දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Friday, January 20, 2017

හත්මාළුව - බත් සහ ‛වෙරි පහ’ සමග යකුන්ට රාත්‍රී භෝජනයක්


ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක ොස්වැන්නයි මේ.
 

මියගිය ඥාතීන් සිහිපත් කොට ඔවුන් හට සඟමොක් සුව ප්‍රාර්ථනා කිරීම ලොව පුරා බොහෝ ආගමිකයන්ගේ සිරිතකි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධයන් අතර ප්‍රචලිත ආගමික චාරිත්‍රය වනුයේ මළවුන්ට පින්දීමය.

 මළවුන් සම්බන්ධ ලොව පුරා අභිචාර විධි එසේ වුවත් මළවුන් පුදා ඔවුන්ගෙන්  පිහිටාරක්‍ෂාව යැදීමේ චාරිත්‍රයක් ලොව ප්‍රාථමික ආගම්වල දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් අපේ රටින් ගත හැකි හොඳම නිදසුන නම්  ශ්‍රී ලාංකීය වැදි ජනතාව අතර පවත්නා නෑ යකුන් පිදීමය. එහෙත් වැදි ජනතාවට අමතරව වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ, අළුත්කුරු හා හාපිටිගම් යන කෝරළ වාසීන් දුරාතීතයේ සිට අද දක්වාම ‛යකුන් පිදුම’ නමින් චාරිත්‍රයක් ඉටු කරන බව තවමත් බොහෝ දෙනෙක් නොදනිති.

යකුන් පිදුම යනු ගම්පහ දිසාවේ අදටත් ඉඳහිට හෝ දැකිය හැකි චාරිත්‍ර විධියකි. එහෙත් මෙම චාරිත්‍රය පවතිනුයේ ගම්පහ දිසාවේ පාරම්පරික පදිංචිකරුවන් අතර බව පෙනෙයි. එමෙන්ම මෙලෙස නෑ යකුන් පිදුමට හවුල් වන සියලුම දෙනා පරම්පරාගතව කෘෂිකර්මාන්තයට; විශේෂයෙන් වී ගොවිතැනට සම්බන්ධ වූවන් බව ද කිව යුතුය. මෙය ගම්පහ දිසාවේ වැසියන්ගේ සිංහල අලුත් අවුරුද්දට පූර්වගාමී චාරිත්‍රයකි.

කිසියම් ගම්මානයක ප්‍රභූ නිවෙසක ‛යකුන් පිදුම සිදුකෙරෙන අතර එය බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයෙක යොදා ගැනෙයි. එහෙත්, ඒ දින නියම කරනු ලබන්නේ එම නිවසේ ගෘහමූලිකයා සමග කරනු ලබන කතාබහකට අනුව ඒ සඳහාම කැපවී හිඳින ‛යක් කපු මහතකු’ විසිනි. කෙසේ හෝ මෙම දින නියම කර ගැනීමත් සමග මෙම යකුන් පිදුම සිදුවන දිනය ගම පුරාම ප්‍රචාරය වෙයි. ඒ ගම්මුන් හට තම තමන්ගේ වී අස්වනුවලින් හිමිවන අග්‍ර භාගය, යකුන් පිදුම පැවැත්වෙන නිවසේ හිමිකරුවන්ට භාරදීම පිණිසය.

යකුන් පිදීමේ චාරිත්‍රයේ ප්‍රමුඛතමයා වන යක් කපු මහතා සහ ඔහුගේ ගෝල බාලයෝ කල්වේලා ඇතිවම එම නිවසට රොක් වෙති. ඒ වන විට ද අඩුම තරමින් ගම්මුන් තිහ-හතළිහක්වත් එහි රොක් වී හමාරය. සාමාන්‍යයෙන් ගැමියන්ගේ ඒකරාශීත්වයෙන් ගැමි නිවෙසක සිදුවන පොදු වැඩකදී කාන්තා පක්‍ෂයේ  සහභාගීත්වයෙන් වැඩි වශයෙන් හෝ හරි හරියට දක්නට ලැබේ. එහෙත් මෙම යකුන් පිදුමේදී එම තත්ත්වය බරපතළ ලෙස වෙනස් වනුයේ එම නිවසට කල්වේලා ඇතිව එක් රොක් වන්නවුන්ගෙන් වැඩි පිරිස පුරුෂ පක්‍ෂය වීම මතය. ඒ අනුව කාන්තාවන්ට වඩා පිරිමින් යකුන් හා සමීප බවක් පෙනේ.
ආධ්‍යාත්මික සහ අභිචාරාත්මක පක්‍ෂය පසෙක තැබූ විට මෙම යකුන් පිදුම යනු ව්‍යවහාරික අර්ථයෙන් බලන විට යකුන් සඳහා දෙනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයකි. එහෙත් එසේ යකුන් පිදීම වෙනුවෙන් සැකසෙන මල්පැළ (යකුන් පිදීමේදී මේවා හැඳින්වනුයේ මැහි යනුවෙනි) ඉදි කිරීමේ සිට ඒ සඳහා භෝජන සැකසීම සිදු කරනු ලබන්නේ හුදෙක් පුරුෂ පක්‍ෂය විසින් පමණි. මෙම පුරුෂ සහභාගීත්වය කොතෙක්ද යත් නිවෙස්වලින් ගෙන එනු ලබන වී කෙටීමට පවා කාන්තාවන් සහභාගී කර නොගැනීම මෙහි ඇති විශේෂත්වයකි.

සාමාන්‍ය ශාන්ති කර්මවලදී මෙන් මෙම යකුන් පිදුම පිණිස ආහාරපාන සැකසීම සහ වෙනත් සේවා සපයන්නවුන් හඳුන්වනු ලබනුයේ ‛කොට්ටෝරු උන්නැහෙලා’ යන නමිනි. මෙම කොට්ටෝරු යන වදන එනමින් යුතු කුරුල්ලාගේ නමින් නොව ධාන්‍ය ගබඩාව, කෝෂ්ඨාගාරය හෙවත් කොට්ටල, කොටුගෙය යන වදන මුල්කොට ව්‍යවහාරයට පැමිණි වදනක් බව පෙනෙයි.

මෙසේ වී කොටා සකසා ගත් සහලින් කොටසකින් කැවුම්, කොකිස් ද තව කොටසකින් හත් මාලුව සමග බතක් ද පිළියෙල කරනු ලබයි. ඒ ද පිරිමින් විසින්මය. වට්ටක්කා දලු, කහට දලු, කජු, කොස් ඇට, මෑ, අළු කෙසෙල් සහ බටුවලින් සමන්විත හත්මාළුව යකුන් පිදුමකදී නොවැරැදීම දක්නට ලැබෙන්නකි. දැන් නම් මේවාට සෝයා මීට් වැනි නවීන ආහාර ද එක් කරති.

පිරිමින් විසින් මුකවඩාම් බැඳ කරනු ලබන ඉහත සඳහන් කිසිදු ආහාර පිසිමේ කටයුත්තක් සඳහා කාන්තාවන් යොදා නොගැනීම ද විශේෂත්වයකි. ඊට හේතුව  අපගේ ජන විඥානයේ එන කාන්තාවන් ‛කිළි’ සහිත වීම ද විය හැකිය. එහෙත් ආහාර පිසීම පිණිස කාන්තාවන් සහභාගී කර නොගැනුණ ද මෙම යකුන් පිදුම සඳහා ‛ඇටි ඇට පහ’ නමින් හඳුන්වන ධාන්‍ය වර්ගවලට අමතරව පුළුටු වර්ග, දියමස් ගොඩමස් යොදා ගැනෙයි. මීට අමතරව මෙම යකුන් පිදීම සඳහා ඇතැම් කපු පරම්පරාවල් විසින් ‛වෙරි පහ’ නමින් හඳුන්වන රා, අරක්කු, කංසා, අබිං සහ දුම්කොළ ද යොදා ගනු ලැබේ. එම මෙම භෝජනයේ දී යකුන්ට ‛ඇඟ ටිකක් රත්කර ගැනීමට’ විය හැකිය.

මෙම යකුන් පිදුමේ කටයුත්තු සියල්ල සූදානම් වූ පසු සැන්ඳෑ ඇඳිරියත් සමග මෙම චාරිත්‍රාවලිය අරඹනු ලැබේ. මෙහිදී ප්‍රථමයෙන් දෙවියන් සඳහා වෙනම සකස්කොට ඇති මල්පැලවල පහන් දැල්වීමෙන් පසුව නිවසින් තරමක් දුර ස්ථානයක ඉදි කළ මැහි ආදියේ දී මෙම පූජාව ‛ගොටු’ වශයෙන් පූජා කිරීම සාමාන්‍ය පිළිවෙතයි. දෙවියන් සඳහා පුදනු ලබන පුද පඬුරු යකුන්ට දීමේදී ‛ගොටු’ වශයෙන් හැඳින්වෙන අතර, එම පිදීමෙන් පසුව ඇත්තේ බාරහාරවලින් නිදහස් වීමේ අවස්ථාවයි.
එහිදී යක් කපු මහතුන් විසින් මතු දැක්වෙන කන්නලව්ව කරනු ලැබේ.

“අවසර පස්වාන් දහසක්... පස්වාන් දහසක්... පස්වාන් දහසක් සිද්ධ මූල වීර මුණ්ඩ කලුකුමාර දේවතා බණ්ඩාර” යනුවෙන් ඇරැඹෙන දීර්ඝතම කන්නලව්ව නිමා වනුයේ “මේ ආතුරයින්ට ගහන සුළඟත්, පායන අව්වත් හැර අමුතු උවන්දිරමක් වැද්ද-සිද්ද දෙන්න, කියන්නේ නැතිව ලබන දොළොස් මහේ මෙවැනි අවදියට එන තුරු මේ ආතුරයින් රැකබලා ගන්නවයි, දුකට පිහිට වෙනයි, පින් ගන්නවයි, ආවඩා ආයුබොහෝ වේවා, ආයු බොහෝ වේවා... ආයු බොහෝ වේවා....” යනුවෙනි.

මෙසේ යකුන් පුදා අවසානයේ දෙවියන්ට පුද පඬුරු ද පිදීමක් සිදු කෙරෙන අතර, නිවැසියන් වෙනුවෙන් හා තමන් භාරයේ සිටින ගව මහිෂාදීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් පඬුරු පිදීම මෙහිදී සිදු කරති.

ඉන් පසුව නිවසේ සාලයේ හෝ ගෙමිදුලේ එළන ලද මාගල් මත රැස්වූ සියලු දෙනා වාඩිවන අතර, ඔවුන් ඉදිරියේ එළනු ලබන කෙසෙල් කොළ මතට මෙම හත්මාළුව සමග බත් බෙදනු ලැබේ. අනතුරුව යකුන් පිදුම සඳහා විශේෂයෙන් සැකසූ කැවුම්, කොකිස් සහ ඒ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි ආදියෙන් රැස්ව සිටි පිරිස සංග්‍රහ ලබති.

මෙසේ අනුභව කරනු ලබන ආහාර වීසි කිරීම සහ අපතේ යැවීම කිසි විටෙකත් සිදු නොවිය යුතු අතර, ඉතිරි වන සෑම බත් ඇටයක්ම සතෙකුගේ හෝ කුසට වැටිය යුතුය යන සම්ප්‍රදායක් මෙම යකුන් පිදුම තුළ තිබේ. ගම්පහ දිසාවේ ප්‍රදේශබදව සහ කපු පරම්පරාවල් අනුව මෙම චාරිත්‍රාවලිය යම් යම් වෙනස්කම්වලට ලක්වෙයි.

නමුදු ජාඇළ, නිවන්දම විසූ පාලම් මෙන්ඩිස් නමින් ප්‍රකට රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු මෙන්ඩිස් වීරසිංහ මහතාගේ නිවසේ පැවැත්වුණු යකුන් පිදුමකට මීට වසර විස්සකට පමණ සහභාගී වූ මට යකුන් උදෙසා පිළියෙළ වූ ප්‍රණීත ආහාර වේලක රස බැලීමට අවස්ථාව හිමිවිය. ඒ බව ඔහුගේ දූ දරුවන්ට වන සෝමචන්ද්‍ර වීරසිංහ සහ සුමිත්‍රා වීරසිංහ යන මහත්ම මහත්මීන් වෙත මම මොහොතේ අතිශය කෘතවේදීව සිහිපත් කරමි. 

පෙර ලිපිය

Saturday, January 14, 2017

අවුරුදු කෑමට පෙර ‛යක් ආණ්ඩුව’ට අයබදු ගෙවන ගම්පහ ජනතාව

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක දසවැන්නයි මේ.



 මිනිසුන් සහ දෙවිවරුන් අතර ඇත්තේ හුදෙක් අධ්‍යාත්මික සහසම්බන්ධතාවයකි. දේවබැල්ම, දේවාශීර්වාදය ඔස්සේ ජීවිතාරක්‍ෂාව, සතුට, සොම්නස සහ සෞභාග්‍යය අපේක්‍ෂා කරන්නකු හට දෙවියන් පිදීමෙන් සහ යැදීමෙන් එය අත්පත් කරගත හැකි බව ජන විශ්වාසයයි. එමෙන්ම දෙවියන් නොහඳුනන සහ නොඅදහන අදේවවාදියකුට එය නොකර සිටීමේ ඉඩක් ඇත.  ඊට හේතුව මිනිසුන්ට පිහිටවනු සහ රැකබලාගනු විනා මිනිසුන් ආණ්ඩු කිරීමට දෙවියන් නොඑන බැවිනි. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේත්, අළුත්කූරු සහ හාපිටිගම් යන කෝරළ දෙකේත් සාම්ප්‍රදායික ජනතාව තම පෞද්ගලික, පවුල්, ප්‍රජා සහ සමාජගත ජීවිත පාලනය කරන ලෞකික නොවූ පාර භෞතික බලයක් පිළිබඳව විශ්වාස කළහ. එම බලවේගය ඔවුන් විසින් හඳුන්වන ලද්දේ යක් ආණ්ඩුවයනුවෙනි.

දෙවියන් සතුටු කිරීමෙන් ලෞකික වරප්‍රසාද ලද හැකිමුත් දෙවියන් සතුටු නොකොට සිටීමෙන් සිදුවන විශේෂ අයහපතක් පිළිබඳව ජන විඥානයේ සඳහන් නොවේ. එහෙත් වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියන් දුරාතීතයේ සිට අදහනු ලබන යක් ආණ්ඩුවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අඩුම තරමින් වාර්ෂිකව හෝ යක් ආණ්ඩුව සතුටු නොකිරීම වැසියන්ට නොයෙකුත් රෝග පීඩා, දුර්භික්‍ෂ ඇති වීමට හේතුවන බවට සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන් තුළ අතීතයේ සිට යම් විශ්වාසයක් තිබිණ. අද වන විට ආකල්පමය වශයෙන් සමාජයෙන් මෙබඳු සම්ප්‍රදායික විශ්වාස ඉවත්වීම සාමාන්‍ය සංසිද්ධියයකි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ආවාහ විවාහ සම්බන්ධතා ආදිය මගින් දිවයිනේ සෙසු ප්‍රදේශවල ජන කොටස් හා සම්බන්ධවීමත්, දිනෙන් දින වේගවත් ලෙසින් නාගරීකරණයට ලක්වන ගම්පහ දිස්ත්‍රික්කය තුළ වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වූ ජනතාව ශීඝ්‍රයෙන් වැඩිවීමත් මෙම දිස්ත්‍රික්කයට ආවේණික මෙවන් සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ක්ෂය වී යාමට හේතු වී ඇති බව පෙනෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැසියන් යක් ආණ්ඩුවවශයෙන් සලකනුයේ යක්‍ෂ කට්ටුතුනකි. අප ජන සමාජයේ දෙවියන් ඇදහීම්වලදී දේව සමූහ හැඳින්වීම පිණිස දේව මණ්ඩලයන වදන යෙදෙන බව අපි දනිමු. එහෙත් යකුන් පිදීමේදී ඒ සඳහා මණ්ඩල යන වචනය නොයෙදෙන අතර ඊට භාවිතා කෙරෙන වදන වනුයේ කට්ටුවයන්නය. මෙය කට්ටු යන වදන සඳහා රාජාවලිය ග්‍රන්ථයෙහි පක්‍ෂය, කොටස යන අරුත් ලබාදී ඇති අතර ශිලා ලේඛන සංග්‍රහයට (Epigraphia Zeylanika) අනුව ඒ සඳහා ආණ්ඩුව යන අරුත ද පළවන බවක් පෙනෙයි. සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන්ගේ පිළිගැනීමට අනුව මෙහි බලපැවැත්වෙන යක් ආණ්ඩුව කට්ටුතුනකින් සමන්විතය. එනම් තුන් කට්ටුව, විසිහතර කට්ටුව සහ හැටහත් කට්ටුව වශයෙනි. මෙම කට්ටු පිළිබඳව ඉදිරි කලාපයකින් විස්තර කෙරෙනු ඇත.



සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන් කෙරෙහි මෙම යක් ආණ්ඩුවේ බලපෑම කෙතරම් තදින් එල්ල වන්නේද යත් සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව එළැඹෙන මාස් කන්නයෙන් ලැබෙන අස්වැන්නෙන් අග්‍ර භාගය හෙවත් මුල් කොටස මෙම යක් ආණ්ඩුවටපිදිය යුතුය. සාමාන්‍යයෙන් දෙවියන්ට පුදන දේ පුද පඬුරුලෙස ද යකුන්ට පුද දේ දොළ පිදේනිලෙසද හැඳින්වෙන බව අපි දනිමු. එහෙත් මෙලෙස යක් ආණ්ඩුවට පිදෙන දේ හැඳින්වනුයේ අය බද්දවශයෙනි. එම ප්‍රකාශය තුළින්ම මෙය හුදෙක් දෙවියන්ට පුද දීමක් හෝ යකුන්ට දොළ දීමක් නොව යක් ආණ්ඩුවට නතුවීමක්, අවනත වීමක් ලෙස අපට හැඟී යනු ඇත. එමෙන්ම මේ අයබදු ප්‍රදානය කෙතරම් තීරණාත්මක ලෙස කළ යුතුද කිවහොත් සිංහල අලුත් අවුරුද්දට තෙල් වළං ලිප තැබීමට පෙරයක් ආණ්ඩුවට මෙලෙස අය බදු ගෙවා නිදහස් විය යුතු යැයි වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැරණි ගැමියෝ සිතූහ. දුරාතීතයේ සිට සියනෑ, අලුත්කූරු සහ හාපිටිගම් කෝරළ වාසීන් එම යක් ආණ්ඩුවට දෙන අයබදු ලෙස යකුන් පිදුමසහ යක් මඩුවයන ශාන්තිකර්ම පවත්වන ලද්දේ එබැවිනි. මෙම යකුන් පිදුම ගෘහස්ථ සාමාන්‍ය ශාන්ති කර්මයක් වන අතර යක් මඩුවඊට වඩා පුළුල් ශාන්තිකර්මයකි.

යකුන් පිදුම ශාන්ති කර්මය බොහෝ විට පැවැත්වනුයේ එම ගමේ වැඩිපුර වී අස්වැන්නක් හිමිකර ගන්නා ධනවතාගේ, ප්‍රභූවරයාගේ නිවසේය. එහෙත් එය බොහෝ විට ජන සම්මතයෙන් එළඹ ගන්නා තීරණයකි. නමුදු එම නිවසේ පැවැත්වෙන යකුන් පිදුම සඳහා ගමේ සියලුදෙනා කිනම් හෝ අයුරකින් සහභාගීත්වය පළ කළ යුතුමය. ගැමියෝ ඊට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉදිරිපත් වූහ. ඒ එය කොතැනක සිට හෝ යක් ආණ්ඩුවට අය බදු ගෙවීමක් බැවිනි. මෙසේ යක් ආණ්ඩුවට අයබදු නොගෙවන ගැමියන් ඒ වසර තුළ නොයෙක් රෝග පීඩාවන්ට සහ අතුරුඅන්තරාවන්ට ලක්වන බවට අතීත ගැමියෝ තදින්ම විශ්වාස කළහ. දෙවියන්ගේ ලෙඩ නමින් හැඳින්වෙන පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී රෝග වැළඳීම ඒ අතරින් ප්‍රමුඛ විය.

වසරේ වගා කන්න දෙකේ ප්‍රධාන කන්නය වන මාස් කන්නය නිම වූ සැනින් කපා, පාගා බොල් ආදිය ඉවත් කොට ගත් අස්වැන්නෙන් මුල්ම කොටස ලාහක්, දෙලාහක් වශයෙන් කමතේදීම වෙන් කොට තැබිය යුතුය. ඒ යකුන් පිදීම උදෙසා ය. කමතේදී සිදුකෙරෙන සියලු වී බෙදීම් සිදුකළ යුත්තේ ඉන් පසුවය. මෙසේ කමතේදීම වෙන් කර ගන්නා වී ප්‍රමාණය කල් වේලා ඇතිවම එම යකුන් පිදීම සිදු කෙරෙන නිවසේ ගෘහමූලිකයාට භාර දීම ගම්මුන් විසින් නොවරදවාම කරන ලද්දකි. ඒ යම් හෙයකින් යක් ආණ්ඩුවට අයබදු ගෙවීමට ඇති වී කොටස බැරිවීමකින් හෝ අන් කටයුත්තකට යෙදවුවහොත් අත්වන ප්‍රතිඵලය අතිශයින් ඛේදනීය විය හැකි යැයි ගම්මුන් සිතන බැවිනි.

මෙම යකුන් පිදීමේ කටයුත්ත සඳහා කැපවූ වෙනම කපු මහත්වරු විශේෂයක් ගම්පහ දිසාවේ සිටිති. දේවාලවල කපු මහතුන්ගේ හෝ යකැදුරන් නොවන මොවුන් හැඳින්වෙනුයේ යක් කපු මහත්වරුන්වශයෙනි. අතීතයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් කිහිපයක් ආවරණය වන පරිදි එක් යක් කපුමහතකු සිටි අතර අද ද ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් තුන හතරකින් විමසන විට එවැන්නකු සොයා ගැනීම අසීරු නොවේ. එහෙත් වසර සිය ගණනක් තිස්සේ පැවත ආ එම යකුන් පිදීමේ චාරිත්‍රාවලිය අතීතයේ තරම් විධිමත්ව කිරීමට වත්මන් යක් කපු පරපුරට නොහැකි බව සමහරෙක් කියති. ඒ කෙසේ හෝ මෙම යකුන් පිදීමේ චාරිත්‍රය පිළිබඳව උනන්දු වන ඔබ හට ඉදිරියේ එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර එවන් අවස්ථාවක් දැකබලා ගැනීමේ වැඩි අසීරුවක් පැන නොනගිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. 

පෙර ලිපිය

Monday, January 9, 2017

ගම්පහ දිසාවේ අදටත් නොනැසී පවතින ‛යක් ආණ්ඩුව’

ශ්‍රී ලාංකේය ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප දන්නා සේම  නොදන්නා දෙවිවරුන් සහ යකුන් පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ අප්‍රකට ජනප්‍රවාද රැසක් මුල්වරට හෙළිකර ගත හැකිවූ මෙම ගවේෂණය ඇසුරින් සැකසෙන ලිපි පෙළක නවවැන්නයි මේ.




අපේ රට දුරාතීතයේ යක්‍ෂ රජ දහනක්ව තිබූ බවට සපයා ගත හැකි සාක්‍ෂි බොහොමයකි. මෙහි යක්‍ෂ යනු ප්‍රකෘති ලොව හා කිසිදු සබැඳියාවක් නොමැති අද්භූත ජීවීන් කොටසකැයි සමහරු සිතති. එහෙත් එම උපකල්පනය ඉඳුරාම වැරදිය. අතීතයේ අප රටේ යක්‍ෂ නමින් ජීවත් වී ඇත්තේ ද එක්තරා මනුෂ්‍ය වර්ගයකි. එමෙන්ම මොවුන් හුදු නොදියුණු ආදිවාසීන් නොවන බවත්, කිසියම් දියුණු ශිෂ්ටාචාරයක හිමිකරුවන් බවත් පැහැදිලිවම පෙනෙයි. එමෙන්ම ඔවුන් ලබා ඇති එම දියුණුව විද්‍යා තාක්‍ෂණික දියුණුව මත පදනම් වූවක් නොවේ. මේ වනවිට හරි හැටි තේරුම්ගත නොහැකි කිනම් හෝ ගුප්ත ශාස්ත්‍රීය පදනමක් මත ඇති වූවකි. ලෝක ඉතිහාසයේ ආදී යුගයක මැක්සිකෝව සහ මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව අතර පැවැති ඉන්කා - මායා ශිෂ්ටාචාරය ද නූතනයේ විද්‍යා තාක්‍ෂණික වශයෙන් හැඳින්වෙන විෂය පථයෙන් තොරව ප්‍රබල දියුණුවක් ලබා ඇති බව අද වනවිට මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. 

එමෙන්ම විද්‍යා තාක්‍ෂණික වශයෙන් හඳුන්වන නවීන විද්‍යාවෙන් පරිබාහිර කිසියම් දියුණු තත්ත්වයට පත්ව ඇති මානව ශිෂ්ඨාචාරයන් අද ද ලොව ඉදහිට හෝ දක්නට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් එය ප්‍රසිද්ධ වුවත් රහසක් ලෙස පවතින්නේ විද්‍යා තාක්‍ෂණය දේවත්වයෙන් සලකන නූතන සමාජය විසින් එම කරුණු නොසළකා හැරීම වසන් කොට තිබීම නිසාය. 

දූරාතීතයේ අප රටේ ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ගොඩනගා ගත් ශිෂ්ටාචාරය ද එබඳු කිසියම් ප්‍රබල තත්ත්වයක පැවැතුණු බව සාධාරණ ලෙස අනුමාන කළ හැකි ය. මහාවංශය ඇතුළු වංශකතා මූලාශ්‍ර මගින් පැවසෙන අන්දමට විජයාවතරණයට පෙර අප රටේ ජීවත් වූ යකුන් හට අන්‍යයන්ට නොපෙනී හිදීමේ සහ විවිධ අයුරින් වෙස් මාරුකර ගැනීමේ අධි මානුෂික ශක්තීන් තිබී ඇත. මේවා බොහෝ විට සාහිත්‍යකරුවන් විසින් ගොඩනගන ලද කාව්‍යාත්මක අර්ථ නිරූපණ වීමට බැරි කමක් නැත. එහෙත් මෙම ප්‍රකාශයන්හි කිනම් හෝ සැඟවුණු යටි අරුතක් ඇත්තේම නැතැයි කිව හැක්කේ කාටද? එනිසා මේ මත ඉඳුරාම බැහැර කිරීමට පෙර මේවා තුළ ඇති සාධනීය කරුණු අපගේ විමර්ශනයට ලක්විය යුතුය. 

දුරාතීතයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමි පැවැති බවට විවිධ අයුරින් අනුමාන කළ හැකි ප්‍රදේශ බොහොමයක් අප රට තුළ තිබේ. ඒ අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පූර්ව ඓතිහාසික සහ ප්‍රාග් ඓතිහාසික නටබුන් ගහණත්වය මත ශ්‍රී ලංකාවෙන් ප්‍රමුඛත්වයක් හිමිකර ගන්නා ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මතු කරගත හැකි යක්‍ෂ ගෝත්‍රිකයන් පිළිබඳ මානව විද්‍යාත්මක සාක්‍ෂි ප්‍රමාණය ද සුළුපටු නැත. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් යක්කඩුව (යක්‍ෂයන්ගේ අසිපත පිහිටි තැන), බෙම්මුල්ල (භීම හෙවත් බිය ගෙන දෙන මුල්ල), යක්කල (යක් ූ වල හෙවත් යකුන් සිටි කැලය), යකුන්කෙළිය (යක්‍ෂයන් ක්‍රීඩා කළ ස්ථානය), යකහටුව (යක් ූ අටුව හෙවත් යක්‍ෂයන්ගේ ධන්‍යාගාරය) ඒ සම්බන්ධ ග්‍රාමනාම වශයෙන් ගත හැකි සාක්‍ෂි කිහිපයකි. 

දෙවියන්ට කන්නලව් කිරීම, දෙවියන් පිදීම, බාරහාර වීම සහ ඔප්පු කිරීම කපු මහතුන් සතු කාරියක් බව අපි කවුරුත් දනිමු. යකැදුරන් හෙවත් කට්ටඬියන් යනු යකුන් පළවාහරින හෝ යකුන් බැඳගන්නා එමෙන්ම කපු මහතුන්ට ඉඳුරාම වෙනස් වෘත්තිකයන් පිරිසකි. එහෙත් දෙවියන් වෙනුවෙන් කැපවූ කපු මහතුන් හෝ යකුන් පළවා හැරීම නැතහොත් බැඳ ගැනීම වෙනුවෙන් කැපවූ යකැදුරු මහතුන් නොවන තවත් විශේෂ වෘත්තිකයෝ පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙති. ඔවුන් හඳුන්වනුයේ ‛යක් කපු මහතුන්’ ලෙසිනි. මෙම යක් කපු වෘත්තිය ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලත් බලපැවැත්වෙන්නක්ද යනුවෙන් විමැසීමට මම බොහෝ උත්සාහ දරා ඇත්තෙමි. එහෙත් ගම්පහ දිසාව රයිගම් කෝරළය සහ හේවාගම් කෝරළය ආදී ප්‍රදේශවල යකුන් උදෙසා පුද පිළිවෙත් කිරීමට කැපවූ කපු වෘත්තියක් ලංකාවේ සෙසු ප්‍රදේශව එතරම් ව්‍යාපෘතියක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි සපයා ගැනීමට මට නොහැකි විය. 

ශ්‍රී ලාංකීය ජන සමාජයේ අදහනු ලබන දෙවිවරුන් අතර යක්‍ෂ සම්භවයේ දෙවිවරු ද වෙති. ඒ අතුරින් සූනියම් ගම්බාර දෙවියන්ට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි. දේවාලවලදී ශුද්ධ සූනියම් ගම්බාර නමින් පුද පිළිවෙත්වලට ලක්වන මෙම සුරිඳුන් බලිතොවිල් ශාන්තිකර්මවලදී හැඳින්වෙනුයේ ඔඩ්ඩි සූනියම් යක්ෂයා ලෙසිනි. මෙය තවදුරටත් විස්තර කළහොත් සූනියම් ගම්බාර දේවාලවලදි කපු මහතුන්ගේ ගෞරව සම්ප්‍රයුක්ත ආමන්ත්‍රණවලට, කන්නලව්වලට හිමිකම් කියන මෙම සුරිඳුන් තොවිල්පලවලදි ‛ඔඩ්ඩි මස්සිනේ’ යනුවෙන් තොවිල් ඇදුරන්ගේ හෘදයාංගම ආමන්ත්‍රණයට ලක්වන බව නොරහසකි. එහෙත් මා මේ කියන ගම්පහ දිසාවේ අදටත් ජීවත්වන යක් කපු මහතුන් යනු ඊට වඩා වෙනස් වෘත්තිකයන් පිරිසකි. ඔවුන් මෙලෙස භක්ත්‍යාදරයෙන් යුතුව පුද පිළිවෙත් පවත්වනුයේ ‛යක් ආණ්ඩුව’ නමින් හඳුන්වනු ලබන යක්‍ෂ සමූහයකටය. 

සාමාන්‍යයෙන් රටේ ජනතාව පීඩාවට පත් කරන රජයක් හැඳින්වීම උදෙසා ද සමහරු මෙම යක් ආණ්ඩුව යන නම යොදති. එහෙත් මෙම යකුන් පිදීමේ යාතු කර්මවලදී ‛යක් ආණ්ඩුව’ ලෙස හඳුන්වනුයේ දුරාතීතයේ සිට ගම්පහ දිසාව පාලනය කළ යක්ෂ නායකයන් පිරිසක් විය යුතුය යන්න මගේ වැටහීමය. ඒ බව මනාව තහවුරුවනුයේ මෙම යක් කපුමහතුන් යක් ආණ්ඩුව සඳහා සිදුකරනු ලබන පුද පිළිවෙත් සියුම් ලෙස විශ්ලේෂණය කරන විටය. ඒ මොනවාදැයි අපි ලබන සතියේ විමසා බලමු. 

පෙර ලිපිය