රන්වල දෙවියන් තැනූ පුහුල් පහනේ හැඩයෙන් යුතු ගොක්කොල පුහුල් පහන් |
රන්වල දෙවියන් මිනිස් දිවියක් ගත කළ කාලය පිළිබඳ පුරාවෘත්තයන්හි නොයෙකුත් විෂමතා තිබුණත් එතුමාගේ අසිරිමත් චරිතාපදානය පිළිබඳ පොදු කාරණයක් තිබෙනවා. එනම් එතුමන් ජීවත්ව සිටි කාලයේ ජීවිතේ මැදි වයසේ සිට කැලණි ගඟ අසබඩ අසපුවක් තනා එහි ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ බවයි. මේ ස්ථානය වත්මන් ‛රන්වල තොටුපොළ’ බවයි පොදු ජන විශ්වාසයේ පවතින්නේ. නමුත් ඒ පිළිබඳ වඩාත් විමසිලිමත්වීමේදී පෙනී යන්නේ දැනට එම අසපුව තිබූ බවට අනුමාන කෙරෙන ස්ථානය, එසේත් නැත්නම් එය පැවති සීමාව ගං දියට එක් වී ඇති බවයි. එයට හේතුව එතුමන් ජීවත්ව සිටි සමය, එනම් දහහත්වැනි සියවසේ පැවැති ප්‍රමාණයට වඩා වර්තමානයේ විවිධ පාරිසරික සාධක හේතුකොටගෙන ගං ඉවුරු කඩා වැටී කැලණි ගඟ පුළුල් වී තිබීමයි. ඒ නිසා එතුමන් සිටි අසපුව ගං දියඹ සීමාවට එක්ව ඇති බවයි අනුමාන කළ හැක්කේ. මීට වසර ගණනාවක් දක්වා වැලි තොටුපොළක්ව පැවැති මෙම ස්ථානයට අයත් භූමි භාගයෙන් කොටසක් වර්තමානයේ පෞද්ගලික ඉඩමක් ලෙස වෙන් කොට තිබෙනු දක්නට පුලුවන්.
රන්වල දෙවියන් සිය මැදි වයසේදී මනා දේහධාරීව, ඉතා ප්‍රබල පෞරුෂයක් සහිතව ජීවත් වූවකු බවට අනුමාන කළ හැකියි. එබැවින් රන්වල දෙවියන් ජීවත් වූ රන්වල ප්‍රදේශයේ සමාජ විරෝධී, අවකල් ක්‍රියා කළවුන්ට එතුමන් මිනිස් වෙසින් ජීවමානව සිටි කාලයේදී කිසිදු බුරුලක් ලැබී නැහැ. එබැවින් එම කාලයේ රන්වල දෙවියන්ගේ පෞරුෂය නිසා එවැනි නොහොබිනා පුද්ගලයන් ගමෙන් පිටුවහල් වී ගිය බවත් පැවසෙනවා. කෙසේ හෝ පොදු ජනතාවට අතිශය හිතවත්ව සිටි රන්වල දෙවියන් ගම්මුන්ගේ පෞරුෂ, පවුල් සහ සමාජ ප්‍රශ්නවලදී ඒවා විසඳා දෙන්නට ඉදිරිපත් වී ඔවුන් වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කළ බව විශ්වාස කරන්නට පුලුවන්. එමෙන්ම විවිධ ලෙඩරෝගවලට පිළියම් කිරීම සඳහා එතුමන් සතුව පුදුමාකාර අත්ගුණයක් පැවති බවටත් තොරතුරු දැනගන්නට ලැබෙනවා. කෙසේ හෝ ජීවිතයේ සන්ධ්‍යා භාගයට එළැඹෙත්ම එතුමා සිය ආධ්‍යාත්මික සංවර්ධනය ඉතා ඉහළ තලයකට නංවා ගත් බවයි පැවසෙන්නේ. එතුමන් ජීවත් ව සිටි කාලයේ මාසයේ පොහොය සතරටම ඔරුවක නැගී කැලණි ගඟ ඔස්සේ කැලණි විහාරය වන්දනා කරන්නට පැමිණි බව ජනප්‍රවාදවල සඳහන්. ඒ පිළිබඳව විස්තරයක් සුසන්ත ජයමාන්න මහතා ලියූ ‛අසිරිමත් කැලණිය’ නම් කෘතියේ ද සඳහන් වෙනවා. එතුමන් මේ ආකාරයට කැලණි විහාරය වැඳ පුදාගෙන ඔරුවේ නැගී සිය අසපුව පිහිටි රන්වල ප්‍රදේශයට යළි පැමිණීමේදී අවට සිටි කුඩා දරුවන්ට තෑගිබෝග රැගෙන ආ බවටත්, එතුමන් පැමිණෙන තුරු කුඩා දරුවන් රන්වල තොටුපොළේ බලා සිටි බවටත් තොරතුරු ජනප්‍රවාදවලින් සොයාගන්නට ලැබෙනවා.
රන්වල දෙවියන් තැනූ පුහුල් පහනේ හැඩයෙන් යුතු ගොක්කොල පුහුල් පහන් |
ඒ වාගේම එතුමන් කළ තවත් සුවිශේෂී ක්‍රියාවක් නම් කැලණි ගඟේ යන ඔරු පාරුවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමයි. මේ කාලය වන විට පහත රට ඕලන්ද බලය පැතිරී තිබූ අතර කොළඹ සහ කන්ද උඩරට අතර භාණ්ඩ හුවමාරු කටයුතු සඳහා ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස ලෙස යොදාගත්තේ ද කැලණි ගඟයි. තොටළඟින් ගමන් අරඹන භාණ්ඩ පුරවාගත් ඔරු පාරු කැලණි ගඟ ඔස්සේ සීතාවක හරහා ගුරුගොඩ ඔයට අවතීර්ණවී අරන්දර පිහිටි ඕලන්ද බලකොටු ප්‍රදේශය දක්වා ගමන්කොට තිබෙනවා. එතැනින් කන්ද උඩරට කරා භාණ්ඩ රැගෙන ගිය බවත් ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. එනිසා කැලණි ගඟේඳී ඔරු පාරු අනතුරට ලක්වීම මේ කාලයේ බහුලව සිදුවන්නට ඇති. එයට හේතුව වූයේ කැලණි ගඟේ මෙම ප්‍රදේශයේ ‛ඇලි’ නමින් හඳුන්වන ශීඝ්‍රයෙන් ජලය ගලා බසින ස්ථාන සහ ගල්පර්වත කිහිපයක් පැවතීමයි. ජලය වැඩි කාලයට මේ ඇලි ඔස්සේ වේගයෙන් පහළට ඇදී යන ඔරු පාරු තොටියන්ට පාලනය කරගත නොහැකිව ගඟ මධ්‍යයේ පිහිටා තිබූ ගල්පර්වතවල හැපී විනාශයට පත්වී තිබෙනවා. විශේෂයෙන් මෙම අනතුරු වැඩි වශයෙන් සිදුව ඇත්තේ රාත්‍රී කාලය තුළයි. ඒ නිසා මෙම අනතුරු වැළැක්වීම පිණිස රන්වල දෙවියන් මිනිසත් වෙසින් වැඩසිටි කාලයේ ඉතා අපූරූ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වුණා. එනම් කැලණි ගඟේ පැවැති එවැනි අවදානම් ස්ථාන අවට අනතුරු හැඟවීමේ පහන් එල්ලා තැබීමයි. එතුමන් මෙම පහන් නිර්මාණය කළේ ද තමන්ගේම සංකල්පයකට අනුවයි. උණ බටයක් ගෙන, එය තීරුවලට කපා ඒවායෙන් පුහුලක හැඩයෙන් යුතු කූඩු සකසා එය එය තුළ පහන් දල්වා තිබෙනවා. එහි අලෝකය දීප්තිමත් ලෙස පැතිරවීම පිණිස ගොක්කොළ යොදාගත් බවයි පැවසෙන්නේ. පහන් දැල්වීමෙන් පසු ගොක්කොල හරහා ගමන් කරන ආලෝකය ඉතා දීප්තිමත්ව, සෑහෙන දුරකට දිස්වන්නට ඇති.
මෙම පහන් බැලූ බැල්මටම පුහුල් ගෙඩියක හැඩය ගන්නා නිසා ඒවා ‛පුහුල පහන්’ නමින් ප්‍රසිද්ධියට පත් වුණා. රන්වල දෙවියන් ජීවත්ව සිටි කාලයේ මෙසේ දැල්වූ පුහුල් පහන් නිසා කාලයක් තිස්සේ සිදුවුණු ඔරු පාරු අනතුරු ශීඝ්‍රයෙන් අඩුවී තිබෙනවා. මෙය එතුමන් පිළිබඳ ජනතා ප්‍රසාදය වැඩි වන්නට හේතුවක් වුණා.
තමන් ජීවත්ව සිටි රන්වල තොටුපොළට අමතරව දුම්බුකඩුව, නයිවලගල, කපුගොඩ, පල්ලියවත්ත, මල්වාන, ආදී තොටුපොලවල් පිළිබඳවත් හත්දූව ඇල්ල, දුම්බුකඩුව ඇල්ල ආශ්‍රිතවත්, පාරුගල සහ කොග්ගල නමින් ගඟ මැද පිහිටි පර්වත ආශ්‍රිතවත්, එතුමන් පුහුල් පහන් දැල්වීම සිදුකොට තිබෙනවා. ඒ නිසා කලක් යත්ම මෙම කාලයේ කැලණි ගඟේ ඔරු පාරු යාත්‍රා කළ වුන්ගේ ගැළවම්කාරයා ලෙස රන්වල දෙවියන්ව ජනතාවට හැඟී යන්නට ඇති. එනිසාම ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී ඒ සැමදෙනා ‛රන්වල මුත්තා’ නමින් හඳුන්වා විශේෂ ගෞරව ආදරයක් පුදකරගන්නට ඇති බවයි විශ්වාස කළ හැක්කේ.
මේ කාලය වනවිට වියපත්ව සිටියත් ඉතා නිරෝගී දිවි පෙවෙතක් ගතකළ රන්වල දෙවියන් එකල කැලණි ගං ඉවුරේ අසීමිතව පිපී තිබූ නාමල් නෙළාගෙන සතර පෝය දිනවලට ඔරුවක නැගී කැලණි විහාරයට ගොස් සිල් සමාදන් වී නැවත රන්වල තොටුපළට පැමිණි බවත් සඳහන් වෙනවා. කෙසේ හෝ වියපත් වනවිට මෙතුමා ඉතා ඉහළ ආධ්‍යාත්මික තත්වයකට පත්ව සිටි බවත් යම් රෝගියකුගේ අත ස්පර්ශ කළ පමණින් ඒ තැනැත්තාගේ සියලු රෝග නිවාරණය කරදමන්නට තරම් එම අත්ගුණය ප්‍රබල වූ බවත් සඳහන් වෙනවා. එනිසාම රන්වල දෙවියන්ගේ මිනිස් ජීවිතයේ සන්ධ්‍යා සමයේදී එතුමන් සඳහා විවිධ පරිත්‍යාගකිරීමට කිරීමට ඔරු පාරුකරුවන් පෙළැඹී තිබුණා. විශේෂයේ ජීවිතයේ වයෝවෘද්ධ තත්වයට පැමිණි පසුත් තමන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදී සිටියත් එතුමන් සඳහා නිතිපතා ආහාරපාන සපයාදීමටත්, අනෙකුත් අවශ්‍යතා සොයා බැලීමටත් රන්වල අවට ගම්මුන් පෙළැඹී සිටියා. එයට හේතුව එතුමන්ට එසේ උදව් උපකාර කිරීමෙන් තම ජීවිතවලටත් විශාල සහන් සුවයන් ලැබෙන බවට ගැමියන් තුළ පැවති විශ්වාසයයි.
වියපත්ව සිටියදී ‛රන්වල මුත්තා’ යනුවෙන් හඳුන්වනු ලැබූ එතුමා පසුකාලයේදී ‛රන්වල හාමුදුරුවන්’ යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ ජීවිතයේ අවසන් භාගයේදී එතුමන් තපස්වීවරයකු ලෙස ජීවත් වූ නිසා බවත් අනුමාන කළ හැකියි.
No comments:
Post a Comment