දිවයිනේ සෙසු ප්රදේශවලට සාපේක්ෂව ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික ජන කතා බොහොමයක් තවමත් අප්රකටව පවතී. එබැවින්, ඒවා වත්මන් සහ මතු පරපුර වෙත දායාද කිරීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට අපි අදහස් කළෙමු. අප රටේ සාමාන් ජනතාවට, අප්රකට ඓතිහාසික තොරතුරු සහ ජනශ්රුති විමර්ශකයන්ට සේම පාසල් සහ විශ්ව විද්යාල සිසුන්ට එකසේ ප්රයෝජනවත් විය හැකිය. ඔබ දන්නා ජනකතා ඇත්නම් ඒවාද මෙහි පළකළ හැකි අතර මෙය වඩාත් හොඳින් ඉදිරි පරපුර සඳහා දායාද කරනු වස් ඔබගේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙමු.

Friday, April 18, 2014

මණ්ඩාවල ‛ලෝක විනාශ’ සීල වැඩසටහන - Sil Campaign for the 'World's End" at Mandawala



ලෝක විනාශය කියන්නේ මේ ලෝකේ ඉන්න කාගේ වුණත් සිත් තුළ භීතිය කුතුහලය දනවන අහන්නවත් අකමැති මාතෘකාවක්. නමුත්, මේ ලෝක විනාශය මුල් කරගෙන මෑත ඉතිහාසයෙන් මතු වුණු ඉතාම රසවත් සත්‍ය කතා ප්‍රවෘත්තියක් හොයා ගන්න මට පහුගිය කාලයේ පුළුවන් වුණා. ඒ ගම්පහ දිසාවේ දොම්පේ ආසනයට අයිති මණ්ඩාවලින්. මණ්ඩාවල කියන්නේ ඓතිහාසික ජනප්‍රවාද කිහිපයකටම සෘජු සම්බන්ධතාවයක් ඇති සියනෑ කෝරළයට අයිති සුන්දර ගම් පියසක්. මේ ප්‍රදේශය අතීතයේ සමාජ, ආර්ථික සංස්කෘතික අතින් අතිශය දියුණු තත්ත්වයක තිබුණු බව සනාථ කෙරෙන සාධක බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් කෝට්ටේ යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක්ව පැවැති කෑරගල පද්මාවතී පිරිවෙන සහ මහනුවර යුගය තෙක් ආගමික වශයෙන් වගේම අධ්‍යාපනික වශයෙන් ද දියුණු තත්ත්වයක පැවතුණු අනුරාගොඩ ටැම්පිට විහාරය මේ මණ්ඩාවල ප්‍රදේශයේ අදටත් ශේෂව පවතින සංස්කෘතික ධන නිධාන විදිහට හඳුන්වන්න පුළුවන්. 

තත්ත්වය එහෙම වුණත් අපේ රට ඉංග්‍රීසි පාලනයට නතු වුණාට පස්සේ මණ්ඩාවල ප්‍රදේශයේ එතෙක් පැතිරී තිබුණු ආගමික සංස්කෘතික ආලෝකය ශීඝ්‍රයෙන් අඩුවෙන්න පටන් ගත්තා. ඒ වගේ තත්ත්වයක් තුළ එතෙක් ප්‍රදේශයේ තිබුණු සමාජ ආර්ථික දියුණුවත් හොඳටම පහළ බසින බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අන්න ඒ වගේ කාලයක් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. 

මම  ඔය  කියන කාලේ ඒ කියන්නේ දහනව වන සියවසේ අගභාගය විතර වෙන කොට මණ්ඩාවල ගැමියන්ගේ ජීවන රටාව මුළුමනින්ම ගොවිතැන් කටයුතු මතම රඳා පැවතුණා.  ප්‍රධාන වශයෙන්ම වී වගාව, ඊට අමතර පොල් වගාව ඊටත් අමතරව කෙසෙල්, බුලත් ඇතුලු ගෙවතු වගාවත් සත්ව පාලනයත් ප්‍රදේශයේ ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් බවට පත් වී තිබුණා. ඔය අතරේ ප්‍රදේශයේ තියන නිසරු ඉඩම්වල කුරහන්, තල, උඳු, මුං, මෙනේරි වගේ කටුසර ධාන්‍ය වර්ගත් වපුරා තිබුණා. ඒ කියන්නේ ඒ කාලය වෙන කොට මුළු ප්‍රදේශයේම තිබුණේ කෘෂි ආර්ථිකයක්.  ඒ වගේම ඔය වගේ තත්වයක් යටතේ ඒ කාලේ මණ්ඩාවල ගම්මුන්ට ගමින් පිටව යාමේ විශේෂ අවශ්‍යතාවයක් පැන නැඟුණේ නැහැ. මොකද ගම්මුන්ට  අවශ්‍ය ආහාර කළමණා,  සිල්ලර බඩු,  ඇඳුම් කැඩුම් මෙකී නොකී හැම දෙයක්ම,  බර කරත්ත සහ  බර බාගවලින් පිටස්තරයන් ගමටම ගෙනාපු නිසා. ඒ බොහෝ වෙලාවට ගමින් ලැබෙන කෘෂි සහ සත්ව නිෂ්පාදනවලට හුවමාරු භාණ්ඩ හැටියට. ඒ වගේම කැලණි ගඟෙන් එපිට පරණ සීතාවක පුරයෙන් ආපු මුස්ලිම් නානලාත් ඉතාම උපායශීලී විදිහට මේ මණ්ඩාවල ගැමියන්ගේ ආර්ථික කළමනාකරණය කියන ඔර්ලෝසු දුන්න ගැන අවධානයෙන් හිටපු බවටත් සැක නැහැ. ඒ ගැනත් රසවත් ජනප්‍රවාද කීපයක්ම තියනවා. පස්සේ කියන්නම්. 

ඔන්න ඔය අතරේ ඒ කියන්නේ දහ නව වෙනි සියවසේ අන්තිම කාලය වෙනකොට මේ මණ්ඩාවල වැසියන්ට මහා පුදුමාකාර ආරංචියක් ලැබෙනවා. ඒ තමයි එක්දහස් අටසිය අනූ නවය අවුරුද්දේ දෙසැම්බර් තිස් එක් වෙනිදා, මේ ලෝකය විනාශ වෙනවය කියන ආරංචිය. මේ ආරංචිය ගමට ලැබෙන්නේ ඉන්දියාවෙන් ආ බව කියන අනාවැකි කියන්නකු හෝ පුරාණ සීතාවක පුරයෙන් පැමිණි සන්‍යාසියකු වෙතින් බවයි පැවසෙන්නේ. කොහොම හරි ආරංචියෙන් මුළු මණ්ඩාවලම කැළඹීමට පත් වුණාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම පිටස්තර ලෝකයත් එක්ක සෘජු සම්බන්ධතා නැති හින්දා ගැමියන්ට මේ ගැන සැක හැර දැන ගන්න ක්‍රමයකුත් නැහැ. ඒ අනුව තමයි මණ්ඩාවල සහ ඒ අවට ඇති අනුරාගොඩ සහ වෙරළුගම්පල යන ගම්මානවල ගම්මුන් එකතු වෙලා මේ ගැන පොදු කතිකාවකට පිවිසෙන්නේ. ‛‛ඔය ආරංචිය ඇත්තක් කියලා වගේම බොරුවක් කියලත් හිතන්න බැහැනේ. ඒ හින්දා කෝකටත් කියලා අපි ඔක්කොම එක තැනකට එකතු වෙලා එදාට සිල් සමාදන් වෙලා බණ දහම් කටයුතුවල යෙදෙමු. එතකොට ලෝක විනාසේ ඇවිත් අපි එක ගොඩේ මළත් අපි ඔක්කොටම එකටම හොඳ ලෝකෙකට හරි යන්නේ ලැබෙන්නේ නැතැයි.’’ ඒ කතිකාව අවසානයේ ගම්මුන් සේරම එන්නේ ඔන්න ඔය එකඟත්වයට. කොහොම වුණත් ඔය කාලෙ වෙනකොට මණ්ඩාවලට කියලා වෙනම පන්සලක් තිබුණෙත් නැහැ. ඒ හින්දා ගම්මු ඔක්කොම මේ ලෝක විනාශ ශීල වැඩසටහන පවත්වන්න තෝරා ගත්තේ මෙනේරිලන්ද කියන හිස් ඉඩම. ඒක ඒ වෙනකොට කනංගම ආරච්චි ගේ කියන ප්‍රභූ පරපුරට අයිති ඉඩමක්. නමුත් ඒ වෙනකොට උරුමක්කාරයෝ ඒ ඉඩම හරියකට භුක්ති නොවිඳ ඒ ගම්පළාත්වල ඉන්න අසරණ මිනිස්සුන්ට කාලයක ඉඳලා මෙනේරි වපුරන්න ඉඩදීලා තිබුණා. ඒකට ගමේ හැමෝම මෙනේරිලන්ද කිව්වෙ ඒ හින්දයි. කොහොම හරි ඒ වෙනකොට එක්තරා අන්දමක පොදු ස්ථානයක් බවට පත්වෙලා තිබුණු ඔය මෙනේරිලන්ද කෙලවරේ අත්තනගොඩ කංකානමලගේ ඊසන් නමැති අයකුට අයිති පුංචි කෝපි කඩයකුත් තිබුණා. ගමේ කුඹුරුවල බව බෝග කොරටුවල වැඩට යන එන ගැමියන් සාපිපාසාව නිවා ගන්න සතුටු සාමීචියේ යෙදෙන්න වගේම, විවේක ගන්නත් යොදා ගත්තු තැනක් මේක. 

කොහොම හරි අහිංසක මණ්ඩාවල ගැමියන්ගේ හදවත් මරණ බයෙන් සලිත කළ ඔය කියන ලෝක විනාශ දවසත් ආවය කියමුකෝ. ඔන්න එදා පාන්දර ඉඳලම මණ්ඩාවල, අනුරාගොඩ වෙරළුගම්පල කියන ගම්තුනේ ගම්මුන් සෑහෙන පිරිසක් සිල් රෙදි ඇඳ පෙරවා ගෙනම ඔය කියන මෙනේරිලන්දට සේන්දු වුණා. 

ඒ වගේම ඔය කාලේ වෙනකොට අපේ රටේ විශාල බෞද්ධ පුනර්ජීවනයකට මුල පිරී තිබුණා. ඒකට හේතු වුණේ එක්දහස් නවසිය අසූව අවුරුද්දේ සිද්ද වුණු සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ලංකා ගමන, ඒ ගමනේ ප්‍රතිඵලයක් හැටියට ඔය කාලය වෙනකොට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වගේ ජාතික වීරයන් සුවිසල් ජාතික ශාසනික පුනරුදයකට මුල පුරලා තිබුණා. 
ඔය හින්දම ඔය කාලය වෙනකොට කැලණි රජමහා විහාරය මුල් කරගෙනත් සුවිසල් ශාසනික පිබිදීමක් ඇති වුණු බවට සැක නැහැ. ඒ නිසාම ඒ පිබිදීමේ උණුසුම ලබපු මණ්ඩාවල, අනුරාගොඩ, වෙරළුගම්පල කියන ගම්මානවල කීප දෙනෙක් හරි කැලණි රජමහා විහාරයේ ශීල වැඩසටහන්වලට සහභාගී වෙන්නත් ඇති. එක අතකට මේකටත් සුවිශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි එක්දහස් අටසිය අසූ පහේ අප්‍රියෙල් විසි අටවෙනිදාට යෙදුණු වෙසක් පොහොය මුල් වරට රජයේ නිවාඩු 
දිනයක් බවට පත් කිරීම. ඒ සිදුවීම මුල් කරගෙන කැලණි විහාරයේ දී වෙසක් පෝය දවසේ විශේෂ ආගමික උත්සවයක් පැවැත් වුණා. ලෝක ප්‍රසිද්ධ පානදුරාවාදය නිසා ‛වාදිහසිංහ’ යන ගෞරව නාමයෙන් පිදුම් ලබපු පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ දම් දෙසුමක් සහ සෙන්පති ඕල්කට් තුමාගේ දේශනයක් මෙදා කැලණි රජ මහා විහාරයේ පැවැත්වුණා. දහස් ගණනක් මේ පින්කමට සහභාගී වෙලා තිබෙනවා. ඒ කාලේ හැටියට ඒක ලොකු ජනගහනයක්. ඒ  කාලයේ කැලණි රජමහා  විහාරාධිපති  පදවිය හෙබවූ  පූජ්‍ය  දොම්පේ බුද්ධරක්ඛිත නායක හාමුදුරුවොත් මේ මණ්ඩාවල ආශ්‍රිත ගම්මානත් එක්ක ගිහි ඥාති සම්බන්ධතාවයක් ද තිබුණු මහ තෙර නමක්. ඒ අනුවත් ඒ කාලයේ මණ්ඩාවල වැසියන් හා කැලණි විහාරය අතර තිබූ යාවජීව සම්බන්ධතාවය තවදුරටත් සවිමත් වෙන්න ඇති. ඒ කොහොම හරි ඔය කාලය වන විට සියනෑ කෝලරයේ වැසියන් පා ගමනින්, කරත්තවලින් වගේම කැලණි ගඟේ ඔරු පාරු මගිනුත් කැලණි වන්දනාවේ යෙදුණු බවට සාක්‍ෂි තිබෙනවා. 

මලේ මලේ ඔය නාමල නෙලා වරෙන් 
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් 
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන් 
සාදුකාර දී ඔරුවක නැඟී වරෙන් 

වගේ සියනෑ කෝරලයෙන් මතු වුණු ජන කවි මගින් මානව විද්‍යාත්මකව ඒ බව වඩාත් හොඳින් තහවුරු කර ගත හැකියි. ඒ කෙසේ හෝ ඔය කියන ලෝක විනාශ දවසේ මෙනේරිලන්දට රැස් වූ පිරිස සිල් සමාදන් කරවීමටත් ඒ අයට බණ කථා, වන්දනා ගාථා, පිරිත්  ආදිය කියා  දීමටත් ඒ  ගම්වල  ජීවත් වූ කැලණි රජමහා විහාරය හා සම්බන්ධ වෙලා හිටපු පුරෝගාමී උපාසක පිරිස ඉදිරිපත් වුණාට සැක නැහැ. 

කොහොම හරි ඉතින් එක්දහස් අටසිය අනූ නවයේ දෙසැම්බර් තිස් එක් වෙනිදා පාන්දර මෙනේරිලන්දේ දී ආරම්භ වුණු මේ ලෝක විනාශ සීල වැඩසටහන ඊට පහුවෙනිදා ඒ කියන්නේ එක්දහස් නවසීයේ ජනවාරි පළමු වෙනිදා පාන්දර දක්වාම ‛නිරුපද්‍රිතව’ පැවැත්වුණා. කොහොම හරි එක්දහස් නවසීය අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා නැවුම් හිරුඑළිය මෙනේරිලන්දේ පොළොව සිප ගන්නවාත් එක්කම අහිංසක ගම් වැසියන්ගේ සිත් තුළ තිබුණු ලෝක විනාශ භීතිකාව සුනු විසුණු වුණු බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින්, ඒ එක්කම ගම්මුන්ගේ සිත්වලට දැනුණු සතුට සැනසීම ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. එතකොට තමයි ඒ කාට කාටත් තේරුණේ මොනවා වුණත් අපි දැන්වත් ඉස්සරට වඩා බණ දහම්වලට ළංවෙලා කටයුතු කරන්න ඕනේය කියන කාරණේ. ඒත් ඉතින් කෝ මණ්ඩාවලට පන්සලක්. ඒ හින්දා ඒ ගැන ගම්මුන් අතරේ මෙන්න මෙහෙම එකඟත්වයකුත් ඇති වුණා. ඒ තමයි ලෝක විනාශ භීතිය මුල් කරගත්තු තමන්ට අභය භූමියක් වුණු මෙනේරිලන්දෙන් කොටසක පන්සලක් හදන්න. ඒත් ඒ සේරටම කලින් ඒ ඉඩම ලබා ගන්නත් එපායැ. ඒ හින්දා ගම්මුන් ඒ ඉඩමේ උරුමක්කාරයෙක් වුණු කනංගම රාළත් එක්ක මේ ගැන කතා කළා. ‛පන්සලක් හදන්න හින්දා ඕකට ගාණක් කියන්න මට බැහැ. ඒ හින්දා උඹලට කැමති ගාණක් දීලා ඕක ගනිල්ලා. කනංගම රාළත් කිව්වා. කොහොම හරි අන්තිමේ මෙනේරිලන්දේ පන්සල හදන්න ඉඩම ගන්න මණ්ඩාවල, අනුරාගොඩ වෙරළුගම්පල කියන ගම් තුනේම සම්මාදම් කෙරුණා. අන්තිමේ මේ ගම් තුනෙන්ම එකතු වුණ ගාණ කීයද දන්නවද ? රුපියල් හතළිස් පහයි. නමුත් ඒ කාලේ හැටියට ගුරුවරයකුගේ ලිපිකරුවෙකුගේ මාසික වැටුප වුණෙත් රුපියල් දහයත්, පහළොවත් අතර ගාණක්. ඒ කියන්නේ ඒ කාලේ රුපියල් හතළිස් පහ කියන්නේ අද විදිහට බැලුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු ගාණක්. නමුත් ඒ වෙනකොටත් රුපියල් සීයක විතර වටිනාකමකින් යුක්ත තමන්ගේ ඉඩම් කොටස පන්සලක් වෙනුවෙන් හින්දා රුපියල් හතළිස් පහකට දෙන්න කනංගම රාළත් කැමති වුණා. 

ඊට පස්සෙත් හරිම රසවත් සිද්ධීන් කීපයක්ම වුණා. අපි ඒවා ගැන ලබන සතියේ කතා කරමු. 

Thursday, April 10, 2014

වසර දෙසීයකටත් වඩා පැරණි ගණේකන්දේ ‛පෞද්ගලික පන්තිය’ - Ganekanda Tution Class goes back over two Hundred Years


අපේ රටේ නූතන අධ්‍යාපනය දිහා බලන කොට ගම්පහ දිසාවට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. ඒ වගේම අපේ රටේ උපකාරක පන්ති අතින් බැලුවත් ගම්පහ තමයි මුළු ශ්‍රී ලංකාවෙන් සුපිරිම නගරය. වර්තමානයේ වගේම අතීතයේත් ගම්පහ දිසාව අපේ රටේ මුල් පෙළේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් වූ බවට සාක්‍ෂි ඕනෑ තරම් තියනවා. ඒකට හොඳම නිදසුන තමයි, කෑරගල පද්මාවතී පිරුවන, කෝට්ටේ යුගයේ අපේ රටේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක් බවට පත්වෙලා තිබුණු කෑරගල පද්මාවතී පිරුවන සහ එහි අධිපති පදවිය හෙබ වූ කෑරගල වනරතන නාහිමියන් අදත් ගම්පහ දිසාවට සුවිසල් අභිමානයක්. කෝට්ටේ රජ කළ හය වෙනි පරාක්‍රමබාහු රජතුමා ගේ අභිවෘද්ධිය තකා පිරිත් දේශනාවක් පවත්වන ලෙස වනරතන නාහිමියන් ගෙන් අයැදුමක් කරමින් හංසයකු අතේ යවන සංදේශයක ස්වරූපයෙන් ලියැවුණු හංස සංදේශය අපගේ සාහිත්‍ය වංශ කතාවේ මුදුන් මල්කඩක්. ඒක රචනා කරලා තියෙන්නේ තවමත් සිරිලක පරසිදු වීදාගම මෛත්‍රිය හිමියන් විසින්. 



නමුත් අද මම කියන්න යන්නේ කෑරගල පද්මාවතී පිරුවන වගේ ප්‍රකට අධ්‍යාපන නිකේතනයක් ගැන නෙවෙයි. අනික මේක අධ්‍යාපන නිකේතනයකටත් වඩා අතීතයේ පැවැති පෞද්ගලික පන්තියක් කීවොත් තමයි වඩාත් නිවැරදි. මේ පෞද්ගලික පන්තිය පවත්වාගෙන ගිහින් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති  අළුතැපොල පුරාණ ගණේකන්ද රජමහා විහාරයේ. 
මේ විහාරයට ආසන්නම නගරය තමයි මිනුවන්ගොඩ. වේරගොඩ බ්‍රහ්මඝෝෂක කියන ගණින්නාන්සේ තමයි මේ පන්තිය පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඒ මීට අවුරුදු දෙසීයකටත් කලින්. අපි මීට කලින් ගණේමුල්ල යන කතා කරද්දීත් ගණින්නාන්සේලා ගැන කතා කළා. ගණින්නාන්සේලා කියන්නේ අපේ රටේ බුදු සමය බරපතල විදිහට පිරිහුණු මහනුවර මුල් රාජධානි සමයේ භික්‍ෂුන් වහන්සේලා වෙනුවට පෙනී සිටි බෞද්ධ පූජක පිරිස. විශේෂයෙන් දෙවැනි රාජසිංහ  (ක්‍රි.ව. 1635-1687) වගේ රජවරු බුද්ධ ශාසනය රැකීමට කිසිම ඇප උපකාරයක් නොකිරීම මත භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි තිබුණු සමාජමය පිළිගැනීම අඩු වුණා. ඒ හින්දා භික්‍ෂු උපසම්පදාව වගේ විනය කර්ම කිරීමට වුවමනා මහ සඟරුවනණගෙන් යුත් ගණ පූරණය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පටන් ගත්තා. මේ තත්ත්වය යටතේ තමයි මේ ගණින්නාන්සේලා කියන භික්‍ෂුප්‍රතිරූපකයන් සමාජයේ බහුල වුණේ. මුලදී ගිහි බවටත් පැවිද්දටත් අතරමැදි ජීවිතයක් ගත කරපු මේ ගණින්නාන්සේලා පහුවෙනකොට කාන්තාවන් සරණ පාවාගෙන පන්සල් ගෙවල් බවට පත් කරගෙන පවුල් ජීවිත කරන්න පටන් ගත්තා. ඒ අතර තුර බෞද්ධ ජන ජීවිතයේ ආගමික කටයුතුවලටත් පූජකයන් හැටියට සම්බන්ධ වුණා. ඒ ලාබ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන්. දෙවැනි රාජසිංහ රජු සමයේ බෞද්ධ භික්‍ෂුව තෙරුන්නාන්සේ සහ ගණින්නාන්සේ යනුවෙන් දෙකොටසකට බෙදී සිටි බව ඒ කාලයේ අපේ රටේ අවුරුදු දහනවයකුත් මාස හයක් එළිමහන් සිරකරුවකු හැටියට ජීවත් වී තම මව්රට වන එංගලන්තයට පලා ගිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වෙනවා. එහිදී නොක්ස් පවසන්නේ මේ ගණින්නාන්සේලා සිවුරට උඩින් බඳ පටියක් බැඳ සිටි බවයි. නමුත් එකල ගණින්නාන්සේලා විවාහ වී සිටි බවක් නම් රොබට් නොක්ස්ගේ කෘතියේ සඳහන්ව නැහැ. ඒ වගේම ඒ කාලයේ සමහර ගණින්නාන්සේලා ගිහි ජීවිතයේ දී තමන්ට උරුමව තිබූ ගොවිතැන්, සත්ව පාලනය, කම්මල් වැඩ, රෙදි ඇපිල්ලීම් වගේ සුපුරුදු ජීවනෝපායන්හි යෙදුණු බවත් පැහැදිලියි. නමුත් සමහර ගණින්නාන්සේලා සමාජයේ ප්‍රභූන් වශයෙන් වැජඹෙමින් රාජතාන්ත්‍රික කටයුතුවලට පවා සම්බන්ධ වී තිබෙනවා. දෙවන රාජයසිංහ රජතුමාගේ රාජ තාන්ත්‍රික නියෝජිතයෙක් හැටියට 1668 වසරේ ගණේබණ්ඩාර ගණින්නාන්සේ ඕලන්ද ආණ්ඩුකාරයා හමුවීමට යාම ඊට එක් නිදසුනක් විතරයි. කොහොම හරි මුලදී අර්ධ ගිහි අර්ධ පැවිදි ජීවිතයක් ගත කළ සමහර ගණින්නාන්සේලා දහඅට වන සියවසේ මුල් භාගය විතර වෙන කොට තමන් විසූ පන්සල් පවුල් කන ගෙවල් බවට පත් කරගත්තු බව පේනවා. ඒ හින්දම ඒ නිවාස හැඳින්වීම සඳහා ඒ කාලේ ගණේගෙදර, විහාරේ ගෙදර ආදී නම් පවා යෙදී තිබෙනවා. 


    නමුත් ඒ කාලේ සිටි හැම ගණින්නාන්සේ කෙනෙක්ම එහෙම පවුල් ජීවිත ගත කොට නැහැ.  ඒ අතරේ සිල්වත් අයත් ඉඳලා තියනවා. ඉතින් දැන් අපි නැවතත් ගම්පහ දිසාවේ තිබුණු පරණ පෞද්ගලික පන්තියට එමු. අළුතැපොල ගණේකන්ද පුරාණ විහාරය ලෙන් විහාරයක්. මේ පර්වතාශ්‍රිත පරිසරයේ ආදී මානව ජනාවාස තිබූ බවට සාධක තිබෙනවා. ඒ වගේම මේ පර්වතාශ්‍රිතවත් වාරණ, මාලිගාතැන්න, පිළිකුත්තුව, දංගල්ල, සමනබැද්ද, වෑබඩ, මැද්දේගම, අලවල,මඩබාවිට, අස්ගිරිය, කොස්කඳවල යන පර්වතාශ්‍රිතව වගේ අනුරාධපුර යුගයේ සිට භාවනානුයෝගී භික්‍ෂුන් සිටි බවට සාධක තිබෙනවා. ඒ අනුව මෙම පුදබිමට වසර දහස් ගණනක ශාසනික සැබැඳියාවක් තිබුණු බව පැහැදිලියි. ඒත් මේ ස්ථානය ගණේකන්ද යනුවෙන් හැඳින්වීම තුළ යම් විශේෂත්වයක් තිබෙනවා. ‛ගණේ’ යනුවෙන් ඇරඹෙන ග්‍රාම නාම බොහොමයකට භික්‍ෂුන් වහන්සේලා හෝ ඉහත සඳහන් කළ ගණින්නාන්සේලා සම්බන්ධ බව මා මීට කලිනුත් සඳහන් කළා මතක ඇතිනේ. සීතාවක රාජසිංහ රාජ උදහසට බියෙන් භික්‍ෂුන් සැඟව සිටි ගණේමුල්ලට ඉතා ආසන්න ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ ප්‍රදේශයේත් ගණේකන්ද නමින් පැරණි විහාරස්ථානයක් තිබෙනවා. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ කන්නන්තොට පිහිටි ගණේකන්ද වලගම්බා පුරාණ රජ මහා විහාරය එනමින් යුතු තවත්  පුදබිමක්. ඒ වගේම තමයි කළුතර දිස්ත්‍රික්කයට අයත් කළුතර හොරණ මාර්ගයේ දොඹගොඩ පිහිටි පුරාණ ගණේකන්ද රජමහා විහාරය. මම මේ කියන්නේ ගණේකන්ද නමින් මගේ විමසුමට ලක් වූ විහාරස්ථාන කිහිපයක් විතරයි. මීට අමතරව ගණේකන්ද නමින් තවත් පැරණි බෞද්ධ විහාරස්ථාන සෑහෙන ගණනක් තියෙන්න පුළුවන්. අද අපි මේ කතා කරන අළුතැපොල ගණේකන්දේ කෝට්ටේ යුගය පමණ තෙක් බෞද්ධ විහාරයක් තිබුණු බවට සාක්‍ෂි තිබෙනවා. නමුත් මහනුවර මුල් යුගයේ බුදු දහම සම්බන්ධයෙන් එළැඹුණු දුර්දාන්ත සමයේදී මෙවන් ස්ථානවල ගණින්නාන්සේලා බවට පත් වුණු තෙරුන්නාන්සේලා ජීවත් වුණා වෙන්නට පුළුවන්. නමුත් අද අපි සොයා ගෙන යන අප්‍රකට ඓතිහාසික ජනශ්‍රුතියේ එන පෞද්ගලික පන්තිය පවත්වා ගෙන ගිය බ්‍රහ්මඝෝෂ ගණින්නාන්සේ නම් ගිහි ජීවිතයට නොපිවිස තමන්ගේ ශීලය ඉතා හොඳින් ආරක්‍ෂා කළ කෙනෙක් බව පැහැදිලිවම පෙනෙනවා. ඒ වගේම එතුමන් මේ ගණේකන්දේ වෙසෙමින් ප්‍රදේශයේ දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමෙන් කළ සේවයත් අති උදාරයි. ඒ වගේම එතුමන් මේ සේවාව සිදු කොට ඇත්තේ කිසිම ලාභාපේක්‍ෂාවකින් තොරව බවත් අතිශයින් පැහැදිලියි. නමුත් බ්‍රහ්මඝෝෂ ගණින්නාන්සේගෙන් ශිල්ප හැදෑරීමට දරුවන් එවන ප්‍රදේශයේ දෙමාපියන් තම දරුවන්ගේ අතේ එතුමාට ආහාර පාන එවා ඇති බව ජනප්‍රවාදයේ සඳහන්. 


     ඒ කෙසේ හෝ මහනුවර රජ කළ  කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව. 1747-1782) එතෙක් සිය වසකටත් මඳක් වැඩි කාලයක් රට පුරා පැවැති ශාසනික අඳුර දුරු වී නැවත අප රටේ භික්‍ෂු උපසම්පදාව පිහිට වූ පුවත ඓතිහාසිකව ප්‍රසිද්ධ කාරණයක්. සියම් රටින් මෙරටට වැඩම කළ භික්‍ෂුන් වහන්සේලාගේ උපාධ්‍යායකත්වයෙන් ඒ භික්‍ෂු උපසම්පදාව සිදු කොට ඇත්තේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, 1753 වර්ෂයේ ඇසල පුන් පෝදා බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. කෙසේ හෝ ඊට ආසන්න සමයක සිට ගණේකන්දේ පවත්වාගෙන ගිය මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේගේ අධ්‍යාපනික මෙහෙවර පුරා හතළිස් වසරකටත් වැඩිකාලයක් අඛණ්ඩව පැවැති බවට සැක නැහැ. කෙසේ හෝ පිරුවනක් හෝ වෙනයම් විද්‍යායතනයක් වශයෙන් ප්‍රකට නොවූවද බ්‍රහ්මඝෝෂක ගණින්නාසේගේ මේ පෞද්ගලික පන්තිය ඒ වන විටත් සමාජයට උගතුත් නැණවතුන් බිහිකිරීමට සමත් වී තිබෙනවා. එතුමන්ගේ අධ්‍යාපනය කෙතරම් ඉහළ මට්ටමක තිබුණා ද යන්නට එයම කදිම නිදසුනක්. මේ කාලය වන විට අප රට පාලනය කළ ලන්දේසීන් ද තමන්ට බලය හිමිව තිබූ මුහුදු බඩ පළාත්වල ‛පල්ලි’ නමින් දේවස්ථාන මුල් කොට ගත් විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කොට තිබුණා. තමන්ගේ ආගමික සංස්කෘතික බලව්‍යාප්තිය තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණු වුණේ. පැරණි සිංහලේ පල්ලි නමින් හැඳින්වුණේ මේ අධ්‍යාපනික ආයතන හෙවත් ශාස්ත්‍ර ශාලා බවට පූජාවලිය වැනි කෘතීන්ගෙන්ද තහවුරු වෙනව.  ඕලන්ද සමයේ ඒවායේ ගුරුවරුන් ‛පල්ලියගුරු’ යන නම් වලින් හඳුන්වා තිබුණා. පස්සේ ඒ ආශ්‍රිතව පැවැති දේවස්ථාන තනිව හැඳින්වීමට ද ඒ ‛පල්ලි’ කියන වදන යොදා ගෙන තිබෙනවා. 

      කෙසේ හෝ මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේගෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරා උගතුන් බවට පත් තරුණයන් කිහිප දෙනකු පසුව ලන්දේසි රජයේ සේවයට එක්වීමට පවා සුදුසුකම් ලබා තිබුණා. ඔවුන්ගේ ශාස්ත්‍රීය දැනුම පිළිබඳ අතිශයින් පැහැදුණු ලන්දේසි ප්‍රධානීන් ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන් මේ බ්‍රහ්මඝෝෂක ගණින්නාන්සේට උපහාරයක් පිදීමට සැලසුම් කර තිබෙනවා. ඒ වී අමුණු දහයක ඉඩමක් ප්‍රදානය කිරීමෙන්. ඒ අනුව මේස්ත්‍ර අන්ද්රිස් කෝයාර උන්නාන්සේ නම් ඕලන්ද ප්‍රධානියකු ගේ අණ පරිදි අළුත් කූරු කෝරලය කරවන මුදියන්සේ හෙවත් දොන් සීමන් ද සිල්වා සමරනායක මුදලිඳු විසින් සන්නස් පත්‍රයක් මගින් බ්‍රහ්මඝෝෂක හිමියන්ට මේ ප්‍රදානය කර තිබෙනවා. ඒ අපේ රට ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසීන් අතට පත් වීමට දෙවසරකට කලින්. ඒ කියන්නේ 1796 අවුරුද්දේ  ඒ පැවරුම පිළිබඳ ඓතිහාසික ලේඛනය තවමත් අළුතැපොල, පුරාණ ගණේකන්ද රජ මහා විහාරයේ සුරැකිව තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම මේ පුරාවෘත්තය සම්බන්ධ තවත් වැදගත් දේකුත් කිව යුතුයි. එනම් ඒ සන්නසේ බ්‍රහ්මෂෝෂක යන නම සමග සඳහන් වන්නේ ගණින්නාන්සේ වෙනුවට තෙරුන්නාන්සේ ලෙසිනුයි. ඊට හේතුව කලින් පැවිදි උපසම්පදාව අහිමි වීම නිසා සාමණේර දම් පුරමින් සිටි ගණින්නාන්සේ කෙනෙකු වුණු බ්‍රහ්මඝෝෂ හිමියෝ 1753 වසරේ අප රටේ යළි ස්ථාපිත වූ සංඝ ශාසනය තුළ පැවිදි උපසම්පදාව ලැබීම නිසා තෙරුන්නාන්සේ කෙනකු බවට පත් වූ හින්දා වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අළුතැපොල පුරාණ ගණේකන්ද රජ මහා විහාරය අදටත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් විහාරස්ථානයක්. 

Tuesday, April 1, 2014

සීතාවක රාජසිංහයන්ගේ උදහසට ලක්වූ භික්ෂුන් සැඟව සිටි ගණේමුල්ල - Ganemulla, Where the Monks Hidden from the King Seetawaka Rajasing's Wrath



ගණේමුල්ල කියන්නේ ගම්පහ දිසාවේ තියෙන සැලකිය යුතු ජනගහණයක් ජීවත්වන මුල් පෙළේ උප නගරයක්. ඒත් මේ ගණේමුල්ල කියන ග්රාම නාමය හා සබැඳුණු ප්රකට පුරාවෘත්තයක් ඉස්මතු වී නැහැ. නමුත්, මේ ගණේමුල්ල ග්රාමනාමය පිළිබඳව විමසද්දී අප්රකට ඓතිහාසික කරුණු රැසක් සපයා ගත හැකියි.

ගණේ එහෙමත් නැත්නම්ගනේ යන ශබ්දය මුල් කරගත් ග්රාම නාම කිහිපයක් අපේ රටේ තිබෙනවා. ඒවා අතුරින් සමරකගනේ යන ශබ්දය යෙදී ඇත්තේ ග්රාම නාමයේ අගට,  දිවුල්ගනේ,කොබෙයිගනේ, මැටියගනේ සඳහා පහසුවෙන් දැක්විය හැකි නිදසුන් කිහිපයක්. මෙහි එනගන යන වදන ඝන හෙවත් අතුරු සිදුරු නැති යන අරුත දනවනවා. බවට දහවන සියවසේ ලියැවුණු දම්පියා අටුවා ගැටපදය ආදී ඉපැරණි කෘතීන් ගෙන් සෘජු සාක්ෂි ලබා ගන්න අපට පුළුවන්. ඔස්සේ බලනකොට දිවුල් බහුලව තිබූ ප්රදේශය දිවුල්ගනේ ලෙසත් කොබෙයියන් බහුලව සිටි ප්රදේශය කොබෙයිගනේ ලෙසත් මැටි සහිත පසක් තිබූ ප්රදේශය මැටියගනේ ලෙසත් ප්රසිද්ධ වූ බව පහසුවෙන් නිගමනය කරන්න පුළුවන්.

ඒත්ගනේ යන්නෙහි එන දන්නජ යන්න වෙනුවට මුර්ධජ යන්න සහිත ග්රාම නාම කිහිපයකුත් අපට අසන්නට ලැබෙනවා. වගේම මේවායේගණේ යන්න ග්රාම නාමයේ මුලට එක්වීමත් විශේෂතත්වයක්. අද අපේ මාතෘකාවට බඳුන්වන ගණේමුල්ලට අමතරව ගණේගොඩ, ගණේතැන්න,ගණේගොඩැල්ල තවත් එවැනි ග්රාම නාම කිහිපයක්. මේ විදිහට මුර්ධජ යන්න සහිතගණ වාචකයෙන් සමූහය, හමුදාව යන අරුත් පළවන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. වගේම භික්ෂුන් වහන්සේ, භික්ෂු සංඝයා හෝ පස්නමකට අඩු භික්ෂු පිරිස හැඳින්වීම සඳහා මේගණවාචකය යොදන බව පැරණිපොත පත පරිශීලනය කරන විට අපට පෙනෙනවාදහතුන් වන සියවසේ ලියැවුණු විසුද්ධි මාර්ග සන්නස දාහහතරවන සියවසේ ලියැවුණු නිකාය සංග්රහය පහළොස් වන සියවසේ ලියැවුණු පුරාණ නාමාවලිය යන කෘතීන් ඒවාට නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. වගේම විහාරය, සංඝාවාසය වගේ අරුත් පළකිරීම සඳහාත් මේගණ වාචකය යෙදුණු අවස්ථා තිබෙනවා. ඊට උදාහරණ හැටියට දාහතරවන සියවසේ ලියැවුණු පන්සිය පනස් ජාතකපොත මෙන්ම දහතුන් වන සියවසේ ලියැවුණු සද්ධර්මරත්නාවලිය දක්වන්න පුළුවන්. වගේම අද වුණත් භික්ෂුන් වහන්සේලා සඳහා යොදනගණින්නාන්සේ කියන උපහාසාත්මක වදන ඔබත් අහලා ඇති. ඒත් මේ ගණින්නාන්සේ යනුවෙන් හඳුන්වා ඇත්තේ භික්ෂු උපසම්පදාව මෙරටින් තුරන්ව තිබූ කීර්ති ශ්රී රාජසිංහ සමය දක්වා වූ මහනුවර  මුල් යුගයේ අප රටේ භික්ෂුන් ලෙසින් පෙනී සිටි පැවිදි පරපුරයි. මුළුමනින්ම ශ්රමණයන් හෝ පැවිද්දන් හැටියට සැලකිය නොහැකි මේ ගණින්නාන්සේලා පැවිද්දටත්, ගිහිකමටත් නොමැති පූජක දිවියක් ගත කළ බවයි ඓතිහාසික තොරතුරුවලින් පෙනී යන්නේ. අපේ මාතෘකාවට සම්බන්ධගණ යන වචනය. මේ ගණින්නාන්සේලාටත් තරමක් සම්බන්ධ බව නොකියාම බැහැ. දිවුලපිටිය ආසන්නයේ ඇති ගණේකන්දේ අළුතෑපල රජමහා විහාරස්ථානය ගම්පහ දිසාවේ ඇති ඓතිහාසික වශයෙනුත් වැදගත් පුදබිමක්. මේ විහාරස්ථානයට ගණේකන්ද යන යෙදී ඇත්තේ මේ විහාරය ඉදිකොට ඇති ස්ථානයේ තිබෙන ගල්ලෙනක් ආශ්රිතව අතීතයේ ජීවත් වූ වේරගොඩ බ්රහ්මඝෝෂක නම් ගණින්නාන්සේ කෙනකු මුල් කරගෙන බව ඓතිහාසිකව  සනාථ වී තිබෙනවා

ලක් ඉතිහාසයේ අසමසම නරපතියා වන දුටු ගැමුණු රජතුමා හැරුණු කොට ලක් ඉතිහාසයෙන් මතුවන ඊළඟ සුවිශේෂ රණශූර නරපතියා සීතාවක රාජසිංහයන් බවට සැක නැහැ. ජීවිතයේ නව යොවුන් වියේදීම ටිකිරි කුමාරයා නමින් මහත් සුරුවිරුකම්පෑ සීතාවක රාජසිංහයන් බලයට පත් වීම කෙරෙහි එවක සංඝ සමාජය දැඩිව විරුද්ධ වුණා. එවක සංඝ සමාජයේ අරමුණ වුණේ ටිකිරි කුමාරයාගේ වැඩිමල් සොයුරු තිඹිරිපොල කුමාරයා සීතාවක සිහසුනේ හිඳුවීමටයි. එහෙත්, තමන් සතු අසීමිත බල පරාක්රමය නිසා එවක සංඝ සමාජයේ අභිමතයට ඉහළින් සීතාවක රාජසිංහ නමින් තුන් හෙළයේ ප්රතාපවත් නරපතියකු වීමට ටිකිරි කුමරුන්ට හැකිවුණා. මේ කාලය වන විට ලෝකයේ හිඳින විශිෂ්ටතම ප්රතාපවත් රණකාමී ජාතිය වුණේ පෘතුගීසීන්. එක්දහස් පන්සිය පහේ අපේ රට ආක්රමණය කළ පෘතුගීසින්ගේ බලය මේ කාලය වන විට අපේ රට තුළ ඉහළම මට්ටමක තිබුණා. නමුත් පෘතුගීසි බලයට එරෙහිව සීතාවක රාජසිංහයන් මුල්ලේරියාව ආදී ප්රදේශවලදී එල්ල කළ දරුණු ප්රහාර ලෝක ඉතිහාසයට පවා එක්විය යුතු තරම් ප්රබලයි. ප්රහාර මොන තරම් බලවත් වුණාද කීවොත් රටේ ප්රදේශ ගණනාවක ව්යාප්තව තිබූ තමන්ගේ බලයකොළඹ කොටුව තුළට කොටු කර ගන්නට පෘතුගීසීන්ට සිදුවුණා. ඔන්න ඔය කාලේ තමයි කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා කියලා කියන්නේ.

කොහොම හරි සීතාවක රාජසිංහයන්ගේ මේ දැවැන්ත යුද ක්රියාදාමයට භික්ෂු සමාජයෙන් කිසිදු සහයක් නොලැබුණා වගේම රජතුමාට එරෙහි යම් යම් ක්රියාදාමයන්ට පෙළඹුණු භික්ෂුන් වහන්සේලාත් කාලයේ සිටි බව සමකාලීන පෘතුගීසිලේඛන මගින් තහවුරු කර ගත හැකියි. අනුව තමයි සීතාවක රාජසිංහයන් තමන්ගේ රාජ්යත්වයට එරෙහිව කුමන්ත්රණය කරන බව සලකා එවකට සිටි සංඝ රාජ හිමියන් මරණ දඬුවමට යටත් කොට සංඝ සමාජයෙන් කෲර ලෙස පළිගන්න පටන් ගත්තේ. අනුව  එම යුගයේ සිටි සෙසු හිමිවරු තම ජීවිත බේරා ගැනීම සඳහා එවකට වනගතව පැවැති අහුමුළු බඳු ස්ථානවල සැඟවුණු බව ඓතිහාසිකව සනාථ වී තිබෙනවා. ගණේමුල්ල කියන්නෙත්, කාලයේ භික්ෂුන් වහන්සේලා තම ජීවිතාරක්ෂාවඋදෙසා සැඟව සිටි මුල්ලක් හෙවත් ආවරණය වුණු ස්ථානයක් බව මේ අනුව අපට වටහාගත හැකියි. මේ අතර සීතාවක රාජසිංහයන්ගේ උදහසට ලක්වූ තවත් භික්ෂු පිරිසක් හොර රහසේම සිවුරු හැර ගොස් තවත්   මෙවැනිමමුල්ලක සැඟවී තිබෙනවා. ගම්පහ නැදුන්ගමුව ආසන්නයේ ඇති ප්රදේශය අදත් හැඳින්වෙන්නේහීරළුමුල්ල යනුවෙන්, එසේ සිවුරු හැර සැඟවුණු පිරිසගේ ඊළඟ පරපුර විහාරස්ථානවල හේවිසි වැයීම ජීවන වෘත්තිය බවට පත් කරගත් බවකුත් පැවසෙනවා.

සමකාලීන සංඝ සමාජය සමග ඇති කරගත් ආරෝව නිසා සීතාවක රාජසිංහයන් පීතෘ ඝාතකයෙක් හා බෞද්ධ විරෝධියෙක් යන මතය අප සමාජයේ තවමත් පැතිර පවතිනවා. මීට හේතුව ක්රිස්තු වර්ෂ එක්දහස් පන්සිය අනූ දෙකේ සිදුවුණු සීතාවක රාජසිංහයන්ගේ මරණයෙන් අවුරුදු  එකසිය පනස් පහකට පසුව එළැඹි මහනුවර රජ කළ කීර්ති ශ්රී රාජසිංහ රජුගේ යුගයේ තිබ්බටුවාවේ සිද්ධාර්ථ හිමි ලියූ මහාවංශයේ අවසන් පරිච්ජේදවලින් සීතාවක රජතුමා බුදු සසුනේ පරම ද්රෝහියකු හා පීතෘ ඝාතකයෙකු ලෙස හඳුන්වා දී තිබීමයි. නමුත් සීතාවක රජුගේ යුගයේ සීතාවක පුරයට අයත් දෙල්ගමු රජමහා විහාරයේ සඟවා තිබූ ශ්රී දන්ත ධාතුවට අසීමිත ගෞරවාදරයක් දැක්වූ රජතුමා දළදා වහන්සේ සම්බන්ධ සියලු චාරිත් එපරිද්දෙන්ම සිදු කිරීමට එවකට දළදා වහන්සේ භාරව සිටි  හිරිපිටියේ රාළ දියවඩන නිලමේ තුමාට උපෙදස් දුන් බව ඓතිහාසික මූලාශ් කිහිපයක් මගින් මනාව තහවුරු කරගත හැකියි. වගේම සීතාවක රජතුමන්ගේ පියරජු වූ මායාදුන්නේ රජු වසර අසූ එකක් ජීවත් වීඋකුත් වූ හෙවත් පරලෝකප්රාප්ත වූ බව දහසය වන සියවසේ අගභාගයට අයත්රාජාවලිය කෘතියෙහි ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා. වගේම සීතාවක යුගය පිළිබඳ නිරීක්ෂණ වාර්තා ලෙස සැලකෙන වැලන්ටයින්, කූතෝ වැනි විදේශීය ලේඛකයන්ගේ කෘතිවල මායාදුන්නේ රජුගේ මරණය මිනී මැරුමක් බව හෝ සීතාවක රාජසිංහයන් පීතෘ ඝාතකයකු බව ඇඟවෙන කිසිම සාධකයක් නැහැ. අනුව සීතාවක රාජසිංහයන්ට එරෙහිව බුදු සසුනට ද්රෝහි වීම සහ පීතෘ ඝාතනය පිළිබඳ චෝදනා පදනම් විරහිත බව සම්බන්ධයෙන් කරන ස්වාධීන නිරික්ෂණයක දී ඉතා හොඳින් පැහැදිලි වෙනවා.

කෙසේ හෝ සීතාවක රාජසිංහයන් කළ භික්ෂු ඝාතන, විහාරාරාම ගිනි තැබීම් වැනි දරුණු ප්රචණ්ඩ ක්රියා එවකට පැවැති දේශපාලන කුමන්ත්රණයකට එරෙහිව රජතුමා ගත් දැඩි ක්රියාමාර්ග බව ඉඳුරාම පැහැදිලියි. වගේ වාතාවරණයක් යටතේ රාජ උදහසට ලක්වූ භික්ෂුන් කොටසක් මෙලෙස වන ගත අහුමුල්ලක සැඟවීම පුදුමයක් නොවෙයි. මාකිලංගමුව කියන්නේ ගණේමුල්ලට යාබද ගමක්. මාකිලංගමුව යන ග්රාම නාමය ඇතිවී ඇත්තේ මූකලන් ගොමුව යන වදන් දෙක එක්වීමෙන්. පැරණි මූකලන් ගොමුවට එපිටින් වූ වෙල්යායට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති තවත් ගමක් තමයි අස්ගිරි වල්පොල. එයින් හැඟවෙන්නේත් වනගත  ප්රදේශයක්. ගණේමුල්ල උප නගර සීමාවේ තියෙන තවත් ගමක් තමයි හොරගොල්ල. මින් කියැවෙන්නේ ප්රදේශයේ හොර ගස් බහුලව තිබුණු බවයි. ගණේමුල්ල සහ ජාඇල කඳාන ප්රදේශ මායිම් වන බොල්ලත ප්රදේශයට නුදුරින් පිහිටි තවත් ගමක් තමයිපොල්පිතිමුකලාන. වගේම ඉඹුල්ගොඩ, සූරියගම,කැන්දලියැද්ද පාළුව,නාරංගොඩ පාළුව, වගේ ගණේමුල්ල උපනගරයට ආසන්නයේ පිහිටි ගම්මානවල ග්රාම නාම බොහොමයකට ගස්වල නම් සම්බන්ධව ඇති බව ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. අනුවත් වත්මන් ගණේමුල්ල අතීතයේ තුරුවදුලින් ගැවසුණු ප්රදේශවල අහුමුල්ලක් වූ බවට සැක නැහැ.


වගේම සීතාවක රාජසිංහ යුගය වන විට ගණේමුල්ල අවට ප්රදේශ කෘෂිකර්මයෙන් ඉහළම ප්රගතියක් ලබා තිබුණා. අනික අවට ගම් දනව්වල විසූ බෞද්ධ ජනතාව සීතාවක රාජසිංහයන්ගේ මේ භික්ෂු සංහාරයට දැඩිව අකමැතිවූ බවත් පැහැදිලියි. නිසාම සීතාවක රාජසිංහයන්ගේ උදහසට බියෙන් තම ජීවිත රැකගනු පිණිස තුරුවදුලුවලින් පිරීගත් මේ වන ගහනය තුළ සැඟව සිටි ප්රදේශයේ ප්රසිද්ධ විහාරාරාමවල භික්ෂු සංඝයාට අවට ගම්මානවල ගැමියන් ආරක්ෂාව සපයමින් සිව්පසයෙන් උපස්ථාන කළ බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියි. අනුව එවක සංඝ  සමාජය කෙරෙහි සීතාවක රාජසිංහ රජුගේ උදහස එල්ල වූ සමයේ භික්ෂුන් සැඟවී සිටි මුල්ල පසුව ගණේ මුල්ල වූ යනුවෙන් හැඳින්වුණාට සැක නැහැ