දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, September 27, 2014

රන්වල දෙවියෝ මුල්වරට තම දේවත්වය ප්‍රකාශ කරති - God Ranawala Expressed his divinity for the first Time

රන්වල ශ්‍රී ශෛලාසනාරාම පුරාණ විහාරය ඉදිරිපිට ඇති රන්දෙවි ප්‍රජා ශාලාවේ දේවදානය පිළියෙල කරන අයුරු

රන්වල මුත්තාගේ මරණයෙන් පසු ඒ ප්‍රදේශයට ඇති වූ දුර්දසාවට හේතුව මුත්තා බලවත් ආත්මයක් ලබා තමන්ට අවසන් කාලයේ නොසැළකූ ගම්වැසියන්ගෙන් පළිගැනීම බව ගම්මුන්ට රහසක් වුණේ නැහැ. මුත්තාගේ ශාපය තමන්ට වැදී ඇතැයි ගම්මුන් තරයේම විශ්වාස කළා. මෙය කැලණි දෙගම්බඩ ගම්මාන දාහතරක් කෙරෙහි බලපැවැත්වුණු බවයි පැවසෙන්නේ. එනම් සියනෑ කෝරළයේ ගම්මාන හතක් සහ හේවාගම් කෝරළයේ ගම්මාන හතක් වශයෙනුයි. මේ තත්වය නිසා ගැමියන්ගේ වගා පාලු වන්නටත්, ගැමියන් අතරේ වසංගත රෝග පැතිර යන්නටත්, ගැමියන්ගේ අතමිට සිඳී යන්නටත් පටන්ගත් අතර ඇතැමුන් වරින් වර දක්නට ලැබෙන අද්භූත දර්ශනවලින් බියපත්වීමේ තත්වයක් ද පළකළා. මෙයට හේතුව රන්වල දෙවියන් ප්‍රබල ආත්මයක් ලබා ගත් නමුත් එසේ ලබාගෙන ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික දේව ආත්මයක් නිසා බවයි බොහෝ අයගේ විශ්වාසය වුණේ. අපේ බෞද්ධ සංස්කෘතියට අනුව වුණත් හැම දෙවියකුම සම්‍යක්දෘෂ්ටික නැහැ. බෞද්ධ සාහිත්‍යයේ එන අන්දමට බුදුරදුනට පවා වින කළ මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් සිටිනවා. බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙන පරිදි ‛වසවර්ති මාර’ නම් දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානා තෙක්ම විවිධ කෙනෙහිලිකම් කළ බවට තොරතුරු දැක්වෙනවා. අදටත් කාලි, දුර්ගා, සූනියම් වැනි අප සමාජයේ ඇදැහෙන දෙවිවරුන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් ලෙස සළකන්නට බැහැ. 

කෙසේ හෝ මුත්තාගේ ආත්මයෙන් ජන සමාජයට සිදුවන මේ දුක් ගැහැටවලින් මිදීම පිණිස කළයුතු වත්පිළිවෙත් පිළිබඳව මේ ගම්මානවල ජීවත්වූ ගැමියන් නිතර දෙවේලේ සෝදිසියෙන් සිටියා. මේ අතර එල්ලක්කල දේවාලයකදී ආවේශ වූ කපුවකු හෝ එහි දේවාලයකදී කියැවුණු පේනයකදී හෝ ප්‍රථම වතාවට රන්වල දෙවියන් තම දේවත්වය පිළිබඳව ප්‍රකාශ කොට තිබෙනවා. එහිදී රන්වල දෙවියන් පැහැදිලිවම පවසා ඇත්තේ තමන් දිවිහිමියෙන් පිහිට වූ සහ ඇප උපකාර කළ ගැමියන් තමන්ගේ ජීවිතයේ අවසාන මොහොතේදී තමන් නොතකා හැරීම සම්බන්ධයෙන් හටගත් සිත්වේදනාව නිසා ඔවුන් කෙරෙහි තදබල වෛරයක් සහ පළිගැනීමේ චේතනාවක් තමන් තුළ පවතින බවයි. ඒ සඳහා කුමක් කළ යුතුදැයි විමසා සිටි විට එම පේනයෙන් හෝ ආරූඪයෙන් කියැවී ඇත්තේ  මරණාසන්න වකවානුවේදී තමන්ට බත් කටක් නොදුන් සියලු දෙනා තමන් වෙනුවෙන් හැකිතාක් දානය පිළියෙල කොට දිය යුතු බවයි. ඒ දානය සඳහා යොදාගත යුතු  සහ යුතු නොවන ව්‍යංජන ආදිය පිළිබඳවත් දෙවියන් ඒ ආරූඪයෙන් හෝ පේනයෙන් පවසා තිබෙනවා. මස් වර්ග, පුහුල්, අලු කෙසෙල් දානය සඳහා කැප නැති බවත් කරවල, මඤ්ඤොක්කා වට්ටක්කා සහ අච්චාරු ආදිය කැප බවත් දෙවියන් ආරූඪයෙන් හෝ පේනයෙන් විස්තර කොට තිබෙනවා. එමෙන්ම තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේදී ආහාර ස්වල්පයක් දීම සඳහා ආහාර නොපිසීමේ වරදට ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වය වන කාන්තාවන්ට දෙන දඬුවමක් වශයෙන්  වශයෙන් තමන් කිසිම දිනෙක කාන්තාවන් පිසින ආහාර දානය වශයෙන් භාර නොගන්නා බවත් ඒ පේනයෙන් රන්වල දෙවියන් පවසා සිටියා. 

රන්වල ශ්‍රී ශෛලාසනාරාම පුරාණ විහාරය ඉදිරිපිට ඇති රන්දෙවි ප්‍රජා ශාලාවේ දේවදානය පිළියෙල කරන අයුරු

සාමාන්‍යයෙන් දේවාලවල මුරුතැන් බත් මුළුමනින්ම පිළියෙල කෙරෙන්නේ පුරුෂ පාර්ශ්වය අතින්. ඊට හේතුව කාන්තාවන් ‛කිළි’ සහිත කොට්ඨාශයක් ලෙස අතීතයේදී සැළකීමේ පුරුද්දක් පැවතීමයි. දෙවියන්ට දානය පිසීමේදී  සැළකිල්ලට ගැනෙන මේ පූර්ණ පුරුෂ සහාගීත්වය ඉන්දීය බ්‍රාහ්මණ සමාජයේ බලපෑමෙන් අප සංස්කෘතියට අවශෝෂණය වූවක් සේ සැළකිය හැකියි. නමුත් රන්වල දෙවියන් සම්බන්ධ දානය පිළියෙල කිරීමේ පිළිවෙත් පුරුෂ පක්ෂයට පමණක් සීමා වූයේ රන්වල දෙවියන්ගේ නියමයක් නිසා බවයි ජන විශ්වාසයේ පවතින්නේ්. සාමාන්‍යයෙන් අද පවා නිවසේ දානමාන පින්කම් පැවැත්වෙද්දී ආහාර පිළියෙල කිරීමේ කටයුතුවල සිට දානය පිළිගැන්වීමේ කටයුතු ඇතුළු බොහෝ කාර්යයන් සඳහාු මූලික වන්නේ කාන්තාවන්. රන්වල දෙවියන් ‛රන්වල මුත්තා ලෙසින් සිය ජීවිතයේ සැඳෑ සමය ගතකරද්දී ද එතුමාට දානමාන පිළියෙල කොට රැගෙන යන්නට ඇත්තේ කාන්තාවන් යැයි සිතන්නට පුළුවන්. ඒ අනුව රන්වල මුත්තාට දානය පිළියෙල කරගෙන පැමිණීම අතපසු කරන ලද්දේ ද මොවුන් විසින්මයි. එතුමන්ගේ සිතේ මේ පිළිබඳව කෝපයක් ද පවතින්නට ඇති. තමන් වෙනුවෙන් දානමාන පිළියෙල කිරීමේ කටයුතුවලින් කාන්තාවන් ඉවත් කළ යුතු යැයි එතුමා නියමයක් පනවන ලද්දේ ඒ නිසා වන්නටත් පුලුවන්. 

1980 වසරේදී මට මුල්වරට අසන්නට ලැබුණු මේ කතා ප්‍රවෘත්තියත් පූගොඩ පට්ටියගම ශ්‍රී දීපදුත්තාරමාධිපති ව වැඩසිට අපවත්වී වදාළ පූජ්‍ය ඕවිටිගම නන්දසාර ස්වාමීන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දක්. තමන් වහන්සේගේ උපන් ගම වන පූගොඩ ඕවිටිගම ප්‍රදේශයේ රන්වල දේව භක්තිය අතීතයේ සිට පුළුල්ව පැතිර තිබූ බව උන්වහන්සේ මා හා ප්‍රකාශ කළා. 


එමෙන්ම රන්වල දෙවියන්ගේ සිත සතුටු කළ හැකි තවත් ක්‍රමයක් තිබේදැයි එම පේනයෙන් විමසා සිටිය විට දෙවියන් ඊට පිළිතුරු දී ඇත්තේ තමන් තැනූ ආකාරයේ පුහුල් පහන් දල්වා කැලණි ගඟ අද්දර හෝ ගළාගෙන යන දිය පහරක් අද්දරින් තැබීම තමන් සතුටට පත්කරවන්නක් බවයි. මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට රන්වල මුත්තා දැල්වූ පුහුල් පහන් තමන් ද දල්වා තැබීමෙන් තමන්ගේ ජීවිතවලටත් කිසියම් ගැළවුමක්, පිහිටක්, සහනයක් ලැබෙන බව ගැමියන් හට තරයේම ඒත්තු ගියා. ඒ අනුව අදත් රන්වල දෙවියන් සඳහා පවතින ප්‍රධානතම චාරිත්‍ර දෙක වන්නේ දේවදානය සහ පුහුල් පහන් තැබීමයි. එහිදී මෙම දේවදානය පිසීම මුළුමනින්ම පුරුෂ පක්ෂය විසින් කරනු ලැබීම අදත් දක්නට පුළුවන්. එමෙන්ම මේ දේවදානය පිසීමට කිසියම් සහයක් ලබාදෙන්නේ ජීවිතයේ සන්ධ්‍යා භාගය ගත කරන, එනම් ජීව විද්‍යාත්මකව කිවහොත් ආර්ථවහරණයට පත් වියපත් කතුන් පමණයි. රන්වල දෙවියන් අදහන ප්‍රදේශ තුළ මසකට දේවදාන සිය ගණනක් පිළියෙල වුවත් ඒ කිසිවක් පිසීමට කාන්තාවන් සම්බන්ධ වන අයුරු ඒ ප්‍රදේශවල කිසිවකුත් දැක නැහැ. එසේ රන්වල දෙවියන් සඳහා දේවදානය පිළියෙල කිරීම සඳහා හවුල් වීමෙන් රන්වල දෙවියන්ගේ පිහිට ලැබීම වෙනුවට විපත් කරදරවලට ලක්වීමට සිදුවන බවට එම ප්‍රදේශවල කතුන් තුළ යම් බියක්, චකිතයක් තිබෙනවා වන්නට පුලුවන්. දේවදානය පිසීමේදී පැනවූ තහංචිය දේවදානය අනුභවයේදී කාන්තාවන්ට පනවා නැහැ. නමුත් කාන්තාවන් එසේ දේවදානය අනුභව කළ යුත්තේ පුරුෂ පක්ෂය අනුභව කිරීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් අපේ ගම්බද පිළිවෙල ද එයම නිසා දෙවියන්ගේ ඒ තීරණය අසාධාරණ යැයි කියන්නට බැහැ. 

කෙසේ හෝ රන්වල දෙවියන් කාන්තාවන් සම්බන්ධයෙන් ඇති මේ සුළු ආරෝව තවමත් එළෙසම පවතින බවට ගැමියන් තුළ විශ්වාසයක් පවතිනවා. රන්වල දෙවියන් පිළිබඳ පුළුල් ගවේෂණාත්මක හැදෑරීමක් කළ විද්වතකු වන පූගොඩ, නිකවල, බානගල පාරේ  විශ්‍රාමලත් විදුහල්පති ආර්.ඒ. පියදාස මහතා පවසන්නේ කාන්තාවන්ගේ ඇතැම් චර්යාවන්, එනම් කැලණි ගඟ අද්දර කොණ්ඩය උණාගෙන ගමන් කිරීම සහ ඇතැම් අශ්ලීල හැසිරීම්  හමුවේ රන්වල දෙවියන් තවමත් ඔවුන්ට දඬුවම් පමුණුව බවට ජන විඥානයේ තහවුරු වී ඇති බවයි. බොහෝ විට මේ දඬුවම වන්නේ ඒ කාන්තාවන්ට වැළඳෙන උණ රෝගයක් බවයි පැවසෙන්නේ. 

කෙසේ හෝ එවැනි පුහුදුන් ලක්ෂණ මතු කළත් රන්වල දෙවියන් බෞද්ධ උපාසකයකු බව ජන විඥානයේ තරයේම ස්ථාපිත වී තිබෙනවා. ඊට හේතුව රන්වල දෙවියන් ඉන් පසුව උපාසක ස්වරූපයෙන් ජනතාව හමුවේ දර්ශනය වීමයි. එසේ සිදුවූ අවස්ථාවන් සහ එතුමන්ගේ හාස්කම් පිළිබඳව අපි ලබන සතියේ කතා කරමු. 


ඡායාරූප - සහන් සංකල්ප සිල්වා 

Saturday, September 20, 2014

ගැමියන් බියෙන් මුසපත් කළ රන්වල මුත්තාගේ මරණය - Death of Ranwala Muththa which scared the Villagers

කිරිඳිවැල නගර මධ්‍යයේ ඇති රන්වල දේව ප්‍රතිමාව 


රන්වල මුත්තා මරණයෙන් පසු රන්වල දෙවියන්ලෙසින් දේවත්වයට පත් වූ බව කිසිවකුටත් රහසක් නොවෙයි. නමුත් එසේ දේවත්වයට පත්වීම සම්බන්ධ කාරණා රන්වල දෙවියන්ගේ කතාවේ ඉතා අප්‍රකටව පැවැතීම විස්මයට කරුණක්. සෑම ප්‍රාදේශීය දෙවි කෙනෙකුම දේවත්වයට පත්වීම සම්බන්ධ විශේෂිත කතා ප්‍රවෘත්තීන් තිබෙනවා. ඒවාගේම ප්‍රාදේශීය දෙවිවරුන් දේවත්වයට පත්ව ඇති ආකාර පිළිබඳ මානව විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් ආකෘතිමය වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අංග වන්නේ එසේ දේවත්වයට පත් වූ තැනැත්තා ජීවත්ව සිටි කාලය තුළදී,

1. බොහෝ දෙනෙකුට හිත සුව සැලසූ අයකු වීම.
2. බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට ලක් වූ පුද්ගලයකු වීම.
3. එවක සමාජ විරෝධියකු ලෙස හඳුන්වනු ලැබූ මුත් මරණයෙන් පසු ඔහුගේ ක්‍රියාකලාපයන් සාධාරණීකරණයට ලක් වීම.
4. ජීවත් වූ කාලයේ බොහෝ දෙනෙකු තුළ භීතියක් දැන වූ පුද්ගලයකු වීම.
5. බොහෝ දෙනෙකුගේ ආදරයට, දයානුකම්පාවට ලක් වූ පුද්ගලයකු වීම.
6. විශේෂිත ආකාරයකින් මරණයට පත් වූ, නැතහොත් අතුරුදන් වූවකු වීම.

ඉහත සඳහන් පුද්ගලයන් දේවත්වයට පත් වූ බව ප්‍රකට කෙරෙන ආකාර පහක් ද ප්‍රාදේශීය දෙවිවරුන්ගේ උත්පත්ති කතා සහ යාදිනි, කෝල්මුරවලින් මෙසේ හඳුනාගත හැකියි.

1. යමෙකුට සිහිනයෙන් පෙනී දේවත්වය දැනුම්දීම.
2. ජන සමාජය හමුවේ විශේෂිත සිද්ධියක් පහළ වීම.
3. යම් ප්‍රදේශයකට වදුරු වසංගත හෝ ස්වභාවික ව්‍යසන එළැඹීම.
4. පේනයක් මගින් ප්‍රකාශයට පත් වීම.
5. දෙවොලක කපුවකුට ආවේශ වී දේවත්වය ප්‍රකාශකිරීම.

නමුත් රන්වල මුත්තා රන්වල දෙවියන්නමින් දේවත්වයට පත්වීම පිළිබඳ  කේන්ද්‍රීය කතා ප්‍රවෘත්තිය අදවන විට  ජන විඥානයෙන් ගිළිහී යන්නට හේතුව සිතා ගත නොහැකි නමුත් මීට වසර තිස් හතරකට පෙර, එනම් 1980 දී මට ඒ කතා ප්‍රවෘත්තිය මුල්වරට අසන්නට ලැබුණා. ඒ පූගොඩ පට්ටියගම ශ්‍රී දීපදුත්තමාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය ඕවිටිගම නන්දසාර හිමිපාණන් වෙතින්. උන්වහන්සේගෙන් අසාගත් තොරතුරුවලට අනුව ඒ කතාව මෙසේ දිග හැරිය හැකියි.

රන්වල මුත්තා ජීවිතයේ අවසාන භාගයේ ඉතා මහලුව සිටියදී පවා රාත්‍රී කාලයේ කැලණි ගඟේ යන ඔරු පාරු අනතුරුවලින් ගළවාගැනීම පිණිස පුහුල් පහන් තනා දැල්වීම සිදු කළා. මෙහිදී එතුමන්ට ඔරු පාරුකරුවන්ගේ සහය ලැබුණු බවත් පැහැදිලියි. විශේෂයෙන් කැලණි ගඟේ ගසාගෙන යන පොල් ගෙඩි, ඔරු පාරුකරුවන් අතට පත් වූ විට ඔවුන් ඒවා රන්වල මුත්තාගේ අසපුව අද්දරින් දමා යාමට අමතක කළේ නැහැ. රන්වල මුත්තා කළේ ඒ පොල්වලින් තෙල් සිඳ  මෙම පහන් දැල්වීම සඳහා ඒවා යොදාගැනීමයි.

මේ අතර රන්වල මුත්තා ජීවිතයේ වයෝවෘද්ධභාවයට පත්වන විට එතුමන්ගේ සහායට ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ද ඉදිරිපත් වී තිබෙනවා. නමුත් ඔවුන් ගුණධර්මවලින් සපිරි අය ලෙස හැඳින්වෙන්නේ නැහැ. කෙසේ හෝ රන්වල මුත්තාගේ මේ උතුම් වූ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි වසඟ වූ ඔවුන් රන්වල මුත්තාගේ මේ කාර්යයට තම උපරිම සහාය දක්වා තිබෙනවා. විශේෂයෙන් රන්වල මුත්තා වියපත් වීමෙන් පසුව එතුමන් වෙනුවෙන් කැලණි ගඟේ අනතුරුදායක ස්ථානවල පුහුල් පහන් දැල්වීම, මෙම පුද්ගලයන් දෙදෙනා විසින් සිදුකරනු ලැබූ බව පැවසෙනවා.

මේ කාලයේ ප්‍රදේශයේ ගැමියන් සලාක දාන ක්‍රමයට රන්වල මුත්තාගේ අසපුවට දානය පිරිනැමීමේ පුරුද්දක් පැවතී තිබෙනවා. ඒ වයසින් අබල දුබලවීමත් සමඟ රන්වල මුත්තාට ආහාර පිසගැනීමට තිබූ නොහැකියාව නිසා වන්නට පුලුවන්. කෙසේ හෝ රන්වල මුත්තාට මේ ආකාරයට සලාක ක්‍රමයට දානය ලබාදීමෙන් තමන්ගේ ජීවිතවලට කිසියම් ආධ්‍යාත්මික සුව සහනයක් ලැබෙන බව ගැමියන් විශ්වාස කළාට සැකයක් නැහැ.

මේ පවසන්නට යන සුවිශේෂ සිද්ධියට මුල පුරන්නේ එක්තරා දිනයක්. දිගු නියං සමයකට පසු එදින සන්ධ්‍යා සමයේ මහා ධාරානිපාත වැස්සකට මුළ පිරුවා. ඒ වර්ෂාව කොතරම් බරපතල ද කිවහොත් රාත්‍රී කාලය පුරා අඛණ්ඩව ඇදහැලුණු ඒ වර්ෂාව නිසා කිසිම ගැමියෙකුට කිසිවක් කරකියාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අකුණු ගසමින්, සුළං හමමින් රැය පහන්වනතුරුම මෙම වර්ෂාව ඇදහැලී තිබෙනවා. මේ අනුව එම වර්ෂාව කොතෙක් බරපතල ද කිවහොත්  පසුදා අලුයම වන විට කැලණි ගඟේ ජලමට්ටම පවා ශීඝ්‍රයෙන් ඉහළ නැංවී තිබෙනවා. නමුත් සුපුරුදු පරිදි රන්වල මුත්තාගේ අසපුව ඉදිරියේ මුත්තා දර්ශනය වුණේ නැහැ. මේ ගැන වැඩිදුර සොයා බැලීමට සිතා එතුමන්ගේ අසපුවට හිස පෙවූ ගැමියෙකුට දැකගත හැකි වී ඇත්තේ එහි යහන මත තිබෙන රන්වල මුත්තාගේ මළ සිරුරයි. ඇතැම් ජනප්‍රවාදයකට අනුව මෙම වර්ෂාව දින තුනක් නොකඩා පැවති බවක් පැවසෙනවා.

කෙසේ හෝ රන්වල මුත්තාගේ මේ මරණයත් සමඟ ගමේ විශාල කැළඹීමක් ඇති වුණා. රන්වල මුත්තාගේ මරණය සම්බන්ධව ගැමියන් අතර සිදුවූ කතාවලදී ඉතා පැහැදිලිවම වැටහී යන දෙයක් වුණේ ගෙවී ගිය දින තුන තුළ සලාක ක්‍රමයට මුත්තාට දානය සඅපයීමේ යම් යම් අඩුපාඩු ඇතිවී තිබූ බවයි. කැලණි ගඟ පිටාර ගැලීම, වර්ෂාව නිසා ආහාර සකසා ගැනීමට සිදු වූ අපහසුව වැනි හේතු ඒ සඳහා බලපැවැත්වෙන්නට ඇති. කෙසේ හෝ රන්වල මුත්තාගේ ජීවිතය අවසන් වූ දින තුන තුළ එතුමන්ට තමන්ගෙන් නොපිරිහෙළා ඉටුවිය යුතු යුතුකම බරපතල ලෙස මගහැරී ඇති බව ගැමියන්ට ඒත්තු ගියා. ඉන්පසු ගැමියන් තුළ ඇති වූයේ විශාල භීතිකාවක්. රන්වල මුත්තාට සිදු වූ නොකටයුත්ත කිනම් අයුරකින් හෝ තමන්ගේ ජීවිත සහ ගම කෙරෙහි අහිතකර ලෙස බලපවත්වනු ඇතැයි ගැමියන් තුළ භීතියක් ඇති වුණා. ඔවුන් සිතුවා සේම රන්වල මුත්තාගේ මරණයෙන් පසු එකදිගටම දින හතක් මේඝ ගර්ජනා, අකුණු, සුළි කුණාටු සහිතව ඒ ප්‍රදේශයට මහා වර්ෂාවක් ඇද හැලී තිබෙනවා. කැලණි ගඟ දෙපස ගම් හතක් මුළුමනින්ම ගංවතුරින් යටවී තිබෙනවා. එසේම ගංවතුරෙන් පසුව ප්‍රදේශය පුරා දරුණු උණ රෝගයක් ද පැතිරගොස් තිබෙනවා. ඉන් ගමේ සෑහෙන කොටසක් මරණයට පක් වූ බව සඳහන්. රන්වල මුත්තාගේ මරණයෙන් පසු ගමට මෙවන් අභාග්‍යයක් සිදු වූයේ රන්වල මුත්තා නොමැතිකමටත් වඩා රන්වල මුත්තාට සිදුවූ අසාධරණය මුල්කොට ඔහු මරණයෙන් පසුව බලවත් ආත්මයක් ලබා  ගැමියන් කෙරෙහි තදබල කෝපයකින් ඔවුන්ගෙන් පළිගැනීමට පෙළඹීම නිසා බවට කතාවක් ගම පුරා පැතිර ගියා.

රන්වල මුත්තා මිය ගිය බව ගැමියන් දැනගත්තත් කැලණි ගඟේ ඔරු පාරුකරුවන්ට මේ බව දැනගන්නට ලැබුණේ නැහැ. ඊට හේතුව ගංවතුර නිසා ගඟේ ඔරු පාරු ගමනාගමනය සතියකටත් වඩා මුළුමනින්ම නතර වී තිබීමයි. නමුත් රන්වල මුත්තා මිය ගිය බව ගැමියන්ගෙන් විටින් විට දැනගන්නට ලැබෙන විට ඔවුන් ගැමියන්ගේ මෙසේ අසන්නට පටන් ගත්තා.

එහෙම වෙන්න විදියක් නැහැනේ. උන්දෑ මැරුණයි කියන දවස් වලට පස්සෙත්  උන්දැගේ පැළේ අර පහන පත්තුවෙනවා අපි දැක්කනේ. ගඟේ භයානක තැන්වල පුහුල් පහනුත් තිබුණනේ.

රන්වල මුත්තා යම්කිසි ප්‍රබල ආත්මභාවයකට පැමිණ ඇති බව ගැමියන් තහවුරු කරගත්තේ මේ කතාව නිසයි.

මුත්තා අප සමඟ අමනාපයෙන් දැන් ගම පුරා විපත් පමුණුවනවායන රාවය ගමපුරා පැතිර ගොස් මුත්තාගේ ශාපයෙන් මිදීම සඳහා පිළියම් යෙදීමට ගම්මුන් යුහුසුළු වුණා.

ගැමියන් මුත්තාගේ ශාපයෙන් මිදුණාද? ඒ ගැන අපි තවත් ලිපියකින් කතා කරමු.



ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

ඊළග ලිපිය - රන්වල දෙවියෝ මුල්වරට තම දේවත්වය ප්‍රකාශ කරති

Tuesday, September 16, 2014

මිනිස් ජීවිත බේරාගන්නට පුහුල් පහන් තැනූ රන්වල මුත්තා - Ranwala Muththe who made 'PUHUL PAHAN' alias the lanterns made in a shape of pumpkins for saving lives

රන්වල දෙවියන් තැනූ පුහුල් පහනේ හැඩයෙන් යුතු ගොක්කොල පුහුල් පහන්

රන්වල දෙවියන් මිනිස් දිවියක් ගත කළ කාලය පිළිබඳ පුරාවෘත්තයන්හි නොයෙකුත් විෂමතා තිබුණත් එතුමාගේ අසිරිමත් චරිතාපදානය පිළිබඳ පොදු කාරණයක් තිබෙනවා. එනම්  එතුමන් ජීවත්ව සිටි කාලයේ ජීවිතේ මැදි වයසේ සිට කැලණි ගඟ අසබඩ අසපුවක් තනා එහි ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ බවයි. මේ ස්ථානය වත්මන් ‛රන්වල තොටුපොළ’ බවයි පොදු ජන විශ්වාසයේ පවතින්නේ. නමුත් ඒ පිළිබඳ වඩාත් විමසිලිමත්වීමේදී පෙනී යන්නේ දැනට එම අසපුව තිබූ බවට අනුමාන කෙරෙන ස්ථානය, එසේත් නැත්නම් එය පැවති සීමාව ගං දියට එක් වී ඇති බවයි. එයට හේතුව එතුමන් ජීවත්ව සිටි සමය, එනම් දහහත්වැනි සියවසේ පැවැති ප්‍රමාණයට වඩා වර්තමානයේ විවිධ පාරිසරික සාධක හේතුකොටගෙන ගං ඉවුරු කඩා වැටී කැලණි ගඟ පුළුල් වී තිබීමයි. ඒ නිසා එතුමන් සිටි අසපුව ගං දියඹ සීමාවට එක්ව ඇති බවයි අනුමාන කළ හැක්කේ. මීට වසර ගණනාවක් දක්වා වැලි තොටුපොළක්ව පැවැති මෙම ස්ථානයට අයත් භූමි භාගයෙන් කොටසක් වර්තමානයේ පෞද්ගලික ඉඩමක් ලෙස වෙන් කොට තිබෙනු දක්නට පුලුවන්. 

රන්වල දෙවියන් සිය මැදි වයසේදී මනා දේහධාරීව, ඉතා ප්‍රබල පෞරුෂයක් සහිතව ජීවත් වූවකු  බවට අනුමාන කළ හැකියි. එබැවින් රන්වල දෙවියන් ජීවත් වූ රන්වල ප්‍රදේශයේ සමාජ විරෝධී, අවකල් ක්‍රියා කළවුන්ට එතුමන් මිනිස් වෙසින් ජීවමානව සිටි කාලයේදී කිසිදු බුරුලක් ලැබී නැහැ. එබැවින් එම කාලයේ රන්වල දෙවියන්ගේ පෞරුෂය නිසා එවැනි නොහොබිනා පුද්ගලයන් ගමෙන් පිටුවහල් වී ගිය බවත් පැවසෙනවා. කෙසේ හෝ පොදු ජනතාවට අතිශය හිතවත්ව සිටි රන්වල දෙවියන් ගම්මුන්ගේ පෞරුෂ, පවුල් සහ සමාජ ප්‍රශ්නවලදී ඒවා විසඳා දෙන්නට ඉදිරිපත් වී ඔවුන් වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කළ බව විශ්වාස කරන්නට පුලුවන්. එමෙන්ම විවිධ ලෙඩරෝගවලට පිළියම් කිරීම සඳහා එතුමන් සතුව පුදුමාකාර අත්ගුණයක් පැවති බවටත් තොරතුරු දැනගන්නට ලැබෙනවා. කෙසේ හෝ ජීවිතයේ සන්ධ්‍යා භාගයට එළැඹෙත්ම එතුමා සිය ආධ්‍යාත්මික සංවර්ධනය ඉතා ඉහළ තලයකට නංවා ගත් බවයි පැවසෙන්නේ.  එතුමන් ජීවත් ව සිටි කාලයේ මාසයේ පොහොය සතරටම ඔරුවක නැගී කැලණි ගඟ ඔස්සේ  කැලණි විහාරය වන්දනා කරන්නට පැමිණි බව ජනප්‍රවාදවල සඳහන්. ඒ පිළිබඳව විස්තරයක් සුසන්ත ජයමාන්න මහතා ලියූ ‛අසිරිමත් කැලණිය’ නම් කෘතියේ ද සඳහන් වෙනවා. එතුමන් මේ ආකාරයට කැලණි විහාරය වැඳ පුදාගෙන ඔරුවේ නැගී සිය අසපුව පිහිටි රන්වල ප්‍රදේශයට යළි පැමිණීමේදී අවට සිටි කුඩා දරුවන්ට තෑගිබෝග රැගෙන ආ බවටත්, එතුමන් පැමිණෙන තුරු කුඩා දරුවන් රන්වල තොටුපොළේ බලා සිටි බවටත් තොරතුරු ජනප්‍රවාදවලින් සොයාගන්නට ලැබෙනවා. 

රන්වල දෙවියන් තැනූ පුහුල් පහනේ හැඩයෙන් යුතු ගොක්කොල පුහුල් පහන්

ඒ වාගේම එතුමන් කළ තවත් සුවිශේෂී ක්‍රියාවක් නම් කැලණි ගඟේ යන ඔරු පාරුවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමයි. මේ කාලය වන විට පහත රට ඕලන්ද බලය පැතිරී තිබූ අතර කොළඹ සහ කන්ද උඩරට අතර භාණ්ඩ හුවමාරු කටයුතු සඳහා ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස ලෙස යොදාගත්තේ ද කැලණි ගඟයි. තොටළඟින් ගමන් අරඹන භාණ්ඩ පුරවාගත් ඔරු පාරු කැලණි ගඟ ඔස්සේ සීතාවක හරහා ගුරුගොඩ ඔයට අවතීර්ණවී අරන්දර පිහිටි ඕලන්ද බලකොටු ප්‍රදේශය දක්වා ගමන්කොට තිබෙනවා.  එතැනින් කන්ද උඩරට කරා භාණ්ඩ රැගෙන ගිය බවත් ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. එනිසා කැලණි ගඟේඳී ඔරු පාරු අනතුරට ලක්වීම මේ කාලයේ බහුලව සිදුවන්නට ඇති. එයට හේතුව වූයේ කැලණි ගඟේ මෙම ප්‍රදේශයේ ‛ඇලි’ නමින් හඳුන්වන ශීඝ්‍රයෙන් ජලය ගලා බසින ස්ථාන සහ ගල්පර්වත කිහිපයක් පැවතීමයි. ජලය වැඩි කාලයට මේ ඇලි ඔස්සේ වේගයෙන් පහළට ඇදී යන ඔරු පාරු තොටියන්ට පාලනය කරගත නොහැකිව ගඟ මධ්‍යයේ පිහිටා තිබූ ගල්පර්වතවල හැපී විනාශයට පත්වී තිබෙනවා. විශේෂයෙන් මෙම අනතුරු වැඩි වශයෙන් සිදුව ඇත්තේ රාත්‍රී කාලය තුළයි. ඒ නිසා මෙම අනතුරු වැළැක්වීම පිණිස රන්වල දෙවියන් මිනිසත් වෙසින් වැඩසිටි කාලයේ ඉතා අපූරූ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වුණා. එනම් කැලණි ගඟේ පැවැති එවැනි අවදානම් ස්ථාන අවට අනතුරු හැඟවීමේ පහන් එල්ලා තැබීමයි. එතුමන් මෙම පහන් නිර්මාණය කළේ ද තමන්ගේම සංකල්පයකට අනුවයි. උණ බටයක් ගෙන, එය තීරුවලට කපා  ඒවායෙන් පුහුලක හැඩයෙන් යුතු කූඩු සකසා එය එය තුළ පහන් දල්වා තිබෙනවා. එහි අලෝකය දීප්තිමත් ලෙස පැතිරවීම පිණිස ගොක්කොළ යොදාගත් බවයි පැවසෙන්නේ. පහන් දැල්වීමෙන් පසු ගොක්කොල හරහා ගමන් කරන ආලෝකය ඉතා දීප්තිමත්ව, සෑහෙන දුරකට දිස්වන්නට ඇති. 

මෙම පහන් බැලූ බැල්මටම පුහුල් ගෙඩියක හැඩය ගන්නා නිසා ඒවා ‛පුහුල පහන්’ නමින් ප්‍රසිද්ධියට පත් වුණා. රන්වල දෙවියන් ජීවත්ව සිටි කාලයේ මෙසේ දැල්වූ පුහුල් පහන් නිසා කාලයක් තිස්සේ සිදුවුණු ඔරු පාරු අනතුරු ශීඝ්‍රයෙන් අඩුවී තිබෙනවා. මෙය එතුමන් පිළිබඳ ජනතා ප්‍රසාදය වැඩි වන්නට හේතුවක් වුණා.

තමන් ජීවත්ව සිටි රන්වල තොටුපොළට අමතරව දුම්බුකඩුව, නයිවලගල, කපුගොඩ, පල්ලියවත්ත, මල්වාන, ආදී තොටුපොලවල් පිළිබඳවත් හත්දූව ඇල්ල, දුම්බුකඩුව ඇල්ල ආශ්‍රිතවත්, පාරුගල සහ කොග්ගල නමින් ගඟ මැද පිහිටි පර්වත ආශ්‍රිතවත්, එතුමන් පුහුල් පහන් දැල්වීම සිදුකොට තිබෙනවා. ඒ නිසා කලක් යත්ම  මෙම කාලයේ කැලණි ගඟේ ඔරු පාරු යාත්‍රා කළ වුන්ගේ ගැළවම්කාරයා ලෙස රන්වල දෙවියන්ව ජනතාවට හැඟී යන්නට ඇති. එනිසාම ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී ඒ සැමදෙනා ‛රන්වල මුත්තා’ නමින් හඳුන්වා විශේෂ ගෞරව ආදරයක් පුදකරගන්නට ඇති බවයි විශ්වාස කළ හැක්කේ. 

මේ කාලය වනවිට වියපත්ව සිටියත් ඉතා නිරෝගී දිවි පෙවෙතක් ගතකළ රන්වල දෙවියන් එකල කැලණි ගං ඉවුරේ අසීමිතව පිපී තිබූ නාමල් නෙළාගෙන සතර පෝය දිනවලට ඔරුවක නැගී කැලණි විහාරයට ගොස් සිල් සමාදන් වී නැවත රන්වල තොටුපළට පැමිණි බවත් සඳහන් වෙනවා. කෙසේ හෝ වියපත් වනවිට මෙතුමා ඉතා ඉහළ ආධ්‍යාත්මික තත්වයකට පත්ව සිටි බවත් යම් රෝගියකුගේ අත ස්පර්ශ කළ පමණින් ඒ තැනැත්තාගේ සියලු රෝග නිවාරණය කරදමන්නට තරම් එම අත්ගුණය  ප්‍රබල වූ බවත් සඳහන් වෙනවා. එනිසාම රන්වල දෙවියන්ගේ මිනිස් ජීවිතයේ සන්ධ්‍යා සමයේදී එතුමන් සඳහා විවිධ පරිත්‍යාගකිරීමට කිරීමට ඔරු පාරුකරුවන් පෙළැඹී තිබුණා. විශේෂයේ ජීවිතයේ වයෝවෘද්ධ තත්වයට පැමිණි පසුත් තමන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදී සිටියත් එතුමන් සඳහා නිතිපතා ආහාරපාන සපයාදීමටත්, අනෙකුත් අවශ්‍යතා සොයා බැලීමටත් රන්වල අවට ගම්මුන් පෙළැඹී සිටියා. එයට හේතුව එතුමන්ට එසේ උදව් උපකාර කිරීමෙන් තම ජීවිතවලටත් විශාල සහන් සුවයන් ලැබෙන බවට ගැමියන් තුළ පැවති විශ්වාසයයි. 

වියපත්ව සිටියදී ‛රන්වල මුත්තා’ යනුවෙන් හඳුන්වනු ලැබූ එතුමා පසුකාලයේදී ‛රන්වල හාමුදුරුවන්’ යනුවෙන් හඳුන්වන්නට ඇත්තේ ජීවිතයේ අවසන් භාගයේදී එතුමන් තපස්වීවරයකු ලෙස ජීවත් වූ නිසා බවත් අනුමාන කළ හැකියි.

Friday, September 5, 2014

ගල් ලෙනක් තුළ යුග දිවිය ගෙවූ රන්වල දෙවියෝ - God Ranwala who spent the marriage in a cave

 රන්වල දෙවියන් යුග දිවිය ගත කළ බව පැවසෙන ගල්ලෙන

රන්වල දෙවියන් ජීවමාන සමයේ අවිවාහකව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ බවයි කලින් සඳහන් කළ පුරාවෘත්තයේ දැක්වෙන්නේ. නමුත් දැන් පවසන්නට සැරසෙන පුරාවෘත්තයට අනුව එතුමන් ජීවත්ව සිටි කාලයේ බ්‍රහ්මචාරී ජීවිතයට යොමුව ඇත්තේ විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පසුවයි. ඒ විවාහය ප්‍රේම විවාහයක් ලෙසත් අපට හැඟීයනවා. රන්වල දෙවියන් පිළිබඳ ඒ අපූරු ජන කතාව මට මුලින්ම අහන්න ලැබුණේ මීට අවුරුදු දහඅටකට පමණ කලින් කෝරළ තුන සහ පාත බුලත්ගම කෝරළයේ හිටපු විවාහ ලේකම්, අවිස්සාවේල්ලේ මානියම්ගම පදිංචි අයි.ඩී.පී.ඒ. ධනපාල හෙවත් ‛ධනපාල රාළහාමි’ගෙන්. එතුමා සීතාවක ජනශ්‍රුති පිළිබඳ විශාරදයෙක්. නමුත් නූතන සමාජය එතුමාගේ ඒ දැනුම් සම්භාරයෙන් ප්‍රයෝජන ගන්නා බවක් පෙනෙන්නට නැහැ. 

කලින් සඳහන් කළ ජනප්‍රවාදයේ ‛අලවතුරේ රාළ’ ලෙස හැඳින්වුණු රන්වල දෙවියන් මේ ජනප්‍රවාදයට අනුව හැඳින්වෙන්නේ ‛අස්වන් රාළ’ යනුවෙන්. ඒ වගේම කලින් ජනප්‍රවාදයේ රන්වල දෙවියන්ගේ සගයා වූ ‛ගනේගොඩ රාළ’ මෙහිදී හැඳින්වෙන්නේ ‛රන්කිරි රාළ’ යනුවෙන්. එබැවින් මේ දෙදෙනා පිළිබඳ විස්තර කරද්දී රන්වල දෙවියන් ‛අලවතුරේ අස්වන් රාළ’ ලෙසත්, එතුමාගේ සගයා ‛ගනේගොඩ රන්කිරි රාළ’ ලෙසත් හැඳින්වීම වඩාත් සුදුසු යැයි කියා මා සිතනවා. 

මේ ජනප්‍රවාදයට අනුව මේ දෙදෙනා තරුණ කාලයේ දෙවැනි රාජසිංහ රජුගේ වී අටුවක් හෙවත් ‛පත්තායමක්’ භාර ව සිටි නිලධාරීන් දෙදෙනෙක්. ඒ පත්තායම පිහිටා තිබුණේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ. කලින් ජනප්‍රවාදයට අනුව මොවුන් ‛පොඩි මිනිහාගේ වීරයන්’ ලෙස හැඳින්වුවත්, මේ ජනප්‍රවාදයට අනුව ඔවුන් අතිශය අවංකව රාජපාක්ෂිකව කටයුතු කළ නිලදරුවන් දදෙනෙක්. මොවුන්ගේ අවංක බවත්, රාජපාක්ෂික බවත් පිළිබඳ ඊර්ෂ්‍යා කළ කිසිවකු මේ වී අටුවට හෙවත් පත්තායමට ගිනි තබනවා. පසුව එම තරුණයන් දෙදෙනා විසින් එය සිදුකළ බවට රාවයක් එම ප්‍රදේශය පුරා යවනවා. මෙය ඒ දෙදෙනාට එරෙහිව දියත් වූ සුක්ෂම කුමන්ත්‍රණයක්. මේ වන විට බරපතල දේශපාලන අර්බුද රැසකට මැදිව සිටි දෙවැනි රාජසිංහ රජතුමා විචාරශීලී තීරණ නොගන්නා බවත්, මේ තරුණයන් දෙදෙනා දැන සිටියා. ඒ අතරේ රාජ උදහස තමන් වෙත ද යොමු වී ඇති බව ‛කෝහල්පිටි රාළ’ නමැත්තකුගේ දැන ගන්නා මොවුන් දෙදෙනා රහසිගතව රන්වලින් පිටමං වෙනවා. ඉන්පසුව මේ දෙදෙනා පහුරු දෙකක් තනාගෙන කැලණි ගඟේ අතු ගංගාවක් වූ ගුරුගොඩ ඔය ඔස්සේ කැලණි ගඟට පැමිණ කැලණි ගඟ ඔස්සේ පහළට යාත්‍රා කරනවා. ගොඩබිම් මාර්ග පද්ධතිය දියුණු මට්ටමක නොතිබුණු බැවින් මේ කාලයේ ගමන් බිමන් සඳහා බහුල වශයෙන් කැලණි ගඟ භාවිත කළ බවට ඓතිහාසික සාධක බොහොමයක් සොයාගන්නට පුලුවන්. 

රන්වල තොටුපොල මීට වසර කිහිපයකට පෙර

කෙසේ හෝ අස්වන් රාළ සිය පහුර පැදගෙන ගියේ සියනෑ කෝරළය පැත්තට වන්නට. ඔහුගේ සගයා වන රන්කිරි රාළ සිය පහුර පැදගෙන ගියේ හේවාගම් කෝරළය පැත්තට වන්නට. මෙසේ පහුර පැදගෙන ආ අස්වන් රාළට සියනෑ කොර්ළයේ ගඟබඩ පත්තුව ප්‍රදේශයේදී ඉතා මිහිරි කාන්තා කට හඬකින් ගැයෙන සී පදයක් අහන්නට ලැබුණා. පහුර නතර කළ අස්වන් රාළ එයට ඊට පිළිතුරු සීපදයක් ගායනා කළා. මේ අතර එම කාන්තා කට හඬින් දිගින් දිගට සීපද කියැවෙන අතරේ අස්වන් රාළ ද මේවාට පිළිතුරු සීපද කියමින් ප්‍රතිචාර දක්වන්නට ඇති. මේ සීපද කීම අද කාලයට එතරම් නුහුරු නුපුරුදු වුවත් අතීත ජනසමාජය තමන්ගේ  අදහස්, ආවේග හා සිතුම් පැතුම් සන්නිවේදනය කිරීම සඳහා සීපද භාවිතය ඉතා පුළුල් ලෙස ප්‍රයෝජනයට ගත් බවක් පෙනෙනවා. හේන් කවි, කරත්ත කවි, පාරු කවි, නෙලුම් කවි වැනි අනේක විධ වූ ජන ගී නිර්මාණ වී තිබෙන්නේ එවක සමාජයේ විවිධ පුද්ගලයන් ඉහත සඳහන් ආකාරයෙන් තමාගේ සිතේ තිබෙන හැඟීම් සීපද මගින් අනෙක් පුද්ගලයන් හෝ පොදු සමාජය වෙත සන්නිවේදනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි. 

අස්වන් රාළ කැලණි ගඟේ එක් ස්ථානයක නතර වී හිඳිනු දුටු රන්කිරි රාළ පහුර පැදගෙන පහළට එන ලෙස ඔහුට කිහිප වතාවක් කතා කළත් අස්වන් රාළ එතැනින් ඉදිරියට පහුර පැද එන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එනිසා එහි ඔහුට එහිම රැඳෙන්නට ඉඩදුන් රන්කිරි රාළ සිය පහුර තවත් පහළට පැදගෙන පැමිණ කැලණි ගඟ අසබඩ පිහිටි සියනෑ කෝරළයේම ‛ගිරිදර’ නමින් හැඳින්වෙන ගම් පියසේ නතර වුණා. 

කෙසේ හෝ අස්වන් රාළත් මේ සීපද ගැයූ තරුණියත් අතර ප්‍රේම සම්බන්ධයක් හට ගැනුණා. දෙදෙනා දැන හඳුනාගැනීමෙන් පසුව තරුණිය අස්වන් රාළව තම දෙමාපියන් වෙත ද කැඳවාගන ගියා. එහෙත් ‛ජාතියක් ජම්මයක්’ හඳුනාගන්නට බැරි තරුණයෙක් සමඟ තමාගේ දියණිය විවාහ වීම කෙරෙහි දෙමව්පියන් දැඩි සේ අකැමති වුණා. කෙසේ මුත් මේ තරුණියට ආගන්තුක තරුණයා අතහැරීමට නොහැකි බව පැවසීමෙන් පසුව දෙමාපියන් ඇය සිය පවුලෙන් නෙරපා දැමුවා. 

ඉන්පසුව එම පවුල සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොපැවත්වූ අස්වන් රාළ තමන්ගේ අලුත් සහකාරිය සමඟ ජීවත්වීම සඳහා යොදාගත්තේ  දංගල්ල ප්‍රදේශයේ තිබූ ගල්ගෙයක්. කාලයක් එහි ජීවත් වූ ඔවුන් එම ප්‍රදේශයේ හේන් ගොවිතැන් කරන්නට පටන් ගත්තා. මේ ගල්ගුහාව අදටත් දකින්නට තිබෙනවා. එය දංගල්ල ප්‍රදේශයේ පිහිටි ස්ථානයක්. නමුත් මගේ විමර්ශණවලදී හැඟී ගියේ එම ගල්ගුහාව ගැන ප්‍රදේශවාසීන් අසා තිබුණත්  ඒ ප්‍රදේශයේ වැඩි දෙනෙක් තවමත් එම ස්ථානයට ගොස් නැති බවයි. මෙම ගල්ගුහාව ඉතා රමණීය වටපිටාවකින් යුක්ත ස්ථානයක්. මෙම ගල්ගුහාව අදත් හැඳින්වෙන්නේ ‛ලැගුම් ගෙය’ නමින්. ඒ වගේම එම ප්‍රදේශයේ ‛හේනේගම’ නමින් ස්ථානයක් ද තිබෙනවා. එය අස්වන් රාළ හේන් කෙටූ ප්‍රදේශය බවයි පැවසෙන්නේ. මෙය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රසිද්ධ හේනේගම නම් නොවේ. අස්වන් රාළ කෙටූ බව හැඳින්වෙන කුඹුර ‛අස්වන් වෙල’ නමින් හැඳින්වී දැන් එය ‛අලුත්වෙල’ බවට පත්ව තිබෙනවා. 

කෙසේ හෝ අස්වන් රාළගේ ජීවිතය බ්‍රහ්මචාරී බවට පත්වුණේ මෙම විවාහයෙන් පසුවයි. ඒ සඳහා නිශ්චිත හේතුවක් සොයාගන්නට නැහැ. මේ දෙදෙනාට දරුවන් සිටි බවක් ද සඳහන් වන්නේ නැහැ. අස්වන් රාළට විවාහ ජීවිතයෙන් සමුගැනීමට එක් හේතුවක් ලෙස සඳහන් වන්නේ ඔහුගේ බිරිඳ තරුණ වියේදීම කිසියම් රෝ්ගයක් සෑදී මිය යාමයි. ඒවගේම ඇතැම් ප්‍රවාදවල ඔහුගේ බිරිඳ කිනම් හෝ හේතුවක් මත ඔහු අතහැර ගිය බවක් සඳහන් වෙනවා. එමෙන්ම තරුණ විය ඉක්මවීමත් සමඟම සිය ජීවිතය බ්‍රහ්මචාරී මංපෙතක් වෙත යොමුකර ගන්නා අස්වන් රාළ තම බිරිඳ ඥාතීන්ට භාර දී අනගාරික වූ බවටත් කතාවක් තිබෙනවා. කෙසේ වුවත් මගේ පෞද්ගලික විශ්වාසයට අනුව වඩාත් පිළිගැනීමට යෝග්‍ය යැයි සිතෙන්නේ මේ තුන්වැනි ප්‍රවෘත්තියයි. 

කෙසේ හෝ සීතාවක යුගයෙන් මතුවන රන්වල දෙවියන්ගේ පුරාවෘත්තයට අනුව එකල රන්වල දෙවියන් හැඳින්වූයේ ‛සම්පත් රාළ’ නමින් බව ඔබට මතක ඇති. (ඒ ගැන මෙතැනින් කියවන්න) ඔහුගේ මිතුරා එම ජනප්‍රවාදයට අනුව හැඳින්වූයේත් ‛රන්කිරි රාළ’ නමින්.  ඔහු ගොඩ බැස්ස ගිරිදර සහ කපුගොඩ වැනි ප්‍රදේශවල ‛රන්කිරි පතිරැන්නැහැලාගේ’ යන පෙළපත් නාමයෙන් යුක්ත සෑහෙන පිරිසක් අදටත් සිටිනවා. නමුත් ඔවුන් කීප දෙනෙකුගෙන් විමසූ මුත්, තමන්ගේ පෙළපතේ යටගියාව පිළිබඳ විස්තරයක් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. කෙසේ හෝ මෙම පුරාවෘත්තය පිළිබඳ දැනුවත්වීමෙන් ඔවුන් ඉතා සතුටට පත් වූ බවක් පෙනෙන්නට තිබුණා. රන්වල දෙවියන් සමඟ කිසියම් හෝ සම්බන්ධතාවයක් තමන්ගේ පෙළපත සතුව පැවතීම ලොකු ආශීර්වාදයක් ලෙසිනුයි ඔවුන් විශ්වාස කළේ. 

රන්වල දෙවියන් පිළිබඳ මේ ජනකතාව අයි.ඩී.ඒ.පී. ධනපාල මහතා වේරහැර අරියවංස හිමි සංස්කරණය කළ ‛සීතාවකපුර යුගය’ කෘතියට ද ඇතුළත් කොට තිබෙනවා. එයින් උපුටාගත් මෙම ජනප්‍රවාදයම මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙනිය යන විද්වතුන් ලියූ ‛සිංහල දේව පුරාණය’ කෘතියේත් ඇතුළත් වෙනවා. ආර්.ඒ පියදාස සූරීන් ලියූ ‛රන්වල දෙවියෝ’, සිරිසේන දේවප්‍රිය ලියූ ‛ගම්පහ දිසාව’ යන යන කෘතීන්වලත් මෙම ජනප්‍රවාදය දකින්නට පුලුවන්. 


රන්වල දෙවියන්ගේ දේවත්වයට මුල් වූ උතුම් ආධ්‍යාත්මික ජීවිතය ගැන තවත් ලිපියකින් කතා කරමු. 


ඊළග ලිපිය - මිනිස් ජීවිත බේරාගන්නට පුහුල් පහන් තැනූ රන්වල මුත්තා