් ඇතුළට ගෙන සිදුකරන අපූරු යාතු කර්මයක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබේ. එය හැඳින්වෙනුයේ ‛යක් මඩුව’ යනුවෙනි.
ගම් මඩු, දෙවොල් මඩු, පුනාමඩු, කිරිමඩු ආදී වශයෙන් පවත්වනු ලබන ‛මඩු ශාන්ති කර්ම’ ප්‍රධාන වශයෙන් පහතරට ශාන්තිකර්ම අතරට ගැනෙයි. කිරිමඩුව නම් ශාන්ති කර්මය සබරගමු පළාත තුළ ද යම් ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නකි. මෙම සියලු ‛මඩු’ ශාන්ති කර්ම ප්‍රධාන වශයෙන් පත්තිනි සහ දෙවොල් දෙවිවරුන් උදෙසා පැවැත්වෙයි. කිරිමඩුව ශාන්ති කර්මය පත්තිනි සහ ගව කර්මාන්තයට අධිපති මංගර දෙවියන් උදෙසා පැවැත්වෙන යාතු කර්මයකි. වාර්ෂිකව පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් යම් යහපතක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් අපේක්‍ෂා කිරීම මෙම මඩු යාතු කර්මය මගින් සිදුවෙයි.
මෙහි එන ‛මඩුව’ භාරතීය වෛදික යාග හෝම හා සම්බන්ධ යාග මණ්ඩපය පදනම් කරගත් වදනකි. නිසැක ලෙසම එය ශුද්ධ ස්ථානයකි. මඩුව පිළියෙළ කිරීම වුව නිකම් ආවාට ගියාට කළ නොහැක. භූමී පරීක්‍ෂාව, නැකත් බැලීම ඇතුළු ඒ සඳහා වන අභිචාර විධි රාශියකි. එමෙන්ම එම යාතු කර්මය නිමාවන තුරු එම මඩුව තුළට පිවිසිය හැක්කේද ඒ සඳහා වූ විශේෂ කාර්යභාර්යයක් ඇත්තවුන්ට පමණි.
වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ, අළුත්කූරු සහ හාපිටිගම යන කෝරළ තුනේත් වත්මන් කළුතර දිස්ත්‍රික්කයට අයත් රයිගම් කෝරළයේත්, කොළඹ දිස්ත්‍රික්කයට අයත් හේවාගම් කෝරළයේ පමණක් දක්නට ඇති මෙම යක්මඩුව ද එක්තරා අන්දමකින් මඩු ශාන්තිකර්මයකි. මුත් යක් මඩුව යනු මඩු අතර ‛අමුතුම ජාතියේ මඩුව’කි.
එය පැවැත්වනුයේ තමන් පාලනය කරන යක් ආණ්ඩුවට අය බදු ගෙවා ඔවුන්ගෙන් අත්වන විපත්වලින් මිදී පිහිටාරක්‍ෂාව පැතීම උදෙසාය. වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජනතාව අතර පැවැති සාම්ප්‍රදායික යාතු කර්මයක් වන යකුන් පිදුම යනු ‛යක් ආණ්ඩුව’ උදෙසා කරනු ලබන ගෘහස්ථ මට්ටමේ පුද පිළිවෙතකි. නමුත් මෙම යක් මඩුව යනු එම යකුන් පිදුමේ මහා පරිමාණයේ ශාන්තිකර්මයකි.
මෙම යක් මඩුව පිළිබඳ කරුණු දැක ගැනීමේදී එහිදී පුද පිළිවෙත්වලට ලක්වන යකුන් පිළිබඳව අන් සියල්ලට පෙර අප දැනගත යුතුය. මහසෝනා, රීරියකා ආදී අප ජන සමාජයේ අතිශයින් ප්‍රසිද්ධියට පත්ව හිඳින යකුන්ට වඩා ‛කට්ටු’ හෙවත් කණ්ඩායම් වශයෙන් හඳුනා ගත් යක්‍ෂ පිරිවරක් සඳහා මෙම යාතුකර්මය සැකසී තිබීම විශේෂත්වයකි. මොවුන් බොහෝවිට දුරාතීතයේ මෙහි ජීවත් වූ නායකයන් බව පෙනෙයි.
එහිදී ප්‍රධාන වශයෙන් යකුන් තුන් කට්ටුවක්, විසිහතර කට්ටුවක් සහ හැටහත් කට්ටුවක් ගැන කියැවේ. මෙම යක් මඩුවේදී පුද පිළිවෙත්වලට ලක්වන සියළු යකුන් යක්‍ෂ සම්භවයක් සහිත වුවද එක්තරා අයුරකින් දේවත්වයෙන් අදහනු ලබන්නවුන් වීම ද විශේෂත්වයකි.
එහෙත් එලෙස යක්‍ෂ සම්භවයක් සහිත සූනියම් දැඩිමුණ්ඩ ආදී දෙවිවරුන්ට මෙහි විශේෂත්වයක් හිමි නොවේ. යක් මඩුවේ ප්‍රධානත්වයට පත්වන තුන්කට්ටුව කළු කුමාර, වීරමුණ්ඩ සහ කීර්ති බණ්ඩාර යනුවෙනි. ඉන්පසුව ප්‍රධානත්වයට පත්වන විසිහතර කට්ටුවට ඒ තිදෙනා ද අයත් වන අතර එය මොරටු දෙවියන් සතු විසිහතර කට්ටුව ලෙස හැඳින්වනු ලැබේ. සියනෑ අලුත්කූරු සහ හාපිටිගම් කෝරළවල යක් මඩුව සඳහා මොරටු දෙවියන් එක්කර ගැනුණද එතුමන් සම්බන්ධ බොහෝ පැරණි යාදිනිවලින් පැවසෙන්නේ මොරටු දෙවියන්ගේ බලය රයිගම් සහ හේවාගම් කෝරළවලට පමණක් බලපැවැත්වෙන බවකි. නමුත් වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියෝ ද තමන් පාලනය වන ‛යක් ආණ්ඩුව’ට මොරටු දෙවියෝද ඇතුළත් කරගෙන සිටිති. ඊට හේතු අපැහැදිළිය.
එමෙන්ම යක්මඩුව යාතුකර්මයේදී සඳහන් වන හැටහත් කට්ටුව හැඳින්වනුයේ දුනුමාලේ දෙවියන්ගේ පිරිවර ලෙසිනි. එමෙන්ම ඉහත සඳහන් කළ තුන් කට්ටුව සහ විසිහතර කට්ටුවද මෙම දුනුමාලේ හැටහත් කට්ටුවට අන්තර්ග්‍රහණය කොට තිබේ.
සාමාන්‍යයෙන් ගම්මඩු දෙවොල් මඩු ආදිය අපගේ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව ද දැකිය හැකිමුත් මෙම යක්මඩුව බෞද්ධ වෙහෙර විහාරයක් පැත්ත පළාතට වැද්ද ගන්නේ නැත. ඊට හේතුව ඉදිරියේදී ඔබට පැහැදිලිවනු ඇත. යක් මඩුව බොහෝ විට සංවිධානය වනුයේ ගම්මැද්දකය. එසේත් නැතිනම් කිසියම් ප්‍රභූවරයකුගේ නිවෙසකය.
ඉදිකිරීමක් වශයෙන් සඳහන් කළහොත් ‛යක්මඩුව’ සාමාන්‍යයෙන් අඩි හතළිහයි, හතළිහේ පමණ පොල්අතු මඩුවකි. එය ඉදිකිරීම සාමාන්‍ය අයෙකුට කළ නොහැක. ඒ එම කටයුත්තට සම්බන්ධ අභිචාර විධි රාශියක් ඇති බැවිනි. නිශ්චිත යාග ආකෘතියකට අනුව සැකසෙන මෙම මඩුවේ කෙළවරක ඉන් පුද ලබන යකුන් සඳහා වන ‛මැහි’ පිළියෙළ කෙරේ. ශාන්තිකර්මවලදී දෙවියන් සඳහා ඉදිවන මල් යහන්, මල්පැළ වශයෙන් සැලකෙන මෙය යක් මඩුවේදී හැඳින්වනුයේ ‛මැහි’ යනුවෙනි. ඉන්පසුව නියමිත චාරිත්‍රාවලියකට අනුව කපාගෙන එනු ලබන පුවක් ගසක් මුල සහ උඩ කොටස ඉවත් කොට මෙම යක් මඩුවේ ‛කප’ ලෙස එම ‛මැහි’ ඉදිරියේ සිටුවනු ලැබේ. ‛විළිකඹය’ නමින් හඳුන්වනු ලබන ‛කඹය’ට මෙම යක් මඩුව ශාන්තිකර්මයේදී හිමිවනුයේ ප්‍රධාන තැනකි. එම විළිකඹය දරු ප්‍රසුතියේදී ඇතිවන විළි වේදනාව හා සම්බන්ධ වූවකි.
කල්වේලා ඇතිව සපයා ගත් සවිමත් කඹයක් වන එය යක් මඩුවේ තනාගත් මැහි මත තැන්පත් කෙරේ. පසුව නියමිත චාරිත්‍රාවලියකින් පසු යක් මඩුව පැවැත්වෙන දිනයේ අළුයම කපුටා හැඬීමට පෙර එහි පැමිණෙන ප්‍රධාන කපු මහතා එම විළිකඹය ද ගෙන කිසියම් ජලාශයක දිය කපන තොටුපළක් වෙත ගොස් එය දියෙන් පොඟවා ගනී. ඒ මෙම යක් මඩුව හා විළිකඹය අතර සවිමත් සබැඳියාවක් පවතින බැවිනි. මෙම විළිකඹය දිය කපන තොට වෙත ගෙන ගොස් අදාළ චාරිත්‍ර විධි අනුගමනය කොට එය සෝදන අතරේ එම කපු මහතා ආරූඪයට පත්විය යුතු බව පාරම්පරික නියමයකි. ඔහුගේ මෙම ආරූඪවීම මත එදින පැවැත්වෙන යක් මඩුවේ සාර්ථකත්වය කල් ඇතිව නිශ්චය කෙරේ. එමෙන්ම මෙම විළිකඹය සෝදා හරින ස්ථානය දිය කපන තොටක් නැතහොත් පුන්‍ය තීර්ථයක් බව කපු මහතා කලින් තහවුරු කරගෙන සිටිය යුතුය. මෙවන් යක් මඩුවලට සහභාගී වන යක් කපු මහතුන්ද එවන් ස්ථාන පිළිබඳව හොඳින් දැන සිටියි. එමෙන්ම මිට සියවසකට හමාරකට ඉහත මෙම විළිකඹය සේදීම පිණිස එක්තරා ඔයක රජකයන් රෙදි සේදීමට යොදා ගන්නා ස්ථානයක් හෙවත් ‛රදාතොටක්’ වෙත ගිය කපු මහතකු එම විළිකඹය එම ස්ථානයෙන් දියට හෙලත්ම එම ස්ථානයේම මැරී වැටුණු බවට ප්‍රවාදයක් ගණේමුල්ල, කොස්සින්න ප්‍රදේශයේ යක් කපු පරපුරක සාමාජිකයකු අප හා කීය. ඔහු ඒ කී ස්ථානය පිහිටා ඇත්තේ ගණේමුල්ල කිරිඳිවිට ප්‍රධාන මාර්ගය අද්දරය.
යකුන් සමග සෙල්ලම් කිරීම අතිශය බියකරු යැයි බොහෝ දෙනක් කියති. ඒ මෙබඳු දේවල් නිසාද විය හැකිය.
පෙර ලිපිය
No comments:
Post a Comment