දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Saturday, July 26, 2014

වල්පොල කදුරුගහවැව දෙවොලේ පිදුම් ලබන වීරමුණ්ඩ දෙවියෝ - God Weeramunda who get honour at the Kadurugahawewa Devalaya, Walpola

වල්පොල පුරාණ වීරමුණ්ඩ දේවාලය

උඩුගම්පොළ සකලකලාවල්ලභ රජුගේ වැඩිමහල් පුත් මැණික්සාමිහෙවත් කලු කුමාරයාපිය රජතුමා මැරීමට පොකුණේ උල් සිටවූ කතාවත්, ඒ කුමන්ත්‍රණය පිය රජතුමාට හෙළි වූ පසු තමන්ගේ හිතෛෂිවන්ත ඇමතිවරයකු වූ වීරානමැත්තෙක් සමග සිරිපා අඩවියට පළාගිය කතාවත්, එහි ජීවත්වීමට නොහැකිව කුණුදිය පර්වතයෙන් පැන දිවි නසාගත් කතාවත් දැන් අපි දන්නවා. ඊට පසුව මේ කලුකුමාරයාසහ ඔහුගේ සමීපතම වීරාදේවත්වයට පත් වූ බවත් ප්‍රකට කරුණක්.

කලුකුමාර දේව කන්නලව්වේවීරා හැඳින්වෙන්නේ  සලු අපුල්ලන ඇමැත්තෙක්ලෙසයි. මෙය ඉතා වැදගත් සඳහනක්. ඊට හේතුව කලුකුමාරයාගේ මව, නොඑසේ නම් සකලකලාවල්ලභ රජුගේ බිසව රජක කුල කාන්තාවක් බව ඉන් මනාව තහවුරු වන නිසයි. කලුකුමාර දේව යාදින්නේ සඳහන් වන්නේ ඔබ වහන්සේ සකලකලාවල්ලකබාහු රජුගේ කුමාරයා බව සත්ත නම් පිය රජ්ජුරුවන්ට හදිකම් කරවා පතහේ උල් සිටුවලා සලු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත්ගව්ව බලා වදාරලා කුණුදිය පර්වතයේ පල්ලේ පැන මිය යක් වී වදාරලාආදී වශයෙන්. කෙසේ හෝ පසුව කලු කුමාරයා දේවත්වයට පත්වීමත් සමඟ වීරාත් දේවත්වයට පත්කිරීම පිළිබඳ ජනතාව අතර දෙගෙඩියාවක් තිබූ බවත් පැවසෙනවා. ඒ අනුව සමහරෙකු වීරාට දේවත්වයක් ආරෝ්පණය කරන්නට යන බව දැනගත් තවත් පිරිස් එය විවේචනය කොට ඇත්තේ වීරාත් මුන්ට (මුණ්ඩ) දෙවියෙක් ද?” කියායි. කෙසේ හෝ ඒ නිසාම ඔහු වීරමුණ්ඩයනුවෙන් දේවත්වයට පත් වූ බව සඳහන්. නමුත් අපේ රටේ වීරමුණ්ඩ දේව සංකල්පය ගැන විමසීමේදී මෙය වීරමුණ්ඩ දෙවියන් පිළිබඳ එක් ප්‍රවාදයක් විතරයි.

වල්පොල කදුරුගහ වැව 

අපේ රටේ උඩරට ප්‍රදේශවල ප්‍රචලිත වීරමුණ්ඩ දේව ඇදහිල්ලේදී සඳහන් වන්නේ ඔහු ඉන්දියානු සම්භවයක අයකු බවයි. ඉන්දියාවේ මලල රජුගේ පුත් කුමරුවන් තිදෙනාගෙන් වීරමුණ්ඩ කුමරා එක් අයෙක්. එම වෘතාන්තයේ සඳහන් අන්දමට අතිශය හිතුවක්කාරකම් පෑම නිසා මෙම කුමරුන්ට එරෙහිව රටවැසියන් උද්ඝෝෂණයක යෙදෙනවා. මේ නිසා තම රජකමවත් බේරාගන්නට නොහැකි තැන පිය රජතුමා කරන්නේ අත්තික්කා ලීයෙන් තැනූ යාත්‍රාවක මොවුන් නංවා රටින් පිටුවහල් කිරීමයි. ඉන් පසු මේ කුමරුවන් තිදෙනා සහිත යාත්‍රාව ලක්දිව වෙරළට ගසාගෙන විත් තිබෙනවා. මෙම යාත්‍රාව මුලින් දෙවුන්දර තුඩුවට පැමිණි විට මෙහි ජනතාව මොවුන්ගේ ගොඩබෑම ගැන අකැමැත්ත පළකොට තිබෙනවා. එහිදී ඒ කුමාරවරු තමන්ගේ බල පෙන්වා කතරගමට ගොස් මේ කුමාරවරු තුන්දෙනාගෙන් වීරමුණ්ඩ කුමාරයා සිය කඩුවෙන් එහි තිබූ දැවැන්ත වීරගසක් එක්වරම දෙපලු කොට තිබෙනවා. ඒ නිසා ඔහු වීරමුණ්ඩනමින් හැඳින්වූ බව පැරණි යාදිනිවල සඳහන්. ඉන්පසුව ඒ කුමරා කළ සමත් කම් පිළිබඳව සඳහන්වන්නේ  ඊරියම යක්ෂයාට කොටා ඊරිය ගහ කප්පවා එම නින්දගමට අරක්ගෙන නවගොමුවට වැඩමවා වදාරා පත්තිනි දෙවියන්ගේ හළඹවල හඬ නවත්වා විල්බාවට වැඩමකර තල් ගස් දෙකක් බාන් අඹරවා පෙන්නාලා කුරුණෑගලට වැඩම කොට වත්හිමි කුමරා ගල පල්ලේ එළා මරා ආදී වශයෙන්. මෙහි ඇති විශේෂම දෙය වන්නේ කලුකුමාර දේව කන්නලව්වේ ද එවැනිම දෙයක් සඳහන් වීමයි. මෙරට මහත් දෙවියන්ට තෙද කීර්තියක් පාගෙන ඊරියගමට වැඩම කර වදාරා ඊරියගම යක්ෂයාට කොටා ඊරියගම මලුවේ තල් ගස් දෙකක් ලණු අඹරවාපු තෙද කීර්තියක් පාගෙනයයි එහි සඳහන්. කලුකුමාර දේව කන්නලව්වේත්, වීරමුණ්ඩ දේව කන්නලව්වේත් මෙම ඊරියගම පිළිබඳ කතාව සඳහන්. මෙතැනදී අපට මේ සිදුවීම් දෙක එකතු කරන්නට හැකියි.

වීරමුණ්ඩ දෙවියන් කතරගමදී වීර ගහක් දෙපලු කොට හාස්කම් පෑ කතාවට සමාන තවත් ජනප්‍රවාදයක් අසන්නට තිබෙනවා. ඒ මහනුවර යුගයේ විසූ, වස් කවි නිසා මුලු රටේම ප්‍රසිද්ධියක් ලත් කුංකුනාවේ හාමුදුරුවන් සම්බන්ධ පුවතක්. මහනුවර යුගයේදී  ශ්‍රී දළදා මාළිගාව අද්දර තිබූ නාථ දේවාලයේ වහල උඩට විශාල බෝධි වෘක්ෂයක අත්තක් නැවී තිබුණා. මෙය බොහෝ දෙනාට ගැටලුවක් වුණත් මේ බෝ අත්ත කපා ඉවත් කිරීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැහැ. අවසානයේ මෙය කන්ද උඩරට රජකම් කළ රාජාධි රාජසිංහ රජුට පවා ප්‍රශ්නයක් වී තිබුණා. මේ අතරවාරයේදී මේ ගැටලුවට වස් කවියකින් විසඳුම් ලබා දෙන්නට කුංකුනාවේ හිමියන් ඉදිරිපත් වුණා. එහිදී උන්වහන්සේ ඒ ස්ථානයේ සිට කිවූ වස් කවියයි මේ.

රම්රද විමන  බෝ අත්තෙන් වැසී ගියා
පව්කළ උළු සෙවිලි වහලය දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන්කර හරිව් තෙදබල වීරමුණ්ඩියා

මින් හැඟවෙන්නේ ඒ බෝ අත්ත ඉවත් කරන ලෙස යක්ෂ සම්භවයක් ඇති වීරමුණ්ඩ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. කෙසේ හෝ මේ කවිය කියා අවසන් වනවාත් සමඟම විශාල සුළඟක් විත් ඒ බෝ අත්ත ගසෙන් ඉවත් වී උඩවත්ත කැලේටම ගසාගෙන ගිය බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ.

උඩුගම්පොළින් මතුවුණු වීරමුණ්ඩ හැඳින්වෙන්නේ රජක කුලයට අයත් කෙනෙක් හැටියටයි. එහෙත් උඩරට ඇති වීරමුණ්ඩ සංකල්පයේදී ඉතාම කුලවත් දෙවි කෙනෙක් හැටියටයි වීරමුණ්ඩව හැඳින්වෙන්නේ. එහි අදහන දොලහ දෙවියන්ටත්වඩා කුලවත් නිසා අඩුක්කු පිදීමේදී වීරමුණ්ඩ දෙවියන්ට මල් යහන් පිළියෙල කරන්නේ අනෙක් දෙවියන්ට වඩා උසස් අයුරිනුයි. විශේෂයෙන් කොහොඹා කංකාරියේ එන ගුරුගේ මාලාවතුළ කලුකුමාර දෙවියන් සමඟම වීරමුණ්ඩටත් පුද පූජා පැවැත්වෙනවා. එබැවින් මේ වීරමුණ්ඩ දේව සංකල්පය සකලකලාවල්ලභ රජු සමයේ කලුකුමාරයා සමඟ රාජධානියෙන් පැනගොස් දිවි නසාගත් කලුකුමාරයාගේ සමීපතමයා ඇසුරින් පමණක් ඇතිවූවක් නොවන බවයි කිවහැක්කේ.

දැනට ලංකාවේ වීරමුණ්ඩ දේවාල දක්නට ඇත්තේ ඉතාම අල්ප වශයෙන්. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධානම දේවාලයක් තමයි රාගම වල්පොල කදුරුගහ වැව අද්දර තිබෙන වීරමුණ්ඩ දේවාලය. මේ දේවාලය සම්බන්ධව ප්‍රවාදයක් ප්‍රචලිත වී තිබෙනවා. ඒ අනුව ඒ අනුව අතීතයේ යම් කාලයක මේ වැව ගොඩනැංවීමේදී නැතහොත් ප්‍රතිසංස්කරණයකදී  ඊට යම් යම් බාධා පැමිණ තිබෙනවා. එවිට මෙයට සම්බන්ධ ගම් ප්‍රධානියෙකුට යම් පුද්ගලයකු සිහිනෙන් පෙනී සිට මෙසේ පවසා තිබෙනවා. මා වෙනුවෙන් පහනක් දල්වනවා නම් වැව ගොඩනැගීමට කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ.ඒ නිසා ඒ ගම්පතියාගේ කීම අනුව ගම්මුන් එතැන පොඩි සංහිඳක් පිළියෙල කොට පහනක් දල්වා වැව තැනීමට පටන් ගන්නවා. එහිදී ඉතාම හොඳින් වැව ගොඩනැංවීමේ වැඩකටයුතු සිදු වෙනවා. එසේ සිහිනෙන් පෙනී සිටි පුද්ගලයා වීරමුණ්ඩ දෙවියන් බව පසුව ගම්මුන් වටහා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි වල්පොල වැව අසළ වීරමුණ්ඩ දේවාලයක් ඉදි කෙරෙන්නේ. මේ පහන් දැල්වීම සංකේතනය කරන්නට අදත් මේ දේවාලය ඉදිරිපිට මහ මග අද්දර පහනක් දැල්වීම සිදුකෙරෙනවා. ඒ පහන දැල්වීමෙන් පමණක් වුවත් වීරමුණ්ඩ දෙවියන්ගේ පිහිට ලබාගත හැකි බවට පැරණි ගැමියන් තුළ විශ්වාසයක් පැවැතී තිබෙනවා. මෙයට අමතරව මේ සම්බන්ධව වෙනත් ජනප්‍රවාද සොයාගන්නට ලැබුණේ නැහැ.

මේ දේවාලයට තරමක් නුදුරින් රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විහාරය පිහිටා තිබෙනවා. එහි වැඩසිටි පූජ්‍ය හතර ලියැද්දේ සීලරතන ස්වාමීන් වහන්සේ 1928 අවුරුද්දේ පොසොන් පෝය දවසේ පුංචි දරුවන් කිහිප දෙනක් එකතු කරගෙන පොසොන් පොහොය වෙනුවෙන් මල් පෙරහරක් සංවිධානය කොට තිබෙනවා. අද වන විට මෙය ලංකාවේ අති විශිෂ්ටතම පොසොන් පෙරහරක් බවට පත්ව තිබෙනවා. උඩරට පහතරට නැටුම්වලට අමතරව විශිෂ්ටතම ගිනිකෙළි සංදර්ශනත් මෙහිදී දැක ගන්නටත් පුලුවන්. මේ පොසොන් පෙරහර ගමන් කරන්නේත්, වැව සහ වීරමුණ්ඩ දේවාලය අතරින් වැටීගත් මාවතේ.


ගම්පහ දිසාවේ සියනෑ කෝරලේ සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව පවත්වන යකුන් පිදීමනම් අලුත් සහල් මංගල්‍යයේදී තුන්කට්ටුවනමින් හැඳින්වෙන දෙවිවරුන් අතරට මේ වීරමුණ්ඩ දෙවියන් ද එකතු කොට තිබෙනවා. තුන් කට්ටුව යනුවෙන් හැඳින්වෙන දෙවිවරුන්ට අයත්වන්නේ දුනුමාලේ, කලුකුමාර සහ වීරමුණ්ඩ යන දෙවිවරුන්. යකුන් පිදීමේ  යාතිකාව ආරම්භ වන්නේ, “පස්වාන් දහසක් පස්වාන් දහසක් පස්වාන් දහසක් සිද්ධමූල කලුකුමාර වීරමුණ්ඩ දේවතාවායන ආකාරයෙන්. මෙයින් පෙනෙන්නේ ලංකාවේ සෙසු ප්‍රදේශවල ජනතාව කෙසේ වෙතත් ගම්පහ ප්‍රදේශයේ ජනතාව කලුකුමාරයාගේ සගයා වන වීරමුණ්ඩ දෙවියන් මුළුමනින්ම අමතක කොට නැති බවයි. 

ඡායාරූප - සහන් සංකල්ප සිල්වා 

Saturday, July 19, 2014

අස්වානේ දේව බලය රටපුරා පැතිර නොගියේ ඇයි? - Why Did the Faith on God Aswana not prevail throughout the country?

මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය

උඩුගම්පොළ සකලකලාවල්ලභ රජුගේ මරණයෙන් පසුව එවකට කෝට්ටේ රජකම් කළ එතුමන්ගේ ඥාති සොයුරු විජබා කුමරුන් උඩුගම්පොළ ප්‍රාදේශීය රාජධානියේ ද භාරකාරත්වයට පත්වුණා. ඔය අතරේ සකලකලාවල්ලභයන්ගේ අභාවයෙන් පසුව උඩුගම්පොළ ප්‍රදේශයට බලපෑ දුර්දසාවක් නිසා වැසියන් මහත් භීතියට පත් වුණා. ප්‍රදේශයට වැසි නොලැබ නියඟයක්, ආහාර අහේනියක් සහ රෝග පීඩා පැතිර යාමක් සිදු වුණා. එය  සකලකලාවල්ලභ රජතුමාගේ ආත්මය විසින් එල්ල කරනු ලබන අදෘශ්‍යමාන බලපෑමක් නිසා සිදුවන්නක් බව වැසියන් විශ්වාස කළා. එහි ප්‍රතිඵලයක් වුණේ රජතුමා දිවිනසාගත් බවට සැළකෙන ‛අස්වූ’ හෙවත් ‛බිඳීගිය වාන සහිත ස්ථානයේ’, එනම් ‛අස්වානේ’ එතුමන් වෙනුවෙන් දේවාලයක් ඉදිකොට තමන්ගේ ගමටත් ජීවිතවලටත් එලැඹෙන අතුරු ආන්තරාවලින් වැළකීම සඳහා ගම්මුන් අස්වානේ දෙවියන්ට කන්නලව් කිරීමයි. ඒ නිසා තමයි එතුමන් පසුකාලීනව ‛අස්වානේ දෙවියන්’ යනුවෙන් ප්‍රසිද්ධියට පත්වුණේ. නමුත් අදවන විට මේ අස්වානේ දේව සංකල්පයේ කිසිම ව්‍යාප්තියක් දකින්නට නැහැ. දැනට අස්වානේ දේවාලයක් ලෙස ස්ථාපිත වී ඇත්තේ මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති කුඩා දේවාලය පමණයි. ඒ වගේම අස්වානේ දෙවියන් වෙනුවෙන් සිදුකෙරෙන යාතිකාවක් හෙවත් කන්නළව්වක් සොයාගැනීමට අප බොහෝ වෙහෙස මහන්සි වුණත් ඒ උත්සාහයත් ව්‍යර්ථ වුණා. මේ සඳහා බලපෑ හේතුව කුමක්ද කියා විමසා බැලීමේදී අපට පෙනී ගියේ  මේ අස්වානේ දේව සංකල්පය සියනෑ කෝරලය පුරා පැතිර පවතින ගම්භාර දේව සංකල්පය තුළට අවශෝෂණය වීම නිසා මෙවැන්නක් සිදුවූ බවයි. 

මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය

අප කවුරුත් දන්නා පරිදි සකලකලාවල්ලභයන්ගේ සොයුරු තනියවල්ලභ කුමරු තනිවැල්ලේ දෙවියන් යනුවෙන් මාදම්පේ ප්‍රදේශයේදී දේවත්වයට පත්වුණා. සුදු අශ්වයකු පිට නැගි තනිවැල්ලේ දෙවියන් සම්බන්ධව ස්වාධීන ලක්ෂණ රැසක් ජන විඥානයට පිවිසී තිබෙනවා. ඒ නිසා තමයි අදත් තනිවැල්ලේ දේව සංකල්පය වයඹ පළාතේ ප්‍රදේශ ගණනාවක ව්‍යාප්ත වී තිබෙන්නේ. නමුත් අස්වානේ දෙවියන් සම්බන්ධ එවැනි ස්වාධීන ලක්ෂණ කිසිවක් නැහැ. ඒ අතරේ සමහරුන් අස්වානේ දෙවියන් යනු දැනට දැදුරු ඔය නිම්නයේ් වැසියන් අදහන කුලියාපිටිය ආසන්නයේ දේවාලයකදී පිදුම් ලබන ‛කබලෑවේ දෙවියන්’ කියාත් ප්‍රකාශ කරනවා. ඒ වගේම කබලෑවේ දෙවියන්, ගම්භාර දෙවියන්, සූනියම් දෙවියන් යන මේ සියලුම දේවත්වයන් එකම දෙවියකු බවට විශ්වාසයකුත් පවතිනවා. අද අප රටපුරා ප්‍රචලිත ‛ගම්භාර සුද්ධ සූනියම්’ දේව සංකල්පය ඇතිවී ඇත්තේ එහි සම්මිශ්‍රණයෙන්. ගැමි සමාජයේ ඇති යහගුණ ගම්භාර දෙවියන් තුළිනුත් දුර්ගුණ සූනියම් දෙවියන් තුලිනුත් සංකේතනය වීම නිසා මේ ගම්භාර සූනියම් දේව සංකල්පය ඒකීය දේවත්වයක් වශයෙන් රටපුරා ව්‍යාප්ත වුණා වන්නට පුලුවන්. නමුත් මේ ගම්භාර, සූනියම් දේව සංකල්පය තුළට අවශෝෂණය වූ ගම්පහ උඩුගම්පොල අස්වානේ දේව සංකල්පයේ අනන්‍යතාවය මේ වන විට ශීඝ්‍රයෙන් ගිළහෙමින් පවතිනවා. ගනේමුල්ලේ තිබ්බටුගොඩ හා හොරගොල්ල ආශ්‍රිතව ඇති ‛පැරණි සම්බාගම’ උඩුගම්පොල සකලකලාවල්ලභ රජුගේ රජුගේ ප්‍රියතම කුඹුරුයාය වශයෙන් සැළකෙනවා. ගනේමුල්ලේ තිබ්බටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරයේ  පැරණි ගම්භාර දේවාලයක් තිබූ බව පැවසෙනවා. එහි පැරණි ගැමියන් ‛ගම්භාර දෙවියන්’ නමින් දේවත්වයට පත්කොට ඇත්තේ සකලකලාවල්ලභ රජු බව නිසැකයි. 

මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය

ගම්භාර සූනියම් දෙවිඳුන් පිච්ච මල් සුවඳ හමන සිරුරක් ඇති අයකු බවත් කෙම්මුර දිනවල රාත්‍රී පෙරයම ගමින් ගමට සංචාරය කරනු ඇති බවත් ගැමියන් තුළ විශ්වාසයක් පවතිනවා. මේ දෙවිඳුන් අපිරිසිදු ස්ථානවලින් ගමන් නොකරන බවත් මිනිසුන්ට කෙසේ වෙතත් සුනඛයන්ට මේ දෙවිඳුන් දර්ශනය වන බවත් ජන විශ්වාසයේ පවතිනවා. එවිට දෙවියන් කරන්නේ තමන් අත වූ ‛සෝලු ලීයෙන්’ ඒ සුනඛයන්ට පහර දීමලු. එවිට ඒ සුනඛයන් කොන්ද පණ නැතිවී මිය යන බවට පැරණි ගැමියන් තුළ විශ්වාසයක් තිබුණා. නමුත් මේ ප්‍රදේශවල අදහනු ලබන ‛ගම්භාර’ හෙවත් ‛ගම් හිමි දේවතාවා’ අස්වාන දෙවියන් බවත්, පසුව ඒ දේව සංකල්පය අපේ රට පුරා ව්‍යාප්තව ඇති ගම්භාර සූනියම් දේව සංකල්පය තුළ ගිලීගිය බවත් සාධාරණ ලෙස අනුමාන කරන්න පුලුවන්. 

මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ ඇති අස්වානේ දේවාලය


ඒ වගේම මේ අස්වානේ දෙවියන්, සූනියම් දෙවියන් ගම්භාර දෙවියන්, කබලෑවේ දෙවියන් තුළින් නිරූපණය වනුයේ එකම දේවත්වයක් බවත් එය ජන විඥානයේ පටළැවිලි සහගත බවක් නිසා සිදුවූ බවත් ශ්‍රී ලාංකීය සමාජයේ දේව විශ්වාසයන් පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කළ මහචාර්ය කේ.එන්.ඕ, ධර්මදාස සහ එච්.එම්.එස්. තුන්දෙනිය යන වියතුන් තමන්ගේ ‛සිංහල දේව පුරාණය’ නම් පර්යේෂණාත්මක ග්‍රන්ථය මගින් පවසා සිටිනවා. 

කෙසේ හෝ ඒ අනුව ගම්භාර දේව සංකල්පය තුළට අවශෝෂණය වූ අස්වානේ දේව සංකල්පය අද වන විට සමාජයෙන් ගිළිහී යන බව අප අවිවාදයෙන් පිළිගත යුතුයි. නමුත් ඒ දේව සංකල්පය පසෙක තිබියදී සකලකලාවල්ලභ රජතුමා ජීවත්ව සිටි කාලයේ එතුමාගේ මාලිගාව ආශ්‍රිතව තනන ලද ආසියාවේ විශාලතම මඟුල් පොකුණ බවට අනුමාන කෙරෙන, සිංහල රජදරුවකු විසින් පරිහරණය කළ ලක් ඉතිහාසයේ ලොකුම මඟුල් පොකුණ ද අද සක්මන් මංපෙතක් බවට පත්කොට තිබීම  සකලකලාවල්ලභ රජතුමාට සිදුකරන සුවිසල් අනර්ථයක්.     ඒ නිසා දෙපා ඇති ඕනෑම කෙනෙකුට සමතලා මතුපිටක් මත සක්මන් කිරීමට ඇති හැකියාව වෙනුවෙන්  අපේ ශ්‍රී ලාංකීය ඉතිහාසය පිළිබඳ හයක් හතරක් නොදත් දේශපාලඥයන් විසින් හුදු සක්මන් මංපෙතක් බවට පර්වර්තනය කොට ඇති ඒ අගනා ඓතිහාසික, පුරා විද්‍යාත්මක, සංස්කෘතික උරුමය තුළින් සකලකලාවල්ලභ නරපතියානන්ට අහිමි වූ ස්වකීය අභිමානවත් උරුමය නැවත ලබාදීමේ යුගය දැන් එලැඹී ඇති බව නැවතත් අවධාරණය කළ යුතු වෙනවා. එසේ නොමැති නම් මේ රට තව දුරටත් අඳ බාලයන්ගේ රාජ්‍යයක් දෙසට ගමන් කරන පියවර තවත් ඉක්මන්වනවාට කිසිම සැකයක් නැහැ. 


ඡායාරූප - සහන් සංකල්ප සිල්වා 

Sunday, July 13, 2014

උඩුගම්පොළ රජතුමාගේ මරණය දිවි නසාගැනීමක්ද? - Did King Sakalakalawallabha Commit Suicide?

උඩුගම්පොළ මාළිගාගොඩැල්ල රජමහා විහාරයේ ඇති සකලකලාවල්ලභ (අස්වානේ දෙවි) ප්‍රතිමාව

ලක් ඉතිහාසයේ සුවිශේෂතම රණ ශූරයකු සහ දක්ෂ වාරි ඉංජිනේරුවකු වගේම කෘෂිකර්මාන්තයෙහි මනා නිපුණත්වයක් පළ කළ උඩුගම්පොළ රජ කළ සකලකලාවල්ලභ රජතුමා දැන් අපට අමුත්තෙක් නොවේ. නමුත් එතුමාගේ ජීවිතයේ එක් අර්ධයක් ආලෝකවත් වෙත්දී අනෙක් අර්ධය අන්ධකාරයෙන් වැසී ගොස් තිබෙනවා. ඒ තමයි එතුමාගේ ගෘහ ජීවිතය. 

උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. 

සකලකලාවල්ලභ රජතුමාගේ සරණ මංගල්‍යයක් ගැන හෝ අග බිසවක් පිළිබඳව හෝ  පිළිගත් කිසිදු මූලාශ්‍රයක සඳහන් වන්නේ නැහැ. නමුත් ජනකතා මූලාශ්‍ර අනුව එතුමා රජක කුල බිසවක සමඟ ජීවත් වූ බව සඳහන් වෙනවා. මෙහිදී සරණ පාවා ගැනීමකින් තොරව ඇය සමඟ රජතුමා යුග ජීවිතයක් ගත කළ බවයි පෙනෙන්නේ. මේ විවාහයෙන් මේ දෙපළට පුතුන් හත් දෙනෙකු සිටි බවත් ඔවුන් ‛භින්න මාතෘක’ හෙවත් මවගේ කුල නොගැළපීම නිසා ඔවුනට තමන්ගේ උඩුගම්පොළ රාජ්‍යය පවරා දීමට රජතුමා පසුබට වූ බවත් ජනමූලාශ්‍රවලින් හෙළිවෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි එම පුතුන් හත්දෙනා එක්වී රජතුමා මරා රජකම පැහැරගන්නට මාන බැලුවේ. ඒ පුත්තු හත් දෙනාගෙන් වැඩිමහල් පුතු වූ ‛කලුකුමාරයා’ හෙවත් ‛කලු බණ්ඩාර’, රජතුමා ඝාතනය කිරීමට මඟුල් පොකුණේ උල් සිටවූ කතාව අප කවුරුත් දන්නවා. ඉන්පසුව එම මව් බිසව තම පුතුන් හත් දෙනා රාජ උදහසින් වැළැක්වීම සඳහා අප්‍රකට ප්‍රදේශවලට පිටත් කොට හැරියා. ඉන්පසුව රජතුමාට විශාල නපුරු දසාවක් අත් වූ බවයි සියලු ජනකතා මූලාශ්‍රවලින් පෙනී යන්නේ. ඊට හේතුව රජතුමා මිනුවන්ගොඩ හරස්කොට බැඳි අමුණ හෙවත් වාන  කිහිප වතාවක් බිඳී යාමයි. මෙම ප්‍රදේශය අදත් ‛වාන+කළ’ යන අතුරින් ‛කලවාන’ නමින් හැඳින්වෙනවා. එය බහිරව වැනි කිසියම් ගුප්ත අමනුෂ්‍යයකුගේ බලයක් යැයි සිතූ රජතුමා නව යොවුන් කුමාරිකාවන් හත් දෙනෙකු ඒ සඳහා බිළි දීමට කටයුතු යොදනවා. එහෙත් මේ බිලි පූජාවට බියෙන් තම පණ රැකගැනීම සඳහා මේ කුමාරිකාවන් පළා යනවා. කෙසේ හෝ මුල්ලේරියාවේදී මොවුන් රාජපුරුෂයන්ගේ අත්අඩංගුවට පත්වන අතර ඔවුන් හත් දෙනා  මුල්ලේරියාව වැවේ බැම්මට තබා හිටුවා පස් ගැසීමට රජතුමා නියෝග කරනවා. මුල්ලේරියාව බැම්මේ එම ස්ථානය අදත් හඳුනාගත හැකි බවට මතයක් තිබෙනවා. 

උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. 


ධර්මබන්දු අමරසේකර සූරීන් ලියූ ‛ඓතිහාසික ජනකතා’ කෘතියේ මේ පුවත සඳහන්. ඉන්පසුව කෙසේ හෝ මේ සිද්ධියත් සමඟ රජතුමාගේ ප්‍රතාපය ශීඝ්‍රයෙන් බිඳවැටුණු බවයි ජන මූලාශ්‍රවලින් හෙළිවන්නේ. ඔය අතරේ රජතුමා මිනුවන්ගොඩ ඔය හරස්කොට තැනූ සවිමත් වාන නැවත වතාවක් මහා වර්ෂාවකට හසුවූ බිඳී යනවා. මෙයින් ප්‍රදේශයේ ගම්බිම් ගංවතුරෙන්  යටවී මහා විනාශයකට මුළ පිරෙනවා. එවිට රජතුමාගේ හිතවත් අමාත්‍යයන් පවසන්නේ මෙය දේව කෝපයක් නිසා සිදුවන ක්‍රියාවක් බැවින් රජතුමා සතු වටිනාම වස්තුව ඒ ගංවතුරට බිළිකළ යුතු බවයි. අවසානයේ මේ වටිනාම වස්තුව ලෙස කවුරුත් නම් කරන්නේ රජතුමාගේ රජක කුල බිසව. ප්‍රදේශයට සිදුවන මහත් ව්‍යසනය හමුවේ දුර්මුඛවන රජතුමා අවසානයේ ඇමතිවරුන්ගේ තීරණයට හිස නමනවා. ඒ අනුව රාජ පුරුෂයන් විසින්  මේ රජක කුල බිසව, වාන කැඩී ගළාගෙන යන මහා දිය දහරට ඇද දමනවා. ඉන්පසුව කෙසේ හෝ මින් ඇතිවන අධික සිත්තැවුල නිසා රජතුමාත් ඒ රජක කුල බිසව බිළිදුන් ස්ථානයෙන්ම දියට පැන දිවි නසාගත් බවයි පැවසෙන්නේ. මෙම වාන බිඳදැමීම එම රජක කුල බිසව කෙරෙහි ඇති වෛරය නිසා ඇමතිවරුන් රජතුමාට එරෙහිව දියත් කළ කුමන්ත්‍රණයක් විදිහට අනුමාන කරන්නත් පුලුවන්. 

උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. 


කෙසේ හෝ වර්ෂ 1521 වන විට නැවත උඩුගම්පොළ රජධානිය කෝට්ටේ රාජධානියේ රජකළ විජයබාහු කුමරුගේ පාලනයට නතුවෙනවා. ඒ බව ඒ කුමරුන් විසින් 1521 නිකුත් කළ ‛ඓතිහාසික උඩුගම්පොළ තඹ පතින්’ තහවුරු වෙනවා. ඒ තඹ පත මීගමුව කදිරාන ප්‍රදේශයෙන් මෑතකදී හමුවීමත් සමඟ මේ ඓතිහාසික පුරාවෘත්තයේ විශාල අඩුවක් සම්පූර්ණ වෙනවා. එම තඹ පත විජයබාහු රජතුමා උඩුගම්පොළ ‛අලුත් මාලිගාවේ වැඩ හිඳ’ නිකුත් කරන ලද්දක් බව එහිම සඳහන්. 

උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්. 


කෙසේ හෝ ඉන්පසුව රජතුමාගෙන් එතෙක් ඉටු වූ සේවය සළකා ප්‍රදේශයේ වැසියන් එතුමා දේවත්වයට පත්කරනවා. ඉන්පසුව උඩුගම්පොළ සකලකලාවල්ලභ රජතුමා හැඳින්වෙන්නේ ‛අස්වානේ දෙවියන්’ යනුවෙන්. ඒ ‛අස්වාන’ යන්නෙහි අරුත ‛වාන අස්වූ’, නොඑසේනම් ‛වාන කැඩී ගිය ස්ථානය’ යන්නයි. අද වනවිට ‛අස්වාන’ නමින් ගම් ප්‍රදේශයක් නොමැති වුවත් අස්වාන දෙවියන්ගේ දේවාලය පිහිටි මිනුවන්ගොඩ මාතම්මන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් විහාරස්ථාන භූමිය පමණක් ‛අස්වාන’ යන නාමයෙන් හැඳින්වෙනවා. 

උඩුගම්පොළ මාලිගාගොඩැල්ල උත්තරාරාම රජමහා විහාර භූමියේ තිබී හමුවන සකලකලාවල්ලභ රජමාලිගයේ නටබුන්.
ගම්පහ දිසාවේ වැඩ සිටි ප්‍රතාපවත්ම නරපතියා වන සකලකලාවල්ලභ රජුගේ අවසානය සනිටුහන් වන්නේ ඔය ආකාරයටයි. කෙසේ හෝ අදවන විට අස්වාන දෙවියන් ඇදහීම ප්‍රදේශයේ ඇති නැති තරමට පසුගැන්වී තිබෙනවා. ඊට හේතු මොකක්ද? ලබන සතියේ ඒ ගැන විමසා බලමු. 

ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

Tuesday, July 1, 2014

උඩුගම්පොළ රජතුමා කෝට්ටේ මහරජකම භාර නොගත්තේ රජක කුල බිසව නිසාද? - Did King Sakalakalawallabha abandoned the kingship of Kotte, because of his dhobi wife?

උඩුගම්පොළ මාළිගාගොඩැල්ල රජමහා විහාරයේ ඇති සකලකලාවල්ලභ (අස්වානේ දෙවි) ප්‍රතිමාව 

ප්‍රාදේශීය පාලකයකු විදිහට ඉතිහාසයට එක් වුණත් උඩුගම්පොළ සකලකලාවල්ලභ රජතුමා ලක් ඉතිහාසයේ සුවිශේෂ නරපතියෙක්. අලකේශ්වර යුද්ධය, රාජාවලිය වගේ දේශීය මූලාශ්‍රවලත් වැලන්ටයින් වගේ බටහිර ඉතිහාසඥයන්ගේ වාර්තාවලත් ජනකතා, කංකාරි පුවත් වැනි චූල සම්ප්‍රදායේ මූලාශ්‍රවලත් විස්තර කෙරෙන මේ සකලකලාවල්ලභ චරිතය ලක් ඉතිහාසයෙන් පැන නගින සුවිශේෂතම රාජ චරිතයක් බව නොකියාම බැහැ. ගම්පහ දිසාවේ අභිමානයක් බවට පත්විය යුතු මේ සකලකලාවල්ලභ රාජ චරිතය පිළිබඳව ගම්පහ දිසාවේ වර්තමාන ජනතාව ප්‍රමාණවත් අයුරින් දැනුවත් වී නොතිබීම කණගාටුවට කාරණයක්. මෑතකදී පුරාවිද්‍යා කැණීම් මගින් තහවුරු කළ එතුමා පරිහරණය කළ මඟුල් පොකුණ සමස්ත ආසියාවේම ඇති සුවිසල් ඓතිහාසික මඟුල් පොකුණ වශයෙන්  සාධාරණ ලෙස අනුමාන කළ හැකිව තිබෙනවා. නමුත් අද ඒ පොකුණ පිළිබඳ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අගය යටපත් වන ලෙස එහි අභ්‍යන්තර මායිම තුළ සක්මන් මංතීරුවක් විවෘත කිරීම ඉහත සඳහන් කරුණ මනාව සනාථ කරවන්නක්. 

ලක් ඉතිහාසයේ විශිෂ්ටතම රණ ශූරයකු වන සකලකලාවල්ලභ රජතුමාගේ සරණ මංගල්‍යයක් පිළිබඳව කිසිදු මූලාශ්‍රයක සඳහන් වන්නේ නැහැ. ජනකතා, කංකාරි පුවත් ආදියෙන් විස්තර වන අන්දමට රජතුමා සරණ පාවාගෙන ඇත්තේ නොසම කුල, එනම් රජක කුලයේ කාන්තාවක්. මේ බිසව ඉතා ආන්දෝලනාත්මක චරිතයක් වූ බවට සාධාරණ ලෙස පිළිගත හැකි සාක්ෂි අප හමුවේ තිබෙනවා. මේ නිසා සකලකලාවල්ලභ රජුගේ චරිතය උඩුයටිකුරු වී ගිය බවට පිළිගතහැකි සාක්ෂිත් අප හමුවට පැමිණ තිබෙනවා. නමුත් ඒවා ගවේෂණාත්මකව සොයාගත යුතු, හෙළිදරව් කළ යුතු දේවල්. 

කෝට්ටේ රජ කළ අටවැනි වීර පරාක්‍රමබාහු හෙවත් අම්බුලුගල කුමාරයාගේ කීරවැල්ලේ බිසවගේ නැගණියගේ කුසින් උපන් දරු දෙදෙනාගෙන් කෙනෙකු ලෙස තමයි සකලකලාවල්ලභ රජතුමා හැඳින්වෙන්නේ. ඔහුගේ අනෙක් සහෝදරයා තමයි තනියවල්ලභ කුමාරයා. ඒ නිසා අටවැනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය හිමිවන්නේ රජතුමාගේ අගබිසවගේ පුතකු වන නවවැනි ධර්ම පරාක්‍රමබාහු රජතුමාට. මේ කාලයේ උඩුගම්පොළ රජ කළ සකලකලාවල්ලභ රජතුමාත් මාදම්පේ රජකළ තනියවල්ලභ කුමාරයාත් ධර්ම පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලනයට අති විශිෂ්ට සහයෝගයක් ලබාදෙනවා. ඒ නිසාම 1513 අවුරුද්දේ ධර්ම පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසුව කෝට්ටේ රාජසභාව තීරණය කරන්නේ කෝට්ටේ මීළඟ මහරජ පදවිය සඳහා සකලකලාවල්ලභ රජතුමා සුදුසු බවයි. ඒ අනුව ධර්ම පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසුව කෝට්ටේ රාජ සභාවේ නියෝජිතයන් උඩුගම්පොළට පැමිණ රජ පෙරහරකින් සකලකලාවල්ලභ රජුව කෝට්ටේ රාජධානියට රැගෙන යනවා. ඒ කෝට්ටේ රාජධානියේ මහරජකම පැවරීමට. එහෙත් එසේ රජකම භාරගැනීමට සපිරිවරින් කෝට්ටේට ගිය සකලකලාවල්ලභ රජතුමා කිනම් හෝ හේතුවක් මත රජකම භාරගන්නේ නැහැ. ඒ හදිසියේ ගන්නා තීරණයක් බවයි ඇඟවෙන්නේ. එහිදී රජතුමා එසේ මහරජකම භාර නොගන්නේ ‛කාරණා කිහිපයක් මුල්කොට’ බව අලකේශ්වර යුද්ධයේ 29 වන පිටුවේත්, රාජාවලිය කෘතියේ 215 වැනි පිටුවේත් සඳහන් වෙනවා. නමුත් මේ ‛කාරණා කිහිපය’ කුමක් ද යන්න කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. ඒ අනුව සකලකලාවල්ලභ රජතුමා කරන්නේ ඒ වනවිට මැණික්කඩවර ප්‍රාදේශීය පාලකයකුව සිටි අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ අගබිසවගේ පුතකු වූ විජයබාහු කුමරාට කෝට්ටේ රාජධානිය භාර දී නැවත උඩුගම්පොලට පැමිණීමයි. මෙය ලක් ඉතිහාසයේ අසාමාන්‍ය සිදුවීමක්. කෝට්ටේ රාජධානිය භාරගැනීමට සපිරිවරින් ගිය සකලකලාවල්ලභ රජතුමා හදිසියේ එය ප්‍රතික්ෂේප කොට නැවත උඩුගම්පොළට පැමිණියේ කුමන හේතු නිසාද යන්න ඉතිහාසඥයන්ගේ විවාදයට තුඩුදෙන්නක්. ඊට ආසන්නතම හේතුව ලෙස බොහෝ ඉතිහාසඥයන් දකින්නේ ඒ වන විට මැණික්කඩවර ප්‍රාදේශීය පාලකයකු වූ විජයබාහු කුමරු යම් හෙයකින් සකලකලාවල්ලභ රජු කෝට්ටේ රාජධානියට පත්වුවහොත් ඔහු පරාජය කිරීමට ඒ වන විට කොචින් නුවර සිටි පෘතුගීසි පාලකයන්ගෙන් උදව් ඉල්ලා සිටි බව සකලකලාවල්ලභ රජතුමාට දැනගන්නට ලැබීමයි. එසේ වූවා නම් අපේ රට තුළ තවත් මහා විශාල දේශපාලන අර්බුදයක් සහ විදේශීය මැදිහත්වීමක් සිදුවන බව තේරුම්ගත් සකලකලාවල්ලභ රජතුමා තම මවගේ වැඩිමල් සොයුරිය වූ අගබිසවගේ පුත් විජයබාහු කුමරුට කෝට්ටේ රාජධානිය පවරා නැවත උඩුගම්පොළට පැමිණියා වන්නට පුලුවන්. 

නමුත් ජනකතා සහ කංකාරි පුවත් මූලාශ්‍රවලින් කියන්නේ සකලකලාවල්ලභ රජතුමාගේ මේ පෙරළියට මුළ ඔහු විවාහ කරගෙන සිටි රජක කුල බිසව බවයි.  රජක කුල බිසවක විවාහ කරගෙන සිටි රජ කෙනෙකුට කෝට්ටේ මහරජ පදවිය නුසුදුසු බවට එල්ල වූ යම් විරෝධතාවයක් මුල්කොට සකලකලාවල්ලභයන් තුළ මේ පසුබෑම ඇතිවුණා වන්නටත් පුලුවන්. මෙතරම් රණශූර, ප්‍රතාපවත් සකලකලාවල්ලභ රජතුමා තම විවාහය නිසා රාජකීයත්වය සහ පෞද්ගලික දිවිපෙවෙත අවුල් කරගත් නරපතියකු බවයි මින් අනුමාන කළ හැක්කේ. රජතුමාගේ ජීවිතයට වගේම රාජසභාවේ කටයුතුවලටත් මේ බිසවගෙන් ඇතිවූ බලපෑම පිළිබඳව ඉඟිකෙරෙන කතා ප්‍රවෘත්තීන් කිහිපයක් අපට උකහාගත හැකියි.  ඒවා අපි ලබන සතියේ කතා කරමු. 


ඡායාරූපය - සහන් සංකල්ප ද සිල්වා 

අතිරේක කියැවීම්